ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
රෝම හේවායන් මෙය අපේක්ෂා කළේ නැත. යුදෙව් කැරලිකාර හමුදාවේ අන්තිම රක්ෂාස්ථානය වූ කඳුකරයේ පිහිටි මසදා බලකොටුවට වේගයෙන් ඇතුල් වූ ඔවුහු, තම සතුරන්ගේ බලවත් ප්රහාරයටත්, රණශූරයන්ගේ ඝෝෂාවටත්, ස්ත්‍රීන් හා දරුවන්ගේ කෑමොර ගැසීම්වලටත් සූදානමින් සිටියෝය. ඒ වෙනුවට ඔවුන්ට ඇසුණේ දැවෙන ගිනිදැල්වල ශබ්දය පමණි. ඔවුන් දැවී යන බලකොටුව පරීක්ෂා කර බලනවාත් සමඟම රෝමානුවන්ට බියකරු සත්‍යය දැනගන්ට ලැබිණ: ඔවුන්ගේ සතුරන් 960දෙනෙක් පමණ එවිටමත් මියගොස් සිටියෝය! යුදෙව් රණශූරයෝ ක්‍රමානුකූලව ඔවුන්ගේම පවුල්ද, ඉන්පසුව එකිනෙකාවද ඝාතනය කර තිබුණහ. අන්තිමට ඉතිරිව සිටි මනුෂ්‍යයා සියදිවි හානි කරගෙන තිබිණ.a මෙම භයංකර සමූලඝාතනයටත් දිවිනසාගැනීමටත් ඔවුන්ව මඟ පෑදුවේ කුමක්ද?
ඒ කාලයේ විසූ ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, වැදගත් සාධකයක් වූයේ අමරණීය ප්‍රාණය පිළිබඳ විශ්වාසයයි. රෝමවරුන් අතින් මැරුම්කෑමට හෝ වහල්කමට හසුවීමට වඩා සියදිවි නසාගැනීම වඩාත් ගෞරවාන්විත බව පිළිගැනීමට තම භාරයේ සිටි මිනිසුන්ව පෙලඹවීම සඳහා, මසදාහි අතිඋද්යෝගවාදීන්ගේ නායකයා වූ එලියේසර් බෙන් ජායීර් මුලින් උත්සාහ කර තිබිණ. ඔවුන් පසුබට වනවා දුටු ඔහු, ප්‍රාණය පිළිබඳ උද්යෝගවත් කතාවක් ඉදිරිපත් කිරීමට පටන්ගත්තේය. ශරීරය වනාහි හුදෙක් ප්‍රාණය අවහිර කරන යමක් නැත්නම් හිරගෙයක් වූ බව ඔහු ඔවුන්ට කීවේය. “එහෙත් එය පොළොවට ඇද තබා හිර කරන බරින් නිදහස් කරනු ලැබූ විට, ප්‍රාණය එයට නියමිත ස්ථානයට නැවත යන අතර, එවිට එය සැබවින්ම ආශීර්වාද ලත් බලයකට හා මුළුමනින්ම අසීමිත වූ ශක්තියකට පංගුකාර වී දෙවියන්වහන්සේ මෙන් මනුෂ්‍ය ඇස්වලට අදෘශ්‍යමානව සිටී,” යයි ඔහු තවදුරටත් පැවසුවේය.
ප්‍රතිචාරය කුමක් වීද? එලියේසර් මේ ආකාරයට සෑහෙන වේලාවක් කතා කිරීමෙන් අනතුරුව, “ඔහුට සවන් දෙමින් සිටි සියල්ලෝම ඔහුගේ කතාව අවසන් වීමටත් කලින්, පාලනය කළ නොහැකි උද්යෝගයකින් යුතුව දිවි හානි කිරීමේ ක්‍රියාවට කඩිනමින් යොමු වූ” බව ජොසීෆස් වාර්තා කරයි. ජොසීෆස් තවදුරටත් මෙසේ පවසයි: “ඔවුහු සෑම කෙනෙකුම ඊළඟ පුද්ගලයාට වඩා ඉක්මනින් කාර්යය කිරීමට බලවත් ඕනෑකමක් ඇතුව ආවේශ වූවන් මෙන් නොපමාව පිටත්ව ගියෝය, . . . තම භාර්යාවන්, දරුවන් සහ තමුන්වම ඝාතනය කිරීමට තරම් නොවැළැක්විය හැකි ආශාවක් ඔවුන්ව ග්‍රහණය කර තිබිණ.”
මරණය සම්බන්ධව සාමාන්‍ය මිනිස් දෘෂ්ටිය වෙනස් කිරීමට, අමරණීය ප්‍රාණය පිළිබඳ මූලධර්මය කෙතරම් ගැඹුරින් බලපානවාද යන්න පැහැදිලි කිරීමට මෙම භයංකර උදාහරණය උපකාර කරයි. මරණය මිනිසාගේ දරුණුතම සතුරා ලෙස නොව, නමුත් වඩා උසස් පැවැත්මක් භුක්තිවිඳීමට ප්‍රාණය නිදහස් කරන මාර්ගයක් ලෙස සැලකීමට එය විශ්වාස කරන අයට උගන්වනු ලැබේ. එහෙත් එම යුදෙව් අතිඋද්යෝගවාදීන් මෙයාකාරයෙන් විශ්වාස කළේ මන්ද? මිනිසා තුළ සිහිය ඇති ආත්මයක් එනම් මරණින් පසු බේරී ජීවත් වන ප්‍රාණයක් තිබෙන බවට ඔවුන්ගේ ශුද්ධ ලියවිලි වන හෙබ්‍රෙව් ලියවිලිවල උගන්වන බව බොහෝදෙනෙකු සිතනු ඇත. එය සැබෑවක්ද?
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ප්‍රාණය
සරලව කියනවා නම්, නැත. ප්‍රාණය යනු ඔබ තුළ තිබෙන යමක් නොව, නමුත් එය ඔබම බව බයිබලයේ මුල්ම පොත වන උත්පත්ති පොතේම, අපට පවසා තිබේ. පළමු මිනිසා වූ ආදම්ගේ මැවීම පිළිබඳව අපට මෙසේ කියවීමට තිබේ: “මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.” (උත්පත්ති 2:7) ප්‍රාණය සඳහා මෙහි භාවිත වන හෙබ්‍රෙව් වචනය වන නෙʹෆෙෂ්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල 700 වාරයකටත් වඩා වැඩියෙන් දක්නට ලැබෙන අතර, එය මිනිසාගෙන් වෙන් වූ, දිව්‍යමය, ආත්මික කොටසක් වන බවට වූ අදහස, එක් වතාවක්වත් ගෙනහැර දක්වා නැත. මීට පටහැනිව, ප්‍රාණය වනාහි පැහැදිලි, ස්පර්ශ කළ හැකි, ශාරීරික දෙයකි.
පහත සඳහන් බයිබල් පද ඔබගේම බයිබලයෙන් පරීක්ෂා කර බලන්න; මන්දයත් නෙʹෆෙෂ් යන හෙබ්‍රෙව් වචනය සෑම එකකම දක්නට ලැබෙන බැවිනි. ප්‍රාණය, අවදානමකට, අනතුරකට සහ පැහැරගෙන යනු ලැබීමට පවා ලක් විය හැකි බව ඒවා පැහැදිලිවම පෙන්වයි. (ද්විතීය කථාව 24:7, NW; විනිශ්චයකාරයන් 9:17, NW; 1 සාමුවෙල් 19:11); දේවල් ස්පර්ශ කිරීමටත් (යෝබ් 6:7, NW); විලංගු ලා සිටීමටත් (ගීතාවලිය 105:18, NW); කෑමට ආශාවීමටත්, නිරාහාරව සිටීමෙන් පීඩා විඳීමටත්, කුසගින්නෙන් සහ පිපාසයෙන් ක්ලාන්ත වීමටත්; බෙලහීන කරවන රෝගවලින් හෝ ශෝකයේ ප්‍රතිඵලයක් ලෙස නිදාගැනීමට නොහැකිකම නිසා පීඩා විඳීමටත්, ප්‍රාණයට හැකි බව ඒවා පැහැදිලිවම පෙන්වයි. (ද්විතීය කථාව 12:20, NW; ගීතාවලිය 35:13, NW; ගීතා 69:10 NW; ගීතා 106:15 NW; ගීතා 107:9 NW; ගීතා 119:28 NW) වෙනත් ආකාරයකින් කියනවා නම්, ඔබගේ ප්‍රාණය පුද්ගලයා වන ඔබම නිසා, ඔබට අද්දැකිය හැකි ඕනෑම දෙයක් ඔබගේ ප්‍රාණයට අද්දැකිය හැක.b
