පාඩම් ලිපිය 30
ගීතිකාව 97 අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි
මූලික ඉගැන්වීම්වලින් ඔයා දැනුත් ඉගෙනගන්නවාද?
“ඔයාලා මේ දේවල් දන්නවා වුණත් ඉගෙනගත්ත සත්‍යයන් ගැන ඔයාලට ලොකු විශ්වාසයක් තියෙනවා වුණත් මේ දේවල් ගැන මං ආයේ ආයේ ඔයාලට මතක් කරනවා.”—2 පේතෘ. 1:12.
ලිපියේ අරමුණ
ඔයා මුලින්ම බයිබලෙන් ඉගෙනගත්ත දේවල් අදටත් ඔයාට උදව් වෙන විදිහ අපි බලමු.
1. ඔයා බයිබල් සත්‍යයන් ගැන ඉගෙනගත්ත මුල් කාලේදී ඒවා ඔයාට බලපෑවේ කොහොමද?
අපි මුලින්ම බයිබලෙන් ඉගෙනගත්ත වැදගත් සත්‍යයන් නිසා අපේ මුළු ජීවිතේම වෙනස් වුණා. උදාහරණෙකට දෙවියන්ගේ නම යෙහෝවා කියලා දැනගත්තාම අපි ඔහුගේ යාළුවෙක් වෙන්න පියවර ගත්තා. (යෙසා. 42:8) මැරුණ අයට ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දැනගත්තාම අපෙන් වෙන් වුණ ආදරණීයයන් කොහේ හරි තැනක දුක් විඳිනවා කියලා හිතලා වධ වෙන එක අපි නතර කළා. (දේශ. 9:10) මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන දැනගත්තාම අපි අපේ අනාගතේ ගැන වධ වෙන එක නැවැත්තුවා. මොකද අපි ඉගෙනගත්තා අවුරුදු 70කට, 80කට නෙවෙයි අපිට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා.—ගීතා. 37:29; 90:10.
2. කාලයක් පුරා සත්‍යයේ හිටපු අයට වුණත් බයිබලේ මූලික ඉගැන්වීම් ප්‍රයෝජනවත් කියලා 2 පේතෘස් 1:12, 13 පැහැදිලි වෙන්නේ කොහොමද?
2 බයිබලෙන් ඉගෙනගත්ත ඒ මූලික ඉගැන්වීම් කොච්චර වටිනවාද කියලා අපි කවදාවත් අමතක කරන්න නරකයි. පේතෘස් එයාගේ දෙවෙනි ලියුම ලිව්වේ ඉගෙනගත්ත සත්‍යයන් ගැන ඒ වෙද්දීත් “ලොකු විශ්වාසයක්” තිබුණ ක්‍රිස්තියානීන්ට. (2 පේතෘස් 1:12, 13 කියවන්න.) හැබැයි ඒ කාලේ වෙද්දී දුෂ්ට මිනිස්සු සභාවට ඇතුල් වෙලා සහෝදරයන්ව සත්‍යයෙන් ඈත් කරන්න උත්සාහ කළා. (2 පේතෘ. 2:1-3) පේතෘස්ට ඕන වුණේ සහෝදරයන්ගේ විශ්වාසේ ශක්තිමත් කරන්න. එතකොට එයාලට පුළුවන් බොරු ඉගැන්වීම්වලට අහු නොවී ඉන්න. ඒක කරන්න පේතෘස් පාවිච්චි කළේ ඒ වෙද්දීත් ඒ සහෝදරයෝ ඉගෙනගෙන තිබ්බ දේවල්. ඒ ඉගැන්වීම් එයාලට උදව් වෙනවා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න.
3. හැම ක්‍රිස්තියානියෙක්ම බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ගැන දිගටම හිතන්න ඕනෙ ඇයි කියලා පැහැදිලි කරන්න.
