“ගෙවීගිය දවස් සිහි කරන්න”—මන්ද?
“ගෙවීගිය දවස් සිහි කරන්න.” යුදයේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් විසින්, පො.යු. 61දී පමණ මෙම අවවාදය ලියනු ලැබිණ. (හෙබ්‍රෙව් 10:32, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) මෙවන් ප්‍රකාශයක් කළ යුතු වූයේ මන්ද? මුල් සියවසේ යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ට අතීතය අමතක නොකිරීම සඳහා අවශ්‍යතාවක් තිබුණේ මන්ද? අදත් ඒ හා සමාන සිහිගැන්වීමක් තැකීමෙන්, අපට ප්‍රයෝජන ලබාගත හැකිද?
සියවස් ගණනාවක් පුරා, අතීතය නොසලකා හැරීම හෝ ඒ කෙරෙහි අවධානයක් නොමැතිව සිටීමට එරෙහිව බයිබල් ලේඛකයෝ, නැවත නැවතත් අනතුරු ඇඟවූහ. පසු වී ගිය කාලයන් සහ සිදුවීම් මතකයේ තබාගැනීමත් ඒවා සැලකීමත් අවශ්‍ය විය. යෙහෝවඃවහන්සේ පවා කීවේ: “පුරාණයේ පළමු කාරණ සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත” කියාය. (යෙසායා 46:9) අපි මෙම දැනමිතිකම සැලකිල්ලට ගැනීම සඳහා, ප්‍රබල හේතු තුනක් අධ්‍යයනය කරමු.
පෙලඹවීම සහ දිරිගැන්වීම
මුලින්ම, එය පෙලඹවීමේ සහ දිරිගැන්වීමේ මහත් උල්පතක් විය හැකියි. හෙබ්‍රෙව් සභාවට පාවුල් මෙම ලිපිය ලියන විට, ඔහු ලියුවේ, යුදෙව්වන්ගේ විරුද්ධවාදිකම් නිසා, දිනපතා තමන්ගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වෙමින් සිටි සෙසු ක්‍රිස්තියානීන් වෙතටය. ඔවුන්ගේ විඳදරාගැනීම, ගොඩනැඟීමේ අවශ්‍යතාව තේරුම්ගත් පාවුල්, කීවේ: “නුඹලා ආලෝකකරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න” කියාය. (හෙබ්‍රෙව් 10:32) ඔවුන්ගේ ආත්මික යුද්ධය තුළ, පක්ෂපාතකමේ අතීත ක්‍රියාවන් මතක් කරගැනීම, ඔවුන්ගේ දිවීම අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය ධෛර්යය ලබා දෙනු ඇත. ඒ හා සමානව, අනාගතවක්තෘ යෙසායා ලීවේ: “මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් [ධෛර්යය උපදවාගෙන, NW] හැසිරෙන්න” කියාය. (යෙසායා 46:8) එවැනිම අභිප්රායක් මනසේ තබාගෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එපීස සභාවට කීවේ: “එබැවින් නුඹ වැටී සිටින්නේ [නුඹේ පළමු ප්‍රේමය] කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න” කියාය.—එළිදරව් 2:4, 5.
ඉශ්රායෙල්වරුන්ට මෝසෙස් කළ කතාවල නැවත නැවත මතු වී ආ විෂය වූයේ, “පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්” යන අනුශාසනාව වූ අතර, ජාතියෙන් අයැද සිටියේ, නොබියව යෙහෝවඃවහන්සේට පක්ෂපාතකම විදහාපෙන්වන ලෙසටය. (ද්විතීය කථාව 32:7) ද්විතීය කථාව 7:17ආ-19 දක්වා වාර්තා වී ඇති ඔහුගේ වචන සලකා බලන්න: “ඔවුන්ට [කානානිවරුන්ට] භය නොවන්න. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඵාරාවෝ සහ මුළු මිසරයට කළ දේ . . . සිහිකරගන්න.” දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට දිගටම විශ්වාසවන්ත ලෙස ඇලී සිටීම සඳහා පෙලඹවීමක් හැටියට, තම සෙනඟ වෙනුවෙන් යෙහෝවඃවහන්සේ කළ ගැළවීමේ ක්‍රියා මතකයට නැඟීම අවශ්‍ය විය.—ද්විතීය කථාව 5:15; 15:15
කනගාටුවට කරුණක් වූයේ, ඉශ්රායෙල්වරුන් බොහෝ වර අමතක කිරීමේ පාපයට යටත් වීමයි. කිනම් ප්‍රතිඵල සමඟද? “ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය [රිදෙව්වෝය NW]. ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්, . . . සිහි නොකළෝය.” (ගීතාවලිය 78:41-43) අවසානයේදී, යෙහෝවඃවහන්සේ විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඔවුන් විසින් උන්වහන්සේගේ ආඥා අමතක කිරීමේ ප්‍රතිඵලයක් විය.—මතෙව් 21:42, 43.
මාහැඟි ආදර්ශයක් තැබූ ගීතිකාකරු මෙසේ ලීවේය: “ස්වාමීන්ගේ ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි. ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.” (ගීතාවලිය 77:11, 12) එවන් අතීත පක්ෂපාත සේවය සහ යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය ක්‍රියාවන් භාවනානුයෝගීව මතකයට නඟාගැනීම, අපට අවශ්‍ය කරන පෙලඹවීම, දිරිගැන්වීම සහ අගය කිරීම ලබා දෙනු ඇත. එමෙන්ම, ‘පළමු දවස් සිහි කිරීම,’ විශ්වාසවන්ත ලෙස විඳදරාගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට අපව පොලඹවන අතර, වෙහෙසකරබව පලවාහැරීමට උපකාර කරනු ඇත.
අතීත වැරදිවලින් ඉගෙනගැනීම
දෙවනුව, අමතක නොකර සිටීම, අතීතයේ වැරදි සහ ඒවායේ ප්රතිවිපාකවලින් ඉගෙනගැනීමට මඟක් විය හැකිය. මෙය මනසේ තබාගෙන, මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට උපදෙස් දුන්නේ: “නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය” කියාය. (ද්විතීය කථාව 9:7) එවැනි අකීකරුකමේ ප්‍රතිඵලයක් ලෙස ඉශ්රායෙල්වරුන්ව, දෙවියන්වහන්සේ ‘සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ගෙනගිය’ බව මෝසෙස් විසින් පෙන්වා දෙනු ලැබිණ. මෙය මතක තබාගැනීමට ඔවුන්ව දිරිගැන්වූයේ මන්ද? එසේ කළේ, ඔවුන්ව යටහත් කරවීමටත්, කැරලිකාර මාර්ගවලින් නිවැරදි කරවීමටත්, ‘ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමටත්ය’. (ද්විතීය කථාව 8:2-6) ඔවුන් විසින් තමුන්ගේ අතීත වැරදි නැවත නොකරන්ට ඉගෙනගත යුතුව තිබිණ.
“සිහි පරික්ෂාවෙන් සිටින්නා පෞද්ගලික අද්දැකීමෙන්ද ඥානවන්තයා අන්‍යයන්ගේ අද්දැකීමෙන්ද ප්‍රයෝජන ලබන්නේය” යි එක් ලේඛකයෙක් නිරීක්ෂණය කළේය. ඉශ්රායෙල්වරුන්ගේ පසුගිය වැරදිවලින් ඉගෙනගන්ට, මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට මතක් කර දුන් අතර, ප්‍රේරිත පාවුල් අන් අයට—එනම් පළමු සියවසේ කොරින්ති සභාවටත්, අපටත්—එම ඓතිහාසික වාර්තාවෙන් පාඩමක් ලබාගැනීමට අවවාද කළේය. ඔහු මෙසේ ලීවේය: “ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට [ඉශ්රායෙල්වරුන්ට] සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.” (1 කොරින්ති 10:11) තවත් බයිබල් සිද්ධියක් මෙන්ම එයින් ඉගෙනීමට ඇති අවශ්‍යතාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මනසේ තිබිණ; ඒ ගැන උන්වහන්සේ මෙසේ කීසේක: “ලොත්ගේ භාර්යාව සිහිකරන්න.” (ලූක් 17:32; උත්පත්ති 19:1-26) ඉංග්‍රීසි කිවිවරයෙක් මෙන්ම දර්ශනවාදියෙක් වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් ලීවේ: “මිනිසා විසින් ඉතිහාසයෙන් ඉගෙනගන්නවා නම්, එය අපට මොනතරම් පාඩම් උගන්වයිද!” යනුවෙනි.
