2026 මැයි 18-24
ගීතිකාව 35 ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
අවධානය බිඳෙන්න දෙන්න එපා!
“යෙහෝවා සතුටු වෙන්නේ මොන දේවල්වලින්ද කියලා තේරුම්ගන්න දිගටම උත්සාහ කරන්න.”—එෆී. 5:17.
ලිපියේ අරමුණ
අපේ අවධානය හොරාගන්න දේවල් තිබුණත් දිගටම යෙහෝවාට මුල් තැන දෙන්න පුළුවන් කොහොමද?
1-2. වැදගත් කියලා අපි හිතන දේකින් වුණත් අපේ අවධානය වෙන පැත්තකට යන්න පුළුවන් කොහොමද?
හිතන්න, ඔයා වාහනේ එළවගෙන යද්දී ඔයාට කෝල් එකක් එනවා කියලා. සමහරවිට කවුරු හරි ඔයාගෙන් උදව්වක් ඉල්ලලා කෝල් කරනවා ඇති. ඒ කෝල් එක ගන්න එක වැදගත්. හැබැයි ඒ වෙලාවේ වැදගත්ම දේ වාහනේ එළවන එකට ඔයාගේ අවධානය දෙන එක. ඒ වගේ අපේ ජීවිතේ ගොඩක් අවස්ථාවලදී අපිට වෙනවා ඒ ඒ අවස්ථාවේ වැදගත්ම දේ මොකක්ද කියලා තීරණේ කරන්න.
2 අපි හැමෝටම හැමදාම වගේ කරන්න වැදගත් දේවල් තියෙනවා. හැබැයි දෙවියන්ගේ සෙනඟ විදිහට අපි වැඩියෙන්ම අවධානය දෙන්න ඕනෙ යෙහෝවා එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න උදව් වෙන දේවලටයි.a (මතෙ. 6:33) හොඳ රියදුරෙක් එයාගේ අවධානය වෙන පැත්තකට යන්න පුළුවන් දේවල් අඳුරගන්නවා වගේ අපිත් යෙහෝවාට මුල් තැන දෙන එකෙන් අපේ අවධානය වෙන පැත්තකට යොමු වෙන්නේ මොන වගේ දේවල් නිසාද කියලා හැම තිස්සේම හිතලා බලන්න ඕනේ.—හිතෝ. 4:25; මතෙ. 6:22.
3. මේ ලිපිය අපිට උදව් වෙන්නේ කොහොමද?
3 අපි කවුරුත් හිතාමතාම යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන දේවල් අපේ ජීවිතේ දෙවෙනි තැනට දාන්නේ නැහැ. හැබැයි හුඟක් දේවල් නිසා ඒක ලේසියෙන්ම වෙන්න පුළුවන්. (ලූක් 21:34-36) ඒ නිසා දිගටම යෙහෝවාට මුල් තැන දෙන්න මේ පැති තුන ගැන හිතන එක අපිට උදව් වෙයි. (1) අපේ අවධානය වෙන පැත්තකට යන්න පුළුවන් මොන දේවල් නිසාද? (2) යේසුස් එයාගේ අවධානය වෙන පැත්තකට යන්න නොදී තියාගත්තේ කොහොමද? (3) අද අපිටත් ඒ දේම කරන්න පුළුවන් කොහොමද?
අපේ අවධානය බිඳින දේවල්
4-6. යෙහෝවාට මුල් තැන දෙන එකෙන් අපේ අවධානය බිඳෙන්න පුළුවන් මොනවා නිසාද?
4 ජීවිතේ අපි අවධානය දෙන්න ඕනෙ වැදගත් දේවල් හුඟක් තියෙනවා. උදාහරණෙකට අපි අසනීපයක් එක්ක ඔට්ටු වෙනවා ඇති. අපෙයි, පවුලේ අයගෙයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ සමහර දේවල් තියෙනවා. ඒවා වැදගත්. අපි ඒ දේවල් වෙනුවෙන් කාලේ දෙන්න ඕනේ. ඒත් යෙහෝවාව දෙවෙනි තැනට දාන්න ඒ දේවල් හේතුවක් වෙන්න පුළුවන්ද? අපි ඒ දේවල් ගැනම හිතහිත ඉන්න ගියොත් ඒවාට අපේ මුළු කාලෙම, ශක්තියම දෙන්න ගියොත් ඒක වෙන්න පුළුවන්.
