“රන් වෙනුවට, මං දියමන්ති හොයාගත්තා”
මීචාලීස් කාමීනාරිස් පැවසූ පරිදි
රන් හොයන්න කියලා මං දකුණු අප්‍රිකාවේ අවුරුදු පහක් ගත කළායින් පස්සේ, මං නැවතත් ගෙදර ආවේ ඊටත් වඩා වටිනා දෙයක් අරගෙනයි. මට දැන් තියෙන, ඒ වගේම අනිත් අයත් එක්ක බෙදාගන්න ආශාවෙන් ඉන්න වස්තුව ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න.
වර්ෂ 1904දී අයෝනියන් මුහුදේ කෙෆලිනා නම් ග්‍රීක දිවයිනක මම උපත ලැබුවා. මගේ දෙමාපියන් දෙන්නම ඒ එක්කම වගේ මියගිය හින්දා, මම කාත් කවුරුත් නැති අනාථ දරුවෙක් හැටියටයි හැදුණේ. උපකාර ලබාගන්න මං මහත් ආශාවකිනුයි හිටියේ; ඒ හින්දා මං බොහෝ අවස්ථාවලදී දෙවිට යාච්ඤා කළා. මං නිතිපතා ග්‍රීක ඕ’තඩොක්ස් පල්ලියට ගියත්, බයිබලය ගැන මට කිසිම දැනුමක් තිබුණේ නැහැ. මට කිසිම සහනයක් ලැබුණේ නැහැ.
වර්ෂ 1929දී, වෙනත් රටකට ගිහිල්ලා වඩා හොඳ ජීවිතයක් හොයන්න මං තීරණය කළා. මගේ නිසරු දිවයින අතහැරලා, මං එංගලන්තය හරහා දකුණු අප්‍රිකාවට නැවකින් ගමන් කළා. දවස් 17ක් තිස්සේ මුහුදේ ගත කළායින් පස්සේ, මම දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වලට ළඟා වුණා; ගිය විගසම වාගේ, රටවැසියෙක් මාව වැඩට ගත්තා. කොහොම වුණත්, ද්‍රව්‍යමය වස්තුවලින් මට සහනයක් ලැබුණේ නැහැ.
වඩා අනර්ඝ දෙයක්
යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මං වැඩ කරන තැනට ඇවිල්ලා ග්‍රීක් භාෂාවෙන් බයිබල් පොත් පත් ඉදිරිපත් කරද්දී, මං දකුණු අප්‍රිකාවේ අවුරුදු දෙකක් විතර ඉඳලා තිබුණා. එයට මළ අය කොතැනද? හා තාඩන පීඩන අවසන් වනු ඇත්තේ කවදාද? යන පොත්පිංච (ඉංග්‍රීසියෙන්) ඇතුළත් වුණා. මං ඒවා කොතරම් ආශාවෙන් කියෙව්වද කියලා මට හොඳට මතකයි; ඒ විතරක් නෙවෙයි උපුටා දක්වලා තිබුණු ශුද්ධ ලියවිලි පද ඔක්කෝමත් මං කටපාඩම් කළා. දවසක් මා එක්ක වැඩ කරන කෙනෙකුට මං මෙහෙම කිව්වා: “මෙච්චර කල් මං හොයමින් හිටපු දේ මට හම්බ වුණා. මම අප්‍රිකාවට ආවේ රන් හොයාගන්නයි; ඒත් රන් වෙනුවට, මං දියමන්ති හොයාගත්තා.”
දෙව්ට, යෙහෝවා කියලා පුද්ගලික නමක් තියෙන බවත්, ඔහුගේ රාජ්‍යය මේ වන විටත් ස්වර්ගයේ පිහිටුවලා තිබෙන බවත්, මෙම දේවල පිළිවෙළේ අවසාන දවස්වල අපි ජීවත් වන බවත් මං ඉගෙනගත්තේ හරිම ප්‍රීතියෙන්. (ගීතාවලිය 83:17; දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10; 24:3-12; 2 තිමෝති 3:1-5; එළිදරව් 12:7-12) සෑම ජාතියකම සිටින මනුෂ්‍යවර්ගයාට යෙහෝවාගේ රාජ්‍යය නිමක් නැති ආශීර්වාද ගේන බව ඉගෙනගැනීම මොනතරම් ප්‍රීතියක් වුණාද! මගේ සිතට කාවැදුණු තවත් කාරණයක් තමයි, මේ අනර්ඝ සත්‍යතා ලොව පුරාම දේශනා කරනු ලබන එක.—යෙසායා 9:6, 7; 11:6-9; මතෙව් 24:14; එළිදරව් 21:3, 4.
කේප්ටවුන්වල වොච් ටව’ සමිතියේ ශාඛා කාර්යාලයේ ලිපිනය මං ඉක්මනටම හොයාගෙන, තව බයිබල් ප්‍රකාශන ලබාගත්තා. බයිබලයේ පුද්ගලික පිටපතක් ලබාගන්න මං විශේෂයෙන්ම සතුටු වුණා. මං කියවපු දේ, සාක්ෂිදරන්න මාව පෙලඹුවා. මගේ ගම වන ලික්සූරිඕන්වල ඉන්න මගේ නෑදෑයන්ට, යාළුවන්ට හා අඳුරන අයට, බයිබල් ප්‍රකාශන යැවීමෙන් මං එය ආරම්භ කළා. මගේ පාඩම්වලින් මං ක්‍රමානුකූලව වටහගත්තේ, යෙහෝවාව ප්‍රසන්න කරන්න නම්, කෙනෙක් තමාගේ ජීවිතය ඔහුට කැප කරන්න ඕනෙ බවයි. ඒ හින්දා මම විගසම යාච්ඤාවෙන් එසේ කළා.
එක් අවස්ථාවක මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියත්, මං ඉංග්‍රීසි දැනගෙන හිටියේ නැති නිසා මට වචනයක්වත් තේරුණේ නැහැ. එලිසබත් වරායේ ග්‍රීකයන් හුඟදෙනෙක් ජීවත් වන බව මං දැනගත්තහම, මං ඒ ප්‍රදේශයට ගියත්, ඒ ප්‍රදේශයේ ග්‍රීක් භාෂාව කතා කරන සාක්ෂිකරුවන් එක්කෙනෙක්වවත් මට හොයාගන්න බැරි වුණා. ඒ හින්දා, පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙක් වෙන්න මම නැවතත් ග්‍රීසියට යන්න තීරණය කළා. ‘පාඩුවක් විඳින්න සිද්ධ වුණත්, මං කොහොම හරි නැවත ග්‍රීසියට යනවා’ කියලා කියනවා මට මතකයි.
ග්‍රීසියේ පූර්ණ කාලීන දේවසේවය
වර්ෂ 1934 වසන්ත සමයේදී, මම ඩ්වීලිඕ නම් ඉතාලි නැවක ගමන් කරමින් හිටියා. මං ප්‍රංශයේ මාසෙල්ස්වලට ළඟා වුණ අතර, මං එහි දවස් දහයක් ගත කළායින් පස්සේ, පාට්රිස් නම් මඟීන් ගෙන යන නැවකින් ග්‍රීසිය බලා පිටත් වුණා. අපි මුහුදේ සිටින අතරතුර, නැවේ යාන්ත්‍රික දෝෂ තිබුණු නිසා, ජීවිත ආරක්ෂක බෝට්ටු මුහුදට දාන්න කියලා රාත්රියේදී නියෝගයක් පැනෙව්වා. පාඩුවක් විඳලා හරි ග්‍රීසියට යනවා කියලා මං කියපු දේ මට එවිට සිහි වුණා. කොහොම වුණත්, වෙනත් යාත්‍රා අදින ඉතාලියානු බෝට්ටුවක් ඇවිල්ලා අපිව ඉතාලියේ නේපල්ස්වලට ඇදගෙන ගියා. පස්සේ, අන්තිමේදී අපි ග්‍රීසියේ පිරෙඑෆ්ස් (පිරුයැෆ්ස්) වෙත ආවා.
එතනින් මං ඇතන්ස්වලට ගියා; එහිදී මං වොච් ටව’ සමිතියේ ශාඛා කාර්යාලය බැහැදකින්න ගියා. ශාඛා කාර්යාලයේ අවේක්ෂක වන ආතානාස්යෝස් කාරානාස්යෝස් එක්ක සාකච්ඡා කරන කොට, පූර්ණ කාලීන දේශනා කිරීමේ පැවරුමක් ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටියා. ග්‍රීසියේ ප්‍රධාන භූමි භාගයෙන් දකුණු ප්‍රදේශයේ පෙලපනීසස් බලා මං ඊළඟ දවසේ ගමන් ගත්තා. මගේ පුද්ගලික බලප්‍රදේශය හැටියට මේ මුළු දිස්ත්‍රික්කයම මට පවරනු ලැබුවා.
නගරයෙන් නගරයට, ගමෙන් ගමට, ගොවිපොළෙන් ගොවිපොළට, හුදකලාව පිහිටලා තියෙන ගෙයින් ගෙයට, කියන්න බැරි තරම් උද්යෝගයකින් දේශනා සේවය පටන්ගනිමින් ගියා. ඉක්මනින්ම මයිකල් ට්රිආන්ඩාෆිලෝපූලෝස් මා එක්ක හවුල් වුණ අතර, 1935 ග්‍රීෂ්ම ඍතුවේදී ඔහු මාව බව්තීස්ම කළා; එය වුණේ, මං පූර්ණ කාලීන දේවසේවය කරන්න පටන් අරං අවුරුද්දකට වඩා වැඩි කාලයකට පස්සෙයි! පොදු ගමනාගමන පහසුකම් කිසිවක් තිබුණේ නැති හින්දා අපි හැම තැනකටම ගියේ පයින්. අපේ ලොකුම ගැටලුව වුණේ අපිව නවත්තන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටිය පූජකයන්ගේ විරුද්ධවාදිකමුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපිට අගතිසහගතකම් බොහොමයකට මුහුණපාන්න සිදු වුණා. ඒත්, බාධක මැද වුණත්, සාක්ෂිදැරීම් කරනු ලැබූ අතර, යෙහෝවාගේ නම දුර නුදුර ප්‍රචාරය කරනු ලැබුවා.
විරුද්ධවාදිකම් විඳදරාගැනීම
උදෑසනක, ආකේඩියා නම් කඳුකර දිස්ත්‍රික්කයේ දේශනා සේවයේ යෙදෙමින් ඉන්න කොට, මම මාගූල්යානා නම් ගම්මානයකට ළඟා වුණා. පැයක් විතර සාක්ෂිදැරීමෙන් පස්සේ, මට පල්ලියේ සීනූ නාද වෙනවා ඇහුණු අතර, ඒගොල්ලෝ එහෙම කළේ මට බව ඉක්මනින්ම මට තේරුණා. ග්‍රීක ඕ’තඩොක්ස් පල්ලියේ නායක පූජකයාගේ (පල්ලියේ බිෂොප්වරයෙකුට වඩා පහත් නිලයක් දරන ධුරයක්) මූලිකත්වය යටතේ දාමරික කණ්ඩායමක් එක්රැස් වුණා. මං ඉක්මනින්ම මගේ බෑග් එක වහලා, නිශ්ශබ්දව යෙහෝවාට යාච්ඤා කළා. නායක පූජකයා හා ඔහුගේ පිටිපස්සෙන් ළමයින් කණ්ඩායමක්ද මං ඉන්න දිහාවට කෙළින්ම ආවා. ඔහු මෙහෙම කෑගහන්න පටන්ගත්තා: “මෙයා තමයි! මෙයා තමයි!”
ඒ ළමයින් මාව වට කරගත් අතර, පූජකයා ඉදිරියට ඇවිල්ලා, ඔහුගේ ලොකු බඩෙන් මාව තල්ලු කරමින් කිව්වේ, ඔහුගේ අතින්වත් මාව අල්ලන්න අකමැති වුණේ, හදිසියේවත් ‘මම දූෂ්‍ය වෙලා හිටියොත්’ කියලයි. ඔහු ඊට පස්සේ මේ විදිහට කෑගහන්න පටන්ගත්තා: “මෙයාට ගහන්න! මෙයාට ගහන්න!” ඒත් එතකොටම වගේ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපි දෙන්නවම පොලිසියට අරගෙන ගියා. දාමරික කණ්ඩායමක් පෙලඹවීම නිසා පූජකයාට එරෙහිව නඩුවක් දාලා, ඩ්‍රැක්මා 300ක දඩ මුදලක් හා අධිකරණ වියදම්ද ඔහුට ගෙවන්න නියම කළා. මාව නිදහස් කළා.
අපි අලුත් ප්‍රදේශයකට ආවහම, වඩා විශාල නගරයක් අපේ වැඩකටයුතුවලට මූලික ස්ථානයක් හැටියට තෝරගෙන, එතන ඉඳලා පැය හතරකින් විතර පයින් යන්න පුළුවන් දුරකින් යුත් බලප්‍රදේශ සියල්ලකම අපි වැඩ කළා. ඒකෙන් අදහස් කළේ, අපි යද්දිත් කළුවර වෙලා තිබුණා; ආයේ හැන්දෑවේ එද්දිත් කළුවර වැටිලා තිබුණා කියන එකයි; සාමාන්‍යයෙන් දවසකින් අපි ගමක් දෙකක් බැහැදකිනවා. අවට ගම්මානවල වැඩ කළායින් පස්සේ, අපි මූලික නගරයේ වැඩ කරලා වෙනත් ප්‍රදේශයකට යනවා. පූජකයන් මනුෂ්‍යයන්ව අපට විරුද්ධව උසිගන්වපු හින්දා, බොහෝ අවස්ථාවලදී අපව අත්අඩංගුවට ගත්තා. මධ්‍යම ග්‍රීසියේ, පාරනැසස් ප්‍රදේශයේ මාස ගණනාවක් තිස්සේ පොලිසිය මාව හොයහොයා හිටියා. කොහොම වුණත්, මාව අල්ලගන්න ඒගොල්ලන්ට බැරි වුණා.
දවසක් සහෝදර ට්රිආන්ඩාෆිලෝපූලෝස් හා මම බියෝෂියා දිස්ත්‍රික්කයේ මූරිකි ගම්මානයේ දේශනා කරමින් හිටියා. අපි ගම්මානය කොටස් දෙකකට බෙදුවා; මං යෞවනව හිටපු හින්දා මම පල්ලම් සහිත පැතිවල වැඩ කරන්න පටන්ගත්තා. හදිසියෙන්ම වගේ පහළින් කවුදෝ කෑගහන සද්දයක් මට ඇහුණා. මං පහළට දුවගෙන යද්දී මං මෙහෙම හිතුවා: ‘සහෝදර ට්රිආන්ඩාෆිලෝපූලෝස්ට පහර දෙනවා.’ ගම්මුන් ඒ පළාතෙ කෝපි කඩේ රැස්වෙලා හිටිය අතර, කෝප වෙච්ච ගොනෙක් වගේ පූජකයෙක් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා. “මේ මිනිස්සු අපිව ‘හඳුන්වන්නේ සර්පයාගේ වංශය’ කියලයි” කියලා ඔහු කෑගසමින් කිව්වා.
එම පූජකයා සහෝදර ට්රිආන්ඩාෆිලෝපූලෝස්ගේ ඔළුවට හැරමිටියකින් ගහලා ඒක ඒ වෙද්දිත් කැඩිලා තිබුණු අතර, ඔහුගේ මුහුණෙන් ලේ වැක්කෙරෙමින් තිබුණා. මම ගිහිල්ලා ඒ ලේ ටික පිහදාලා දැම්මට පස්සේ, අපිට එතනින් යන්න පුළුවන් වුණා. තීබ්ස් නගරයට ළං වෙනකල් අපි පැය තුනක් ඇවිද්දා. එතැන සායනයකදී තුවාලයට බෙහෙත් දමනු ලැබුවා. සිද්ධ වුණ දේ අපි පොලිසියට වාර්තා කළ අතර, නඩුවක් දැම්මා. කොහොම වුණත්, පූජකයාට අධිකාරය සමඟ සම්බන්ධකම් තිබුණු නිසා, අවසානයේදී ඔහු නිදොස් කියලා තීන්දු කළා.
අපි ලූකස් නගරයේ වැඩ කරමින් ඉන්න අතරතුර, ඒ ප්‍රදේශයේ දේශපාලනික නිලධාරීන්ව අනුගමනය කරන අය අපිව “අත්අඩංගුවට” අරගෙන ගමේ කෝපි කඩයට ගෙනිච්චා. එහිදී ඒ අවස්ථාවට සකස් කළ මහජන උසාවියක් ඉදිරියේ අපිට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනවා අපි දැක්කා. දේශපාලනික නායකයා හා ඔහුගේ මිනිස්සු වාර ගෙන අප අසලින් එහා මෙහා ගමන් කරමින් දේශනයක් පැවැත්වූ අතර, අපට බැණ වදිමින් ඔවුන්ගේ මිට මොළවා ගෙන අපට තර්ජනය කළා. ඔවුන් සියලුදෙනාම බීලයි හිටියේ. ඔවුන් අපිට විරුද්ධව කළ බැණ වැදීම් දවල් ඉඳලා හවස වෙනකම් දිගින් දිගටම පැවතුණත්, අපි අපේ අහිංසකකම සිනාමුසු මුහුණින් ප්‍රකාශ කරමින් සන්සුන්ව හිටිය අතර, උපකාරය ඉල්ලලා යෙහෝවා දෙවිට නිශ්ශබ්දව යාච්ඤා කළා.
අඳුර වැටුණු වෙලාවේදී, පොලිස් භටයන් දෙන්නෙක් අපිව බේරුවා. ඒගොල්ලෝ අපිව පොලීසියට ගෙනිහිල්ල හොඳට සැලකුවා. ඔහුගේ ක්‍රියාවල යුක්තිසහගතභාවය පෙන්නන්න, දේශපාලනික පාලකයා ඊළඟ දවසේ ඇවිල්ලා, ග්‍රීසියේ රජුට විරුද්ධව අපි ප්රචාරක කටයුතු ව්‍යාප්ත කරනවා කියලා චෝදනා කළා. ඒ හින්දා, මිනිස්සු දෙන්නෙක්ගේ ආරක්ෂාව සපයලා, ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන්න පොලීසිය අපිව ලාමියා නගරයට යැව්වා. අපිව දවස් හතකට අත්අඩංගුවේ තියලා, මාංචු දාලා නඩු විභාගයකට ලාරිසා නගරයට ගෙනිච්චා.
ලාරිසාවල ඉන්න අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ට මේ ගැන කලින්ම දන්වලයි තිබුණේ; ඒ හින්දා ඒගොල්ලෝ අපි එනකම් බලාගෙන හිටියා. ඒගොල්ලෝ අපිට දැක්වූ මහත් සෙනෙහස ආරක්ෂක භටයන්ට හොඳ සාක්ෂියක් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන හා කලින් ලුතිනන් ක’නල්වරයෙක්ව සිටි අපේ නීතිඥයා, නගරයේ ප්‍රසිද්ධ වෙලා හිටිය කෙනෙක්. ඔහු අධිකරණයේ පෙනී ඉඳලා අපේ නඩුව වෙනුවෙන් කතා කරද්දී, අපිට විරුද්ධව කළ චෝදනා බොරු බව හෙළි වුණු අතර, අපව නිදහස් කළා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවයෙන් සාමාන්‍යයෙන් ලැබුණු සාර්ථකත්වය නිසා, විරුද්ධවාදිකම් වැඩි කරනු ලැබුවා. වර්ෂ 1938 හා 1939දී වෙනත් ආගමකට හරවාගැනීම තහනම් කළ නීති පනවනු ලැබූ අතර, මේ කාරණය සම්බන්ධයෙන් මයිකල්ව හා මාව නඩු විභාග ගණනාවකටම සම්බන්ධ වුණා. ඊට පස්සේ, අපේ වැඩකටයුතුවලට ලැබෙන ප්‍රසිද්ධිය අඩු කරන්න, වෙන වෙනම වැඩ කරන්න කියලා ශාඛා කාර්යාලය අපට උපදෙස් දුන්නා. සහයට කෙනෙක් නැතුව වැඩ කරන එක මට අමාරු අද්දැකීමක් වුණා. ඒත්, යෙහෝවා මත විශ්වාසය තබලා මං, ඇටිකා, බියෝෂියා, තෛඕටෙස්, යූබියා, ඉටෝලියා, ආකාන’නියා, යූරටේනිආ යන දිස්ත්‍රික්ක හා පෙලපනීසස් දිස්ත්‍රික්කය පයින් ගමන් කරමින් පියෙව්වා.
මේ කාලපරිච්ඡේදය තුළ මට උපකාර කළේ, යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ ගීතිකාකරුගේ මේ අලංකාර වචනයි: “ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි. මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක. උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.”—ගීතාවලිය 18:29, 32, 33.
වර්ෂ 1940දී, ඉතාලිය ග්‍රීසියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර, ඊට පසු ඉක්මනින්ම වගේ ජ’මානු යුද හමුදාව රට ආක්‍රමණය කළා. රටේ පාලනය යුද හමුදාවට භාර දී තිබුණු අතර, වොච් ටව’ සමිතියේ පොත් පත් තහනම් කරනු ලැබුවා. ඒ කාලවල්, ග්‍රීසියේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දුෂ්කර ඒවා වුණා; ඒ වුණත්, ඔවුන් ඉතා ශීඝ්‍රයෙන් ගණනින් වැඩිවර්ධනය වුණු අතර, 1940දී සාක්ෂිකරුවන් 178දෙනෙක් ඉඳලා 1945දී IIවන ලෝක යුද්ධය අවසානය වෙන කොට සාක්ෂිකරුවන් 1,770දෙනෙක් හිටියා!
