ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 පෙබරවාරි 2-7 පි.
  • සත්‍යයේ නැති නෑදෑයන්ට උදව් කරන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යයේ නැති නෑදෑයන්ට උදව් කරන්නේ කොහොමද?
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එයාලා දිහා අනුකම්පාවෙන් බලන්න
  • හිත රිද්දුවත් ඒ ඇයි කියලා තේරුම්ගන්න
  • ඉවසන්න, බලාපොරොත්තුවෙන් ඉන්න
  • එයාලට ආදරෙයි කියලා පෙන්නන්න
  • බලාපොරොත්තු අත්හරින්න එපා
  • “මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මූලික ඉගැන්වීම්වලින් ඔයා දැනුත් ඉගෙනගන්නවාද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 පෙබරවාරි 2-7 පි.

2026 අප්‍රියෙල් 6-12

ගීතිකාව 82 ‘ආලෝකය විහිදුවන්න’

සත්‍යයේ නැති නෑදෑයන්ට උදව් කරන්නේ කොහොමද?

“උත්සාහය අත්හරින්නේ නැතුව අපි දිගටම යහපත් දේ කරමු.”—ගලා. 6:9.

ලිපියේ අරමුණ

සත්‍යයේ නැති නෑදෑයන් එක්ක හොඳ බැඳීමක් තියාගන්නේ කොහොමද? එයාලා අපේ පණිවිඩේ අහන්න කැමති නම් එයාලට යෙහෝවා ගැන කියන්න පුළුවන් කොහොමද?

1-2. සත්‍යයේ නැති නෑදෑයන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කැමැත්තෙන් හිටපු කෙනෙක්ට සැරයක් යේසුස් මෙහෙම කිව්වා. “ඔයාගේ ගම් පළාතේ ඉන්න ඔයාගේ නෑදෑයන් ළඟට ගිහිල්ලා යෙහෝවා දෙවියන් ඔයා වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම එයාලට කියන්න.” (මාක් 5:19) ඒකෙන් පැහැදිලියි යේසුස් දැනන් හිටියා සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හොඳ දෙයක් අහන්න ලැබුණාම එයාලා ඒ ගැන එයාලා ආදරේ කරන අයට කියන්න ආසයි කියලා.

2 ශුභාරංචිය අහන්න ලැබුණ මුල්ම දවස ඔයාට මතකද? ඒ ගැන අනිත් අයට කියන කල් ඔයාට ඉස්පාසුවක් නැති වෙන්න ඇති. ඒත් ඔයා ආදරේ කරන අයට ඒ ගැන කිව්වාම ඔයා සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන එක ගැන එයාලට ගොඩක් කේන්ති යන්න ඇති. ඔයා ඉගෙනගත්ත හැම දේම හිතන්නේ බලන්නේ නැතුව එයාලට කියන්න ගියාම එයාලට ඔයා එක්ක අප්සට් යන්නත් ඇති. එහෙමනම් යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න ගමන් නෑදෑයන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න ඔයාට පුළුවන් කොහොමද?

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි මේ ලිපියෙන් පැති හතරකට උත්තර බලනවා. (1) සත්‍යයේ නැති නෑදෑයන්a අපේ පණිවිඩේ පිළිගත්තේ නැතත් දිගටම එයාලත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න අනුකම්පාව උදව් වෙන්නේ කොහොමද? (2) එයාලා අපේ හිත රිදෙන විදිහට කතා කළොත් වැඩ කළොත් අපිට කරන්න පුළුවන් මොනවාද? (3) එයාලට සත්‍යය දැනගන්න උදව් කරන්න ඉවසීමයි, එයාලා ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න එකයි උදව් වෙන්නේ කොහොමද? (4) එයාලට අපි ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

එයාලා දිහා අනුකම්පාවෙන් බලන්න

4. යේසුස් කියපු පණිවිඩේ පිළිගත්තේ නැති අයට ඔහු සැලකුවේ කොහොමද?

