සැනසුම හා දිරිය—බොහෝ මූණත් ඇති මැණික්
අප බොහෝදෙනෙකු ඉතා දිළිඳුබවක් හැඟුණු අවස්ථා අද්දැක ඇත—මින් අදහස් කරන්නේ මුදල් අතින් දිළිඳුබවක්ම නොව, නමුත් සිතින් කලකිරුණු බවක්ය. අපි අධෛර්යය වී, ගැඹුරු ලෙස කලකිරුණු තත්වයක පවා සිටියෙමු. එහෙත්, එවන් අවස්ථාවලදී, අපට ඉමහත් යහපතක් සිදු කළ හැකි අනර්ඝ යමක් ලබාගත හැකිව තිබුණා විය හැක. එම “මැණික” දිරිගැන්වීම වේ.
බයිබලයේ, “දිරිය” හා “සැනසුම” සඳහා එකම ග්‍රීක් වචනය භාවිත කර තිබේ. එඩිතරකම, ශක්තිය නැතහොත් බලාපොරොත්තුව ලබා දීමේ අදහස් මේ වචන දෙකෙහිම ගැබ්ව තිබේ. එසේනම්, අප දුර්වලව අධෛර්යයට පත් වී සිටින අවස්ථාවක, අපට ඇත්තෙන්ම අවශ්‍ය වන දේ සැනසුම හා දිරිගැන්වීම බව පැහැදිලිය. ඒවා සොයාගත හැක්කේ කොතැනින්ද?
යෙහෝවඃවහන්සේ “සෑම සැනසිල්ලේ දෙවි” බව බයිබලය අපට සහතික කරයි. (2 කොරින්ති 1:3) එමෙන්ම “උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටින” බවද එය අපට පවසයි. (ක්‍රියා 17:27) එනිසා සැනසුම හා දිරිගැන්වීම යනු ලබාගත හැකි දේවල් වේ. යෙහෝවඃවහන්සේ දිරිගැන්වීම සපයන සාමාන්‍ය පාර්ශ්ව සතරක් අපි සලකා බලමු.
දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික සබඳතාවක් තුළින්
යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික සබඳතාවක් වනාහි සැනසුමේ උතුම්ම මූලාශ්‍රය වේ. එවන් සබඳතාවක් ගොඩනැඟිය හැකිය යන කාරණයම දිරිගන්වනසුලුය. ඇරත්, අපේ දූරකථන ඇමතුම් නැතහොත් අපේ ගැටලු කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වනු ඇත්තේ ලෝකයේ කවර පාලකයෙක්ද? එවන් මනුෂ්‍යයන්ට වඩා යෙහෝවඃවහන්සේ අසීමිත ආකාරයකින් බලසම්පන්නය. එහෙත් උන්වහන්සේ නිහතමානීය—එනම්, පහත්, අසම්පූර්ණ මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීමට බෙහෙවින් කැමති වනසේක. (ගීතාවලිය 18:35) අපට ප්‍රේමය දැක්වීමට යෙහෝවඃවහන්සේ මූලික පියවර පවා ගෙන ඇත. පළමුවන යොහන් 4:10 මෙසේ පවසයි: “ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.” එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේ ප්‍රේමනීයව අපව ස්වකීය පුත්‍රයාණන් වෙත ඇදගන්නාසේක.—යොහන් 6:44.
ඔබ ප්‍රතිචාරය දක්වා, දෙවියන්වහන්සේ සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම තුළින් සහනය සොයාගෙන ඇද්ද? (යාකොබ් 2:23 සසඳන්න.) නිදසුනක් වශයෙන්, ඔබට හිතවත්, සමීප මිතුරෙක් ඇත්නම්, ඒ තැනැත්තා සමඟ තනිව යම් කාලයක් ගත කරමින්, ඔබේ කාන්සා, බිය සැක, ඔබේ බලාපොරොත්තු හා සතුටට හේතු ගැන නිදහසේ කතා කිරීමට ලැබීම ප්‍රීතියට කාරණයක් නොවේද? යෙහෝවඃවහන්සේ තමන්වහන්සේ සමඟ එසේ කිරීමට ඔබට ඇරයුම් කරනසේක. යාච්ඤාව තුළින් ඔබට උන්වහන්සේ සමඟ කොපමණ වේලා කතා කළ හැකිද යන්න සම්බන්ධයෙන් උන්වහන්සේ සීමාවක් නොදමනසේක—ඇරත් උන්වහන්සේ සැබවින්ම සවන් දෙනසේක. (ගීතාවලිය 65:2; 1 තෙසලෝනික 5:17) යේසුස්වහන්සේ නිතිපතා මෙන්ම ඉතා උනන්දුවෙන් යාච්ඤා කළසේක. ඇත්තවශයෙන්ම, සිය ප්‍රේරිතයන් 12දෙනා තෝරාගැනීමට කලින්, උන්වහන්සේ මුළු රාත්‍රියක්ම යාච්ඤාවෙහි නිරතව සිටිසේක.—ලූක් 6:12-16; හෙබ්‍රෙව් 5:7.