3 අපි කාලයක් සත්‍යයේ ඉන්න අය වුණත් අපිට බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒක තේරුම්ගන්න අලුතෙන් සූපවේදියෙක් වුණ කෙනෙක් ගැනයි, හොඳට අද්දැකීම් තියෙන දක්ෂ සූපවේදියෙක් ගැනයි හිතන්න. දෙන්නාම කෑම හදන්නේ එකම අමුද්‍රව්‍යවලින්. ඒත් අද්දැකීම් තියෙන කෙනා දන්නවා ඒ අමුද්‍රව්‍ය එක එක විදිවලින් පාවිච්චි කරලා අලුත් අලුත් කෑම හදන්න. ඒ වගේ අපි හැමෝම දැනගන්න බයිබලේ මූලික ඉගැන්වීම් එකයි. හැබැයි සත්‍යයට අලුතෙන් ආපු කෙනෙකුයි, කාලයක් සත්‍යයේ ඉන්න කෙනෙකුයි ඒ ඉගැන්වීම් දිහා බලන පැති වෙනස්. කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න කෙනෙක් බව්තීස්ම වුණ දවසේ ඉඳන් විවිධ දේවලට මූණ දීලා තියෙනවා, සංවිධානයේ විවිධ පැවරුම් කරලා තියෙනවා. ඉතින් මූලික ඉගැන්වීම් එයා දැන් ඉන්න තත්වෙට අදාළ කරගන්න පුළුවන් අලුත් පැති එයා දකිනවා. දැන් අපි බලමු කාලයක් සත්‍යයේ ඉන්න කෙනෙක්ට වුණත් බයිබලේ තියෙන මූලික සත්‍යයන් තුනකින් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන.
යෙහෝවා අපේ නිර්මාතෘ
4. යෙහෝවා අපේ නිර්මාතෘ කියලා දැනගත්ත එක අපිට බලපෑවේ කොහොමද?
4 අපි දන්නවා පොළොවයි, මේ හැම දේමයි හැදුවේ ප්‍රඥාවන්ත, බලවත් නිර්මාතෘ කෙනෙක් කියලා. බයිබලේ කියනවා “හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන්” කියලා. (හෙබ්‍රෙ. 3:4) ඒ මූලික ඉගැන්වීමෙන් තව දේවල් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා අපිව නිර්මාණය කරපු නිසා අපි ගැන හැම දෙයක්ම ඔහු දන්නවා. ඔහු අපි ගැන හිතනවා. අපිට ඕනෙ හොඳම දේ ඔහු දන්නවා. ඉතින් යෙහෝවා අපේ නිර්මාතෘ කියලා දැනන් ඉන්න එක අපේ ජීවිතේට අර්ථයක් එකතු කළා.
5. නිහතමානී වෙන්න අපිට උදව් වෙන්නේ මොන ඉගැන්වීමද? (යෙසායා 45:9-12)
5 යෙහෝවා තමයි අපේ නිර්මාතෘ කියන මූලික ඉගැන්වීම දැනගෙන ඉන්න එක අපිට නිහතමානී වෙන්නත් උදව් වෙනවා. ඒ කොහොමද? යෝබ් යෙහෝවා ගැන හිතනවාට වඩා තමන් ගැන හිතපු වෙලාවේ යෙහෝවා එයාට මතක් කළා ඔහු සියලු බලැති නිර්මාතෘ කියලා. (යෝබ් 38:1-4) ඒක යෝබ්ට උදව් වුණා යෙහෝවා හිතන විදිහ මිනිස්සු හිතන විදිහට වඩා ගොඩක් උසස් කියලා තේරුම්ගන්න. පස්සේ කාලෙක යෙසායාත් මෙහෙම ලිව්වා. “මැටි පිඩකට පුළුවන්ද ‘ඔයා මොනවාද මේ හදන්නේ’ කියලා කුඹල්කරුගෙන් අහන්න?”—යෙසායා 45:9-12 කියවන්න.
6. අපේ නිර්මාතෘ කොච්චර ප්‍රඥාවන්තද, බලවත්ද කියලා හිතන්න ඕනෙ මොන වගේ අවස්ථාවකදීද? (පින්තූරත් බලන්න.)
6 කාලයක් තිස්සේ යෙහෝවාට සේවේ කරන කෙනෙක් සමහරවිට යෙහෝවාගෙන්, ඔහුගේ වචනයෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට එයාගෙම අදහස් මත විශ්වාසේ තියන්න පෙලඹෙයි. (යෝබ් 37:23, 24) ඒ වගේ කෙනෙක් ‘යෙහෝවා තමයි අපේ නිර්මාතෘ, ඔහුට ගොඩක් ප්‍රඥාව, බලය තියෙනවා’ කියලා හිතන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (යෙසා. 40:22; 55:8, 9) ඒක එයාට උදව් වෙනවා දිගටම නිහතමානී වෙලා එයා හිතන විදිහ නෙවෙයි, යෙහෝවා හිතන විදිහ තමයි හරි කියලා තේරුම්ගන්න.
