ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/15 13-19 පි.
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජනයාට පුළුවන් සාමකාමී වෙන්න
  • සාමය ලුහුබඳින්නෝ
  • ඊටත් වඩා ලොකු වෙනස් වීමක්
  • සාමයේ කුමරුගේ පාලනය යටතේ
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/15 13-19 පි.

සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!

“ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ . . . නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා.”—1 පේතෘස් 3:10, 11.

1. යෙසායාගේ මොන සුප්‍රසිද්ධ වදන්වලටද, නිසැකවම සාර්ථක ප්‍රතිඵල තියෙන්න යන්නේ?

“ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” (යෙසායා 2:4) නියූ යෝක් නගරයේ තියෙන එක්සත් ජාතීන්ගේ ලෝක මූලස්ථානය ළඟ මෙම සුප්‍රසිද්ධ පාඨය ප්‍රදර්ශනය කරලා තිබුණත්, එම ලෝක සංවිධානය ඒවා හීනයකින්වත් ඉටු කරලා නැති තරම්. කොහොම වුණත්, යෙහෝවා දෙවිගේ නොවරදින වචනයේ කොටසක් වශයෙන්, එම ප්‍රකාශයට ප්‍රතිඵල තියෙන්න යනවාමයි.—යෙසායා 55:10, 11.

2. යෙසායා 2:2, 3ට අනුව “මතු දවස්වලදී” සිදු විය යුත්තේ මොකක්ද?

2 යෙසායා 2:4හි සොයාගන්න පුළුවන් වෙන එම වදන් ඇත්තෙන්ම මහිමාන්විත අනාවැකියක කොටසක්; එනම් සැබෑ සාමය පිළිබඳ අනාවැකියක්. ඒ වගේම එය අපේම කාලයේදී ඉටු වෙමින් පවතිනවා. තවත් යුද්ධවත් යුද අවිවත් නැති පුදුමාකාර අපේක්ෂාව ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා, එම අනාවැකිය මෙහෙම කියනවා: “මතු දවස්වලදී [යෙහෝවාගේ] ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, [යෙහෝවාගේ] කන්දටත් යාකොබ්ගේ [දෙවිගේ] ගෘහයටත් යමු; [ඔහු] තමන්ගේ මාර්ග අපට උගන්ව[න්නේය], අපිද [ඔහුගේ] මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද [යෙහෝවාගේ] වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.”—යෙසායා 2:2, 3.

ජනයාට පුළුවන් සාමකාමී වෙන්න

3. දබරකාරිව ඉඳලා තියෙන කෙනෙක් සාමකාමී කෙනෙක් දක්වා වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද?

3 සාමකාමී මාර්ගයක් ලුහුබඳින්න පුළුවන් වෙන්න කලින්, ජනයාට යෙහෝවාගේ මාර්ග අනුව ඉගැන්විය යුතු බව සැලකිල්ලට ගන්න. යෙහෝවාගේ ඉගැන්වීමට කීකරුව ප්‍රතිචාරය දැක්වීම පුද්ගලයෙක් හිතන හා ක්‍රියා කරන විදිහ වෙනස් කරන්න පුළුවන්; ඒ හින්දා දබරකාරිව හිටපු කෙනෙක් සාමකාමී වෙනවා. මෙම සම්පූර්ණ වෙනස සිදු කරන්නේ කොහොමද? රෝම 12:2 [NW] මෙහෙම කියනවා: “මේ දේවල පිළිවෙළට අනුව හැඩගැසී සිටීමෙන් නතර වී, දෙවිගේ යහපත් වූ පිළිගත හැකි වූ පරිපූර්ණ වූ කැමැත්ත ඔබටම සහතික කරගන්නා පිණිස, ඔබේ මනස සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” අපි අපේ මනස සකස් කරගන්නේ හෝ වෙනත් දිශාවකට අනුව එය පොලඹවන්නේ, දෙවිගේ වචනයෙන් රැගත් ප්‍රතිපත්ති සහ ශික්ෂාවන්වලින් එය පිරවීමෙනුයි. මෙම වෙනස්කම කරන්න බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීම අපට උපකාර කරන අතර, අප යා යුතු මාර්ගය පැහැදිලිව දැකගන්න පුළුවන් වන විදිහට, අප සඳහා යෙහෝවාගේ කැමැත්ත මොකක්ද කියලා අපටම සහතික කරගන්න එය හැකි කරවනවා.—ගීතාවලිය 119:105.

