2026 අප්‍රියෙල් 13-19
ගීතිකාව 52 කැපවීම
බව්තීස්මයෙන් අදහස් වෙන දේ තේරුම්ගන්න
‘මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. එයාලව බව්තීස්ම කරන්න.’—මතෙ. 28:19.
ලිපියේ අරමුණ
බව්තීස්මයෙන් අදහස් වෙන දේ, ඒකේ වැදගත්කම සහ ඒකට ඇතුළත් වෙන දේවල් අපි මේ ලිපියෙන් බලනවා.
1. බව්තීස්මය කියන්නේ බයිබලේ තියෙන වැදගත් ඉගැන්වීමක් කියලා අපි දන්නේ කොහොමද?
අලුත් අය බව්තීස්ම වෙනවා දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ හුඟදෙනෙක් බව්තීස්ම වෙනවා දකිද්දී මුල් ක්‍රිස්තියානීන්ටත් ඒ වගේම සතුටක් දැනුණා. එදා පේතෘස් සෙනඟට පැහැදිලි කළා බව්තීස්ම වෙන එක කොච්චර වැදගත් පියවරක්ද කියලා. (ක්‍රියා 2:38, 40, 41) පාවුලුත් කිව්වා “ක්‍රිස්තුස් ගැන ඉගෙනගත්ත මූලික ඉගැන්වීම්වලට” “විවිධ බව්තීස්මයන්” ගැන ඉගැන්වීමත් ඇතුළත් කියලා. (හෙබ්‍රෙ. 6:1, 2) බැලූ බැල්මට බව්තීස්මය කියන්නේ සරල ඉගැන්වීමක් වගේ පෙනුණාට ඒකෙන් අදහස් කරන දේ අපි තේරුම්ගන්න එක හුඟක් වැදගත්.
2. බව්තීස්මය ගැන බයිබලේ උගන්නන දේ අපි තේරුම්ගන්න ඕනෙ ඇයි?
2 ගෙයක් ශක්තිමත්ව, ස්ථිරව ගොඩනඟන්න නම් ඒකට හොඳ අත්තිවාරමක් දාන්න ඕනේ. ඒ වගේ අපේ විශ්වාසයත් ශක්තිමත්ව ගොඩනඟන්න නම් බව්තීස්මය ගැන බයිබලේ කියන දේ අපි හොඳින් තේරුම්ගන්න ඕනේ. අපි බව්තීස්ම වෙන්න බලන් ඉන්න කෙනෙක් වුණත් අවුරුදු ගාණකට කලින් බව්තීස්ම වුණ කෙනෙක් වුණත් ඒ දේ තේරුම්ගන්න එක වැදගත්. ඉතින් අපි මේ ලිපියෙන් ප්‍රශ්න තුනකට උත්තර බලනවා. (1) බව්තීස්ම වෙනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (2) බව්තීස්මයට ඇතුළත් වෙන්නේ මොනවාද? (3) බව්තීස්ම වෙන්න අපි පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න ඕනෙ ඇයි?
බව්තීස්ම වෙන එකෙන් අදහස් කරන දේ
3. බව්තීස්ම වෙද්දී කෙනෙක් පෙන්නන්නේ මොනවාද?
3 බව්තීස්ම වෙද්දී ඔයා අනිත් අයට පෙන්නන්නේ මොනවාද? (1) යෙහෝවා දෙවියන් ගැනයි, යේසුස් ගැනයි ඔයා බයිබලෙන් ඉගෙනගත්ත හැම දේම ඔයාට විශ්වාසයි කියලා. (2) ඔයාගේ වැරදි ගැන ඔයා පසුතැවුණා කියලා. (3) යෙහෝවාට සේවේ කරන්න ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරගෙන තියෙනවා කියලා. (4) ඔයාට ගැලවීම ලබාගන්න පුළුවන් යේසුස් මාර්ගයෙන් විතරයි කියලා ඔයා තේරුම් අරන් ඉන්නවා කියලා. (5) දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා ඔහුගේ කැමැත්ත කරනවා කියලා ඔයා යාච්ඤාවකින් පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඔයා ඒ පොරොන්දුව දුන්නාම, ඒ කියන්නේ කැප වෙලා බව්තීස්ම වුණාම යෙහෝවා එක්ක යන සදාකාලික ගමන පටන්ගන්නවා.
