සිහිකිරීම ඔබින අන්දමින් පවත්වන්න
යේසුස්වහන්සේ සිහිකිරීම ස්ථාපිත කළේ, පො.යු. 33 නීසාන් 14වනදා සන්ධ්‍යාවේදීය.a උන්වහන්සේ සිය ප්‍රේරිතයන් 12දෙනා සමඟ පාස්කු මංගල්‍යය පවත්වා අවසන් වූවා පමණි, එමනිසා අපට එම දිනය සම්බන්ධයෙන් ස්ථිර විය හැක. ද්‍රෝහියා වූ යූදස් පිටත් කර හැරීමෙන් පසු, යේසුස්වහන්සේ “රොටි ගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දී: ගනිල්ලා. මේක මාගේ ශරීරයයයි කීසේක. උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.”—මාර්ක් 14:22-24.
එහි තිබෙන වැදගත්කම නිසා, යේසුස්වහන්සේ සිය මරණය සිහිකිරීම සඳහා ගෝලයන්ට අණ කළසේක. (ලූක් 22:19; 1 කොරින්ති 11:23-26) උරුම වූ පාපයේ සහ මරණයේ ශාපයෙන් මනුෂ්‍යවර්ගයා නිදහස් කිරීමට හැකි වූයේ උන්වහන්සේගේ පූජාවට පමණි. (රෝම 5:12; 6:23) උන්වහන්සේ භාවිත කළ රොටි සහ මුද්‍රිකපානය, උන්වහන්සේගේ පරිපූර්ණ ශරීරය සහ රුධිරය සංකේතවත් කළේය. එය මුලින්ම පැවැත්වූ දිනය දන්නා නිසා, අපට යුදෙව් පාස්කු මංගල්‍යය පැවැත්වූ ආකාරයටම, සෑම වසරකදීම ඊට අනුරූප වන දිනයේම මෙම උත්සවය පැවැත්විය හැක. එහෙත් අප එසේ කළ යුත්තේ ඔබින ලෙසය. ඒ මන්ද?
රොටි සහ මුද්‍රිකපානයේ සංකේතවල පංගුකාරයන්, “ස්වාමීන්වහන්සේ එන තුරු . . . උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කර[නු]” ඇති බවට ප්‍රේරිත පාවුල් පැවසුවේය. (1 කොරින්ති 11:26) මෙලෙස මෙම උත්සවයේ අවධානය යොමු වනු ඇත්තේ, යේසුස්වහන්සේගේ මරණය කෙරෙහි හා මනුෂ්‍යවර්ගයා සඳහා එහි තිබෙන අරුත වෙතටය. මෙම උත්සවය බැරෑරුම් එකක් වනු ඇත, එනම් දෙවියන්වහන්සේගේ යහපත්කම ගැනත් යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අපට තිබිය යුතු අගය දැක්වීම ගැනත් කල්පනා කිරීම සඳහා අවස්ථාවකි. (රෝම 5:8; තීතස් 2:14; 1 යොහන් 4:9, 10) එබැවින් පාවුල් මෙසේ අනතුරු ඇඟවීය: “එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.”—1 කොරින්ති 11:27.
ඔබින ලෙස—කෙසේද?
අප එම අවස්ථාවේදී සැකකටයුතු ක්‍රියාවල නියැලීමෙන් හෝ එයට මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ඈඳාගැනීමෙන් එම උත්සවය අපවිත්‍ර කළහොත්, දෙවියන්වහන්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රසන්න නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. (යාකොබ් 1:27; 4:3, 4) මෙමගින් පාස්කු කාලයේ ප්‍රසිද්ධ සිද්ධීන්ද ඉවත් කරනු ඇත. යේසුස්වහන්සේ “[තමන්ව] සිහිකිරීම පිණිස මේක කරපල්ලා” යයි දුන් උපදෙස අනුගමනය කිරීමේදී, උන්වහන්සේ සිහිකිරීම ස්ථාපිත කළ ආකාරයටම එය පැවැත්වීමට අපට වුවමනා වනු ඇත. (ලූක් 22:19; 1 කොරින්ති 11:24, 25) ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් එම උත්සවයට එකතු කර තිබෙන අංග මෙමගින් ඉවත් කරනු ලැබේ. “ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් අනුගමනය කරන ලද ඉතාමත් සරල උත්සවය, අදදින පවත්වනු ලබන පූජාවට බෙහෙවින් වෙනස් බව,” නිව් කැතලික් එන්සයික්ලොපීඩියා පිළිගනියි. පූජාව නිතර නිතර, එනම් සෑම දිනකම පවා පවත්වනු ලැබීමෙන්, ක්‍රිස්තියානි ලෝකය යේසුස්වහන්සේ අදහස් කළ දෙයින් ඈත් වී සිටින අතර, එය සාමාන්‍ය සිද්ධියක් බවට පත් කර තිබේ.
