වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීමට ශක්තිය උපදවාගැනීම
“මම නහඹර වයසේ සිටිද්දී වෙළඳසැලක වැඩ කළා; මාත් එක්ක වැඩ කරපු මිතුරෙක් එයාගේ ගෙදර එන්න කියල මට ආරාධනා කෙරුවා. එයාගේ දෙමාපියන් ගෙදර නැහැ කියලත්, ගැහැනු ළමයි එහාට එන හින්දා ලිංගික සම්බන්ධකම් පවත්වන්න අවස්ථාවක් ලැබෙනවා කියලත් එයා මට කිව්වා” කියා තිමති පැහැදිලි කරනවා. අද ඉන්න යෞවනයන් ඒ වගේ ආරාධනයක් පිළිගන්න එක ගැන හිත හිත ඉන්නේ නැහැ. ඒත් තිමතිගේ ප්‍රතිචාරය කුමක්ද? “මගේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය නිසා මාත් එක්ක විවාහ වෙලා නැති කෙනෙක් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න මම කැමති නැහැ; ඒ හින්දා මම එන්නේ නැහැ කියල මම ගත් කටටම කිව්වා.”
තමා එම ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් කියූ දේවල්, එම වෙළඳසැලේ වැඩ කරන තරුණ ස්ත්‍රියක් අසාගෙන සිටිය බව තිමති දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ සදාචාරාත්මක නිර්මලකම කෙරෙහි ඇගේ සිත ඇදී ගියා. වැඩි කල් නොගොස් කීප වතාවක්ම ඇගේ යෝජනාද ප්‍රතික්ෂේප කිරීමට ඔහුට සිද්ධ වුණා. අපි පසුව මේ ගැන තවදුරටත් දැනගන්න යනවා.
පරීක්ෂාවලින් වට වී සිටීම, අපේ කාලයට පමණක් විශේෂ වූ දෙයක් නොවෙයි. මීට අවුරුදු 3,000කට පමණ පෙර සාලමොන් රජ මෙසේ ලිව්වා: “මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න. . . . නුඹේ පය ඔවුන්ගේ මාවතින් වලක්වාගන්න.” (හිතෝපදේශ 1:10, 15) යෙහෝවා දෙවිම ඉශ්රායෙල් ජාතියට මෙසේ අණ කළා: “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න.” (නික්මයාම 23:2) ඔව්, වැඩිදෙනෙකු වැරදි දේවල් කිරීම සඳහා ඇති වන පරීක්ෂාවලට එරෙහි නොවුණත්, අපි ඒවා ප්‍රතික්ෂේප කළ යුතුයි.
ප්‍රතික්ෂේප කිරීම විශේෂයෙන් මේ කාලයේ වැදගත්
වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීම කවදත් පහසු දෙයක් වී නැහැ; අද අපි ජීවත් වෙන්නේ, “අන්තිම දවස්” කියා බයිබලය හඳුන්වන කාලයක නිසා, විශේෂයෙන්ම මේ කාලයේදී එය අසීරු දෙයක් විය හැකියි. එම බයිබල් අනාවැකියේ සත්‍යතාව තහවුරු කරමින්, පොදුවේ ගත් කල මනුෂ්‍යයන් සැප සෙල්ලමට හා සැහැසියාවට ඇලුම් කරන අතර, ආත්මිකව මෙන්ම සදාචාරාත්මකව දැඩි ඌනතාවකින් පෙළෙනවා. (2 තිමෝති 3:1-5) යේසු නිකායික සරසවියක සභාපති කෙනෙකු මෙසේ සඳහන් කළා: “අපිට තිබෙන්නේ අභියෝගයකට ලක් කර ඇති, අඩු පාඩුකම් තිබෙන හෝ නවීන ලෝකයට ගැළපෙන්නේ නැති බව සොයාගෙන තිබෙන සම්ප්‍රදායික ප්‍රතිපත්ති මාලාවක්. අද කිසිම සදාචාරාත්මක මඟ පෙන්වීමක් කොහොමටවත් නැති බවයි පෙනෙන්න තියෙන්නේ.” ඒ හා සමාන ආකාරයකින් අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු මෙසේ පැවසුවා: “දැන් දේවල්වල පැහැදිලි වෙනසක් දකින්න නැහැ. හැම දෙයක්ම අපැහැදිලියි. . . . හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්නේ ටිකදෙනයි. මේ කාලයේ පාපය වන්නේ වරද කිරීම නොව, වරද කර අසුවීමයි.”