බෙතෙල්හි සේවය කිරීම
වර්ෂ 1945දී, ඇතන්ස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට ආරාධනා කරනු ලැබුවා. ඒ කාලයේදී, “දෙවිගේ ගෘහය” යන තේරුම ඇති බෙතෙල් පිහිටලා තිබුණේ, ලෝම්බාඩූ වීථියේ කුලියට ගත් ගෙයකයි. කාර්යාල තිබුණේ පහළ තට්ටුවේ, මුද්‍රණාලය තිබුණේ පොළොවෙන් යට තිබූ තට්ටුවෙයි. එහි මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් හා දාර අලංකාරව කපන යන්ත්‍රයක් තිබුණා. මුද්‍රණාලයේ සේවක පිරිසට මුලින්ම අයිති වුණේ දෙන්නෙක් විතරයි; ඒත් ඊට පස්සේ ඉතා ඉක්මනින්ම වැඩවලට උදව් කරන්න කියලා තම නිවෙස්වලින් තව ස්වේච්ඡා සේවකයන් එන්න පටන්ගත්තා.
වර්ෂ 1945දී, නිව් යෝර්ක් බෘක්ලින්වල වොච් ටව’ සමිතියේ මූලස්ථානය සමඟ නැවතත් සම්බන්ධ වූ අතර, එම අවුරුද්දේ ඉඳලා අපි නැවතත් ග්‍රීසියේ මුරටැඹ සඟරාව නොකඩවා මුද්‍රණය කරන්න පටන්ගත්තා. ඊට පස්සේ, 1947දී, අපි අපේ ශාඛා කාර්යාලය 16, ටෙනෙඩූ වීථියට මාරු කළත්, මුද්‍රණාලය ලෝම්බාඩූ වීථියේම තිබුණා. පස්සේ, මුද්‍රණාලය ලෝම්බාඩූ වීථියේ ඉඳලා, කිලෝමීටර් 5ක් ඈතින් පිහිටලා තිබුණු සාක්ෂිකරුවෙකුට අයිති කර්මාන්ත ශාලාවකට ගෙන යනු ලැබුවා. ඒ හින්දා යම් කාලයකට ස්ථාන තුනක් අතර එහා මෙහා යෑමට අපට සිදු වුණා.
ටෙනෙඩූ වීථියේ පිහිටලා තිබුණු අපේ නවාතැනේ ඉඳලා පාන්දරින්ම මුද්‍රණාලය පිහිටලා තිබුණු තැනට ගමන් කරනවා මට මතකයි. එම ස්ථානයේ ප.ව. 1:00 වෙනකම් වැඩ කළායින් පස්සේ, මුද්‍රණය කළ කඩදාසි ගෙනයන ස්ථානය වන ලෝම්බාඩූ වීථියට මං ගියා. එහිදී, මේවා සඟරා හැටියට සකස් කරලා, අතින් මහලා ගානට වටේට කපනවා. ඊට පස්සේ, අපි සඟරා ටික තැපැල් කන්තෝරුවේ තුන්වෙනි තට්ටුවට ගෙනියලා, එතැන වැඩ කරන සේවක පිරිසට ඒවා වෙන් කරන්න උදව් කරලා, තැපැල් කරන්න කවරවලට මුද්දර අලවනවා.
වර්ෂ 1954 වෙන කොට, ග්‍රීසියේ හිටපු සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 4,000කට වඩා වැඩි ගණනකට වර්ධනය වෙලා තිබුණු නිසා, වඩා විශාල පහසුකම් අවශ්‍ය වුණා. ඒ හින්දා අපි ඇතන්ස් නගරයේ කාර්ටාලේ වීථියේ අලුත් තට්ටු තුනේ බෙතෙල් නිවාසයකට ගියා. වර්ෂ 1958දී, මුළුතැන්ගෙයෙහි වැඩ අධීක්ෂණය කරන්න කියලා මගෙන් ඉල්ලනු ලැබූ අතර, 1983 වෙනකම් මගේ වගකීම වුණේ ඒකයි. ඒ කාලය අතරතුර, යෙහෝවාට සේවය කරද්දී, මට උපකාර කරන පක්ෂපාත කෙනෙක් බව ඔප්පු වුණ එලෙෆ්තැරිආව මම 1959දී විවාහ කරගත්තා.
