මූලධර්මවාදය එය කුමක්ද?
මූලධර්මවාදය පටන්ගත්තේ කොතැනින්ද? පසුගිය සියවසේ අගභාගයේදී, නිදහස් මතධාරි දේවධර්මධාරීන් බයිබලය සහ පරිණාමවාදය වැනි විද්‍යාත්මක මතයන් පිළිබඳව කෙරෙන විවේචනයන්ට ගැළපෙන විදිහට තමන්ගේ විශ්වාසයන් වෙනස් කරගනිමින් සිටියා. එහි ප්‍රතිඵලයක් හැටියට, බයිබලය ගැන මිනිසුන් තුළ තිබූ විශ්වාසය බිඳී ගියා. එක්සත් ජනපදයේ සංරක්ෂණවාදී ආගමික නායකයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ, ඇදහිල්ල පිළිබඳ මූලධර්මයන්a යනුවෙන් ඔවුන් හැඳින්වූ දෙය පිහිටුවා ගැනීමෙන්. විසිවන සියවසේ මුල්භාගයේදී, මේ මූලධර්මයන් පිළිබඳ සාකච්ඡාවක් ඇතුළත් වූ, ද ෆන්ඩමෙන්ටල්ස්: ඒ ටෙස්ටමනි ටු ද ටෲත් (මූලධර්ම: සත්‍යයට සාක්ෂියක්) යන මාතෘකාවෙන් යුත් කාණ්ඩවලින් සමන්විත වෙළුම් මාලාවක් ඔවුන් පළ කළා. මෙම මාතෘකාවෙන් “මූලධර්මවාදය” යන යෙදුම ඇවිත් තියෙනවා.
විසිවන සියවසේ මුල්භාගයේදී, මූලධර්මවාදය කලින් කලට සාකච්ඡාවට භාජන වූ මාතෘකාවක් බවට පත් වුණා. උදාහරණයක් හැටියට 1925දී, ආගමික මූලධර්මවාදීන් අ.එ.ජ. ටෙනසිහි විසූ ජෝන් ස්කෝප්ස් නමැති පාසැල් ගුරුවරයාව අධිකරණය හමුවට පැමුණුවා; එම නඩුව ස්කෝප්ස් නඩු විභාගය කියා ප්‍රසිද්ධ වුණා. ඔහු කළ අපරාධය? ඔහු පරිණාමවාදය උගන්වමින් සිටියා; එය එම ජනපදයේ ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක්. මූලධර්මවාදය වැඩි කලක් පවතින එකක් නැහැ කියා සමහර අය ඒ දවස්වල විශ්වාස කළා. වර්ෂ 1926දී, ක්‍රිස්ටියන් සෙන්චරි නමැති රෙපරමාදු ආගමේ සඟරාවක එය ගැන පවසා තිබුණේ, එය “හිස් හා කෘත්‍රිම” දෙයක් මෙන්ම “වර්ධනය ගෙන දෙන සමර්ථයක් නැති හෝ දිගුකල් පැවැත්මේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම හීනව තිබෙන” දෙයක් හැටියටයි. එසේ තක්සේරු කිරීම මොනතරම් වැරදිසහගත දෙයක් වුණාද!
එක්දහස් නවසිය හැත්තෑගණන්වල සිට, මූලධර්මවාදය නමැති විෂය පිළිබඳ තොරතුරු පුවත්පත්වල කලින් කලට පළ වී තියෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ, ෆුල’ සෙමනේරියේ මහාචාර්ය මිරෝස්ලාව් වෝල්ෆ් මෙසේ කියනවා: “මූලධර්මවාදය මේ තාක් කල් පැවත තිබෙනවා පමණක් නොව, සමෘද්ධිය කරාද ළඟා වෙලා තියෙනවා.” අදදින, “මූලධර්මවාදය” කියන වචනය අදාළ වන්නේ රෙපරමාදු ආගමේ සිදු වන ක්‍රියාවන්ට පමණක් නොව, නමුත් කතෝලික, ඉස්ලාම්, යුදෙව් සහ හින්දු යන වෙනත් ආගම්වලටද අදාළ වෙනවා.
