2026 මැයි 25-31
ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්රය, ප්රඥාවන්ත වෙන්න’
වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරනවා නම් ඔයා “සාර්ථක වෙයි”
“යම් කාරණයකදී වටහාගැනීමේ හැකියාව යොදාගන්න කෙනා සාර්ථක වෙයි.”—හිතෝ. 16:20.
ලිපියේ අරමුණ
අමාරු දේවලට සාර්ථකව මූණ දෙන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙන විදිහ බලමු.
1-2. වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් වැඩ කරන්නේ කොහොමද? ඒ හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද?
කෙනෙක් ඔයාට ගෞරවෙන් සලකපු නැති අවස්ථාවක් මතකද? නැත්නම් කෙනෙක් ඔයාව වැරදියට තේරුම්ගත්ත, ඔයාට අසාධාරණ විදිහට සලකපු අවස්ථාවක් මතකද? ඔයාට ලොකු පීඩනයක්, බයක් දැනුණ අවස්ථාවක් මතකද? ඒ වගේ වෙලාවට හරි දේ කරන එක, හරි විදිහට කතා කරන එක ලේසි නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවලදී වගේම තවත් හුඟක් අවස්ථාවලදී යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කරන්න අපිට උදව් වෙන දෙයක් ගැන බයිබලේ කතා කරලා තියෙනවා. ඒ තමයි වටහාගැනීමේ හැකියාව.
2 වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් පේන්න තියෙන දේ දිහා විතරක් බලලා තීරණ ගන්නේ නැහැ. ඒ වෙනුවට මූණ දීලා තියෙන තත්වේ හොඳට අවබෝධ කරගන්න එයාට පුළුවන්. දෙයක් වුණේ ඇයි, කෙනෙක් ඒ විදිහට වැඩ කළේ ඇයි කියලා තේරුම්ගන්න එයාට පුළුවන්. එයා හැම තිස්සේම වැඩ කරන්නේ ප්රඥාවන්තව, සිහිකල්පනාව ඇතුව. උදාහරණෙකට “නිහඬව ඉන්න” ඕනෙ කොයි වෙලාවටද කියලා තේරුම්ගන්නත් ‘හිතලා බලලා කතා කරන්නත්’ වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා. (ගීතා. 4:4; හිතෝ. 10:19) කේන්තිය පාලනය කරගෙන අනිත් අයට සමාව දෙන්නත් කෙනෙක් අපිට උපදෙසක් දෙද්දී ඒක පිළි අරන් අපිව නිවැරදි කරගන්නත් ඒ හැකියාව උදව් වෙනවා. (හිතෝ. 19:20) අපි දෙයක් කරන්න කියන්න කලින් හොඳට හිතලා බලනවා නම් යෙහෝවාව සතුටු කරන්න පුළුවන් වගේම ඒකෙන් අපිටත් අනිත් අයටත් ගොඩක් ප්රයෝජන ලැබෙනවා. විශේෂයෙන්ම අපිව කේන්ති ගස්සන දෙයක් වෙද්දී අපිවම පාලනය කරගෙන යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කරන්න ඒක උදව් වෙනවා. අපි මේ ලිපියෙන් බයිබල් වාර්තා තුනක් ගැන බලමු. දිගටම නිහතමානීව ඉන්න, සන්සුන්ව ඉන්න, යෙහෝවා මත රැඳිලා ඉන්න වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද කියලා ඒ වාර්තා අපිට කියලා දෙයි.
උඩඟුකමින් නෙවෙයි නිහතමානීව
3. නාමන් කියන්නේ කවුද?
3 යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කරන්න නම් අපි උඩඟුකම ඈත් කරන්න ඕනේ. (1 පේතෘ. 5:5) ඒක කරන්න වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා. දැන් අපි නාමන් ගැන ටිකක් බලමු. එයා ජීවත් වුණේ සිරියාවේ. එයා සිරියාවේ හමුදාපති. ඒ නිසා එයාට ගොඩක් බලතල තිබ්බා. හැබැයි එයා ලාදුරු රෝගයෙන් දරුණු විදිහට පීඩා වින්දා.—2 රාජා. 5:1.
4. නාමන් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කළා කියන්නේ ඇයි?
4 ඊශ්රායෙල් දැරියක් නාමන්ගේ බිරිඳගේ සේවිකාවක් විදිහට වැඩ කළා. එයා නාමන්ගේ බිරිඳට කිව්වා නාමන්ගේ ලෙඩේ සුව කරන්න පුළුවන් අනාගතවක්තෘවරයෙක් ඊශ්රායෙල්වල ඉන්නවා කියලා. (2 රාජා. 5:2, 3) ඕනෙ නම් නාමන්ට හිතන්න තිබ්බා ‘මේ වහල් කෙල්ලට පුළුවන්ද මට උදව් වෙන දෙයක් කියන්න’ කියලා. ඒත් එයා උඩඟු වෙලා ඒ දැරිය කියපු දේවල් පැත්තකට දානවා වෙනුවට නිහතමානීව එයා කියපු දේ ඇහුවා. ඊටපස්සේ එයා සිරියාවේ රජගෙන් අවසර අරන් එයාගේ අසනීපේ සුව කරගන්න ඊශ්රායෙල් දේශයට ගියා.—2 රාජා. 5:4, 5.
5. නාමන් ඊශ්රායෙල්වලට ගියාම මොකද වුණේ?
5 සුව වෙන්න හිතාගෙන නාමන් මුලින්ම යෙහෝරම් රජව හම්බ වෙන්න ගියා. යෙහෝරම් හිතුවේ සිරියාවේ රජ එයාත් එක්ක රණ්ඩුවකට පැටලෙන්න නාමන්ව එව්වා කියලා. ඕක අනාගතවක්තෘ එලිෂාට ආරංචි වුණාම එයා රජට කිව්වා නාමන්ව එයා ළඟට එවන්න කියලා. (2 රාජා. 5:6-9) නාමන් හිතන්න ඇති එලිෂා එයා ළඟට ඇවිත් එයාත් එක්ක කතා කරයි කියලා. ඒත් කතා කරනවා තියා එලිෂා ගෙදරින් එළියට ආවේවත් නැහැ. එයා පණිවිඩකරුවෙක්ව එවලා අසනීපේ හොඳ කරගන්න මොනවාද කරන්න ඕනෙ කියලා නාමන්ට කිව්වා.—2 රාජා. 5:10.
6. (අ) පණිවිඩකරු කියපු දේ කරන්න නාමන් අකමැති වුණේ ඇයි? (ආ) වටහාගැනීමේ හැකියාව තියෙනවා කියලා නාමන්ගේ සේවකයන් පෙන්නුවේ කොහොමද? ඒ නිසා වුණේ මොකක්ද? (2 රාජාවලිය 5:13, 14)
6 මුලදී, එලිෂාගේ පණිවිඩකරු කියපු දේ ඇහුවාම නාමන්ට ‘හොඳටම කේන්ති ගිහින් එතනින් යන්න පිටත් වුණා.’ (2 රාජා. 5:11, 12) සමහරවිට එයා හිතන්න ඇති හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙක් විදිහට එයාට ලැබෙන්න ඕනෙ ගෞරවේ ලැබුණේ නැහැ කියලා. එලිෂා දුන්න මඟ පෙන්වීමෙන් සිරියාවට අගෞරවයක් වුණා කියලත් එයා හිතන්න ඇති. හේතුව මොකක් වුණත් සුව වෙන එක පැත්තකින් තියලා ආපහු ගෙදර යන්නයි නාමන් හැදුවේ. ඒත් ඒ වෙලාවේ එයාගේ සේවකයන් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කළා. එයාලා තේරුම්ගත්තා එලිෂාට ඕනෙ ඇත්තටම නාමන්ට උදව් කරන්න කියලා. ඉතින් එයාලා නාමන්ගෙන් ඉල්ලුවා එයාගේ තීරණේ ගැන ආයේ හිතලා බලන්න කියලා. ඒ වෙලාවේ නාමන් එයාගේ උඩඟුකම පැත්තකින් තියලා නිහතමානීව එලිෂා දුන්න මඟ පෙන්වීම් පිළිපැද්දා. ඒ නිසා එයා සනීප වුණා.—2 රාජාවලිය 5:13, 14 කියවන්න.
7. නාමන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (හිතෝපදේශ 22:4) (පින්තූරත් බලන්න.)
7 පාඩම: බැලූ බැල්මට පේන දේ හැම වෙලේම හරි දේ නෙවෙයි. ඒ නිසා දෙයක් කරන්න කලින් අපි හොඳට හිතන්න ඕනේ. අපි වටහාගැනීමේ හැකියාව තියෙන අය නම් හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්නේ නැහැ. ඒ වගේම ඒ හැකියාව අපිව පොලඹවනවා නිහතමානී වෙන්න. අපි තේරුම්ගන්නවා අපි හැම දේම දන්නේ නැහැ කියලා. අපිට අනිත් අයගෙන්, විශේෂයෙන්ම යෙහෝවාගෙන් උදව් ඕනෙ කියලා අපි තේරුම්ගන්නවා. නාමන් යෙහෝවාගේ සේවකයෙක් වෙලා හිටියේ නැති කාලේදීත් එයා වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරනවා කියලා වැඩ කරපු විදිහෙන් පෙන්නුවා. එයා නිහතමානී වෙලා ඊශ්රායෙල් දැරියට, එයාගෙම සේවකයන්ට සහ විශේෂයෙන්ම යෙහෝවාව නියෝජනය කරපු එලිෂාට ඇහුම්කන් දුන්නා. හිතපු විදිහට දේවල් වුණේ නැති වුණාම නාමන්ගේ හිත රිදුණත් එයා ඒ ගැනම හිතන එක නතර කළා. අන්තිමේදී ඥානවන්ත තීරණයක් ගත්ත නිසා එයා සනීප වුණා. අපිත් දෙයක් කියන්න කරන්න කලින් හොඳට හිතන්න ඕනේ. උදාහරණෙකට කවුරු හරි ඔයාට පිළිගන්න අමාරු උපදෙසක් දුන්නොත් නැත්නම් සංවිධානයෙන් ඔයාට තේරෙන්නේ නැති මඟ පෙන්වීමක් ලැබුණොත් ඒ ගැන දෙයක් කියන්න කරන්න කලින් මෙහෙම හිතන්න. ‘මං මේ කරන දෙයින් පේන්නේ මං නිහතමානියි කියලද උඩඟුයි කියලද?’—හිතෝපදේශ 22:4 කියවන්න.
නාමන් නිහතමානීව අනිත් අයට ඇහුම්කන් දුන්නා වගේ අපිත් කෙනෙක් උපදෙසක් දෙද්දී, මොකක් හරි ප්රශ්නයක් ගැන කියද්දී, සංවිධානයෙන් මඟ පෙන්වීමක් ලැබෙද්දී හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ (7 ඡේදය බලන්න)
කේන්තියෙන් නෙවෙයි සන්සුන්ව
8. සන්සුන්ව ඉන්න අමාරු වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?
8 කලකිරෙන දේවලට මූණ දෙද්දී තරහා ගන්නේ නැතුව, සන්සුන්ව ඉන්න වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා. ඒත් අනිත් අය අපිට අකාරුණිකව, නපුරු විදිහට සලකද්දී එහෙම ඉන්න එක ලේසි නැහැ. (එෆී. 4:26) ඒ වගේ වෙලාවක දාවිත් සහ අබිගායිල් වටහාගැනීමේ හැකියාව ඇතුව වැඩ කළේ කොහොමද කියලා දැන් බලමු.
9. නාබල් දාවිත්ට සැලකුවේ කොහොමද?
9 මේ වෙද්දී දාවිතුයි, එයාත් එක්ක හිටපු අයයි සාවුල්ගෙන් පලා ඇවිත් පාරාන් පාළුකරයෙයි ජීවත් වුණේ. (1 සාමු. 25:1) එහෙදී එයාලා ධනවත් කෙනෙක් වුණ නාබල්ගේ එඬේරුන්වයි, බැටළුවන්වයි ආරක්ෂා කළා. (1 සාමු. 25:15, 16) බැටළුවන්ගේ ලොම් කපන කාලේ ආවාම දාවිත් කීපදෙනෙක්ව නාබල් ළඟට යවලා, එයාට සුබ පතලා වැඩිපුර කෑම බීම තියෙනවා නම් දෙන්න කියලා ඉල්ලුවා. (1 සාමු. 25:6-8) ඒත් දාවිතුයි, එයාත් එක්ක හිටපු අයයි නාබල් වෙනුවෙන් කරපු කිසිම දෙයක් ගැන නාබල්ගේ හිතේ පුංචිවත් අගයක් තිබුණේ නැහැ. එයා දාවිත්ගේ ඉල්ලීමට උත්තර දුන්නේ හරිම නපුරු විදිහට. එයා එයාලට අවනම්බුත් කළා.—1 සාමු. 25:10, 11.
