ඔනේසිපොරස්—එඩිතර සනසන්නෙක්
“නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.” (හෙබ්‍රෙව් 13:3) ප්‍රේරිත පාවුල් පො.යු. 61 ගැන මේ වචන ලියූ විට, ඔහු ඒ වන විටත් එක වතාවකට වඩා සිරගත වී තිබුණු අතර, ප්‍රාණ පරිත්‍යාගිකයෙක් වශයෙන් ඔහුගේ මරණයට පෙර යළිත් එසේ වීමට තිබුණා. (ක්‍රියා 16:23, 24; 22:24; 23:34; 24:27; 2 කොරින්ති 6:5; 2 තිමෝති 2:9; පිලෙමොන් 1) තම ඇදහිල්ල නිසා පීඩා විඳින සෙසු ඇදහිලිවන්තයන්ව රැකබලා ගැනීම සඳහා සභාවලට දැන් වගේම ඒ කාලයෙත් හදිසිතාවක් පැවතුණා.
එම අවශ්‍යතාවට විශේෂයෙන්ම සාවධාන වූ පළමු-ශතවර්ෂයේ ගෝලයෙක්, ඔනේසිපොරස්. පාවුල් දෙවන වරට රෝමයේ සිරගත වී සිටි කාලයේදී ඔහු පාවුල්ව බැහැදකින්න ගියා. ඔහු සම්බන්ධයෙන් ප්‍රේරිතවරයා මෙසේ ලිව්වා: “ඔනේසිපොරස්ගේ පවුලට [ස්වාමීන් කරුණා කරත්වා]. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය; ඔහු රෝමයට ආකල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්බවෙන්ට ආවේය.” (2 තිමෝති 1:16, 17) ඒ වචන ටිකෙන් ඇත්තෙන්ම අදහස් කළ දේ ගැන සිතා බැලීමට ඔබ කවදා හෝ කාලය ගත කර තිබෙනවාද? එසේ කිරීමෙන් ඔනේසිපොරස් සඳහා ඔබේ අගය වැඩි විය හැකියි. ඔහු එඩිතර සනසන්නෙක්ව සිටි බව ඔබ දකිනු ඇත.
පාවුල්ගේ දෙවන සිරගත වීම
තම පළමු සිරගත වීමෙන් නිදහස් වූ පසු, පාවුල් නැවතත් වෙනස් තත්වයන් යටතේ රෝම බන්ධනාගාරයේ සිටියා. කලින් ඔහු විසින්ම කුලියට ගත් නිවසේ සිටියදී මිත්‍රයන් ඔහුව බලන්න පැමිණි අතර, නිදහස් වීම ළඟ බවට ඔහු තුළ නිසැකකමක් තිබූ බව පෙනෙන්න තිබුණා. දැන් වැඩිදෙනෙක් අත්හැර දමා සිටින අතර, ප්‍රාණ පරිත්‍යාගය ළඟ ළඟම සිදු වන්ට යන බවක් පෙනෙන්ට තිබුණා.—ක්‍රියා 28:30; 2 තිමෝති 4:6-8, 16; පිලෙමොන් 22.
පොදු යුගයේ 65දී පමණ මේ අවස්ථාවේ, පාවුල් සිරභාරයේ සිටියා. ඊට අවුරුද්දකට විතර කලින්—එනම් පො.යු. 64 ජූලිවලදී—රෝමය පුරා ගින්නක් හටගත්තේ නගරයේ ප්‍රදේශ 14කින් 10කටම විශාල හානියක් සිදු කරමින්. රෝමානු ඉතිහාසඥ ටැසිටස්ට අනුව, “ලැව්ගින්න ඇති වුණේ නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන්ය යන සැක උපදවන විශ්වාසය නැති කර දැමීමට” නීරෝ අධිරාජ්‍යයාට පුළුවන් වුණේ නෑ. “ප්‍රතිඵලයක් වශයෙන්, මේ නරක වාර්තාවෙන් මිදීමට, පොදු ජනයා විසින් ක්‍රිස්තියානීන් කියා හැඳින්වූ, තම පිළිකුල් ක්‍රියා හේතුවෙන් වෛරය ලැබූ ක්‍රිස්තියානීන් පංතියක් මත නීරෝ වරද පටවා, තදබල වධහිංසා පැමිණෙව්වා. . . . ඉතා නින්දිත ලෙස ඔවුන්ව මරණයට පත් කළා. වනමෘගයන්ගේ හම්වලින් පොරවන ලද ඔවුන්ව බල්ලන් ලව්වා ඉරා දැම්මෙව්වා; මරලා දැම්මා; එහෙමත් නැත්නම් ඔවුන්ව කුරුසවල ඇණගැහැව්වා; දිවා ආලෝකය පහ වී ගිය විට රාත්‍රි ආලෝකය වශයෙන් දල්වා තැබීමට ඔවුන්ව ගින්නට දමා පිලිස්සුවා.”