4 යේසුස් කියපු පණිවිඩේ ඇහුවේ නැහැ කියලා ඔහු මිනිස්සුන්ව පැත්තකට දැම්මේ නැහැ. ඒ වෙනුවට අත්තික්කා ගහකින් පලදාව ගන්න කරන්න පුළුවන් හැම දේම කරපු මිදිවත්තේ සේවකයාට ඔහු ඔහුව සමාන කළා. (ලූක් 13:6-9) ඒ උදාහරණේ කියද්දී යේසුස් අවුරුදු තුනකටත් වඩා වැඩි කාලයක් යුදෙව්වන්ගේ හිතේ දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරන්න උත්සාහ කරලා තිබ්බා. ඒත් එයාලට උදව් කරන එක ඔහු අත්හැරියේ නැත්තේ ඇයි? ඒ, එයාලා ගැන තිබුණ අනුකම්පාව නිසයි. ඒක ඔහුව පෙලඹුවා එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න.

5. යුදෙව්වන්ට අනුකම්පාවෙන් සලකන්න යේසුස්ව පෙලඹුවේ මොකක්ද?

5 ආගමික නායකයන් දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න යුදෙව්වන්ට උදව් කළේ නැති නිසා යේසුස්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. “එයාලා හරියට එඬේරෙක් නැති බැටළුවන් වගේ” කියලා ඔහු දැක්කා. (මාක් 6:34) යේසුස් මැරෙන්න දවස් කීපයකට කලින් යෙරුසලම දිහා බලලා ඇඬුවා. ඔහු දැනන් හිටියා දෙවියන් ගැනයි, ඔහු ගැනයි විශ්වාසයක් නැති නිසා එහේ හිටපු හුඟදෙනෙක් විනාශ වෙනවා කියලා. (ලූක් 19:41-44) අපිටත් අපේ නෑදෑයන් ගැන හැඟෙන්න ඕනෙ එහෙමයි. එයාලට උදව් කරන්න ඒක අපිට උදව් වෙයි.

6. සත්‍යයේ නැති නෑදෑයන් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ ඇයි? (ගලාති 6:9)

6 ගලාති 6:9 කියවන්න. අපේ නෑදෑයන් දැන් යෙහෝවා ගැන දැනගන්න අකමැති වුණත් අපි දිගටම එයාලත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. දිගටම “යහපත් දේවල්” කරන්න ඕනේ. මොකද අපි දන්නවා කාලයක් තිස්සේ මුල් ඇදලා තියෙන විශ්වාසයන් හිතින් උදුරලා දාලා දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න කාලයක් යනවා කියලා. කලින් ඔයාත් හිටියේ ඒ වගේ තත්වෙක වෙන්න ඇති. ඔයා “ජීවත් වුණේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඔයා දෙවියන්ව අඳුරගෙන හිටියෙත් නැහැ.” (එෆී. 2:12) ඒත් වෙනස්කම් කරගෙන යෙහෝවා ගැන ඉගෙනගන්න කවුරු හරි ඔයාට හරිම ඉවසීමෙන් උදව් කළා. ඔයාත් නෑදෑයන් ගැන ඉවසනවා නම් ඔයාටත් අවස්ථාවක් ලැබෙයි එයාලට යෙහෝවා ගැන ඉගෙනගන්න උදව් කරන්න.

හිත රිද්දුවත් ඒ ඇයි කියලා තේරුම්ගන්න

7. යේසුස් ගැන විශ්වාසේ තියන්න ඔහුගේ මල්ලිලට අමාරු වෙන්න ඇත්තේ ඇයි?

