ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මාර්තු 8-13 පි.
  • හැම දේකම පාලකයාණන්ව විශ්වාස කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම දේකම පාලකයාණන්ව විශ්වාස කරන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “සාතන් එතනට ආවා”
  • යෙහෝවා තමයි සීමා දාන්නේ
  • යෙහෝවා යෝබ්ගේ වේදනාවලට නිමාවක් ගෙනාවා
  • යෙහෝවාට ළැදි අයට ඔහු ආදරෙයි
  • යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න
  • දුක් වේදනා අද්දකිද්දී යෝබ් පොතෙන් සහනයක්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මාර්තු 8-13 පි.

2026 මැයි 11-17

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

හැම දේකම පාලකයාණන්ව විශ්වාස කරන්න

‘යෙහෝවා, මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි.’—ගීතා. 83:18.

ලිපියේ අරමුණ

හැම දේකම පාලකයාණන් යෙහෝවා කියලත් දැනුත් අනාගතයේදීත් අපිට එන ප්‍රශ්නවලින් ගොඩ එන්න ඔහු අපිට උදව් කරනවා කියලත් අපිට තියෙන විශ්වාසේ තව වැඩි කරගන්න මේ ලිපිය උදව් කරනවා.

1. යෝබ්ට මූණ දෙන්න වුණ දරුණු දේවල් මොනවාද?

අතීතයේ ජීවත් වුණ යෝබ්ට හැම දේම නැති වුණා. එයාගේ දරුවෝ හැමෝම මැරුණා. එයාට දරුණු අසනීපයක් හැදුණා. එයාගේ ධන සම්පත් නැති වුණා. එයාට තිබුණ හොඳ නම නැත්තටම නැති වෙලා ගියා. යාළුවෝ කියලා එයාව සනසන්න ආපු අය එයාගේ හිත රිද්දුවා. වෙච්ච දේවල් නිසා කලකිරිලා හිටපු එයාගේ බිරිඳ පවා කිව්වේ එයා “දෙවියන්ට ශාප කරලා මැරුණා නම්” හොඳයි කියලා. (යෝබ් 2:9; 15:4, 5; 19:1-3) ඒ දේවල් නිසා යෝබ්ගේ හිතේ යෙහෝවා ගැන තිබ්බ විශ්වාසේ වුණත් හෙල්ලෙන්න ඉඩ තිබුණා. යෙහෝවාට ආදරේ කරන, නමස්කාර කරන අයව ඔහු බලාගන්නේ නැහැ කියලා යෝබ් සැක කරන්නත් ඉඩ තිබුණා.

2-3. අමාරු දේවලට මූණ දෙද්දී අපිට කොහොම හිතෙන්න පුළුවන්ද? යෝබ් පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2 අමාරු දේවලට මූණ දෙද්දී යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන්. අපි ඉන්නේ “හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලෙක.” (2 තිමෝ. 3:1) ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී ‘තවත් නං මේවා දරාගන්න බෑ’ කියලා අපිට දැනෙයි. සමහරුන්ට හිතෙයි ‘යෙහෝවා ඇත්තටම මට ආදරෙයිද’ කියලා.

3 ඔයාටත් එහෙම දැනෙනවා නම් අධෛර්යය වෙන්න එපා. යෙහෝවාට ළැදි අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ කියලා යෝබ් තේරුම්ගත්තා. අපිටත් පුළුවන් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා ගැන ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න. ඒකට උදව් වෙන කරුණු දෙකක් යෝබ් පොතේ තියෙනවා. (1) යෙහෝවා තමයි උසස්ම පාලකයාණන්. (2) ලෝකේ තියෙන ඕනම දෙයක් පාලනය කරලා ඔහුගේ අරමුණ ඉටු කරන්නත් ඔහුගේ සෙනඟට සදහටම හානියක් වෙන්න පුළුවන් දේවලින් එයාලව ආරක්ෂා කරන්නත් ඔහුට පුළුවන්.