පාවුල් නැවතත් සිරභාරයේ සිටියේ මෙවැනි වාතාවරණයක් හා එවැන්නක් බලාපොරොත්තු විය හැකි තත්වයක් පවතිද්දියි. ඔහුගේ මිත්‍ර ඔනේසිපොරස්ගේ බැහැදැකීම් සඳහා ඔහු බෙහෙවින් කෘතඥ වූ බවට කිසි සැකයක් නෑ! නමුත් ඔනේසිපොරස්ගේ දෘෂ්ටිකෝණයෙන් එම තත්වයම දෙස අපි බලමු.
සිරකරු වූ පාවුල්ව බැහැදැකීම
පෙනෙන විදිහට, ඔනේසිපොරස්ගේ පවුල ජීවත් වුණේ එපීසයෙයි. (2 තිමෝති 1:18; 4:19) ඔනේසිපොරස් අධිරාජ්‍යයේ අගනුවරට පැමිණියේ තමාගේම ව්‍යාපාරයක් සඳහාද නැතහොත් විශේෂයෙන්ම පාවුල්ව බලන්නද යන්න ප්‍රකාශ කර නෑ. කෙසේනමුත්, ප්‍රේරිතයා මෙම අදහස ප්‍රකාශ කළා: ‘ඔනේසිපොරස් රෝමයේ සිටිද්දී, ඔහු නොයෙක් වර මා ප්‍රාණවත් කළා.’ (2 තිමෝති 1:16, 17) මොන වගේ ප්‍රාණවත් කිරීමක්ද? ඔනේසිපොරස් දුන් සහායට ද්‍රව්‍යමය උපකාරයත් ඇතුළත් වී තිබුණා විය හැකි වුවත්, ඔහුගේ පැමිණීම පැහැදිලිවම පාවුල්ව ශක්තිමත් කිරීමට හා දිරිගැන්වීමට ශක්තිජනකයක් වශයෙන්ද ක්‍රියා කළා. ඇත්තවශයෙන්ම, සමහර පරිවර්තනවල මෙසේ කියවීමට තිබෙනවා: “ඔහු නොයෙක් වර මාව ධෛර්යවත් කළේය” නැතහොත් “ඔහු නොයෙක් වර මට සැනසිල්ලක් විය.”
එවැනි වකවානුවක රෝමයෙහි ක්‍රිස්තියානි සිරකරුවෙකුව බැලීමට යෑමේ ආශාවක් ඉටු කරගැනීමට අභියෝගයන්ට මූණ දෙන්න සිදු වුණා. පාවුල්ගේ මුල් සිරගත වීමේ දවස්වලදී මෙන් නොව, රෝම ක්‍රිස්තියානීන්ට පැහැදිලිවම ඔහුව හමු වන්න නොහැකි වී තිබුණා. රෝමය වැනි විශාල නගරයක, විවිධ වැරදි හේතුවෙන් සිර කර සිටින විශාල සංඛ්‍යාවක් අතර අප්‍රසිද්ධ සිරකරුවෙක් සෙවීම පහසු දෙයක් වුණේ නෑ. මෙබැවින්, උනන්දුවෙන් සෙවීම අවශ්‍ය වුණා. ප්‍රවීණයෙක් වූ ජොවානි රොස්ටාන්‍යෝ මෙලෙස කාරණා විස්තර කරයි: “දුෂ්කරතා වෙනස් වූ ස්වභාවයක පවතින්න ඇති. සියල්ලටම වඩා, සෙවීමේදී විශේෂ තීක්ෂ්ණ බුද්ධියක් අවශ්‍ය වුණා. එහෙන් මෙහෙන් තොරතුරු සොයාබැලීම හා අපරාධ ගණනාවක් කළ බවට ඇඟවූ පරණ, ධර්මාන්ධ සිරකරුවෙක් රඳවා ඇති බන්ධනාගාරයක් සෙවීමට උනන්දුවක් දක්වන බවක් පෙනීම අනවශ්‍ය සැකයක් උපදවා තිබුණා විය හැකියි.”
ලේඛක පී. එන්. හැරිසන් එම තත්වය ගැන සවිස්තරව මෙසේ පැහැදිලි කරයි: “ගලාගෙන යන සමූහයක් අතර අරමුණක් ඇති මුහුණක් මොහොතින් මොහොත අපිට දකින්න ලැබෙන අතර, ඈත ඒජියන් මුහුදුකරයෙන් පැමිණි මේ අමුත්තා, තමා ගන්නා අවදානම් පියවර ගැන අවවාද ලැබී තිබුණත්, නුහුරු නුපුරුදු වීදි ඔස්සේ යමින් දොරවල් බොහෝමයකට තට්ටු කරමින් හැම හෝඩුවාවක්ම විමසා බලමින් දිගටම තම සෙවිල්ලෙහි නිරත වන ආකාරය උනන්දුවෙන් දැකබලා ගන්න අපි පෙලඹෙනවා; අන්තිමේදී, යම් අඳුරු සිපිරිගෙයක හුරුපුරුදු කටහඬක් ඔහුට ආචාර කරන අතර, රෝම සොල්දාදුවෙකුට බැඳ විලංගු ලා සිටින පාවුල්ව ඔහු සොයාගනියි.” ඒ ස්ථානය වෙනත් රෝමානු බන්ධනාගාර වගේම වූවා නම්, එය සමහරවිට හැම ආකාරයකම විලංගු හා හිංසා පීඩාවලින් ගහන ශීත, අඳුරු සහ අපිරිසිදු ස්ථානයක් වන්න ඇති.
පාවුල් වැනි සිරකරුවෙකුගේ මිත්‍රයෙක් වශයෙන් පිළිගැනීම අවදානම් සහිත දෙයක් වුණා. ඔහුව නිතර බලන්න යෑම ඊටත් වඩා වැඩියෙන් අනතුරුදායක එකක් වුණා. තමා ක්‍රිස්තියානියෙක් කියා විවෘතව හඳුන්වා දීම වධහිංසා විඳ, සිරගත වීමේ හා මරණයට පත්වීමේ අවදානමට ලක්වීමක් වුණා. නමුත් ඔනේසිපොරස් වතාවක් දෙකක් පමණක් බලන්න යෑමෙන් සෑහීමට පත් වුණේ නෑ. ඔහු “නොයෙක් වර” එසේ කිරීමට ලජ්ජා වුණේවත් බිය වුණේවත් නෑ. අනතුරු මැද ධෛර්යය හා ප්‍රේමනීය සහාය සපයමින් ඔනේසිපොරස් “ඵල උපදවන්නා” යන සිය නමේ තේරුමට අනුව ඇත්තෙන්ම ජීවත් වුණා.
ඔනේසිපොරස් මේ හැම දෙයක්ම කළේ ඇයි? බ්‍රයන් රැප්ස්කි මෙසේ සටහන් කළා: “සිරභාරය ශාරීරික වේදනාව පමණක් තිබුණ තැනක් නොව, නමුත් දැඩි පීඩන නිසා සිරකරුවාට බලවත් කනගාටුවක් ඇති කළ ස්ථානයක් වුණා. එවැනි වාතාවරණයක් යටතේ, උපකාරකයන්ගේ ශාරීරික පැමිණ සිටීම හා වාචික දිරිගැන්වීම් සිරකරුවාට චිත්තවේගීය වශයෙන් මහත් පිටුබලයක් විය හැකියි.” ඔනේසිපොරස්ට එය පැහැදිලිවම වැටහුණ අතර, එඩිතර ලෙස තම මිත්‍රයාට උපකාර කළා. පාවුල් එවැනි උපකාරයක් කොයිතරම් අගය කරන්න ඇද්ද!
ඔනේසිපොරස්ට අද්දකින්න සිදු වුණේ කුමක්ද?
පාවුල් තිමෝතිට යැවූ දෙවන ලිපියේදී, ඔනේසිපොරස්ගේ ගෘහවාසීන්ට සුබපැතූ අතර මෙහෙමත් පැවසුවා: ‘ඒ දවසේදී ඔහුට යෙහෝවාගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන් සලස්වන්නේය.’ (2 තිමෝති 1:18; 4:19) “ඒ දවසේදී” යන වචන දෙවිගේ විනිශ්චය දිනයට යොමු දක්වනවා කියා බොහෝදෙනෙක් සිතන අතර, මෙසේ ඔනේසිපොරස් මියගොස් සිටි බවට නිගමනය කරනවා. කාරණය එසේව තිබුණා නම්, සමහරවිට “ඔනේසිපොරස් මේ අනතුරුදායක ස්ථානයට විටින් විට පිවිස, දණ්ඩනය වශයෙන් තම ජීවිතය . . . ගෙවන්න ඇති” කියා පී. එන්. හැරිසන් අදහස් දක්වයි. ඇත්තෙන්ම, ඒ අවස්ථාවේදී ඔනේසිපොරස් හුදෙක් නිවසෙන් පිටට ගොස් සිටියා හෝ පාවුල් ඔහුගේ ගෘහවාසීන් සියල්ලන්ටම යැවූ සුබපැතුම්වලට ඔහුවත් ඇතුළත් කළා හෝ විය හැකියි.
‘ඒ දවසේදී ඔහුට යෙහෝවාගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන් සලස්වන්නේය’ යන මේ ප්‍රකාශයෙහි විශේෂ අර්ථයක් තිබෙනවා කියා සමහරු විශ්වාස කරනවා. මියගියත් ජීවමානව සිටින ප්‍රාණ සහ සමහරවිට යම් ආත්මික විෂයක දුක් විඳින අය වෙනුවෙන් මැදහත්කාර යාච්ඤා ඉදිරිපත් කිරීම මේ වචන මගින් යුක්තිසහගත කරන බවක් ඔවුන්ට හැඟෙනවා. කෙසේනමුත්, මළවුන් සිහිසුන්ව සිටිනවා යන ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම හා එවැනි අදහසක් ගැටෙනවා. (දේශනාකාරයා 9:5, 10) ඔනේසිපොරස් මියගිහින් සිටියා වුවත්, පාවුල් ඉදිරිපත් කරමින් හිටියේ තම මිත්‍රයා දෙවිගෙන් දයාව ලබාගනීවි යන ප්‍රාර්ථනයයි. “එම ප්‍රාර්ථනාව සියල්ලන්ටම ඉදිරිපත් කරන්න අපි කැමතියි” කියා ආර්. එෆ්. හෝ’ටන් පවසයි. “නමුත් මළවුන්ට යාච්ඤා කිරීම හා ඔවුන් වෙනුවෙන් දේවමෙහෙයන් පැවැත්වීම [ප්‍රේරිතයන්ගේ] මනසේ අහලකටවත් නොපැමිණි දෙයක්.”
අපි පක්ෂපාත සනසන්නන් වෙමු
පාවුල්ට උදව් කරද්දී ඇත්තටම ඔනේසිපොරස්ගේ ජීවිතය නැති වුණත්, නැතත්, ප්‍රේරිතයාව සෙවීමටත්, ඔහුව සිරභාරයේදී බැහැදැකීමටත් ඔහු සැබවින්ම ජීවිතය පරදුවේ තැබුවා. තවද තමාට අවශ්‍ය කළාවූ බොහෝ උපකාර සහ දිරිගැන්වීම ඔනේසිපොරස්ගෙන් ලැබීම පාවුල් අගය කළ බවට කිසි සැකයක් නෑ.
සෙසු ක්‍රිස්තියානීන් පරීක්ෂා, පීඩා හෝ සිරගත වීම් අද්දකින විට, ඔවුන්ව සනසන්නත්, දිරිගන්වන්නත් හැකි තත්වයක අපි සිටින්න පුළුවන්. එබැවින් අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර, ඔවුන්ට උපකාර කිරීමට කළ හැකි සියල්ල ප්‍රේමනීයව කරමු. (යොහන් 13:35; 1 තෙසලෝනික 5:25) ඔනේසිපොරස් මෙන්, අපි එඩිතර සනසන්නන් බවට පත් වෙමු.
[31වන පිටුවේ පින්තූරය]
සිරගත ප්‍රේරිත පාවුල්ව ඔනේසිපොරස් නිර්භීත ලෙස සැනසුවා