4. බව්තීස්ම වෙද්දී වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්ලලා උඩට ගන්න එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
4 ඔයා බව්තීස්ම වෙද්දී ඔයාව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලලා ආයෙත් උඩට ගන්නවා.a ඒක හරියට ඔයා මැරිලා ඔයාව වළලලා ඊටපස්සේ ඔයාව නැවත නැඟිට්ටවනවා වගේ. (කොලො. 2:12) බව්තීස්මය ඒ වගේ දේකට සමාන කරන එක හොඳටම ගැළපෙනවා. මොකද ඔයා වතුර යටට යද්දී ඒක හරියට ඔයා කලින් ගත කරපු ජීවිතේ එතනින් ඉවර වෙනවා වගේ. ඊටපස්සේ ඔයා වතුරෙන් උඩට එද්දී ඔයා අලුත් ජීවිතයක් පටන්ගන්නවා. ඒ ජීවිතේ ඔයා මුල් තැන දෙන්නේ දෙවියන්ගේ කැමැත්තට.
ඔයා බව්තීස්ම වෙද්දී ඔයාගේ පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අත්හැරලා යෙහෝවාට මුල් තැන දෙන අලුත් ජීවිතේ පටන්ගන්නවා (4 ඡේදය බලන්න)
5. බව්තීස්මයට ලෑස්ති වෙන්න ඔයා කරන දේවල් නෝවා නැව හදපු එකට සමාන වෙන්නේ කොහොමද? (1 පේතෘස් 3:18-21)
5 1 පේතෘස් 3:18-21 කියවන්න. බව්තීස්මයට ලෑස්ති වෙන්න ඔයා කරන දේවල් නෝවා නැව හදපු වැඩේට සමාන කරන්න පුළුවන්. ඔයා යෙහෝවා ගැන ඉගෙනගන්න පටන්ගත්තා විතරයි නම් ඔයාට හිතෙයි ‘බව්තීස්ම වෙන්න ගොඩක් දේවල් කරන්න තියෙනවානේ. ඒක හරියට නෝවාට නැව හදන්න වුණා වගේ අමාරු වැඩක්’ කියලා. ඇත්තටම ඒකට එච්චර මහන්සි වෙන්න ඕනෙද? ඔව්. නෝවා ගැන හිතන්න. නැව හදන්න ඕනෙ කොහොමද කියලා දෙවියන් නෝවාට කිව්වා. ජලගැල්මෙන් බේරෙන්න නම් දෙවියන් කියපු දේවල් ඒ විදිහටම නෝවා කරන්න ඕනෙ වුණා. නෝවාට යෙහෝවා ගැන තිබුණ විශ්වාසේ නිසාත් දෙවියන්ගෙන් උදව් ලැබුණ නිසාත් එයාට පුළුවන් වුණා දෙවියන්ට කීකරු වෙලා ඔහු කියපු විදිහටම නැව හදන්න. නෝවා වගේ ඔයාටත් පුළුවන් ‘දෙවියන් අණ කරපු හැම දෙයක්ම කරන්න.’—උත්. 6:22.
6. බව්තීස්මය නිසා ඔයාට ගැලවීම ලැබෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
6 21වෙනි පදයේ පේතෘස් කියනවා ‘බව්තීස්මය නිසා ඔයාට ගැලවීම ලැබෙනවා’ කියලා. ඇත්ත, ඔයා වතුරේ ගිලිලා උඩට ආවා කියලා ගැලවීම ලැබෙන්නෙවත් ඔයාගේ පව් හේදිලා යන්නෙවත් නැහැ. යේසුස් වගුරුවපු ලේ මාර්ගයෙන් විතරයි ඔයා පවිත්‍ර වෙන්නේ. (1 යොහ. 1:7) හැබැයි බව්තීස්මය අපි ගන්න ඕනෙ වැදගත් පියවරක්. මොකද එහෙම කරන්න කියලා යෙහෝවා අණ කරලා තියෙනවා. බව්තීස්ම වෙද්දී ඔයා කරන්නේ “නිදොස් හෘද සාක්ෂියක් ලබා දෙන්න කියලා” දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන එක. යෙහෝවා ඒ ඉල්ලීම ගැන සතුටු වෙලා යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔයාගේ වැරදිවලට සමාව දෙනවා. එහෙම බලද්දී බව්තීස්මය නිසා අපිට ‘ගැලවීම ලැබෙනවා’ කියලා කියන්න පුළුවන්. මොකද ඒකෙන් සදාකල් ජීවත් වෙන අවස්ථාව අපිට ලැබෙනවා.
බව්තීස්මයට ඇතුළත් වෙන දේවල්
7. බව්තීස්මයක් කරන්න ඕනෙ කොහොමද?
7 බව්තීස්ම කරද්දී කෙනෙක්ව වතුරේ ගිල්ලලා උඩට ගන්න ඕනෙ කියලා බයිබලේ කියලා තිබුණාට ඒක කරන්න ඕනෙ විදිහ ගැන හැම විස්තරයක්ම බයිබලේ නැහැ. ඒත් ඒක කොයි වගේ අවස්ථාවක් වෙන්න ඕනෙද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති තියෙනවා. උදාහරණෙකට බව්තීස්ම වෙන අය අඳින්න පලඳින්න ඕනෙ විදිහ, ඒක බලන්න ඇවිත් ඉන්න අය හැසිරෙන්න ඕනෙ විදිහ ගැන තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති තියෙනවා. (1 කොරි. 14:40; 1 තිමෝ. 2:9) අද සාමාන්‍යයෙන් බව්තීස්මයක් කරන්නේ වැඩිමහල්ලෙක්. හැබැයි අපි එයාට විශේෂ අවධානයක් දෙන්න අවශ්‍ය නැහැ. (1 කොරි. 1:14, 15) බව්තීස්මය බලන්න ඇවිත් ඉන්න ගාණත් වැදගත් නැහැ.—ක්‍රියා 8:36.
8. බව්තීස්ම වෙන අයගෙන් අහන්නේ මොන ප්‍රශ්නද? ඒ ඇයි? (ක්‍රියා 2:38-42) (පින්තූරයත් බලන්න.)
8 බයිබලේ කියනවා අපේ “විශ්වාසය ගැන අනිත් අයට ප්‍රසිද්ධියේ කියද්දී” ඒක අපේ ගැලවීමට මඟ පාදනවා කියලා. (රෝම 10:9, 10) ශුභාරංචිය දේශනා කරද්දී විතරක් නෙවෙයි, බව්තීස්ම වෙන දවසෙත් අපේ විශ්වාසේ ගැන අපි අනිත් අයට කියනවා. ඒකයි බව්තීස්ම වෙන්න ඉන්න අයගෙන් ප්‍රශ්න දෙකක් අහන්නේ. (1) “ඔයා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැලවීම ලබා දෙන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම පිළි අරන්, ඔයාගේ පව් ගැන පසුතැවිලි වෙලා, යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයාගේ ජීවිතය කැප කරලා තියෙනවාද?” කෙනෙක් බව්තීස්මයට සූදානම් වෙන්න ඒ වෙද්දීත් කරලා තියෙන දේවල් ගැනයි ඒ ප්‍රශ්නෙන් අහන්නේ. පෙන්තකොස්ත දවසේ රැස් වෙලා හිටපු අයට එයාලාගේ වැරදි ගැන පසුතැවිලා බව්තීස්ම වෙන්න කියලා පේතෘස් කියද්දීත් එයා කිව්වේ ඒ වගේම දෙයක්. (2) “බව්තීස්ම වෙනවා කියන්නේ ඔයා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දෙවියන්ට සේවය කරනවා කියන එකයි. ඔයා ඒක තේරුම් අරගෙන ඉන්නවාද?” කෙනෙක් බව්තීස්ම වුණාට පස්සේ කරන දේ ගැනයි ඒ ප්‍රශ්නෙන් අහන්නේ. යෙහෝවාගේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා කියලත් සහෝදරයන් එක්ක එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරනවා කියලත් එයා ඒකෙදී පොරොන්දු වෙනවා. ඒකත් පෙන්තකොස්ත දවසේ බව්තීස්ම වුණ අය බව්තීස්මයෙන් පස්සේ කරපු දේට සමානයි. (ක්‍රියා 2:38-42 කියවන්න.) ඒ ප්‍රශ්න දෙකටම “ඔව්” කියලා උත්තර දෙන අයට බව්තීස්ම වෙන්න පුළුවන්.
බව්තීස්ම වෙද්දී ඔයා ‘ගැලවීමට මඟ පාදන විශ්වාසය’ ගැන ප්‍රසිද්ධියේ කියනවා (8 ඡේදය බලන්න)d
9. යෙහෝවාගේ හිත සතුටු කරන්න අපි හැමෝම කරන්න ඕනෙ මොනවාද?
9 සමහරවිට ඔයා සත්‍යය ගැන ඉගෙනගන්න කලින් ඉඳන්ම යහපත් ජීවිතයක් ගත කරන්න ඇති. ඔයා බරපතළ වැරදි කරලා නැතුව ඇති. නැත්නම් ඔයා ඇතිදැඩි වුණේ සත්‍යයේ නිසා යෙහෝවාට ආදරේ කරන්න පොඩි කාලේ ඉඳන්ම දෙමාපියන් ඔයාට උදව් කරලා ඇති. ඒත් දෙවියන්ව සතුටු කරන්න නම් ඔයා ඔයාගේ වැරදි ගැන පසුතැවිලා බව්තීස්ම වෙන්න ඕනේ. මොකද අපි මොන පසුබිමකින් ආවත් අපි ඉපදෙන්නෙම පව්කාරයන් විදිහට. ඒ නිසා අපි දෙවියන්ගේ හතුරෝ. (ගීතා. 51:5) ඒත් අපි යෙහෝවාව තව වැඩියෙන් අඳුරගද්දී අපි කැමති විදිහට නෙවෙයි ඔහු කැමති විදිහට ජීවත් වෙන්න තීරණේ කළා. එතකොට අපි කලින් කරපු වැරදි ගැන පසුතැවිලා ඒ දේවල් අපේ ජීවිතෙන් අයින් කළා. ඊටපස්සේ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපි පටන්ගත්තා. ඒ දේවල් කළාම අපිට පුළුවන් බව්තීස්ම වෙන්න.—ක්‍රියා 3:19.
10. වෙන ආගමක ඉද්දී ඔයා බව්තීස්ම වෙලා තිබුණත් දැන් ඔයා මොනවාද කරන්න ඕනේ?
10 ඔයා කලින් හිටපු ආගමේදී බව්තීස්ම වෙලා තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහටත් ඔයා බව්තීස්ම වෙන්න ඕනේ. මොකද කලින් ඔයා බව්තීස්ම වුණේ යෙහෝවා දෙවියන් ගැනයි, යේසුස් ගැනයි සත්‍යය දැනගෙන නෙවෙයි. ඔයා කලින් දෙවියන්ට යාච්ඤාවක් කරලා කැප වෙලත් ඇති. ඒත් ඔයා ඒ විදිහට කැප වුණේ දෙවියන්ගේ අරමුණ ගැන හරියට තේරුම්ගන්නේ නැතුව. එෆීසයේදී පාවුල්ට හම්බ වුණ අයත් බව්තීස්ම වෙලා තිබුණේ යේසුස් ගැන සත්‍යය හරියට තේරුම් අරන් නෙවෙයි. ඒ නිසා එයාලා ආයේ බව්තීස්ම වෙන්න ඕනෙ කියන දේ පාවුල් එයාලට කිව්වා.b (ක්‍රියා 19:1-5) අදත් කෙනෙක්ගේ බව්තීස්මය යෙහෝවා පිළිගන්නේ එයා යෙහෝවාගේ ඉගැන්වීම් ගැනත් ඔහු බලාපොරොත්තු වෙන දේ ගැනත් හරියට තේරුම් අරන් ඉන්නවා නම් විතරයි.
“පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න”
11. “පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළි අරන්” බව්තීස්ම වෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (මතෙව් 28:18-20)
11 යේසුස් කිව්වා ඔහුගේ ගෝලයන් වෙන අය “පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න” ඕනෙ කියලා. (මතෙව් 28:18-20 කියවන්න.) කෙනෙක්ව නැත්නම් යම් දෙයක් පිළිගන්නවා කියන්නේ ඒ කෙනාව විතරක් නෙවෙයි ඒ කෙනාට, ඒ දේට තියෙන අධිකාරියත් පිළිගන්නවා කියන එකයි. (මතෙ. 10:41) පියාට සහ පුතාට තියෙන අධිකාරිය පිළිගන්නවා කියලත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්නවා කියලත් අපිට පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.
12. පියාව පිළි අරන් අපිට බව්තීස්ම වෙන්න පුළුවන් කොහොමද? (එළිදරව් 4:11) (පින්තූරත් බලන්න.)
12 පියාව පිළිගන්න. ඒකෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා, අපිට ජීවිතේ දුන්න තැනැත්තා යෙහෝවා කියලා අපි පිළිගන්නවා කියලයි. ඔහු සියලු බලැති, මේ හැම දේම නිර්මාණය කරපු දෙවියන්. (එළිදරව් 4:11 කියවන්න.) ඒ වගේම අපිට විශ්වාසයි ඔහු අපේ යාච්ඤා අහනවා කියලා. අපි ඔහුට කතා කරද්දී, ඔහු ගැන අනිත් අයට කියද්දී බයක් සැකක් නැතුව ගෞරවනීය විදිහට ඔහුගේ නම පාවිච්චි කරනවා. (ගීතා. 65:2) ඒත් පියාව පිළි අරන් බව්තීස්ම වෙනවා කියන එකට ඊට වඩා දෙයක් ඇතුළත්. පෙන්තකොස්ත දවසේ පේතෘස්ට සවන් දීපු අය යෙහෝවා ගැන දැනන් හිටියා. ඒත් යේසුස් මාර්ගයෙන් යෙහෝවා මිනිස්සුන්ට සදාකාල ජීවනය ලබා දෙනවා කියන දේත් එයාලා පිළිගන්න ඕන වුණා.—රෝම 5:8.
පියාට සහ පුතාට තියෙන අධිකාරිය පිළිගන්නවා කියලත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්නවා කියලත් බව්තීස්මයෙන් පස්සේ දිගටම පෙන්නන්න (12 ඡේ බලන්න)
13. පුතාව පිළි අරන් බව්තීස්ම වෙන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
13 පුතාව පිළිගන්න. ඒකෙන් අදහස් කරන්නේ යේසුස් දෙවියන්ගේ එකම පුතා කියලා අපි පිළිගන්නවා කියලයි. යේසුස් තමයි “මාර්ගය.” ඔහු මාර්ගයෙන් විතරයි අපිට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. (යොහ. 14:6) යේසුස් අපේ ගැලවුම්කරු. ඔහු ඔහුගේ ජීවිතේ දීපු නිසයි අපිට ජීවනය ලැබෙන්නේ. ඒ නිසයි බව්තීස්ම වෙන දවසේ විතරක් නෙවෙයි අපේ ජීවිතේ හැම දවසකම යේසුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්න අපි කැමැත්තෙන් ඉන්නේ. (1 යොහ. 2:6) ඔහු වගේ අපිත් උද්‍යෝගයෙන් දේශනා කරනවා. ඒක කරන එකෙන් අපිව වළක්වන්න අපි කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. (ලූක් 4:43) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා අපිට විරුද්ධවාදිකම් ආවත් අපි ඒවා දරාගන්නේ සතුටින්. (2 තිමෝ. 3:12) ‘සභාව කියන ශරීරයේ හිස’ යේසුස් කියලා අපි පිළිගන්නවා. ඒ නිසා ඔහුගේ අනුගාමිකයන්ව බලාගන්න, එයාලා අතරේ පෙරමුණ ගන්න ඔහු පත් කරන ඕනෙම කෙනෙක්ට අපි කැමැත්තෙන්ම කීකරු වෙනවා.— එෆී. 4:8, 11, 12; 5:23.
පුතාට තියෙන අධිකාරිය පිළිගන්නවා කියලා බව්තීස්මයෙන් පස්සේ දිගටම පෙන්නන්න (13 ඡේදය බලන්න)
14. (අ) දෙවියන්ගේ බලය පිළි අරන් බව්තීස්ම වෙන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.) (ආ) අභිෂේක ලත් අය ලබන තවත් බව්තීස්මයන් මොනවාද? (“අභිෂේක ලත් අය ලබන වෙනත් බව්තීස්මයන්” කියන කොටුව බලන්න.)
14 දෙවියන්ගේ බලය පිළිගන්න. ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ බලය ගැන බයිබලේ කියලා තියෙන දේවල් අපි පිළිගන්නවා කියලයි. ඒක පුද්ගලයෙක්වත් ත්‍රිත්වයක කොටසක්වත් නෙවෙයි. ඒක දෙවියන් විවිධ දේවල් කරන්න පාවිච්චි කරන ඔහුගේ බලය. අපි පිළිගන්නවා අනාගතවක්තෘවරුන්ට, බයිබලේ ලියපු අනිත් අයට එයාලා ලියන්න ඕනෙ දේවල් දෙවියන් දැන්නුවේ ඔහුගේ බලය මාර්ගයෙන් කියලා. (2 පේතෘ. 1:20, 21) ඒ නිසා අපි හැමදාම බයිබලේ කියවලා ඒකේ තියෙන ඉගැන්වීම්වලට කීකරු වෙනවා. ඒ වගේම අපි බරපතළ වැරදිවලින් වැළකෙනවා. මොකද ඒ වගේ දෙයක් අපි අතින් වුණොත් අපිට විතරක් නෙවෙයි මුළු සභාවටම දෙවියන්ගේ බලය ලැබෙන එක නතර වෙන්න පුළුවන්.—එෆී. 4:30.
දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගන්නවා කියලා බව්තීස්මයෙන් පස්සේ දිගටම පෙන්නන්න (14 ඡේදය බලන්න)
15. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?
15 ඔයා බව්තීස්ම වුණ කෙනෙක් නම් “විවිධ බව්තීස්මයන්ට”c ඇතුළත් හැම දෙයක්ම හොඳින් තේරුම්ගන්න අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම ඔයා කැප වෙලා බව්තීස්ම වෙද්දී යෙහෝවාට දුන්න පොරොන්දුවට එකඟව හැම දවසකම ජීවත් වෙන්න. ඒත් ඔයා තවම බව්තීස්ම වෙලා නැති කෙනෙක්ද? ඒ පියවර ගන්න ඔයා අදිමදි කරන්න හේතුවක් තියෙනවාද? ඒ බාධාව ජය අරන් බව්තීස්ම වෙන්න ඔයාට උදව් වෙන දේවල් ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 161 දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ
a “බැප්ටිස්මා” (බව්තීස්මය) කියන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම “වතුර යටට ගිලිලා” උඩට මතු වෙන එකයි. නැතුව සමහර ආගම්වල උගන්නන විදිහට නිකම්ම ඔළුවට වතුර ඉහින එක නෙවෙයි.
b එෆීසයේ හිටපු ඒ අය බව්තීස්ම වෙලා තිබුණේ “යොහන් උගන්නපු විදිහටයි.” (ක්‍රියා 19:3) යොහන් බව්තීස්ත යුදෙව්වන්ගෙන් ඉල්ලුවා මෝසෙස්ට දුන්න නීතියට විරුද්ධව කරන පව් ගැන පසුතැවිලි වෙන්න කියලා. ඒ විදිහට පසුතැවිලි වුණ අයව එයා බව්තීස්ම කළා. (මාක් 1:4, 5) හැබැයි පස්සේ මෝසෙස්ට දුන්න නීතිය අහෝසි වුණ නිසා දෙවියන් ඒ විදිහට කරපු බව්තීස්මය තවදුරටත් පිළිගත්තේ නැහැ. එදා ඉඳන් ඔහු පිළිගත්තේ “එකම විදිහේ බව්තීස්මයක්” විතරයි. ඒක තමයි ගැලවීමට මඟ පාදන්නේ.—එෆී. 4:5.
c jw.org සහ ‘JW ලයිබ්‍රරි’ එකේ “බයිබලයෙන් උත්තර” කියන ලිපි මාලාව යටතේ “බව්තීස්මය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
d පින්තූරේ අදහස: සමුළුවකදී බව්තීස්ම වෙන්න ඉන්න අය එයාලාගේ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ අනිත් අය ඉස්සරහා කියනවා.