අපගේ කාලවලට ප්‍රතික්‍රියාවක්
මූලධර්මවාදය ව්‍යාප්ත වෙන්නේ ඇයි? එය උද්ගත වී තිබෙන්නේ යම් දුරකට අපේ කාලවල පවතින සදාචාරාත්මක හා ආගමික සැකය නිසා බව ඒ ගැන අධ්‍යයනය කරන්නන් කියා සිටිනවා. පැරණි කාලවලදී වැඩිදෙනෙක් ජීවත් වුණේ, සම්ප්‍රදායික විශ්වාසයන් මත පදනම් වූ නොවෙනස් වන සදාචාරාත්මක වාතාවරණයකයි. දැන් මේ විශ්වාසයන් අභියෝගයට ලක් වෙලා; එහෙම නැත්නම් ඒවා ප්‍රතික්ෂේප කරලා. දෙවිකෙනෙක් නැහැ කියාත් සතුටක් ලබන්න බැරි ලෝකයක මිනිසා හුදකලා වෙලා සිටිනවා කියාත් බුද්ධිමතුන් හුඟදෙනෙක් කියා සිටිනවා. මනුෂ්‍යවර්ගයා අහම්බෙන් පරිණාමය වීමෙන් බිහි වූවා මිසක් ප්‍රේමනීය මැවුම්කරුවෙකුගේ මැවීමක් නොවන බව විද්‍යාඥයන් හුඟදෙනෙක් උගන්වනවා. නිර්බාධිත මානසික ස්වභාවයක් බලපවත්වනවා. සමාජයේ සෑම තරාතිරකම සදාචාරාත්මක සාරධර්ම බිඳවැටීම සමඟින් ලෝකය පීඩිත තත්වයකට මුහුණ පා සිටිනවා.—2 තිමෝති 3:4, 5, 13.
මූලධර්මවාදීන් මුල් කාලවල පැවති නියමයන් රැකගැනීමට ඉමහත් ආශාවක් දක්වන අතර, නිසි සදාචාරය හා ධාර්මික අත්තිවාරම් වශයෙන් ඔවුන්ට හැඟෙන දෙයට අනුව, ඔවුන්ගේ ප්‍රජාවන් මෙන්ම ජාතීන්ව හැඩගැස්වීමට ඔවුන්ගෙන් සමහරදෙනෙක් දැඩි උත්සාහයක යෙදී සිටිනවා. “නිවැරදි” සදාචාර නීති මාලාවකට හා විශ්වාසයන් පද්ධතියකට අනුව ජීවත්වීමට අන්‍යයන්ට බල කිරීම සඳහා ඔවුන් කළ හැකි හැම දෙයක්ම කරනවා. මූලධර්මවාදියෙක් දැඩි ලෙස ඒත්තුගෙන තිබෙන දෙයක් නම්, තමා හරි, අනිත් අය වැරදි කියන එක. මහාචාර්ය ජේම්ස් බා’, ෆන්ඩමෙන්ටලිසම් (මූලධර්මවාදය) නමැති තමාගේ පොතේ මෙසේ පවසනවා; මූලධර්මවාදය “බොහෝවිට සලකනු ලබන්නේ පටු අදහස් දැරීම, තම මතයේම දැඩි ලෙස එල්බගෙන සිටීම සහ නිකායවාදය යන අර්ථ ගෙනහැර දක්වන එදිරිවාදී මෙන්ම නින්දාසහගත යෙදුමක් හැටියටයි.”