10. දාවිත් සහ අබිගායිල් වටහාගැනීමේ හැකියාව පෙන්නුවේ කොහොමද? (1 සාමුවෙල් 25:32, 33) (පින්තූරයත් බලන්න.)
10 දාවිත්ගේ තැන හිටියා නම් ඔයාට හිතෙයි දාවිත්ට කේන්ති ගිය එක සාධාරණයි කියලා. ඒ වෙලාවේ එයාට කොච්චර කේන්ති ගියාද කියනවා නම් එයාට ඕන වුණේ නාබල්ව මරන්න. (1 සාමු. 25:13, 21, 22) දාවිතුයි, එයාගේ මිනිස්සුයි නාබල්ව මරන්න යද්දී නාබල්ගේ බිරිඳ වුණ අබිගායිල් එයාලව හම්බ වෙන්න ආවා. ඒ වෙලාවේ අබිගායිල් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කළේ කොහොමද? දාවිත් හොඳ කෙනෙක් කියලත් එයාට කේන්ති ගියේ ඇයි කියලත් අබිගායිල් තේරුම්ගත්තා. දාවිත්ට සන්සුන් වෙන්න උදව් කරන්න අබිගායිල් එයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කළා. එයා දාවිත්ව හම්බ වෙන්න එද්දී ගොඩක් කෑම බීම ගෙනාවා. හරිම යටහත්ව දාවිත්ට හොඳ මඟ පෙන්වීම් දුන්නා. (1 සාමු. 25:18, 23-31) ඒ වෙලාවේ අබිගායිල් කියන දේවලට ඇහුම්කන් දීලා දාවිතුත් වටහාගැනීමේ හැකියාව තියෙනවා කියලා පෙන්නුවා. එයා තේරුම්ගත්තා යෙහෝවා මේ කාරණේ දිහා බලන විදිහ ගැනයි අබිගායිල් කියන්නේ කියලා. ඒ නිසා දාවිත් සන්සුන් වුණා. ලොකු වරදක් කරන එකෙන් වැළකෙන්න එයාට පුළුවන් වුණා.—1 සාමුවෙල් 25:32, 33 කියවන්න.
දාවිත් සහ අබිගායිල් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරපු නිසා හුඟදෙනෙක්ගේ ජීවිත බේරුණා (10 ඡේදය බලන්න)
11. කෙනෙක් අපිව කේන්ති ගස්සද්දී වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද? (හිතෝපදේශ 19:11)
11 පාඩම: කේන්ති ගන්න සාධාරණ හේතුවක් තිබුණත් කේන්තිය පාලනය කරගෙන, සන්සුන්ව වැඩ කරන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙනවා. ඒ හැකියාව අපිට උදව් වෙනවා අපි කියන කරන දේවල ප්රතිඵල කොයි වගේ වෙයිද කියලා හිතන්න. (හිතෝපදේශ 19:11 කියවන්න.) යෙහෝවා හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න දාවිත්ට උදව් ලැබුණාම එයා කේන්තිය පාලනය කරගත්තා. කෙනෙක් අපිට කේන්ති යන විදිහේ දෙයක් කළාමත් ඉක්මන් වෙලා මෝඩ විදිහට වැඩ කරන එකෙන් අපි වළකින්න ඕනේ. (යාකො. 1:19) ඒ වෙනුවට යාච්ඤා කරන්නත් යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්නත් අපි කාලේ ගන්න ඕනේ. සන්සුන් වෙන්න ඒක උදව් වෙයි.
12. සන්සුන්ව දේවල් දිහා යෙහෝවා බලන විදිහට බලන්න අපිට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද?
