යෙහෝවඃවහන්සේ මගේ රක්ෂස්ථානය වී තිබෙනවා
පනෙලපි මාක්රිස් පැවසූ පරිදි
“ඔයාගේ ස්වාමිපුරුෂයාව අත්හරින්න; ඔයාගේ සහෝදරයෝ ඔයාට වඩා හොඳ එක්කෙනෙක්ව හොයල දෙයි” කියා මගේ අම්මා මගෙන් උදක්ම ඉල්ලා සිටියා. මගේ ආදරණීය අම්මාට මගේ විවාහය අවලංගු කරන්ට වුවමනා වෙන්නේ ඇයි? ඇයව එතරම් කලබලයට පත් කර තිබුණේ මොකක්ද?
මා ඉපදුණේ, 1897දී, සාමෝස් නමැති ග්‍රීසියට අයිති දූපතේ, ආම්බිලෝස් කියන පුංචි ගම්මානයේ. අපේ පවුලේ අය ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලියේ භක්තිමත් සාමාජිකයන්. මා ඉපදෙන්ට ටික කලකට කලින් තාත්තා මියගොස් සිටි අතර, මටත් මගේ අම්මාටත් සහෝදරයන් තුන්දෙනාටත් එවකට තිබූ දිළිඳුභාවයෙන් මිදීමට වෙහෙසී වැඩ කරන්ට සිදු වුණා.
වර්ෂ 1914දී, පළවෙනි ලෝක මහා යුද්ධය ආරම්භ වුණත් එක්කම, මගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනාට හමුදාවට බැඳෙන්ට අණ කරනු ලැබුවා. එහෙත් එයින් වළකින්ට, ඔවුන් අමෙරිකාවට ගියා. ගෙදර ඉතිරි වුණේ අම්මාත් එක්ක මගේ සහෝදරයයි මමයි. අවුරුදු කිහිපයකට පසු, එනම් 1920දී, මම අපේ ගමේ සිටි තරුණ ගුරුවරයෙක් වන, දිමිට්රිස් සමඟ විවාහ වුණා.
වැදගත් බැහැදැකීමක්
මා විවාහ වූවාත් එක්කම වාගේ, අමෙරිකාවේ ඉන්න මගේ ලොකු මාමා අපිව බැහැදකින්ට ආවා. ඔහු අහම්බෙන් වගේ චාල්ස් ටේස් රසල් විසින් ලියන ලද ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් කියන වෙළුම්වලින් එකක් ගෙන ආවා. ඒක දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් ලෙස හඳුන්වන, බයිබල් ශිෂ්‍යයන්ගේ ප්රකාශනයක්.
දිමිට්රිස් ඒ පොත දිගහැර බලද්දී, එයා ළමා කාලයේ සිට පිළිතුරු සොයමින් සිටි ප්‍රශ්නයක් වන “මිනිසා මැරෙන විට සිදු වන්නේ කුමක්ද?” කියන විෂය හමු වුණා. උසස් පාසැලට යන කාලෙ ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලියේ ධර්මාචාර්යවරයෙකුගෙන් මේ විෂය ගැනම ප්‍රශ්න කර තිබුණත්, සෑහීමට පැමිණිය හැකි පිළිතුරක් ලැබී තිබුණේ නැහැ. එම ප්රකාශනය සැපයූ පැහැදිලි සහ තර්කානුකූල විස්තරයෙන් බොහෝ සේ සතුටට පත් දිමිට්රිස්, කෙළින්ම ගියේ ග්‍රීක් සිරිත හැටියට පිරිමින් රැස්වෙන ගමේ කෝපි කඩේටයි. එහිදී, ඔහු බයිබලයෙන් ඉගෙනගත් දේවල් විස්තර කරන්ට වුණා.