ප්‍රේරිත පාවුල් එවැනි ආකල්ප ඇති මිනිසුන් ගැන මෙසේ ලිව්වා: “තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද [දෙවි] කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති. ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.” (එපීස 4:18, 19) නමුත් දුක්ඛදායක ප්‍රතිඵලවලින් පලා යන්න ඔවුන්ට බැහැ. යෙසායා මෙසේ ප්‍රකාශ කළා: “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ . . . අයට දුක් වේ!” (යෙසායා 5:20) මේ අය දැන් තමන් වැපුරූ දේවල් කපාගන්නවා විතරක් නොවෙයි, ළඟදීම ඔවුන්ගේ ලොකුම ‘දුක’ වන යෙහෝවාගේ අහිතකර විනිශ්චයද අද්දකින්න යනවා.—ගලාති 6:7.
“දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය” කියා ගීතාවලිය 92:7 පවසනවා. වෙනත් වචනවලින් කියනවා නම්, හැම කෙනෙකුටම ජීවත් වෙන්න බැරි තරමට සිදු වන දුෂ්ටයන්ගේ මෙම අධික වර්ධනය සැමදාටම පවතින්න යන්නේ නැහැ. ඇත්තෙන්ම, “මහත් පීඩාවක්” මගින් දෙවි නැති කර දමන්න යන්නේ, මේ දුෂ්ටකමට අනුබල දෙන ‘පරම්පරාවයි’ කියා යේසු පැවසුවා. (මතෙව් 24:3, 21, 34) එහෙම නම්, ඒ පීඩාවෙන් ගැළවෙන්න අපිට ඕනෙ නම්, දෙවිගේ ප්‍රමිතිවලට අනුව හරි වැරැද්ද අපි දැන සිටීම අවශ්‍යයි. ඒ වගේම, වැරදි දේවල් මොන ස්වරූපයකින් තිබුණත්, ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කිරීමට සදාචාරාත්මක ශක්තියත් අපිට අවශ්‍යයි. මෙය ලෙහෙසි පහසු දෙයක් නොවුණත්, බයිබල් කාලවල මෙන්ම නවීන-දින තිබෙන දිරිගන්වනසුලු ආදර්ශ කිහිපයක් යෙහෝවා අපිට සපයා තිබෙනවා.
ප්‍රතික්ෂේප කළ තරුණයෙකුගෙන් ඉගෙනගැනීම
වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය ප්‍රතික්ෂේප කිරීම ක්‍රිස්තියානි සභාවේ සිටින සමහරුන්ට පවා අමාරු දෙයක් වගේ පෙනෙන්න තියෙනවා. මුල්ම ඡේදයේ සඳහන් කළ තිමති, උත්පත්ති 39:1-12හි වාර්තා වී තිබෙන තරුණ යෝසෙප්ගේ ආදර්ශය සිතට ගත්තා. තමා සමඟ සම්බන්ධකම් පැවැත්වීමට මිසරයේ නිලධාරියෙකු වූ පෝතිඵර්ගේ භාර්යාව කිහිප වතාවක් ආරාධනා කළ විට යෝසෙප් ඔහුගේ සදාචාරාත්මක ශක්තිය විදහාපෙන්නුවා. යෝසෙප් ‘අකමැතිව, මේ මහත් දුෂ්ටකම කර දෙවිට විරුද්ධව කෙසේ පව් කරම්ද?’ කියා පැවසූ බව වාර්තාවේ සඳහන් වෙනවා.