“සාතන් එතනට ආවා”

4. යෙහෝවා සහ දේවදූතයන් ස්වර්ගයේ එකට රැස් වුණ වෙලාවේ මොකද වුණේ?

4 දවසක් “සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්” දෙවියන් ඉස්සරහා ස්වර්ගයේදී රැස් වුණා. බයිබලේ කියනවා “සාතනුත් එතනට ආවා” කියලා. (යෝබ් 1:6) “සාතන්” කියන නම බයිබලේ මුලින්ම ලියවිලා තියෙන්නේ එතනයි. ඒ නම එයාට වැටුණේ එයා දෙවියන්ට විරුද්ධව වැඩ කරන නිසයි. ඒ වෙද්දී සාතන් දෙවියන්ගේ විශ්වාසවන්ත පුතෙක් නෙවෙයි. එයා දෙවියන්ගෙත් විශ්වාසවන්ත දේවදූතයන්ගෙත් පොළොවේ හිටපු විශ්වාසවන්ත සේවකයන්ගෙත් හතුරෙක් වෙලයි හිටියේ. උත්පත්ති 3:15 කියන විදිහට “පැවතෙන කෙනාව” බිහි කරන “ස්ත්‍රියට,” ඒ කියන්නේ යෙහෝවාගේ පවුලේ ස්වර්ගයේ තියෙන කොටසට සාතන් අයිති නැහැ.

5. සාතන් කිව්ව දේවලින් සහ යෙහෝවා එයාට උත්තර දුන්න විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 යෙහෝවාට ඕන වුණා එදා වෙච්ච දේවල් ගැන අපිත් දැනගන්නවාට. ඒකයි ඒ රැස්වීමේ වුණ දේවල් ගැන ඔහු බයිබලේට ඇතුළත් කළේ. එතනදී සාතන් කියපු දේවලින් පේනවා එයා කිසිම හිතක් පපුවක් නැති, දුෂ්ට අපහාස කරන්නෙක් කියලා. (යෝබ් 1:9; එළි. 12:10) අපිට සහනයක් වෙන දේකුත් ඒ රැස්වීමෙන් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා ඔහුගේ අසීමිත බලය පාවිච්චි කරන්නේ සාධාරණව, හරිම විදිහට. ඒ වගේම සියලු බලැති දෙවියන් විදිහට යෙහෝවා තමයි කෙනෙක්ට කරන්න පුළුවන් මොනවාද, බැරි මොනවාද කියන දේට සීමා දාන්නේ.

යෙහෝවා තමයි සීමා දාන්නේ

6. ස්වර්ගයේ තිබුණ රැස්වීමේ සම්පූර්ණ පාලනය තිබුණේ යෙහෝවාගේ අතේ කියලා ඔහු පෙන්නුවේ කොහොමද? (යෝබ් 1:7, 8)

6 යෝබ් 1:7, 8 කියවන්න. එදා තිබුණ ඒ රැස්වීමේ සම්පූර්ණ පාලනය තිබුණේ යෙහෝවාගේ අතේ. ඔහු හොඳින්ම දැනන් හිටියා සාතන්ට ඕනෙ යෝබ්ට පහර දෙන්න කියලා. ඒ නිසා යෙහෝවාම කතාව පටන් අරන් සාතන්ගෙන් මෙහෙම ඇහුවා. “මගේ සේවක යෝබ් ගැන ඔයා මොනවාද හිතන්නේ?” දැන් අපි බලමු යෝබ්ට උදව් කරන්න යෙහෝවා ඔහුගේ අසීමිත බලය පාවිච්චි කළේ කොහොමද කියලා.