4. කොහොමද යමෙක් සාමදායී අලුත් පෞද්ගලිකත්වය පළඳින්නේ?

4 බයිබල් සත්‍යතාව අපි කල්පනා කරන විලාසය විතරක් නොව, අපේ ක්‍රියා සහ පෞද්ගලිකත්වයත් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ප්‍රේරිත පාවුල් මෙසේ උනන්දු කළ දේ කරන්න එය අපට උපකාර කරනවා: “නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පහකරදමා, . . . නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [පක්ෂපාතකමින්ද, NW] [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පැළඳගන්න.” (එපීස 4:22-24) මනස පොලඹවන්නාවූ අලුත් බලය ඇතුළාන්තයෙන් නික්මෙන එකක්. එය සම්පූර්ණයෙන්ම වෙනස් වී, යෙහෝවාට සහ ඔහුගේ නීතිවලට තියෙන අපේ ප්‍රේමය වර්ධනය කරවන ගමන්ම ශක්තිමත් කරවනවා. ඒ වගේම එය අපිව ආත්මික සහ සාමදායී පුද්ගලයන් බවට පත් කරවනවා.

5. යේසු තම ගෝලයන්ට දුන් “අලුත් ආඥාව,” ඔවුන් අතර සාමයට දායක වෙන්නේ කොහොමද?

5 යේසු තම ගෝලයන් එක්ක සිටි අන්තිම පැය කිහිපය තුළදී ඔවුන්ට දුන් උපදෙස්වලින්, මුළුමනින්ම වෙනස් වීමට තියෙන මෙම අවශ්‍යතාව දැකගන්න පුළුවන්: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35) ක්‍රිස්තුස්ට සමාන වූ, පරාර්ථකාමී වූ මෙම ප්‍රේමය ගෝලයන්ව පරිපූර්ණ එක්සත්කමක් තුළ බැඳ තබාගන්නවා. (කොලොස්සි 3:14) දෙවි පොරොන්දු වන සාමය භුක්ති විඳින්න යන්නේ, මෙම “අලුත් ආඥාව” පිළිගන්නත් ඒ අනුව ජීවත් වෙන්නත් කැමති අය විතරයි. අද මෙහෙම කරන කවුරු හරි ජනකායක් ඉන්නවාද?

6. ලෝකයේ ජනයාට වෙනස්ව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාමය භුක්ති විඳින්නේ ඇයි?

6 යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළ ප්‍රේමය පෙන්නුම් කරන්න වෑයම් කරනවා. ඔවුන් ලෝකයේ හැම ජාතියකින්ම පැමිණියත්, තදබල දේශපාලනමය හා ආගමික තාඩන පීඩනවලට ලක් වුණත්, ඔවුන් ලෝකයේ මතභේදවලට සම්බන්ධ වෙන්නේ නැහැ. එක්සත් ජනතාවක් වශයෙන්, ඔවුන්ට යෙහෝවා විසින් උගන්වනු ලබන අතර, ඔවුන් සාමය භුක්ති විඳිනවා. (යෙසායා 54:13) ඔවුන් දේශපාලන ඝට්ටනවලදී මධ්‍යස්ථව සිටින අතර, යුද්ධවලට සහභාගි වෙන්නේ නැහැ. කලින් සාහසික විදිහට කටයුතු කළ අය එම ජීවිත මාර්ගය අත්හැරලා තියෙනවා. ඔවුන් ක්‍රිස්තුස් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින්, සාමයට ප්‍රිය ක්‍රිස්තියානීන් බවට පත් වෙලා තියෙනවා. එමෙන්ම ඔවුන් මුළු හෘදයෙන්ම පේතෘස්ගේ මෙම අවවාදය අනුගමනය කරනවා: “ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා.”—1 පේතෘස් 3:10, 11; එපීස 4:3.

සාමය ලුහුබඳින්නෝ

7, 8. යුද්ධ කරන එක නතර කරලා සැබෑ සාමය සොයන්නන් බවට පත් වුණු අයගේ ආදර්ශ සඳහන් කරන්න. (ඔබ දන්නා වෙනත් ඒවා සඳහන් කරන්න.)

7 උදාහරණයක් හැටියට, ත්‍රස්තවාදී විරෝධී විශේෂ කාර්ය බලකායක හිටපු නිලධාරියෙක් වූ රාමි ඕවෙඩ්ව ගන්න පුළුවන්. තම සතුරන්ව ඝාතනය කරන්න ඔහුව පුහුණු කරනු ලැබුවා. ඔහු ඉශ්‍රායෙල් ජාතිවාදය කෙරෙහි දැඩි විශ්වාසයකින් හිටියේ; ඒත් තමා ප්‍රේම කළ ස්ත්‍රිය ආසියානු කෙනෙක්, ඒ කියන්නේ අන්‍යජාතික කෙනෙක් වුණ හින්දා ඇයව විවාහ කරගන්නවාට රබ්බිවරුන්ගේ කැමැත්තක් නොතිබුණු බව ඔහු දැනගත්තහම, එම විශ්වාසය බිඳී ගියා. ඔහු බයිබලයෙන් සත්‍යය හොයන්න පටන්ගත්තා. ඊළඟට ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. සාක්ෂිකරුවන් සමඟ ඔහු කළ බයිබල් පාඩමෙන් ඔහුට ඒත්තුගියේ තවදුරටත් තමාට උන්මත්තක ජාතිවාදියෙක් වෙන්න බැරි බවයි. ක්‍රිස්තියානි ප්‍රේමයෙන් අදහස් කළේ යුද්ධ හා යුද අවි අත්හැර, සෑම ජාතියකම ජනයාට ප්‍රේම කරන්න ඉගෙනගැනීමයි. “මගේ සහෝදර රාමි” යන වචනවලින් පටන්ගත් කාරුණික ලිපියක් ඔහුට ලැබුණු විට ඔහු මොනතරම් පුදුම වුණාද! ඇයි එතරම් පුදුම වුණේ? ලිපිය ලියූ තැනැත්තිය පලස්තීන සාක්ෂිකාරියක්. “පලස්තීන ජාතිකයන් මගේ සතුරන් වුණ හින්දා, එය අදහාගන්න බැරි දෙයක් කියලා මට හිතුණා; දැන් ඔවුන්ගෙන් කෙනෙක් මට ‘මගේ සහෝදරයා’ කියලා අමතමින් සිටියා” කියා රාමි කියනවා. දැන් රාමි සහ ඔහුගේ භාර්යාව දෙවිගේ මාර්ගයට අනුව සැබෑ සාමය ලුහුබඳිනවා.

8 තවත් උදාහරණයක් ජෙයෝ’ජ් රොයිට’ සපයා දෙනවා; ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී රුසියාව ආක්‍රමණය කළ ජ’මානු හමුදාවේ සේවය කළා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා, ලෝක ආධිපත්‍යය අත් කරගන්න හිට්ල’ දරන මෝඩ ප්‍රයත්නය ගැන ඔහු කලකිරීමට පත් වුණා. ඔහු යුද්ධයෙන් පස්සේ නැවත නිවසට පැමිණි විට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔහු මෙහෙම ලිව්වා: “අන්තිමට මට දේවල් පැහැදිලි වෙන්න පටන්ගත්තා. මහත් ලේ වැගිරීමට දෙවිට දොස් පැවරිය යුතු නැති බව මට තේරුණා. . . . කීකරු මනුෂ්‍යවර්ගයාට සදාකාලික ආශීර්වාද සපයමින්, ලෝක ව්‍යාප්ත පාරාදීසයක් පිහිටුවීම ඔහුගේ අරමුණ බව මං ඉගෙනගත්තා. . . . හිට්ල’ ‘අවුරුදු-දහසක් පවතින රයික්’ ආණ්ඩුවක් ගැන පුරසාරම් දොඩා තිබුණත්, ඔහු පාලනය කරලා තිබුණේ [අවුරුදු] 12ක් විතරයි—ඒ විතරක් නෙවෙයි, ඒ හේතුවෙන් මොනතරම් බිහිසුණු ප්‍රතිඵල දක්නට ලැබුණාද! පොළොව කෙරෙහි අවුරුදු දහසක පාලනයක් පිහිටුවන්න පුළුවන් වෙන්නෙත්, එහෙම කරන්නෙත් . . . හිට්ල’ නෙවේ ක්‍රිස්තුස්.” සැබෑ සාමයේ නියෝජිතයෙක් වශයෙන් පූර්ණ කාලීන දේවසේවයෙහි ජෙයෝ’ජ් දැනට අවුරුදු 50ක් පුරා සේවය කර තියෙනවා.

9. නාට්සි ජ’මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම, ඔවුන් එඩිතර නමුත් සාමදායී බව ඔප්පු කරන්නේ කොහොමද?

9 නාට්සි පාලන සමයේදී ජ’මනියේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාව හා මධ්‍යස්ථභාවය, දෙවි සඳහාත් සාමය සඳහාත් ඔවුන්ට තිබුණු ප්‍රේමයට අවුරුදු 50කටත් වඩා පහු වෙලා තියෙන දැන් පවා සාක්ෂියක් වෙනවා. වොෂිංටන් ඩී.සී.වල යුදෙව් වාර්ගික ඝාතන කෞතුකාගාරය මෑතකදී පළ කළ පොත්පිංචයක මෙසේ සඳහන් වෙනවා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි පාලන සමය යටතේ දැඩි පීඩා විඳදරාගත්තා. . . . වධ හිංසා, ගාල් කඳවුරුවල අඩන්තේට්ටම් හා ඇතැම්විට ඝාතනය කිරීම හමුවේ පවා, [තම ආගම අත්හැරීමට කළ ඉල්ලීම] ප්‍රතික්ෂේප කිරීමේදී අතිවිශාල බහුතරය විදහාපෙන්වූ එඩිතරකම, ඔවුන්ගේ සමකාලීනයන් බොහෝදෙනෙකුගේ ගෞරවය දිනාගැනීමට හේතු වී තියෙනවා.” එහි තවත් මෙහෙම කියනවා: “කඳවුරුවලට නිදහස ලැබෙද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බේරී ජීවත්වන්නන් සමඟ ගැවසී, තම ආගමට මනුෂ්‍යයන් හරවාගනිමින්, තමුන්ගේ වැඩය දිගටම කරගෙන ගියා.”

ඊටත් වඩා ලොකු වෙනස් වීමක්

10. (අ) සැබෑ සාමය එන්න නං, මොන විශාල වෙනස් වීම අවශ්‍යද? (ආ) මෙය දානියෙල්ගේ පොතේ දක්වා තිබුණේ කොහොමද?

10 ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ඇදහීමට විශාල ජන පිරිසක් හරවාගැනීමෙන්, මුළු ලෝකයටම සාමය ගෙන දෙන්න තමුන්ට පුළුවන් කියලා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන බව මෙයින් අදහස් කරනවාද? නැහැ! පොළොව මත සාමය නැවතත් උදා කරන්න නම්, ඊටත් වඩා ලොකු වෙනස් වීමක් අවශ්‍යයි. ඒ මොකක්ද? භේදකාරි, පීඩාකාරි සහ සාහසික මිනිස් පාලනය වෙනුවට, දේවරාජ්‍යය මගින් කරන පාලනයක් පිහිටුවන්න අවශ්‍යයි. යේසු තම ගෝලයන්ට යාච්ඤා කරන්න කිව්වේ ඒ ගැනයි. (මතෙව් 6:9, 10) ඒත් එය සිදු වෙන්න යන්නේ කොහොමද? අන්තිම දවස්වලදී, දේවරාජ්‍යය ‘මනුෂ්‍යයන්ගේ අත්වලින් නොකැපූ’ විශාල ගලක් වාගේ පැමිණිලා, පොළොව කෙරෙහි මනුෂ්‍යවර්ගයාගේ දේශපාලන ආණ්ඩු නියෝජනය කරන දැවැන්ත රූපයක් පොඩි කරන බව, අනාගතවක්තෘ දානියෙල් දිව්‍ය ආනුභාවයෙන් ලැබූ සිහිනයකින් දුටුවා. ඊළඟට ඔහු මෙම ප්‍රකාශය කළා: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුව[යි], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:31-45.

11. යෙහෝවා සාමය සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්නේ මොන මාධ්‍යයකින්ද?

11 ඉදිරියේදී ලෝක තත්වයේ මෙම ප්‍රබල වෙනස් වීම සිදු වෙන්න යන්නේ ඇයි? පොළොව දූෂණය කරමින් එය විනාශ කරන සියලුදෙනාව ඉවත් කිරීමෙන් එය පිරිසිදු කරන්න යන බව යෙහෝවා පොරොන්දු වී තියෙන හින්දයි. (එළිදරව් 11:18) සාතන් හා ඔහුගේ දුෂ්ට ලෝකයට එරෙහි වූ යෙහෝවාගේ ධර්මිෂ්ඨ යුද්ධයේදී මෙම වෙනස් වීම සිදු වේවි. එළිදරව් 16:14, 16හි අපට මෙසේ කියවන්න තියෙනවා: “ඔව්හු [ඒ කියන්නේ, අපවිත්‍ර වූ ආනුභාවයකින් නික්මෙන ප්‍රකාශයන්] සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් [ඒ කියන්නේ, දේශපාලන නායකයන්] රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය [භූතයන්ගේ ආනුභාවයෙන් නික්මෙන ප්‍රකාශයන්ය, NW]. . . . ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.”

12. අර්මගෙදොන් මොන වගේ වේවිද?

12 අර්මගෙදොන් මොන වගේ යුද්ධයක් වේවිද? එය මහා න්‍යෂ්ටික යුද්ධයක්වත්, මනුෂ්‍යයන් නිසා ඇති වන ව්‍යසනයක්වත් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම, ඒක හැම මනුෂ්‍ය යුද්ධයක්ම අවසන් කරන, එවැනි යුද්ධවලට අනුබල දෙන සියලුදෙනාවම නැති කරන දෙවිගේ යුද්ධයයි. එය සාමයට ප්‍රිය අය සඳහා සැබෑ සාමය ගෙනෙන දෙවිගේ යුද්ධයයි. ඔව්, යෙහෝවා අරමුණු කර ඇති ආකාරයට අර්මගෙදොන් පැමිණෙනවා. එය ප්‍රමාද වෙන්නේ නැහැ. තම අනාගතවක්තෘ හබක්කුක්ට මෙහෙම ලියන්න ආනුභාවය ලැබුණා: “දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3) අපේ මානුෂික හැඟීම් නිසා, එය ප්‍රමාද වෙනවා කියාලා ඇතැම්විට පෙනුණත්, යෙහෝවා තම කාලසටහනට අනුව ක්‍රියා කරනවා. යෙහෝවා කලින්ම නියම කරලා තියෙන පැයේදී අර්මගෙදොන් පහර දේවි.

13. සැබෑ වරදකාරයා වන සාතන් නමැති යක්ෂයා සම්බන්ධව දෙවි කටයුතු කරන්න යන්නේ කොහොමද?

13 මෙම තීරණාත්මක ක්‍රියාව සැබෑ සාමය සඳහා මඟ විවෘත කරාවි! ඒත් සැබෑ සාමය ස්ථිරව පිහිටුවන්න නං, තවත් දෙයක් කරන්න අවශ්‍යයි—ඒ තමයි, භේද, වෛරය සහ ආරාවුල් සිදු කරන තැනැත්තාව ඉවත් කරන එක. ඊළඟට සිදු වෙන දේ වශයෙන් බයිබලය පුරෝකථනය කරන්නෙත් ඒ දේමයි: එනම් යුද්ධ පොලඹවන්නා සහ බොරුවල පියා වන සාතන්ව පාතාලගත කිරීමයි. ප්‍රේරිත යොහන් මෙම සිද්ධිය අනාවැකිමය දර්ශනයකින් දුටුවා; එය එළිදරව් 20: 1-3හි මෙහෙම වාර්තා කරලා තියෙනවා: “පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය.”

14. සාතන්ට විරුද්ධව යෙහෝවා ගන්නා ජයග්‍රාහී ක්‍රියාමාර්ගය කොහොම විස්තර කරන්න පුළුවන්ද?

14 මෙය සිහිනයක් නෙවෙයි. එය දෙවිගේ පොරොන්දුවයි. ඇරත් බයිබලය කියන්නේ ‘දෙවිට බොරු කියන්න බැරි’ බවයි. (හෙබ්‍රෙව් 6:18) යෙහෝවාට තම අනාගතවක්තෘ යෙරෙමියා තුළින් මෙහෙම කියන්න පුළුවන් වුණා: “පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන [යෙහෝවා] මමය . . . මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි [යෙහෝවා කියන්නේය].” (යෙරෙමියා 9:24) යෙහෝවා යුක්තියෙන් සහ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරන අතර, තමා විසින් පොළොවට ගෙනෙන සාමය සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා.

සාමයේ කුමරුගේ පාලනය යටතේ

15, 16. (අ) රජු වශයෙන් පාලනය කරන්න යෙහෝවා විසින් තෝරාගනු ලබන්නේ කාවද? (ආ) එම පාලනය විස්තර කරලා තියෙන්නේ කොහොමද? එයට සහභාගි වෙන්න යන්නේ කවුද?

15 යෙසායා 9:6, 7හි පුරෝකථනය කර ඇති පරිදි, තම රාජ්‍ය විධිවිධානය යටතේ ජීවත් වන සියලුදෙනාටම සැබෑ සාමය පැමිණෙන බව සහතික කරන්න, යෙහෝවා පාලනය භාර දීලා තියෙන්නේ සැබෑ සාමයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස්ටයි: “අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද [ඔහුගේ] කර පිට තිබෙන්නේය. [ඔහුගේ] නාමය අපූර්ව . . . මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් [දෙවිය], සදාකාල [පියාය], සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. . . . [ඔහුගේ] ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල [යෙහෝවාගේ] ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.” මෙසියස්ගේ සාමදායී පාලනය ගැන ගීතිකාකාරයාත් අනාවැකිමය ආකාරයකින් මෙහෙම ලිව්වා: “[ඔහුගේ] දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.”—ගීතාවලිය 72:7.

16 ඊට අමතරව, ක්‍රිස්තුස්ගේ ආත්මයෙන් ආලේප ලත් සහෝදරයන් 1,44,000දෙනා ඔහු සමඟ ස්වර්ගයෙහි පාලනය කරන්න යනවා. ඒගොල්ලෝ ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් වෙනවා; පාවුල් ඔවුන් ගැන මෙහෙම ලිව්වා: “සමාදානයේ [දෙවිද] නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකර[න්නේය]. අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] අනුග්‍රහය නුඹලා සමඟ වේවා.” (රෝම 16:20) ඔව්, යුද්ධයට පොලඹවන්නා වන සාතන් නමැති යක්ෂයාට එරෙහිව ක්‍රිස්තුස් ලබන ජයග්‍රහණයට මොවුන් ස්වර්ගයේදී සහභාගි වෙන්න යනවා!

17. සැබෑ සාමය උරුම කරගන්න අපි මොනවාද කරන්න අවශ්‍ය?

17 ඒ හින්දා දැන් මතු වන ප්‍රශ්නය මේකයි: සැබෑ සාමය උරුම කරගන්න ඔබ මොනවාද කරන්න අවශ්‍ය? සැබෑ සාමය එන්න පුළුවන්කමක් තියෙන්නේ දෙවිගේ ක්‍රමයට අනුව විතරයි; එමෙන්ම එය අත් කරගන්න ඔබ ඒකාන්ත පියවර ගත යුතුයි. ඔබ සාමයේ කුමරු පිළිගෙන ඔහුගේ සරණ පැතිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ, පව්කාර මනුෂ්‍යවර්ගයාගේ ගැළවුම්කාරයා සහ මිදුම්කාරයා වශයෙන් ක්‍රිස්තුස්ට තියෙන වැඩකොටස ඔබ පිළිගත යුතු බවයි. මෙම සුප්‍රසිද්ධ වචන පැවසුවේ යේසුමයි: “[දෙවි] ස්වකීය ඒකජාතක [පුත්‍රයා] දෙන තරම් ලෝකයාට ප්‍රේමක[ළේය]. එසේ කළේ [ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) සැබෑ සාමය හා ගැළවීම සඳහා දෙවිගේ නියෝජිත වශයෙන්, ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇදහිල්ල දක්වන්න ඔබ කැමැත්තෙන් සිටිනවාද? සාමය ගෙන එන්නත්, එය සහතික කරන්නත්, ස්වර්ගය යට වෙන කිසිම නාමයක් නැහැ. (පිලිප්පි 2:8-11) ඇයි? යේසු, දෙවිගේ තෝරාගත් තැනැත්තා වන හින්දයි. මෙතෙක් පොළොවෙහි ජීවත් වූ ශ්‍රේෂ්ඨතම සාමයේ දූතයා ඔහුයි. ඔබ යේසුට සවන් දී ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්න යනවාද?

18. යොහන් 17:3හි [NW] වාර්තා වෙලා තියෙන යේසුගේ වදන්වලට ප්‍රතිචාරයක් වශයෙන් අපි මොනවාද කළ යුත්තේ?

18 “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයයි: එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය” කියා යේසු පැවසුවා. (යොහන් 17:3, NW) රාජ්‍ය ශාලාවේ පවත්වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට නිතිපතා පැමිණීම තුළින් ඒකාන්ත දැනුම ලබාගන්න, දැන් තමා කාලය. අනුන් සමඟ ඔබේ දැනුමත් ඔබේ බලාපොරොත්තුවත් බෙදාගන්න මෙම අධ්‍යාපනික රැස්වීම් ඔබව පොලඹවාවි. ඔබටත් දෙවිගේ සාමයේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. යෙසායා 26:3හි සඳහන් වෙලා තියෙන විදිහට, ඔබටත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් දැන් සාමය භුක්ති විඳින්න පුළුවන්: “ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කර[න්නෙහිය].” ඔබ විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද? “ජනයෙනි, සෑම කල්ම යෙහෝවා තුළ විශ්වාස තබන්න. මක්නිසාද යාඃ යෙහෝවා සදාකාල පර්වතයක්ය.”—යෙසායා 26:4, NW.

19, 20. අදදින සාමය සොයා එය ලුහුබඳින අය සඳහා ඉදිරියේදී තියෙන්න යන්නේ මොනවාද?

19 එබැවින්, දෙවිගේ සාමදායී නව ලොවෙහි සදාකල් ජීවිතය සඳහා ඔබේ ස්ථාවරය දැන් ගන්න. එළිදරව් 21:3, 4හි දේවවචනය අපට මෙහෙම සහතික කරනවා: “මෙන්න, [දෙවිගේ] මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, [ඔහු] ඔවුන් සමඟ වාසය[කරන්නේය], ඔව්හු [ඔහුගේ] සෙනග වන්නෝය, [දෙවිම] ඔවුන් සමඟ සිට ඔවුන්ගේ [දෙවි වන්නේය]. [ඔහු] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදම[න්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” ඔබ ඕනෑකමින් බලං ඉන්නේ ඒ වගේ සාමදායී අනාගතයක් නෙවේද?

20 එහෙම නං දෙවි පොරොන්දු වී ඇති දෙය මතක තබාගන්න. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.” (ගීතාවලිය 37:11, 37) සන්තෝෂයෙන් පිරුණු එම දවස උදා වන විට, මෙම කෘතඥපූර්වක වචන අපේම වේවා: “අන්තිමේදී සැබෑ සාමය! සැබෑ සාමයේ උල්පත වන යෙහෝවා දෙවිට ස්තුති වේවා!”

පැහැදිලි කරන්න පුළුවන්ද?

◻ කල්පනාවෙන් සහ ක්‍රියාවෙන් වෙනස්කම් කරන්න කෙනෙකුට උපකාර කරන්න පුළුවන් වෙන්නේ මොනවාටද?

◻ පුද්ගලයන් වශයෙන් සහ සාමූහික වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැබෑ සාමය සඳහා ඔවුන්ගේ ප්‍රේමය විදහාපාලා තියෙන්නේ කොහොමද?

◻ වෛරය සහ යුද්ධවලට අනුබල දෙන සියල්ලන් සම්බන්ධයෙන් යෙහෝවා කටයුතු කරන්න යන්නේ කොහොමද?

◻ සාමයේ කුමරුගේ පාලනය මනුෂ්‍යවර්ගයා සඳහා මොනව කරාවිද?

[14වන පිටුවේ පින්තූර]

යෙසායාගේ වදන් ඉටු කරන්නේ එක්සත් ජාතීන් නොව, නමුත් යෙහෝවාගේ ඉගැන්වීමට ප්‍රතිචාරය දක්වන අයයි

[15වන පිටුවේ පින්තූර]

සාමය ලුහුබඳින්න මෙම පුරුෂයෝ දෙදෙනා වෙනස්කම් කළා

රාමි ඕවෙඩ්

ජෙයෝජ් රොයිට

[16වන පිටුවේ පින්තූරය]

සාමයේ කුමරුගේ පාලනය යටතේ සැබෑ සාමය පැතිර පවතීවි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න