වඩා හොඳ මාර්ගයක්
ලෝකයේ පවතින ආධ්‍යාත්මික පිරිහීම සහ සමාජය පුරා පැතිරී තිබෙන දුරාචාරය මෙන්ම ආගමික සැකය ගැන යෙහෝවාගේ සාක්ෂිකාරයෝ මහත් සැලකිල්ලක් දක්වනවා. මෙනිසා, සමහර අවස්ථාවලදී ඔවුන්ව මූලධර්මවාදීන් කියා හඳුන්වනවා. එහෙත් ඔවුන් මූලධර්මවාදීන්ද? නැහැ. ඔවුන්ට ස්ථිර ආගමික විශ්වාසයන් තිබුණත්, මූලධර්මවාදය යන යෙදුම භාවිතයට පැමිණ තිබෙන ආකාරය සලකා බැලීමේදී, ඔවුන්ව මූලධර්මවාදීන් කියා හඳුන්වන්න බැහැ. යම් මතයකට අනුබලය ලබාගැනීම සඳහා ඔවුන් දේශපාලන නායකයන්ට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ අදහස්වලට එකඟ නොවන අයට විරුද්ධව උද්ඝෝෂණ මෙන්ම සාහසික දේවල් කරන්න යන්නේ නැහැ. ඔවුන් වඩා හොඳ මාර්ගයක් සොයාගෙන තිබෙනවා. ඔවුන් අනුකරණය කරන්නේ ඔවුන්ගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්වයි.
ආගමික සත්‍යය තිබෙන බවත්, එය සොයාගත හැක්කේ බයිබලයෙන් බවත් යෙහෝවාගේ සාක්ෂිකාරයෝ ඒත්තුගෙන සිටිනවා. (යොහන් 8:32; 17:17) එහෙත් බයිබලය ක්‍රිස්තියානීන්ට උගන්වන්නේ කාරුණික, යහපත්, මෘදු මෙන්ම සාධාරණ වෙන්නයි. මේ ගුණාංග යමෙකුව භක්ති උන්මාදකයෙකු බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. (ගලාති 5:22, 23; පිලිප්පි 4:5) බයිබලයේ යාකොබ් පොතේ, ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නේ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” වැඩිවර්ධනය කරගන්නයි. “පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව [සාධාරණව, NW], යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව” තිබෙන දෙයක් හැටියට මෙය විස්තර කර තිබෙනවා. “සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ” කියා යාකොබ් තවදුරටත් සඳහන් කළා.—යාකොබ් 3:17, 18.
යේසු සත්‍යය සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවකින් කටයුතු කළ බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිහියේ තබාගන්නා දෙයක් වෙනවා. ඔහු පොන්තියුස් පිලාත්ට මෙහෙම කිව්වා: “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) ඔහු නිර්භීතව සත්‍යයට පක්ෂව කතා කළත්, තමාගේ විශ්වාසයන් අනිත් අය කෙරෙහි බලපවත්වන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට, ඔවුන්ගේ මනස් සහ හදවත් ඇදී එන ආකාරයෙන් ඔහු කතා කළා. පොළොවෙහි තිබෙන වංකකම සහ අයුක්තිය ඉවත් කරන ආකාරයත්, එය කරන්නේ කවදාද කියාත් ‘යහපත් හා අවංක’ දෙවිකෙනෙකු වන ඔහුගේ ස්වර්ගික පියා තීරණය කරන බව ඔහු දැන සිටියා. (ගීතාවලිය 25:8) එනිසා, තමා සමඟ එකඟ නොවූ අයව යටපත් කර දමන්න ඔහු උත්සාහ කළේ නැහැ. මීට වෙනස්ව, යේසුගේ ඉගැන්වීම් යටපත් කර දමන්න උත්සාහ කළේ, ඔහුගේ කාලයේ ජීවත් වූ පාරම්පරික ආගමික විශ්වාසයන්ට ඇලී සිටි ආගමික නායකයනුයි.—යොහන් 19:5, 6.
යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට ආගමික ඉගැන්වීම් පිළිබඳව ස්ථිර විශ්වාසයන් තිබෙන අතර, සදාචාරයන් හා සම්බන්ධ කාරණයේදී ස්ථිර සාරධර්ම ඔවුන් විදහාපෙන්වනවා. ඇත්තේ “එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්” බව ප්‍රේරිත පාවුල් හා සමානව, ඔවුනුත් ඒත්තුගෙන තිබෙනවා. (එපීස 4:5) යේසුගේ මේ වචනද ඔවුන් හොඳින් සිතට ගෙන තියෙනවා: “ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:13, 14) කොහොම වුණත්, තමන්ගේ විශ්වාසයන් පිළිගැනීමට ඔවුන් අනිත් අයට බල කරන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් පාවුල්ව අනුකරණය කරමින් “දෙවියන්වහන්සේ හා සමගිවෙන්න” කැමති සියල්ලන්ගෙන් එසේ කරන්න කියා ‘ඉල්ලා සිටිනවා.’ (2 කොරින්ති 5:20) වඩා හොඳ මාර්ගය මෙයයි. එය දෙවිගේ මාර්ගයයි.
අදදින ආගමික මූලධර්මවාදය යන වචනය භාවිත කරන ආකාරය අනුව, එය හුඟක් වෙනස් දෙයක්. තමන්ගේ නීති ප්‍රතිපත්ති සමාජය කෙරෙහි බලපැවැත්වීම සඳහා සැහැසිකකම් ඇතුළු බොහෝ උපාය මාර්ග මූලධර්මවාදීන් යොදාගන්නවා. මේ විදිහට කටයුතු කිරීමෙන්, ඔවුන් දේශපාලන ක්රමයේ අනිවාර්ය කොටසක් බවට පත් වෙලා තියෙනවා. කොහොම වුණත්, තම අනුගාමිකයන් “ලෝකයේ කොටසක්” නොවිය යුතුයි කියා යේසු කිව්වා. (යොහන් 15:19, NW; 17:16; යාකොබ් 4:4) මේ වචනවලට එකඟව, යෙහෝවාගේ සාක්ෂිකාරයෝ දේශපාලන මතභේදවලදී දැඩි මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරනවා. ඇරත්, ෆූඕරිපාජීනා නමැති ඉතාලි පුවත්පතේ සඳහන් වුණාක් මෙන්, ඔවුන් “කිසිම කෙනෙකුට කිසි දෙයක් ගැන බල කරන්නේ නැහැ; ඔවුන් කියන දෙය පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න හැම කෙනෙකුටම නිදහස තියෙනවා.” මෙහි ප්‍රතිඵලය? සාක්ෂිකරුවන්ගේ සාමකාමී බයිබල් පණිවිඩය, සෑම තරාතිරකම සිටින මනුෂ්‍යයන්ගේ සිත් ඇදගෙන තියෙනවා. යම් කාලයකදී මූලධර්මවාදීන්ව සිටි අයගේ පවා සිත් ඇදගෙන තියෙනවා.—යෙසායා 2:2, 3.
ස්ථිරසාර සාරධර්ම ඇති ලොවක්
මූලධර්මවාදීන්ගේ සැලකිල්ලට භාජන වන ගැටලු විසඳීමට මිනිසුන්ට බැරි බව සාක්ෂිකරුවන් වටහාගෙන තියෙනවා. දෙවි ගැන විශ්වාස කරන්න කියා හෝ ඔබගේ පෞද්ගලික විශ්වාසයන් පිළිගන්න කියා යමෙකුට බල කරන්න ඔබට බැහැ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියා සිතීම මඟ පෙන්වා තිබෙන්නේ කුරුස යුද්ධ, මධ්‍යකාලීන අධර්ම මර්දනාධිකරණයන් සහ ඇමරින්දියානුවන්ව “හරවාගැනීම” වැනි ඉතිහාසයේ සිදු වූ දරුණුතම භීෂණයන්ටයි. කොහොම වුණත්, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ඔබට තියෙනවා නම්, ඔහුගේ අතට කාරණා බාර දෙන්න ඔබ කැමති වෙනවාට කිසිම සැකයක් නැහැ.
බයිබලයට අනුව, දෙවි මනුෂ්‍යයන්ට තම නීති කඩ කර, එමගින් දුක් වේදනා හා වධ හිංසා සිදු කිරීමට ඉඩහැර තියෙන කාලයට සීමාවක් පනවලා තියෙනවා. ඒ කාලය නිමාවට පත්වීමට ඉතාමත් ආසන්නයි. යේසු මේ වන විටත් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජු හැටියට පාලනය කරමින් සිටිනවා. ඒ රාජ්‍යය, මිනිස් ආණ්ඩු පහ කර දමා, ඉක්මනින්ම මනුෂ්‍යවර්ගයාගේ එදිනෙදා කටයුතු පාලනය කරන්න යනවා. (මතෙව් 24:3-14; එළිදරව් 11:15, 18) සමාදානය සහ ධර්මිෂ්ඨකම බහුලව පවතින ලෝක ව්‍යාප්ත පාරාදීසයක් එහි ප්‍රතිඵලය වෙනවා. සැබෑ දෙවිට නමස්කාර කළ යුතු ආකාරය ගැන කිසිම සැකයක් ඒ කාලයේදී පවතින්නේ නැහැ. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) ප්‍රේමනීය-කරුණාව, සත්‍යය, යුක්තිය සහ යහපත්කම යනාදි සදාකාලික සාරධර්මයන් සියලුම කීකරු මනුෂ්‍යවර්ගයාගේ ශුභසිද්ධිය වෙනුවෙන් ජයනාද කරාවි.
ඒ කාලය දෙස බලමින්, ගීතිකාකාරයා කාව්‍යමය ස්වරූපයෙන් මෙසේ කියනවා: “කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය, [යෙහෝවා] යහපත්දේ [දෙයි]; අපේ දේශයද එහි ඵල දෙන්නේය. ධර්මිෂ්ඨකම [ඔහුට] පෙරටුව යමින් [ඔහුගේ] පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.”—ගීතාවලිය 85:10-13.
අපිට ලෝකය වෙනස් කරන්න බැරි වුණත්, අද පවා පුද්ගලයන් හැටියට අපි එක් එක්කෙනාට දේවගුණාංග වර්ධනය කරගන්න පුළුවන්. මෙයාකාරයෙන්, නව ලොවේ තම නමස්කාරකයන් හැටියට තබාගැනීමට දෙවි කැමති ජනයා අතර සිටීමට අපිට උත්සාහ කරන්න පුළුවන්. ගීතිකාකරු සඳහන් කළ මොළොක් ගුණ ඇත්තන් අතර අපි සිටින්ට යනවා: “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:11) තම කැමැත්ත කරන අයට දෙවි උපකාර හා ආශීර්වාද කරන අතර, ඔවුන්ගේ අනාගතය සඳහා පුදුමාකාර දේවල් ඔහු පොරොන්දු වෙනවා. ප්‍රේරිත යොහන් මෙහෙම පැවසුවා: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.
[7වන පිටුවේ පින්තූරය]
දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය හොඳින් දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සෑම කෙනෙකුටම ආරාධනා කරනවා
[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
තුන, 4, 5 සහ 6වන පිටුවල පහන: Printer’s Ornaments/by Carol Belanger Grafton විසිනි/Dover Publications, Inc.