7. මිනිස්සු දෙවියන්ට නමස්කාර කරන හේතුව ගැන සාතන් ඇඟෙව්වේ මොනවාද? (යෝබ් 1:10, 11)

7 යෝබ් 1:10, 11 කියවන්න. යෙහෝවා තමයි හැම කෙනෙක්ටම ඉහළින් ඉන්න උසස්ම පාලකයාණන්. තමන් කැමති ඕනම දෙයක් කරන්න ඔහුට බලය තියෙනවා. ඕනම අවස්ථාවකදී කරන්න ඕන හරිම දේ මොකක්ද කියලත් ඔහු දන්නවා. (යෙරෙ. 32:17; දානි. 4:35) ඒත් සාතන් කිව්වා ඔහු ඒ බලය හරි විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා. මිනිස්සුන්ගේ නමස්කාරය ගන්න ඕන නිසයි දෙවියන් එයාලට දේවල් දෙන්නේ කියලා සාතන් කිව්වා. යෙහෝවා යෝබ් වෙනුවෙන් දේවල් කළෙත් ඒ නිසා කියලයි සාතන් කිව්වේ. සාතන් ඇඟෙව්වා මිනිස්සු දෙවියන්ට නමස්කාර කරන්නෙත් ඔහුගෙන් දේවල් ලැබෙන නිසා කියලා. යෙහෝවා කොහොමද ඒවාට උත්තර දුන්නේ?

8-9. යෙහෝවා සාතන්ට දාපු සීමා මොනවාද? ඒ ඇයි? (යෝබ් 1:12) (පින්තූරයත් බලන්න.)

8 යෝබ් 1:12 කියවන්න. සාතන් කරපු චෝදනාවේ ඇත්ත නැත්ත පෙන්නන්න යෙහෝවා එයාට ඉඩ දුන්නා. හැබැයි යෙහෝවා සාතන්ට පැහැදිලි සීමාවක් දැම්මා. ඔහු සාතන්ට කිව්වා ‘යෝබ්ට අත තියන්න එපා’ කියලා. ඒක එදා එතන හිටපු හැම දේවදූතයෙක්ටම ඇහුණා. යෙහෝවා දාපු සීමාවට එපිටින් ගිහින් යෝබ්ට කිසිම දෙයක් කරන්න සාතන්ට බලයක් තිබුණේ නැහැ. අදටත් යෙහෝවා දාලා තියෙන සීමාවලින් එහාට යන්න සාතන්ට බැහැ. ඒ විදිහට යෝබ්ව ආරක්ෂා කරන්නත් තමන්ගේ නමට ඇති වුණ කැළල අයින් කරන්නත් යෙහෝවා ඔහුගේ බලය පාවිච්චි කළා.

9 සාතන්ගේ උත්සාහය වතුරේ ගියා. මොකද යෝබ් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. (යෝබ් 1:22) ඒත් සාතන් එතනින් නතර වුණේ නැහැ.

සාතන් ස්වර්ගයේදී දේවදූතයන් ඉස්සරහා යෙහෝවාට අගෞරවයක් වෙන විදිහට කතා කරනවා.

දේවදූතයන් ඉස්සරහා සාතන්ගේ චෝදනාව ඉදිරිපත් කරන්න යෙහෝවා සාතන්ට ඉඩ දුන්නා (8-9 ඡේද බලන්න)


10. යෝබ්ට ආයෙත් සැරයක් පහර දෙන්න යෙහෝවා සාතන්ට ඉඩහැරියේ ඇයි? (යෝබ් 2:2-6)

10 යෝබ් 2:2-6 කියවන්න. යෝබ්ගේ විශ්වාසවන්තකම කඩන්න සාතන් මෙදා සැරේ වැඩ කළේ කලින්ටත් වඩා කුරිරු විදිහට. ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා යෝබ්ට තේරුණොත් එයා යෙහෝවාව අත්හරියි කියලා සාතන් කිව්වා. ඒ චෝදනාවත් බොරුයි කියලා ඔප්පු කරන්න විශ්වාසවන්ත යෝබ්ට පහර දෙන්න යෙහෝවා සාතන්ට ඉඩ දුන්නා. හැබැයි මේ වතාවේදීත් යෙහෝවා සීමාවක් දාලා මෙහෙම කිව්වා. “එයාගේ ජීවිතේට අනතුරක් කරන්න එපා.” ඒ නිසා යෙහෝවා දාපු සීමාවෙන් එහාට ගිහිල්ලා යෝබ්ගේ ජීවිතේට අනතුරක් කරන්න සාතන්ට බැරි වුණා. ඒ විදිහට යෙහෝවා ආයෙත් සැරයක් ඔප්පු කරලා පෙන්නුවා ඔහුට වඩා බලවත් පාලකයෙක් නැහැ කියලා. යෙහෝවා ඉඩ දුන්න දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න සාතන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ.