විටින් විට, අප සෑම කෙනෙකුටම යෙහෝවඃවහන්සේ සමඟ තනිව කාලය ගත කිරීමට අවස්ථා උදා විය හැක. ජනේලයක් අසල නිසංසලව හිඳගෙන සිටින විට නැතහොත් නිස්කලංකව ඇවිදින විට, යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේට අපේ හෘදය විවෘත කිරීමට හොඳ ප්‍රස්තාවක් විවෘත කළ හැක. එසේ කිරීම ප්‍රබල සහනයේ හා සැනසුමේ මූලාශ්‍රයක් විය හැක. මෙනෙහි කරන අතරතුර—අහස් තලයේ කුඩා කොටසක්, ගස්වැල් හෝ කුරුල්ලන් ස්වල්පදෙනෙකු හෝ වේවා—යෙහෝවඃවහන්සේගේ මැවිල්ලේ යම් අංගයක් දෙස බැලීමට අපට හැකි නම්, එමගින් අප උදෙසා යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය හා සැලකිල්ල සම්බන්ධයෙන් යම් සහනය ගෙන දෙන සිහිගැන්වීම් අපට ලබාගත හැක.—රෝම 1:20.
දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමක් තුළින්
එහෙත් යෙහෝවඃවහන්සේගේ ගුණාංග අපට සැබවින්ම පැහැදිලි වන්නේ බයිබලය පෞද්ගලික අධ්‍යයනය කිරීමක් තුළිනි. යෙහෝවඃවහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව . . . ඇත්තාවූ දෙවි කෙනෙක්” බව බයිබලය පුන පුනා හෙළිදරව් කරයි. (නික්මයාම 34:6; නෙහෙමියා 9:17; ගීතාවලිය 86:15) ස්වකීය භූමික සේවකයන්ට සැනසුම ගෙන දීමේ ආශාව යෙහෝවඃවහන්සේගේම පෞද්ගලිකත්වයට ආවේනික වූ කොටසකි.
යෙසායා 66:13හි සඳහන් යෙහෝවඃවහන්සේගේ වදන් නිදසුනක් වශයෙන් සැලකිල්ලට ගන්න: “මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි.” සිය දරුවන් වෙනුවෙන් මවකගේ ප්‍රේමය ආත්ම-පරිත්‍යාගශීලී මෙන්ම පක්ෂපාත යමක් වීමට යෙහෝවඃවහන්සේ නිර්මාණය කළසේක. ප්‍රේමනීය මවක සිය තුවාල වූ දරුවෙකු සනසනවා ඔබ කවදා හෝ දැක ඇත්නම්, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා සනසනවා යන්න පවසන විට උන්වහන්සේ අදහස් කරන දේ ඔබ දන්නෙහිය.
එවන් සැනසුමක් ක්‍රියාවට නැඟෙන අන්දම බොහෝ බයිබල් වාර්තාවල පෙන්වා තිබේ. දුෂ්ට බිසව යෙසෙබෙල් විසින් අනාගතවක්තෘ එලියාව මරණයේ තර්ජනවලට ලක් කරනු ලැබූ විට, ඔහු බිය වී සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට පලා ගියේය. ඔහු කොතරම් අධෛර්යය වූවාද කිවහොත්, පෙනෙන ප්‍රකාරයට ආහාර පාන නොරැගෙන, සම්පූර්ණ දවසක ගමනක යෙදෙමින් කාන්තාරය තුළට ඇවිද්දේය. මහත් සංවේගයෙන් යුක්තව එලියා යෙහෝවඃවහන්සේට පැවසුවේ තමාට මියයෑමට වුවමනා බවය. (1 රාජාවලිය 19:1-4) යෙහෝවඃවහන්සේ ස්වකීය අනාගතවක්තෘ සනසාලීමටත්, දිරිමත් කිරීමටත් කුමක් කළසේක්ද?
