එවැන්ජලිස්තවරු වනු ඇත්තේ කවරහුද?
වසර 40කට පමණ පෙර ලෝක පල්ලි සංගමයේ රැස්වීමකදී, “එවැන්ජලිස්ත ස්ප්‍රීතුවක් පිළිබිඹු කිරීම ආරම්භ කිරීමට” හා ඔවුන්ගේ රැළවලට “එවැන්ජලිස්ත සේවයේ යෙදීමට” උගන්වන මෙන් සාමාජිකයන්ගෙන් උදක්ම ඉල්ලනු ලැබීය. නිකම්ම “අපගේ නිවෙස්වල ඉඳගෙන ඉඳීම මගින්” නොව, “ඔවුන් ළඟට යෑම මගින්” නව ගෝලයන් ගෙන ඒමේ අවශ්‍යතාව ගැන කතෝලික පූජකයෙකු වන ජෝන් ඒ. ඕ’බ්‍රයන් වසර පහකට පසුව ලීවේය. වර්ෂ 1994දී දෙවන ජුවාම් පාවුලු පාප් පැවසුවේ, මෙය “සුවිශේෂය පිළිබඳ ලජ්ජා වීමට කාලයක් නෙවෙයි; ඒත් ප්‍රසිද්ධියේ දේශනා කිරීමට ඇති කාලයක්” බවයි.
එවැන්ජලිස්තවරුන් සඳහා වරින් වර කරන ලද මෙම ඉල්ලීම් බිහිරි අලින්ට වීනා වැයීමකට සමාන යමක් බව පැහැදිලි විය. ඉල්ලාවාරා මර්කියුරි නමැති ඕස්ට්‍රේලියානු ප්රවෘත්ති පත්‍රයේ ලිපියක මෙසේ සඳහන් වේ: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එළඹෙන ආකාරය ඔවුන්ගේ ඇදහිල්ලට ඈඳාගැනීමට දකුණු වෙරළබඩ කතෝලිකයන්ට එතරම් උනන්දුවක් නැත.” එවැන්ජලිස්ත සේවයෙහි යෙදීම යනු “කතෝලිකයන්ගේ ජීවයේ කොටසක් නෙවෙයි” කියා එක් මිනිසෙක් පැවසුවේය. වෙනත් කෙනෙක් මෙසේ තර්ක කළේය: “පල්ලියට යමක් කිරීමට දිරිගැන්වීම හොඳයි; ඒත් දොරවල්වලට තට්ටු කිරීමෙන් නෙවෙයි. සමහරවිට පාසැල් මාර්ගයෙන් හෝ තැපැල් සේවය මාර්ගයෙන් කිරීම වඩා හොඳ දෙයක් වේවි.” ආසන දෙව්මැදුරේ නායක දේවගැතිවරයා පවා පාප්ගේ ප්‍රකාශයන් අර්ථකථනය කරන්නේ කෙසේද කියා එතරම් හොඳින් දැන සිටියේ නැත. “ඔවුන් දන්නා සුවිශේෂය ඔවුන්ගේම ජීවිතයේ ක්රියාවේ යෙදවීමට අපි මිනිසුන්ට දිරිගන්වමු” කියා ඔහු පැවසුවේය. “ඒත් දොරවලට තට්ටු කරමින් එසේ කිරීමට සිදුවීම සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්.” ප්රවෘත්ති පත්‍ර ලිපියේ සිරස්තලය එය මෙසේ හොඳින් සාරාංශ කරයි: “දේශනා කිරීමට වූ පාප්ගේ ඉල්ලීමට කතෝලිකයන් කැමති නැහැ.”
ක්‍රිස්තියානි ලෝකය එවැන්ජලිස්ත සේවය කිරීමට අසමත්ව සිටියදීත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් මිලියන පහකට වඩා වැඩිදෙනෙක් “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන යේසුස්වහන්සේගේ ආඥාව අනුගමනය කරමින් සිටිති. (මතෙව් 28:19, 20; සසඳන්න ක්‍රියා 5:42.) ඔවුන්ගේ ගෙයින් ගෙට දේශනා කිරීමේ වැඩය රටවල් 230කට වඩා වැඩි ගණනක සිදු වෙමින් පවතී. අනාගතය සඳහා ඇති බයිබලයේ පුදුමාකාර පොරොන්දුව කැපීපෙනෙන්ට සලස්වමින් ඔවුන් ගෙනෙන පණිවුඩය ඒකාන්ත එකකි. ඔවුන් පැමිණෙන ඊළඟ වතාවේදී ඔවුන් සමඟ කතා කිරීම හොඳ අදහසක් නොවේද?