විනීතකම සහ කෘතඥපූර්වකභාවය
තුන්වනුව, මතක තබාගැනීම, යෙහෝවඃවහන්සේව ප්‍රසන්න කරවන විනීතකම සහ කෘතඥපූර්වකබව යන ගුණාංග අප තුළ ඉපදවීමට හැකි කරවයි. ලෝක ව්‍යාප්ත ආත්මික පාරාදීසයේ බොහෝ අංග සම්බන්ධයෙන් අපි සතුටු වන අතර, සමහරක් අත්තිවාරම් ගල් බඳු මූලධර්ම මත එය පිහිටා තිබෙන බව කිසිදා අමතක නොකළ යුත්තෙමු. මෙයට පක්ෂපාතකම, ප්‍රේමය, ආත්ම පරිත්‍යාගය, විරුද්ධවාදිකම් මැද නිර්භීතකම, විඳදරාගැනීම, බොහෝ ඉවසිලිවන්තකම සහ ඇදහිල්ල වැනි ගුණාංග ඇතුළත් වූ අතර, දශක ගණනාවකට පෙර විවිධ දේශවල, වැඩය ආරම්භ කිරීම සඳහා අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් විසින් මෙම ගුණාංග පිළිබිඹු කරනු ලැබීය. මෙක්සිකෝවේ, දෙවියන්වහන්සේගේ සෙනඟගේ නවීන දින ඉතිහාසය පිළිබඳ වාර්තාව අවසන් කරමින්, නයින්ටීන්නයින්ටිෆයිව් යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස්හි මෙසේ කියයි: “මෙක්සිකෝවේ වැඩය ආරම්භ කිරීමට හවුල් වූවන්ට මුහුණපාන්ට වූ පරීක්ෂණ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් සමඟ ඇසුරු කරන නවකයන්ව විමතියට පත් කළ හැකිය. මෑතක සිට ඇසුරු කරන්නන්ව හුරු කර ඇත්තේ, සියදහස් ගණන් දේවභයැති ආශ්‍රිතයන් සිටින, දේවසේවය ඉතා සංවිධානාත්මක ස්වරූපයකින් සිදු වන ආත්මික ආහාර බහුල, ආත්මික පාරාදීසයකටය” කියාය.
මුලින් වැඩය ආරම්භ කිරීමට පෙරමුණ ගත් අය, බොහෝවිට තනියම හෝ පුංචි හුදකලා කණ්ඩායම්වල වැඩ කළහ. ඔවුහු තනිකම සහ දුෂ්කරතාවලට මුහුණ දුන් අතර, රාජ්‍ය ආරංචිය ප්‍රකාශ කිරීම නොනවත්වාම කරගෙන යෑම නිසා අඛණ්ඩතාවෙහි වෙනත් දරුණු පරීක්ෂණ වින්දාහ. පසු වී ගිය කාලවල සිටි මෙම සේවකයන්ගෙන් බොහෝදෙනෙකු දැන් භූමික දසුනෙන් ඉවත් වී සිටියත්, යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ විශ්වාසවන්ත සේවය අමතක නොකරන බව දැනගැනීමට ලැබීම මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! ප්‍රේරිත පාවුල් මෙය ස්ථිර කළේ මෙසේ ලියමිනි: “දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10) යෙහෝවඃවහන්සේ පවා අගය කිරීමෙන් යුතුව මතක් කරනසේක් නම්, කෘතඥපූර්වක ස්වභාවයකින් යුතුව අපත් එසේම කළ යුතු නොවේද?
සත්‍යය අලුතෙන් හඳුනාගත් අයට මේ පිළිබඳ ඓතිහාසික අවබෝධයක්, ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේමර්ස් ඔෆ් ගෝඩ්ස් කිංඩම් යන ප්රකාශනයෙන් ලබාගැනීමට හැකියි.a තවදුරටත්, දිගු කාලයක් සේවය කළ සහෝදර සහෝදරියන් සිටින පවුලකට හෝ එවැනි සාමාජිකයන් සිටින ක්‍රිස්තියානි සභාවකට අයිති වීමට අපට වරප්‍රසාද ලැබී තිබේ නම්, ද්විතීය කථාව 32:7හි අපට උනන්දු කරන්නේ, “පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය” කියාය.
එසේය, පුරාණයේ දේවභක්තික ක්‍රියාවන් නැවත මතකයට නැඟීම අපගේ ක්‍රිස්තියානි සේවයෙහි නොකඩවා, ප්‍රීතියෙන් යුතුව විඳදරාගැනීමට පෙලඹවිය හැකියි. තවදුරටත්, ඉතිහාසය තුළ අප විසින් ඉගෙනගැනීමට අවශ්‍ය පාඩම් අන්තර්ගත වී තිබේ. එමෙන්ම, දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ඇති ආත්මික පාරාදීසය ගැන මෙනෙහි කිරීම, විනීතභාවයේ සහ කෘතඥපූර්වකභාවයේ සුදුසු ගුණාංග උපදවයි. සැබවින්ම, “ගෙවීගිය දවස් සිහි කරන්න.”
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.