පෝතිඵර්ගේ භාර්යාව කළ ඇවිටිලි කිරීම් දවසක් දවසක් පාසා ප්‍රතික්ෂේප කිරීම සඳහා යෝසෙප් සදාචාරාත්මක ශක්තිය ලබාගත්තේ කොහොමද? මුලින්ම, ඔහු තාවකාලික වින්දනයකට වඩා යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ සම්බන්ධතාව වටිනා එකක් හැටියට සැලකුවා. ඒ වගේම, යෝසෙප් දිව්‍ය නීති සංග්‍රහය (ඉදිරියේදී ලැබීමට නියමිතව තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථාව) යටතේ නොසිටියත්, සදාචාරාත්මක ප්‍රතිපත්ති ගැන ඔහුට පැහැදිලි අවබෝධයක් තිබුණා; රාගයෙන් මත් වූ පෝතිඵර්ගේ භාර්යාව සමඟ වේශ්‍යාකම් කිරීම, ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව කරන පාපයක් විතරක් නොවෙයි, එය දෙවිට විරුද්ධව කරන පාපයක් බවත් ඔහු දැන සිටියා.—උත්පත්ති 39:8, 9.
පාලනය කරගත නොහැකි දැවෙන රාගික හැඟීමක් පුබුදුවාලීමට තිබෙන ආශාවට පවා ඉඩ නොදීමේ තිබෙන වැදගත්කම යෝසෙප් තේරුම්ගත් බව පැහැදිලියි. ක්‍රිස්තියානියෙකු යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කිරීම නැණවත් දෙයක්. වර්ෂ 1957 ජූලි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ මෙසේ සඳහන් කර තිබුණා: “තමාගේ මාංසික දුර්වලතාව ඔහු තේරුම්ගත යුතුය; ඒ වගේම, ඉඳුරන් පිනවීමේ ආශාව ශුද්ධ ලියවිල්ල හෙළා දකින සීමාව දක්වා තෘප්තිමත් කර, එතැනින් එහාට තමාට එය නතර කර දමන්න පුළුවන් කියා ඔහු නොසිතිය යුතුයි. මෙය කිරීමේදී ඔහු යම් කාලයකට සාර්ථක විය හැකි වුණත්, අවසානයේදී සීමාව පසු කර, පාපයට වැටෙන්න යනවා. පෝෂණය වීමට ඉඩහරින කාමුක හැඟීම්වල බලය වැඩි වී, පුද්ගලයාව පාපයට හසු කරගන්න නිසා, එය අනිවාර්යෙන්ම සිදු වන දෙයක්. මේ තත්වයට පත්වීමෙන් පසුව, තමාගේ මනස එයින් ඉවතට ඇදගැනීම ඔහුට සෑහෙන්න අමාරු දෙයක් වෙනවා. ඔහුට තමාව ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය නම්, ආරම්භයේදීම එම හැඟීම්වලට එරෙහිව සිටීමයි.”
ආරම්භයේදීම විරෝධය පෑම වඩාත් පහසු දෙයක් වන්නේ, හරි දෙය සඳහා ප්‍රේමයක් හා වැරදි දෙය සඳහා වෛරයක් අපි වර්ධනය කරගන්නා විටයි. (ගීතාවලිය 37:27) ඒ වුණත්, අපි ඒ සඳහා දිගටම ක්‍රියා කළ යුතුයි; අඛණ්ඩ වෑයමක් දැරිය යුතුයි. අපි එසේ කරනවා නම්, හරි දෙය සඳහා අපේ ප්‍රේමය හා වැරදි දෙය සඳහා තිබෙන පිළිකුල, යෙහෝවාගේ උපකාරය ඇතුව තවත් වර්ධනය වෙන්න යනවා. මේ අතරතුර, යේසු දුන් මඟ පෙන්වීම්වලට අනුව, පරීක්ෂාවලින් ආරක්ෂා කරන මෙන්ද නපුරාගෙන් ගළවන මෙන්ද නිතරම යාච්ඤා කරමින් අපි දිගටම සුපරීක්ෂාකාරිව සිටිය යුතුයි.—මතෙව් 6:13; 1 තෙසලෝනික 5:17.
