ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනයට ඔබ සඳහා අර්ථයක් තිබීමට හේතුව
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය මනුෂ්‍ය ජීවිතයේ අන්තිම රාත්‍රියේ දී ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙ වූ සේක. එය මාර්තු 31වන බ්‍රහස්පතින්දා සවස් භාගය වූ අතර යේසුස් වහන්සේ අප්‍රියෙල් 1වන සිකුරාදා දහවලේ මිය ගිය සේක. යුදෙව් දින දර්ශනයේ දිනය එක් දිනක සවස් භාගයේ සිට අනික් දිනයේ සවස් භාගය දක්වා දිව ගිය බැවින්, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හා යේසුස් වහන්සේගේ මරණය යන දෙක ම පො.යු. 33 නීසාන් 14වන දින සිදු වූයේ ය.
යේසුස් වහන්සේ මෙම භෝජනය පිහිටුවූයේ මක්නිසා ද? උන් වහන්සේ පාවිච්චි කළ රොටි හා මුද්‍රික පානය වැදගත් වන්නේ මක්නිසා ද? ඊට පංගුකාරයන් විය යුත්තේ කවරෙක් ද? කොතරම් වාර ගණනක් මෙම භෝජනය පැවැත්විය යුතු ද? එමෙන් ම එය ඔබ සඳහා අර්ථයක් තිබීමට හේතුව කුමක් ද?
පිහිටුවනු ලැබීමට හේතුව?
මෙම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සම්බන්ධයෙන්, යේසුස් වහන්සේ සිය ප්‍රේරිතයන් අමතා “මා සිහි කිරීම පිණිස මෙය කරන්න” යයි වදාළ සේක. තවත් අනුවාදයකට අනුව, උන් වහන්සේ “මා අනුස්මරණය වනු වස් මෙය කරන්න” යයි වදාළ සේක. (1 කොරින්ති 11:24, ද න ඉංග්ලිෂ් බයිබල්) ඇත්ත වශයෙන් ම, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය බොහෝ විට ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ සිහි කිරීම ලෙස හඳුන්වනු ලැබේ.
යේසුස් වහන්සේ, යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කරමින් අඛණ්ඩතාව පවත්වන්නෙක් හැටියට මිය ගිය අතර එසේ කිරීමෙන් අවංක මනුෂ්‍යයන් ආත්මාර්ථකාමී චේතනාවන්ගෙන් පමණක් දෙවියන් වහන්සේට සේවය කරන බවට චෝදනා කිරීම වෙනුවෙන් සාතන් බොරුකාර අපහාසිකයෙක් බව සනාථ කළ සේක. (යෝබ් 2:1-5) උන් වහන්සේගේ මරණය දෙවියන් වහන්සේගේ හෘදය ප්‍රීතියට පත් කළේ ය. —හිතෝපදේශ 27:11.
පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට උන් වහන්සේ මිය යාම කරණ කොට ගෙන, යේසුස් වහන්සේ ‘බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය ද දුන් සේක.’ (මතෙව් 20:28) දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කිරීමෙන්, පළමු මනුෂ්‍යයා සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය හා එහි අපේක්ෂා අහිමි කර ගත්තේ ය. එහෙත් “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් [මනුෂ්‍ය වර්ගයාගෙන් සමන්විත NW] ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) එසේ ය, “පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.”—රෝම 6:23.
“ස්වාමීන් වහන්සේගෙන් ම ලැබුවෙමි”
ප්‍රේරිත පාවුල්ගේ මතු සඳහන් වදන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අනුස්මරණය කිරීම මත අවබෝධාත්මක ආලෝකයක් සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙයි. “මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම ස්වාමීන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන, ස්තුති කොට, කඩා: ‘මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ’ යි වදාළ සේක. එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: ‘මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ’ යි වදාළ සේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර ස්වාමීන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.”—1 කොරින්ති 11:23-26, නව අනුවාදය.
පාවුල් පො.යු. 33, නීසාන් 14වන දින යේසුස් වහන්සේ හා ප්‍රේරිතයන් 11 දෙනා සමඟ එතැන නොසිටි නිසා, පවතින සාක්ෂි අනුව මෙම තොරතුරු දේවානුභාවය ලත් එළිදරව්වක් මගින් ‘ස්වාමීන් වහන්සේගෙන් ම ලැබූ’ යමක් විය. ක්‍රිස්තුස් වහන්සේ ව ඇණ ගසන්නට රෝමානුවන් ව පෙලඹ වූ, යුදෙව් ආගමික එදිරිවාදීන්ට යූදස් විසින් ‘තමා ව පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී’ යේසුස් වහන්සේ සිහි කිරීමේ භෝජනය පිහිටෙවූ සේක. සංකේතාත්මක රොටි හා මුද්‍රික පානයෙහි පංගුකාරයන් වීමට හිමිකම් ලැබූ අය උන් වහන්සේ ව සිහි කිරීම පිණිස එසේ කරනු ඇත.