යෙහෝවා යෝබ්ගේ වේදනාවලට නිමාවක් ගෙනාවා

11. යෙහෝවා යෝබ් මූණ දුන්න පීඩාවලට නිමාවක් ගෙනාවාට පස්සේ එයාට ආශීර්වාද කළේ කොහොමද? (යෝබ් 42:10-13)

11 යෝබ් 42:10-13 කියවන්න. මොන දේ වුණත් යෝබ් යෙහෝවාව අත්හරින්නේ නැහැ කියලා පැහැදිලි වුණාම යෙහෝවා සාතන්ට ඉඩ දුන්නේ නැහැ යෝබ්ට දිගටම පහර දෙන්න. යෙහෝවා යෝබ් මූණ දුන්න දුක් කරදරවලට නිමාවක් ගෙනාවා. මේ වතාවේදීත් යෙහෝවාගේ තීරණේට හරස් වෙන්න සාතන්ට කිසිම බලයක් තිබුණේ නැහැ. යෝබ්ව ආරක්ෂා කරන එකෙන්, එයාට ආශීර්වාද කරන එකෙන් යෙහෝවාව වළක්වන්න සාතන්ට බැරි වුණා.

12. ගලවගන්න යෙහෝවාට තියෙන බලය ගැන විශ්වාසේ තියන අය වෙනුවෙන් ඔහු කරන්නේ මොනවාද?

12 තමන්ගේ සේවකයන්ව ගලවගන්න යෙහෝවාට තියෙන බලය මේ අන්තිම කාලේ ඉන්න හුඟදෙනෙක් අද්දැකලා තියෙනවා. උදාහරණෙකට 1945 ජර්මනියේ නාට්සි කඳවුරක හිටපු සාක්ෂිකරුවන් 230දෙනෙක්ව සෙබළුන් හරිම භයානක, දිග පා ගමනක එක්කන් ගියා. එයාලට ඕන වුණේ සාක්ෂිකරුවන්ව මරලා දාන්න. හැබැයි එක් කෙනෙක්ගෙවත් ජීවිතවලට හානියක් වුණේ නැහැ. ඒ බිහිසුණු අද්දැකීම ගැන එයාලා මෙහෙම ලිව්වා. “ඇඟෙන් කිසිම දුම් ගඳක්වත් එන්නේ නැති විදිහට හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාව යෙහෝවා ගිනි උදුනෙන් බේරගත්තා වගේ අපිවත් බේරගත්තා. ඒ පීඩාව ඉවර වෙද්දී අපේ විශ්වාසේ තවත් ශක්තිමත් වුණා. මොකද යෙහෝවා අපිව බලවත් කළා. මේ සිංහ කටෙන් යෙහෝවා අපිව ගලවගත්ත දවසේ ඉඳන් අපේ එකම අධිෂ්ඨානය වුණේ ඔහුට සදහටම සේවේ කරන එකයි. ඒ තරම් ආශීර්වාදයක් තවත් නැහැ.”—දානි. 3:27; 6:22.

13. ප්‍රශ්නවලට මූණ දෙද්දී ඔයාට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද? (පින්තූරත් බලන්න.)

13 සමහර ප්‍රශ්නවලට මූණ දෙද්දී අපිටත් දැනෙයි අපිව සිංහ ගුහාවකට වීසි කරලා වගේ කියලා. (1 පේතෘ. 5:8-10) අපිව තළාපෙළා දාලා කියලා අපිට හිතෙයි. ‘මේ ප්‍රශ්නේ කවදා නං ඉවර වෙයිද’ කියලා අපි කල්පනා කරයි. ඒ වගේ වෙලාවට යෝබ්ගේ අද්දැකීම මතක් කරගන්න එක උදව්වක්. අපේ වේදනාවන් අයින් කරන්න යෙහෝවාට තියෙන බලය ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසේ තියන්න අපිට පුළුවන්. ඔහු ඒ දේ දැන් කරන්නත් පුළුවන්, පාරාදීසේදී කරන්නත් පුළුවන්. මේ දුෂ්ට සමාජය අවසන් කරන දවස ඔහු දැනටමත් තීරණේ කරලා ඉවරයි. ඒක තව එක දවසකින්වත් ඉස්සරහට ඇදෙන්නේ නැහැ.