අපේ අදහස්වලට වඩා යෙහෝවාගේ අදහස් උසස් කියලා තේරුම්ගන්න උදව් වෙන්නේ මොකක්ද? (6 ඡේදය බලන්න)d
7. අලුත් මඟ පෙන්වීමක් පිළිගන්න රහෙලාට උදව් වුණේ මොකක්ද?
7 යෙහෝවා අපේ නිර්මාතෘ කියලා හිතන එක ස්ලෝවේනියාවේ ඉන්න රහෙලාට උදව් වුණා සංවිධානයෙන් කරපු වෙනස්කමක් පිළිගන්න. එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට පෙරමුණ ගන්න සහෝදරයන්ගේ තීරණවලට එකඟ වෙන්න මට ලේසි වුණේ නෑ. මං ‘2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 8’ බැලුවා. ඒත් ඊටපස්සෙත් රැවුල වවපු සහෝදරයෙක් දේශනයක් දෙනවා දැක්කාම මට හරි අමුත්තක් දැනුණා. ඉතිං මං යෙහෝවාට කිව්වා මේ වෙනස්කමට හැඩගැහෙන්න උදව් කරන්න කියලා.” රහෙලා තේරුම්ගත්තා අහස, පොළොව නිර්මාණය කරපු යෙහෝවාට ඔහුගේ සංවිධානය හරි විදිහට ගෙනියන්න පුළුවන් කියලා. අලුත් අවබෝධයක්, මඟ පෙන්වීමක් පිළිගන්න ඔයාටත් අමාරුයිද? එහෙනම් නිහතමානී වෙලා අපේ නිර්මාතෘට කොච්චර ප්‍රඥාවක්, බලයක් තියෙනවාද කියලා හිතන එක හොඳ නැද්ද?—රෝම 11:33-36.
දුක් වේදනාවලට ඉඩ දෙන හේතුව
8. දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලා දැනගත්ත එක අපිට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?
8 දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි? ඒකට උත්තරේ දන්නේ නැති සමහරු දෙවියන් එක්ක කේන්ති ගන්නවා. නැත්නම් එයාලා හිතනවා දෙවි කෙනෙක් නැහැ කියලා. (හිතෝ. 19:3) ඒත් ඔයා ඊට වඩා වෙනස්. ඔයා දැනගත්තා අපි දුක් විඳින්නේ යෙහෝවා නිසා නෙවෙයි, උරුම වුණ පාපය නිසයි කියලා. ඔයා දැනගත්තා යෙහෝවා ඉවසන නිසා මිලියන ගාණකට ඔහු ගැන, ඔහු දුක් වේදනා සදහටම නැති කරන විදිහ ගැන දැනගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා. (2 පේතෘ. 3:9, 15) මේ සත්‍යයන් නිසා ඔයාට ලොකු සහනයක් දැනුණා වගේම ඔයා පෙලඹුණා යෙහෝවාට තව ළං වෙන්න.
9. දුක් කරදරවලට යෙහෝවා ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා අපි විශේෂයෙන්ම හිතන්න ඕන මොන වගේ වෙලාවලදීද?
9 යෙහෝවා දුක් කරදරවලට විසඳුමක් ගේන කල් අපිට සිද්ධ වෙනවා ඉවසීමෙන් බලන් ඉන්න. හැබැයි අපි ආදරේ කරන කෙනෙක් මැරෙද්දී, අපිට නැත්නම් අපේ පවුලේ කෙනෙක්ට ප්‍රශ්න, අසාධාරණකම් එද්දී අපිට හිතෙයි ඇයි යෙහෝවා පරක්කු කියලා. (හබ. 1:2, 3) ඒ වගේ වෙලාවට අපි මතක් කරගන්න ඕනෙ යෙහෝවා ධර්මිෂ්ඨයන්ට දුක් කරදර විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා.a (ගීතා. 34:19) දුක් කරදර නැත්තටම නැති කරලා දාන්න යෙහෝවාට තියෙන අරමුණ ගැනත් අපි හිතන්න ඕනේ.
10. වියෝදුක දරාගන්න ඈන්ට උදව් වුණේ මොකක්ද?