කොතරම් වාර ගණනක් එය පැවැත්විය යුතු ද?
“ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර ස්වාමීන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය” යන පාවුල්ගේ වදන්වලින් අදහස් වන්නේ කුමක් ද? ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානින් යථා කාලයේ දී ස්වර්ගීය ජීවිතයකට නැවත නැගිටුවනු ලබනු පිණිස, තමන් මැරෙන තෙක් “යම් පමණ වර” සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වනු ඇත. ඔවුහු එසේ දෙවියන් වහන්සේ හා ලෝකය ඉදිරියේ දෙවියන් වහන්සේගේ සැපයුමක් වන යේසුස් වහන්සේගේ යාගය කෙරෙහි සිය ඇදහිල්ල වාර ගණනාවක් ප්‍රකාශ කරනු ඇත්තාහ. ඒ කොතරම් කාලයකට ද? මෙම පිළිවෙත්, තමන්ගේ “ඊම [පැමිණ සිටීම NW]” තුළ නැවත නැගිටීමකින් තම ආලේප ලත් අය ව ස්වර්ගයට පිළිගැනීමට යේසුස් වහන්සේගේ පැමිණීම දක්වා දිගට ම සිදු වනු ඇතැයි පැහැදිලි ව අදහස් කරමින්, “ස්වාමීන් වහන්සේ වඩින තුරු” යයි පාවුල් පැවසී ය. (1 තෙසලෝනික 4:14-17) මෙය, “මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි” යනුවෙන් පක්ෂපාත ප්‍රේරිතයන් 11 දෙනාට පැවසූ ක්‍රිස්තුස් වහන්සේගේ වදන් සමඟ ද එකඟ වේ.—යොහන් 14:3.
ක්‍රිස්තුස් වහන්සේගේ මරණය දෛනික ව නැතහොත් ඇතැම් විට සති පතා අනුස්මරණය කළ යුතු ද? හොඳයි, යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙවූ අතර මිසර දේශයේ වහල් භාවයෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ මිදීම සැමරූ, පාස්කු දවසේ දී මරණයට පත් කරනු ලැබූ සේක. ඇත්ත වශයෙන් ම, උන් වහන්සේ ක්‍රිස්තියානින් සඳහා පූජා කරනු ලබන බැටළුවාණන් වන බැවින්, උන් වහන්සේ ව “අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ” යනුවෙන් ද හඳුන්වනු ලබන සේක. (1 කොරින්ති 5:7) පාස්කුව පවත්වනු ලැබුවේ වසරකට වරක්, නීසාන් 14වන දිනයේ දී ය. (නික්මයාම 12:6, 14; ලෙවී කථාව 23:5) ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ද අනුස්මරණය කළ යුතු වන්නේ, පාස්කුව සම්බන්ධයෙන් කරන ලද ආකාරයට—එනම් දෛනික ව හෝ සති පතා නොව, වාර්ෂික ව—බව මින් යෝජනා කෙරේ.
ශතවර්ෂ ගණනාවක් පුරා ක්‍රිස්තියානින් යයි කියා පාන අය බොහෝ දෙනෙක් යේසුස් වහන්සේගේ මරණය වසරකට වරක් අනුස්මරණය කළහ. නීසාන් 14වන දින ඔවුන් එසේ කළ බැවින්, ඔවුන් ව ක්වාටොඩෙසිමන්වරුන් යයි යන්න අදහස් කරන, “දාහතර වන දා කාරයන්” ලෙස නම් කරනු ලැබී ය. ඔවුන් සම්බන්ධයෙන් ඉතිහාසඥ ජේ. එල්. ෆොන් මොෂිම් ලීවේ මෙසේ ය: “සුළු ආසියාවේ ජීවත් වූ ක්‍රිස්තියානිහු මෙම පරිශුද්ධ උත්සවය, එනම් ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනයේ පිහිටු වීම හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිපත් කිරීම, යුදෙව්වරුන් සිය පාස්කු බැටළුවා අනුභව කළ වේලාවේ ම, එනම් පළමු මාසයේ [නීසාන්] දහහතර වන දින සන්ධ්‍යාවේ පැවැත්වීමට පුරුදු ව සිටියහ. . . . ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම කොතරම් වැදගත් යමක් හැටියට සැලකුවා ද කිවතොත් එය නීතියකට යටත්වීම හා සමාන විය.”
