සුරක්ෂිත අනාගතයක් ඇති යෞවනයෝ
“ඕනෑම [ස්ත්‍රී දූෂණ නඩුවක්] තරම්ම කම්පිත මෙන්ම අතිශයින් පිළිකුල්සහගතයි”—මෑතකදී ඇසූ නඩුවක මුලසුන හෙබවූ විනිසුරු අපරාධය විස්තර කළේ එලෙසයි. අවුරුදු 14 සිට 18 දක්වා වයසේ නහඹරයන් අටදෙනෙකුගේ රංචුවක්, ලන්ඩනයේ අභ්‍යන්තර-නාගරික ප්‍රදේශයක සැඟව සිට සංචාරක ස්ත්‍රියක්ව යළි යළිත් දූෂණය කර, පිහිනන්න බැරි බව කියද්දීත් ඒ අසල තිබූ ඇළකට ඇයව වීසි කළා. තේරුම්ගත හැකි ලෙස, එක් නහඹරයෙකුගේ මවක් තම පුත්‍රයා කර ඇති දෙය රූපවාහිනී ප්රවෘත්ති ඔස්සේ දුටු විට, තමා ලෙඩ වී මානසිකව ඇද වැටුණායයි ප්‍රකාශ කළා.
කනගාටුදායක ලෙස, මෙම සිද්ධිය, අදදින සමාජයෙහි සිදු වෙමින් පවතින්නේ කුමක්ද කියා පිළිබිඹු කරනවා. සාපරාධී ක්‍රියා සහ නේවාසික සතුරුකම්වලදී හෝ වේවා බෝල්කන්වරුන්, මධ්‍යම මෙන්ම බටහිර අප්‍රිකානුවන් සහ වෙනත් ප්‍රදේශවල සිදු කරන ජනවාර්ගික ගැටුම්වලදී හෝ වේවා තිරිසන්කම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. යෞවනයන් ඇතිදැඩි වන්නේ එවන් තත්වයන් මධ්‍යයේ නැත්නම් බොහෝවිට එවන් දේවල් ගැන ඔවුන්ට ඇසෙනවා. එබැවින් බොහෝදෙනෙක් රළුකමක් වර්ධනය කරගෙන “ජන්ම ස්නේහය නැති” මෙන්ම “ආත්ම-දමනය නැති” අය බව පෙන්වීම පුදුමයක් නෙවෙයි.—2 තිමෝති 3:3, NW.
“රෞද්‍ර”
ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ඔහුගේ දෙවන ලිපිය තම සෙසු වැඩිමහල්ලා වන තිමෝතිට ලියද්දී, රෝමය එවකට ලෝක අධිරාජ්යයව පැවතුණා. රෝම රංගපීඨවල කෲරත්වය සහ ම්ලේච්ඡත්වය අහන්න දකින්න තිබුණා. ඒ වුණත්, අනාගතයේදී කාලයන්, “කටයුතු කිරීමට අසීරු” කාලවල් වෙන්න යනවා කියා පාවුල් අනතුරු ඇඟෙව්වා. (2 තිමෝති 3:1, NW) මේ කාලවල් “කටයුතු කිරීමට අසීරු” බව විස්තර කරන ග්‍රීක් වචනයෙහි, “රෞද්‍ර” යන අදහසත් ඇතුළත්ව තිබීම සිත්ගන්නා කරුණක්. ඊට තිස් වසරකට පෙර යේසුස්ගේ භූමික දේවසේවයෙහිදී වූ එක් සිදුවීමක්, එම කාලයේ පැවති යම් ආකාරයක අතිරෞද්රභාවය පිටුපස තිබුණේ කුමක්ද කියා පෙන්වනවා.
බෝට්ටුවකින් ගලීල මුහුදේ නැඟෙනහිර වෙරළට යේසුස් පැමිණියා පමණයි. ඔහු වෙරළට පය ගසනවාත් සමඟම, මිනිසුන් දෙදෙනෙක් ඔහුගේ මුහුණට මුහුණලා හමු වුණා. ඔවුන්ගේ අශිෂ්ට පෙනුම සහ කෑගැසීම ඔවුන් තුළ යමක් තදබල ලෙස වැරදී ඇති බව පැහැදිලි කළා. ඔවුන් “අසාමාන්‍ය ලෙස රෞද්‍රව,” ඇත්තෙන්ම යක්ෂාවේශ වී සිටියා.a ඔවුන් කෑගසා කී දේවල් නික්මුණේ, ඔවුන්ගේ සැහැසි ක්‍රියා පාලනය කළ දුෂ්ට ආත්මයන්ගෙන්. “දෙවිගේ පුත්‍රය, ඔබට අපෙන් කම මොකද? නියම කරන ලද කාලයට කලින් අපට වද දෙන්න ආවේද?” කියා මොවුන් කෑගැසුවා. භූතයන් මත විනිශ්චය ක්‍රියාත්මක කරන්න දෙවි ඒ වන විටත් කාලයක් නියම කර ඇති බව දෙදෙනාට ආවේශ වී සිටි මෙම දුෂ්ටාත්ම හොඳින් දැන සිටියා. මෙයින් ඔවුන්ගේ සදාකාලික විනාශය අදහස් කරනවා. නමුත් එතෙක්, ඔවුන් ඔවුන්ගේ අධිමානුෂික හැකියාවන් රෞද්‍ර සැහැසියාව අවුළුවන්න ක්‍රියාත්මක කෙරුවා. මිනිසුන් දෙදෙනාට එම භූතයන්ගෙන් සහනයක් ගෙනාවේ යක්ෂයන් දුරු කිරීමේ යේසුස්ගේ ආශ්චර්යවත් ක්‍රියාව පමණයි.—මතෙව් 8:28-32, NW; යූද් 6.
තරුණයන් ඇතුළු අදදින සිටින මිනිසුන්, උන්මත්තක ලෙස ක්‍රියා කරද්දී, ඉහත සිද්ධිය අපට මතකයට නඟන්න පුළුවන්. ඒ මන්ද? මේ 20වන සියවසේදී එකිනෙකට නෑකම් කියන අන්තරාවන්ට අප මුහුණ දෙන නිසයි. බයිබලයේ අවසාන පොත වන එළිදරව් පැහැදිලි කරන්නේ, “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව” සිටින බවයි. (එළිදරව් 12:12) සාතන්ට සිදු වී ඇති නින්දාව කරුණාකර නිරීක්ෂණය කරන්න; ඔහුට ඇත්තේ තව කෙටි කාලයක් බව දන්නා බැවින්, එය ‘මහත් උදහස’ හා බැඳී තිබෙනවා.
ප්‍රහාරය යටතේ
මෙම ජර්නලයේ පිටුවල බොහෝවිට සඳහන් කළාක් මෙන්, ස්වර්ගයේ දෙවිගේ රාජ්‍යයේ රජ හැටියට යේසුස් ක්‍රිස්තුස් සිංහාසනාරූඪ වීම 1914දී දැකගන්න ලැබුණා. යේසුස්, දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන්ට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගත්තා. මෙසේ යක්ෂයාව සහ භූතයන්ව ස්වර්ගයෙන් පිටුවහල් කර ඇති අතර, දැන් ඔවුන් පොළොව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙනවා. (එළිදරව් 12:7-9) ඔහුට බලපෑම් කළ හැකි ක්ෂේත්රය බොහෝ සේ අවහිර කිරීමත් සමඟම, සාතන් “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) ඔහුගේ පහසු ගොදුරු බවට පත් වන්නේ කව්ද? ඔවුන් නම්, ජීවිතය සහ මිනිස් සබඳතා පිළිබඳ අද්දැකීම් අඩු අය වීම තේරුම්ගත නොහැකිද? මේ අනුව අදදින යෞවනයන් යක්ෂයාගේ ඉලක්ක බවට පත්ව සිටිනවා. බොහෝවිට තම සංගීතය සහ විවේකය පසුපස හඹායෑම් තුළින්, ඔවුන් මෙම අදෘශ්‍යමාන කෛරාටික පොලඹවන්නාගේ අත්වලට කෙළින්ම ඇද වැටෙනවා.—එපීස 6:11, 12.
යෞවනයන් සාර්ථක වෙන්න වෑයම් කරද්දීත්, ඔවුන්ට සීමා තහංචි පනවා තිබෙන්නාක් මෙන් හැඟෙනවා. දෙවන ලෝක සංග්‍රාමයේ පටන්, කලින් යුද්ධයට සම්බන්ධ බොහෝ රටවල ජනයා තමන්ගේ පවුල්වලට සමෘද්ධිමත් ජීවන-රටාවක් ලබා දීමෙන් වන්දි ගෙවන්න වෑයම් කළා. ද්‍රව්‍යමය දේපොළ, සීමාවන්ගෙන් තොර විවේකය සහ විනෝදාස්වාදය ප්‍රධාන ඉලක්ක බවට පත් වුණා. ප්‍රතිඵලයක් හැටියට, බොහෝදෙනෙක් දුක් වින්දා. පාවුල් තිමෝතිට අවවාද කළේ මෙසේයි: “ධනවත් වීමට අදිටන් කරන අය, පරීක්ෂාවකට සහ මලපතකට මෙන්ම තේරුමක් නැති, වේදනාකාරි ආශාවන් රැසකට හසු වෙති; . . . මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර වේදනාකාරි දේවල මුලක්ය; එමෙන්ම මෙම ප්‍රේමය අත් කරගැනීමට වෑයම් කිරීමෙන් සමහරුන් . . . වේදනා රැසකින් තමුන්ටම හැම තැනටම පහර ඇනගෙන තිබේ.” (1 තිමෝති 6:9, 10, NW) අදදින ද්‍රව්‍යවාදී සමාජයේ ජනයා පොදුවේ ආර්ථික, මූල්‍යමය සහ චිත්තවේගීය වේදනාවන්ගෙන් ඇනගෙන තිබෙන බව අපට පෙනෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යෞවන අය වන අතර, ඔවුන් දෙවිගේ පරම සතුරාගේ මෙම කූටෝපායන්වල ගොදුරුය.
කෙසේවෙතත් සතුටුදායක ලෙස, ශුභාරංචි තිබෙනවා. එමෙන්ම ඊට යෞවනයන් සම්බන්ධ වන අතර, ඔවුන් ඉදිරියේ සුරක්ෂිත අනාගතයක් තිබෙනවා. මෙසේ වන්නේ කෙසේද?
සොයන්න එවිට ඔබට සම්බ වෙයි
බොහෝ යෞවනයන්ට පරමාදර්ශ තිබෙනවා. වැඩිහිටියන් අතර පවතින පොදු දූෂිත ප්රමිතීන් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. බලයට-කෑදර දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අසාධාරණ සහ කර්කශ ආකල්ප ඔවුන් පිළිකුල් කරනවා. ඔබ යෞවන නම්, සමහරවිට ඔබටත් මේ විදිහටම හැඟෙන්න පුළුවන්.
තම නහඹරවිය පසු කරමින් සිටින සෙඩ්රික්ව සලකා බලන්න. මේ අද්දැකීම ඔහුට පමණක් ආවේණික එකක් නෙවෙයි.b දරුවෙක් හැටියට, මරණයට ඇති බය ඇතුළු, බොහෝ තැතිගැනීම් ඔහුට තිබුණා. ජීවිතයට ඇති අරමුණ කුමක්ද කියා ඔහු සිතුවා. වයස අවුරුදු 15 වන විට, ඔහුගේ ප්‍රශ්නවලට උත්තර සොයාගත නොහැකි වූ නිසා වෙනත් පරමාදර්ශී තරුණයන්ගේ ඇසුර ලබමින්, ජීවිතයේ අර්ථය සෙවීම අත්හැරියා. “පටන්ගැන්මක් හැටියට, දුම් බිබී, පැය ගණන් එකට ඉඳගෙන කතා කර කර කාලෙ ගත කළා” කියා ඔහු මතක් කරනවා. “හැමදෙනාටම හැඟුණේ මට හැඟුණු විදිහටයි කියල හිතුවට, කිසිම කෙනෙක් ළඟ උත්තර තිබුණේ නැහැ.”
සෙඩ්රික්, අනිත් සියලුම යෞවනයන් මෙන්, වින්දනයට දැඩි සේ ආශා කළා. නිකම්ම මත්ද්‍රව්‍ය ගැනීම ඔහුව තෘප්තියට පත් කළේ නැහැ. ඔහු ඉක්මනින් සොරකම් කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වුණා. ඔහු මේ වෙද්දීත් අලුත් අභියෝග සොයමින් සිටියා. ඔහු ඉල්ලුම අනුව සොරකම් කරන්න පටන්ගත්තා. “එහෙම කරන එකෙන් මම වින්දනයක් ලැබුවා” කියා ඔහු පිළිගන්නවා. “ඒත් මම සාමාන්‍ය මිනිහෙකුගෙන් කිසිම දෙයක් ගත්තේ නැහැ. මම කාර් එකක් සොරකම් කෙරුවා නම්, ඒක හොඳ තත්වයෙන් ආපහු තියලා ගියා. සාප්පුවක් බින්දා නම්, මම එහෙම කළේ ඒවා රක්ෂණය කරල තියෙනවා කියල දැනගෙන හිටියා නම් විතරයි. එහෙම කරන එක මං වැරදි නැහැයි කියලා හිතන්න මට උදව් වුණා.” ඔබ අපේක්ෂා කළ විදිහට සෙඩ්රික් නැවතුණේ සිරගෙදරින්.
සෙඩ්රික් මෙසේ මතක් කරනවා: “වෙන හිරකාරයෙක් වූ මාක් මට කතා කළා. මගේ අතේ ඉහළ කොටසේ ලොකු කුරුසයක පච්චයක් කොටා තිබෙනවා දැකල ඒ ඇයි කියලා ඇහුවා. ඒක මට ආගමික වශයෙන් වැදගත්කමක් තියෙනවා කියලා එයා හිතුවා.” සති කිහිපයකට පසු, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැකc නමැති පොතේ පිටපතක් මාක් සෙඩ්රික්ට ලබා දුන්නා. “‘සදාකල් ජීවත්වන්ට ඔබට හැක’—ඒ වචන ටික මට ඒ මොහොතේම තදින්ම වැදුණා. අපි කොයි වෙලේත් කතා කළේ ඒ ගැනයි. ඒත් අපි කිසි දවසක ඒකෙ ඇත්ත සොයාගත්තේ නැහැ.” සිරගෙදරට පැමිණි යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් සමඟ කළ බොහෝ සාකච්ඡාවලින් පසු, ඔහුගේ ප්‍රාර්ථනාව, ඉටු වන එකක් බව සෙඩ්රික් වටහාගත්තා—නමුත්, ඒ දෙවිගේ ක්‍රමයට විතරයි.
“කලින් හිටපු යාළුවන්ව ආශ්‍රය කරන එක නැවැත්තුවාම, මම වේගවත් දියුණුවක් ලැබුවා” කියා සෙඩ්රික් සඳහන් කරනවා. ඔහුගේ සැබෑ සන්තෝෂය අත් කරගැනීමේ ප්‍රගතිය පහසු එකක් වුණේ නැහැ. “මම තවමත් ඒ සඳහා වැඩ කරමින් ඉන්නවා” කියා ඔහු කියනවා. “හිතන පතන විදිහ ගැන මම පරෙස්සම් වෙන්න ඕනෙ.” ඔව්, ඔහුගේ ඉලක්ක අත් කරගත හැක්කේ වින්දනය වටා කේන්ද්‍රගත වූ ක්‍රියාවල නියැලීමෙන් පමණයි කියා සිතමින් පරමාදර්ශී පුද්ගලයෙක් වීම, යක්ෂයාගේ මලපතට මඟ පෑදූ බව දැන් සෙඩ්රික් තේරුම්ගෙන තිබෙනවා.
සතුටුදායක ලෙස, සෙඩ්රික් සිරෙන් නිදහස් වී බොහෝ කලක් ගත වී ඇති අතර, තමන් සෙවූ දෙය සොයාගත් අය සමඟ ඔහු නිබඳ මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. ඔහු දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන අතර, පාරාදීස පොළොවක ජීවත් වීමේ ඔවුන්ගේ අපේක්ෂාව බෙදාගනිමින් සිටිනවා. විවිධ වේශයෙන් යුත් සාතන්ගේ බලපෑම් අවසන් වීම දෙස ඔහුත් බලා සිටිනවා.
ඇත්තවශයෙන්ම, සුරක්ෂිත අනාගතයක් තිබෙන්නේ සෙඩ්රික් වැනි යෞවනයන්ට පමණක් නෙවෙයි; දේවභයැති දෙමාපියන් විසින් ඇති දැඩි කළ, බයිබල් සත්‍යයන් පිළිබඳ ප්‍රේමයක් පැලපදියම් කළ අයටත් එය තිබෙනවා.
දේවභක්තික පුහුණුව වැඩි ලාභ ගෙන දෙයි
“දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කළත් එයින් අහක්ව නොයන්නේය” කියා පුරාණයේ සිටි ප්‍රඥාවන්ත සාලමොන් රජ ලිව්වා. (හිතෝපදේශ 22:6) බයිබල් ප්‍රමිති රකින්න තෝරාගෙන තිබෙන බොහෝ ප්‍රාණ-පූර්ණ තරුණ අය සම්බන්ධයෙන් මෙය සැබෑ බව ඔප්පු වී තිබෙනවා.
ශීලා, ගෝඩ්න් සහ සාරා මෙසේ කළා. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මගින් ‘ගොස් ගෝලයන් සෑදීමට’ වූ ක්‍රිස්තුස්ගේ ආඥාවට කීකරු වීම මත ඔවුන්ගේ දෙමාපියන් වැඩි වැදගත්කමක් තැබූ බව ඔවුන් මතක් කරනවා. (මතෙව් 24:14; 28:19, 20) “අපිට ගන්න තිබුණු ඕනෙම තීරණයකදී, ‘ඒක කොහොමද දේශනා වැඩයට බලපාන්නේ’ කියලා අම්මයි මමයි අපි එක් එක්කෙනාගෙන් අහන්න පුරුදු වෙලා හිටියා” කියා ශීලා මතකයට නඟනවා. “මෙහෙම හිතන එකෙ ප්‍රතිඵලයක් හැටියට අපිට ආපු ව්‍යාපෘතීන් ගොඩක් අතහැරියා” කියා ඇය කියන අතර, ඇය තවදුරටත් මෙසේ කියනවා: “ඒත් මොනතරම් ආශීර්වාද අපිට ලැබුණද!” ශීලා සහ ඇගේ මව ශුභාරංචිය සමඟින් ජනයාගේ නිවෙස් බැහැදැකීමේ දීර්ඝ දවස් ගත කිරීමෙන් පසුව වුණත් නිවසට ඇවිදගෙන ආවේ සින්දු කියමින්. ඇය මෙසේ කියනවා: “මම ප්‍රීතියෙන් පිරිලා, මට ඒක දැනුත් දැනෙනවා.”
බොහෝ ආස්වාදජනක සෙනසුරාදා සන්ධ්‍යාවන් ගැන ගෝඩ්න් මතක් කරනවා. “මාව සභාවේ වැඩිමහල්ලන්ගේ ගෙවල්වලට ආරාධනා කෙරුවා; අපි එහෙදී ප්‍රයෝජනවත් බයිබල් ප්‍රශ්න ඇසීම සහ සාකච්ඡා පැවැත්තුවා. බයිබල් පද මතකයට නඟන්න, බයිබල් විෂයක් ගැන නිදහසේ කතා කරන්න, දේශනා සේවයේ අද්දැකීම් පවසන්න සහ රාජ්‍ය වැඩය ව්‍යාප්ත වෙන්නේ කෙසේද කියා ඉගෙනගන්න අපිට දිරිගැන්නුවා” කියා ගෝඩ්න් මතක් කරනවා. “මේ හැම දෙයක්ම හොඳ අත්තිවාරමක් දමාගන්නත් යෙහෝවා දෙවි සඳහා ප්‍රේමයක් වගා කරගන්නත් මට උදව් කළා.”
බැහැදකින සාක්ෂිකරුවන් සමඟ සන්ධ්‍යාවන් ගත කිරීම පිළිබඳ සන්තෝෂවත් මතකයන් සාරාට තිබෙනවා. “අපි එකට කෑමක් ගන්නවා. බැහැදැකීම අවසානයේදී, දෙවිගේ රාජ්‍යය ගැන ගීතිකා ගායනා කරන අයව එක් කරගෙන පියානෝව වාදනය කරනවා. විශේෂයෙන්ම ඉස්කෝලෙ යන කාලෙදී ඇත්තටම සංගීතය අපිට ගොඩක් උදව් වුණා, මොකද පවුලක් හැටියට දේවල් එකට කරන්න ඒක අපට ඉඩහැරියා.”
ඇත්තවශයෙන්ම, යෙහෝවාව ප්‍රසන්න කරන්න සොයන සියලුම යෞවනයන්ට නියම පවුල් වාතාවරණ නැහැ. කෙසේවෙතත්, සභාවේ අනිත් සාක්ෂිකාර පවුල් සමඟ කිට්ටු ඇසුර ඔවුන්ට සුරක්ෂිතභාවය සහ අයිතියි යන හැඟීම ලබා දෙනවා.
අනාගතය සඳහා සුරක්ෂිත අත්තිවාරමක් අගය කර සලකන්න
අදදින යෞවනයන්ට තේරීමක් තිබෙනවා. යේසුස් පුරෝකථනය කළ, පැමිණෙන්නාවූ ‘මහත් පීඩාවේ’ විනාශය වෙතට දුෂ්ට ලෝකය ශීඝ්‍රයෙන් ඇදීයෑමත් සමඟ ඔවුන්ට දිගටම ගමන් කළ හැකියි. නැත්නම්, ආනුභාව ලත් ගීතිකාකාර ආසාප් ගැයුවාක් මෙන්, ‘තමුන්ගේ විශ්වාසය දෙවි කෙරෙහි තබා ඔහුගේ ආඥා රක්ෂා කරන්න’ ඔවුන්ට හැකියි. දෙවිට ඇති කීකරුකම, “මුරණ්ඩු සහ කැරලිකාර පරම්පරාවක්ව, තම හෘදය සූදානම් කර නොගත්, දෙවි සමඟ විශ්වාසවන්ත නොවූ ආත්මයක් ඇත්තාවූ පරම්පරාවක්” වීමෙන් ඔවුන්ව වළක්වන්න යනවා.—මතෙව් 24:21; ගීතාවලිය 78:6-8, NW.
ලෝක ව්‍යාප්ත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 80,000කට වැඩි සභා ප්‍රමාණයක, ප්‍රශංසා කළ හැකි යෞවනයන් බොහෝමයක් ඔබට සොයාගත හැකියි. යෞවන තිමෝතිට පාවුල් දුන් උපදේශයට එකඟව ඔවුන් ක්‍රියා කරනවා: “හොඳ වැඩ කරන්න, යහපත් වැඩවල ධනවත් වන්න, ත්‍යාගශීලී වන්න, බෙදාගැනීමට සූදානමින් සිටින්න; මෙසේ අනාගතයට යහපත් අත්තිවාරමක් දැමීම සඳහා මේ දේවල් නිදන් කර තබන්න.” ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් දැන් “සැබෑ ජීවනය ස්ථිර ලෙස වැලඳගෙන” සිටිනවා. (1 තිමෝති 6:18, 19, NW) ඔවුන්ගේ රැස්වීම්වලට පැමිණීමෙන් මෙම සැබෑ ක්‍රිස්තියානීන් ගැන තවදුරටත් සොයා බලන්න. එවිට සුරක්ෂිත අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ලබාගන්න ඔබටත් හැකියි.
[පාදසටහන්වල]
a මතෙව් 8:28 සහ 2 තිමෝති 3:1හි පාවිච්චි කර ඇති එම ග්‍රීක් වචනයම පරිවර්තනය කරන්නේ “රෞද්‍ර” ලෙසයි.
b නම් වෙනස් කර ඇත.
c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් සුව කළ “අසාමාන්‍ය ලෙස රෞද්‍රව” සිටි මිනිසුන් පිටුපස දුෂ්ටාත්ම සිටියා
[8වන පිටුවේ පින්තූරය]
“අනාගතයට යහපත් අත්තිවාරමක්” ගොඩනැඟීම