10 දුක් වේදනා ගැන සත්‍යය දැනන් ඉන්න එක අපිට උදව් වෙනවා විඳදරාගන්න. මයොටි දූපතේ ඉන්න ඈන් කියන දේ බලන්න. “මීට අවුරුදු කීපයකට කලින් මගේ අම්මා නැති වුණා. ඒක මට දරාගන්න බැරි දුකක්. හැබැයි මං හැම තිස්සේම මතක් කරගත්තා දුක් වේදනාවලට හේතුව යෙහෝවා නෙවෙයි කියලා. දුක් වේදනා නැත්තටම නැති කරලා දාන්න, මැරුණ අයව ආයේ නැඟිට්ටවන්න යෙහෝවා ගොඩක් ආසාවෙන් බලං ඉන්නවා. ඉතිං ඒ සත්‍යයන් ගැන හිතපු එක මට උදව් වුණා සන්සුන්ව දේවල් දරාගන්න.”
11. යෙහෝවා දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන හේතුව දැනන් ඉන්න එක දිගටම සේවේ කරන්න අපිට උදව් වෙන්නේ කොහොමද?
11 දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා දැනන් ඉන්න එක අපිව පොලඹවනවා දිගටම දේශනා කරන්න. යෙහෝවා ඉවසන්නේ පසුතැවිලි වෙලා ගැලවීම ලබාගන්න අවස්ථාවක් දෙන්නයි කියලා පැහැදිලි කළාට පස්සේ පේතෘස් මෙහෙම කිව්වා. “ඔයාලාගේ හැසිරීම ගැනත් ඔයාලා කරන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලත් හොඳට හිතලා බලන්න. ඔයාලාගේ හැසිරීම ශුද්ධව තියෙන්න ඕනේ. ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය පේන්න ඕනේ.” (2 පේතෘ. 3:11) “දෙවියන් ගැන තියෙන භක්තිය” නිසා කරන දේවලට දේශනා සේවෙත් ඇතුළත්. දෙවියන් වගේ අපිත් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. අපි ආසයි එයාලත් පාරාදීසේ ඉන්නවා දකින්න. යෙහෝවා ඉවසන නිසා ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අයටත් අවස්ථාව තියෙනවා ඔහුට නමස්කාර කරන තීරණේ ගන්න. එහෙම බලද්දී දෙවියන්ගේ හවුල් සේවකයෙක් වෙලා අවසානයට කලින් පුළුවන් තරම් දෙනෙක්ට ඔහු ගැන දැනගන්න උදව් කරන එක කොච්චර වටිනවාද!—1 කොරි. 3:9.
අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල”
12. අපි ඉන්නේ “අන්තිම දවස්වල” කියලා දැනගත්ත එක අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද?
12 බයිබලේ හරියටම පැහැදිලි කරලා තියෙනවා “අන්තිම දවස්වල” ඉන්න මිනිස්සු කොයි වගේද කියලා. (2 තිමෝ. 3:1-5) අපි චුට්ටක් වටපිට බැලුවොත් ඒ අනාවැකිය ඉටු වෙන විදිහ අපේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ගතිපැවතුම් එන්න එන්න පල්ලෙහට වැටෙනවා. ඉතින් වෙන කවදාටත් වඩා අපිට ස්ථිරයි දෙවියන්ගේ වචනය කොච්චර විශ්වාසවන්තද කියලා.—2 තිමෝ. 3:13-15.
13. ලූක් 12:15-21 යේසුස් කියපු උදාහරණේ අපිට උදව් වෙන්නේ කොහොමද?
13 අපි ඉන්නේ අන්තිම දවස්වල කියලා දැනන් ඉන්න එක අපිට උදව් වෙනවා ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න. ඒකේ වැදගත්කම ලූක් 12:15-21 යේසුස් කියපු උදාහරණෙන් දැනගන්න පුළුවන්. (කියවන්න.) ඒ ධනවත් මනුස්සයා ‘මෝඩයි’ කියලා කියන්නේ ඇයි? ඒ, එයාට තිබුණ ධනය නිසා නෙවෙයි. එයා හරි දේට මුල් තැන දුන්නේ නැති නිසා. එයා “දෙවියන් ඉස්සරහා පොහොසත් වෙන්නේ නැතුව තමන්ටම වස්තු රැස් කරගත්තා.” එයා එයාට තිබ්බ කාලේ පාවිච්චි කළේ හරිම මෝඩ විදිහට. මොකද දෙවියන් එයාට කිව්වා “අද රෑම ඔයාගේ ජීවිතය නැති වෙයි” කියලා. අපිත් අවසානයට දවසින් දවස ළං වෙනවා. ඒ නිසා අපිත් අපෙන්ම මෙහෙම අහගමු. ‘මගේ ඉලක්කවලින් පේනවාද මං ඉන්නේ අන්තිම කාලේ කියලා මං තේරුම් අරන් ඉන්නවා කියලා? මං මගේ දරුවන්ට උදව් කරන්නේ මොන වගේ ඉලක්ක තියාගන්නද? මගේ ශක්තිය, කාලය, මට තියෙන දේවල් මං පාවිච්චි කරන්නේ මටම දේවල් රැස් කරන්නද නැත්නම් ස්වර්ගයේ වස්තු රැස් කරන්නද?’