7 යේසුස් ගලීලයේදී කරපු ආශ්චර්යයන් ගැන ඔහුගේ මල්ලිලා දැනන් ඉන්න ඇති. (ලූක් 4:14, 22-24) ඒත් එයාලා ඔහු ගැන විශ්වාසේ තිබ්බේ නැහැ. (යොහ. 7:5) ඒකට හේතුව බයිබලේ නැතත් ඒ කාලේ යුදෙව්වන් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අදිමදි කරපු හේතු දෙකක් ගැනවත් බයිබලේ තියෙනවා. (1) එයාලා බය වුණා එහෙම කළොත් සමාජයෙන් එයාලව කොන් කරයි කියලා. (යොහ. 9:18-22) (2) එයාලා පොඩි කාලේ ඉඳන්ම යේසුස්ව දැනන් හිටපු නිසා ගැලවුම්කරු විදිහට ඔහුව පිළිගන්න එයාලට අමාරු වෙන්න ඇති. (මාක් 6:1-4) යේසුස්ගේ මල්ලිලට බලපාන්න ඇත්තෙත් ඒ හේතුමයි. ශුභාරංචිය පිළි නොගන්න ඔයාගේ පවුලේ අයටත් බලපාන්නේ ඒ වගේම හේතු වෙන්න බැරිද?

8. අපේ හිත රිදෙන විදිහට කතා කරන්න, වැඩ කරන්න නෑදෑයෝ පෙලඹෙන්න පුළුවන් ඇයි?

8 එයාලා නපුරු විදිහට දේවල් කියන්නේ කරන්නේ ඇයි කියලා තේරුම්ගන්න. සැරයක් යේසුස්ගේ නෑදෑයෝ කිව්වා “එයාට පිස්සු හැදිලා” කියලා. (මාක් 3:21) ඒ අතරේ යේසුස්ගේ මල්ලිලත් ඉන්න ඇති. ඇයි එයාලා එහෙම හිතුවේ? අවට පද බලද්දී පේනවා යේසුස් කොච්චර කාර්යබහුල වුණාද කියනවා නම් ඔහුට කන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ කියලා. (මාක් 3:20) ඒ නිසා නෑදෑයෝ හිතන්න ඇති යේසුස් වෙන කිසිම දෙයක් නොකර සේවයක් බදාගෙන ඉන්නවා කියලා. අපේ නෑදෑයොත් හිතනවා ඇති අපි හැම දේම පැත්තකට දාලා ආගමක් බදාගෙන ඉන්නවා කියලා. එහෙමනම් අපි එහෙම අන්තයකට ගිය අය නෙවෙයි කියලා අපි වැඩ කරන විදිහෙන් එයාලට පෙන්නමු.

9. සාක්ෂිකරුවන් ගැන හිතන විදිහ වෙනස් කරගන්න නෑදෑයන්ට උදව් වෙන්න පුළුවන් මොකක්ද? (1 පේතෘස් 3:1, 2) (පින්තූරත් බලන්න.)

9 හැසිරීමෙන් සාක්ෂියක් දෙන්න. අපි කාරුණිකව කියන කරන දේවලට පුළුවන් නෑදෑයන්ගේ හිතේ සාක්ෂිකරුවන් ගැන තියෙන වැරදි අදහස් වෙනස් කරන්න. (1 පේතෘස් 3:1, 2 කියවන්න.) මහත්තයා සත්‍යයේ නැති සහෝදරියක් ගැන හිතන්න. එයා සේවේ, රැස්වීම් යනවාට මහත්තයා අකමැති ඇති. ඒ, එයාට දැනෙන තනිකම නිසා වෙන්න ඇති. ඉතින් මහත්තයාත් එක්ක වැඩි කාලයක් ඉන්න පුළුවන් විදිහට සහෝදරිය එයාගේ කාලසටහන වෙනස් කරගන්නවා. එයාට පුළුවන් මහත්තයා වැඩට ගිය වෙලාවලදී, ගෙදර නැති වෙලාවලදී සේවේ යන්න. බිරිඳක් ඒ විදිහට මහත්තයා ගැන හිතලා දේවල් කරද්දී සාක්ෂිකරුවන් ගැන මහත්තයා හිතන විදිහ වෙනස් කරගන්න ඒක උදව් වෙයි.