පින්තූරවල අදහස: එක එක විදිවලින් දුක් විඳින යෙහෝවාගේ සේවකයන් 1. කනත්තක මිනී වළක් ළඟ ඉන්න වයසක සහෝදරයෙක්ව තරුණ සහෝදරයෙක් සනසනවා. 2. දෙමාපියන් ඉස්පිරිතාලේ අසනීපෙන් ඉන්න එයාලාගේ දුව ළඟ වාඩි වෙලා ඉන්නවා. 3. හිරේ ඉන්න සහෝදරයෙක් ගිනි අව්වේ වළක් හාරන අතරේ තුවක්කුවක් අතේ තියෙන හමුදා නිලධාරියෙක් එයාව මුර කරනවා.

යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් විඳින දුක් කරදරවලට ඔහු නිමාවක් ගේනවා (13 ඡේදය බලන්න)


යෙහෝවාට ළැදි අයට ඔහු ආදරෙයි

14-15. දෙවියන්ට ළැදි අය වෙනුවෙන් මොනවා කරන්නද ඔහු ආසාවෙන් ඉන්නේ? ඒ ඇයි? (යෝබ් 14:15) ( පින්තූරයත් බලන්න.)

14 යෝබ් 14:15 කියවන්න. යෙහෝවාට ළැදි අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ. ඔහු එයාලට කොච්චර ආදරෙයිද කියනවා නම් එයාලා මැරුණත් ඔහු එයාලට ආයේ ජීවිතේ දෙනවා. ඔහු මරණය නිසා ඇති වෙන වේදනාව නැති කරනවා.—යෙසා. 65:17.

15 පීඩා ඉවර වුණත් යෝබ්ට දිගටම ජීවත් වෙන්න වුණේ සාතන්ගේ දුෂ්ට සමාජයේ. ඒත් බයිබලේ කියනවා හිතාගන්න බැරි විදිහට යෙහෝවා එයාට ආශීර්වාද කළා කියලා. යෙහෝවා යෝබ්ව සුව කළා. එයාට කලින් තිබුණාටත් වඩා වැඩියෙන් දේවල් දුන්නා. ඒ යෝබ් අද්දැක්කේ අනාගතයේදී එයා අද්දකින්න යන ආශීර්වාදවලින් බිඳක් විතරයි. ඇත්තටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න හැමෝටම කිසිම අඩුවක් නැතුව පාරාදීසේ සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ඔහු දෙනවා. (එළි. 21:3, 4) උසස්ම පාලකයා විදිහට ඒ දේ කරන්න යෙහෝවාට ලොකු ආසාවක් තියෙනවා. ප්‍රශ්නවලට මූණ දෙද්දී ඒක මතක තියාගන්න එක කොච්චර සහනයක්ද!

නිරෝගීව, හොඳට ඇඳ පැලඳගෙන ඉන්න යෝබ් එයාවයි, එයාගේ නෝනාවයි බලන්න එයාලාගේ ගෙදරට ආපු යාළුවෝ එක්ක සතුටින් ඉන්නවා.

පීඩාවන් ඉවර වුණාට පස්සේ යෝබ්ටයි, එයාගේ බිරිඳටයි යෙහෝවා ගොඩක් ආශීර්වාද කළා (14-15 ඡේද බලන්න)


16. යෙහෝවා තමයි උසස්ම පාලකයාණන් කියලා විශ්වාස කරන්න තියෙන තව හේතුවක් කියන්න.

