ප්‍රාණය අමරණීයද?
විවෘතව තිබෙන මිනී පෙට්ටිය පසු කරමින් මිත්‍රයෝ සහ පවුලේ සාමාජිකයෝ නිහඬව ඇවිදිති. ඔවුහු දේහය දෙසට නෙත් යොමු කරති, එම දේහය දාහත් හැවිරිදි පිරිමි ළමයෙකුගේය. ඔහුගේ පාසැල් මිත්‍රයන්ට ඔහුව හඳුනාගැනීමට නොහැකි තරම්ය. රස චිකිත්සාව නිසා ඔහුගේ හිසකෙස් බොහෝ සෙයින් අඩු වී ඇත; පිළිකාව නිසා ඔහු හොඳටම කෙට්ටු වී ඇත. මෙම දේහය ඇත්තටම ඔවුන්ගේ මිත්‍රයාගේ විය හැකිද? හුදෙක් සති කිහිපයකට ඉහතදී, ඔහු අදහස්, ප්‍රශ්න සහ ශක්තියෙන් පිරී, ඉතා ප්‍රාණවත් කෙනෙක්ව සිටියේය! එම පිරිමි ළමයාගේ මව කඳුළු සලමින් නැවත නැවතත් මෙසේ කියයි: “ටොමි හිටියාට වඩා දැන් සන්තෝෂෙන් ඉන්නේ. දෙවියන්වහන්සේට ටොමිව උන්වහන්සේ සමඟ ස්වර්ගයෙහි තබාගැනීමට අවශ්‍ය වුණා.”
බිඳුණු හෘදයකින් යුත් මෙම මව, කෙසේ හෝ ඇගේ පුතා තවමත් ජීවත්ව සිටිනවා යන අදහසින් තරමක් දුරට බලාපොරොත්තුවක් හා සහනයක් ලබාගනී. ප්‍රාණය අමරණීය බවත්, එය “පුද්ගලයාගේ” පෞද්ගලිකත්වය, සිතුවිලි සහ මතකයන් ලැගුම් ගන්නා ස්ථානයක් බවත් ඇයට පල්ලියෙන් උගන්වා තිබේ. ඇගේ පුත්‍රයාගේ ප්‍රාණය කිසිසේත් මැරී නොමැති බවත්, ජීවමාන ආත්මයක් වශයෙන් එය මරණයේදී ඔහුගේ ශරීරය අතහැර, දෙවියන්වහන්සේ සහ දේවදූතයන් සමඟ ස්වර්ගයේ සිටීමට ගිය බවත් ඇය විශ්වාස කරයි.
මෙවන් දුක්ඛිත අවස්ථාවකදී, මිනිස් හෘදය ඉතා සුළු බලාපොරොත්තුවකට වුවත් බෙහෙවින් ඇලී සිටින බැවින්, බොහෝදෙනෙකු මෙම විශ්වාසයට වැඩි වශයෙන් ආකර්ෂණය වීමට හේතුව දැකගැනීම අසීරු නැත. නිදසුනක් වශයෙන්, ද ගොස්පල් ඔෆ් ද හියර්ආෆ්ටර්හි (මතු ජීවිතය පිළිබඳ සුවිශේෂයෙහි) දේවධර්මශාස්ත්‍රඥ ජේ. පැටර්සන් ස්මයිත් තම අදහස් ප්‍රකාශ කරන ආකාරය සලකා බලන්න: “මතු පැමිණෙන දෙය—එනම් මරණය නමැති දොර විවෘත කර දෙන එම ඉතා මවිතකර ලෝකය හා සසඳන කල, මරණය කියන්නේ ඉතා සුළු දෙයක්.”
මිනිසෙකු තුළ මිය නොයන ප්‍රාණයක්, එනම් ශරීරය මියගියාට පසුව නොකඩවා ජීවත් වන සිහිය ඇති ආත්මයක් තිබෙන බව, ලොව වටා වෙසෙන මෙන්ම බොහෝ ආගම් හා සංස්කෘතීන්වලට අයත් මනුෂ්‍යයෝ විශ්වාස කරත්. ක්‍රිස්තියානි ලෝකයේ දහස් ගණන් ආගම් හා නිකායවල මෙම විශ්වාසය මුළුමනින්ම පාහේ පිළිගනු ලැබේ. එය යුදෙව් ආගමේද පිළිගත් මූලධර්මයක් වේ. ආත්මන් නැතහොත් ප්‍රාණය, කාලයේ ආරම්භයේදී මවනු ලැබූ බවත්, උපතේදී ශරීරයේ හිර කර තබන බවත්, මරණයේදී අඛණ්ඩව සිදු වන පුනර්භව චක්‍රයක් මගින් තවත් ශරීරයකට ඇතුල් වන බවත්, හින්දු භක්තිකයෝ විශ්වාස කරත්. උපතේදී ශරීරයත් සමඟම ප්‍රාණය ඇති වන බවත්, ශරීරය මියගියාට පසුව එය ජීවත් වන බවත් මුස්ලිම් භක්තිකයෝ විශ්වාස කරත්. වෙනත් ඇදහිලි ක්‍රම—එනම් අප්‍රිකානු ප්‍රාණවාදීහු, ෂින්ටෝ සහ බෞද්ධ අය පවා මෙම මතයම විවිධාකාරයට උගන්වති.