සංකේතයන්හි වැදගත්කම
යේසුස් වහන්සේ “රොටියක් රැගෙන, ස්තුති කොට” එය කැඩූ බව පාවුල් පවසයි. මුහුන් (නැතහොත් යීස්ට්) නොමැති ව පිටි හා වතුර යොදා ගනිමින් පුළුස්සා ගන්නා ලද එම කැඩෙන සුලු රොටියක් අනුභව කරනු පිණිස එය කඩන්නට සිදු විය. බයිබල් සංකේතයන්හි, මුහුන් පව් නැතහොත් දූෂ්‍ය වීම අඟවයි. දුරාචාර මනුෂ්‍යයෙක් සභාවෙන් ඉවත් කරන්නට කොරින්තියේ ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලමින්, පාවුල් පැවසුවේ මෙසේ ය: “මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද? මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහ කරපල්ලා. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනලද්දේය. එබැවින් පරණ මුහුන්වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නමැති මුහුන්වලින්වත් නොව අවංකකමද සැබෑකමද නමැති මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍යය පවත්වමු.” (1 කොරින්ති 5:6-8) මුහුන් සමන්විත පිටි ස්වල්පයක් මුළු පාන් පිඩ, නැතහොත් මොලිය පිපෙන්නට සලස්වන ආකාරයට ම, පාපතර මනුෂ්‍යයෙකුගේ නපුරට නැඹුරු කරවන බලපෑම ඉවත් කරනු නොලැබුවේ නම් සභාව එසේ දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ අපවිත්‍ර තත්ත්වයකට පත් වනු ඇත. ඊශ්‍රායෙල්වරුන්ට පාස්කුවත් සමඟ පැමිණි නුමුහුන් රොටි මංගල්‍යය තුළ තම නිවෙස්වල මුහුන් තබා ගත නොහැක්කා සේ ම, ඔවුන් තමන් අතරෙන් එම “මුහුන්” පහ කළ යුතු විය.
සිහි කිරීම සඳහා වූ නුමුහුන් රොටි සම්බන්ධයෙන්, යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය [අදහස් කරයි NW].” (1 කොරින්ති 11:24, නව අනුවාදය) එම රොටි යේසුස් වහන්සේගේ පරිපූර්ණ මාංසික ශරීරය නියෝජනය කරයි, මේ පිළිබඳ ව පාවුල් ලීවේ මෙසේ ය: “[යේසුස් වහන්සේ] ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කරදුන්සේක; මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක. එවිට මම කථාකොට: දෙවියන් වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක. . . . ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.” (හෙබ්‍රෙව් 10:5-10) යේසුස් වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍ය ශරීරය පව් රහිත ව තිබූ අතර මනුෂ්‍ය වර්ගයා උදෙසා මිදීමේ මිලයක් වශයෙන් ක්‍රියා කළේ ය.—හෙබ්‍රෙව් 7:26.
අමිශ්‍ර රතු මුද්‍රික පානය අඩංගු කුසලාන සඳහා යාච්ඤා කිරීමෙන් පසු, යේසුස් වහන්සේ “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය [අදහස් කරයි NW]” යයි වදාළ සේක. (1 කොරින්ති 11:25, නව අනුවාදය) තවත් අනුවාදයක එය ඉදිරිපත් කර ඇත්තේ “මෙම කුසලාන මාගේ රුධිරය මගින් ස්ථිර වන්නා වූ අලුත් ගිවිසුම අදහස් කරන්නේ ය” යනුවෙනි. (මොෆැට්) පූජා කරන ලද ගවයන්ගේ හා එළුවන්ගේ රුධිරය දෙවියන් වහන්සේ හා ඊශ්‍රායෙල්වරුන් අතර වූ ව්‍යවස්ථා ගිවිසුම වලංගු කළ ආකාරයට ම, මරණයේ දී වගුරුවන ලද යේසුස් වහන්සේගේ රුධිරය මගින් නව ගිවිසුම වලංගු කරන ලදි. මෙහි නව ගිවිසුමක් යයි සඳහන් ව තිබීම, සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වන්නට සුදුසුකම් ඇති අය ව හඳුනා ගැනීමට අපට උපකාර කරයි.