එසේනම්, සැබවින්ම ප්‍රාණයට මියයා හැකි බව ඉන් අදහස් වේද? එසේය. අමරණීය ප්‍රාණයක් ලෙස සඳහන් වනවාට පටහැනිව, මිනිස් ප්‍රාණය, “සිඳදමනු” ලැබීම හෝ වැරදි කිරීම නිසා ඝාතනය කරනු ලැබීම, මාරාන්තික ලෙස පහර ලැබීම, මරනු ලැබීම, විනාශ කරනු ලැබීම සහ කැබලිවලට ඉරා දමනු ලැබීම ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පවසා තිබේ. (නික්මයාම 31:14, NW; ද්විතීය කථාව 19:6, NW; ද්වි 22:26, NW; ගීතාවලිය 7:2, NW) “පව්කරන ප්‍රාණයම නසින්නේය” යයි එසකියෙල් 18:4 පවසයි. අප සියලුදෙනාම පව් කරන බැවින්, මනුෂ්‍ය ප්‍රාණවල පොදු අවසානය මරණය බව පැහැදිලිය. (ගීතාවලිය 51:5) පාපය සඳහා දණ්ඩනය මරණය බව මිසක, ආත්ම විෂයකට සහ අමරණීයභාවයට මාරු වන බවක් පළමු මිනිසා වූ ආදම්ට පවසා නොතිබිණ. (උත්පත්ති 2:17) එමෙන්ම ඔහු පව් කළ විට, මෙම දඬුවම ප්‍රකාශ කරන ලදි: “නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) ආදම් සහ ඒව මියගිය විට, ඔවුන් බයිබලය බොහෝවිට යොමු දක්වන පරිදි ‘මළ ප්‍රාණ’ හෝ ‘මියගිය ප්‍රාණ’ බවට පත් වූහ.—ගණන් කථාව 5:2, NW; ගණන් 6:6, NW.
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් ප්‍රාණය ගැන, දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා මෙසේ පැවසීම පුදුමයට හේතුවක් නොවේ: “පරණ ගිවිසුමේ මිනිසා පිළිබඳ වූ සංකල්පය එක්සත්කමක් මිස ප්‍රාණයේ හා ශරීරයේ සංයෝග වීමක් නොවේ.” එය තවදුරටත් මෙසේ පවසයි: “නෙෆෙෂ් . . . ශරීරයෙන් වෙන් වී ක්‍රියා කරන බව කිසිදා අදහස් කර නොමැත.”
එසේනම්, ඇදහිලිවන්ත යුදෙව්වන්ට මරණය සම්බන්ධව තිබූ විශ්වාසය කුමක්ද? සරලව කියනවා නම්, ජීවිතයෙහි විරුද්ධ දෙය මරණය බව ඔවුහු විශ්වාස කළහ. ආත්මය, එනම් ජීවන බලය මනුෂ්‍යයෙකුගෙන් ඉවත් වූ විට කුමක් සිදු වේදැයි ගීතාවලිය 146:4 පවසයි: “ඔහුගේ හුස්ම [ආත්මය, NW] නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.”c ඒ හා සමානවම මළාහු “කිසිවක් නොදනිති” කියා සාලමොන් රජ ලීවේය.—දේශනාකාරයා 9:5.
එසේනම්, මසදාහි අතිඋද්යෝගවාදීන් වැනි පළමු ශතවර්ෂයේ බොහෝ යුදෙව්වන්ට ප්‍රාණයේ අමරණීයභාවය ගැන නිශ්චිතභාවයක් තිබුණේ මන්ද?
ග්‍රීක බලපෑම
යුදෙව්වන් මෙම අදහස ලබාගත්තේ බයිබලයෙන් නොව, නමුත් ග්‍රීකයන්ගෙනි. පොදු යුගයට පෙර 7වන සහ 5වන ශතවර්ෂ අතරතුරේදී, මෙම සංකල්පය ග්‍රීසියේ ගුප්ත ආගමික ලබ්ධිවලින් ග්‍රීක දර්ශනවාදයට ඇතුල් වූ බව පෙනේ. මතු ජීවිතයේදී නරක ප්‍රාණවලට වේදනාකාරි ප්‍රතිවිපාක ලැබීම පිළිබඳ අදහස බොහෝ කලක් තිස්සේ බහුතරයකට සිත් ඇදගන්නා දෙයක් වූ අතර, එම අදහස ස්ථිර වී පැතිර ගියේය. ප්‍රාණයේ නියම ස්වභාවය ගැන දර්ශනවාදීහු අනන්ත වාරයක් විවාද කළහ. මරණයේදී ගුමු ගුමු නද දෙමින්, හීන් හඬක් හෝ සරසර ගාන හඬක් නිකුත් කරමින් ප්‍රාණය විගස වෙන් වී පිට වන බව හෝමර් කියා සිටියේය. එපිකියුරස් කියා සිටියේ ප්‍රාණයට ඇත්තෙන්ම ඝනත්වයක් තිබෙන බවත්, ඒ හේතුවෙන් එය ඉතාමත්ම කුඩා වූ ශරීරයක් බවත්ය.d
එහෙත් අමරණීය ප්‍රාණයේ ඉගැන්වීමට වැඩියෙන්ම අනුබල දුන් පුද්ගලයා, පො.යු.පෙ. හතරවන ශතවර්ෂයේ සිටි ග්‍රීක දර්ශනවාදී ප්ලේටෝ විය හැකිය. ඔහුගේ ගුරුවරයාගේ, එනම් සොක්රටීස්ගේ මරණය පිළිබඳව ඔහු කළ විස්තරය බොහෝදුරට ශතවර්ෂ ගණනාවකට පසු මසදාහි සිටි අතිඋද්යෝගවාදීන්ට සමාන විශ්වාසයන් හෙළි කරයි. විශාරද ඕස්කාර් කුල්මාන් විස්තර කරන පරිදි, “සොක්රටීස් සම්පූර්ණ සමාදානයෙන් සහ සන්සුන්භාවයෙන් යුතුව මරණයට පත් වූයේ කෙසේද කියා ප්ලේටෝ අපට පෙන්නුම් කරයි. සොක්රටීස්ගේ මරණය ප්‍රසන්න මරණයකි. මෙහිදී මරණ භීතිය ගැන කිසිවක් නොදකින ලදි. සොක්රටීස්ට මරණයට බිය විය නොහැක, මන්දයත් ඇත්තෙන්ම එය අපව ශරීරයෙන් නිදහස් කරන බැවිනි. . . . මරණය ප්‍රාණයේ හොඳම මිතුරාය. ඔහු එසේ උගන්වන අතර, තම ඉගැන්වීම්වලට අනුකූලව පුදුම ආකාරයකට ඔහු මියයන්නේය.”
ක්‍රිස්තුස්වහන්සේට පෙර දෙවන ශතවර්ෂයේ මකබිවරුන්ගේ කාලපරිච්ඡේදයේදී, යුදෙව්වන් මෙම ඉගැන්වීම ග්‍රීකයන්ගෙන් ඈඳාගැනීමට පටන්ගත් බව පෙනේ. පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේදී, ඵරිසිවරුන් සහ එස්සෙනීයවරුන්—එනම් බලසම්පන්න ආගමික කණ්ඩායම් මෙම මූලධර්මය වැලඳගත් බව ජොසීෆස් අපට පවසයි. බොහෝදුරට එම යුගයේ රචිත සමහරක් කාව්‍යවල එම විශ්වාසයම පිළිබිඹු වේ.
කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කුමක් කිව හැකිද? උන්වහන්සෙත් උන්වහන්සේගේ අනුගාමිකයනුත් ග්‍රීක ආගමින් ලබාගත් මෙම අදහස ඉගැන්වීද?