පටු අදහස් දරන්නෙක් හෝ තම මතයේම දැඩි ලෙස එල්බගෙන සිටින්නෙක් හෝ නිකායවාදියෙක් යන යෙදුම්වලින් තමන්ව හඳුන්වනු ලබනවාට කිසි කෙනෙක් කැමති නැති නිසා, මූලධර්මවාදියෙක් කියා කියන්නේ කාටද හා නොකියන්නේ කාටද කියන කාරණයට හැමදෙනාම එකඟ වෙන්නේ නැහැ. කොහොම වුණත්, ආගමික මූලධර්මවාදයේ ගතිලක්ෂණ දක්වන යම් නිශ්චිත පැති තියෙනවා.
මූලධර්මවාදියෙකු හඳුනාගැනීම
සාමාන්‍යයෙන් ආගමික මූලධර්මවාදය කියන්නේ, යම් සංස්කෘතියක මුල් සම්ප්‍රදායන් හෝ ආගමික විශ්වාස හැටියට විශ්වාස කරන දේවල් රැකගැනීමට ගන්නාවූ උත්සාහයක් වන අතර, ලෝකයේ පවතින ලෞකික ස්වභාවය හැටියට වටහාගෙන තිබෙන දෙයට එරෙහි වීමයි. සෑම නවීන දෙයකටම මූලධර්මවාදීන් විරුද්ධ වන බව එයින් අදහස් කරන්නේ නැහැ. තම මත ප්‍රකාශ කිරීම සඳහා සමහරු නවීන සන්නිවේදන මාධ්‍යයන් ප්‍රබල ලෙස යොදාගන්නවා. එහෙත් සමාජය ලෞකිකායනය කිරීමට එරෙහිව ඔවුන් සටන් කරනවා.b
සමහර මූලධර්මවාදීන්, ඉගැන්වීම්වල හෝ ජීවන රටාවේ සම්ප්‍රදායික ව්‍යූහයක් රැකගැනීමට කටයුතු කරනවාට අමතරව, මේවා අනුන් මත බලපැවැත්වීමටත්, මූලධර්මවාදී විශ්වාසයන්ට අනුව හැඩගැස්වීමේ අරමුණෙන් සමාජීය ව්‍යූහයන් වෙනස් කරන්නත් අදිටන් කරගෙන ඉන්නවා. මෙනිසා කතෝලික මූලධර්මවාදියා ගබ්සාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තම මතය තමාට පමණක් සීමා කරගෙන නැහැ. ගබ්සාව නීති විරෝධී දෙයක් හැටියට සලකන විදිහට නීති සකස් කිරීමට පෙලඹවීම සඳහා තම රටේ නීති සම්පාදකයන්ට ඔහු බලපෑම් කරන්න පුළුවන්. පෝලන්තයේ ලා රේපූබ්ලිකා නමැති පුවත්පතේ සඳහන් වූ පරිදි, ගබ්සා විරෝධී නීතියක් අනුමත කරගැනීම සඳහා කතෝලික පල්ලිය, “තමන් සතු සියලුම බලතල හා බලපෑම් යොදාගෙන ‘විරෝධතා ව්‍යාපාරයක්’” දියත් කළා. මෙහිදී, කතෝලික බලධාරීන් කටයුතු කරමින් සිටියේ බොහෝදුරට මූලධර්මවාදීන් වගෙයි. එක්සත් ජනපදයේ රෙපරමාදු ක්‍රිස්තියානි ඒකාබද්ධ සංවිධානය ඒ හා සමාන “විරෝධතා ව්‍යාපාර” මෙහෙයවනවා.
මූලධර්මවාදීන් හඳුනාගැනීමේ මූලික ලක්ෂණය වන්නේ, ඔවුන්ගේ මුල් බැසගත් දැඩි ආගමික විශ්වාසයන්. මෙසේ රෙපරමාදු මූලධර්මවාදියෙක් බයිබලයේ පදගතාර්ථ අර්ථකථනයට ගැතිකම්පාන්නෙක් වෙනවා. සාමාන්‍ය දවස් හයකින් පොළොව මැව්වා කියන විශ්වාසය මෙයට අයත් වෙන්න පුළුවන්. පාප්ගේ නොවරදිනසුලුභාවය ගැන කතෝලික මූලධර්මවාදියෙකුට කිසි සැකයක් නැහැ.
එසේනම්, “මූලධර්මවාදය” යන යෙදුම මගින් අවිචාරාත්මක භක්ති උන්මාදය නමැති මානසික චිත්‍රය ඇති කිරීමට හේතුවත්, මූලධර්මවාදී නොවන අයට එහි ව්‍යාප්තිය දකින විට නොසන්සුන් හැඟීමක් ඇතිවීමට හේතුවත් තේරුම්ගැනීම එතරම් අපහසු නැහැ. අපි පෞද්ගලිකව මූලධර්මවාදීන් සමඟ එකඟ නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් දේශපාලනයට ඇඟිලි ගසන විදිහ හා සමහර අවස්ථාවලදී සාහසික ක්‍රියාවන්වල යෙදෙන විදිහ අපිව තැතිගන්වන්න පුළුවන්. ඇත්තෙන්ම, එක් ආගමක මූලධර්මවාදීන් තවත් ආගමක මූලධර්මවාදීන්ගේ ක්‍රියාවන් නිසා මහත් පිළිකුලක් ඇති කරගන්න පුළුවන්. කොහොම වුණත්, මූලධර්මවාදයේ ව්‍යාප්තියට අතහිත දෙන දේවල් එනම් නවීන සමාජයේ වැඩි වන සදාචාරමය ලිහිල්බව, ඇදහිල්ල හීනවීම සහ ආධ්‍යාත්මික දේවල් ප්‍රතික්ෂේප කරන එක ගැන බුද්ධිමත් පුද්ගලයන් හුඟදෙනෙක් සැලකිල්ලෙන් සිටිනවා.
මේ ප්‍රවණතාවන්ට එකම පිළිතුර මූලධර්මවාදයද? එහෙම නැත්නම්, ඊට තිබෙන විකල්පය මොකක්ද?
[පාදසටහන්වල]
a වර්ෂ 1895දී විග්‍රහ කළ මූලධර්මවාදයේ අංග පහ කියා නම් කර තිබෙන දෙයට මේවා අයත් වුණා, “(1) ශුද්ධ ලියවිල්ලේ පූර්ණ දේවානුභාවය සහ එහි නොවරදිනසුලුභාවය; (2) යේසුස් ක්‍රිස්තුස්ගේ දේවත්වය; (3) ක්‍රිස්තුස් කන්‍යාවකගෙන් උපත ලැබීම; (4) කුරුසය මත සිදු කළ ක්‍රිස්තුස්ගේ හිලව් කිරීමේ වටිනාකමකින් යුත් සමඟි කිරීම; (5) ක්‍රිස්තුස්ගේ ශාරීරික නැවත නැඟිටීම සහ පුද්ගලයෙකු හැටියට මාංසික සිරුරක් ඇතුව පොළොවට දෙවෙනි වරට පැමිණීම.”—ස්ටූඩී ඩි තේඕලොෂිආ (දේවධර්මය පිළිබඳ අධ්‍යයන).
b “ලෞකිකායනය” කියන්නේ ආධ්‍යාත්මික නැතහොත් පරිශුද්ධ දේවල් නොව, ලෞකික දේවල් දැඩි ලෙස කාවැද්දවීමයි. ලෞකික පුද්ගලයා ආගම හෝ ආගමික විශ්වාසයන් වැදගත් දේවල් ලෙස සලකන්නේ නැහැ.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වර්ෂ 1926දී, රෙපරමාදු ආගමේ සඟරාවක මූලධර්මවාදය විස්තර කර තිබුණේ “හිස් හා කෘත්‍රිම” දෙයක් මෙන්ම “වර්ධනය ගෙන දෙන සමර්ථයක් නැති හෝ දිගුකල් පැවැත්මේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම හීනව තිබෙන” දෙයක් හැටියටයි