5 ඒ වගේම අපෙන් හුඟදෙනෙක් ජීවත් වෙන්නේ දේශපාලන ගැටුම්, ආර්ථික අර්බුද, වේගයෙන් පැතිරෙන වසංගත, අපරාධ තියෙන ප්‍රදේශවල. (2 තිමෝ. 3:1) ඒ වගේ දේවලට මූණ දෙද්දී අපේම ප්‍රශ්න ගැන හිතනවා මිසක් වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා අපිට හිතෙයි.
6 සමහරවිට ඒ දේවල් නිසා ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණ අය ගැන අපි දන්නවා ඇති. එයාලා මානසිකව වැටිලා ඉන්න එක පුදුමයක් නෙවෙයි. මොකද යෙහෝවා මිනිස්සුන්ව නිර්මාණය කළේ දිගින් දිගටම පීඩාවලට මූණ දෙන්න පුළුවන් හැකියාව ඇතුව නෙවෙයි. එහෙම බලද්දී ‘ආයේ නං කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ’ කියලා එයාලට හැඟෙන එක සාධාරණයි. ඉතින් ප්‍රශ්න අමතක කරන්න හිතාගෙන එයාලා හදන්නේ පුළුවන් තරම් වෙලාවක් විනෝද වෙන්න, සැහැල්ලුවෙන් ඉන්න. අපිට හැඟෙන්නෙත් ඒ විදිහට නම් මොනවාද කරන්න පුළුවන්? අපේ අවධානය යෙහෝවාගෙන් වෙන පැත්තකට යන්න නොදී තියාගන්න අපිට යේසුස්ගෙන් මොනවාද ඉගෙනගන්න පුළුවන්?
යේසුස් අවධානය බිඳෙන්න දුන්නේ නැහැ
7. යේසුස්ගේ අවධානය බිඳෙන්න ඉඩ තිබුණේ මොන වගේ දේවල් නිසාද?
7 දේශපාලන ප්‍රශ්න, සමාජයේ තිබුණ ප්‍රශ්න වගේ දේවල් නිසා යේසුස්ගේ අවධානය බිඳෙන්න ඉඩ තිබුණා. ඒ කාලේ හිටපු හුඟක් අය දුප්පත්. ගොඩක් අයට අසනීපත් තිබුණා. (මතෙ. 14:14; මාක් 14:7) රෝමවරුන්ගෙන්, අනිත් යුදෙව්වන්ගෙන් එයාලට අසාධාරණකම් වුණා. යේසුස් කරපු ආශ්චර්යයන් දැකපු සමහරුන්ට ඕන වුණා යේසුස්ව රජ විදිහට පත් කරගන්න. (යොහ. 6:14, 15) සාතනුත් යේසුස්ව පරීක්ෂා කළා. සාතන් හැදුවේ කෙටි පාරකින් ලෝකේ පාලකයා වෙන්න යේසුස්ව පොලඹවන්න. (මතෙ. 4:8, 9) ඒ මදිවට යේසුස්ගේ කිට්ටු යාළුවෙක් වුණ පේතෘස් දවසක් යේසුස්ට කිව්වා “ස්වාමීනි, ඔයා ගැනත් ටිකක් හිතන්න” කියලා. එයා කියන්න හැදුවේ දුක් විඳින්නේ නැතුව ලේසියෙන්ම දේවල් කරගන්න පුළුවන් කියලයි.—මතෙ. 16:21, 22.
8. අවධානය බිඳෙන්න නොදී තියාගන්න යේසුස් මොනවාද කළේ?