14. අපි ඉන්නේ අන්තිම දවස්වල කියලා මතක තියාගන්න එකේ වැදගත්කම මිකීගේ අද්දැකීමෙන් පේන්නේ කොහොමද?
14 අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල කියලා කියන්න තියෙන සාක්ෂි ගැන හිතන එක අපිට උදව් වෙනවා හරි තීරණ ගන්න. සහෝදරි මිකී මෙහෙම කියනවා. “ඉස්කෝලේ ගිහිං ඉවර වුණාට පස්සේ මට ඕන වුණේ සත්තු ගැන තව අධ්‍යයනය කරලා ඒකට සම්බන්ධ රස්සාවක් කරන්න. ඒත් එක්කම පුරෝගාමි කරන්නයි, ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්නයි ඉලක්කෙකුත් මට තිබ්බා. සභාවේ ඉන්න සමහරු කිව්වා ඒ වගේ රස්සාවක් කරන ගමන් සේවේ වැඩි කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න කියලා. එයාලා මට මතක් කළා මේ සමාජය තව වැඩි කල් තියෙන්නේ නෑ කියලා. පාරාදීසේදී මට ඇති තරම් සත්තු ගැන අධ්‍යයනය කරන්න කාලේ ලැබෙනවා කියලත් එයාලා මතක් කළා. ඉතිං පොඩි කෝස් එකක් කරන්න මං පටන්ගත්තා. ඒක මට උදව් වුණා මගේ පුරෝගාමි සේවෙට උදව් වෙන රස්සාවක් හොයාගන්න. පස්සේ මං ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්න ඉක්වදෝරයට ගියා.” දැන් මිකීයි, එයාගේ මහත්තයායි ඒ රටේම චාරිකා සේවේ කරනවා.
15. ශුභාරංචියට එච්චර උනන්දුවක් පෙන්නන්නේ නැති අයව අපි අත්හරින්න හොඳ නැත්තේ ඇයි? උදාහරණයක් දෙන්න. (පින්තූරත් බලන්න.)
15 මිනිස්සු ශුභාරංචිය ඇහුවේ නැහැ කියලා අපි අධෛර්යය වෙන්න නරකයි. මොකද එයාලා වෙනස් වෙන්න පුළුවන්. උදාහරණෙකට යේසුස්ගේ මල්ලි යාකොබ් ගැන හිතන්න. යේසුස් උස් මහත් වුණ විදිහ, ගැලවුම්කරු ගැන කියපු අනාවැකි ඔහු මාර්ගයෙන් ඉටු වුණ විදිහ, වෙන කිසිම කෙනෙක්ට වඩා දක්ෂ විදිහට ඔහු උගන්නපු විදිහ යාකොබ් දැක්කා. හැබැයි අවුරුදු ගාණක් යන කල් යාකොබ් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ නැහැ. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ තමයි එයා අනුගාමිකයෙක් වෙලා උද්යෝගයෙන් දේශනා කරන්න පටන්ගත්තේ.b (යොහ. 7:5; ගලා. 2:9) ඉතින් දැනට සත්‍යයට එච්චර උනන්දුවක් නැති නෑදෑයන්ව අමතක නොකර ඉන්න එක, කලින් අපේ පණිවිඩේ අහන්න අකමැති වුණ අයට ආයේ සාක්ෂි දරන එක කොච්චර වැදගත්ද! අපි ඉන්නේ අන්තිම දවස්වල. වෙන කවදාටත් වඩා දේශනා කරන එක ගොඩක් හදිස්සියි. ඔයා දැන් එයාලට කියන දේවල් ගැන ඉස්සරහට, සමහරවිට මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ එයාලා හිතයි. ඊටපස්සේ එයාලා වෙනස්කම් කරගන්න වුණත් පෙලඹෙයි.c
සත්‍යයේ නැති නෑදෑයන් ගැන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (15 ඡේදය බලන්න)e
යෙහෝවාගේ සිහිගැන්වීම් අගය කරන්න
16. යෙහෝවාගේ සිහිගැන්වීම් ඔයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද? (“අනිත් අයට උදව් කරන්න පාවිච්චි කරන්න” කියන කොටුවත් බලන්න.)