ප්‍රාණය පිළිබඳ මුල් ක්‍රිස්තියානීන්ගේ අදහස
පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් ප්‍රාණය පිළිබඳව ග්‍රීකයන්ගේ අදහස් දැරුවේ නැත. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේගේ මිත්‍රයා වූ ලාසරුස්ගේ මරණය සලකා බලන්න. මරණයේදී නිදහසින් හා ප්‍රීතියෙන් පිට වූ අමරණීය ප්‍රාණයක් ලාසරුස්ට තිබුණේ නම්, යොහන් 11වන පරිච්ඡේදයේ විස්තරය මීට වඩා වෙනස් ස්වරූපයක් නොගනු ඇද්ද? ලාසරුස් ජීවමානව, හොඳ සුවයෙන් හා සිහියෙන් යුතුව ස්වර්ගයේ සිටියේ නම්, නිසැකවම යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට එය කියනු ඇත; මීට පටහැනිව, උන්වහන්සේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට එකඟව, ලාසරුස් සැතපී, සිහිසුන්ව සිටින බව ඔවුන්ට පැවසූසේක. (යොහ 11:11වන පදය) විස්මයජනක නව පැවැත්මක් තම මිත්‍රයා භුක්තිවිඳිමින් සිටියා නම්, නොඅනුමානවම යේසුස්වහන්සේ සතුටු වීමට තිබිණ; ඒ වෙනුවට, උන්වහන්සේ මෙම මරණය හේතුවෙන් ප්‍රසිද්ධියේ කඳුළු සැලූ බව අපට දක්නට ලැබේ. (යොහ 11:35වන පදය) නිසැකවම, ලාසරුස්ගේ ප්‍රාණය දිව්‍යමය අමරණීයභාවයෙන් යුතුව ස්වර්ගයෙහි ඉමහත් ප්‍රීතියක් භුක්තිවිඳිමින් තිබුණා නම්, රෝගාතුර වී මියයන මනුෂ්‍යවර්ගයා අතර අසම්පූර්ණ කායික ශරීරයක “හිරවී” තව අවුරුදු කිහිපයක් ජීවත්වීම පිණිස ඔහුව නැවත ගෙන්වීමට තරම් යේසුස්වහන්සේ කුරිරු නොවනු ඇත.
ලාසරුස් නිදහස් කරන ලද ශරීරයක් නොමැති ආත්මයක් ලෙස තමා ගත කළ ආශ්චර්යවත් දින සතර පිළිබඳව උනන්දුමත් විස්තර සමඟින් මරණයෙන් නැවත පැමිණියාද? නැත, ඔහු එසේ පැමිණියේ නැත. එය එසේ වන්නේ, එම මිනිසාගේ අද්දැකීම වචනින් විස්තර කළ නොහැකි තරමටම අපූර්ව එකක් වූ නිසායයි පවසමින්, අමරණීය ප්‍රාණයක් පිළිබඳ විශ්වාසකරන්නන් එයට ප්‍රතිචාර දක්වන්ට පුළුවන. එහෙත් එම තර්කය ඒත්තුගැන්විය නොහැක; අඩුම තරමින්, වචනින් විස්තර කිරීමට නොහැකි තරම් ආශ්චර්යවත් අද්දැකීමක් තමා ලද බවවත් ලාසරුස්ට තම ප්‍රේමනීයයන්ට කියන්ට නොහැකි වීද? ඒ වෙනුවට, මියගොස් සිටි කාලය තුළදී ලද කිසිම අද්දැකීමක් පිළිබඳව ලාසරුස් කිසිවක් පැවසුවේ නැත. වෙනත් කිසිම විෂයකට වඩා මනුෂ්‍යයන්ගේ දැඩි කුතුහලයට භාජන වී තිබෙන එකම විෂය—එනම් මරණය—සම්බන්ධයෙන් නිහඬව සිටීම ගැන සිතා බලන්න! එම නිහැඬියාව පැහැදිලි කළ හැක්කේ එක් ආකාරයකින් පමණි. පැවසීමට කිසිවක් තිබුණේ නැත. මළාහු සැතපී, සිහිසුන්ව සිටිති.