පින්තූරවල අදහස: 1. සහෝදරියක් සත්‍යයේ නැති එයාගේ මහත්තයා වැඩට යන්න කලින් එයාගේ දවල් කෑම එකයි, කෝපි එකකුයි ලෑස්ති කරලා දෙනවා. 2. පස්සේ ඒ සහෝදරිය තවත් සහෝදරියක් එක්ක සේවේ ගිහින් බයිබලේ තියෙන සත්‍යයක් එයාගේ ෆෝන් එකෙන් කාන්තාවකට පෙන්නනවා.

අපි කරන කියන දේවලට පුළුවන් සත්‍යයේ නැති සැමියාගේ හිතේ සාක්ෂිකරුවන් ගැන හොඳ හැඟීමක් ඇති කරන්න (9 ඡේදය බලන්න)g


10. අනිත් අය අපිට රිදෙන විදිහට කතා කරද්දී යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 නෑදෑයෝ හිත රිදෙන දේවල් කියද්දී සමහර වෙලාවට හොඳම දේ නිහඬව ඉන්න එක. යේසුස් කෑම බීමවලට කෑදර කෙනෙක් කියලා මිනිස්සු කියද්දී ඔහු කේන්ති ගත්තෙවත් ඒවා බොරුයි කියලා ඔප්පු කරන්න ගියේවත් නැහැ. ඔහු කිව්වා ඔහු වැඩ කරන විදිහෙන් ඒවා ඇත්තද නැද්ද කියලා තීරණේ කරන්න කියලා. (මතෙ. 11:19) ඔහු ආදර්ශයෙන් පෙන්නුවා ඔහු අන්තයකට ගිහින් වැඩ කරන කෙනෙක් නෙවෙයි, ජීවිතේ සතුටින් ගත කරන කෙනෙක් කියලා. (යොහ. 2:2, 6-10) මිනිස්සු අපිට ඇඟිල්ල දික් කරන හැම වෙලාවකම ඒවාට උත්තර බඳින්නවත් අපි හරියි කියලා ඔප්පු කරන්නවත් ඕනෙ නැහැ. ඒ වෙනුවට අපි වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනෙ අපි අන්තයකට ගිය අය නෙවෙයි, සතුටින් ඉන්න අය කියලා. ඒක නෑදෑයන්ට උදව් වෙයි සාක්ෂිකරුවන් ගැන අහලා තියෙන දේවල් බොරුයි කියලා තේරුම්ගන්න.

ඉවසන්න, බලාපොරොත්තුවෙන් ඉන්න

11. යේසුස් මල්ලිලා එක්ක වැඩ කළේ කොහොමද?

11 යේසුස් ඔහුගේ මල්ලිලා එක්ක දිගටම ඉවසීමෙන් වැඩ කළා කියලා බයිබල් වාර්තාවෙන් පේනවා. ඔහු කානාවල පළවෙනි ආශ්චර්යය කරද්දී පේන විදිහට මල්ලිලත් එතන හිටියා. (යොහ. 2:11, 12) ඒත් අපි බලපු විදිහට එයාලා ඔහු ගැන විශ්වාසේ තිබ්බේ නැහැ. එහෙමයි කියලා යේසුස් එයාලව අත්හැරලා දැම්මෙත් නැහැ. ඊට අවුරුදු තුනකට විතර පස්සෙත් යේසුස් මල්ලිලට කතා කළේ කේන්ති ගන්නේ නැතුව, ආදරෙන් කියලා බයිබල් වාර්තාවෙන් පේනවා.—යොහ. 7:5-8.