පංගුකාරයන් විය යුත්තේ කවුද?
නව ගිවිසුමේ යේසුස් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයෝ යුතු ලෙස සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වෙති. මෙම ගිවිසුම සිදු කරන ලද්දේ දෙවියන් වහන්සේ හා ආත්මික ඊශ්‍රායෙල් අතර ය. (යෙරෙමියා 31:31-34; ගලාති 6:16) එහෙත් අලුත් ගිවිසුම අවසානයේ සියලු කීකරු මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ගෙන දෙනු ඇති අතර ඔබටත් එම ආශීර්වාද ලබන්නන් අතර සිටින්නට පුළුවන් වනු ඇත.
සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වන අය රාජ්‍යය සඳහා යේසුස් වහන්සේ කළ පෞද්ගලික ගිවිසුමට පුද්ගලික ව ඇතුළත් විය යුතු ය. මෙම භෝජනය පිහිටුවන විට, යේසුස් වහන්සේ සිය පක්ෂපාත ප්‍රේරිතයන් අමතා “මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක්මෙන්ම, . . . නුඹලාට රාජ්‍යයක් නියමකරමි” යයි වදාළ සේක. (ලූක් 22:29) දාවිත් රජ සමඟ දෙවියන් වහන්සේ කළ රාජ්‍යය ගිවිසුම, ස්වර්ගික රාජ්‍යයේ සදාකාලයට ම පාලනය කරනු ඇති තැනැන් වහන්සේගේ පැමිණීම වෙත, එනම් යේසුස් වහන්සේගේ පැමිණීම වෙත යොමු දැක්වී ය. උන් වහන්සේ සමඟ පාලකත්වයේ හවුල්වනු ඇති ආත්මික ඊශ්‍රායෙල්වරුන් 1,44,000 දෙනා බැටළුපැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගීය සියොන් කන්දේ සිටින්නා සේ දක්වා ඇත. නැවත නැගිටුවනු ලැබීමෙන් පසු, ඔවුහු ක්‍රිස්තුස් වහන්සේ සමඟ හවුල් රජවරුන් හා පූජකයන් ලෙස පාලනය කරනු ඇත්තාහ. (2 සාමුවෙල් 7:11-16; එළිදරව් 7:4; 14:1-4; 20:6) අලුත් ගිවිසුමට හා යේසුස් වහන්සේ සමඟ ඇති පුද්ගලික ගිවිසුමට අයත් අය පමණක් ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනයේ සංකේතයන්හි යුතු ලෙස පංගුකාරයන් වනු ඇත්තාහ.
තමන් උන් වහන්සේගේ දරුවන් හා ක්‍රිස්තුස් වහන්සේ සමඟ හවුල් උරුමක්කරුවන් බව දෙවියන් වහන්සේගේ ආත්මය ආලේප ලත් අයගේ ආත්මය සමඟ සාක්ෂි දරනු ඇත. පාවුල් ලීවේ මෙසේ ය: “අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම [ආත්මය ම NW] අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමග දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.” (රෝම 8:16, 17) දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය නැතහොත් ක්‍රියාකාරික බලය, ආලේප ලත් අය තුළ තමන්ගේ ඉරණම ස්වර්ගීය ජීවිතය බවට සහතිකයක් ඇති කරවයි. ස්වර්ගීය ජීවිතය ගැන ශුද්ධ ලියවිල්ල පවසන සෑම දෙයක් ම තමන් වෙත පවසා ඇතැයි කල්පනා කරන ඔවුහු, මනුෂ්‍ය ජීවිතය ඇතුළු ව සියලු භූමික දේවල් පරිත්‍යාග කිරීමට කැමති වන්නාහ. භූමික පාරාදීසයේ ජීවිතය ආශ්චර්යවත් එකක් වනු ඇතත්, ඔවුන් තුළ එම බලාපොරොත්තුව නැත. (ලූක් 23:43) සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වීමට ඔවුන්ට හිමිකම් ලබා දෙන්නේ බොරු ආගමික මතයන් මත පදනම් නොවූ, නිසැක හා නොවෙනස් ස්වර්ගීය බලාපොරොත්තුවකි.