එසේනම්, මරණය වනාහි ප්‍රාණයේ මිතුරෙකු වශයෙන්, එනම් පැවැත්මේ එක් අවධියකින් තවත් අවධියකට මාරුවීමේ ආකාරයක් ලෙස බයිබලය පෙන්නුම් කරයිද? නැත! ප්‍රේරිත පාවුල් වැනි සැබෑ ක්‍රිස්තියානීන්ට මරණය කිසිසේත් මිතුරෙකු නොවීය; එය “අන්තිම සතුරා” විය. (1 කොරින්ති 15:26) එය පාපයේ සහ දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසීමේ ඍජු ප්‍රතිඵලයක් නිසා, මරණය ස්වාභාවික යමක් වශයෙන් නොව, නමුත් බිහිසුණු, අස්වාභාවික දෙයක් වශයෙන් ක්‍රිස්තියානීහු සලකති. (රෝම 5:12; 6:23) එය කිසිදාක මනුෂ්‍යවර්ගයා සඳහා වූ දෙවියන්වහන්සේගේ මුල් අරමුණේ කොටසක් නොවීය.
කෙසේවෙතත්, ප්‍රාණයේ මරණය සම්බන්ධයෙන් ගත් කල, සැබෑ ක්‍රිස්තියානීහු බලාපොරොත්තුවක් නොමැතිව නොසිටිති. ලාසරුස්ගේ නැවත නැඟිටීම, මියගිය ප්‍රාණ උදෙසා තිබෙන සැබෑ, ශුද්ධ ලියවිලිමය බලාපොරොත්තුව වන නැවත නැඟිටීම ගැන පැහැදිලිව පෙන්නුම් කරන බයිබල් විස්තරයන්ගෙන් එකකි. නැවත නැඟිටුවීමේ ආකාර දෙකක් ගැන බයිබලය උගන්වයි. ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ වුවත්, මිනීවළේ සැතපී සිටින මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයක් සඳහා මෙම පොළොව මත පාරාදීසයක සදාකාල ජීවනය සඳහා නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් ඇත. (ලූක් 23:43; යොහන් 5:28, 29; ක්‍රියා 24:15) යේසුස්වහන්සේ සිය “කුඩා රැළ” කියා යොමු දැක්වූ කුඩා කණ්ඩායමකට, ආත්ම ජීවීන් ලෙස ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා නැවත නැඟිටුවීමක් ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ද ඇතුළත් මොවුන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සමඟ මනුෂ්‍යවර්ගයා කෙරෙහි පාලනය කර, ඔවුන්ව නැවත පරිපූර්ණත්වයට පත් කරනු ඇත.—ලූක් 12:32; 1 කොරින්ති 15:53, 54; එළිදරව් 20:6.
එසේනම්, නැවත නැඟිටුවීම පිළිබඳව නොව, නමුත් මනුෂ්‍ය ප්‍රාණයේ අමරණීයභාවය පිළිබඳව ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි උගන්වනවා අපට දකින්ට ලැබෙන්නේ මන්ද? වර්ෂ 1959දී ද හාවර්ඩ් තියලොජිකල් රිවිව් නම් පොතේ දේවධර්මශාස්ත්රඥ වර්නර් යෙගර් විසින් සපයනු ලැබූ පිළිතුර සලකා බලන්න: “ක්‍රිස්තියානි මූලධර්මයේ ඉතිහාසය තුළ වඩාත්ම වැදගත් සාධකය වූයේ ක්‍රිස්තියානි දේවධර්ම ශාස්ත්රයේ පියා වන ඔරිගන්, ඇලෙක්සැන්ඩ්‍රියා පාසැලේදී ප්ලේටෝගේ දර්ශනය පිළිබඳ දර්ශනවාදියෙකු වීමය. ඔහු ප්ලේටෝගෙන් ලබාගත් ප්‍රාණය පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක ඉගැන්වීම ක්‍රිස්තියානි මූලධර්මයට එකතු කළේය.” එබැවින් ශතවර්ෂ ගණනාවකට පෙර යුදෙව්වන් කළ දෙයම පල්ලියත් කළේය! ග්‍රීක දර්ශනවාදය වෙනුවෙන් ඔවුහු බයිබල් ඉගැන්වීම් අත්හැර දැමූහ.
මූලධර්මයේ සැබෑ මූලාරම්භයන්
ප්‍රාණයේ අමරණීයභාවයට පක්ෂව කතා කරමින් සමහරුන් දැන් මෙසේ ඇසිය හැක, ලෝකයේ මෙතරම් ආගම් බොහෝමයක එකම මූලධර්මය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් හෝ උගන්වනු ලබන්නේ මන්ද? මෙම ලෝකයේ ආගමික සමාජයන්හි මෙම ඉගැන්වීම පැතිර තිබීමට හොඳ හේතුවක් ශුද්ධ ලියවිලි ඉදිරිපත් කරයි.