තුල්‍ය පීඩනය ප්‍රතික්ෂේප කිරීම
වැරදි දේවල් කිරීම සඳහා තිබෙන තවත් බලපෑමක් නම් තුල්‍ය පීඩනයයි. එක් යෞවනියක් මෙසේ පිළිගත්තා: “මම ගත කරන්නේ දෙබිඩි ජීවිතයක්; පාසැලේදී එක ජීවිතයක්; ගෙදරදී තවත් ජීවිතයක්. මම පාසැලේදී ආශ්‍රය කරන ළමයි කට ඇරියොත් කියන්නේ අසභ්‍ය වචනයි. මමත් දැන් එයාලගේ තත්වයට පත් වෙමිනුයි ඉන්නේ. මම මොනවද කරන්න ඕනෙ?” අවශ්‍ය වන්නේ, වෙනස් කෙනෙකු වීම සඳහා ධෛර්යය උපදවාගැනීමයි; මෙය කළ හැකි ක්‍රමයක් නම්, යෝසෙප් වැනි දෙවිගේ පක්ෂපාත සේවකයන් ගැන පවසන බයිබල් වාර්තා කියවීම හා මෙනෙහි කිරීමයි. තමන්ගේ සම වයසේ මිතුරන්ගෙන් වෙනස් වීමට ධෛර්යයක් තිබූ තරුණයන් සතරදෙනා වූ දානියෙල්, ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ අනෙකුත් කදිම ආදර්ශයි.
බබිලෝනීය රජ මාළිගාවේ තවත් යෞවනයන් සමඟ අධ්‍යාපනය ලබන අතරේදී, ‘රජුගේ භෝජනවලින් දවස්පතා කොටසක්’ අනුභව කරන්න කියා මේ තරුණයන් හතරදෙනාගෙන් ඉල්ලා සිටියා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි සඳහන් ආහාර හා සම්බන්ධ නීති කඩ නොකිරීමට තිබූ කැමැත්ත නිසා ඔවුන් ඒ ආහාර ප්‍රතික්ෂේප කළා. එසේ කිරීමට ශක්තිය උපදවාගැනීම අවශ්‍ය වුණා; මෙය කරන්න වඩ වඩා ශක්තිය අවශ්‍ය වුණේ, ‘රජුගේ භෝජන’ නිසා මහත් පෙලඹවීමක් ඇති කිරීමට වැඩි ඉඩ කඩක් තිබූ නිසයි. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය හා දුම්කොළ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඇති විය හැකි පෙලඹවීම් හෝ පීඩනයන්ට පවා මුහුණ දීමට සිදු විය හැකි අද සිටින ක්‍රිස්තියානීන් සඳහා, එම යෞවන පුරුෂයන් තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද!—දානියෙල් 1:3-17.