12 යෙහෝවා අබිගායිල්ව පාවිච්චි කරලා පේන දේට වඩා එහායින් බලන්න දාවිත්ට උදව් කළා. අදත් යෙහෝවා අනිත් අයව පාවිච්චි කරලා යම් කාරණයක් දිහා ඔහු බලන්නේ කොහොමද කියලා වටහාගන්න අපිට උදව් කරනවා. ඉතින් ඔයාට කේන්ති යන දෙයක් වුණොත් මොනවා හරි කියන්න කරන්න කලින් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් එක්ක කතා කරන්න. ඒ දිහා යෙහෝවා බලන විදිහට බලන්න එයා ඔයාට උදව් කරයි. (හිතෝ. 12:15; 20:18) ඔයාගේ යාළුවෙක් ඒ වගේ දේකට මූණ දෙනවා නම් ඔයාට පුළුවන්ද එයා වෙනුවෙන් අබිගායිල් කෙනෙක් වෙන්න? ඒ කාරණේ දිහා යෙහෝවා බලන විදිහට බලන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන්ද? ඒ ගැන හොඳට හිතලා බලන්නත් සන්සුන්ව ඉන්නත් එයාට උදව් කරන්න ඔයා ගන්න හැම මහන්සියකටම යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.
බයෙන් නෙවෙයි ධෛර්යයෙන්
13. දැනෙන බය ගැනම හිතන්නේ නැතුව ඉන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙන්නේ කොහොමද?
13 සමහර වෙලාවලදී හිතට ලොකු බයක් දැනෙන දේවලට අපි මූණ දෙනවා. ඒත් යෙහෝවාගේ බලය එක්ක බලද්දී මේ ලෝකේ සිද්ධ වෙන භයානකම දේ වුණත් නිකම්ම නිකම් පුස්සක් වගේ කියලා තේරුම්ගන්න වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා. (ගීතා. 27:1) අපි මොන දේට මූණ දුන්නත් විසඳුමක් පේන්නවත් නැහැ කියලා හිතෙන දේකට මූණ දුන්නත් යෙහෝවාට පුළුවන් අපිට උදව් කරන්න. ඒක අනාගතවක්තෘ යෝනාගේ ජීවිත කතාවෙන් අපිට පේනවා. යෝනාට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තිබුණා. හැබැයි අමාරු පැවරුමක් භාරගන්න එයාටත් තව වැඩියෙන් වටහාගැනීමේ හැකියාව ඕනෙ වුණා.
14. යෙහෝවා දුන්න පැවරුම භාරගන්න යෝනා අදිමදි කරන්න ඇත්තේ ඇයි?
14 යෙහෝවා යෝනාට කිව්වා නිනිවයට ගිහින් එහේ මිනිස්සුන්ව යෙහෝවා විනාශ කරනවා කියලා එයාලට කියන්න කියලා. (යෝනා 1:1, 2) ඒ පැවරුම ඔයාට ලැබුණා නම් ඔයාට කොහොම හිතෙයිද? ඊශ්රායෙල්වල ඉඳන් ඇසිරියානු නගරයක් වුණ නිනිවයට යන්න මාසයක් විතර පයින් යන්න ඕනේ. ඇසිරියානුවන් ගොඩක් දරුණු, කෲර මිනිස්සු. නිනිවය හැඳින්නුවේ “ලේ පිපාසිත නගරය” කියලා. (නාහු. 3:1, 7) ඉතින් යෙහෝවා දීපු පැවරුම භාරගන්නවා වෙනුවට යෝනා ඒකෙන් පලා ගියා.—යෝනා 1:3.
15. යෙහෝවා ගැන තව වැඩියෙන් විශ්වාසේ තියන්න යෝනාට උදව් වුණේ මොකක්ද? (යෝනා 2:6-9)
15 පලා යන අතරතුරේදී යෝනාව ආශ්චර්යවත් විදිහට බේරලා යෙහෝවා එයාට මතක් කළා ඔහුට කොච්චර බලයක් තියෙනවාද කියලා. (යෝනා 1:15, 17) ඒකෙන් එයා තේරුම්ගත්තා නිනිවයට යන්න බය වෙන්න ඕනෙ නැහැ කියලා. මොකද ඕනම භයානක තත්වයක් මැද එයාව ආරක්ෂා කරන්න යෙහෝවාට පුළුවන් එයාට තේරුණා. (යෝනා 2:6-9 කියවන්න.) ඒ පැවරුම භාරගන්න යෙහෝවා යෝනාට තව අවස්ථාවක් දුන්නා. ඒ වෙලාවේ නම් එයා පස්ස ගහන්නේ නැතුව නිනිවයට ගිහින් ඒක කළා. ඒකෙන් ගොඩක් හොඳ ප්රතිඵල ලැබුණා.—යෝනා 3:5.
