රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
යෙහෝවඃවහන්සේව මහිමයට පත් කරවන යහපත් ක්‍රියා
යේසුස්වහන්සේ කන්ද උඩ දේශනාවේදී, සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:16) ඒ හා සමානව, අදදින සැබෑ ක්‍රිස්තියානීහු යෙහෝවඃවහන්සේව මහිමයට පත් කරවන “යහපත් ක්‍රියා[වල]” නිරත වෙති.
මෙම යහපත් ක්‍රියා කවරේද? මෙයට ශුභාරංචිය දේශනා කිරීම අයත් වුවද අපගේ ආදර්ශවත් හැසිරීමද වැදගත් කොටසකි. ක්‍රිස්තියානි සභාවට ජනයා මුලින්ම ආකර්ෂණය වීමට අපේ යහපත් හැසිරීම නිතර දායක වේ. මාර්ටනීක්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ‘ජනයා ඉදිරියෙහි සිය ආලෝකය බබළවමින්’ සිටින්නේ කෙසේද කියා පහත අද්දැකීම් නිදර්ශනය කරනු ඇත.
◻ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක් ගෙයින් ගෙට දේශනා කරමින් සිටි විට කතෝලික ස්ත්‍රියක හමු වූවාය. මෙම ස්ත්‍රිය පුරුෂයෙකු සමඟ අවුරුදු 25ක් පුරා, විවාහ නොවී එකට ජීවත් වෙමින් සිටියාය. අවුරුදු හතකට පමණ පෙර පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැකa යන පොත ඇය ලබාගෙන තිබූ බැවින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් ගැන ඇයට අවබෝධයක් තිබිණ. ස්ත්‍රිය සාක්ෂිකාරියට මෙසේ පැවසුවාය: “බොහෝ ආගම් තියෙනවා. මේ ව්‍යාකූලත්වය මැද කාව විශ්වාස කරන්නද කියා මම දන්නේ නැහැ.” සත්‍යය සොයාගත හැක්කේ බයිබලය තුළින් පමණක් බවත්, එය සොයාගත හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ ආත්මය සහ මඟ පෙන්වීම සඳහා යාච්ඤා කොට, ශුද්ධ ලියවිලි පරෙස්සමින් අධ්‍යයනය කළ යුතු බවත් සාක්ෂිකාරිය පැහැදිලි කළාය.
කාලයක් පුරා, බයිබලය පාඩම් කිරීමට උනන්දු වුවත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ පවත්වන ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට කීප විටක්ම ආරාධනා කළත් එම ස්ත්‍රිය ඒවා ප්‍රතික්ෂේප කළාය. හේතුව? ඈ බොහෝ ලජ්ජාශීලී වූවාය. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට ආරාධනාවක් ලැබීමෙන් පසු, ඈ ලජ්ජාශීලිබව මැඩපවත්වාගෙන එයට පැමිණියාය.
රාජ්‍ය ශාලාවෙහි තිබූ ප්‍රේමනීය වාතාවරණය ඇය වඩාත්ම සිත්ගත්තාවූ දෙය විය. ඇය එබඳු අව්‍යාජ මිත්‍රත්වයක් ඇගේ පල්ලියෙහි කිසිදාක අද්දැක නොතිබිණ! එම රැස්වීමෙන් පසු ප්‍රාදේශීය සාක්ෂිකරුවන් විසින් පවත්වන සියලුම රැස්වීම්වලට පැමිණීමට ඇය පටන්ගත් අතර, ඇය ජීවත් වෙමින් සිටි මිනිසා සමඟ විගස විවාහ විය. ඇය දැන් සභාවේ බව්තීස්ම ලත් සාමාජිකාවකි.
◻ තවත් සාක්ෂිකරුවෙකුගේ යහපත් ක්‍රියා හොඳ ප්‍රතිඵල නිපදවා ඇත. ඇයට කාර්යාලයක භාරදූර වගකීමක් තිබිණ. රීයුනියන් දූපතේ මිනිසෙකුගේ සේවය ලබාගැනීමෙන් පසු, මිටි නිසා සමහර සේවකයෝ ඔහුට සමච්චල් කිරීමට පටන්ගත්හ. ඔහු නිතරම උපහාසයට ලක් විය. ඊට වෙනස්ව, සාක්ෂිකාරිය නිතර මෙම මිනිසාට කාරුණික හා ගෞරවාන්විත වූවාය. ඇය මෙතරම් වෙනස් මන්ද කියා ඔහු විගස විමසුවේය.
ඇගේ ගෞරවාන්විත හැසිරීම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබල් ප්‍රමිති ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අත් වූ බව ඈ පැහැදිලි කළාය. දෙවියන්වහන්සේගේ අරමුණු සහ නව ලෝකයේ බලාපොරොත්තුව සම්බන්ධව ශුද්ධ ලියවිලි පවසන දෙයද ඈ ඔහුට පෙන්වූවාය. මෙම මිනිසා බයිබල් පාඩමක් පිළිගෙන රැස්වීම්වලට පැමිණීමට පටන්ගෙන, ඔහු ජීවත් වෙමින් සිටි ස්ත්‍රිය සමඟ විවාහ වූයේය.
අවසානයේදී ඔහු රීයුනියන්වලට ආපසු ගියේය. කලින්, ඔහුගේ ඥාතීන්ගෙන්, විශේෂයෙන්ම තම බිරිඳගේ පවුලෙන් පැමිණි දුෂ්කරතා ඔහු අද්දිටීය. එහෙත් ඔහුගේ යහපත් ක්‍රිස්තියානි හැසිරීම, දැන් ඔවුන්ට යහපත් බලපෑමක් වී තිබේ. ඔහු බව්තීස්ම වී, දැන් උපස්ථායක සේවකයෙකි. ඔහුගේ භාර්යාව සහ දූවරුන් දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් කීපදෙනෙක්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචියේ ප්‍රචාරකයන් වශයෙන් ක්‍රිස්තියානි සභාවේ සේවය කරති.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්රකාශිතය.