පැටලැවිලි සහිත ප්‍රශ්න සමහරක්
අමරණීය ප්‍රාණය යන සංකල්පයට ප්‍රබල මෙන්ම බොහෝදුරට ලෝක ව්‍යාප්ත පිළිගැනීමක් තිබුණත්, එය පැටලැවිලි සහිත ප්‍රශ්න සමහරක් මතු කරයි. නිදසුනක් වශයෙන්, කෙනෙකු එතරම් ආදර්ශවත් නොවන ජීවිතයක් ගත කර තිබුණේ නම්, එම ප්‍රේමනීයයාගේ ප්‍රාණය යන්නේ කොතැනටදැයි මිනිස්සු කල්පනා කරති. යම් පහත් ජීවියෙකු ලෙස ඔහු පුනර්භවය ලබනු ඇද්ද? නැතහොත් ස්වර්ගයට යෑමට සුදුසුයයි සලකනු ලබන තෙක්, යම් ගිනිමය ක්‍රියාවලියකින් පිරිසිදු කරනු ලබන ශුද්ධගිනිස්ථානයට ඔහුව යවනු ලැබේද? ඊටත් වඩා දරුණු ලෙසින්, ගිනිමය නිරයක ඔහුට සදාකල් වධහිංසා කරනු ලැබේද? නැතහොත් බොහෝ ප්‍රාණවාදී ආගම්වල උගන්වන්නාක් මෙන්, ඔහු සන්සිඳුවිය යුතු ආත්මයක් බවට පත් වී සිටීද?
එවන් සංකල්ප ජීවත් වන අය කෙරෙහි පීඩාකාරි අපේක්ෂාවන් ඇති කරවයි. ඔවුන් අපගෙන් පළිගනීවි යන බිය නිසා අප අපගේ මියගිය ප්‍රේමනීයයන්ගේ ආත්ම සන්සිඳුවිය යුතුද? දරුණු ශුද්ධගිනිස්ථානයකින් පිටවීම සඳහා අප ඔවුන්ට උපකාර කළ යුතුද? නැතහොත් ඔවුන් නිරයේ වද විඳිනවාය යන අදහස නිසා, හුදෙක් අප අසරණ ලෙස භයෙන් වෙව්ලිය යුතුද? නැතහොත් සමහරක් සතුන් තුළ මියගිය මිනිසුන්ගේ ප්‍රාණ තිබෙනවායයි සිතා අපි උන්ට සැලකිය යුතුද?
දෙවියන්වහන්සේ සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්නත් එතරම් සහනයක් ගෙන දෙන්නේ නැත. නිදසුනක් වශයෙන්, ආරම්භයේදී සඳහන් කරනු ලැබූ මව මෙන් බොහෝ දෙමව්පියෝ, දෙවියන්වහන්සේ තමා සමඟ ස්වර්ගයේ සිටීමට ඔවුන්ගේ දරුවාගේ අමරණීය ප්‍රාණය “ගත්” බවට වූ අදහසින් මුලින් සැනසිල්ලක් ලබති. එසේවුවත්, අහිංසක දරුවෙකුට යම් භයානක රෝගයකින් පහර දී අකල් මරණයක් ගෙන ඒමෙන්, එම අගනා දරුවාව බිඳුණු හෘදයකින් යුත් දෙමව්පියන්ගෙන් ඈත් කර, ස්වර්ගයට අරගන්නේ කුමනාකාරයේ දෙවිකෙනෙකුදැයි බොහෝදෙනෙක් වැඩි කලක් යන්ට මත්තෙන් කල්පනා කිරීමට පටන්ගනිති. එවන් දෙවිකෙනෙකු තුළ යුක්තිය, ප්‍රේමය හා දයාව දැකගත හැක්කේ කෙසේද? එවන් දෙවිකෙනෙකුගේ ප්‍රඥාව ගැන පවා සමහරු ප්‍රශ්න කරති. අවසානයේදී කෙසේ හෝ සියලුදෙනාම ස්වර්ගයේ සිටිය යුතු නම්, ප්‍රඥාවන්ත දෙවිකෙනෙකු සියලුම ප්‍රාණ මෙම පොළොව මත තබනු ඇත්තේ මන්දැයි ඔවුහු අසති. පෘථිවිය මැවීම ඇත්තෙන්ම මහත් අපතේ යෑමක් බව ඉන් අදහස් නොවේද?—සසඳන්න ද්විතීය කථාව 32:4; ගීතාවලිය 103:8; යෙසායා 45:18; 1 යොහන් 4:8.
එබැවින්, මිනිස් ප්‍රාණයේ අමරණීයභාවය පිළිබඳ මූලධර්මය කුමන ආකාරයකින් උගන්වනු ලැබුවත්, පැටලිලි සහිත ප්‍රශ්න මෙන්ම එකඟ නොවන කාරණා පවා මතු කරන බව පැහැදිලිය. ඒ මන්ද? බොහොමයක් ප්‍රශ්න මතු වන්නේ මෙම ඉගැන්වීමේ මූලාරම්භයන් සමඟ බැවිනි. මෙම මූලාරම්භයන් කෙටියෙන් පරීක්ෂා කර බැලීම අවබෝධය වැඩි කරවන බව ඇතැම්විට ඔබට පෙනී යා හැක; එමෙන්ම බයිබලය ප්‍රාණය ගැන පවසන දේ ඉගෙනීමෙන් ඔබ පුදුමයට පත් විය හැක. පොදුවේ ලෝකයේ ආගම් උගන්වනවාට වඩා වෙනස්ව, එය මරණින් පසු ජීවිතය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයි.