ඔබට තිබෙන්නේ මොන වගේ නාමයක්ද?
බයිබලයෙහි, “නාමය” යන වචනය සමහර අවස්ථාවලදී කෙනෙකුගේ කීර්තියට යොමු දක්වනවා. උදාහරණයක් වශයෙන්, ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ ලිව්වා: “හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.” (දේශනාකාරයා 7:1; සසඳන්න හිතෝපදේශ 22:1.) සාලමොන්ගේ වචනවලට අනුව, පුද්ගලයෙක් හොඳ නාමයක් ඇතුව ඉපදෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු සැබෑ අර්ථයකින් යුත් කීර්තියක් ලබාගන්නේ ඔහුගේ ජීවිත මාර්ගයේ ගමන් කරන විටයි. ඔහුගේ නාමය, ඔහු ත්‍යාගශීලීද නැත්නම් ආත්මාර්ථකාමීද, අනුකම්පාසහගතද නැත්නම් අනුකම්පා විරහිතද, යටහත් පහත්ද නැත්නම් උඩඟුද, එපමණක් නොව ධර්මිෂ්ඨද නැත්නම් දුෂ්ටද යන ඔහුගේ පෞද්ගලික ගුණාංග හඳුන්වා දෙනවා.
දාවිත්ව සලකා බලන්න. ඔහුගේ රාජ්‍ය පාලනයේදී, ඔහු ශක්තිමත් නොසැලෙන කෙනෙකු බව ඔහු ඔප්පු කළා. ඒ අතරතුරේදීම, දාවිත් යටහත් පහත් ලෙස තමාගේ වැරදි පිළිගත් අතර, තම බරපතළ පාප ගැන පසුතැවිලි වුණා. දාවිත් “[දෙවිගේ] සිතට එකඟවූ මනුෂ්‍යයෙකු” බව යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් සඳහන් කළේ හොඳ හේතු ඇතුවයි. (1 සාමුවෙල් 13:14) තරුණ දාවිත්ට ඒ වන විටත් දෙවි සමඟ හොඳ නාමයක් තිබුණා.
ඊට පටහැනිව, යෙහෝරාම් නම් යුදයේ රජ තමාට නරක නාමයක් ඇති කරගත්තා. ඔහු තම යටත්වැසියන්ව යෙහෝවාගේ නමස්කාරයෙන් ඉවතට හැරෙවූ අතර, ඔහුගේ සහෝදරයන් හයදෙනාව හා යූදාහි ඇතැම් කුමාරවරුන්වද මරණයට පත් කළා. අන්තිමේදී, යෙහෝවා යෙහෝරාම්ට වේදනාකාරි රෝගයකින් පහර දුන් අතර, එය ඔහුගේ මරණයට මඟ පෑදුවා. යෙහෝරාම්ගේ මරණය ගැන ‘කිසිවෙක් කනගාටු නූණ’ බව බයිබලය පවසයි, නැතහොත් නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) පවසන පරිදි, යෙහෝරාම් “කිසිවෙකුගේ ප්‍රසාදයට ලක් නොවී මියගියේය.”—2 ලේකම් 21:20.
දාවිත්ගේ හා යෙහෝරාම්ගේ ජීවිත මාර්ගය බයිබල් හිතෝපදේශයේ සත්‍යතාව නිදර්ශනය කරනවා: “ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.” (හිතෝපදේශ 10:7) එබැවින් අප සියලුදෙනාම මෙම ප්රශ්නය බැරෑරුම්ව සලකා බැලිය යුතුයි: ‘දෙවි සමඟ හා සෙසු මිනිසුන් සමඟ මම ඇති කරගන්නේ මොන වගේ නාමයක්ද?’