බයිබල් සත්‍යයන් වෙනුවෙන් අපේ ස්ථාවරය
මේ කාලයේදී පමණ—එනම් 1920 ගණන්වල මුල් කාලයේදී—ග්‍රීසිය තවත් යුද්ධයකට මැදි වුණා. දිමිට්රිස්ව යුද්ධ සේවය සඳහා බලෙන් ලියාපදිංචි කර, සුළු ආසියාවේ පිහිටි තුර්කිය වෙත යවනු ලැබුවා. ඔහුව තුවාල වී ගෙදර එවනු ලැබුවා. ඔහු යථා තත්වයට පත් වූ වහාම, මම ඔහු සමඟ සුළු ආසියාවේ, ස්මර්ණය වෙත ගියා (දැන් තුර්කියේ, ඉස්මීර්). වර්ෂ 1922දී, හදිස්සියේම යුද්ධය අවසන් වූ විට අපිට පලායන්ට සිදු වුණා. ඇත්තෙන්ම, සාමෝස් වෙත එන කැඩුණු බෝට්ටුවක නැඟී පැමිණියේ, යන්තමින් දිවි බේරාගෙනයි. ගෙදර පැමිණ අප යන්තමින් දන්නා දෙවියන්වහන්සේට—දණ ගසා ස්තූති කළා.
ඒ සමඟම, දූපතේ ප්‍රධාන නගරය වන වාතීහි පාසැලක ඉගැන්වීමට දිමිට්රිස්ට පැවරුම් ලැබුණා. ඔහු බයිබල් ශිෂ්‍යයන්ගේ පොත් පත් දිගටම කියවමින් සිටි අතර, එක වැසි සහිත රාත්‍රියක දූපතක් වන චිඔස්හි සිට මිනිසුන් දෙදෙනෙක් අපව බැහැදැකීමට පැමිණියා. ඔවුන් අමෙරිකාවේ සිට නැවත පැමිණ සිටියේ, පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් ලෙස හඳුන්වන කෝල්පෝටර්වරු හැටියටයි. එදා රෑ ඒ දෙදෙනා අප සමඟ සිටි අතර, ඒ අය, දෙවියන්වහන්සේගේ පොරොන්දු ගැන බොහෝ දේ අපට කතා කළා.
ඊටපසුව, දිමිට්රිස් මට මෙහෙම කිව්වා: “පිනෙලපි, මට තේරෙනවා මේක සත්‍යය කියලා; මම ඒක අනුගමනය කරන්න ඕනෙ. ඒ කියන්නේ, මට ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලියේ ගීතිකා ගායනා කරන එක නවත්වන්නත්, ඉස්කෝලෙ ළමයින් එක්ක පල්ලියට යන්නත් බැහැයි කියන එකයි.” යෙහෝවඃවහන්සේ ගැන අපගේ දැනුම සීමා සහිත වුවත්, උන්වහන්සේට සේවය කිරීමට වූ අපගේ ආශාව තදබලව තිබුණා. ඉතිං මම කිව්වා: “දිගටම කරගෙන යන්න. මම ඔයාට බාධාවක් වෙන්නේ නැහැ” කියලා.
“ඔව්, ඒත් අපි කරන්න යන දේ ආරංචි වුණොත් මගේ රස්සාව නැති වෙනවා,” ඔහු මඳක් පසුබට වෙමින් කියා සිටියා.
“කමක් නැහැ, හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ, උගන්වලාද? අපි තරුණයි; හයිහත්තිය තියනවා; දෙවියන්වහන්සේගේ උදව්වෙන් අපිට වෙන මොකක් හරි හොයාගන්න පුළුවන්” කියලා මම කිව්වා.
මේ කාලයේදීම වගේ, තවත් බයිබල් ශිෂ්‍යයෙක්—එනම් කෝල්පෝටර්වරයෙක්—සාමෝස් වෙත පැමිණ සිටි බව දැනගත්තා. ඔහු විසින් ප්‍රසිද්ධ බයිබල් කතාවක් දීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කළ බව ආරංචි වූ විට, අපි ඔහුව සොයන්න ගියා. ග්‍රීක් ඔර්තඩොක්ස් ධර්මාචාර්යයන් දෙදෙනෙකු සමඟ සාප්පුවක් ඇතුළේ කතා කරමින් සිටියදී, අපි ඔහුව සොයාගත්තා. බයිබලයේ ඇති තමන්ගේ විශ්වාසයන් ඔප්පු කරගැනීමට නොහැකි වීම හේතුවෙන්, මේ ධර්මාචාර්යයන් ඉක්මනින් එතැනින් පිටව ගියා. කෝල්පෝටර්වරයාගේ දැනුමෙන් විස්මයට පත් මගේ ස්වාමිපුරුෂයා: “ඔබ කොහොමද එච්චර පහසුවෙන් බයිබලය පාවිච්චි කළේ” කියා ඇසුවා.