16 බයිබලේ මත පදනම් සමහර දේවල් සංවිධානයෙන් පිළියෙල කරන්නේ බයිබලේ මූලික ඉගැන්වීම් ගැන දන්නේ නැති අය වෙනුවෙන්. උදාහරණෙකට සතිපතා තියෙන බයිබල් දේශනය, jw.org එකේ සමහර ලිපි, වීඩියෝ වගේම අපේ පොදු කලාපත් සකස් කරන්නේ සාක්ෂිකරුවන් නොවන අය වෙනුවෙන්. හැබැයි ඒවාවල තියෙන සිහිගැන්වීම්වලින් අපිටත් ප්‍රයෝජන තියෙනවා. යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්නත් බයිබලේ ගැන තියෙන විශ්වාසේ ශක්තිමත් කරගන්නත් බයිබලේ තියෙන සත්‍යයන් ගැන අනිත් අයගේ හිතට කාවදින විදිහට උගන්නන්නත් ඒවා අපිට උදව් වෙනවා.—ගීතා. 19:7.
17. බයිබලේ මූලික ඉගැන්වීම් අපි මතක් කරගන්න ඕනෙ කොයි වගේ වෙලාවලදීද?
17 බයිබල් සත්‍යයන් ගැන අපිට තියෙන අවබෝධය තව පැහැදිලි වෙද්දී සාක්ෂිකරුවන් විදිහට අපිට ලොකු සතුටක් දැනෙනවා. අපේ හිත් සත්‍යයට ඇදිලා යන්න හේතු වුණ බයිබලේ මූලික ඉගැන්වීම් ගැනත් අපිට තියෙන්නේ ලොකු අගයක්. සංවිධානයෙන් දෙන මඟ පෙන්වීමකට වඩා අපි දේවල් කරන විදිහ හරියි කියලා අපිට හිතෙනවා නම් මේ සංවිධානයට මඟ පෙන්නන්නේ සියලු බලැති, හැම අතින්ම ප්‍රඥාවන්ත අපේ නිර්මාතෘ කියලා අපි මතක් කරගමු. අපිට, අපි ආදරේ කරන කෙනෙක්ට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙද්දී අපි ඉවසමු. යෙහෝවා දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා ආයේ මතක් කරගමු. අපේ කාලය, අපිට තියෙන දේවල් පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා තීරණේ කරද්දී අපි ඉන්නේ අන්තිම දවස්වල කියලා මතක් කරගමු. ඒ විදිහට අපි දිගටම යෙහෝවාගේ සිහිගැන්වීම්වලින් ප්‍රයෝජන ගමු. මොකද ඒවාට පුළුවන් අපිව ශක්තිමත් කරන්න, අපිව දිරිගන්වන්න. ඒ වගේම හොඳ තීරණ ගන්න අපිට උදව් කරන්න.
ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
a 2007 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 21-25 පිටුවල තියෙන “සියලුම දුක් වේදනාවල නිමාව අත ළඟයි” කියන ලිපිය බලන්න.
c 2024 මැයි ‘මුරටැඹ’ සඟරාවේ 8-13 පිටුවල තියෙන “අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න.
d පින්තූරවල අදහස: වැඩිමහල්ලෙක් දෙන යෝජනාවකට වැඩිමහල් මණ්ඩලය එකඟ වෙන්නේ නැහැ. පස්සේ තරු පිරුණු අහස දිහා බලාගෙන කල්පනා කරද්දී ඒ වැඩිමහල්ලාට තේරෙනවා එයාගේ අදහස්වලට වඩා යෙහෝවා හිතන විදිහයි වැදගත් කියලා.
e පින්තූරවල අදහස: අපි ඉන්නේ අවසාන දවස්වල කියන්න සාක්ෂි එක සහෝදරියක් අධ්‍යයනය කරනවා. ඒක එයාව පොලඹවනවා එයාගේ අක්කාට කෝල් කරලා සාක්ෂි දරන්න.