“මුළු ලෝකයා නපුරා තුළ බව” බයිබලය අපට පවසන අතර, “මේ ලෝකයේ අධිපතියා” සාතන් බව එහි පැහැදිලිව හඳුන්වා තිබේ. (1 යොහන් 5:19; යොහන් 12:31) ලෝකයේ ආගම් සාතන්ගේ බලපෑමෙන් නිදහස් වී නොමැති බව පැහැදිලිය. ඒ වෙනුවට, අදදින ලෝකයේ තිබෙන දුක් කරදර හා ආරවුල්වලට ඒවා බෙහෙවින් දායක වී ඇත. ඇරත් ප්‍රාණය යන කාරණය සම්බන්ධයෙන්, ඔවුන් ඉතා පැහැදිලිව සාතන්ගේ මනස පිළිබිඹු කරන බව පෙනේ. ඒ කෙසේද?
මෙතෙක් කියනු ලැබූ මුල්ම බොරුව සිහියට නඟන්න. දෙවියන්වහන්සේට විරුද්ධව ඔවුන් පව් කළේ නම්, මරණය ප්‍රතිඵල වන බව උන්වහන්සේ ආදම් සහ ඒවට පැවසූසේක. එහෙත් සාතන් ඒවට මෙසේ සහතික කළේය: “නුඹලා ඇත්තටම නසින්නේ නැත.” (උත්පත්ති 3:4) සැබවින්ම ආදම් සහ ඒව මියගියහ; දෙවියන්වහන්සේ විසින් පවසා තිබූ පරිදි ඔවුහු දූවිල්ලට හැරී ගියෝය. “බොරුවේ පියා” වන සාතන්, ඔහුගේ පළමු බොරුව කිසිදාක අත්හැරියේ නැත. (යොහන් 8:44) බයිබල් මූලධර්මවලින් ඉවත්ව යන හෝ එය මුළුමනින්ම නොසලකා හරින අසංඛ්‍යාත ආගම්වල එම අදහසම තවමත් පතුරුවාහරිනු ලැබේ: ‘ඔබ ඇත්තටම නසින්නේ නැත. ඔබගේ ශරීරය දිරාපත් විය හැක, එහෙත් ඔබගේ ප්‍රාණය, දෙවියන්වහන්සේ මෙන් සදාකාලයටම ජීවත් වනු ඇත!’ ඒව “දෙවියන්වහන්සේට සමාන වන බවත්” සාතන් විසින් ඈට පවසා තිබීම සිත්ගන්නා කරුණකි!—උත්පත්ති 3:5.
බොරු හෝ මිනිස් දර්ශන මත නොව, නමුත් සත්‍යය මත පදනම් බලාපොරොත්තුවක් තබාගැනීම කෙතරම් හොඳද! අමරණීය ප්‍රාණයක් ආ ගිය තැන් ගැන කනස්සලු වෙනවාට වඩා, අපගේ මියගිය ප්‍රේමනීයයන් මිනීවළෙහි සිහිසුන්ව සිටීම පිළිබඳව නිසැක වීම කෙතරම් යහපත්ද! මළවුන්ගේ මෙම නින්ද අපව බියගැන්වීමට හෝ කලකිරීමට පත් කරවන්ට අවශ්‍ය නැත. එක් අතකට, මළවුන් ආරක්ෂිතව විවේක ස්ථානයක සිටින බව අපට සිතිය හැක. ආරක්ෂිත වන්නේ මන්ද? මන්දයත්, යෙහෝවඃවහන්සේ ප්‍රේම කරන මළවුන් විශේෂ අර්ථයකින් ජීවත් වන බව බයිබලය අපට සහතික කරන බැවිනි. (ලූක් 20:38) ඔවුහු උන්වහන්සේගේ මතකයේ ජීවත් වෙමින් සිටිති. උන්වහන්සේගේ මතකයට සීමාවක් නොමැති බැවින් එය බොහෝ සෙයින් සැනසිලිදායක අදහසකි. අසීමිත මිලියන ගණන් ප්‍රේමනීය මනුෂ්‍යයන් නැවත ජීවත් කරවීමට හා පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත්වීමට අවස්ථාවක් දීමට උන්වහන්සේ ඉමහත් ආශාවෙන් සිටිනසේක.—යෝබ් 14:14, 15, සසඳන්න.