“අපි බයිබලේ ක්‍රමානුකූලව අධ්‍යයනය කරනවා,” ඔහු පිළිතුරු දුන්නා. ඔහු ඔහුගේ බෑගය හැර, ද හාප් ඔෆ් ගෝඩ් යන පාඩම් පොත රැගෙන, එවැනි පොතක් අධ්‍යයනය කරන්නේ කෙසේද කියා පෙන්නුවා. අපි එය ඉගෙනගැනීමට මහත් ඕනෑකමකින් සිටි නිසා, මගේ ස්වාමිපුරුෂයා, මා මෙන්ම කෝල්පෝටර්වරයා හා තව මිනිසුන් දෙදෙනෙකුද, කඩහිමියා සමඟ වහාම ඔහුගේ නිවසට ගියා. කෝල්පෝටර්වරයා අප සියල්ලන් අත ද හාප් ඔෆ් ගෝඩ් පොතේ පිටපතක් බැගින් තැබූ අතර, ඒ සමඟම පාඩම ආරම්භ කළා. අපි අපගේ පාඩම මධ්‍යම රාත්‍රිය වන තුරුම කරගෙන ගිය අතර, බයිබල් ශිෂ්‍යයන් විසින් ගීතිකා ගායනා කරන හැටි එළිවන ජාමයෙහි ඉගෙනගත්තා.
ඒ මොහොතේ සිට, මම දිනකට පැය කිහිපයක් බයිබලය පාඩම් කිරීම ආරම්භ කළා. පිටරටවල සිටි සහෝදරයන් දිගටම බයිබල් පාඩම් ආධාරක සැපයීමෙහි යෙදී සිටියා. වර්ෂ 1926 ජනවාරි මාසයේදී, දෙවියන්වහන්සේට යාච්ඤාවෙන් මම මගේ කැපවීම කර, උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම කිරීමට බාරයක් වුණා. එම අවුරුද්දේම, ග්රීෂ්මයේ මමත් මගේ ස්වාමිපුරුෂයාත් අපගේ කැපවීම වතුර බව්තීස්මය තුළින් සංකේතවත් කළා. අපි ඉගෙනගනිමින් තිබූ දේවල් ගැන අන්‍යයන්ට කතා කිරීමට තිබූ අපේ තද ආශාව නිසා, මෙසෙජ් ඔෆ් හෝප් යන මැයෙන් යුත් පත්‍රිකාව සමඟ ගෙයින් ගෙට සේවය ආරම්භ කළා.
ප්‍රබල විරුද්ධවාදිකම් විඳදරාගැනීම
එක් දිනක්, පුංචි ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලියක පැවැත්වූ දේවමෙහෙයකට සහභාගිවන්ට තරුණ ස්ත්‍රියක් මට ආරාධනා කළා. “මම ඒ විදිහට දෙවියන්වහන්සේට නමස්කාර කරන එක නවත්වලයි තියෙන්නේ” කියා පහදා දුන්නා. “බයිබලේ උගන්වන විදිහට මම දැන් නමස්කාර කරන්නේ ආත්මයෙනුයි සැබෑකමිනුයි.” (යොහන් 4:23, 24) එයින් පුදුමයට පත් ඇය මගේ පුරුෂයාවත් සම්බන්ධ කර, වෙලා තියෙන දේ ගැන හැම තැනම කියන්න වුණා.
සෑම කෙනෙක්ම වාගේ විරුද්ධ වෙන්න පටන්ගත්තා. අපේ ගෙදරවත්, දූපතේ උනන්දුව දැක්වූ කිහිපදෙනෙක් සමඟ පැවැත්වූ, රැස්වීමේදීවත්—කොහේදිවත් සාමය සොයාගැනීමට බැරි වුණා. ඔර්තඩොක්ස් පූජකයන්ගේ පෙලඹවීම මත, අප රැස්වීම් පවත්වන තැනට පිටින් රැස්වූ මිනිස්සු, ගල් ගසමින් නිග්‍රහ කරන්ට වුණා.
අපි මෙසෙජ් ඔෆ් හෝප් පත්‍රිකාව බෙදා දුන්නාට පසුව, ළමුන් අප අවට රැස්වී, “සහස්රවර්ෂිකයෝ” කියාද වෙනත් අවනම්බු ගෙන දෙන වචන කියාද කෑගැසුවා. මගේ ස්වාමිපුරුෂයාගේ හවුල් සේවකයන්ද ඔහුට කරදර ඇති කරන්ට පටන්ගත්තා. වර්ෂ 1926 අගභාගයේදී, ඔහුට විරුද්ධව නඩු දමනු ලැබූ අතර, ප්‍රසිද්ධ-පාසැල් ගුරුවරයෙකු ලෙස පෙනී සිටීමට ඔහු සුදුසු නැති බවට වූ චෝදනාව මත, දවස් 15කට හිරභාරයට ගනු ලැබුවා.
අම්මාට මෙය ආරංචි වූ විට, මගේ ස්වාමිපුරුෂයාව අත්හරින ලෙස මට අවවාද කළා. “මට ඇහුම්කන් දෙන්න, මගේ ආදර අම්මේ,” මම පිළිතුරු දුන්නා, “මම වගේම අම්මත් දන්නවා මම අම්මාට කොච්චර ආදරේද, ඒවගේම ගෞරව කරනවාද කියලා. ඒත්, සැබෑ දෙවි වූ යෙහෝවඃවහන්සේට නමස්කාර කරද්දී අම්මාව අපට බාධාවක් වෙන්න ඉඩ දෙන්න බැහැ.” ඇය දැඩි කනස්සල්ලකින් ඇගේ ගම වෙත යන්ට ගියා.
එක්දහස් නවසිය විසිහතේදී, ඇතන්ස්හිදී, බයිබල් ශිෂ්‍යයන්ගේ එක්රැස්වීමක් පැවැත්වුණු අතර, එයට සහභාගි වීමට යෙහෝවඃවහන්සේ අපිට මං සැලසුවා. සෙසු ඇදහිලිවන්තයන් සමඟ එකට රැස්වීම පුදුමාකාර අද්දැකීමක් වූ අතර, ආත්මිකව ශක්තිමත් කරනු ලැබුවා. සාමෝස් වෙත එන අතරතුරේදී, අපේ දූපතේ ඇති නගරවලත් ගම්වලත් ඒ ටෙස්ටිමනි ටු ද රූලස් ඔෆ් ද වර්ල්ඩ් යන පත්‍රිකාවේ පිටපත් 5000ක් බෙදාහැරියා.
මේ කාලය වන විට, දිමිට්රිස්ව ඔහුගේ ගුරු වෘත්තියෙන් අස් කර තිබූ අතර, අපට එරෙහිව තිබූ අගතීන් නිසා, රැකියාවක් සෙවීම කොහෙත්ම පහසු දෙයක් වුණේ නැහැ. එහෙත් මට ඇඳුම් මහන්ට පුළුවන් නිසාත්, දිමිට්රිස් නිපුණ පින්තාරුකරුවෙක් වූ නිසාත් අපගේ අවශ්‍යතා සපුරාගන්ට මුදල් උපයාගන්ට හැකි වුණා. වර්ෂ 1928දී, මගේ ස්වාමිපුරුෂයා ඇතුළු සාමෝස්හි සිටි වෙනත් ක්‍රිස්තියානි සහෝදරයන් හතරදෙනෙකු ශුභාරංචිය දේශනා කිරීම නිසා, මාස දෙකකට සිරභාරයට ගනු ලැබුවා. සිරගත නොවූ එකම බයිබල් ශිෂ්‍යයා හැටියට, සිරභාරයේ සිටි අයට ආහාර සපයන්ට මට හැකි වුණා.
තදබල ආබාධ සමඟ සටන් කිරීම
එක් අවස්ථාවක, ඒ කාලයේදී හඳුනාගෙන නොතිබුණු රෝගයක් වන ටියුබකුලෝසීය වංශදාහ රෝගයට මං ගොදුරු වුණා. මට මගේ කෑම රුචිය නැති වී, උණ නොනැවතී ඉහළ මට්ටමක පැවතුණා. මෙම සත්කාරවලට අයත් වුණේ, මගේ බෙල්ලේ සිට ගාත්රා දක්වා සකස් කරන ලද පැලැස්තරයකට බැස සිටීමයි. මගේ ප්‍රතිකාරය දිගටම කරගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට මගේ ස්වාමිපුරුෂයා ඉඩම් කැබැල්ලක් වික්කා. කනස්සල්ලෙන්, ශක්තිය ඉල්ලා දිනපතාම මං දෙවියන්වහන්සේට යාච්ඤා කළා.