පසු කලෙක යේසුස් ක්‍රිස්තුස් පැවසූ මේ වචනවල සත්‍යතාව ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ක්‍රියාවෙන් පෙන්නුවා: “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි.” (ලූක් 16:10) සාපේක්ෂ වශයෙන් කුඩා කාරණයක් වූ ආහාර සම්බන්ධයෙන් ඔවුන් විදහාපෙන්වූ ධෛර්යසම්පන්න ස්ථාවරය හා යෙහෝවා එයට දුන් යහපත් ප්‍රතිඵල මගින්, පසු කාලයක වඩාත් බරපතළ පරීක්ෂණවලට මුහුණ දීම සඳහා ඔවුන්ට ශක්තියක් සැපයූ බවට කිසිම සැකයක් නැහැ. (දානියෙල් 1:18-20) එම බරපතළ පරීක්ෂණයට මුහුණ දීමට සිදු වූයේ, පිළිම නමස්කාරයට හවුල් වෙන්න කියා ඔවුන්ට අණ කළ විටයි; එසේ නොකළා නම්, දඬුවම වුණේ පුලුස්සා මරා දැමීමයි. ප්‍රතිඵලය මොකක් වුණත් යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා, ඔහුට පමණක් නමස්කාර කිරීමට ගත් තීරණයේ දිගටම රැඳී සිටීමට මෙම තරුණයන් තිදෙනා ධෛර්යසම්පන්නව අදිටන් කරගත්තා. මේ වතාවේදීත් යෙහෝවා ඔවුන්ගේ ඇදහිල්ලට හා ධෛර්යයට ආශීර්වාද කළා; එසේ කළේ, ඔවුන්ව උෂ්ණාධික ගිනි උදුනකට විසි කළ විට ඔවුන්ව ආශ්චර්යවත් ලෙස ආරක්ෂා කිරීමෙනුයි.—දානියෙල් 3:1-30.
වැරදි දේවල් ප්‍රතික්ෂේප කළ තවත් අයගේ ආදර්ශ බොහොමයක් දේවවචනයේ සඳහන් වෙනවා. මෝසෙස් “ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම” ප්‍රතික්ෂේප කළා; මිසරයෙහි “කලකට පාපයේ සැප භුක්තිවිඳීමට” අවස්ථා බොහොමයක් එමගින් ඔහුට ලැබුණත්, ඔහු එය ප්‍රතික්ෂේප කළා. (හෙබ්‍රෙව් 11:24-26) අනාගතවක්තෘ සාමුවෙල් ඔහුට තිබූ බලතල අල්ලස් ගැනීම මගින් අයුතු විදිහට පාවිව්චි කිරීම ප්‍රතික්ෂේප කළා. (1 සාමුවෙල් 12:3, 4) දේශනා කිරීම නතර කර දමන්න කියා ආඥා කළ අවස්ථාවේදී, යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් නිර්භීතව එය ප්‍රතික්ෂේප කළා. (ක්‍රියා 5:27-29) සොල්දාදුවන් යේසුස්ට “ගන්ධරස මිශ්‍රවූ මුද්‍රිකපානය” දුන් ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම ඔහු සියලුම ආකාරයේ වැරදි දේවල් කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. එය පානය කළා නම්, එම තීරණාත්මක අවස්ථාවේදී ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය දුර්වල වෙන්න තිබුණා.—මාර්ක් 15:23; මතෙව් 4:1-10.
ප්‍රතික්ෂේප කිරීම—ජීවිතය සහ මරණය අතර කාරණයක්
යේසුස් මෙසේ පැවසුවා: “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.”—මතෙව් 7:13, 14.
ගමන් කිරීමට පහසු නිසා පළල් පාර ජනප්‍රියයි. එහි ගමන් කරන්නන් තමන්වම පිනවාගන්නවා; මාංසික කල්පනා හා මාර්ගවලට නැඹුරු වෙනවා; ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙනස් වීමට නොව, සාතන්ගේ ලෝකයට අනුව හැඩගැසෙන්නයි. දෙවිගේ නීති හා ප්‍රතිපත්ති මගින් තමන්ව සදාචාරාත්මක දේවල් සම්බන්ධයෙන් කොටු කර තිබෙනවා කියා ඔවුන්ට හැඟෙනවා. (එපීස 4:17-19) එහෙත්, පළල් පාර “විනාශයට” මඟ පාදන බව යේසු අවධාරණය කළා.
නමුත්, පටු පාර තෝරාගන්නේ ටිකදෙනෙක් පමණයි කියා යේසු පැවසුවේ ඇයි? එයට මූලික හේතුව, දෙවිගේ නීති හා ප්‍රතිපත්ති මගින් තමන්ගේ ජීවිත පාලනය වීමටත්, තමන් අවට සිදු වන වැරදි දේවල් කිරීමට තිබෙන බොහෝ පෙලඹවීම් හා අවස්ථාවලට එරෙහිව සිටීමටත් උපකාරය ලබාගන්න කැමති වන්නේ ටිකදෙනෙක් නිසයි. ඒ විතරක් නොවෙයි, වැරදි ආශාවලට, තුල්‍ය පීඩනයට හා තමන් තෝරාගෙන තිබෙන මාර්ගය නිසා අද්දකින සමච්චල් කිරීම්වලට තිබෙන බියට එරෙහි වීමට සූදානම් වී සිටින්නේ සාපේක්ෂ වශයෙන් ටිකදෙනෙක් විතරයි.—1 පේතෘස් 3:16; 4:4.
පාපය ප්‍රතික්ෂේප කිරීමේදී තමා මුහුණ දුන් සටන ගැන ප්‍රේරිත පාවුල් විස්තර කරද්දී, ඔහුට හැඟුණු ආකාරය එම ටිකදෙනා හොඳින් තේරුම්ගන්නවා. අද පවතින ලෝකය වගේ, පාවුල්ගේ කාලයේ තිබුණු රෝමවරුන්ගේ හා ග්රීකවරුන්ගේ ලෝකයේද වැරදි දේවලට හවුල් වීමේ අවස්ථා සලසන පළල් පාරක් තිබුණා. හරි දෙය කුමක්ද කියා දැන සිටි ඔහුගේ මනස, වැරදි දේවලට නැඹුරු වන ඔහුගේ මාංශයට එරෙහිව නොකඩවා සිදු වන ‘යුද්ධයක’ නිරත වෙමින් සිටි බව පාවුල් පැහැදිලි කළා. (රෝම 7:21-24) ඔව්, තමාගේ ශරීරය හොඳ සේවකයෙකු වුණත්, එය නරක ස්වාමියෙකු බව පාවුල් දැන සිටියා; එනිසා ඔහු ඒ නරක ස්වාමියාව ප්‍රතික්ෂේප කිරීමට ඉගෙනගත්තා. “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි” කියා ඔහු ලිව්වා. (1 කොරින්ති 9:27) ඔහු මේ ආකාරයට තමාවම පාලනය කරගත්තේ කොහොමද? තම තනි ශක්තියෙන් එය ඉටු කිරීමට නොහැකි වූ නිසා, එය කළේ ඔහුගේම ශක්තියෙන් නොව, දෙවිගේ ආත්මයේ උපකාරය ඇතුවයි.—රෝම 8:9-11.
එහි ප්‍රතිඵලයක් හැටියට අසම්පූර්ණව සිටියත්, පාවුල් අන්තිමය දක්වා යෙහෝවා කෙරෙහි ඔහුගේ අඛණ්ඩතාව රක්ෂා කළා. ඔහුගේ මරණයට ටික කලකට කලින් ඔහු මෙසේ ලිව්වා: “මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ.”—2 තිමෝති 4:7, 8.