තමාට එවන් කැඳවීමක් නොතිබිය දී, යමෙක් ස්වර්ගීය රජෙක් හා පූජකයෙක් හැටියට කැඳවීමක් ඇත්තෙක් මෙන් තමා ම නියෝජනය කරන්නේ නම්, යෙහෝවඃ වහන්සේ අසතුටට පත් වනු ඇත. (රෝම 9:16; එළිදරව් 22:5) තමා හිතුවක්කාර ලෙස පූජක තන්ත්රය ලැබීමට වෑයම් කළ නිසා දෙවියන් වහන්සේ කෝරා ව මරණයට පත් කළ සේක. (නික්මයාම 28:1; ගණන් කථාව 16:4-11, 31-35) එසේ නම්, දැඩි චිත්ත වේගයන් හෝ කලින් සිටි ආගමේ අදහස් කෙනෙකු ව වැරදි සහගත ලෙස සිහි කිරීමේ සංකේතයන්හි පංගුකාරයෙක් වීමට පෙලඹෙව්වේ නම් කුමක් කළ හැකි ද? එවිට ඔහු හෝ ඇය ඊට පංගුකාරයෙකු වීම නවතා දමා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා යටහත් පහත් ලෙස යාච්ඤා කළ යුතු ය.—ගීතාවලිය 19:13.
ඔබට බලපාන ආකාරය
යේසුස් වහන්සේගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලබා පොළොව මත සදාකාල ජීවිතය ලැබීමට, පුද්ගලයෙක් සිහි කිරීමේ සංකේතවල පංගුකාරයෙක් වීම අවශ්‍ය නොවේ. උදාහරණයක් වශයෙන්, ආබ්‍රහම්, සාරා, ඊසාක්, රෙබෙකා, බෝවාස්, රූත්, හා දාවිත් වැනි දේව භයැති අය කවදා නමුත් මෙම සංකේතයන්හි පංගුකාරයන් වනු ඇතැයි බයිබලය කිසි ඇඟවීමක් නොකරයි. එහෙත් මෙම පොළොව මත නිමාවක් නැති ජීවිතයකට ආශා කරන ඔවුන් හා වෙනත් අය දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, හා යෙහෝවඃ වහන්සේගේ සැපයුමක් වන යේසුස් වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල දැක්විය යුතු ය. (යොහන් 3:36; 14:1) ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පිළිබඳ වාර්ෂික පිළිවෙත එම ශ්‍රේෂ්ඨ පූජාව සිහි කරවන්නක් ලෙස ක්‍රියා කරයි.
ප්‍රේරිත යොහන් මෙසේ පැවසූ විට, යේසුස් වහන්සේගේ යාගයේ එම වැදගත්කම පෙන්වනු ලැබී ය: “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.” (1 යොහන් 2:1, 2) යේසුස් වහන්සේ “[තමන්ගේ] පව් උදෙසා ශාන්තිකර පූජාව” යයි ආලේප ලත් ක්‍රිස්තියානින්ට පවසන්නට පුළුවන. කෙසේ වුවද, උන් වහන්සේ දැන් අත ළඟ ම ඉතා සමීප ව ඇති පාරාදීස පොළොවේ කීකරු මනුෂ්‍ය වර්ගයා හට සදාකාල ජීවනය ලබා ගැනීමට හැකි කරවමින්, මුළු ලෝකයේ පව් උදෙසා ද පූජාවක් වන සේක.
ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අනුස්මරණය කිරීම සඳහා පැමිණීමෙන්, ඔබ චින්තනය අවුස්සන බයිබල් දේශනයකින් ප්‍රයෝජන ලබනු ඇත. එහි දී යෙහෝවඃ දෙවියන් වහන්සේත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් අප වෙනුවෙන් කොපමණ දේවල් කර ඇත් ද යන්න ඔබට සිහි කරවනු ලබනවා ඇත. දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ සඳහාත්, යේසුස් වහන්සේගේ මිදීමේ මිලය සඳහාත් ගැඹුරු සැලකිල්ලක් දක්වන අය සමඟ එක්රැස් වීම ආත්මිකාකාරයෙන් ඵලදායී වනු ඇත. මෙම අවස්ථාව සදාකාල ජීවිතයට මඟ පෙන්වමින්, දෙවියන් වහන්සේගෙන් ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ලබන්නෙක් බවට පත් වන්නට ඇති ඔබගේ ආශාව ශක්තිමත් කරන්නට පවා පුළුවන. ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය ඔබට ඉතා අර්ථවත් විය හැකි බැවින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරනු පිණිස 1993 අප්‍රියෙල් 6වන දින ඉරු බැස යාමෙන් පසු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ රැස්වන ලෙස අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරමු.