යෙහෝවාට දිය යුතු දේ දීම
ටිමෝලිඕන් වාසිලියූගේ කතාව
අයිතෝනෝහොරි ගමේදී බයිබලය ඉගැන්වූ නිසා මාව අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිස් භටයන් මගේ සපත්තු ගළවලා මගේ යටිපතුල්වලට ගහන්න පටන්ගත්තා. දිගටම ගහද්දී මගේ යටිපතුල් හිරි වැටිලා, මට වේදනාව දැනෙන්නේ නැතුව ගියා. ඒ කාලයේදී ග්‍රීසියේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණ මේ වද හිංසාවලට මඟ පෑදුව හේතුව පැහැදිලි කරන්න ඉස්සෙල්ලා, මම බයිබල් ගුරුවරයෙක් වුණේ කොහොමද කියලා පවසන්නම්.
වර්ෂ 1921දී මා ඉපදුණ ගමන්ම වගේ අපේ පවුල උතුරු ග්‍රීසියේ රොඩොලිවොස් නගරයේ පදිංචියට ගියා. මගේ නහඹර වියේදී මම ගත කළේ නොහික්මුණු ජීවිතයක්. මට වයස 11ක් වෙද්දී, මම දුම්පානය කරන්න පටන්ගත්තා. ඊට පස්සේ, අධික ලෙස මත් පැන් බොන්නත්, සූදුවේ නියැලෙන්නත් පටන්ගත්තා; හැම රාත්‍රියකම වගේ අශීලාචාර සාදවලට ගියා. මට සංගීතය පිළිබඳව කුසලතාවක් තිබුණ නිසා මම ඒ ප්‍රදේශයේ සිටි සංගීත කණ්ඩායමකට බැඳුණා. අවුරුද්දකින් විතර මට සංගීත කණ්ඩායමේ භාණ්ඩවලින් වැඩිහරියක් වාදනය කරන්න පුළුවන් වුණා. ඒත්, ඒ කාලේදී, මම ඉගෙනීමට ලැදියාවක් දැක්වුව අතර යුක්තියටත් ප්‍රිය කළා.
වර්ෂ 1940 මුල්භාගයේදී, IIවන ලෝක යුද්ධය දරුණු වෙමින් තිබුණු කාලයේදී, පුංචි ගෑනු ළමයෙකුගේ අවමංගල්‍යකට වාදනය කරන්න කියලා අපේ සංගීත කණ්ඩායමට ආරාධනයක් ලැබුණා. මිනීවළ ළඟ නෑයන් හා මිත්‍රයන් දරාගන්න බැරි තරම් ශෝකයකින් හඬා වැලපෙමින් සිටියා. ඔවුන් අන්තයටම බලාපොරොත්තු රහිතභාවයේ ගිලී සිටීම මට ප්‍රබල බලපෑමක් ඇති කළා. මම මෙහෙම කල්පනා කරන්න පටන්ගත්තා: ‘ඇයි අපි මැරෙන්නේ? ටික කලක් ඉඳලා මැරිලා යනවාට වඩා දෙයක් අපේ ජීවිතයට නැද්ද? පිළිතුරු සොයාගන්න මට පුළුවන් වෙන්නේ කොහෙන්ද?’
දවස් කීපයකට පස්සේ, මගේ ගෙදර රාක්කයක නව ගිවිසුමේ පිටපතක් තියෙනවා මම දැක්කා. මම ඒක අරං කියවන්න පටන්ගත්තා. මතෙව් 24:7 තිබෙන යේසුස්ගේ වචන කියෙව්වහම, මහා පරිමාණයකින් සිද්ධ වෙන යුද්ධය යේසුස්ගේ පැමිණ සිටීමේ කොටසක් බවත්, ඔහුගේ වචන අපේ කාලයට අදාළ විය යුතු බවත් මට වැටහෙන්න පටන්ගත්තා. ඊළඟ සතිවලදී, මම මේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල පිටපත කීප වතාවක්ම කියෙව්වා.
ඊට පස්සේ 1940 දෙසැම්බර්වලදී, මම ළඟපාත හිටිය වැන්දඹුවක් හා ඇගේ දරුවන් පස්දෙනාව බලන්න ගියා. ඔවුන්ගේ ගබඩා කාමරයේ, පොත්පිංච ගොඩක් අතරේ වොච් ටවර් බයිබල් හා පත්‍රිකා සමිතිය මගින් ප්‍රකාශයට පත් කළ කදිම ආණ්ඩුවක් (ඉංග්‍රීසියෙන්) යන මාතෘකාව තිබුණ පොත් පිංචයක් තියෙනවා මම දැක්කා. මම ගබඩා කාමරයේම ඉඳගෙන පොත්පිංචය සම්පූර්ණයෙන්ම කියෙව්වා. මම කියෙවූ දෙයින්, අපි ඇත්තෙන්ම ජීවත් වෙන්නේ බයිබලයේ පවසන “අන්තිම දවස්වල” බවත්, වැඩි කල් නොගොස් යෙහෝවා දෙවි මේ දේවල පිළිවෙළට අවසානයක් ගෙනෙන අතර, ඒ වෙනුවට ධර්මිෂ්ඨ නව ලොවක් ගෙනෙන්න යන බවත් මට හොඳින් වැටහුණා.—2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:13.
මගේ හිතට විශේෂයෙන්ම කාවැදුණේ, ඇදහිලිවන්ත අය පාරාදීස පොළොවක සදහටම ජීවත් වන්න යන බවටත්, දේවරාජ්‍යයේ පාලනය යටතේ නව ලොවෙහි වේදනාව හා මරණය තවත් නොවන බවටත් වූ ශුද්ධ ලියවිලිමය සාක්ෂියයි. (ගීතාවලිය 37:9-11, 29; එළිදරව් 21:3, 4) මම කියවන ගමන් මේ දේවල්වලට යාච්ඤාවෙන් දෙවිට ස්තුති කරලා, ඔහුට මගෙන් ඕනෑ කරන්නේ මොනවද කියලා ඇහැව්වා. යෙහෝවා දෙවිට මගේ මුළු ජීවිතයම දිය යුතු බව මට පැහැදිලි වුණා.—මතෙව් 22:37.
මම ඉගෙනගත් දේ අනුව ක්‍රියා කිරීම
එදායින් පස්සේ මම දුම් බොන එකත්, සූදුවේ යෙදෙන එකත් නතර කළා; මත් පැන් අනිසි ලෙස පානය කිරීම නතර කළා. වැන්දඹුවගේ දරුවන් පස්දෙනාවත්, මගේ බාල සහෝදර සහෝදරියන් තුන්දෙනාවත් එකතු කරගෙන පොත් පිංචයෙන් මම ඉගෙනගෙන තිබුණ දේවල් ඔවුන්ට පැහැදිලි කළා. වැඩි කල් නොගොස් අපි හැමෝම අපි දන්න ටික ප්‍රචාරය කරන්න පටන්ගත්තා. අපිට කවමදාකවත් කිසිම සාක්ෂිකරුවෙකුව මුණගැසී නොතිබුණත්, අපව සමාජයෙහි ප්‍රසිද්ධ වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියටයි. මුල පටන්ම, මම ඉගෙනගෙන තිබුණ මවිතාකාර දේවල් අනික් අයට කියන්න හැම මාසයකම පැය සීයකට වැඩියෙන් කැප කළා.
ප්‍රාදේශීය ග්‍රීක ඕතඩොක්ස් පූජකයෙක් අපි ගැන පැමිණිලි කරන්න නගරාධිපති ළඟට ගියා. නමුත් ඊට ටික දවසකට කලින්, අපි අඳුරන්නේ නැති යෞවන සාක්ෂිකාරයෙකුට, නැති වුණ අශ්වයෙක් හම්බ වෙලා ඌව උගේ අයිතිකරුවන්ට භාර දීලා තිබුණා. එවැනි අවංකකමේ ප්‍රතිඵලයක් වශයෙන් නගරාධිපති සාක්ෂිකරුවන්ට ගරු කළ අතර, ඔහු පූජකයාට සවන් දීම ප්‍රතික්ෂේප කළා.
දිනක්, 1941 ඔක්තෝබර්වලදී විතර, මම වෙළඳපොළ ළඟ සාක්ෂිදරන කොට, ළඟපාත නගරයක ජීවත් වුණ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ගැන කෙනෙක් මට කිව්වා. කලින් පොලිස් නිලධාරියෙක්ව සිටි ඔහු ක්‍රිස්ටොස් ට්‍රිආන්ටාෆිලූයි. මම ඔහුව බලන්න ගියහම, ඔහු 1932 ඉඳලම සාක්ෂිකරුවෙක් වෙලා හිටිය බව දැනගත්තා. ඔහු මට පරණ වොච් ටවර් ප්‍රකාශන හුඟක් දුන්නහම මම මොනතරම් සතුටු වුණාද! ආත්මික ප්‍රගතියක් ලබන්න ඇත්තෙන්ම මේවා මට උපකාර වුණා.
වර්ෂ 1943දී, වතුර බව්තීස්මය මගින් මම දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා. ඒ වන විට මම ඩ්‍රැවිස්කොස්, පාලිඕකෝමි හා මාව්‍රොලොෆොස් යන අසල්වැසි ගම් තුනක බයිබල් පාඩම් පවත්වමින් සිටියා. අපේ බයිබල් පාඩම් ආධාරකය වශයෙන් මම දෙවිගේ වීණාව (ඉංග්‍රීසියෙන්) යන පොත පාවිච්චි කළා. අන්තිමේදී, මේ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා හතරක් බිහි වෙනවා දකින්න මට ප්‍රස්තාව ලැබුණා.
බාධා මැද දේශනා කිරීම
වර්ෂ 1944දී ග්‍රීසිය ජර්මානුවන්ගෙන් නිදහස ලබාගත් අතර ටික කලකට පස්සේ, ඇතන්ස්හි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය සමඟ අදහස් හුවමාරු කරන්න පටන්ගත්තා. කිසි කෙනෙක් රාජ්‍ය පණිවිඩය අහලා නැති ප්‍රදේශයක දේශනා සේවයේ හවුල් වෙන්න ශාඛා කාර්යාලයෙන් මට ආරාධනාවක් ලැබුණා. එහෙ පදිංචියට ගියායින් පස්සේ මම මාස තුනක් ගොවිපොළක වැඩ කළ අතර, අවුරුද්දේ ඉතිරි කාලය දේශනා සේවය සඳහා ගත කළා.
ඒ අවුරුද්දේ මගේ අම්මත්, ඒ වගේම වැන්දඹුව හා ඇගේ බාල දූ වූ මාරියන්ති හැර අනිත් දරුවනුත් බව්තිස්ම වෙනවා දැකීමේ ආශීර්වාදය මට ලැබුණා. මාරියන්ති 1943දී බව්තිස්ම වූ අතර එම අවුරුද්දේම නොවැම්බර්වලදී මගේ ආදරණීය බිරිඳ බවට පත් වුණා. අවුරුදු තිහකට පස්සේ, 1974දී, මගේ තාත්තත් බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් බවට පත් වුණා.
වර්ෂ 1945 මුල් කාලේදී, ශාඛා කාර්යාලයෙන් අපට මුල්ම ස්ටෙන්සිල් මුරටැඹ පිටපත ලැබුණා. එහි ප්‍රධාන ලිපියේ මාතෘකාව වුණේ “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන්නයි. (මතෙව් 28:19, දි එම්ෆැටික් ඩයග්ලොට්) ස්ට්‍රයිමාන් ගඟේ නැඟෙනහිරේ පිහිටි ඈත ප්‍රදේශවල වැඩ කිරීමට මාරියන්තියි මමයි ඒ මොහොතේම අපේ නිවස අත්ඇරලා ගියා. ඊට පස්සේ අපිට වෙන සාක්ෂිකරුවනුත් එකතු වුණා.
අපි හුඟක් වෙලාවලදී ගිරි කඳුරු සහ කඳු අතරින් සැතපුම් ගණන් ගෙවා ගමකට ඇවිද්දේ සපත්තු නැතුවයි. අපි මෙහෙම කළේ අපිට වෙන සපත්තු තිබුණේ නැති නිසා අපේ සපත්තු ගෙවෙන එකෙන් පරෙස්සම් කරගන්නයි. වර්ෂ 1946 සිට 1949 දක්වා අවුරුදුවලදී, සිවිල් යුද්ධයෙන් ග්‍රීසිය විනාශයට පත් වෙමින් තිබුණු අතර, ගමන් යන එක හුඟාක් අනතුරුදායක වුණා. පාර දිගේ මළමිනි තිබෙනවා දැකීම අසාමාන්‍ය දෙයක් වුණේ නැහැ.
දුෂ්කරතා මගින් අධෛර්යයට පත් වෙනවා වෙනුවට අපි ජ්වලිතව සේවයෙහි යෙදී සිටියා. හුඟක් වෙලාවලදී මට ගීතිකාකරු ලියූ ආකාරයට හැඟුණා: “එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.” (ගීතාවලිය 23:4) මේ කාලය අතරතුරේදී, හුඟාක් වෙලාවට අපි සති ගණනක් නිවසෙන් පිට සිටිය අතර, මම සමහර අවස්ථාවලදී මාසෙකට පැය 250ක් දේවසේවයේ නිරත වුණා.
අයිතෝනෝහොරිවල අපගේ දේවසේවය
වර්ෂ 1946දී අපි ගිය ගම්මානවලින් එකක් පිහිටලා තිබුණේ කන්දක් මුදුනෙයි. එහි නම, අයිතෝනෝහොරි. බයිබල් පණිවිඩයට සවන් දෙන්න කැමති මිනිස්සු දෙන්නෙක් ගමේ ඉන්නවා කියා එහිදී අපට මුණගැසුණු තැනැත්තෙක් පැවසුවා. ඒත්, ඒ මනුෂ්‍යයා අසල්වැසියන්ට තිබුණු භය නිසා ඔවුන්ව අපට මුණගස්වන්න අකමැති වුණා. කොහොමවුණත් අපි ඔවුන්ගේ ගෙවල් සොයාගත් අතර, ඔවුන් අපව සාදරයෙන් පිළිගත්තා. ඇත්තෙන්ම, විනාඩි කීපයකට පස්සේ, සාලේ මිනිස්සු පිරුණා! ඔවුන් එක්කෝ නෑදෑයෝ එහෙමත් නැත්නම් හොඳ යාළුවෝ. ඔවුන් හොඳ අවධානයකින් අපිට සවන් දුන්න විදිහ දැකලා මට හරි පුදුම හිතුණා. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හමු වෙන්න පුල පුලා බලාගෙන ඉඳලා තිබුණත්, ජර්මානුවන් යටතේ සිටි කාලයේ සිට ප්‍රදේශයේ සාක්ෂිකරුවන් එක්කෙනෙක්වත් ඉඳලා නැති බව අපි වැඩි වෙලා යන්න කලින් දැනගත්තා. ඔවුන්ගේ උනන්දුව අවුස්සන්න හේතු වුණේ මොකක්ද?
පවුල්වල මූලිකයන් වූ මේ දෙන්නා ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂයේ කැපීපෙනෙන සාමාජිකයන්ව සිට ඇති අතර, මොවුන් ජනතාවට කොමියුනිස්ට්වාදී අදහස් ඉදිරිපත් කර තිබුණා. නමුත් ඊට පස්සේ ඔවුන්ට වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශිත ආණ්ඩුව (ඉංග්‍රීසියෙන්) නම් පොත ලැබුණා. ඒක කියෙව්වට පස්සේ, සම්පූර්ණ, ධර්මිෂ්ඨ ආණ්ඩුවක් සඳහා එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව ඔවුන් ඒත්තුගෙන තිබුණා.
මේ අය හා ඔවුන්ගේ යාළුවන් එක්ක අපි ඉඳගෙන මැදියම් රැය වන තුරුම කතා කළා. ඔවුන්ගේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර ලැබීමෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වුණා. කොහොමනමුත්, වැඩි වෙලාවක් යන්න කලින් ගමේ කොමියුනිස්ට්වාදීන් මාව මරන්න කුමන්ත්‍රණය කළා; එහෙම කළේ ඔවුන්ගේ නායකයන් දෙන්නෙක් සාක්ෂිකාරයන් බවට පත් වුණ එක ගැන මම වගකියන්න ඕන කියලා ඔවුන් හිතුව නිසයි. ගමේ උනන්දුව දැක්වූ අය ගැන මට පැවසුව කෙනාත් ඒ මුල් රාත්‍රියේ ආපු අය අතර අහම්බෙන් වගේ හිටියා. ඊට පස්සේ, ඔහු බයිබල් දැනුම ලබාගෙන, බව්තීස්ම වූ අතර, පසුව ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් බවට පත් වුණා.
කෲර පීඩා
කලින් කොමියුනිස්ට්වාදීන්ව සිටි මේ අයව හමු වෙලා වැඩි කල් යන්න කලින්, අපි රැස්වීමක් පවත්වමින් හිටිය ගෙට පොලිස් භටයන් දෙන්නෙක් කඩාවැදුණා. තුවක්කු මානගෙන ඔවුන් අපි හතරදෙනාව අත්අඩංගුවට ගත් අතර, අපිව පොලිසියට අරගෙන ගියා. ග්‍රීක් ඕතඩොක්ස් පූජකයන් එක්ක කිට්ටු සම්බන්ධතා පැවැත්වූ එහි ලුතිනන් අපිට එපා වෙනකම්ම බැණ වැදුණා. අන්තිමේදී, ඔහු මෙහෙම ඇහැව්වා, “මං ඔහෙලට මොනවද කරන්න වටින්නේ?”
“අපි මේගොල්ලන්ට හොඳට තළමු” කියලා අපිට පිටිපස්සෙන් හිටගෙන හිටිය පොලිස් භටයන් එකවිටම මහ හඬින් කිව්වා.
ඒ වෙනකොට මැදියම් රැය පහු වෙලා තිබුණා. පොලිස් භටයන් අපිව පතුල්මාලයේ හිර කරලා, ඒ ළඟ තිබුණ තැබෑරුමට ගියා. ඔවුන් බීලා මත් වුණාට පස්සේ ආපහු ඇවිත් මාව උඩුමහලට අරගෙන ගියා.
ඔවුන් ඉන්න තත්වය දැක්කහම, කොයි මොහොතක හරි මාව මරලා දායි කියලා මට හිතුණා. ඒ නිසා මට විඳින්න සිද්ධ වෙන ඕනෑම දෙයක් විඳගෙන ඉන්න ශක්තිය මට දෙන්න කියලා දෙවිට මම යාච්ඤා කළා. ඔවුන් ලී පොලු වගයක් අරගෙන, මුලින් විස්තර කළා වගේ, මගේ යටි පතුල්වලට ගහන්න පටන්ගත්තා. ඊට පස්සේ ඔවුන් මගේ මුළු ශරීරයටම පහර දීලා, ආපහු මාව පතුල්මාලයට විසි කළා. ඊට පස්සේ ඔවුන් තවත් වැරදිකාරයෙකුව ගෙනැවිත් ගහන්න පටන්ගත්තා.
මේ අතරතුරේදී, ඉදිරියේදී තිබෙන පරීක්ෂණයට මූණ දීමට අනික් තරුණ සාක්ෂිකරුවන් දෙන්නව සූදානම් කරන්න මම ප්‍රස්තාව යොදාගත්තා. නමුත් ඒ වෙනුවට මාව ආපහු උඩුමහලට ගෙනියන්න පොලිස් භටයන් තීරණය කළා. ඔවුන් මගේ ඇඳුම් ගළවලා පස්දෙනෙක් පැයක් තිස්සේ මට ගහලා, ඔවුන්ගේ හමුදා සපත්තුවලින් මගේ ඔළුව පෑගුවා. ඊට පස්සේ මාව පතුල්මාලෙට යන පඩි පෙළ දිගේ තල්ලු කළා; එතැන මම පැය 12ක් විතර සිහි නැතුව හිටියා.
අන්තිමේදී අපි නිදහස් වුණාට පස්සේ, ගමේ පවුලක් අපිට රාත්‍රිය ගත කරන්න ඔවුන්ගේ නිවස විවෘත කරලා, අපිව හොඳින් බලාගත්තා. ඊළඟ දවසේදී, අපි ආපහු ගෙවල්වලට යන්න පිටත් වුණා. වින්ද දේවල් නිසා අපි මොනතරම් වෙහෙසට පත් වෙලා හිටියද කියනවා නම්, සාමාන්‍යයෙන් පැය දෙකකින් ඇවිදින්න පුළුවන් ගමනට පැය අටක් ගත වුණා. පහරකෑම් නිසා මාව කොයිතරම් ඉදිමිලා තිබුණද කියනවා නම්, මාරියන්තිට මාව අඳුරගන්නත් බැරි වුණා.
විරුද්ධවාදිකම් මැද්දේ වර්ධනය
වර්ෂ 1949දී, සිවිල් යුද්ධය පවතිද්දී, අපි තෙසලෝනිකයේ පදිංචියට ගියා. මාව නගරයේ සභා හතරෙන් එකක සභා සේවකගේ සහායක හැටියට සේවය කරන්න පත් කළා. අවුරුද්දකට පස්සේ සභාව, තවත් සභාවක් කරන්න තරම් විශාල වුණ අතර, මාව සභා සේවක නැත්නම් මුලසුන භාර අවේක්ෂක හැටියට පත් කළා. අවුරුද්දකට පස්සේ අලුත් සභාව ප්‍රමාණයෙන් දෙගුණයකට ආසන්න වෙලා තිබුණ අතර, තවත් සභාවක් පිහිටෙව්වා!
තෙසලෝනිකයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දියුණුව දැකලා විරුද්ධකාරයන් කෝප වුණා. දිනක්, 1952දී මම වැඩ ඇරිලා ගෙදර එනකොට අපේ ගේ සම්පූර්ණයෙන්ම ගිනිබත් කරලා තිබුණා. මාරියන්ති අනූනමයෙන් බේරිලා තිබුණේ. අපි කිලුටු ඇඳුම් ඇඳගෙන හිටියේ අපිට තිබුණ හැම දෙයක්ම නැති වුණ නිසයි කියලා එදා රාත්‍රියේ රැස්වීමේදී පැහැදිලි කරන්න අපිට සිද්ධ වුණා. අපේ ක්‍රිස්තියානි සහෝදරයන් හුඟාක් අනුකම්පා කරලා, අපිට උපකාර කළා.
වර්ෂ 1961දී, හැම සතියකම විවිධ සභාවලට ගිහින් සහෝදරයන්ව ආත්මිකව ශක්තිමත් කිරීම සඳහා සංචාරක සේවයේ යෙදීමට මට පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුදු 27 පුරා මාරියන්තියි, මමයි මැසිඩෝනියාවේ, ත්‍රේස්හි සහ තෙසලිවල චාරිකා හා දිස්ත්‍රික්වල සේවයට ගියා. වර්ෂ 1948 ඉඳලා මගේ ප්‍රියාදර මාරියන්තිගේ ඇස් පෙනීම හොඳටම දුර්වල වෙලා තිබුණත්, ඇදහිල්ලේ පරීක්ෂණ බොහොමයක් විඳදරාගනිමින් ඈ ධෛර්යවන්තව මාත් එක්ක සේවය කළා. ඇයවත් හුඟක් අවස්ථාවල අත්අඩංගුවට අරං, වධ හිංසා කරලා, හිරේ දමා තිබුණා. ඉන්පසු ඇගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න පටන්ගත් අතර, පිළිකාවක් නිසා සෑහෙන කාලයක් දුක් විඳලා 1988දී ඇය මැරුණා.
ඒ අවුරුද්දේදිම, මාව තෙසලෝනිකයේ විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පත් කළා. දැන්, යෙහෝවාට අවුරුදු 56කට වඩා සේවය කරලා තිබුණත්, තවමත් මට දේවසේවයේ හැම ක්ෂේත්‍රයකම මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී, මම උනන්දුමත් අය සමඟ හැම සතියකම බයිබල් පාඩම් 20ක් පවා පවත්වලා තියෙනවා.
ඇත්තෙන්ම අපි, යෙහෝවාගේ නව ලොව හා අවුරුදු දාහ තුළට දිව යන මහත් ඉගැන්වීමේ වැඩයක ආරම්භයෙහි සිටින බව මම වටහාගෙන තියෙනවා. කොහොමනමුත්, දේවල් සැහැල්ලුවට ගැනීමටත්, දේවල් අතපසු කිරීමටත්, අපේ මාංශයේ ආශාවල් තෘප්තිමත් කිරීමට අපේ කාලය ගත කිරීමටත් මෙය කාලය නොවන බව මට හැඟෙනවා. ඇත්තෙන්ම යෙහෝවාට අපේ මුළු හදින්ම සේවය පිරිනැමිය යුතු නිසා, මුලදීම මම වුණු පොරොන්දුව ඉටු කිරීමට මට උපකාර කිරීම ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා.
[24වන පිටුවේ පින්තූරය]
අපේ දේශනා සේවය තහනම යටතේ පවතිද්දී කතාවක් දෙමින්
[25වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වූ මාරියන්ති සමඟ