දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම
“සමාදානය ප්‍රකාශකරන්නාවූ, . . . තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!”—යෙසායා 52:7.
1, 2. (අ) යෙසායා 52:7හි කලින් කී විදිහට, ප්‍රචාරය කළ යුතු ශුභාරංචිය මොකක්ද? (ආ) පුරාණ ඉශ්රායෙල් සම්බන්ධව, යෙසායාගේ එම අනාවැකියෙන් අදහස් කළේ මොකක්ද?
ප්‍රකාශ කළ යුතු ශුභාරංචියක් තියෙනවා! එය සමාදානය—එනම් සැබෑ සමාදානය ගැන ආරංචියක්. එය දේවරාජ්‍යය හා සම්බන්ධ, ගැළවීමේ පණිවිඩයක්. බොහෝ කලකට පෙර, ප්‍රොපේත යෙසායා ඒ ගැන ලිවූ අතර, ඔහු ලිවූ දේ අප සඳහා යෙසායා 52:7හි ආරක්ෂා කර තියෙනවා. එහි මෙසේ කියවෙනවා: “ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!”
2 ඒ දේ පුරාණ ඉශ්රායෙලයේ ප්‍රයෝජනය සඳහාත් අදදින අපේ ප්‍රයෝජනය සඳහාත් ලිවීමට යෙහෝවා තම ප්‍රොපේත යෙසායාට ආනුභාවය දුන්නා. එයින් අදහස් කරන්නේ කුමක්ද? යෙසායා එම වදන් ලිවූ කාලයේදී, අෂූරිවරුන් විසින් උතුරු ඉශ්රායෙල් රාජ්‍යය වහල්භාවයට ගෙනගොස් තියෙන්න ඇති. පසුව, දකුණු යූදා රාජ්‍යයේ වැසියන්ව වහලුන් වශයෙන් බබිලෝනියට ගෙනයනු ලැබුවා. ජනයා යෙහෝවාට අකීකරු වී තිබූ නිසාත්, ඔවුන් දෙවි සමඟ සමාදානයෙන් නොසිටි නිසාත්, ඒ කාලයේ ජාතිය තුළ හෘදවේදනාව සහ වියවුල පැවතුණා. යෙහෝවා ඔවුන්ට පැවසූ පරිදි, ඔවුන්ගේ පව්කාර හැසිරීම මගින් ඔවුන් හා ඔවුන්ගේ දෙවි අතර භේදයක් හටගැන්වෙමින් තිබුණා. (යෙසායා 42:24; 59:2-4) එහෙත් නියමිත කාලයේදී, බබිලෝනියේ දොරටු වහාම විවෘත වන්න යන බව යෙහෝවා යෙසායා තුළින් පුරෝකථනය කළා. යෙහෝවාගේ දේවමාළිගාව යළි ගොඩනැඟීම සඳහා තම මව්බිම කරා යෑමට යෙහෝවාගේ සෙනඟට නිදහස ලැබෙන්ට නියමිතව තිබුණා. සියොන් නැවත පිහිටුවා, සැබෑ දෙවිහට පිරිනමන නමස්කාරය යෙරුසලමෙහි නැවතත් සිදු කරනු ලබනවා.—යෙසායා 44:28; 52:1, 2.
3. ඉශ්රායෙල් නැවත පිහිටුවීම ගැන අනාවැකිය සමාදානයේ අනාවැකියකුත් වුණේ කොහොමද?
3 ගැළවීම පිළිබඳ මෙම පොරොන්දුව සමාදානය පිළිබඳ අනාවැකියක්ද වුණා. යෙහෝවා ඔවුන්ව දේශයේ යළිත් පදිංචි කරවීම, දෙවිගේ දයාව හා ඔවුන්ගේ පසුතැවිල්ල පිළිබඳ සාක්ෂියක් වේවි. ඔවුන් දෙවි සමඟ සමාදානයෙන් සිටි බව එයින් ඇඟවෙනවා.—යෙසායා 14:1; 48:17, 18.
‘ඔබේ දෙවි රජකම් කරයි!’
4. (අ) පොදු යුගයට පෙර 537දී, ‘යෙහෝවාට රජකම් කරන්න’ පුළුවන් වුණේ මොන අර්ථයෙන්ද? (ආ) පසුකාලවලදී, තමන් සෙනඟගේ ප්‍රයෝජනය සඳහා යෙහෝවා දේවල් මෙහෙයෙව්වේ කොහොමද?
4 යෙහෝවා පො.යු.පෙ. 537දී මෙම ගැළවීම සිදු කළ විට, සියොන්හි: ‘ඔබේ දෙවි රජකම් කරයි!’ යන නිවේදනය යෝග්‍ය ලෙස දීමට හැකි වුණා. සැබවින්ම, යෙහෝවා “සදාකාල රජ්ජුරුවාණන්” වෙයි. (එළිදරව් 15:3, NW) නමුත් තම සෙනඟට මෙලෙස ගැළවීමක් දීම තම පරමාධිපත්‍යයේ අලුත් විදහාපෙන්වීමක් වුණා. එතෙක් පැවති බලවත්ම මනුෂ්‍ය අධිරාජ්‍යය අබිබවා ඔහුට තිබූ බලය හා අධිකාරය ඉන් කැපීපෙනෙන අන්දමකින් විදහාපෙන්නුවා. (යෙරෙමියා 51:56, 57) යෙහෝවාගේ ආත්මයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්, ඔහුගේ ජනයාට විරුද්ධව දියත් කරනු ලැබූ වෙනත් කුමන්ත්‍රණ මර්දනය කරනු ලැබුවා. (එස්තර් 9:24, 25) යෙහෝවා තම පරම කැමැත්ත ඉටු කිරීම සඳහා මේද-පර්සියාවේ රජුන්ගේ සහයෝගය ලබාගැනීමට සැලැස්වීමෙන් නැවත නැවතත්, විවිධ අන්දමින් මැදිහත් වුණා. (සෙකරියා 4:6) ඒ කාලයේ සිදු වූ පුදුමාකාර සිදුවීම්, එස්රා, නෙහෙමියා, එස්තර්, හග්ගයි සහ සෙකරියා යන බයිබල් පොත්වල අප වෙනුවෙන් වාර්තා කර තියෙනවා. ඒවා සලකා බැලීම, ඇදහිල්ල මොනතරම් ශක්තිමත් කරනවාද!
5. යෙසායා 52:13–53:12හි මොන වගේ විශිෂ්ට සිදුවීම්වලට යොමු දක්වා තියෙනවාද?
5 එහෙත්, පො.යු.පෙ. 537දී හා ඉන්පසුව සිදු වූ දේ පටන්ගැන්මක් විතරයි. පනස්දෙවන පරිච්ඡේදයේ නැවත පිහිටුවීම පිළිබඳ අනාවැකිය වාර්තා කිරීමෙන් අනතුරුව, යෙසායා මෙසියස්ගේ පැමිණීම ගැන ලිව්වා. (යෙසායා 52:13–53:12) යෙහෝවා, යේසුස් ක්‍රිස්තුස් බවට ඔප්පු වූ මෙසියස් මගින්, පො.යු.පෙ. 537දී සිදු වූ දෙයට වඩා වැඩි වැදගත්කමකින් යුත් ගැළවීමේ හා සමාදානයේ පණිවිඩයක් සපයනු ඇත.
යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම සමාදානයේ දූතයා
6. යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම සමාදානයේ දූතයා කවුද, ඒවගේම ඔහු තමන්ටම අදාළ කරගත් මෙහෙය මොකක්ද?
6 යේසුස් ක්‍රිස්තුස්, යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම සමාදානයේ දූතයායි. ඔහු දෙවිගේ වාක්‍යය, එනම් යෙහෝවාගේම පෞද්ගලික නියෝජිතයායි. (යොහන් 1:14) මීට එකඟව, යොර්දාන් ගඟෙහි බව්තීස්ම වීමෙන් යම් කලක් ගත වූවාට පසුව, යේසුස් නාසරෙත්හි සිනගෝගයට ගොස්, නැඟිට, යෙසායා 61වන පරිච්ඡේදයෙහි සඳහන් තම මෙහෙය ගැන ශබ්ද නඟා කියෙව්වා. ඔහුව එව්වේ “මිදීම” හා ‘නිදහස් කර හැරීම’ මෙන්ම යෙහෝවාගේ පිළිගැනීම ලැබීමට ප්‍රස්තාව ඇතුළත් දේවල් ගැන දේශනා කරන්න යන කාරණය එම මෙහෙය තුළින් පැහැදිලි කෙරුණා. එහෙත්, යේසුස් සමාදානයේ පණිවිඩයක් ප්‍රචාරය කරනවාට වඩා වැඩි යමක් කළා. දෙවි, ඔහුව එව්වේ සමාදානය සඳහා පදනමක් දීමටයි.—ලූක් 4:16-21.
7. යේසුස් ක්‍රිස්තුස් තුළින්, දෙවි සමඟ ඇති කරගන්නාවූ සමාදානයේ ප්‍රතිඵල මොනවාද?
7 යේසුස් උපන් වේලාවේදී, බෙත්ලෙහෙම අසල සිටි එඬේරුන්ට දර්ශනය වූ දේවදූතයන් සමූහයක් දෙවිට ප්‍රශංසා කරමින්: “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි” කිව්වා. (ලූක් 2:8, 13, 14) ඔව්, තම පුත්‍රයා තුළින් කරන්නාවූ සැපයුම කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන්, දෙවිට ප්‍රිය වූ මනුෂ්‍යයන්ට එවන් සමාදානයක් උදාවීමට නියමිතයි. එයින් කුමක් අදහස් වෙනවාද? පාපය ඇතුව උපත ලැබුවත්, මිනිසුන්ට දෙවි සමඟ පිරිසිදු ස්ථාවරයක්, එනම් ඔහු සමඟ අනුමැතිය ලත් සබඳතාවක් අත් කරගත හැකි බවයි. (රෝම 5:1) වෙනත් කිසිදු අන්දමකින් හෝ ලබාගත නොහැකි අභ්‍යන්තර නිසංසලභාවය හා ශාන්තභාවය භුක්තිවිඳීමට ඔවුන්ට හැකිකම ලැබෙයි. දෙවිගේ නියමිත කාලයේදී, ආදම්ගේ පාපයේ සියලු ආකාර බලපෑම්වලින්—එනම් අසනීප සහ මරණයෙන් පවා නිදහසක් ඇතුළුව—මිදීමක් ලැබෙන්න යනවා. අන්ධ, ගොළු, බිහිරි මනුෂ්‍යයන් ලෙස කිසිවෙකු සිටින්න යන්නේ නෑ. වේදනාකාරි අසනීප හෝ සිත් වේදනා හෝ මානසික අපහසුතා සදාකාලිකවම ඉවත් කරන්න යනවා. මෙසේ පරිපූර්ණත්වය අද්දකිමින් සදහටම ජීවිතය භුක්තිවිඳීමට හැකි වෙනවා.—යෙසායා 33:24; මතෙව් 9:35; යොහන් 3:16.
8. දේවසමාදානය ඉදිරිපත් කර තියෙන්නේ කාටද?
8 දේවසමාදානය ඉදිරිපත් කර තියෙන්නේ කාටද? යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අව්‍යාජ ඇදහිල්ලක් දක්වන සියලුදෙනාටම එය ඉදිරිපත් කර තියෙනවා. ‘යේසුස් වධකණුවෙහි වැගිරෙවූ ලෙයින් සමාදානය උපදවමින්, ක්‍රිස්තුස් කරණකොටගෙන සියලු දේ තමන්ට සමඟි කරගැනීම දෙවිට ප්‍රසන්න වූ’ බව ප්‍රේරිත පාවුල් ලිව්වා. එමෙන්ම මෙම සමඟි කිරීමට “ස්වර්ගවල තිබෙන දේවල්”—එනම්, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි හවුල් උරුමක්කාරයන් වනු ඇති අය, ඇතුළත් වන බව එම ප්‍රේරිතවරයා අමතරව සඳහන් කළා. ඊට “පොළොවෙහි තිබෙන දේවල්”—ඒ කියන්නේ, මේ පොළොව පූර්ණ පාරාදීසමය තත්වය කරා ගෙනෙද්දී, ඒ මත සදාකල් ජීවත්වීමේ ප්‍රස්තාව ලැබීමට භාග්‍යය ලබන අය ඊට ඇතුළත් වනවා කියන එකයි. (කොලොස්සි 1:19, 20) යේසුස්ගේ පූජාවේ අගයෙන් ප්‍රයෝජන සලසාගැනීම නිසාත්, ඔවුන් දෙවිට හද පත්ලෙන්ම කීකරු වීම නිසාත්, සියලුදෙනාටම දෙවි සමඟ උණුසුම් මිත්‍රත්වයක් භුක්තිවිඳීමට හැකියාව තිබුණා.—යාකොබ් 2:22, 23 සසඳන්න.
9. (අ) දෙවි සමඟ ඇති සමාදානය අනිකුත් කිනම් සම්බන්ධකම්වලට බලපානවාද? (ආ) සෑම තැනටම කල්පවතින සමාදානය ගෙන ඒමේ අරමුණින්, යෙහෝවා, යේසුස්ට පවරපු අධිකාරය මොකක්ද?
9 දෙවි සමඟ එවන් සමාදානයක් කෙතරම් වැදගත්ද! දෙවි සමඟ සමාදානයක් නැත්නම්, වෙනත් කිසිම සම්බන්ධතාවකදී කල්පවතින හෝ අර්ථවත් සමාදානයක් තිබිය නොහැකියි. පොළොව මත සැබෑ සමාදානයෙහි අත්තිවාරම යෙහෝවා සමඟ සමාදානයයි. (යෙසායා 57:19-21) යෝග්‍ය ලෙස, යේසුස් ක්‍රිස්තුස් සමාදානයේ කුමාරයායි. (යෙසායා 9:6) මිනිසාව දෙවි හා සමඟි කරගැනීම සඳහා මාධ්‍යය වන මෙම තැනැත්තාට, රාජ්‍යයෙහි පාලන අධිකාරයද යෙහෝවා භාර දී තියෙනවා. (දානියෙල් 7:13, 14) එමෙන්ම මනුෂ්‍යවර්ගයා කෙරෙහි යේසුස්ගේ පාලනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යෙහෝවා යෙසායා 9:7හි මෙසේ පොරොන්දු වෙයි: ‘සමාදානයට කෙළවරක් නොවන්නේය.’—යෙසායා 9:7; ගීතාවලිය 72:7.
10. දෙවිගේ සමාදානයේ පණිවිඩය ප්‍රචාරය කිරීමේදී, යේසුස් ආදර්ශයක් තැබුවේ කොහොමද?
10 දෙවිගේ එම සමාදානයේ පණිවිඩය මුළු මනුෂ්‍යවර්ගයාටම අවශ්‍යයි. එය දේශනා කිරීමේදී යේසුස් පෞද්ගලිකව ජ්වලිත ආදර්ශයක් තැබුවා. යෙරුසලමේ දේවමාළිගා ප්‍රදේශයෙහි, කඳුකර පෙදෙස්වල, පාර දිගට, සමරිතානු ස්ත්‍රියට සහ ජනයාගේ නිවෙස්වල ඔහු එසේ කළා. ජනයා කොතැනක සිටියත්, සමාදානය හා දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට යේසුස් ප්‍රස්තා උදා කරගත්තා.—මතෙව් 4:18, 19; 5:1, 2; 9:9; 26:55; මාර්ක් 6:34; ලූක් 19:1-10; යොහන් 4:5-26.
ක්‍රිස්තුස්ගේ අඩිපාරේ යන්ට පුහුණුව ලැබ
11. යේසුස් තම ගෝලයන්ව පුහුණු කළේ, මොන වගේ වැඩකටද?
11 සමාදානය පිළිබඳ දේවපණිවිඩය දේශනා කිරීමට යේසුස් තම ගෝලයන්ටත් ඉගැන්නුවා. යේසුස් යෙහෝවාගේ “විශ්වාස සැබෑ සාක්ෂිකාර[යා]” වූවාක් මෙන්, සාක්ෂිදැරීමට තමුන්ටත් වගකීමක් තිබූ බව ඔවුන්ට අවබෝධ වුණා. (එළිදරව් 3:14; යෙසායා 43:10-12) ඔවුන් ක්‍රිස්තුස්ව තම නායකයා වශයෙන් පිළිගත්තා.
12. දේශනා ක්‍රියාවලියේ වැදගත්කම, පාවුල් පෙන්නුවේ කොහොමද?
12 ප්‍රේරිත පාවුල් දේශනා කාර්යයෙහි වැදගත්කම ගැන තර්ක කළේ මෙසේ කියමිනි: “උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.” ඉන් අදහස් වන්නේ, ගැළවීම ලබා දෙන යෙහෝවාගේ ප්‍රධාන නියෝජිත වශයෙන්, යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තබන කිසිම කෙනෙකුගේ බලාපොරොත්තු සුන් නොවන බවයි. එමෙන්ම කිසිම කෙනෙකුගේ ජනවාර්ගික පසුබිම, සුදුසුකම් නොලැබීමට සාධකයක් නොවේ. මොකද කිව්වොත් පාවුල් මෙහෙම කියනවා: “යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමීව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.” (රෝම 10:11-13) එහෙත් එම ප්‍රස්තාව ගැන ජනයාට ඉගෙනීමට හැකි වන්නේ කෙසේද?
13. මිනිසුන්, ශුභාරංචියට ඇහුම්කන් දෙන්ට නම් කුමක් අවශ්‍ය වූවාද? මුල් සියවසේ ක්‍රිස්තියානීන් එම අවශ්‍යතාවට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
13 සෑම ක්‍රිස්තියානියෙකුටම කල්පනා කිරීම සඳහා ප්‍රශ්න ඇසීමෙන් පාවුල් එම අවශ්‍යතාව සමඟ කටයුතු කළා. ප්‍රේරිතවරයා මෙහෙම ඇහැව්වා: “ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” ඔවුන් “යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද?” (රෝම 10:14, 15) ක්‍රිස්තුස් හා ඔහුගේ ප්‍රේරිතයන් තැබූ ආදර්ශයට ස්ත්‍රී පුරුෂ, බාල මහලු හැමදෙනාම ප්‍රතිචාරය දැක්වූ බවට පළමු සියවසේ ක්‍රිස්තු ධර්මය පිළිබඳ වාර්තාව මනා සාක්ෂියක් වෙනවා. ඒ අය ශුභාරංචියේ ජ්වලිත ප්‍රකාශකරන්නන් බවට පත් වුණා. යේසුස්ව අනුකරණය කරමින්, ජනයාව සොයාගත හැකි ඕනෑම තැනකදී ඔවුන් ජනයාට දේශනා කළා. කිසිවෙකු අත් නොහැරීමේ ආශාව ඇතුව, ඔවුන් තම දේවසේවය ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම ගෙයින් ගෙටද කරගෙන ගියා.—ක්‍රියා 17:17; 20:20.
14. ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ ‘පාද, අලංකාර’ බව ඔප්පු වුණේ කොහොමද?
14 සෑම කෙනෙකුම ක්‍රිස්තියානීන්ව කාරුණිකව පිළිගත්තේ නැති බව අමුතුවෙන් කියන්ට ඕනෑ නැහැ. කෙසේවෙතත් පාවුල්, යෙසායා 52:7න් උපුටා දැක්වූ දෙය සැබෑවක් බව ඔප්පු වුණා. “යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද?” කියා ඇසුවාට පසුව, ඔහු තවදුරටත් මෙසේ එකතු කරනවා: “ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද!” ඇත්තෙන්ම, අපේ පාද අලංකාර, නැතහොත් ශෝභමානයි කියා අපෙන් වැඩිදෙනෙක් සිතන එකක් නැහැ. ඉතිං, මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අනුන්ට දේශනා කරන්ට යද්දී, ඔහුව තැනින් තැනට ගෙන යන්නේ පාදයි. ඇත්තෙන්ම, එවන් පාදවලින් පුද්ගලයාව නියෝජනය කෙරෙනවා. එමෙන්ම ප්‍රේරිතයන්ගෙන් හා පළමු සියවසේ සිටි යේසුස් ක්‍රිස්තුස්ගේ අනික් ගෝලයන්ගෙන් ශුභාරංචිය ගැන අසන්ට ලැබුණු බොහෝදෙනෙකුට, මෙම මුල් ක්‍රිස්තියානීන් ඇත්තෙන්ම අලංකාර දර්ශනයක් වූ බවට අපට නිසැක විය හැකියි. (ක්‍රියා 16:13-15) ඊටත් වඩා, ඔවුන් දෙවිගේ ඇස් ඉදිරියෙහි අනර්ඝ අය වුණා.
15, 16. (අ) තමන් සැබෑ දේවසමාදානයේ දූතයෝ බව මුල් ක්‍රිස්තියානීන් විදහාපෙන්නුවේ කොහොමද? (ආ) මුල් ක්‍රිස්තියානීන් කළා වගේ, අපගේ සේවයත් කරගෙන යෑමට අපට මොකක් උපකාරවත් වෙන්න පුළුවන්ද?
15 යේසුස්ගේ අනුගාමිකයන්ගේ පණිවිඩය සමාදානයේ පණිවිඩයක්; එමෙන්ම ඔවුන් එය ඉදිරිපත් කළේ සාමදායී අන්දමකින්. යේසුස් තම ගෝලයන්ට මෙහෙම උපදෙස් දුන්නා: “නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න. සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය.” (ලූක් 10:5, 6) ෂා·ලෝම්ʹ, නොහොත් “සමාදානය වේවා” යනු සම්ප්‍රදායික යුදෙව් ආමන්ත්‍රණයකි. එහෙත් යේසුස්ගේ උපදෙස්වලට වැඩිමනත් දෙයක් ඇතුළත් වුණා. ක්‍රිස්තුස් වෙනුවෙන් පෙනී සිටින තානාපතීන් ලෙස ඔහුගේ ගෝලයෝ ජනයාගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියා: “දෙවියන්වහන්සේ හා සමගිවෙන්න.” (2 කොරින්ති 5:20) යේසුස්ගේ උපදෙස්වලට එකඟව, ඔවුන් ජනයාට දේවරාජ්‍යය හා පුද්ගලයන් වශයෙන් ඉන් ඔවුන්ට අදහස් කරන දේ ගැනත් කතා කළා. සවන් දුන් අය ආශීර්වාදයක් ලැබූ අතර, පණිවිඩය ප්‍රතික්ෂේප කළ අයට සියල්ල අහිමි වුණා.
16 අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් තම දේවසේවය ඒ හා සමාන ආකාරයකින් කරගෙන යනවා. ඔවුන් ජනයා වෙත ගෙන යන ශුභාරංචිය ඔවුන් විසින් ඉපදෙව්වක් නොවෙයි. එය ඔවුන්ව එවූ තැනැත්තාට අයිතියි. එය පතළ කිරීම ඔවුන්ගේ පැවරුමයි. ජනයා එය පිළිගන්නවා නම්, මහිමාන්විත ආශීර්වාද ලැබිය හැකි තත්වයකට ඔවුන් පත් වෙයි. එය ප්‍රතික්ෂේප කරනවා නම්, ඔවුන් යෙහෝවඃ දෙවි හා තම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ සමාදානයෙන් සිටීමේ ප්‍රස්තාව ප්‍රතික්ෂේප කරනවා.—ලූක් 10:16.
කලබලකාරි ලොවක සාමකාමීව
17. අනිසි ලෙස සලකන මිනිසුන්ව අපට හමු වුණත් ඔවුන් සමඟ අප හැසිරෙන්න ඕනෑ කරන්නේ කොහොමද? ඇයි ඒ?
17 ජනයාගේ ප්‍රතික්‍රියාව කුමක් වුවත්, යෙහෝවාගේ සේවකයන් දේවසමාදානයේ දූතයන් වන බව මනසෙහි තබාගැනීම වැදගත්. සැර විවාදවලට පටලැවෙමින්, සිත් රිදවන අදහස් ප්‍රකාශ කිරීමෙන් නැතහොත් තමුන්ව කුපිත කරවන අයට නින්දාසහගත ලෙස බැණවැදීමෙන් තම කෝපය ප්‍රකාශ කිරීමට ලෝකයේ ජනයා නැඹුරු විය හැකියි. අතීතයේදී අපෙන් සමහරෙක් එහෙම කළා වෙන්න පුළුවන්. කොහොම වුණත්, අපි දැන් අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන, ලෝකයේ කොටසක් නොවී සිටිනවා නම්, ඔවුන්ගේ මාර්ගද අනුගමනය කරන්නේ නැහැ. (එපීස 4:23, 24, 31; යාකොබ් 1:19, 20) අනුන් කවර ආකාරයකින් ක්‍රියා කෙරුවත්, මෙම උපදෙස් අදාළ කරගැනීමට අපි වෑයම් කරනවා: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18.
18. ප්‍රසිද්ධ නිලධාරියෙක් අපි එක්ක තදින් ක්‍රියා කරනවා නම්, අපි ඒකට ප්‍රතිචාරය දක්වන්න ඕනෑ කරන්නේ කොහොමද? ඇයි ඒ?
18 ඇතැම්විට අපේ දේවසේවය නිසා අපට රාජ්‍ය නිලධාරීන් ඉදිරියෙහි පෙනී සිටීමට සිදු විය හැකියි. තම අධිකාරය බලපවත්වමින්, අප යම් දේවල් කරන්නේ ඇයි නැතහොත් අප ඇතැම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකී සිටින්නේ ඇයි කියා පැහැදිලි කිරීමට ඔවුන් ‘බල කළ’ හැකියි. බොරු ආගමේ වෙස් මුහුණ ගළවන, වත්මන් දේවල පිළිවෙළේ අවසානය ගැන කියන පණිවිඩයක් අප දේශනා කරන්නේ ඇයි කියා දැනගන්ට ඔවුන්ට වුවමනා වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් තැබූ ආදර්ශයට අපි දක්වන ගෞරවය, මෘදුකම සහ ගැඹුරු ගෞරවය දක්වන්ට අපව පොලඹවයි. (1 පේතෘස් 2:23; 3:15) බොහෝවිට, එවන් නිලධාරීන් පූජක පක්ෂයේ හෝ ඇතැම්විට තමුන්ට ඉහළින් සිටින බලධාරීන්ගේ බලපෑමට ලක් වී සිටියි. අපේ ක්‍රියාකාරකම්වලින් ඔවුන්ටවත්, ප්‍රජාවේ සමාදානයටවත්, කිසිම තර්ජනයක් එල්ල නොවන බව ඔවුන්ට අගය කිරීමට මෘදු ගෞරවාන්විත උත්තරයක් උපකාරවත් විය හැකියි. එවැනි පිළිතුරක් පිළිගන්නා අය තුළ ගෞරවයේ, සහයෝගයේ හා සමාදානයේ ස්වභාවයක් උපදවයි.—තීතස් 3:1, 2.
19. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කොහෙත්ම සම්බන්ධ නොවන්නාවූ ක්‍රියාකාරකම් මොනවාද?
19 ලෝකයේ සතුරුකම්වලට සම්බන්ධ නොවන ජනකායක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා නම් දරා සිටිනවා. ඔවුන් ජාතිය, ආගම හෝ දේශපාලනය සම්බන්ධයෙන් ලෝකයේ ඇති වන ගැටුම්වලට පැටලෙන්නේ නැහැ. (යොහන් 17:14) අප “බලයලත් මුලාදෑනීන්ට යටත්” විය යුතු බවට දේවවචනය මඟ පෙන්වන බැවින්, ආණ්ඩු ප්‍රතිපත්තිවලට විරෝධය පෑම සඳහා මහජන උද්ඝෝෂණවලට සහභාගි වීම ගැන සිතන්ටවත් අපි පෙලඹෙන්නේ නැහැ. (රෝම 13:1) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, කිසිදාක ආණ්ඩුව පෙරළීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයකට බැඳිලා නැහැ. යෙහෝවා විසින් තම ක්‍රිස්තියානි සේවකයන් සඳහා පනවා ඇති ප්‍රමිති හේතුවෙන්, ඕනෑම ආකාරයක ලේ වැගිරීමක හෝ සාහසික ක්‍රියාවක නියැලීම හිතාගන්න බැරි තරම්ය! සැබෑ ක්‍රිස්තියානීන් සාමය කතාවට පමණක් සීමා කරන්නේ නැහැ; ඔවුන් දේශනා කරන පණිවිඩයට එකඟව ජීවත් වෙනවා.
20. සාමය සම්බන්ධයෙන්, මහා බබිලෝනිය ඇති කරගෙන තියෙන වාර්තාව මොකක්ද?
20 සැබෑ ක්‍රිස්තියානීන්ට පටහැනිව, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික සංවිධාන නියෝජනය කරන අය සමාදානයේ දූතයන් බවට ඔප්පු වී නැහැ. ඇත්තෙන්ම මහ බබිලෝනියේ ආගම් සියල්ලම—එනම් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි හා ක්‍රිස්තියානි නොවන ආගම් යන දෙපාර්ශ්වයම—ජාතීන්ගේ යුද්ධවලට අනුබල දී, ඒවා ගණනකට නොගෙන, ඒවායෙහි පෙරමුණ ගෙන කටයුතු කර තියෙනවා. එමෙන්ම ඔවුන් යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ට පීඩා කිරීමට, ඔවුන්ව මරුමුවට පත් කිරීමට පවා අනුබල දී තියෙනවා. එබැවින්, මහා බබිලෝනිය සම්බන්ධයෙන් එළිදරව් 18:24හි මෙසේ ප්‍රකාශ වෙනවා: “ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේය.”
21. යෙහෝවාගේ සෙනඟ සහ බොරු ආගම් අදහන්නන්ගේ හැසිරීම අතර වෙනස දකින කොට බොහෝ අවංක හදවත් ඇති අය ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
21 ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලට වෙනස්ව, සැබෑ ආගම ඒකාන්ත, එක්සත් කරවන බලපෑමකින් යුක්තයි. යේසුස් ක්‍රිස්තුස් තම සැබෑ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) ඒ කියන්නේ සෙසු මනුෂ්‍යවර්ගයාව භේදභින්න කරවන ජාතික, සමාජීය, ආර්ථික හා වාර්ගික සීමා අබිබවා යන ප්‍රේමයක්. මෙය නිරීක්ෂණය කරන, ලොව පුරා මිලියන ගණන් ජනතාවක් යෙහෝවාගේ ආලේප ලත් තැනැත්තන්ට මෙහෙම කියනවා: “අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේ.”—සෙකරියා 8:23.
22. තවමත් කිරීමට අවශ්‍යව තිබෙන සාක්ෂිදැරීමේ වැඩය දෙස අප බලන්නේ කොහොමද?
22 යෙහෝවාගේ සෙනඟ වශයෙන්, අපි ඉටු කර තිබෙන දේ සම්බන්ධයෙන් ඉමහත් සේ ප්‍රීතිමත් වන මුත්, සමාදානයේ දූතයන් වශයෙන් අපේ කාර්යය තවමත් නිම වී නැහැ. ගොවියෙක් බීජ වපුරා, තම බෝග වගා කිරීමෙන් පසු, එම වැඩය නවතා දමන්නේ නැහැ. විශේෂයෙන්ම, අස්වැන්න නෙළීමේ කාලය උච්චාවස්ථාවකට පැමිණෙන විට, ඔහු තම වැඩයෙහි දිගටම යෙදෙයි. අස්වැන්න නෙළන කාලයේදී නොපසුබස්නා, නිරන්තර වෑයමක් අවශ්‍යයි. එමෙන්ම මේ දැන්, පෙර නොවූ විරූ ආකාරයකින්, යෙහෝවාගේ නමස්කාරකයන්ගෙන් යුත් විශාල අස්වැන්නක් නෙළමින් තියෙනවා. මෙය ප්‍රීතිවීම සඳහා කාලයක්. (යෙසායා 9:3) පෞද්ගලිකව, අපට විරුද්ධවාදිකම් සහ උදාසීනකම යන දෙකටම මුහුණ දීමට සිදුවීම සැබෑවක්. පෞද්ගලිකව, අපත් බරපතළ අසනීප, දුෂ්කර පවුල් තත්වයන් හෝ ආර්ථික දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට වෑයම් කරනවා වෙන්න පුළුවන්. එනමුත්, අප යෙහෝවාට දක්වන ප්‍රේමය, නොකඩවා එසේ කරන්ට අපව පොලඹවනවා. දෙවි අපට භාර දී තියෙන පණිවිඩය ජනයා ඇසිය යුතු එකක්. එය සමාදානයේ පණිවිඩයක්! ඇත්තෙන්ම, එය යේසුස්ම දේශනා කළ පණිවිඩයයි—එනම් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියයි.
ඔබේ පිළිතුර කුමක්ද?
◻ පුරාණ ඉශ්රායෙල් මත, යෙසායා 52:7 ඉටු වුණේ මොන විදිහටද?
◻ යේසුස් ශ්‍රේෂ්ඨතම සමාදානයේ දූතයා බව පැහැදිලි වුණේ කොහොමද?
◻ ප්‍රේරිත පාවුල්, යෙසායා 52:7, ක්‍රිස්තියානීන් හවුල් වී සිටින වැඩය එක්ක සම්බන්ධ කළේ කොහොමද?
◻ අපගේ දවසේ සමාදානයේ දූතයෙකු වීමට අයත් වන්නේ මොකක්ද?
[13වන පිටුවේ පින්තූර]
යේසුස් මෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝද, දේවසමාදානයේ දූතයෝයි
[15වන පිටුවේ පින්තූර]
රාජ්‍ය පණිවිඩයට මිනිසුන් කුමන ආකාරයෙන් ප්‍රතිචාරය දැක්වූවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සාමකාමීව සිටියි