12. නෑදෑයන් ගැන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

12 යෙහෝවාගේ දයාව ගැන අපි දැන් තව වැඩියෙන් තේරුම් අරන් තියෙනවා. ඒක අපිට උදව් වෙනවා නෑදෑයන් ගැන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න. බොරු ආගම් විනාශ වෙද්දී එයාලාගෙන් සමහරුන්ට අපි ඒ ගැන කිව්වා කියලා මතක් වෙයි.b (එළි. 17:16) සමහරවිට මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ යෙහෝවාට සේවේ කරන්න එයාලා තීරණේ කරයි. අපේ නෑදෑයන් දැන් අමාරු දේවලට මූණ දෙද්දී අපිට පුළුවන් එයාලට හයියක් වෙන්න. අපි පෙන්නන ආදරේ, කරුණාව නිසා බයිබලේ තියෙන දේවල් ගැන තව ඉගෙනගන්න එයාලා පෙලඹෙයි.

එයාලට ආදරෙයි කියලා පෙන්නන්න

13. යෙහෝවාට කරන සේවේ අපි කාර්යබහුල වුණත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන පැත්ත ගැනද?

13 අපි සේවේ කොච්චර කාර්යබහුල වුණත් අපි කවදාවත් නෑදෑයන්ට දැනෙන්න සලස්වන්න හොඳ නැහැ අපිට එයාලා වෙනුවෙන් කාලේ දෙන්න බැහැ, අපි එයාලට ආදරේ නැහැ කියලා. (මතෙ. 7:12) එහෙමනම් අපි එයාලා ගැන හිතනවා කියලා පෙන්නන්නේ කොහොමද?

14-15. සත්‍යයේ නැති අපේ නෑදෑයන්ට අපි ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද? අද්දැකීමක් කියන්න.

14 නිතරම කතා කරලා එයාලට ආදරෙයි කියලා පෙන්නන්න. අපිට පුළුවන් නිතරම වගේ අපේ නෑදෑයන්ට කතා කරලා අපේ ජීවිතේ වෙන අලුත් දේවල් එයාලත් එක්ක බෙදාගන්න. උදාහරණෙකට මෙසේජ් එකක් යවන ගමන් නිවාඩුවකදී, ට්‍රිප් එකකදී, යාළුවෝ එකතු වෙද්දී ගත්ත ෆොටෝ එකක් දෙකක් එයාලට යවන්න. පුංචි තෑග්ගක් දීලා, ලියුමක් ලියලා අපි අතර තියෙන බැඳීම් වැඩි කරගන්නත් අපිට පුළුවන්. ඒ විදිහට අපේ හිතේ තියෙන ආදරේ අපි පෙන්නමු.

15 ආර්මේනියාවේ ඉන්න ආනාගේ අද්දැකීම බලන්න. එයාගේ නෑදෑයෝ, පවුලේ අය සාමාන්‍යයෙන් උපන් දිනවලට, වෙනත් උත්සව දවස්වලට එකට එකතු වෙනවා. ඒත් ආනා සත්‍යයට ආවාම නෑදෑයෝ හිතුවා අලුත් ආගම නිසා එයා එයාලව ආශ්‍රය කරන එකක් නැහැ කියලා. සාක්ෂිකරුවෙක් වුණ එක ආනාගේ අනාගතයට කොහොම බලපායිද කියලත් එයාලා කලබල වුණා. ආනා මෙහෙම කියනවා. “මං නෑදෑයන්ව බලන්න යද්දී මගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ, මං මොනවාද කරන්නේ කියලා එයාලට කිව්වා. මං ඉන්න තැනට එයාලට එන්න කියලත් කිව්වා. මගේ යාළුවන්වත් එයාලට හඳුන්වලා දුන්නා. දැන් මගේ හුඟක් නෑදෑයෝ මගේ යාළුවන්ව හොඳට අඳුරනවා. එයාලා එක්ක හොඳට කතාබහත් කරනවා. දැන් මගේ හුඟක් නෑයෝ තේරුම් අරන් ඉන්නවා මං කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. ඉස්සර වගේ දැන් එයාලා මං ගැන වධ වෙන්නේ නෑ.”