16. බයක් දැනෙන දේවලට මූණ දෙද්දී වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද? (හිතෝපදේශ 29:25) (පින්තූරත් බලන්න.)
16 පාඩම: අනිත් අයට බය වෙලා යෙහෝවාට දෙන්න ඕනෙ නමස්කාරය නොදී ඉන්න අපිට ඕනෙ නැහැ. (හිතෝපදේශ 29:25 කියවන්න.) වටහාගැනීමේ හැකියාව යෝනාට උදව් වුණා පැවරුම නිසා එන අභියෝග ගැන වධ වෙන්නේ නැතුව යෙහෝවා එයා එක්ක ඉන්නවා කියන දේ හැම තිස්සේම මනසේ තියාගන්න ඕනෙ කියලා තේරුම්ගන්න. අපිත් වැඩිපුර අවධානය දෙන්න ඕනෙ අපිට දැනෙන බයට නෙවෙයි. යෙහෝවා අපිට කොච්චර උදව් කරලා තියෙනවාද, ඔහු අපිව කොච්චර ආරක්ෂා කරලා තියෙනවාද කියන දේටයි. යෙහෝවා මත විශ්වාසේ තියලා බය හිතෙන දේවලට මූණ දීපු, අමාරු පැවරුම් කරපු සහෝදරයන්ගේ අද්දැකීම් කියවන එකත් අපිට උදව් වෙනවා.a (හෙබ්රෙ. 13:6) ඒ විදිහට අපි සම්පූර්ණයෙන්ම යෙහෝවා මත විශ්වාසේ තියලා වැඩ කරද්දී, අනිත් අයටත් එහෙම කරන්න උදව් කරද්දී අපි පෙන්නනවා අපි වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරනවා කියලා.
දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිගන්නත් අමාරු දේකට හොඳින් මූණ දෙන්නත් වටහාගැනීමේ හැකියාව උදව් වෙනවා කියලා යෝනාගේ කතාවෙන් පැහැදිලියි (16 ඡේදය බලන්න)
වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න
17. වටහාගැනීමේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් කොහොමද?
17 අපි බලපු විදිහට වටහාගැනීමේ හැකියාවට පුළුවන් ඕනම අමාරු තත්වයක් මැද වුණත් හරි දේ කරන්න අපිට උදව් කරන්න. ඒත් ඒ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් කොහොමද? ඒකට අපිට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා යෙහෝවා. ඔහු බයිබලේ සහ ඔහුගේ බලය මාර්ගයෙන් ඒ හැකියාව දියුණු කරගන්න අපිට උදව් කරනවා. (නෙහෙ. 9:20; ගීතා. 32:8) අපේ හැඟීම් පාලනය කරගෙන හොඳ තීරණ ගන්න ඕනෙ කරන මඟ පෙන්වීම් ඔහු අපිට දෙනවා. (ගීතා. 119:97-101) බයිබලේ තියෙන දේවල් ගැන කාලේ අරන් හොඳට හිතද්දී, යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලද්දී වටහාගැනීමේ හැකියාව තව දියුණු කරගන්න අපිට පුළුවන්. කාරණයක් දිහා යෙහෝවා බලන විදිහ තව පැහැදිලිව තේරුම්ගන්නත් අපි මොන දේ කළොත්ද ඔහු වැඩියෙන් සතුටු වෙන්නේ කියලා තේරුම්ගන්නත් ඒක අපිට උදව් වෙනවා.—හිතෝ. 21:11, පාදසටහන.
18. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?
18 වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න උදව් කරන්න කියලා දිගටම යෙහෝවාගෙන් ඉල්ලමු. (ගීතා. 14:2) එතකොට අපිට පුළුවන් “සිහිබුද්ධිය අත්හැරලා” යන අය වගේ නොවී ඉන්න. (හිතෝ. 21:16) මොන දේට මූණ දෙන්න වුණත් හැම වෙලේම වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරන්න අපි අධිෂ්ඨාන කරගමු. එහෙම කරනවා නම් අපි “සාර්ථක වෙයි.”
ගීතිකාව 42 දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
a jw.org එකේ හරි ‘JW ලයිබ්රරි’ එකේ හරි “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” යටතේ තියෙන ජියෝර්ජි පෝචූල්යන්ගේ අද්දැකීම බලන්න.