8 අවධානය බිඳෙන්න පුළුවන් දේවල් තිබුණත් යෙහෝවාට දිගටම මුල් තැන දෙන්න යේසුස්ට උදව් වුණේ මොනවාද? යේසුස් දේවල් තුනක් කළා. (1) එයා හැම වෙලාවෙම හිතුවේ යෙහෝවා හිතන විදිහට. (යොහ. 8:28; 14:9) (2) එයා එයාගේ මුළු කාලේම වගේ යෙදෙව්වේ මිනිස්සුන්ට උගන්නන්න, දේශනා කරන්න. (මතෙ. 9:35) (3) වඩා වැදගත් දේ මොකක්ද කියන එක ගැන එයා හොඳට තේරුම් අරන් හිටියා. (යොහ. 4:34) සාතන් දෙන්න හදපු දේ එයා එකහෙළාම ප්‍රතික්ෂේප කළා. උදව් කරන්න හිතාගෙන පේතෘස් කියපු දේ යෙහෝවාගේ කැමැත්ත නෙවෙයි කියලා යේසුස් දැනන් හිටියා. (මතෙ. 4:10; 16:23) මිනිස්සු හිතපු, කියපු කරපු දේවලට යේසුස් ඉඩ දුන්නේ නැහැ යෙහෝවාගේ කැමැත්ත කරන එකෙන් එයාව වෙන පැත්තකට හරවන්න. ඇත්ත, අද අපේ අවධානය වෙන පැත්තකට හරවන දේවල් යේසුස්ට බාධා වෙන්න තිබුණ දේවලට වඩා වෙනස්. හැබැයි යේසුස්ට උදව් වුණ දේවල් තුනම අපිත් කළොත් අපිටත් පුළුවන් දිගටම අපේ ජීවිතේ මුල් තැන යෙහෝවාට දෙන්න.
අවධානය බිඳෙන්න නොදී තියාගන්න නම්
9. එෆීස 5:17 අපිට කරන්න කියන්නේ මොකක්ද?
9 යෙහෝවා හිතන විදිහට හිතන්න ඉගෙනගන්න. එහෙම කරද්දී අපි කරන්නේ “යෙහෝවා සතුටු වෙන්නේ මොන දේවල්වලින්ද කියලා තේරුම්ගන්න දිගටම උත්සාහ කරන” එකයි. (එෆීස 5:17 කියවන්න.) බයිබලේ කියවලා ඒ ගැන හිතන්න කාලේ ගද්දී යෙහෝවා සතුටු වෙන්නේ මොන දේවලින්ද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. ඔයා මූණ දෙන තත්වේ ගැන බයිබලේ කෙළින්ම කතා කරලා නැති අවස්ථාවලදී වුණත් යෙහෝවා ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න ඔයාට පුළුවන්. හැබැයි ඒක කරන්න නම් යෙහෝවා හිතන විදිහ තව හොඳට තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට බයිබලේ අධ්‍යයනය කරන්න. ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න.
10. යෙහෝවා හිතන විදිහට හිතන්න අපිට ඉගෙනගන්න පුළුවන් කොහොමද?
10 බයිබලේ අධ්‍යයනය කරලා යෙහෝවා මිනිස්සු එක්ක වැඩ කළේ කොහොමද කියලා හිතද්දී අපිට පුළුවන් යෙහෝවා හිතන විදිහට හිතන්න ඉගෙනගන්න. (යෙරෙ. 45:5) බයිබලේ තියෙන සිද්ධියක් කියෙව්වාට පස්සේ මෙහෙම හිතන්න. ‘මේ සිද්ධියෙන් මට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා හිතන විදිහට හිතන්න නං මං වෙනස් කරගන්න ඕනෙ මොන වගේ දේවල්ද?’ ඇත්ත, යෙහෝවා හිතන විදිහ අපි හිතන විදිහට වඩා හුඟක් උසස්. (යෙසා. 55:9) ඉතින් අපි ඔහුට යාච්ඤා කරලා ඔහු කැමති දේ කරන්න උගන්නන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න ඕනේ. (ගීතා. 143:10) වැඩි වැඩියෙන් ඔහු වගේ හිතන්න උදව් කරන්න කියලත් අපි ඉල්ලන්න ඕනේ.—1 යොහ. 5:14.
11. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
11 යෙහෝවා හිතන විදිහට හිතන්න ඉගෙනගද්දී අපි තේරුම්ගන්නවා යෙහෝවාට ඕනෙ අවසානේ එද්දී අපි ඒකට මූණ දෙන්න ලෑස්ති පිට ඉන්නවා දකින්නයි කියලා. (මතෙ. 24:44) ඒ නිසයි ඔහු කැමති නැත්තේ ඇත්තටම වැදගත් දේ මොකක්ද කියන එක අපිට අමතක වෙනවාට. (මතෙ. 6:31, 32) එදිනෙදා කරදරවලින් අපේ මනස බර වෙලා තියෙනවා දකින්නත් ඔහු කැමති නැහැ. ඒ නිසයි අසනීප ගැන, රැකියාව ගැන, ගෙවල් දොරවල් ගැන, පවුලේ දේවල් ගැන හිතට බරක් දැනෙද්දී මොනවාද කරන්න ඕනෙ කියලා ඔහු අපිට හොඳ මඟ පෙන්වීම් දීලා තියෙන්නේ. අපිට ඕන කරන ප්‍රඥාව, ශක්තිය අපි ඔහුගෙන් ඉල්ලනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඒවා දීලා අපිට උදව් කරනවා.—ගීතා. 55:22; හිතෝ. 3:5-7.
12. ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන කනස්සලු නොවී ඉන්න උදව් වෙන එක දෙයක් මොකක්ද? (මතෙව් 5:3)
12 යෙහෝවා එක්ක බැඳීම වැඩි කරන දේවලට වැඩි කාලයක් දෙන්න. ලෝකේ වෙන දේවල් ගැන අපි හැමෝම වධ වෙනවා. ඒත් ඒවා වෙනස් කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් ඒවාට අවධානය දෙනවා වෙනුවට යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන දේවලට අපි වැඩි කාලයක් දෙන්න ඕනේ. එතකොට අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන්. මොකද යෙහෝවා අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ දේවල් කළාම සතුටක් ලැබෙන විදිහට. (මතෙව් 5:3 කියවන්න.) බයිබලේ අධ්‍යයනය කරද්දී, ඔහුට සේවේ කරන්න අපිට පුළුවන් හැම දේම කරද්දී අපි කරන්නේ ඔහු එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න එකයි. ඒ විදිහට අපි කාලය ඥානවන්තව පාවිච්චි කරද්දී යෙහෝවාගේ හිත සතුටින් පිරෙනවා.—හිතෝ. 23:15.
13. අපේ “කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න” පුළුවන් කොහොමද?
13 අපි අපේ කාලය පාවිච්චි කරන්න ඕනෙ ඒකෙන් ‘උපරිම ප්‍රයෝජන ලැබෙන විදිහට.’ (එෆී. 5:15, 16) ඒ බයිබල් පදවලින් කියන්නේ එදිනෙදා වැඩවලට අපි අපේ කාලය සැලසුම් කරගන්න ඕන විදිහ ගැන හිතන්න කියලා විතරක් නෙවෙයි. මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න කලින් ඉතුරු වෙලා තියෙන මේ කාලය අපි පාවිච්චි කරන්නේ මොන වගේ දේවලටද කියලා හොඳට හිතන්නත් ඕනෙ කියලයි. කොහොමද ඒක කරන්නේ? අපි නිව්ස් අහන්න, බලන්න, කියවන්න ලොකු කාලයක් දෙද්දී ලෝකේ වෙන දේවල් නිසා අපි අධෛර්යය වෙයි. නමස්කාරේ දේවල් උද්‍යෝගයෙන් කරන්න බැරි තරමට අපි මනසින් වැටෙයි. එහෙම බලද්දී ඒ වගේ දේවලට දෙන කාලෙට සීමාවක් දාගන්න එක හරිම වැදගත්. එතකොට යෙහෝවා වෙනුවෙන් දේවල් කරන්න අපිට වැඩි කාලයක්, ශක්තියක් තියෙයි. පුළුවන් හැම වෙලාවකම වැඩිපුර සේවේ හවුල් වෙන එකත් හොඳ දෙයක්. උදාහරණෙකට අපිට පුළුවන්ද තව වැඩියෙන් නැවත බැලීම් කරන්න? මොකද අපි දන්නවා ‘මිනිස්සුන්ට ගැලවීම ලබාගන්න වගේම එයාලට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න’ උදව් කරන්න අපිට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න එක වැදගත් කියලා.—1 තිමෝ. 2:4.