16. යේසුස් ඔහුගේ මල්ලි ගැන හිතනවා කියලා පෙන්නුවේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

16 එයාලව ඔයාට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුගේ මල්ලි වුණ යාකොබ්ව හම්බ වෙලා ඔහු එයාට කොච්චර ආදරෙයිද කියලා පෙන්නුවා. (1 කොරි. 15:7) යේසුස් තාමත් එයාට ආදරෙයි කියලා තේරුම්ගද්දී යාකොබ්ට කොහොම දැනෙන්න ඇද්ද! පේන විදිහට යේසුස් මෙසියස් කියලා යාකොබ් තේරුම්ගත්තේ ඒ වෙලාවේ. ඊටපස්සේ යාකොබ් පවුලේ අනිත් අයටත් උදව් කරන්න ඇති යේසුස් තමයි මෙසියස් කියන දේ තේරුම්ගන්න.c—ක්‍රියා 1:14.

17. රෝම 12:15 තියෙන දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

17 රෝම 12:15 කියවන්න. අපේ ආදරණීයයන් සතුටින් ඉන්න කාලවලදී වගේම දුකෙන් ඉන්න කාලවලදීත් අපි එයාලත් එක්ක ඉඳලා එයාලාගේ දුක සැප බෙදාගන්න ඕනේ. ඒක උදව් වෙයි සාක්ෂිකරුවන් ගැන එයාලට තියෙන වැරදි අදහස් නැති කරගන්න.d උදාහරණෙකට පවුලේ කෙනෙක්ට දරුවෙක් හම්බ වුණාම අපිට පුළුවන් පුංචි තෑග්ගක් දීලා එයාලාගේ සතුටේදී එයාලා එක්ක ඉන්නවා කියලා පෙන්නන්න. මරණයකදී හිත සැනසෙන විදිහට කතා කරලා, එයාලට ඕන උදව් දීලා, පුංචි කාඩ් එකක් දීලා එයාලට සහනයක් වෙන්නත් පුළුවන්. අපි නිතරම වගේ, විශේෂයෙන්ම නෑදෑයන් අමාරු දේවලට මූණ දෙද්දී අපි එයාලාගේ දුක සැප හොයලා බලන්න ඕනේ.

කලින් පින්තූරවල හිටපු සහෝදරිය සත්‍යයේ නැති එයාගේ මහත්තයායි, මහත්තයාගේ අම්මායි එක්ක ෆොටෝ එකක් ගන්නවා. මහත්තයාගේ අම්මා ඉන්නේ රෝද පුටුවක.

උදව් ඕනම කරන වෙලාවලදී ඔයාගේ ආදරණීයයන් එක්ක හිටියොත් ඔයාට පුළුවන් එයාලාගේ හිතේ ඔයා ගැනත් ඔයාගේ විශ්වාසයන් ගැනත් තියෙන වැරදි මත වෙනස් කරන්න (17 ඡේදය බලන්න)h


නෑදෑයෙක්ගේ විවාහ උත්සවයකට, මළ ගෙයකට ඔයා යනවාද?

විවාහයකදී, මරණයකදී සාමාන්‍යයෙන් පවුලේ හැමෝම වගේ එකට එකතු වෙනවා. හැබැයි ඒ වගේ එකකට යනවාද නැද්ද කියලා තීරණේ කරන්න කලින් මේ බයිබල් ප්‍රතිපත්ති ගැන හිතලා බලන්න.

  • ඒ අවස්ථාවේදී ආගමික වත්පිළිවෙත්, යෙහෝවා අකමැති චාරිත්‍ර කරයිද? (2 කොරි. 6:14, 15)

  • ඔයා ඒකට ගියොත් ඒ වගේ වත්පිළිවෙත්වලට, චාරිත්‍රවලට හවුල් නොවී ඉන්න තරම් ධෛර්යයක් ඔයාට තියෙයිද? (හිතෝ. 22:3)

  • යෙහෝවා අකමැති චාරිත්‍රවලට ඔයා හවුල් වෙන්නේ නැහැ කියලා නෑදෑයන් දන්නවාද?