එලියා තුළ තනිකම, නොවටිනාකම හා තැතිගන්වන හැඟීම් පහළ වීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ඔහුට තරවටු නොකළසේක. ඊට පටහැනිව, “සියුම් නිශ්චලතාවේ හඬක්” එම අනාගතවක්තෘට ඇසිණ. (1 රාජාවලිය 19:12) ඔබ 1 රාජාවලිය 19වන පරිච්ඡේදය කියවන්නෙහි නම්, යෙහෝවඃවහන්සේ එලියාට සැනසුමද සහනයද ගෙන දුන් අන්දමද, ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කළ අන්දමද ඔබට පැහැදිලි වනවා ඇත. මෙම සැනසුම මතුපිට සැනසුමක් පමණක් නොවීය. එලියාගේ දුකට පත් හෘදයටම කිඳා බැසගිය එය, දිගටම කටයුතු කිරීම සඳහා මෙම අනාගතවක්තෲට දිරියක් විය. (යෙසායා 40:1, 2 සසඳන්න.) වැඩි කලක් යන්ට මත්තෙන්, ඔහු නැවතත් සිය වැඩයෙහි නිරත වෙමින් සිටියේය.
ඒ හා සමානව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය පක්ෂපාත අනුගාමිකයන්ට සැනසුම හා දිරිගැන්වීම සපයනසේක. ඇත්තෙන්ම කියනවා නම්, යෙසායා මෙසියස්වහන්සේ පිළිබඳව මෙසේ පුරෝකථනය කළේය: “ස්වාමිවූ දෙවියන්වහන්සේ . . . බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, . . . වැලපෙන සියල්ලන් සනසන්ටද . . . මා එවූසේක.” (යෙසායා 61:1-3) සිය ජීවිත කාලය තුළදී, මෙම වදන් තමන්ට අදාළ වූ බව යේසුස්වහන්සේ මොනවට පැහැදිලි කළසේක. (ලූක් 4:17-21) සැනසුම සඳහා අවශ්‍යතාවක් තිබෙන බව ඔබට හැඟේ නම්, වේදනාවට පත් වූ, අවශ්‍යතා ඇතුව සිටි ජනයා සමඟ යේසුස්වහන්සේ කටයුතු කළ මෘදු, ප්‍රේමනීය අන්දම පිළිබඳව මෙනෙහි කරන්න. බයිබලය පරෙස්සමින් අධ්‍යයනය කිරීම සැනසුමේ හා දිරිගැන්වීමේ විශිෂ්ට මූලාශ්‍රයක් බව සහතිකය.
සභාව තුළින්
ක්‍රිස්තියානි සභාව තුළ, සැනසුමේ හා දිරිගැන්වීමේ මැණික්, විවිධ මූණත්වලින් යුක්තව දීප්තිමත්ව බැබළේ. “එකිනෙකාට ධෛර්ය [සැනසුම, NW] දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න,” කියා ලිවීමට ප්‍රේරිත පාවුල් දේවානුභාවය ලැබීය. (1 තෙසලෝනික 5:11, නව අනුවාදය) සභා රැස්වීම්වලදී සැනසුම හා දිරිය සොයාගත හැකි වන්නේ කෙසේද?
ඇත්තවශයෙන්, මූලිකව, අප ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්නේ, ‘යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීමටය,’ එනම් උන්වහන්සේ ගැනත් ස්වකීය මාර්ග ගැනත් උපදෙස් ලැබීමටය. (යොහන් 6:45) එවන් උපදෙස්වල අභිප්‍රාය, දිරිගැන්වීම හා සැනසුම වේ. ක්‍රියා 15:32හි, අපට මෙසේ කියවීමට තිබේ: “යූදස් සහ සීලස් . . . බොහෝ වචනවලින් සහෝදරයන්ට අවවාදකර [දිරිගන්වා, NW], ඔවුන් ස්ථිරකළෝය.”