14. නමස්කාරයේ දේවලට වැඩි කාලයක් දෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)
14 යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන දේවලට වැඩිපුර කාලේ දෙද්දී ඒක අපිට උදව් වෙනවා ලෝකේ මෙච්චර නරක දේවල් වෙන්න හේතුව අමතක නොකර ඉන්න. එතකොට දේශපාලන ගැටුම්, ආර්ථික ප්‍රශ්න, වේගයෙන් පැතිරෙන වසංගත වගේ දේවල් ගැන අපි ඕනෑවට වඩා කලබල වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒවා වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා කියලා. ඉතින් අපි බය වෙලා අපේ අවධානය වෙන වෙන දේවලට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා මේ හැම දෙයක්ම අවසන් කරනවා කියලා දීලා තියෙන පොරොන්දුව දිහා අපි විශ්වාසෙන් බලන් ඉන්නවා. ඒ වෙන කල් මේ දේවල් දරාගන්න ඔහු අපිට උදව් කරනවා කියලා දැනන් ඉන්න එක සන්සුන්ව ඉන්න අපිට උදව්වක්.—ගීතා. 16:8; 112:1, 6-8.
හිත කලඹන දේවල් කොච්චර සිද්ධ වුණත් නමස්කාරයේ දේවලට මුල් තැන දෙන්න (14 ඡේදය බලන්න)b
15. 1 පේතෘස් 4:7 කියන්නේ මොකක් කරන්න කියලද? ඒ ඇයි?
15 වඩාත්ම වැදගත් දේ මොකක්ද කියලා අමතක කරන්න එපා. අද හුඟදෙනෙක් වැඩි අවධානයක් දෙන්නේ විනෝදයට. මේ සමාජයේ අවසානය අත ළඟයි කියලා එයාලාගේ ඔළුවේ නැහැ. විනෝද වෙන්න දේවල් කරන එකේ වරදක් නැහැ. ඒත් මේ ලෝකේ අය විනෝදය ගැන හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනේ. ඒක කරන්න නම් අපි “හොඳ සිහිකල්පනාවෙන් ඉන්න” ඕනේ. (1 පේතෘස් 4:7 කියවන්න.) ඒක අපිට උදව් වෙනවා අපේ මුළු ජීවිතේම විනෝදෙට දෙනවා වෙනුවට හොඳට හිතලා බලලා හරි තීරණ ගන්න. ඒ විදිහට අපි කාලය ඥානවන්තව පාවිච්චි කරද්දී අපි පෙන්නනවා අපි යෙහෝවා හිතන විදිහට හිතනවා කියලා. ඒ වගේම වඩා වැදගත් දේවල් මොනවාද කියලා අපි තේරුම් අරන් ඉන්නවා කියලා.—2 තිමෝ. 1:7.
16. මරණය ළං වෙලා තියෙද්දී යේසුස් අවධානය දුන්නේ මොනවාටද?
16 වැඩියෙන්ම වැදගත් මොකක්ද කියලා යේසුස් කවදාවත් අමතක කළේ නැහැ. පොළොවේ හිටපු අන්තිම දවස් ටිකේදී, මරණයට ළං වෙලා ඉද්දී වුණත් එයා වැඩියෙන්ම අවධානය දුන්නේ යෙහෝවාට විශ්වාසවන්තව ඉඳලා ඔහුගේ කැමැත්ත කරන එකට. ඒකයි යේසුස් ලොකු වුවමනාවකින් යාච්ඤා කළේ. ඒත් එයාගේ ගෝලයන්ට නම් ඒක කරන්න බැරි වුණා. “හිතේ වේදනාව නිසා හෙම්බත් වෙලා හිටපු” එයාලා නින්දට වැටුණා.—ලූක් 22:39-46; යොහ. 19:30.