16 සෑහෙන කාලයක් ජීවත් වුණාට පස්සේ යෝබ් මැරුණා. හැබැයි එයාට ආයේ ජීවිතේ දෙන්න යෙහෝවාට බලය තියෙනවා. මොකද ඔහු තමයි සියලු බලැති දෙවියන්, හැම දේකම පාලකයාණන්. (ද්වි. 32:39) ඔහුට ආදරේ කරන අයව නැවත නැඟිට්ටවන කාලය ඔහු තීරණේ කරලා ඉවරයි. ඒකට හරස් වෙන්න කාටවත් බැහැ.—රෝම 8:38, 39.

යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න

17. යෙහෝවාගේ සෙනඟව නැත්තටම නැති කරන්න සාතන්ට බැහැ කියලා අපි දන්නේ කොහොමද?

17 යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න තියෙන හේතු ගැන යෝබ් පොතෙන් අපි ඉගෙනගත්තා. දෙවියන්ගේ සෙනඟව නැත්තටම නැති කරන්න ඔහු සාතන්ට ඉඩ දෙන්නේ නැති එක ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙනවාද! මේ වෙද්දී ලෝකේ පුරාම මිලියන නමයක විතර සෙනඟක් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරනවා. ඔහුට වඩා උසස් පාලකයෙක් තවත් නැහැ කියන්න ඒක හොඳ සාක්ෂියක්! ඔහුගේ සෙනඟට විරුද්ධව හදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැ කියලා ආයේ ආයෙත් ඔප්පු වෙලා තියෙනවා. (යෙසා. 54:17) යකඩ වගේ ශක්තිමත් ආණ්ඩුවලට, බොරු ආගම්වලට බැරි වෙලා තියෙනවා කිසිම හව්හරණක් නැහැ වගේ පේන යෙහෝවාගේ සෙනඟව අඩපණ කරන්න. අනිත් අයට යෙහෝවා ගැන සත්‍යය කියන එකෙන්වත් සාතන් බොරුකාරයෙක්, මිනීමරුවෙක් කියලා කියන එකෙන්වත් යෙහෝවාගේ සෙනඟව වළක්වන්න කිසිම දේකට බැහැ. දෙවියන්ගේ සෙනඟව නවත්තන්න මරණයටවත් බැහැ. මොකද යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු ආපහු ජීවිතේ දෙනවා.—හොෂෙ. 13:14.

18. අනාගතය ගැන අපි බය නැත්තේ ඇයි?

18 යෝබ්ගේ ජීවිත කතාව බයිබලෙන් කියවලා ඒ ගැන හොඳට හිතද්දී අනාගතයේ මොන දේ වුණත් යෙහෝවා අපි ළඟින් ඉන්නවා කියන විශ්වාසේ වැඩි වෙනවා. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මහත් පීඩාවේදී සාතනුයි, එයාගේ සගයෝයි හිතනවා ‘යෙහෝවාගේ සෙනඟ හරිම දුර්වලයි, එයාලව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්’ කියලා. හැබැයි යෝබ්ගේ කාලේ වගේම එදාටත් හැම දේකම පාලනය තියෙන්නේ යෙහෝවාගේ අතේ. යෙහෝවා සාතන්ට ඉඩ දෙන්නේ නැහැ ඔහුගේ සෙනඟට සදහටම හානියක් කරන්න. සාතන් නිසා මිනිස්සු විඳින වේදනාවලට යෙහෝවා නිමාවක් ගේන දවස වේගයෙන් ළං වෙනවා. සාතන්වයි, භූතයන්වයි අවුරුදු 1,000කට අගාධයක හිර කරනවා. (ලූක් 8:31; එළි. 20:1-3) ඒ විදිහට ටිකෙන් ටික සාතන්ගෙයි, එයාගේ පැත්ත ගන්න අයගෙයි විනාශය ළං වෙනවා. (එළි. 20:10) යෙහෝවා කියපු විදිහටම සාතන්ගේ හිස පොඩි කරනවා. ඒක තමයි සාතන්ගේ අවසානය!—උත්. 3:15; රෝම 16:20.

19. යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කරන අයට ලැබෙන ආශීර්වාද මොනවාද? (පින්තූරයත් බලන්න.)

19 පව්කාරකම එක්ක සටන් කරන්න ඕනෙ නැති, සතුට පිරුණු ඒ ජීවිතේ ලැබෙන කල් අපි ඉන්නේ ඇඟිලි ගැනගැන. අපි හිතනවාටත් වඩා වැඩියෙන් එදාට අපිට ආශීර්වාද ලැබෙනවා. යෙහෝවා පොරොන්දු වෙනවා “බලන්න! මම හැම දෙයක්ම අලුත් කරනවා” කියලා. (එළි. 21:5) ඒදන් උයනෙන් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට සාතන්ගෙයි, භූතයන්ගෙයි බලපෑමෙන් එදාට මිනිස්සු නිදහස් වෙනවා. ඒ නිසා දැනෙන සහනය වචනෙන් විස්තර කරන්න බැහැ. එදාට මේ දුෂ්ට සමාජය නැති නිසා අපි පීඩනයෙන් දේවල් ගැන කල්පනා කරකර නිදි නැති රැයවල් ගෙවන්නේ නැහැ. අර්මගෙදොන් යුද්දෙන් බේරෙන අය පුදුමාකාර ආශ්චර්යයන් හුඟක් එයාලාගේ ඇස් දෙකෙන්ම දකියි. එදාට අසනීපෙන් ඉන්න හැමෝවම සුව කරනවා. අපි ආදරේ කරන මරණ නින්දේ ඉන්න අයව ඇහැරවන කාලය පටන්ගන්නවා. අපි වෙනුවෙන් යෙහෝවාට දෙන්න ඕන වුණ ජීවිතේ එදාට අපිට ලැබෙනවා.

කලින් පින්තූරවල හිටපු සහෝදර සහෝදරියන් පාරාදීසයේ සතුටින් ඉන්නවා. මහලු වයසේ හිටපු සහෝදරයා දැන් තරුණයි. එයා නැවත නැඟිටලා ඉන්න එයා ආදරේ කරන කෙනෙක් එක්ක ඇවිදන් යනවා. දෙමාපියන් දැන් නිරෝගීව ඉන්න දුවත් ඇවිදින්න ගිහින්. හිරේ හිටපු සහෝදරයා ගහක් යට ඉඳගෙන බයිබලේ කියවනවා. එයාට එහා පැත්තේ සිංහ පැටියෙක් ඉන්නවා.

අතීතයේ හිටපු පීඩා විඳදරාගත්ත, විශ්වාසවන්ත අයට යෙහෝවා ආශීර්වාද කරනවා (19 ඡේදය බලන්න)


20. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

20 මේ අන්තිම කාලේ අපිට තව තව ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයි. ඉතින් යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න නම් ධෛර්යය ඕනෙමයි. ඒ නිසා ඔහුව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඔහුගේ පාලනයට දිගටම අපේ සහය දෙන්න අධිෂ්ඨාන කරගමු. අපිට ඕනෙ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි ආදරෙයි කියලත් සාතන් බොරුකාරයෙක් කියලත් ඔප්පු කරන්න. උසස්ම දෙවි වන යෙහෝවාට අපි දිගටම විශ්වාසවන්තව ඉන්නවා නම් හිතාගන්නවත් බැරි තරම් ලස්සන අනාගතයක් අපිට හම්බ වෙනවා. මොකද යෙහෝවාට විශ්වාසවන්ත අයට ආශීර්වාද කරන්න ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා.

යෝබ්ගේ වාර්තාවෙන් මේ දේවල් ඔප්පු වෙන්නේ කොහොමද?

  • යෙහෝවා තමයි හැම දේකම පාලකයාණන්

  • විශ්වාසවන්ත අයට ආශීර්වාද කරන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා

  • හැම දේකම පාලකයාණන් වන යෙහෝවා ගැන ඔයාට සම්පූර්ණ විශ්වාසේ තියන්න පුළුවන්

ගීතිකාව 153 මගේ හිතට ධෛර්යය දෙන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න