තීතස් ‘ඔබ උදෙසා හවුල් වැඩකරුවෙක්’
යම් අවස්ථාවලදී පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාවේ ප්‍රශ්න ගැටලු පැනනැඟුණා. මෙය විසඳුමකට ලක් කළ යුතු වූ අතර, මේ සඳහා නිර්භීතකම හා කීකරුකම අවශ්‍ය වුණා. එකකට වැඩි වූ එවැනි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් කෙනෙකි තීතස්. ප්‍රේරිත පාවුල් සමඟ එකට වැඩ කළ කෙනෙක් හැටියට, යෙහෝවාගේ ක්‍රමයට එකඟව දේවල් කිරීම සඳහා අන්‍යයන්ට උපකාර කරන්න ඔහු අවංකව වෑයම් කළා. එහෙයින්, තීතස් ‘ඔබ උදෙසා හවුල් වැඩකරුවෙක්’ කියා පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවා.—2 කොරින්ති 8:23.
තීතස් කවුද? ගැටලු නිරාකරණය කිරීමේදී ඔහු දැරූ කාර්යභාරය කුමක්ද? ඔහුගේ හැසිරීම සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කොහොමද?
චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුව
තීතස් චර්මච්ඡේදනය නොවූ ග්‍රීකයෙක්. (ගලාති 2:3)a “පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවා” හැටියට තීතස්ව ප්‍රේරිත පාවුල් හඳුන්වන බැවින්, ඔහු ප්‍රේරිතයාගේ ආත්මික දරුවෙකු වීමට ඉඩ කඩ තිබුණා. (තීතස් 1:4; සසඳන්න 1 තිමෝති 1:2.) චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට පාවුල්, බාර්ණබස් හා සිරියාවේ මෙන්ම අන්තියෝකියේ සිටි අනික් අයත් පො.යු. 49දී පමණ යෙරුසලමට ගිය අවස්ථාවේ තීතස්ද ඒ අතරේ සිටියා.—ක්‍රියා 15:1, 2; ගලාති 2:1.
අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්ගේ හරවාගැනීම යෙරුසලමේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ නිසා, යුදෙව්වන් හෝ යුදෙව් නොවන්නන්ට තමන් චර්මච්ඡේදනය වූවත් නැතත්, දෙවිගේ අනුමැතිය ලබාගත හැකි බව නිරූපණය කිරීමට තීතස්ව ගෙනගිය බවට අඟවා තිබෙනවා. ක්‍රිස්තියානි ධර්මය වැලඳගැනීමට පෙර ඵරිසිවරුන්ව සිටි යෙරුසලෙම් සභාවේ සමහරක් අය පැවසුවේ, අන්‍යජාතිකයන් චර්මච්ඡේදනය වීම හා ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යම බවයි; එහෙත් එම තර්කය නිෂ්ප්‍රභ කෙරුණා. තවද තීතස්වත් වෙනත් අන්‍ය ජාතිකයන්වත් චර්මච්ඡේදනය වීමට කියා බල කිරීමෙන්, ව්‍යවස්ථාවේ ක්‍රියා මත නොව යෙහෝවාගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවත් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලත් මත ගැළවීම රඳාපවතිනවාය යන කාරණය ප්‍රතික්ෂේප කිරීමක් අදහස් වීමට ඉඩ තිබුණා. එමෙන්ම අන්‍යජාතීන්ට නැතහොත් වෙනත් ජාතීන්වල මිනිසුන්ට දෙවිගේ ශුද්ධාත්මය ලැබුණාය යන්නට තිබෙන සාක්ෂිත් ප්‍රතික්ෂේප කිරීමක් ඉන් අදහස් කරන්න ඉඩ තිබුණා.—ක්‍රියා 15:5-12.
කොරින්තියට පිටත් කරයි
චර්මච්ඡේදන ගැටලුව සමතයකට ගෙනාවායින් පසු, පාවුල්ට හා බාර්ණබස්ට ජාතීන්ට දේශනා කිරීමට පූර්ණ අධිකාරය දෙනු ලැබුවා. ඒ අතරවාරයේම, දිළින්දන් ගැනද සිහියේ තබාගැනීමට ඔවුන් උත්සුක වුණා. (ගලාති 2:9, 10) දේවානුභාවය ලත් ලියවිල්ලේ තීතස් ගැන අවුරුදු හයකට පමණ පසු නැවත සඳහන් වන විට, ඔහු පාවුල්ගේ නියෝජිතයා හැටියට කොරින්තියේ ශුද්ධවන්තයන් වෙනුවෙන් සම්මාදම් එකතු කරමින් සිටියි. ඔහු මෙම වැඩය දිගටම ගෙනගියත්, නැවතත් පීඩනයෙන් පිරී ගිය තත්වයකට තමා මුහුණ දෙමින් සිටින බව ඔහුට දැනුණා.
කොරින්තිවරුන්ට ලිවූ පාවුල්ගේ ලිපිවලින් පෙනෙන්නේ “වේශ්‍යාකම්කරන්නන් සමඟ සමාගම් [නොපවත්වන්න]” කියා ඔහු ඔවුන්ට මුලින්ම පැවසූ බවයි. ඔවුන් අතරේ සිටි පසුතැවිලි නොවන වේශ්යාකම්කරන්නෙකුව පහ කර දැමිය යුතු බව ඔවුන්ට කියන්න ඔහුට සිදු වුණා. එසේය, පාවුල් “බොහෝ කඳුළෙන්” යුතුව ඔවුන්ට බලගතු ලිපියක් ලිව්වා. (1 කොරින්ති 5:9-13; 2 කොරින්ති 2:4) ඒ අතරේදී, යුදයේ සිටින අවශ්යතාවන්ගෙන් පෙළෙන ක්‍රිස්තියානීන් වෙනුවෙන් කරන එකතු කිරීමකට සහය දීම පිණිස තීතස්ව කොරින්තියට පිටත් කර හැරියා. බොහෝදුරට, කොරින්තියට ලිවූ පාවුල්ගේ ලිපියට ඔවුන් දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීම සඳහාත් ඔහුව යවන්න ඇති.—2 කොරින්ති 8:1-6.
කොරින්තිවරුන් පාවුල්ගේ උපදෙස්වලට කෙසේ ප්‍රතික්‍රියා කරයිද? එය දැනගැනීමට මහත් ඕනෑකමක් පෙන්වූ පාවුල්, හැකි ඉක්මනට වාර්තා කරන හැටියට උපදෙස් දී තීතස්ව එපීසයේ සිට ඒජියන් මුහුද හරහා කොරින්තියට යවන්න ඇති. යාත්‍රා ගමන් අත්හිටුවන කාලය එනම්, ශීතයට (නොවැම්බර් මැදභාගයට) පෙර එවන් ගමනක් නිම කළ හැකි නම්, තීතස්ට ත්‍රෝවසයට නැවකින් යා හැකි අතර, එසේත් නැතිනම් වඩා දීර්ඝ මාර්ගය වූ හෙලස්පොන්ට් හරහා ගොඩබිමින් යා හැකියි. රිදීකරුවන් ඇති කළ උද්ඝෝෂණය හේතුවෙන් එපීසයෙන් සිතුවාටත් වඩා කලින් පිටත් වීමට සිදු වූ නිසාවෙන්, ත්‍රෝවසයේ හමුවීමට එකඟ වූ තැනට පාවුල් කලින්ම පැමිණ සිටින්න ඇති. ත්‍රෝවසයේ නොසන්සුන් බලා සිටීමකින් පසු, තීතස් මුහුදු මාර්ගයෙන් නොඑන බව පාවුල්ට වැටහුණා. එහෙයින් ඔහු ගොඩබිම් මාර්ගයේදී ඔහුව හමුවීම සඳහා පය ඉක්මන් කළා. දැන් යුරෝපයට පා තබා සිටින පාවුල්, වියා එග්නාටියා මාර්ගයෙන් යෑමට කල්පනා කළ අතර, අන්තිමේදී ඔහුට තීතස්ව මකිදෝනියේදී මුණගැසුණා. පාවුල්ගේ මහත් ප්‍රීතියට හා සහනයට හේතු වෙමින්, කොරින්තිය ගැන ලැබුණු ආරංචි සතුටුදායක ඒවා වුණා. සභාව ප්‍රේරිතවරයාගේ උපදෙස්වලට හිතකර අන්දමින් ප්‍රතික්‍රියා කර තිබුණා.—2 කොරින්ති 2:12, 13; 7:5-7.
තම නියෝජිතයාට ලැබෙන්න යන පිළිගැනීම කෙබඳු එකක් වෙයිද යන්න ගැන පාවුල් කනස්සල්ලට පත්ව සිටියත්, ඔහුගේ එම පැවරුම ඉටු කිරීමට දෙවි තීතස්ට උපකාර කළා. තීතස්ව “භයත් වෙවුලුමත් ඇතුව” පිළිගනු ලැබුවා. (2 කොරින්ති 7:8-15) අර්ථව්යාපකයෙකු වන ඩබ්ලිව්. ඩී. තොමස්ගේම වචනවලින් මෙසේ කිව හැකියි; එනම්, “පාවුල්ගේ දැඩි හෙළාදැක්ම බාල කරන්නේ නැතුව, [තීතස්] දක්ෂ හා උපායශීලී අන්දමින් කොරින්තිවරුන්ට ආයාචනා කළා; තවද පාවුල් පැවසූ දේවල් පැවසුවේ ඔවුන්ගේ ආත්මික ශුභසාධනය මතකයේ තබාගනිමින් බවත් ඔහු සහතික කළා.” මේ අතරතුරේදී, කොරින්තියේ ක්‍රිස්තියානීන් විදහා පෑ කීකරුකමේ ස්වභාවය නිසාත්, ඔවුන් කළ ඒකාන්ත වෙනස්කම් නිසාත්, තීතස්ට ඔවුන් කෙරෙහි ප්‍රේමයේ හැඟීමක් ඇති වුණා. අගය කළ යුතු ඔවුන්ගේ ආකල්පය ඔහුට දිරිගැන්වීමේ ප්‍රභවයක් බව ඔප්පු වුණා.
කොරින්තියේ තීතස්ගේ මෙහෙයේ තවත් පැත්තක් වන යුදයේ ශුද්ධවන්තයන් උදෙසා කරන එකතු කිරීම සංවිධානය කරනු ලැබීම ගැන කුමක්ද කිව හැක්කේ? දෙවන කොරින්තියෙන් උකහාගත හැකි තොරතුරුවලට අනුව, තීතස් ඒ සම්බන්ධයෙනුත් කටයුතු කරමින් සිටියා. පාවුල්ට තීතස්ව මුණගැසී වැඩි කල් නොගොස්, එනම් පො.යු. 55 වසන්තයේදී පමණ මකිදෝනියේදී මේ ලිපිය ලියන්න ඇති. එකතු කිරීමට මුල් වී කටයුතු කළ තීතස්ව දැන් නිර්නාමික පුද්ගලයන් දෙදෙනෙකු සමඟ කාර්යය නිම කිරීමට එවන වග පාවුල් ලීවා. කොරින්තිවරුන් ගැන අව්‍යාජ උනන්දුවක් පෙන්වූ තීතස්, නැවත පැමිණීමට බොහෝ සෙයින් සතුටු වුණා. තීතස් කොරින්තිය බලා නැවත පැමිණි විට, කොරින්තියට ලිවූ පාවුල්ගේ දෙවන ලිපියත් රැගෙන ආවා විය හැකියි.—2 කොරින්ති 8:6, 17, 18, 22.
තීතස් කදිම සංවිධායකයෙක් වුණා පමණක් නෙවෙයි, අසීරු තත්වයන්වලදී සංවේදී පැවරුම් භාර දීමට හැකි මිනිසෙක්ද වුණා. ඔහු නිර්භීත, මේරූ හා ස්ථිර කෙනෙකි. කොරින්තියේ සිටි ‘උත්කෘෂ්ට ප්‍රේරිතයන්ගෙන්’ එල්ල වූ නිමක් නැති අභියෝග සමඟ කටයුතු කිරීමට හැකියාවක් තිබූ කෙනෙක් හැටියට පාවුල් තීතස්ව සැලකුවා. (2 කොරින්ති 11:5) තීතස් පිළිබඳ මෙම ආකල්පය ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කතා කරන ඊළඟ අවස්ථාව, එනම් තවත් බැරෑරුම් පැවරුමක යෙදී සිටින අවස්ථාව මගින් ස්ථිර කරනු ලබයි.
ක්‍රීතය නම් දූපතේ
පොදු යුගයේ 61-64 අතර කාලයේ, මධ්‍යධරණීය දූපතක් වන ක්‍රීතයේ තීතස් සේවය කරමින් සිටි විට පාවුල් තීතස්ට ලිපිය ලියන්න ඇති. පාවුල් ඔහුව එහි තබා ගියේ, ‘අඩුව තිබුණු දේවල් පිළිවෙළට යොදන පිණිසත්, නුවරක් නුවරක් පාසා වැඩිමහල්ලන් පත් කරන පිණිසත්ය.’ ක්‍රීතයේ අය, ‘බොරුකාරයන්, නපුරු මෘගයන්, කම්මැළි කෑදරයන්’ හැටියට ප්‍රසිද්ධියක් ඉසිලුවා. එහෙයින් ක්රීතයේදී නැවතත් තීතස්ට නිර්භීතව හා ස්ථිරව කටයුතු කිරීමට සිදු වෙනවා. (තීතස් 1:5, 10-12) එය ඉතා බැරෑරුම් වගකීමක් වූයේ, එම දූපතේ ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය තීරණය වීමට තිබුණේ එයින් නිසයි. දේවානුභාවයෙන් පෙලඹී, අවේක්ෂකයෙකු වීමට හැකියාවක් ඇති කෙනෙකු තුළ බැලිය යුතු දේවල් ගෙනහැර දැක්වීමෙන් පාවුල් තීතස්ට උපකාර කළා. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ පත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, තවමත් ඒ සුදුසුකම් සැලකිල්ලට ගනියි.
තීතස් ක්‍රීතයෙන් ගියේ කවදාදැයි ශුද්ධ ලියවිලිවල සඳහන් වෙන්නේ නැහැ. නිශ්චිත වශයෙන් සඳහන් නොවන කාලපරිච්ඡේදයක එම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි සේනස් හා අපොල්ලොස්ගේ අවශ්‍යතා බලාගන්න කියා පාවුල් ඔහුගෙන් ඉල්ලීමට තරම් ප්‍රමාණවත් කාලයක් ඔහු එම ප්‍රදේශයේ සිටියා. නමුත් තීතස් වැඩි කලක් දූපතේ සිටින්න යන්නේ නැහැ. අර්තිමස්ව හෝ තුඛීකස්ව එම ප්‍රදේශයට යැවීමට පාවුල් සැලසුම් කරමින් සිටි අතර, වයඹදිග ග්‍රීසියේ පිහිටා තිබූ ප්රමුඛ නගරයක් වන නිකපොලිසයේදී තීතස්ව මුණගැසීමට පාවුල් කටයුතු යොදා තිබුණා.—තීතස් 3:12, 13.
බයිබලයේ තීතස්ට සුළු වශයෙන් යොමු දක්වන ඊළඟ අවස්ථාවෙන්, ඔහුව පො.යු. 65දී පමණ තවත් පැවරුමකට පාවුල් පිටත් කළා කියා අපට තේරුම්ගත හැකියි. නවීන දින ක්‍රොඒෂියාවේ ආද්‍රියාතික මුහුදට නැඟෙනහිරින් පිහිටි ප්‍රදේශයක් වන දල්මාතියටයි ඔහු ගියේ. (2 තිමෝති 4:10) තීතස්ට එහිදී කරන්න තිබුණේ කුමක්දැයි අපට පවසා නැතත්, ඔහුව එතැනට යවන්න ඇත්තේ සභා වැඩකටයුතු හැසිරවීමටත්, මිෂනාරි ක්‍රියාකාරකම්වල සහභාගි වීමටත් බව යෝජනා කර තිබෙනවා. එය එසේ වූවා නම්, ක්‍රීතයේ දැරූ වගකීමට සමාන වගකීමක් තීතස් මෙහිදී දරමින් සිටියා විය යුතුයි.
තීතස් වැනි මේරූ ක්‍රිස්තියානි අවේක්ෂකයන් සිටීම ගැන අප කොතරම් ස්තුතිපූර්වක වෙනවාද! ශුද්ධ වූ ලියවිලිමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ට ඇති පැහැදිලි වැටහීමත්, ඒවා නිර්භයව අදාළ කිරීමත්, සභාවේ ආත්මිකත්වය ආරක්ෂා කිරීමට දායක වෙයි. ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කර, අපේ සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික ශුභසාධනයට දායක වීමෙන් අපිත් තීතස් මෙන් වෙමු.—හෙබ්‍රෙව් 13:7.
[පාදසටහන්වල]
a ගලාති 2:3හි තීතස්ව හඳුන්වන්නේ ග්‍රීකයෙක් (හෙල්ලෙන්) හැටියටයි. මෙයින් අදහස් විය හැක්කේ ඔහු ග්‍රීක පෙළපතකින් පැමිණෙන වගයි. කොහොම වුණත්, භාෂාවෙන් හා සංස්කෘතියෙන් ග්‍රීකයන් වූ ග්‍රීක නොවන අයව හැඳින්වීමට සමහරක් ග්‍රීක රචිකයන් බහුවචන ස්වරූපය (හෙල්ලෙනෙස්) යොදාගත් බව කියවෙනවා. එනිසා තීතස්ද එයාකාරයෙන් ග්‍රීකයෙක් වීමට ඉඩ කඩ තිබුණා.
[31වන පිටුවේ පින්තූරය]
තීතස්, කොරින්තියේ හා වෙනත් ස්ථානයන්හි සිටි ක්‍රිස්තියානීන් උදෙසා නිර්භීත හවුල් වැඩකරුවෙක් වූවා