17. වැඩිදෙනෙක් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ ඇයි? ඒ නිසා අවධානය වෙන පැත්තකට යන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 සමහර වෙලාවලදී යේසුස්ගේ ගෝලයන් වගේ අපිත් මනසින් වැටෙයි, හෙම්බත් වෙයි. අවසාන දවස්වල සිද්ධ වෙන දේවල් නිසා අපිට කනස්සල්ලක් දැනෙයි. ප්‍රශ්න අමතක කරන්න හිතාගෙන අද හුඟදෙනෙක් සෑහෙන වෙලාවක් සෝෂල් මීඩියාවල ඉන්නවා. එයාලා ඒ හරහා ලෝකේ වටේම ඉන්න යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක ෆොටෝ හුවමාරු කරගන්නවා. ජීවිතේ වෙන අලුත්ම දේවල් බෙදාගන්නවා. වීඩියෝ, චිත්‍රපටි බලනවා. ගේම්ස් ගහනවා. ඒත් සෝෂල් මීඩියාවල කියවන්න, බලන්න ඉවරයක් නැති තරම් දේවල් තියෙන නිසා හැම දවසකම කොච්චර කාලයක්, ශක්තියක් වැය වෙනවාද කියලා එයාලවත් දන්නේ නැහැ. ඒ උගුලට අහු නොවී ඉන්න නම් මෙහෙම හිතන්න. ‘සෝෂල් මීඩියා පාවිච්චි කරලා මං කරන දේවලින් මට ප්‍රයෝජනයක් තියෙනවාද? නැත්නම් ඒකෙන් වෙන්නේ මගේ මනසෙන් වඩා වැදගත් දේ බොඳ වෙලා යන එකද?’
සෝෂල් මීඩියාවලින්, විනෝදයට කරන දේවලින් අපේ මනස වෙන පැත්තකට යන්න නොදී තියාගන්න නම් අපි ඥානවන්ත තීරණ ගන්න ඕනේ (17 ඡේදය බලන්න)
18. විනෝද වෙන්න දේවල් තෝරගද්දී හොඳට හිතලා බලන්න ඕනෙ ඇයි?
18 ඉඳලා හිටලා විනෝද වෙන එක, සැහැල්ලුවෙන් ඉන්න එක හොඳයි. ඒත් අපි ඉන්ටර්නෙට් එකෙන් බලන්න චිත්‍රපටි, නාට්‍ය, පොඩි පොඩි වීඩියෝ තෝරගද්දී, ගේම්ස් තෝරගද්දී අපි තෝරගන්නේ මොන වගේ දේවල්ද කියලා හොඳට හිතන්න ඕනේ. අපි චිත්‍රපටියක්, වීඩියෝ එකක් බැලුවාම ඒ වගේ තවත් ඒවා තියෙනවා කියලා නිතරම අපිට පෙන්නනවා. එක වීඩියෝ එකක් බැලුවාම තව එකක්, ඊටපස්සේ තව එකක්. ඒ විදිහට දිගින් දිගටම වීඩියෝ බලන්න අපි පෙලඹෙයි. ඒත් ඒ එන සමහර වීඩියෝවල හරිම දරුණු දේවල්, දුරාචාරයට සම්බන්ධ දේවල් තියෙන්න පුළුවන්. ආසියාවේ එක සහෝදරයෙක් සමහර චිත්‍රපටිවල පොඩි පොඩි කොටස් පෙන්නන වීඩියෝ බැලුවා. ඊටපස්සේ, බලන්න කියලා ස්ක්‍රීන් එකට ආපු අනිත් වීඩියෝත් එයා දිගටම බැලුවා. ඔහොම යද්දී එයා ලිංගික දේවල් ඇතුළත් වීඩියෝත් බලන්න පටන්ගත්තා. අන්තිමේදී එයා අසභ්‍ය දර්ශන බලන උගුලට අහු වුණා. ඒත් වැඩිමහල්ලන්ගෙයි, කිට්ටු යාළුවන්ගෙයි උදව්වෙන් එයාට පුළුවන් වුණා ඒ පුරුද්දෙන් ගොඩ එන්න. ඊටපස්සේ එයා ෆෝන් එකේ තිබුණ සමහර වෙබ් සයිට්, ඇප් ඩිලීට් කරලා ෆෝන් එක පාවිච්චි කරන කාලෙත් අඩු කළා. විනෝද වෙන්න දේවල් තෝරගද්දී හොඳට හිතලා බලන එක කොච්චර වැදගත්ද කියලා ඒ අද්දැකීමෙන් පේනවා.