නැවතත් විරුද්ධවාදිකම් විඳදරාගැනීම
වර්ෂ 1967දී හමුදා ජුණ්ටාවක් බලයට පැමිණුණ හින්දා, නැවතත් අපේ දේශනා සේවය මත සීමා තහංචි පනවනු ලැබුවා. කොහොම වුණත්, අපේ වැඩකටයුතුවලට කලින් පනවලා තිබුණු තහනම් සමඟ සාර්ථකව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට අද්දැකීම් තිබුණු නිසා, අපි ඉක්මනින්ම එයට හැඩගැහිලා සාර්ථකව රහසින් අපේ වැඩකටයුතු කරගෙන ගියා.
අපි අපේ රැස්වීම් පෞද්ගලික ගෙවල්වල පැවැත්වූ අතර, ගෙයින් ගෙට දේවසේවය ඉතා පරෙස්සමින් කළා. කොහොම වුණත්, අපේ සහෝදරයන්ව නිතරම වාගේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, පවත්වනු ලැබූ නඩු විභාග එන්න එන්නම වැඩි වුණා. රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ නඩු විභාගවලට කතා කරන්න අපේ නීතිඥයන් හැම වෙලාවකම වගේ සංචාරය කරමිනුයි හිටියේ. විරුද්ධවාදිකම් තිබුණත්, සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක්, තමන්ගේ දේශනා සේවා වැඩකටයුතුවල විශේෂයෙන්ම සති අන්තවල නිතිපතා හවුල් වුණා.
සාමාන්‍ය සෙනසුරාදා හෝ ඉරිදා දිනයක අපේ දේශනා සේවය අවසන් වුණාට පස්සේ, අපේ කණ්ඩායම්වලින් ආ ගිය අතක් නැති අය ගැන සොයා බැලීමක් කරනවා. සාමාන්‍යයෙන්, ආ ගිය අතක් නැති අයව ළඟම තිබෙන පොලිස් ස්ථානයේ නවත්වා ගෙන තිබුණා. ඒ හින්දා අපි ඒගොල්ලන්ට බ්ලැන්කෙට්ටු හා ආහාර ගෙනිහිල්ලා, දිරිගැන්වීමක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ නීතිඥයන්ටත් දැනුම් දෙනවා; ඉන්පසු ඒගොල්ලෝ සිරභාරයේ සිටින අය වෙනුවෙන් කතා කරන්න සඳුදට, පැමිණිලිකරු ඉදිරියට පැමිණෙනවා. සත්‍යය උදෙසා අපි දුක් වේදනා විඳිමින් හිටපු හින්දා, අපි මේ අවස්ථාවට සතුටින් මුහුණ දුන්නා!
තහනම යටතේ තිබුණු කාලයේදී, බෙතෙල්හි මුද්‍රණ කටයුතු වසා තිබුණා. ඒ නිසා ඇතන්ස්හි උපනගරයක එලෙෆ්තැරිආයි මමයි හිටපු නිවස, යම් ආකාරයක මුද්‍රණාලයක් බවට පත් වුණා. බර යතුරු ලියනයක් පාවිච්චි කරමින් එලෙෆ්තැරිආ මුරටැඹ කලාපයේ ලිපිවල පිටපත් ටයිප් කළා. එකවර යතුරු ලියනයට කඩදාසි දහයක් දාලා, කඩදාසි මත අකුරු වදින සේ තදින් යතුරු ඔබන්න ඇයට සිද්ධ වුණා. ඊට පස්සේ, මම පිටු ටික එකතු කරලා ඒවා එකට තියලා මැහැව්වා. හැම හැන්දෑවකම මේක මහ රෑ වෙනකම් සිද්ධ වුණා. අපේ ගෙදරට පහළ තට්ටුවේ පොලිස් නිලධාරියෙක් ජීවත් වුණා; ඒත් ඔහු කවදාවත් අපි ගැන සැක කළේ නැත්තේ ඇයි කියලා අපි තාමත් කල්පනා කරනවා.
නොකඩවා සිදු වන වැඩිවර්ධනය ගැන ප්‍රීතිවීම
වර්ෂ 1974දී ග්‍රීසියේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් නැවතත් පිහිටුවනු ලැබූ අතර, අපේ දේශනා සේවය නැවතත් ප්‍රසිද්ධියේ කරගෙන ගියා. ඒත්, අපේ සේවයට අවුරුදු හතක සීමා තහංචියක් පනවනු ලැබුවත්, ඒ කාලය තුළදී අලුත් සාක්ෂිකාරයන් 6,000කට වැඩි සංඛ්‍යාවක් එකතු වෙමින් පුදුමාකාර වැඩිවීමක් අපි භුක්ති වින්දා; රාජ්‍ය ප්‍රචාරකයන්ගේ මුළු සංඛ්‍යාව 17,000කට වැඩියි.
ශාඛා කාර්යාල ගොඩනැඟිල්ලේ අපි අපේ සාමාන්‍ය මුද්‍රණ කිරීමේ කටයුතුත් නැවත ආරම්භ කළා. ප්‍රතිඵලයක් වශයෙන්, කාර්ටාලේ වීථියේ බෙතෙල් පහසුකම්වල ඉඩ කඩ ඉතා ඉක්මනින්ම මදි වුණා. ඒ හින්දා ඇතන්ස්හි උපනගරයක් වන මැරුසේවල හෙක්ටයාර් එකක ඉඩමක් මිල දී ගත්තා. නිදන කාමර 27ක්, කර්මාන්තශාලාවක්, කාර්යාල හා වෙනත් පහසුකම් ඇතුළත් වුණ අලුත් බෙතෙල් ගොඩනැඟිලි ඉදි කරනු ලැබුවා. වර්ෂ 1979 ඔක්තෝබර් මාසයේදී මේවා කැප කරනු ලැබුවා.
කාලයාගේ ඇවෑමෙන් අපිට තව ඉඩ කඩ අවශ්‍ය වුණා. ඒ හින්දා ඇතන්ස්වල ඉඳලා කිලෝමීටර 60ක් උතුරින් හෙක්ටයාර් 22කින් යුත් ඉඩමක් මිලයට ගනු ලැබුවා. එම ඉඩම පිහිටලා තියෙන්නේ එලියෝනාවල කඳු බෑවුමකයි; එම ස්ථානයට කඳු හා හොඳ ජල සැපයුමක් තිබෙන මිටියාවත් පේනවා. එම ස්ථානයේ 1991 අප්‍රියෙල් මාසයේ, ගෙවල් 22ක් ඇතුළත් වන තරමක් විශාල ගොඩනැඟිල්ලක් අපි කැප කළා; මේ හැම ගෙයකම අටදෙනෙක්ට ඉඳුම් හිටුම් පහසුකම් තිබුණා.
පූර්ණ කාලීන සේවයේ අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් ගත කළායින් පස්සෙත්, මට තවමත් හොඳ සෞඛ්‍ය තත්වයක් සමඟින් ආශීර්වාද ලැබිලා තියෙනවා. “මහලු වයසේදීත්” මම “ඵලදෙමින්” සිටින එක සතුටක්. (ගීතාවලිය 92:15) ඔහුගේ සැබෑ නමස්කාරකරන්නන්ගේ සංඛ්‍යාවේ උදාර වැඩිවීම, මගේම ඇස්වලින් දැකබලා ගන්න ජීවත් වෙන්න ලැබුණාට මං විශේෂයෙන්ම යෙහෝවාට ස්තූතිවන්ත වෙනවා. අනාගතවක්තෘ යෙසායා මෙවැනි වැඩිවීමක් ගැන පුරෝකථනය කළා: “ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද . . . නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.”—යෙසායා 60:11.
හැම ජාතියකින්ම මනුෂ්‍යයන් මිලියන සංඛ්‍යාවක් යෙහෝවාගේ සංවිධානයට එක්රැස් වෙලා, දෙවිගේ අලුත් ලෝකයට මහත් පීඩාවෙන් බේරී ජීවත් වන ආකාරය උගන්වනු ලබන විදිහ දකින එක මොනතරම් පුදුමාකාර දෙයක්ද! (2 පේතෘස් 3:13) මේ ලෝකයේ ඉදිරිපත් කරන්න තියෙන ඕනෑම දේකට වඩා, පූර්ණ කාලීන දේවසේවය මට වටිනා දෙයක් වෙලා තියෙනවා කියලා මට ඇත්තටම කියන්න පුළුවන්. ඔව්, මං හොයාගෙන තියෙන වස්තු රන් නෙවෙයි; ඒත් හිතන්නවත් බැරි විදිහට මගේ ජීවිතය පොහොසත් කරලා තියෙන්නේ ආත්මික දියමන්තියි.
[23වන පිටුවේ පින්තූර]
මීචාලීස් එලෙෆ්තැරිආ කාමීනාරිස්
(දකුණේ) ලෝම්බාඩූ වීථියේ මුද්‍රණාලය