නෑදෑයෝ මාව බලන්න ආපුවහම, නොනවත්වාම විරුද්ධවාදිකම් ඇවිස්සුවා. මේ සෑම ගැටලුවක්ම අද්දකින්නේ ආගම වෙනස් කළ නිසා කියා අම්මා කිව්වා. කිසි දෙයක් කරකියා ගත නොහැකිවූ මා, විඳදරාගැනීමට අවශ්‍ය ඉවසීම සහ ධෛර්යය අපේ ස්වර්ගීය පියාණන්ගෙන් ඉල්ලමින් කඳුළුවලින් කොට්ටය තෙමුවා.
මගේ ඇඳ ළඟ තිබූ මේසය මත, මාව බැලීමට පැමිණෙන්නන් සඳහා මගේ බයිබලයත්, පොත්පිංචත්, පත්‍රිකාත් තබා තිබුණා. මට ආත්මික දිරිගැන්වීම් නිරතුරුවම ලැබෙන විදිහට, අපේ පුංචි සභාවේ රැස්වීම්, අපේ ගෙදර පවත්වන්ට හැකිවීම ආශීර්වාදයක් වුණා. ඇතන්ස්හි සිට පැමිණි වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර නිසා අපිට තවත් ඉඩම් කැබැල්ලක් විකිණීමට සිදු වුණා.
ඒ එක්කම වගේ, සංචාරක අවේක්ෂකයා අපව බැහැදැකීමට ආවා. මා මේ තත්වයේ සිටීමත්, දිමිට්රිස්ට රැකියාවක් නැතුව සිටීමත් දැකීම ගැන ඔහු මහත් සේ කනගාටු වුණා. ලෙස්බොස් දූපතේ, මයිටලිනිහි ජීවත් වන්ට කටයුතු සැලසුම් කරගැනීමට ඔහු කාරුණිකව උපකාර කළා. වර්ෂ 1934දී, අපි එහි ගිය අතර, දිමිට්රිස්ට එහිදි රැකියාවක් ලබාගන්න පුළුවන් වුණා. මගේ අසනීපයේදී මාව බලාගත්, මවිතාකාර ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් එහිදීද අප සොයාගත්තා. වසර පහක ප්රතිකාරවලින් පසුව, ක්‍රම ක්‍රමයෙන් මම සම්පූර්ණ සුවය ලැබුවා.
කෙසේවෙතත්, 1946දී දෙවන ලෝක මහා යුද්ධය අවසන් වී ටික කාලෙකට පස්සේ, මාව නැවතත් තදබල ලෙස අසනීප වුණා; මේ වතාවේදී වැළඳුණේ, ටියුබකුලෝසීය පරිතානදාහ රෝගයයි. අධික උණ සහ තදබල වේදනාව නිසා මට පස්මසක් ඔත් යහනේ ගත කරන්ට සිදු වුණා. ඒත්, කලින් කිව්වා වගේ, යෙහෝවඃවහන්සේ ගැන අමුත්තන්ට කතා කිරීමෙන් මම කවදාවත් නැවතුණේ නැහැ. කාලයාගේ ඇවෑමෙන්, සෞඛ්‍යය අතින් මම යථා තත්වයට පැමිණියා.
විරුද්ධවාදිකම් මධ්‍යයේ පුරෝගාමී සේවය කිරීම
යුද්ධයෙන් පසු කාලවලදී, ග්‍රීසියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් බොහෝදෙනෙකු අද්දුටු දෙයක් නම්, අනුකම්පා රහිත විරෝධතායි. ගෙයින් ගෙට සේවයේ යෙදෙද්දී, බොහෝ අවස්ථාවල අපව අත්අඩංගුවට ගනු ලැබුවා. මුළුමනින්ම අවුරුද්දක පමණ කාලයක් පුරා මගේ ස්වාමිපුරුෂයාට සිරභාරයේ ගත කරන්ට සිදු වී තිබෙනවා. අපි දේශනා සේවයේ යන්න පටන්ගන්න කොට, සාමාන්‍යයෙන් රාත්‍රි කාලය පොලිසියේ ගත කරන්න සැලසුම් කරගන්නවා. ඒත් යෙහෝවඃවහන්සේ කිසිදා අපව අහක දැමුවේ නැහැ. උන්වහන්සේ සැමවිටම අපට විඳදරාගැනීම සඳහා අවශ්‍ය කරන ධෛර්යය හා ශක්තිය දානය කර තිබෙනවා.
එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී, මා, ඉන්ෆෝර්මන්ට්හි (දැන් අපගේ රාජ්‍ය සේවාව) නිවාඩු කාලයේ පුරෝගාමී සේවය ගැන කියෙව්වා. සේවය තුළ මාසයකට පැය 75ක් කැප කිරීමේ මෙම අංගයේ සහභාගි වන්ට මම තීරණය කළා. ප්‍රතිඵලයක් හැටියට, මගේ නැවතබැලීම් සහ බයිබල් පාඩම් වැඩි වුණා; සතියකට පාඩම් 17ක් පවත්වපු කාලයකුත් මට තිබුණා. මම ව්‍යාපාරික ප්‍රදේශයක් වන මයිටලිනිහි සඟරා මාර්ගයක් පවත්වාගත් අතරම, කඩසාප්පු, කාර්යාල සහ බැංකුවලට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා 300ක් පමණ නොකඩවාම බෙදා දෙන්ට හැකි වී තිබෙන්නේද මේ ප්රදේශයේමයි.
එක්දහස් නවසිය හැටහතරේදී, සංචාරක අවේක්ෂකයෙකු අප සභාවේ සේවය කිරීමට පැමිණි විට මෙහෙම කිව්වා: “සහෝදරී පනෙලපි, ඔයාගේ ප්රචාරක කාඩ් එක බලද්දී මං දැක්කා, ඔයා සේවය තුළ මොනතරම් පුදුමාකාර ප්‍රතිඵල ලබාගෙන තියෙනවාද කියලා. ඇයි ඔයා ස්ථාවර පුරෝගාමී පෝර්මයක් පුරවන්නේ නැත්තේ?” මම කොයි වෙලේත් ඔහුගේ දිරිගැන්වීම ගැන ස්තුතිවන්ත වෙනවා; දශක තුනක් තිස්සේ, පූර්ණ කාලීන සේවය මගේ ප්‍රීතිය වී තිබෙනවා.
විපාකදායී අද්දැකීමක්
ග්‍රීක් සරණාගතයන් සිටි, ජනයා බෙහෙවින් ගහන වූ ප්‍රදේශයක් වන මයිටලිනිවල ලන්ගාඩා නම් අසල්වැසි ප්‍රදේශයක් තිබෙනවා. අපිට කලින් වතාවල විඳින්ට වූ උමතු විරුද්ධකම් නිසා එහි ගෙයින් ගෙට යෑමෙන් වැළකුණා. කෙසේවෙතත්, මගේ ස්වාමිපුරුෂයා සිරභාරයේ සිටින විට ඔහුව දැකීමට මට ඒ ප්‍රදේශය හරහා ගමන් කරන්ට සිදු වුණා. එක්තරා වැසි දිනක එක ස්ත්‍රියක් මගේ පුරුෂයා හිරභාරයේ සිටින්නේ ඇයිදැයි දැනගැනීමට මාව ඇගේ නිවසට ආරාධනා කළා. ඒකට හේතුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම බවත්, දැන් ඔහු යේසුස්වහන්සේ වින්දාක් මෙන් දුක් විඳින බවත් මං පැහැදිලි කළා.
වෙන අවස්ථාවකදී, තවත් ස්ත්‍රියක් ඇගේ නිවසට පැමිණෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මම එහි යන විටදී දැක්කේ, ඇය තවත් ස්ත්‍රීන් 12දෙනෙකුට ආරාධනා කර තිබූ බවයි. ඇති විය හැකි විරෝධතා බලාපොරොත්තු වෙමින්, කුමන තත්වයක් උද්ගත වුණත්, ප්‍රඥාව සහ ධෛර්යය දෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කළා. එම ස්ත්රීන්ට බොහෝ ප්‍රශ්න තිබූ අතර, සමහරුන් විරෝධතා නැංවූවත් ලියවිලිවලින් පිළිතුරු දීමට මට හැකි වුණා. මම එහෙන් පිටත් වීමට නැඟිටින විටදී, ගේ හිමි ස්ත්‍රිය ඊළඟ දවසේදී නැවත එන ලෙස කියා සිටියා. සන්තෝෂයෙන්, මම එම ඇරයුම පිළිගත්තා. ඊළඟ දවසේදී තවත් සහයකයෙකු සමඟ එහෙ යන කොට, මෙම ස්ත්‍රීන් ඒ වන විටත් බලාගෙන සිටියා.