අපේ අසම්පූර්ණකම්වලට එරෙහිව අප කරන යුද්ධයේදී අපිට තිබෙන්නේ මොනතරම් දිරිගන්වනසුලු කදිම ආදර්ශයන්ද! පාවුල්ගේ පමණක් නොව, ඔහුටත් ආදර්ශයක් වූ යෝසෙප්, මෝසෙස්, දානියෙල්, ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ හා වෙනත් අයගේ ආදර්ශද අපිට තිබෙනවා. ඔවුන් අසම්පූර්ණ මිනිසුන් වුණත්, මේ එක් එක් ඇදහිලිවන්ත මිනිසුන් වැරදි දේවල් ප්‍රතික්ෂේප කළේ, ඔවුන් තුළ තිබුණු අප්‍රතිහත ධෛර්යය හෝ දැඩි සිත් නිසා නොව, නමුත් යෙහෝවාගේ ආත්මයේ උපකාරයෙන් හරි දෙය කිරීමට ලැබුණු ශක්තියෙනුයි. (ගලාති 5:22, 23) ඔවුන් ආත්මික පුරුෂයන් වුණා. යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන හැම වචනයක් සඳහාම දැඩි කුසගින්නක් ඔවුන් තුළ තිබුණා. (ද්විතීය කථාව 8:3) ඔහුගේ වචනවලින් ඔවුන්ට අදහස් වුණේ ජීවිතයයි. (ද්විතීය කථාව 32:47) මේ සියල්ලටම වඩා, ඔවුන් යෙහෝවාට ප්‍රේම කළා; ඔහු කෙරෙහි බියක් ඇති කරගත්තා. එමෙන්ම, ඔහුගේ උපකාරය ඇතුව ඔවුන් ක්‍රමානුකූලව වැරදි දේවල් කෙරෙහි වෛරයක් වර්ධනය කරගත්තා.—ගීතාවලිය 97:10; හිතෝපදේශ 1:7.
අපිත් ඔවුන් හා සමාන වෙමු. ඇත්තෙන්ම, සියලුම ආකාරයේ වැරදි දේවල් දිගටම ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට වගේම අපිටත් යෙහෝවාගේ ආත්මය අවශ්‍යයි. අපි අවංකවම යෙහෝවාගේ ආත්මය ඉල්ලනවා නම්, ඔහුගේ වචනය අධ්‍යයනය කරනවා නම්, නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙනවා නම්, යෙහෝවා බහුල ලෙස ඔහුගේ ආත්මය අපිට දෙනවා.—ගීතාවලිය 119:105; ලූක් 11:13; හෙබ්‍රෙව් 10:24, 25.
ආරම්භයේදී සඳහන් කළ තිමති තමාගේ ආත්මික අවශ්‍යතා නොසලකා නොහැරීම ගැන සන්තෝෂ වුණා. තිමති තමා සමඟ වැඩ කරමින් සිටි සේවකයා එක්ක වැඩපොළේදී කළ සාකච්ඡාව අහගෙන සිටි ස්ත්‍රිය, තිමතිගේ සදාචාර නිර්මලකම කෙරෙහි වැරදි ලෙස ආකර්ෂණය වූ අතර, පසුව ඇගේ ස්වාමිපුරුෂයා නැති අවස්ථාවකදී තිමතිව ගෙදරට ආරාධනා කළා. තිමති එය ප්‍රතික්ෂේප කළා. මේ ස්ත්‍රිය, පෝතිඵර්ගේ භාර්යාව වගේ ඇගේ උත්සාහය අත්හරින්නේ නැතුව කිහිප වතාවක්ම ඔහුට ආරාධනා කළා. තිමති ඒ හැම අවස්ථාවකදීම ස්ථිරව, නමුත් කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඔහු ඒ ස්ත්‍රියට දේවවචනයෙන් කදිම සාක්ෂියකුත් දැරුවා. ප්‍රතික්ෂේප කිරීම සඳහා තමාට ශක්තිය ලබා දීම ගැන යෙහෝවාට බොහෝ සේ ස්තුතිවන්ත වන තිමති, දැන් හොඳ ක්‍රිස්තියානි සහෝදරියක සමඟ සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරනවා. ඇත්තෙන්ම, වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේ ක්‍රිස්තියානි අඛණ්ඩතාව දිගටම පවත්වාගැනීමට වුවමනාවක් තිබෙන සියලුදෙනාටම යෙහෝවා ආශීර්වාද කරමින් ශක්තිමත් කරන්න යනවා.—ගීතාවලිය 1:1-3.