19. විනෝදෙට මුල් තැන දුන්නොත් මොකක් වෙයිද?
19 විවේකයෙන් ඉන්න, නිවාඩුවකට කොහේ හරි යන්න ගන්න තීරණත් අපි ඥානවන්තව ගන්න ඕනේ. කාලෙන් කාලෙට විවේකයක් ගන්න එක, කොහේ හරි ගිහින් විනෝද වෙන එක හොඳ දෙයක්. ඒක අපේ සෞඛ්‍යයටත් හොඳයි. හැබැයි අපි ඒ දේවලටම අපේ ජීවිතේ මුල් තැන දුන්නොත් වැදගත් දේවලට දෙන්න කාලයක් නැති වෙයි. (ෆිලි. 1:10) විවේකයෙන් ඉන්න අපි මොනවාද කරන්නේ, ඒ වෙනුවෙන් කොච්චර කාලයක් දෙනවාද කියන එක ගැන අපි තීරණේ කරන්න ඕනේ. ඒ වගේ තීරණ ගද්දී මෙහෙම හිතන්න. ‘ඒ වෙනුවෙන් මං දෙන කාලෙන් පේනවාද මං ඥානවන්ත තීරණ ගන්න කෙනෙක් කියලා? මං වැදගත් දේවලට මුල් තැන දීලාද තියෙන්නේ? මේ දුෂ්ට සමාජයේ අවසානයට මූණ දෙන්න මං ලෑස්තිද?’
20. අවධානය වෙන පැත්තකට යන්න නොදී තියාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
20 යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන දේවලින් අපේ අවධානය වෙන පැත්තකට යන්න නොදී තියාගන්න එකෙන් අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. (යෙසා. 48:17) අපිට එන ඕනෑම අභියෝගයක් යෙහෝවාගේ උදව්වෙන් දරාගන්න අපිට පුළුවන්. මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දැකලා අපි සැලෙන්නේ නැහැ. විනෝද වෙන එක අපි අපේ මුළු ජීවිතේම කරගන්නේ නැහැ. ඉතින් අපි දිගටම යෙහෝවා වගේ හිතන්න අදිටන් කරගමු. නමස්කාරයට සම්බන්ධ දේවලට වැඩි කාලයක් දෙමු. වැදගත්ම දේ මොකක්ද කියලා කවදාවත් අමතක නොකර ඉමු. එහෙම කරනවා නම් අපිට අපේ අවධානය වෙන පැත්තකට යන්න නොදී තියාගන්න පුළුවන් වගේම “සැබෑ ජීවිතය තදින් අල්ලගන්නත්” පුළුවන්.—1 තිමෝ. 6:19.
ගීතිකාව 129 දිගටම විඳදරාගමු
a ඒකට බයිබලේ අධ්‍යයනය කරන එක, රැස්වීම්වලට සහභාගි වෙන එක, පවුලේ නමස්කාරය කරන එක, සේවේ යන එක වගේම නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලට හවුල් වෙන එක, සහන සේවා වැඩවලට උදව් කරන එක, සමුළුවල වැඩවලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එක සහ බෙතෙල් එකේ සේවේ කරන එක ඇතුළත්.
b පින්තූරේ අදහස: ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන හිතහිත කරදර වෙනවා වෙනුවට යුවළක් සේවෙට වැඩි කාලයක් දෙනවා.