ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/15 8-13 පි.
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මනුෂ්‍යවර්ගයාගේ අසමත් වූ වෑයම්
  • මූලික හේතුවට බැසීම
  • සාමයට මඟ
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සමාදානයට කාලයක්” අතළඟය!
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/15 8-13 පි.

සැබෑ සාමය—මොන උල්පතෙන්ද?

“[යෙහෝවා] පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්ව[න්නේය].”—ගීතාවලිය 46:9.

1. අපට යෙසායාගේ අනාවැකියෙන් සාමය ගැන හම්බ වෙන්නේ මොන මහිමාන්විත පොරොන්දුවද?

සැබෑ “ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද [සැබෑ, NW] ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය. මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” (යෙසායා 32:17, 18) මොනතරම් ලස්සන පොරොන්දුවක්ද! එය දෙවි ගෙනෙන සැබෑ සාමය පිළිබඳ පොරොන්දුවක්.

2, 3. සැබෑ සාමය විස්තර කරන්න.

2 ඒත් සැබෑ සාමය කියන්නේ මොකක්ද? එය නිකම්ම යුද්ධ නැහැයි කියන එකද? එහෙම නැත්නම්, එය ජාතීන් ඊළඟ යුද්ධයට සූදානම් වන කාලපරිච්ඡේදයක් විතරද? සැබෑ සාමය නිකම්ම සිහිනයක්ද? අපිට රඳා පවතින්න පුළුවන් වෙන උත්තර අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රශ්නවලටයි. ඉස්සෙල්ලාම, සැබෑ සාමය සිහිනයකට වඩා වැඩි දෙයක්. දෙවි පොරොන්දු වී ඇති සාමය මේ ලෝකයට මැවිය හැකි ඕනෑම දෙයක් අබිබවා යනවා. (යෙසායා 64:4) එය නිකම්ම අවුරුදු කිහිපයකට හෝ දශක කිහිපයකට තියෙන්න යන සාමයක් නෙවෙයි. එය සදහටම පවතිනවා! ඒ වගේම එය වරප්‍රසාද ලත් සුළුතරයකට විතරක් තියෙන සාමයකුත් නෙවෙයි; ස්වර්ගයත් පොළොවත්, දේවදූතයනුත් මනුෂ්‍යයනුත් එයට සම්බන්ධයි. එය සියලු ජාතීන්, වාර්ගික කණ්ඩායම්, භාෂා හා වර්ණවලට අයත් ජනයා දක්වා පැතිර යනවා. කිසිම දේශ සීමාවකින්, බාධාවකින්, අසමත් වීමකින් එය සීමා වෙලා නැහැ.—ගීතාවලිය 72:7, 8; යෙසායා 48:18.

3 සැබෑ සාමය කියන්නේ හැමදාම පවතින සාමයක්. සෑම උදෑසනකම අවදි වන විට යුද්ධ හෝ සාහසිකකම ගැන කල්පනා වෙන්නේ නැති එකත්, ඔබේ මෙන්ම ඔබේ දරුවන්ගේ අනාගතය හෝ ඔබේ මුනුබුරු මිනිබිරියන්ගේ අනාගතය ගැන පවා කනස්සලු වෙන්නේ නැතුව හැමදාම අවදි වෙන එකත් එයින් අදහස් වෙනවා. මානසික වශයෙන් සම්පූර්ණ සාමයක් ඒකෙන් අදහස් වෙනවා. (කොලොස්සි 3:15) අපරාධ, සාහසිකකම තවත් නැති එකත්, භේදභින්න වූ පවුල්, ඉඳුම් හිටුම් නැති මිනිස්සු, හාමතෙන් හා අධික ශීතලෙන් පෙළෙන මිනිස්සු සහ බලාපොරොත්තු සුන්බවක් හා කලකිරීමක් නැති එකත් ඒකෙන් අදහස් වෙනවා. ඇත්තටම ඊටත් වඩා හොඳ දෙයක් නම්, දෙවිගේ සාමය කීමෙන් අදහස් කරන්නේ, අසනීප, වේදනා, ශෝකය හෝ මරණය නැති ලොවක්. (එළිදරව් 21:4) සදහටම සැබෑ සාමය භුක්ති විඳීමේ මොනතරම් මහිමාන්විත බලාපොරොත්තුවක් අපිට තියෙනවාද! අපි සියලුදෙනාම පුල පුලා බලං ඉන්නේ මෙයාකාර සාමයක් හා සන්තෝෂයක් උදා වෙනකං නෙවෙයිද? අප යාච්ඤා කළ යුත්තෙත්, වැඩ කළ යුත්තෙත් මෙයාකාර සාමයක් සඳහා නෙවෙයිද?

මනුෂ්‍යවර්ගයාගේ අසමත් වූ වෑයම්

4. සාමය වෙනුවෙන් ජාතීන් මොන වගේ ප්‍රයත්නයන්වල නිරත වෙලා තියෙනවාද? මොන ප්‍රතිඵල ඇතුවද?

4 මිනිස්සු සහ ජාතීන් සියවස් ගණනාවක් පුරා සාමය ගැන කතා කරලා තියෙනවා; සාමය ගැන වාද කරලා තියෙනවා; සාම ගිවිසුම් සිය ගණනකට අත්සන් තබා තියෙනවා. මොකක්ද එහි ප්‍රතිඵලය? පසුගිය අවුරුදු 80 තුළ, යම් ජාතියක් හෝ කණ්ඩායමක් යුද්ධයකට පැටලුණේ නැති එක මොහොතක්වත් දකින්න ලැබිලා නැති තරම්. මනුෂ්‍යවර්ගයාගෙන් සාමය ගිලිහී ගොස් ඇති බව පැහැදිලියි. ඒ නිසා ප්‍රශ්නය මේකයි: ජාත්‍යන්තර සාමය පිහිටුවන්න මනුෂ්‍යයා දරලා තියෙන හැම වෑයමක්ම අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි? එමෙන්ම කල්පවතින සැබෑ සාමය ගෙන ඒමට මනුෂ්‍යයාට බැරි ඇයි?

5. මනුෂ්‍යවර්ගයාගේ සාම ප්‍රයත්න අඛණ්ඩවම අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි?

5 මනුෂ්‍යවර්ගයා සැබෑ සාමය සඳහා නිසි උල්පත වෙතට හැරිලා නැහැ කියන එක තමයි මේකට තියෙන සරලම උත්තරේ. සාතන් නමැති යක්ෂයාගේ බලපෑම යටතේ, මිනිස්සු තමුන්ගේම දුර්වලකම් හා අවකල් ක්‍රියාවලට ඒ කියන්නේ, තමුන්ගේ කෑදරකමට හා අභිලාෂයන්ටත්, බලය හා ප්‍රසිද්ධිය ලැබීමේ තණ්හාවටත් ගොදුරු වන සංවිධාන බිහි කරලා තියෙනවා. ඔවුන් උසස් අධ්‍යාපන ආයතනවලට ගිහින් තියෙන අතර, ආයතන හා බුද්ධි මණ්ඩල පිහිටුවා තියෙනවා. නමුත් මේවායින් වෙන්නේ, තවත් පීඩන මෙන්ම විනාශ ගෙන දෙන ක්‍රම සැලසුම් කරලා තියෙන එක විතරයි. මනුෂ්‍යයන්ව යොමු කරලා තියෙන්නේ මොන උල්පත වෙතටද? ඔවුන් බලලා තියෙන්නේ මොන දිශාව දෙසද?

6, 7. (අ) ජාතීන්ගේ සංගමය මොන වගේ වාර්තාවක් තැබුවාද? (ආ) එක්සත් ජාතීන්ගේ වාර්තාව මොකක්ද?

6 එක්දහස් නවසිය දහනවයේදී, කල්පවතින සාමය පිහිටුවන්න ජාතීන්, ජාතීන්ගේ සංගමය කෙරෙහි විශ්වාසය තැබුවා. එක්දහස් නවසිය තිස්පහේදී මුසොලීනි ඉතියෝපියාව ආක්‍රමණය කළ විටත්, 1936 ඉඳන් ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය හටගත් විටත් ඒ බලාපොරොත්තුව සුන් වී ගියා. එක්දහස් නවසිය තිස්නවයේදී, දෙවන ලෝක යුද්ධය පටන්ගැනීමත් සමඟම ජාතීන්ගේ සංගමය අභාවයට පත් වුණා. තියෙනවා කියලා කියපු සාමය අවුරුදු 20ක්වත් පැවතුණේ නැහැ.

7 එක්සත් ජාතීන් ගැන කියන්න තියෙන්නේ මොනවාද? පොළොව පුරා කල්පවතින සාමයට එය කිසිම සැබෑ බලාපොරොත්තුවක් සපයා තියෙනවාද? එහෙම සපයලා තියෙනවා කියලා කොහොමටවත් කියන්න බැහැ. එය පටන්ගත් 1945 ඉඳන්, යුද්ධ සහ අවි සන්නද්ධ ගැටුම් 150කටත් වැඩිය පැවතිලා තියෙනවා! යුද්ධ සහ එහි මූලාරම්භයන් විෂයක් හැටියට හදාරන කැනේඩියානු ජාතික ග්වින් ඩය’, එක්සත් ජාතීන්ව “සාන්තුවරුන්ගේ සංගමයක් නොව, දඩයම් සතුන් රකින්නන් බවට පත් වෙලා ඉන්න හොර දඩයක්කාර සංගමයක්” හැටියටත්, “ගොඩක්දුරට බෙලහීන වූ කතාවට දක්ෂ වැඩමුළුවක්” හැටියටත් විස්තර කිරීම පුදුමයට හේතුවක් නෙවෙයි.—යෙරෙමියා 6:14; 8:15, සසඳන්න.

8. සාම සාකච්ඡාවල නිරත වෙලා තිබුණත්, ජාතීන් කරලා තියෙන්නේ මොකක්ද? (යෙසායා 59:8)

8 ජාතීන් සාමය ගැන කතා කළාට, ඔවුන් දිගටම අවි අලුතෙන් නිර්මාණය කරලා නිෂ්පාදනය කරනවා. බොහෝවිට සාම සම්මන්ත්‍රණවලට අනුබල දෙන රටවල්ම තමයි අවි නිෂ්පාදනයේ පෙරමුණේ ඉන්නේ. වාණිජ ලාභ ලැබීමේ දැඩි ආශාව නිසා, මෙම රටවල මරණය ගෙන දෙන අවි නිෂ්පාදනයට දිරියක් ලැබෙනවා; සෑම අවුරුද්දක් පාසාම, වැඩිහිටියන් සහ දරුවන් ඇතුළු රටේ සාමාන්‍ය වැසියන් 26,000ක් මරුමුවට පත් කරන හෝ තුවාල කරන මාරාන්තික බිම් බෝම්බ මේ අවිවලට ඇතුළත් වෙනවා. කෑදරකමත් දූෂණයත් මේ සඳහා පොලඹවන බලවේගයන් වෙනවා. අල්ලස් දූෂණ, අන්තර් ජාතික අවි වෙළඳාමට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. මෙයාකාරයෙන්, සමහර දේශපාලනඥයන් තමුන්ගේ මඩි තර කරගන්නවා.

9, 10. යුද්ධ සහ මිනිස් ප්‍රයත්න සම්බන්ධයෙන් ලෞකික ප්‍රවීණයන් නිරීක්ෂණය කරලා තියෙන්නේ මොනවාද?

9 එක්දහස් නවසිය අනූපහේ දෙසැම්බර්වල, භෞතිකවිද්‍යාඥ හා නොබෙල් සාම ත්‍යාගලාභී, පෝලන්ත ජාතික යුසෙෆ් රෝට්බ්ලැට් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ, අවි තරඟය නතර කරලා දමන්න කියායි. ඔහු මෙහෙම කිව්වා: “[අලුත් අවි තරඟයක්] වළක්වාගන්න පුළුවන් එකම මාර්ගය යුද්ධ කිරීම සහමුලින්ම නැති කර දාන එකයි.” මෙය සිදු වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා ඔබ හිතනවාද? එක්දහස් නවසිය විසිඅටේ පටන්, ජාතීන් 62ක් කෙලොග්-බ්‍රියාන් ගිවිසුම ස්ථිර කළ අතර, එහිදී භේද සමථයකට පත් කරගැනීමේ ක්‍රමයක් හැටියට ඔවුන් යුද්ධ ප්‍රතික්ෂේප කළා. දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම, එම ගිවිසුම එය ලියූ කොළය තරම්වත් වටින්නේ නැති බව පැහැදිලිවම ඔප්පු වුණා.

10 ඉතිහාසය තුළ මනුෂ්‍යවර්ගයා ගොස් ඇති ගමන් මඟට යුද්ධ නිරන්තර බාධාවක් වෙලා තියෙනවා කියා අවිවාදයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. ග්වින් ඩය’ ලියූ ආකාරයට: “යුද්ධය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ මූලික අංග ලක්ෂණයක් වන අතර, එහි ඉතිහාසය ශිෂ්ටාචාරයේ ඉතිහාසය තරම්ම දීර්ඝයි.” ඔව්, සෑම ශිෂ්ටාචාරයකටම හා අධිරාජ්‍යයකටම පාහේ, කීර්තියෙන් සලකන රණශූරයන්, අඛණ්ඩව පැවති හමුදා, සුප්‍රසිද්ධ සටන්, අතිපූජ්‍ය යුද විද්‍යාල හා තොග පිටින් ගොඩ ගැසූ අවි තිබිලා තියෙනවා. කොහොම වුණත්, විනාශකාරිබවින් හා ජීවිත හානි අතින්, යුද්ධ වෙනත් කිසිම සියවසකට වඩා අපේ සියවසේදී කැපීපෙනිලා තියෙනවා.

11. සාමය සඳහා තම ගවේෂණයෙහි ලෝක පාලකයන් නොසලකා හැර තියෙන්නේ මොන මූලික සාධකයද?

11 ලෝකයේ නායකයන් යෙරෙමියා 10:23හි තියෙන මූලික ඥානවන්තකම නොසලකා හැර තියෙන එක පැහැදිලියි: “[අහෝ යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” දෙවිව සලකන්නේ නැත්නම්, සැබෑ සාමයක් තියෙන්න බැහැ. එහෙමනං, ශිෂ්ටසම්පන්න සමාජයක යුද්ධ අනිවාර්ය අංග ලක්ෂණයක් බව මේ සියල්ලෙන් අදහස් වෙනවාද? සාමය—සැබෑ සාමය—අත් කරගන්න බැරි සිහිනයක් බව එයින් අදහස් කරනවාද?

මූලික හේතුවට බැසීම

12, 13. (අ) යුද්ධයට මූලික වන අදෘශ්‍යමාන හේතුව මොකක් කියලද බයිබලය හෙළි කරන්නේ? (ආ) ලෝකයේ ගැටලුවලට ඇති සැබෑ විසඳුමෙන් සාතන් මනුෂ්‍යවර්ගයාගේ අවධානය ඉවතට ගෙන තියෙන්නේ කොහොමද?

12 ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න නම්, යුද්ධවලට හේතු අපි තේරුම්ගන්න එක අවශ්‍යයි. කැරලිකාර දූත සාතන්, මුල් ‘මිනීමරන්නා’ හා ‘බොරුකාරයා’ බවත්, “මුළු ලෝකයා නපුරා තුළ” බවත් බයිබලය පැහැදිලිවම ප්‍රකාශ කරනවා. (යොහන් 8:44; 1 යොහන් 5:19) තම කූටෝපක්‍රම වැඩිදියුණු කරන්න ඔහු මොනවාද තව කරලා තියෙන්නේ? දෙවන කොරින්ති 4:3, 4හි අපට මෙහෙම කියවන්න තියෙනවා: “අපේ ශුභාරංචිය වැසී තිබේනම්, එය වැසී තිබෙන්නේ විනාශවෙන්නන්ටය. නොඇදහිලිකාරවූ ඔවුන් තුළ [දෙවිගේ] ස්වරූපයවූ [ක්‍රිස්තුස්ගේ] තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.” ලෝක ගැටලුවලට විසඳුම වශයෙන්, දේවරාජ්‍යය කෙරෙන් මනුෂ්‍යවර්ගයාගේ අවධානය ඉවත් කිරීමේ අරමුණෙන් සාතන් හැකි සෑම දෙයක්ම කරනවා. භේදකාරි සමාජීය, දේශපාලනමය හා ආගමික ප්‍රශ්න සමඟින් ඔහු ජනයාව අන්ධ කරමින් වෙනතකට යොමු කරවනවා; එතකොට මේ ප්‍රශ්න දෙවිගේ පාලනයට වඩා වැදගත්කමක් ගන්න බව පෙනෙනවා. එක් උදාහරණයක් වන්නේ, මෑතක ඉඳන් ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන ජාතිවාදයයි.

13 එක් ජාතියක්, වර්ගයක් හෝ ගෝත්‍රයක්, අනික් ඒවාට වඩා උසස්ය යන විශ්වාසය වන ජාතිවාදයට හා ගෝත්‍රිකවාදයට සාතන් නමැති යක්ෂයා අනුබල දෙනවා. සියවස් ගණනාවකට මර්දනය වෙලා තියෙන මුල් බැසගත් වෛරයේ හැඟීම්, නැවතත් පණගන්වා තියෙන අතර, ඒවා තවත් යුද්ධ හා ගැටුම් හටගැනීමට රුකුලක් වෙලා තියෙනවා. යුනෙස්කෝවල පාලක-අධ්‍යක්ෂක ෆෙඩෙරීකෝ මායෝ මේ ප්‍රවණතාව ගැන අනතුරු අඟවමින් මෙහෙම පැවසුවා: “කලින් ඉවසුම්ගතිය පොදු ලක්ෂණයක්ව පැවති තැන්වල පවා, විදේශිකයන් සඳහා ඇති වන භීතිකාව කෙරෙහි නැඹුරුවාවක් තියෙන බව වඩ වඩා පැහැදිලි වෙනවා; එමෙන්ම අතීතයේ ලක්ෂණයක් මෙන් පෙනෙන්න තිබුණු දේශානුරාගී හෝ ජාතිවාදී ප්‍රකාශයන් දැන් වඩාත් පොදුවේ අහන්න ලැබෙනවා.” ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකක්ද? කලින් යුගෝස්ලාවියාවේ සිදු වුණු කෲර ඝාතනයන් සහ රුවන්ඩාවේ ගෝත්‍රික ලේ වැගිරීම, මාධ්‍යයෙහි සිරස්තල වී තියෙන එවන් සිදුවීම් දෙකක් පමණයි.

14. එළිදරව් 6:4, යුද්ධ සහ එය අපේ කාලයට බලපාන විදිහ දක්වන්නේ කොහොමද?

14 මේ පිළිවෙළේ අන්තිමය සිදු වෙන්න යන කාලයේ, යුද්ධය සංකේත කරන ගිනි රතු පැහැති අශ්වයෙක් පොළොව පුරා ගමන් කරන්න යන බව බයිබලය පැහැදිලිවම කල් තියා දැනුම් දුන්නා. එළිදරව් 6:4හි අපිට මෙහෙම කියවන්න පුළුවන්: “තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.” එක්දහස් නවසිය දාහතරේ පටන්, මෙම සංකේත අශ්වරෝහකයා ‘සාමය දුරු කරනවා’ අපි දැකලා තියෙනවා; එමෙන්ම ජාතීන් දිගටම සටන්වල සහ යුද්ධවල පැටලිලා ඉන්නවා.

15, 16. (අ) යුද්ධ සහ ඝාතනවලදී ආගම් හවුල් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) ආගම් කරලා තියෙන දේ යෙහෝවා සලකන්නේ කොහොමද?

15 මේ යුද්ධ හා ඝාතනවලදී ආගම් හවුල් වී තියෙන ආකාරය නොසලකා හරින්න නරකයි. මනුෂ්‍යවර්ගයාගේ ලෙයින් නැහැවුණු ඉතිහාසයට වැඩියෙන්ම වාගේ වගකියන්න ඕනෙ, බොරු ආගමේ නොමඟ යවනසුලු බලපෑමයි. කතෝලික දේවවේදී හාන්ස් කූං මෙහෙම ලිව්වා: “[ආගම්] නිෂේධාත්මක, විනාශකාරි ආකාරයකින් ඉමහත් සේ දායක වී තියෙන බවට හා දායක වන බවට කිසිම අනුමානයක් නැහැ. ඔවුන් මොනතරම් අරගල, ලේ වැගිරෙවූ ගැටුම් ගණනකට, ඇත්තෙන්ම ‘ආගමික යුද්ධවලට’ වගකිව යුතුද! . . . ලෝක යුද්ධ දෙකත් මේකට ඇතුළත් වෙනවා.”

16 ඝාතනය කිරීම් හා යුද්ධවලදී බොරු ආගම හවුල් වී ඇති අන්දම යෙහෝවා දෙවි සලකන්නේ කොහොමද? එළිදරව් 18:5හි වාර්තා වී තියෙන බොරු ආගමට විරුද්ධ දෙවිගේ චෝදනාවෙහි මෙහෙම ප්‍රකාශ වෙනවා: “ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, [දෙවිද] ඇගේ අපරාධ සිහික[ර ඇත].” බොරු ආගම ලෝකයේ දේශපාලකයන්ට අත හිත දී තියෙන හින්දා, එය කොතරම් ලේ වරදකට තුඩු දී තියෙනවාද කිව්වොත්, පාප කොතරම් ගොඩගැහිලද කිව්වොත්, දෙවිට ඒවා කොහොමටවත් නොසලකා හරින්න බැහැ. සැබෑ සාමය ගෙනෙන අතරතුර ඔහු ළඟදීම මෙම බාධාවට හේතුව සහමුලින්ම ඉවත් කරාවි.—එළිදරව් 18:21.

සාමයට මඟ

17, 18. (අ) සදාකාලික සාමය අත් කරගන්න පුළුවන් බව විශ්වාස කරන එක, නිකම්ම යථාර්ථවාදී නොවන සිහිනයක් නොවන්නේ ඇයි? (ආ) සැබෑ සාමය එනවා කියලා සහතික කරන්න යෙහෝවා දැනටමත් මොනවද කරලා තියෙන්නේ?

17 එක්සත් ජාතීන් වැනි ආයතනවලට මිනිසුන්ට සැබෑ මෙන්ම කල්පවතින සාමයක් ගෙනෙන්න බැරි නම්, සැබෑ සාමය පැමිණෙන්නේ මොන උල්පතෙන්ද? එමෙන්ම කොහොමද? සදාකාලික සාමයක් අත් කරගන්න පුළුවන් බව විශ්වාස කිරීම නිකම්ම යථාර්ථවාදී නොවන සිහිනයක් විතරද? අපි සාමයේ නිසි උල්පත වෙතට හැරෙනවා නම්, එහෙම වෙන්නේ නැහැ. ඒ කවුද? යෙහෝවා “පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්ව[න්නේය]; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවන” බව අපිට කියමින් ගීතාවලිය 46:9 පිළිතුරු දෙනවා. එමෙන්ම යුද්ධ අවසන් කරන සහ සැබෑ සාමය පිහිටුවන ක්‍රියා පරිපාටිය යෙහෝවා දැනටමත් ආරම්භ කර තියෙනවා. ඒ කොහොමද? එක්දහස් නවසිය දාහතරේදී, ක්‍රිස්තුස් යේසුස්ව තමාට හිමි රාජ්‍ය සිංහාසනයේ පිහිටුවීමෙන් හා මනුෂ්‍යවර්ගයාගේ ඉතිහාසයේ සාමය සඳහා දියත් වුණු ශ්‍රේෂ්ඨතම අධ්‍යාපන ප්‍රයත්නයට අනුබල දීමෙනුයි. යෙසායා 54:13හි අනාවැකිමය වචන අපේ බිය සැක මෙහෙම දුරු කරනවා: “නුඹේ සියලුම දරුවෝද [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.”

18 මෙම අනාවැකියෙන් හේතු ඵල වාදයේ මූලධර්මය පැහැදිලි වෙනවා—ඒ කියන්නේ හැම ඵලයකටම හේතුවක් තියෙනවා කියන එකයි. මේ අවස්ථාවේදී, යෙහෝවාගේ ඉගැන්වීම නමැති හේතුව, යුද්ධයට ප්‍රිය ජනයාව දෙවි සමඟ සාමයෙන් ඉන්න, සාමයට ප්‍රිය ජනකායක් බවට සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ජනයාව සාමයට ප්‍රිය කරන අය බවට පත් කරන හෘදයේ වෙනස්වීම මේකෙ ඵලය වෙනවා. දශලක්ෂ ගණන් ජනයා “සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරන ගමන්ම, ජනයාගේ හෘද හා මනස් වෙනස් කරන මේ ඉගැන්වීම මේ මොහොතේදී පවා ලොව පුරාම පැතිර යනවා.—යෙසායා 9:6.

19. යේසු සැබෑ සාමය ගැන ඉගැන්නුවේ මොනවාද?

19 යේසු සැබෑ සාමය ගැන ඉගැන්වූයේ මොනවාද? ඔහු නිකම්ම ජාතීන් අතර සාමය ගැන පමණක් නොව, නමුත් මනුෂ්‍යයන්ගේ සම්බන්ධතා තුළ සාමය ගැනත්, යහපත් හෘදය සාක්ෂියකින් පැමිණෙන ඇතුළාන්ත සාමය ගැනත් කතා කළා. යොහන් 14:27හි යේසුස් තම අනුගාමිකයන්ට කියූ දේ අපට කියවන්න පුළුවන්: “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.” යේසුගේ සාමය ලෝකයාගේ සාමයට වඩා වෙනස් වූයේ කොහොමද?

20. යේසු සැබෑ සාමය ගේන්නේ මොන මාධ්‍යයෙන්ද?

20 පළමුව, යේසුගේ සාමය තම රාජ්‍ය පණිවිඩය සමඟ කිට්ටුවෙන් බැඳිලා තිබුණා. යේසුගෙන් හා හවුල් පාලකයන් 1,44,000දෙනෙකුගෙන් සෑදුණු ධර්මිෂ්ඨ ස්වර්ගික ආණ්ඩුව, යුද්ධ හා යුද්ධයට පොලඹවන්නන් තුරන් කරන බව ඔහු දැන සිටියා. (එළිදරව් 14:1, 3) තමා අසලම මියගිය වරදකරුට ඉදිරිපත් කළ සාමකාමී පාරාදීසමය තත්වයන්, එය ගෙන ඒමට යන බව ඔහු දැන සිටියා. යේසු ඔහුට ස්වර්ගික රාජ්‍යයෙහි තැනක් ඉදිරිපත් කළේ නැහැ; නමුත් ඔහු මෙහෙම පැවසුවා: “සැබවින්ම ඔබට කියමි අද, ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.”—ලූක් 23:43, NW.

21, 22. (අ) සැබෑ සාමයට ඇතුළත් වෙන්නේ, පුදුමාකාර දරාගැනීමේ ශක්තියක් ගෙන දෙන මොන බලාපොරොත්තුවද? (ආ) එම ආශීර්වාදය අපේම ඇස්වලින් දැකගන්න නං, අපි කරන්න ඕනේ මොනවාද?

21 එමෙන්ම තමා කෙරෙහි අදහාගන්න, ශෝකයෙන් පෙළෙන සියලුදෙනාටම තම රාජ්‍යයෙන් සැනසීම ලැබෙන බව යේසු දැන සිටියා. පුදුමාකාර දරාගැනීමේ ශක්තියක් ලබා දෙන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඔහුගේ සාමයට ඇතුළත් වෙනවා. යොහන් 5:28, 29හි සොයාගන්න පුළුවන් වෙන ඔහුගේ දිරිගන්වන වචන සිහියට නඟන්න: “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද [සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.”

22 ඔබ ඒ කාලය දෙස අපේක්ෂාවෙන් බලා ඉන්නවාද? මරණය නිසා හිතවත් අය ඔබෙන් වියෝ වී ඉන්නවාද? ඔවුන්ව නැවත දැකබලා ගන්න ඔබ තුළ දැඩි ආශාවක් තියෙනවාද? එහෙමනං, යේසු ඉදිරිපත් කරන සාමය පිළිගන්න. ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තාගේ ඇදහිල්ලට සමාන ඇදහිල්ලක් තියාගන්න; ඈ යේසුට මෙහෙම පැවසුවා: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.” ඒත් යේසුස් මාර්තාට දුන් පිළිතුර සැලකිල්ලට ගන්න: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාද”?—යොහන් 11:24-26.

23. සැබෑ සාමය අත් කරගන්න දේවවචනය පිළිබඳ ඒකාන්ත දැනුමක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

23 එම පොරොන්දු විශ්වාස කරන්න වගේම එයින් ප්‍රයෝජන ලබන්න ඔබටත් පුළුවන්. ඒ කොහොමද? දේවවචනය ගැන ඒකාන්ත දැනුමක් ලබාගැනීමෙන්. ඒකාන්ත දැනුමේ ඇති වැදගත්කම ප්‍රේරිත පාවුල් අවධාරණය කළ ආකාරය සැලකිල්ලට ගන්න: “අපි . . . නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස [ඔහුගේ] කැමැත්ත [පිළිබඳ ඒකාන්ත, NW] දැනගැනීමෙන් පූර්ණවී, සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, [දෙවි] [පිළිබඳ ඒකාන්ත, NW] දැනගැනීමෙහි වර්ධනයවෙමින්ද, . . . නුඹලා [යෙහෝවාට] ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමු.” (කොලොස්සි 1:9, 10, 12) යෙහෝවා දෙවි සැබෑ සාමයේ උල්පත බව මෙම ඒකාන්ත දැනුමෙන් ඔබට ඒත්තුගන්න පුළුවන් වෙනවා. ගීතිකාකරු සමඟ “මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද [අහෝ යෙහෝවා], ඔබ මා උදක්ම සුවසේ වාසයකරව[න්නෙහිය]” කියා කීමට පුළුවන් වන පරිද්දෙන්, ඔබ දැන් කරන්න ඕනේ මොනවාද කියලත් එය ඔබට කියාවි.—ගීතාවලිය 4:8.

පැහැදිලි කරන්න පුළුවන්ද?

◻ මිනිස් සාම ප්‍රයත්න අඛණ්ඩව අසමත් වෙලා තියෙන්නේ ඇයි?

◻ යුද්ධවලට මූලික හේතුව මොකක්ද?

◻ කල්පවතින සාමය යථාර්ථවාදී නොවන සිහිනයක් නොවන්නේ ඇයි?

◻ සැබෑ සාමයේ උල්පත මොකක්ද?

[8වන පිටුවේ පින්තූරය]

සැබෑ සාමය නිකම්ම සිහිනයක් නෙවෙයි. එය දෙවිගේ පොරොන්දුවයි

[10වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1914 පටන් ගිනි රතු පැහැති අශ්වයාගේ සංකේත රෝහකයා පොළො- වෙන් සාමය දුරු කරලා තියෙනවා

[11වන පිටුවේ පින්තූරය]

ආගමට සහ එක්සත් ජාතීන්ට සාමය ගේන්න පුළුවන්ද?

[හිමිකම් විස්තර]

UN photo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න