ඔබ අධෛර්යයට පත් වූ අවස්ථාවක ක්‍රිස්තියානි රැස්වීමට ගොස් නැවත නිවසට පැමිණෙන විට, සහනයක් දැනුණු අන්දම ඔබ කවදා හෝ අද්දැක ඇද්ද? ඇතැම්විට, කතාවක, දෙන ලද උත්තරයක, නැතහොත් යාච්ඤාවක පවසන ලද යමක් ඔබේ හෘදයට බලපාමින් බෙහෙවින් අවශ්‍ය වූ සැනසුමක් හා දිරිගැන්වීමක් ඔබට ලබා දුන්නා විය හැක. එනිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම අතපසු නොකරන්න.—හෙබ්‍රෙව් 10:24, 25.
දේවසේවයේදී හා වෙනත් අවස්ථාවලදී අපේ සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීම ඒ හා සමාන බලපෑමකින් යුක්තය. හෙබ්‍රෙව් භාෂාවේ “එකට බැඳීම” යන අර්ථය සහිත ක්‍රියා පද කිහිපයකට “ශක්තිය” නැතහොත් “ශක්තිමත් කිරීම” යන අර්ථය ගැබ්වීමට පටන් ගති—පෙනෙන ප්‍රකාරයට මෙහි අදහස වනාහි, දේවල් එකට බැඳී තිබෙන විට ඒවා වඩාත් ශක්තිමත් වන බවය. මෙම ප්‍රතිපත්තිය සභාව තුළ සැබෑවක් වේ. එකට ආශ්‍රය කිරීමෙන් අපි සැනසුම, දිරිගැන්වීම, එසේය ශක්තිය ලබන්නෙමු. එමෙන්ම වඩාත්ම ශක්තිමත් මැලියම වන ප්‍රේමයෙන් අපව එකට බඳිනු ලැබේ.—කොලොස්සි 3:14.
ඇතැම් අවස්ථාවල අපව දිරිගන්වන්නේ, අපේ ආත්මික සහෝදර සහෝදරියන්ගේ විශ්වාසවන්තකමය. (1 තෙසලෝනික 3:7, 8) ඇතැම්විට ඔවුන් පෙන්වන ප්‍රේමය නිසා දිරිය ලැබේ. (පිලෙමොන් 7) තවද ඇතැම්විට, අනුන්ට දේවරාජ්‍යය ගැන කතා කරන විට, උරින් උර ගැටී එකට වැඩ කිරීමෙන් පවා දිරිය ලැබේ. සේවය සම්බන්ධයෙන් ගත් කල, දුර්වලබවක් මෙන්ම දිරිගැන්වීමේ අවශ්‍යතාව ඇතුව සිටින බවක් ඔබට හැඟේ නම්, වඩාත් මේරූ නොහොත් වැඩි අද්දැකීම් ලත් රාජ්‍ය ප්‍රචාරකයෙකු සමඟ වැඩ කිරීමට ඔබ විධිවිධාන නොයොදන්නේ මන්ද? එසේ කිරීමෙන් ඔබට ඉමහත් සැනසිල්ලක් ලැබීමට බොහෝ ඉඩ කඩ ඇත.—දේශනාකාරයා 4:9-12; පිලිප්පි 1:27.
“විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින්
අපේ නමස්කාරයේ සැනසිල්ල ගෙන දෙන අංග සංවිධානය කරන්නේ කවුද? “නියම වේලාවට [ආත්මික] කෑම” දීමට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් නියම කරනු ලැබූ පංතියක් යේසුස්වහන්සේ පත් කළසේක. (මතෙව් 24:45) පොදු යුගයේ පළමු සියවසේ පවා, ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මෙම මණ්ඩලය ක්‍රියා කරමින් සිටියේය. යෙරුසලමේ වැඩිමහල්ලන්ගෙන් යුත් පාලක මණ්ඩලය සභාවන් වෙත උපදෙස් හා මඟ පෙන්වීම ඇතුළත් ලිපි යැවීය. ප්‍රතිඵලය කුමක් වීද? ඉන් එක් ලිපියකට සභාවන් ප්‍රතික්‍රියා කළේ කෙසේද කියා බයිබලයෙහි මෙසේ වාර්තා වේ: “ඔව්හු එය කියවා, ඒ සැනසිල්ල ගැන ප්‍රීතිවූවෝය.”—ක්‍රියා 15:23-31.
ඒ හා සමානව, මෙම අර්බුදකාරි අන්තිම දවස්වලදී, විශ්වාස වූ නුවණ ඇති දාසයා යෙහෝවඃවහන්සේගේ ජනයා සඳහා ඉමහත් සැනසුමක් හා දිරිගැන්වීමක් ලබා දෙන ආත්මික ආහාර සපයමින් සිටී. ඔබ එම ආහාරවලට පංගුකාරයෙක් වන්නෙහිද? දාස පංතිය මුළු ලොව පුරා බෙදාහරින මුද්‍රිත පොත් පත් තුළ එය පහසුවෙන් ලබාගත හැක. මුරටැඹ හා පිබිදෙව්! සඟරා මෙන්ම වොච් ටවර් සමිතිය ප්‍රකාශයට පත් කරන පොත්, විවරණිකා හා පත්‍රිකා පාඨකයන් අසංඛ්‍යාත පිරිසකට සැනසුම ගෙන දී තිබේ.
එක් සංචාරක අවේක්ෂකයෙක් මෙසේ ලීවේය: “අපේ සහෝදර සහෝදරියන් වැඩිදෙනෙකුට වුවමනා වන්නේ හරි දේ කිරීමටය, නමුත්, බලාපොරොත්තු සුන්වීම, බිය සැක මෙන්ම තමුන්ටම උපකාරය සලසාගැනීමට ඔවුන්ට ශක්තියක් නැතැයි යන හැඟීම හේතුකොටගෙන ඔවුන්ට මහත් පොරබැදීමක් තිබේ. තම ජීවිත හා චිත්තවේගයන් යළිත් පාලනය කරගැනීමට, අපේ සඟරාවල තිබෙන ලිපි බොහෝදෙනෙකුට උපකාරවත් වේ. නිකම්ම මතුපිට දිරිගැන්වීමක් දෙනවාට වඩා වැඩියමක් දීමටද මෙම ලිපි වැඩිමහල්ලන්ට රුකුලක් වේ.”
විශ්වාස වූ දාස පංතියෙන් ලැබෙන පොත් පත්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගන්න. අප අසීරු කාලවල් අද්දකින විට, අපට සැනසිල්ල ලබාගැනීමට කාලෝචිත සඟරා, පොත් හා වෙනත් ප්‍රකාශන උපකාර කළ හැක. අනික් අතට, කලකිරුණු කෙනෙකුට දිරිගැන්වීම ලබා දීමේ තත්වයක ඔබ සිටින්නෙහි නම්, මෙම සඟරාවල පළ වන ශුද්ධ ලියවිලිමය තොරතුරු භාවිත කරන්න. වෙහෙස මහන්සිය නොබලා සති නැතහොත් මාස ගණනාවක පවා පර්යේෂණ, අධ්‍යයන හා යාච්ඤාවෙහි නියැලීමෙන් පසු මෙම ලිපි ඉතා පරෙස්සමින් රචනා කොට තිබේ. ලබා දී තිබෙන උපදෙස් බයිබලය මත පදනම් වූ, ස්ථිරසාර සැබෑ උපදෙස් වේ. දුර්වල තත්වයක සිටින කෙනෙකු සමඟ යෝග්‍ය වන ලිපියක් කියවීම උපකාරවත් වන බව ඇතමෙකු සොයාගෙන තිබේ. ඉමහත් සැනසිල්ලක් හා දිරිගැන්වීමක් මෙහි ප්‍රතිඵලය විය හැක.
ඔබ අනර්ඝ මැණික් සොයාගත්තෙහි නම්, ඔබ ඒවා සඟවා තබන්නෙහිද, එසේ නැතහොත් එම ධන සම්භාරයෙන් සමහරක් අනුන් සමඟ ත්‍යාගශීලීව හවුලේ බෙදාගන්නෙහිද? සභාවේ සිටින ඔබේ සහෝදර සහෝදරියන්ට සැනසිල්ලේ හා දිරිගැන්වීමේ මූලාශ්‍රයක් වීම ඔබේ ඉලක්කය කරගන්න. ඔබ බිඳ හෙළනවා වෙනුවට ගොඩනඟන්නෙහි නම්, විවේචනය කරනවා වෙනුවට ප්‍රශංසා කරන්නෙහි නම්, වග විභාගයකින් තොරව “කඩුවෙන් අනින්නාක්මෙන්” කතා නොකර “උගතුන්ගේ දිව” ඇතුව කතා කරන්නෙහි නම්, අනුන්ගේ ජීවිතවලට වෙනසක් ගෙන දීමට ඔබට හැක. (හිතෝපදේශ 12:18; යෙසායා 50:4) ඇත්තෙන්ම ඔබවත් මැණිකක්—එනම් අව්‍යාජ සැනසුමේ හා දිරිගැන්වීමේ මූලාශ්‍රයක්—හැටියට සැලකීමට ඉඩ කඩ තිබෙනවා නොඅනුමානය!
[20වන පිටුවේ කොටුව]
අවශ්‍යතාවක් ඇති අයට සැනසීම
ඇතැම් මුරටැඹ හා පිබිදෙව්! කලාප යෙහෝවඃවහන්සේ සමඟ තම සබඳතාව තවත් ගැඹුරු කර තිබෙන අන්දම ගැන බොහෝදෙනෙකු අදහස් දක්වා ඇත. එක්කෙනෙක් මෙසේ පැවසීය: “මෙම ලිපිය කියවීමෙන් පසු, ස්වකීය සියලු බලසම්පන්නකම හා මහිමයෙන් යුක්තව යෙහෝවඃවහන්සේ හරියට මා ඉදිරියෙහි සිටින්නාක් මෙන් මට හැඟුණා. උන්වහන්සේ සැබෑ පුද්ගලයෙකු කියාද මට හැඟුණා.” තවත් ලිපියක මෙසේ පවසන ලදි: “යෙහෝවඃවහන්සේ පිළිබඳව අපේ දෘෂ්ටිය සම්බන්ධයෙන් අපේ හදවත් සහ මනස් කොතරම් වෙනස් වී තිබෙනවාද කිවහොත්, අපි දැන් එකම පුද්ගලයෝ කියලා කියන්ට බැහැ. එය හරියට යමෙකු අපේ ඇස් කණ්ණාඩි පිරිසිදු කළා වගේ, තවද දැන් අපට සෑම දෙයක්ම සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකියි.”
තමන් කෙරෙහි යෙහෝවඃවහන්සේ පෞද්ගලික සැලකිල්ල දක්වන බවට සහතික වෙමින්, නිශ්චිත ගැටලු හෝ අභියෝගවලට මුහුණ දීමට සඟරා ඔවුන්ට උපකාර කරන අන්දම ගැන ඇතැම්හු ලියති. එක් පාඨකයෙක් කාරණය මෙසේ පැහැදිලි කළාය: “යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට කොතරම් සැලකිල්ල හා ප්‍රේමය දක්වනවාද කියා දැකගැනීමට අපට නැවතත් අවකාශයක් සලසා දීම ගැන ඔබට බොහොම ස්තුතියි.” මරණයෙන් සිය දරුවෙකු අහිමි වූ ජපන් ජාතික ස්ත්‍රියක්, එම විෂය පිළිබඳ පළ වූ පිබිදෙව්! ලිපි ගැන මෙසේ පැවසුවාය: “දෙවියන්වහන්සේගේ දයාවේ ගැඹුරුකම එම පිටුවලින් මා වෙත ගලා ආවා, මම බොහෝ කලක් තිස්සේ ඇඬුවා. මට දුකක් හා තනිකමක් දැනෙන ඕනෑම අවස්ථාවක විගස කියවීමට හැකි වන පරිද්දෙන් මෙම ලිපි නිශ්චිත ස්ථානයක තබා තිබෙනවා. ශෝකයෙන් පෙළෙන තවත් ස්ත්‍රියක් මෙසේ ලීවාය: “මුරටැඹ හා පිබිදෙව්! ලිපි හා “ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . .” යන විවරණිකාව, ශෝකයෙන් මා ගත කළ කාලපරිච්ඡේදය විඳදරාගැනීමට මාහට ශක්තිය දී තිබෙනවා.”
සැනසීමේ පරම මූලාශ්‍රය වූ කලි ශුද්ධ ලියවිලිය. (රෝම 15:4) මුරටැඹ සිය අධිකාරය හැටියට බයිබලය සලකන අතර, එහි සහකාරක පිබිදෙව්! සඟරාවද එසේම කරයි. මෙනිසා, මෙම සඟරා එහි පාඨකයන්හට සැනසීම හා දිරිගැන්වීම සපයා ඇත.
[23වන පිටුවේ පින්තූරය]
සෑම සැනසිල්ලේ දෙවිඳාණෝ යාච්ඤා අසන තැනැන්වහන්සේද වනසේක