සභාව තුළ ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබුණු බැවින්, නුසුදුසු ලෙස පංගුකාරයන් වීම පිළිබඳව, පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ලීවේය. සමහරු එහි පරිශුද්ධභාවයට ගෞරව නොකළෝය. ඔවුහු තම රාත්‍රි ආහාරය ඔවුන් සමඟ රැගෙන ආ අතර, රැස්වීමට පෙර හෝ ඒ අතරතුර එය අනුභව කළෝය. බොහෝ අවස්ථාවලදී ඔවුහු අධික ලෙස කා බී සිටියෝය. මෙය ඔවුන්ව මත් කළ අතර, ඔවුන්ගේ සංවේදී ඉන්ද්රියයන් දුර්වල කළේය. මානසිකව හා ආත්මිකව අවදිව නොසිටීම තුළින්, ඔවුන්ට ‘ශරීරය විමසීමට නොහැකි’ වන අතර, “ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.” මේ අතර, කිසිදු ආහාරයක් නොගෙන තිබූ අයට බඩගිනි දැනුණු අතර, ඔවුන්ගේ අවධානයද වෙනතකට යොමු විය. ඇත්තෙන්ම අගය කිරීමකින් යුතුව සහ එම උත්සවයේ බැරෑරුම්කම තේරුම්ගෙන, එනම් එය පවත්වනු ලැබුවේ ස්වාමීන්වහන්සේගේ මරණය සිහිකිරීම පිණිස බව සම්පූර්ණ අවබෝධයෙන් එම සංකේතවල පංගුකාරයන් වීමට හැකි තත්වයක ඔවුන්ගෙන් කිසිවෙක් සිටියේ නැත. ඔවුන් එයට අගෞරවය කරමින්, එය හෙළා දුටු බැවින්, මෙයින් ඔවුන්ට එරෙහිව විනිශ්චය ප්‍රතිඵල විය.—1 කොරින්ති 11:27-34.
විචාර බුද්ධිය අවශ්‍යය
සමහරුන් සිහිකිරීමේ සංකේතවලට පංගුකාරයන් වී ඇත, එහෙත් පසුව තමන් එසේ නොකළ යුතු වූ බව ඔවුහු තේරුම්ගත්හ. සිහිකිරීමේ සංකේතවලට නිවැරදි ලෙස පංගුකාරවන්නන් දෙවියන්වහන්සේ විසින් තෝරාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ ආත්මයේ සාක්ෂි තිබේ. (රෝම 8:15-17; 2 කොරින්ති 1:21, 22) ඔවුන්ව සුදුස්සන් කරවන්නේ ඔවුන්ගේම පෞද්ගලික තීරණ හෝ අධිෂ්ඨානය නොවේ. ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනය කරනු ලබන අයගේ සංඛ්‍යාව 1,44,000දෙනෙකුට දෙවියන්වහන්සේ සීමා කර තිබේ, එය ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලබන සියලුදෙනා සමඟ සැසඳූ විට, සාපේක්ෂ වශයෙන් කුඩා සංඛ්‍යාවකි. (එළිදරව් 14:1, 3) එම තේරීම යේසුස්වහන්සේගේ දවසේදී ආරම්භ වූ බැවින්, අදදින පංගුකාරයන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණි. ඔවුන්ගෙන් සමහරෙකුට මරණය හිමි වන විට, එම සංඛ්‍යාව අඩු විය යුතුය.
කෙනෙක් නුසුදුසු ආකාරයකින් එම සංකේතවලට පංගුකාරයන් විය හැක්කේ මන්ද? ඇදහිලිවන්තයන් සියලුදෙනාම ස්වර්ගයට යන බවට, පෙර තිබූ ආගමික ආකල්ප නිසා විය හැක. එසේ නැතහොත්, එය කීර්තිය ලබාගැනීමේ අභිලාෂය නිසා හෝ ආත්මාර්ථකාමිත්වය නිසාය, එනම් වෙනත් අයෙකුට වඩා තමා සුදුසු බව සහ කැපීපෙනීමට තිබෙන ආශාව වැනි හැඟීමක් නිසා විය හැක. සමහරවිට එය අසීරු ගැටලු නිසා හෝ කෙනෙකුට පොළොව මත ජීවත්වීමේ උනන්දුව නැති කිරීමට සලස්වන ඛේදවාචකයක් නිසා හෝ මතු වන දැඩි චිත්තවේගවල ප්‍රතිඵලයක් විය හැක. එය ස්වර්ගික කැඳවීමක් ඇති කෙනෙකු සමඟ තිබෙන සමීප මිත්‍රත්වයක් නිසාද විය හැක. තීරණය අපගේ නොව, නමුත් දෙවියන්වහන්සේගේ පමණක් බව අප සියලුදෙනාම මතකයේ තබාගැනීමට අවශ්‍යය. (රෝම 9:16) එබැවින් ‘සෝදිසි කිරීමකින් පසුව’ පුද්ගලයෙක් ඇත්තෙන්ම මෙම සංකේතවල පංගුකාරයෙකු නොවිය යුතුව තිබුණ බවට සොයාගත්තොත්, ඔහු එසේ කිරීමෙන් දැන් වැළකී සිටිය යුතුය.—1 කොරින්ති 11:28.
පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනය වනාහි, මනුෂ්‍යවර්ගයාගෙන් වැඩිදෙනෙකුට දෙවියන්වහන්සේ ඉදිරිපත් කර තිබෙන බලාපොරොත්තුව වේ. මෙය වනාහි, බලාපොරොත්තු වීම සඳහා උතුම් ආශීර්වාදයක් වන අතර, අප එයට පහසුවෙන්ම ආකර්ෂණය විය හැක. (උත්පත්ති 1:28; ගීතාවලිය 37:9, 11) නැවත නැඟිටුවනු ලැබූ තම ප්‍රේමනීයයන් සමඟ විශ්වාසවන්ත අය යළි එක් කරනු ලබන්නෙත්, ස්වර්ගික ජීවිතයකට යේසුස්වහන්සේ මාර්ගය විවෘත කිරීමට පෙර මියගිය ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රාහබ්, දාවිත් සහ යොහන් බව්තීස්ත වැනි පුරාණයේ සිටි ධර්මිෂ්ඨයන්ව හමුවනු ඇත්තෙත් පොළොව මතය.—මතෙව් 11:11; සසඳන්න 1 කොරින්ති 15:20-23.
භූමික බලාපොරොත්තුවක් තිබෙන අය රොටි සහ මුද්‍රිකපානයෙහි පංගුකාරයන් නොවුවත්, ඔවුහු ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනයට පැමිණීමෙන් සහ එයට ගෞරවාන්විතව අවධානය යොමු කිරීමෙන් එය ඔබින ලෙස පවත්වති. දෙවියන්වහන්සේ ඉදිරියේ අනුග්‍රහය ලත් ස්ථාවරයක් පවත්වාගැනීමට හැකි කරවන ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවෙන්, ඔවුන්ටද ප්‍රයෝජන ලැබේ. (එළිදරව් 7:14, 15) ඉදිරිපත් කරනු ලබන කතාවට ඔවුන් සවන් දෙමින්, පරිශුද්ධ දේවල් සඳහා ඔවුන්ගේ අගය දැක්වීම ශක්තිමත් කරනු ලබන අතර, එමගින් සෑම තැනකම වෙසෙන දෙවියන්වහන්සේගේ ජනයා සමඟ එක්සත්ව සිටීම සඳහා ඔවුන්ගේ ආශාව වර්ධනය වේ.
මේ වසරේ අප්‍රියෙල් 2වන අඟහරුවාදා හිරු බැස යෑමෙන් පසු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලොව වටා 78,000කට වඩා වැඩි සභා සියල්ලෙහිම, සිහිකිරීමේ උත්සවය පවත්වනු ලැබේ. ඔබ එයට පැමිණෙන්නෙහිද?
[පාදසටහන]
a යුදෙව් දිනය ආරම්භ වූයේ සන්ධ්‍යාවේදීය. අපගේ දින දර්ශනයට අනුව නීසාන් 14වන දිනය, මාර්තු 31වන බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිට අප්‍රියෙල් 1වන සිකුරාදා සන්ධ්‍යාවේ හිරු බැස යෑම දක්වා පැවතිණ. සිහිකිරීම බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ස්ථාපිත කරනු ලැබූ අතර, යේසුස්වහන්සේගේ මරණය සිදු වූයේ එම යුදෙව් දිනයේම, සිකුරාදා පස්වරුවේදීය. උන්වහන්සේව තුන්වන දින, එනම් ඉරිදා උදෑසන නැවත නැඟිටුවනු ලැබීය.
[8වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිහිකිරීමේ උත්සවය සෑම වසරකටම වරක් පවත්වති