  • ඒක තියෙන්නේ ආගමික ස්ථානයක නම් ඔයා ඒකට ගියොත් ඒක සභාවේ අනිත් අයට කොහොම බලපායිද? (ෆිලි. 1:10)

ඔයා මොන විදිහේ තීරණයක් ගත්තත් ඒ ගැන ඔයාගේ නෑදෑයන්ට පැහැදිලිව, ආදරෙන් කියන්න. හැබැයි හැම දේටම වඩා වැදගත් යෙහෝවා ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් තියාගන්න පුළුවන් විදිහේ තීරණයක් ගන්න එකයි.f

18. අන්දෘව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

18 සභාවේ අයට එයාලව හඳුන්වලා දෙන්න. යේසුස් මෙසියස් කියලා අන්දෘ තේරුම්ගත්තාම එයා ඉක්මනටම දුවලා ගිහින් එයාගේ සහෝදරයා වුණ පේතෘස්ට යේසුස්ව හඳුන්වලා දුන්නා. (යොහ. 1:40-42) අපිටත් පුළුවන්ද ඒ වගේම දෙයක් කරන්න? උදාහරණෙකට ඉඳලා හිටලා නෑදෑයෙක්ට රැස්වීම්වලට එන්න කියන්න. නැත්නම් සභාවේ අයත් එක්ක කෑමක් ගද්දී එයාටත් එන්න කියන්න. අපේ නෑදෑයෝ සාක්ෂිකරුවන්ව හොඳට අඳුරගද්දී එයාලා තේරුම්ගනියි සාක්ෂිකරුවන් කියන්නේ අමුතුම කට්ටියක් නෙවෙයි එයාලත් සාමාන්‍ය, හොඳ මිනිස්සු කියලා.

19. නෑදෑයන් අපේ සමහර විශ්වාසයන් හරියටම තේරුම්ගත්තේ නැති වුණත් අපි එයාලත් එක්ක වැඩ කරන්න ඕනෙ කොහොමද? (1 පේතෘස් 3:15)

19 1 පේතෘස් 3:15 කියවන්න. අපි සමහර දේවල් කරන්නේ නැත්තේ ඇයි කියලා නෑදෑයන්ට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැරි වෙයි. ඒත් අපි එයාලට පෙන්නන ආදරේ, ගෞරවේ එයාලට අමතක වෙන එකක් නැහැ. උදාහරණෙකට බයිබලේ එපා කියලා තියෙන උත්සවවලට, චාරිත්‍රවලට සහභාගි වෙන්න අපිට බැරි වුණත් වෙනත් වෙලාවලදී එයාලා එක්ක කාලේ ගත කරන්න අපි ගන්න උත්සාහය එයාලා හුඟක් අගය කරයි. ඉතින් අපිට පුළුවන් ඉඳලා හිටලා එයාලව බලන්න යන්න, එයාලත් එක්ක එකට කෑමක් ගන්න සහ එයාලට තෑගිබෝග දෙන්න.

බලාපොරොත්තු අත්හරින්න එපා

20. යාකොබ්ගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි?

20 යේසුස් මේ පොළොවේ සේවේ කරපු කාලේ යාකොබ් ඔහුගේ ගෝලයෙක් වුණේ නැහැ. හැබැයි පස්සේ එයා ඔහුගේ ගෝලයෙක් වුණා. (ගලා. 1:18, 19; 2:9) ඒ වගේම යේසුස් උගන්නපු දේවල් එයා හොඳට හිතට ගත්තා. මොකද එයා ලියපු ලියුම බලද්දී අපිට පේනවා යේසුස් කන්ද උඩ දේශනාවේදී කියපු දේවල් එයා ඒකට ඇතුළත් කරලා තියෙනවා කියලා.e

21. අපේ නෑදෑයන් කවදා හරි සත්‍යයට එයි කියන විශ්වාසෙන් අපි ඉන්න ඕනෙ ඇයි?

21 සමහරවිට අපි කොච්චර උත්සාහ කළත් අපි එයාලට ආදරෙන්, කරුණාවෙන් සැලකුවත් නෑදෑයන් සත්‍යයට උනන්දුවක් පෙන්නන එකක් නැහැ. එයාලා දිගටම අපේ හිත රිදෙන විදිහට වැඩ කරයි. ඒත් අපි එයාලා ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න හොඳ නැහැ. මොකද අපි එයාලට ආදරෙන් සලකන හැම වෙලාවකම අපි ආදර්ශයට ගන්නේ අපේ දයාවන්ත දෙවි යෙහෝවාව සහ ඔහුගේ පුතා යේසුස්ව. (ලූක් 6:33, 36) අපි දිගටම එයාලට ආදරෙන් සැලකුවොත් කාලයත් එක්ක එයාලා අපි ගැන හිතන් හිටපු විදිහ වෙනස් වෙයි. අපේ විශ්වාසයන් ගැන අපි කියපු දේවල් සමහරවිට එයාලට අමතක වෙලා නැතුව ඇති. ඒ නිසා එයාලා සත්‍යයට එයි කියන විශ්වාසේ අත්හරින්න එපා. දවසක එයාලත් අපිත් එක්ක යෙහෝවාට නමස්කාර කරද්දී අපිට කියාගන්න බැරි සතුටක් දැනෙයි!

ඔයාගේ අදහස මොකක්ද?

  • සත්‍යයේ නැති අපේ නෑදෑයන්ට උදව් කරන්න අනුකම්පාව අපිව පොලඹවන්නේ කොහොමද?

  • අපි අපේ නෑදෑයන් එක්ක දිගටම ඉවසීමෙන් වැඩ කරන ගමන් එයාලා ගැන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි?

  • සත්‍යයේ නැති අපේ නෑදෑයන්ට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 60 ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

a මේ ලිපියේ “නෑදෑයන්” කියද්දී ඒකට අම්මා, තාත්තා වගේ පවුලේ කිට්ටුම අයත් ඇතුළත්.

b 2024 මැයි ‘මුරටැඹ’ සඟරාවේ “අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?” කියන ලිපියේ 11වෙනි පිටුවේ 11-13 ඡේද බලන්න.

c අඩුම ගාණේ යේසුස්ගේ මල්ලිලා දෙන්නෙක් වුණ යාකොබ් සහ යූද් යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ක්‍රිස්තියානීන් වුණා.

d “නෑදෑයෙක්ගේ විවාහ උත්සවයකට, මළ ගෙයකට ඔයා යනවාද?” කියන කොටුව බලන්න.

e යාකොබ් 1:2 මතෙව් 5:11, 12 එක්ක; යාකොබ් 1:19 මතෙව් 5:22 එක්ක; යාකොබ් 1:22; 2:24 මතෙව් 7:21 එක්ක සහ යාකොබ් 2:13 මතෙව් 5:7; 6:14, 15 එක්ක සන්සන්දනය කරලා බලන්න.

f මේ වගේ අවස්ථාවකදී වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා තව විස්තර දැනගන්න 2002 මැයි 15 සහ 2007 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවල “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

g පින්තූරවල අදහස: සේවේ යන්න කලින් සහෝදරියක් මහත්තයාගේ කෑම එක ලෑස්ති කරලා දෙනවා.

h පින්තූරේ අදහස: ඒ සහෝදරියම සත්‍යයේ නැති එයාගේ නැන්දම්මාව බලන්න ගිහින්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න