ඉන්පසුව, අපගේ ශුද්ධ ලියවිලිමය සාකච්ඡා ස්ථාවර පදනමක් මත කළ අතර, බොහෝ බයිබල් පාඩම් ආරම්භ කෙරුණා. ස්ත්‍රීන් ගණනාවක් නිවැරදි දැනුම තුළ ප්රගතිශීලී වූ අතර, ඔවුන්ගේ පවුල්වල අයද එසේම වර්ධනය වුණා. මෙම කණ්ඩායම පසුකාලයේදී මයිටලිනිහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන්ගේ නව සභාවක කේන්ද්‍රය ලෙස ක්‍රියා කරන්ට වුණා.
යෙහෝවඃවහන්සේ මට යහපත කර තිබෙනවා
ගත වූ වසර ගණනාව පුරා යෙහෝවඃවහන්සේට සේවය කිරීමට වූ මගේ සහ මගේ පුරුෂයාගේ ප්රයත්නයන්ට උන්වහන්සේ විපාක දී තිබෙනවා. එක්දහස් නවසිය විසි ගණන්වල සාමෝස්හි සිටි සාක්ෂිකරුවන් අතළොස්සක සිට ප්‍රචාරකයන් 130ක් පමණ සිටින සභාවන් දෙකක් සහ කණ්ඩායමක් දක්වා එය වැඩී තිබෙනවා. ලෙස්බොස් දූපතේ, රාජ්‍ය ප්‍රචාරකයන් 430දෙනෙක් සභාවන් හතරක සහ කණ්ඩායම් පහක සිටිනවා. වර්ෂ 1977 ඔහුගේ මරණය සිදු වන තුරු මගේ ස්වාමිපුරුෂයා දෙවියන්වහන්සේගේ රාජ්‍ය ප්‍රචාරය කිරීමෙහි ක්‍රියාශීලීව යෙදුණා. අප උපකාර කළ අය තවමත් සේවය තුළ ජ්වලිතව සිටිනවා දැකීම මොනතරම් වරප්‍රසාදයක්ද! මොකද කිව්වොත්, ඔවුන්ගේ දරුවන්ගෙන්, මුනුපුරු මිනිපිරියන්ගෙන් සහ මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන්ගෙන් යෙහෝවඃවහන්සේට නමස්කාර කරන මහත් සමූහයක් සකස්වන නිසයි!
ක්‍රිස්තියානි මාර්ගය තුළ මගේ සේවය, වසර 70කට වඩා දිවයන අතර, එය පහසු දෙයක් වුණා නොවේ. එහෙත් යෙහෝවඃවහන්සේ සම කළ නොහැකි බලකොටුවක් වී තිබෙනවා. බොහෝ වයස්ගත වීම හා දුර්වල වෙමින් පවතින සෞඛ්‍යය නිසා මම ඇඳටම වෙලා; මට කරන්ට පුළුවන් දේශනා සේවය සීමා සහිතයි. ඒත්, ගීතිකාකාරයා කළා වගේ මට යෙහෝවඃවහන්සේට මෙහෙම කියතෑකි: “උන්වහන්සේ [ඔබ] මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේය.”—ගීතාවලිය 91:2
(මෙම ලිපිය පිළියෙළ කරද්දී, සහෝදරී මාක්රිස් මියගියාය. ඇයට තිබුණේ ස්වර්ගික බලාපොරොත්තුවකි.)
[26වන පිටුවේ පින්තූරය]
ඇගේ ස්වාමිපුරුෂයා සමඟ 1955දී
[26වන පිටුවේ පින්තූරය]
1997 ජනවාරිවල සහෝදරී මාක්රිස් අවුරුදු 100 සම්පූර්ණ කරන්නයි හිටියේ