යෙහෝවඃවහන්සේගේ සියලුම පොරොන්දු ඉටු විය යුතු බැවින්, නැවත නැඟිටුවීමේ තේජාන්විත දවසද පැමිණෙනු ඇත. (යෙසායා 55:10, 11) මෙම අනාවැකියේ ඉටුවීම ගැන සිතා බලන්න: “ඔබගේ මළවුන් ජීවත් වේ, ඔවුන්ගේ ශරීර නැවත නැඟිටුවනු ඇත. භූමියෙහි නිදා සිටින අය අවදි වී ප්‍රීති ඝෝෂා පවත්වති; ඔබගේ පිනි බින්දු බබළන ආලෝකයේ පිනි බිඳු වේ, බොහෝ කලකට පෙර මියගියාවූ අයව පොළොව නැවත බිහි කරයි.” (යෙසායා 26:19, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) එනිසා මිනීවළේ නිදමින් සිටින මළවුන් මවගේ ගර්භාශයේ සිටින බිළිඳෙකු මෙන් සුරක්ෂිත තත්වයක පවතී. මළවුන් ළඟදීම “ඉපදෙන” තත්වයක, එනම් පාරාදීස පොළොවක් මත නැවත ජීවත්වීමට ආසන්න තත්වයක සිටිති!
ඊටත් වඩා හොඳ බලාපොරොත්තුවක් තිබිය හැකිද?
[පාදසටහන්වල]
a ස්ත්‍රීන් දෙදෙනෙකු සහ දරුවන් පස්දෙනෙකු සැඟවී සිටි නිසා ගැළවුණු බව වාර්තා වේ. පසුව මෙම ස්ත්‍රීහු තමන්ව අල්ලාගත් රෝමවරුන්ට විස්තර ප්‍රකාශ කළෝය.
b සැබවින්ම, පුළුල් ලෙස ව්‍යවහාරයේ පවතින බොහෝ වචනවලට මෙන්ම, නෙʹෆෙෂ් යන වචනයටද වෙනත් සියුම් වෙනස්කම් සහිත අර්ථ තිබේ. නිදසුනක් වශයෙන්, විශේෂයෙන්ම ගැඹුරු හැඟීම්වලට යොමු දක්වන විට, එය අභ්‍යන්තර පුද්ගලයාට යොමු දැක්විය හැක. (1 සාමුවෙල් 18:1) ප්‍රාණයක් ලෙස කෙනෙකු භුක්තිවිඳින ජීවිතයටද එය යොමු දැක්විය හැක.—1 රාජාවලිය 17:21-23.
c “ආත්මය” සඳහා ඇති හෙබ්‍රෙව් වචනය වන රුʹවාහ්හි අර්ථය “හුස්ම” හෝ “සුළඟ” යන්නයි. මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල, එය සිහිය ඇති ආත්මයකට යොමු දක්වන්නේ නැති මුත්, ඒ වෙනුවට, ද නිව් ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් තියොලජි සඳහන් කරන ආකාරයට, එය “පුද්ගලයාගේ ජීව බලයට” යොමු දක්වයි.
d මෙලෙස තරමක් උමතු ආකාරයකින් සිතූ අන්තිම පුද්ගලයා ඔහු නොවේ. මෙම ශතවර්ෂයේ මුල්භාගයේදී, තමා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ප්‍රාණවල බර ඇත්තෙන්ම කිරා බැලූ බව විද්‍යාඥයෙක් කියා සිටියේය; එසේ කළේ මියයෑමට පෙර තිබූ ඔවුන්ගේ බරින් මියගිය වහාම තිබූ ඔවුන්ගේ බර අඩු කිරීමෙනි.
[7වන පිටුවේ පින්තූරය]
මරණය ඔවුන්ගේ ප්‍රාණ නිදහස් කරනු ඇති බවට මසදාහි සිටි යුදෙව් අතිඋද්යෝගවාදීහු විශ්වාස කළහ