සිමෝනියාව—ඉන් පරෙස්සම් වන්න!
සමාරියේ සිටි සීමොන්ව ඔහුගේ සමාජයේ සිටි මනුෂ්‍යයන් ඉතාමත් ගෞරවයෙන් සැලකුවා. ඔහු ජීවත් වුණේ පොදු යුගයේ පළමු ශතවර්ෂයේ වූ අතර, මිනිසුන් ඔහුගේ මායා බන්ධනවලට කොතෙක් වසඟව සිටියාද කියතොත් ඔවුන් ඔහුට, “මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලය” කියා පැවසුවා.—ක්‍රියා 8:9-11.
කොහොම වුණත්, සීමොන් බව්තීස්ම වූ ක්‍රිස්තියානිවරයෙක් වීමෙන් පසු, තමා කලින් විදහාපෙන්වූ බලයට වඩා වැඩි බලයක් තිබෙන බව අවබෝධ කරගත්තා. ඒ තමයි, අනිත් අයට ශුද්ධාත්මයේ පුදුමාකාර දීමනා ලබා දීමට හැකි කරවමින් යේසුගේ ප්‍රේරිතයන් මත වැගිරෙවූ බලය. සීමොන්ගේ සිතට එය කොතරම් කාවැදුණාද කිවහොත්, ඔහු ප්‍රේරිතයන්ට මුදල් දිගු කර, මෙසේ ඉල්ලුවා: “යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්න.”—ක්‍රියා 8:13-19.
ප්‍රේරිත පේතෘස් මෙසේ පවසමින් සීමොන්ට තරවටු කළා: “[දෙවිගේ] දීමනාව මුදලට ගන්න නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමග විනාශවේවා. මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද [දෙවි] ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.”—ක්‍රියා 8:20, 21.
මෙම බයිබල් වාර්තාවෙන් පැමිණෙන “සිමෝනියාව” යන වචනය නිර්වචනය කර තිබෙන්නේ “පල්ලියේ තනතුරු හෝ උසස් වීම් මිල දී ගැනීමේ හෝ විකිණීමේ පාපය” ලෙසයි. විශේෂයෙන්ම 9වන ශතවර්ෂයේ සිට 11වන ශතවර්ෂය දක්වා “පූජකාරාම තුළ, තනතුරෙන් පහත් පූජකවරුන් අතර, බිෂොප් අධිකාරිය තුළ සහ පාප්වරුන් අතරේ පවා සිමෝනියාව ව්‍යාප්තව තිබූ බව” නව කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පිළිගන්නවා. බ්‍රිටැනිකා විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) නවවන සංස්කරණය (1878) මෙසේ වාර්තා කරනවා: “පාප්වරුන් තේරීමේ රහස් සභාවේ ඉතිහාසය පිළිබඳව කරන අධ්‍යයනයකදී, සිමෝනියාවේ බලපෑමෙන් දූෂිත නොවූ කිසිම ඡන්දයක් කවදාකවත් නොපැවතුණ බව ශිෂ්‍යයෙකුට හොඳින් අවබෝධ වෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවලදී රහස් සභාව තුළ ක්‍රියාවට නැංවූ සිමෝනියාව සමාව දීමට නොහැකි තරමටම නරක මෙන්ම නින්දිතම ආකාරයේ එකක් වූ අතර, එය ලැජ්ජ බයක් නැතුව එළිපිටම කර තිබෙනවා.”
අදදින සැබෑ ක්‍රිස්තියානීන් සිමෝනියාවෙන් පරෙස්සම් විය යුතුයි. උදාහරණයකට, සමහරුන් තමන්ට වැඩියෙන් වරප්‍රසාද දෙන්න පුළුවන් අයව, බොහෝ පැසසීම්වලින් සහ තෑගිවලින් නාවනවා. අනිත් අතට, වරප්‍රසාද ප්රදානය කිරීමට හැකි අය, නිතර තෑගි දීමට මහත් ආශාවකින් සිටින අයට අනිසි පක්ෂපාතිත්වයක් පෙන්විය හැකියි. අවස්ථාවන් දෙකේදීම සිමෝනියාව සම්බන්ධ වන අතර, ශුද්ධ ලියවිලි පැහැදිලිවම එවැනි ක්‍රියාමාර්ගයක් හෙළා දකිනවා. පේතෘස් සීමොන්ට මෙසේ තදින් අවවාද කළා: “නුඹේ සිතේ කල්පනාව [“ඔබේ මේ කුමන්ත්‍රණය,” නියූ ජෙරූසලම් බයිබල්] නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ඨකම ගැන පශ්චාත්තාපව, [ස්වාමීන්ට] යාච්ඤාකරන්න. මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නැමති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.”—ක්‍රියා 8:22, 23.
සතුටට කරුණක් නම්, සීමොන් තම වැරදි අභිලාෂයේ තිබෙන බරපතළකම දැක්කා. ඔහු ප්‍රේරිතයන්ගෙන් මෙසේ අයැද සිටියා: “නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා [ස්වාමීන්ට] යාච්ඤාකරන්න.” (ක්‍රියා 8:24) අවංක ක්‍රිස්තියානීන් මේ වාර්තාවේ ඇතුළත් වන වැදගත් පාඩමට අවනත වීම මගින් සුළු වශයෙන් හෝ සිමෝනියාවෙන් දූෂණය නොවී සිටීමට වෙර දරනවා.