‘ඔබේ ආලෝකය විහිදුවන්න’
1. අප විහිදුවිය යුතු ආලෝකය කුමක්ද?
1 හිරු උදාවේ සිට හිරු බැස යන තුරුම සූර්යාලෝකය මගින් යෙහෝවා දෙවිව ප්‍රශංසාවට ලක් වෙනවා. නමුත් දෙවිව ප්‍රශංසාවට පත් කරන වෙනත් ආකාරයේ ආලෝකයක් ගැනත් යේසුස් පැවසුවා. එය නම් සදාකාල ‘ජීවනයට මඟ පෙන්වන ආලෝකයයි.’ එනම් දෙවි පිළිබඳ දැනුමයි. (යොහ. 8:12) ඒ දැනුම ලැබී තිබෙන්නේ දෙවිගෙන් නිසා විශාල වගකීමකුත් අපට පැවරෙනවා. යේසුස් ඒ ගැන පැවසුවේ මෙයයි. “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න.” (මතෙ. 5:16) ඉන් පැහැදිලි වන්නේ අප ලබා ඇති දැනුම නමැති ආලෝකය අන්ධකාරයේ සිටින ජනයාට, එනම් දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් නොදන්නා ජනයාට ලබා දීම අත්‍යවශ්‍ය බවයි. එසේනම් යේසුස් මෙන් අපත් මිනිසුන් ඉදිරියේ ආලෝකය විහිදුවන්නේ කොහොමද?
2. දෙවි ගැන ඉගැන්වීම වැදගත් දෙයක් කියා යේසුස් පෙන්නුවේ කොහොමද?
2 ශුභාරංචිය දේශනා කිරීමෙන්. යේසුස් තම කාලය හා ශ්‍රමය වැය කර ජනයාට දේශනා කළා. නිවෙස්වලදී, කඳු මුදුන් ඇතුළු ජනයා ගැවසෙන ඕනෑම තැනකදී ඔවුන්ට දෙවි ගැන ඉගැන්නුවා. එසේ කළේ ජනයා ඉන් ලබන අසීමිත ප්‍රයෝජන ගැන ඔහු දැන සිටි නිසයි. (යොහ. 12:46) තව බොහෝදෙනෙකුට දෙවිට ළං වීමට උපකාර කිරීම සඳහා ඔහු තම ගෝලයන්වත් පුහුණු කළා. (මතෙ. 5:14) ඔවුන්ද ජනයාට ඉගැන්වූ අතර ඒ අය ගැන පෞද්ගලිකවම උනන්දුවක් දැක්වුවා.
3. එෆීස 5:8හි ඇති උපදෙස බැරෑරුම් ලෙස සලකන බව පෙන්විය හැක්කේ කොහොමද?
3 “දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න” යන උපදෙස අප බැරෑරුම් ලෙස සලකනවා. (එෆී. 5:8) ඕනෑම තැනකදී ජනයාට අප සාක්ෂි දරන්නේ ඒ නිසයි. පාසැලේදී, වැඩපොළේදී හෝ ජනයා ගැවසෙන වෙනත් තැන්වලදී බයිබලය හෝ අපගේ ප්‍රකාශනයක් කියවීමෙන් හොඳ සාකච්ඡාවකට මඟ පෑදෙන්න ඉඩ තිබෙනවා. පාසැල් යන සහෝදරියක් එසේ කළ නිසා ඇයට බයිබල් පාඩමක් ආරම්භ කරන්න හැකි වූ අතර පන්තියේ මිතුරියන්ට පොත් 12ක් බෙදාහරින්නත් හැකි වුණා.
4. යහපත් හැසිරීමත් ‘ආලෝකය විහිදු වීමට’ අයත් කියා පැවසීමට හේතුව කුමක්ද?
4 යහපත් ලෙස හැසිරීමෙන්. එදිනෙදා ජීවිතයේදී අප හැසිරෙන ආකාරය මගින් ආලෝකය විහිදුවන්න අපට පුළුවන්. (එෆී. 5:9) පාසැලේදී, රැකියාවේදී හා අනික් අවස්ථාවලදී අප හැසිරෙන ආකාරය අන් අයට වඩා වෙනස් බව දකින ජනයා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා. (1 පේතෘ. 2:12) වයස අවුරුදු පහක දරුවෙකුගේ යහපත් හැසිරීම දැක පුදුම වූ ඔහුගේ ගුරුවරිය ඔහුගේ දෙමාපියන්ට මෙසේ පැවසුවා. “හරි වැරැද්ද ගැන මේ තරම් අවබෝධයක් තියෙන දරුවෙක්ව නම් මං කවදාවත් දැකලා නැහැ.” ඇත්තෙන්ම, ශුභාරංචිය දේශනා කිරීමෙන් හා යහපත් ලෙස හැසිරීමෙන් යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් වෙනවා පමණක් නොව ජනයාවද “ජීවනයට මඟ පෙන්වන ආලෝකය” වෙත ඇදී එනවා.