යෙහෝවඃවහන්සේගේ බැටළුවන්ට මුදු මොළොක් සැලකිල්ල අවශ්‍යය
“යෙහෝවා, දෙවියන්වහන්සේ බව දැනගන්න. . . . අපි ස්වකීය සෙනඟද ස්වකීය ගොදුරු බිමේ බැටළුවෝද වන්නෙමු.”—ගීතාවලිය 100:3, NW.
1. යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ව සලකන්නේ කෙසේද?
යෙහෝවඃවහන්සේ ශ්‍රේෂ්ඨ එඬේරාණෝ වනසේක. අපි උන්වහන්සේගේ සේවකයෝ වන්නෙමු නම්, ස්වකීය බැටළුවන් හැටියට අපව සලකන උන්වහන්සේ, අපට මුදු මොළොක් සැලකිල්ල දක්වනසේක. අපට සහනය හා නැවුම්බව ගෙන දෙන අපේ ස්වර්ගික පියාණෝ, “ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල” අප ගෙනයනසේක. (ගීතාවලිය 23:1-4) මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපට කොතරම් ප්‍රේම කරනවාද කිවහොත්, උන්වහන්සේ සිය ප්‍රාණය අප උදෙසා පිදූසේක.—යොහන් 10:7-15.
2. දෙවියන්වහන්සේගේ සෙනඟ අද්දකිමින් සිටින්නේ කෙබඳු තත්වයක්ද?
2 මුදු මොළොක් සැලකිල්ල ලබන්නන් වශයෙන්, අපට ගීතිකාකරු සමඟ මෙසේ පැවසිය හැකි වේ: “යෙහෝවඃවහන්සේට ප්‍රීතියෙන් යුතුව සේවය කරන්න. ප්‍රීතිමත් මොරගැසීමකින් උන්වහන්සේ සමීපයට පැමිණෙන්න. යෙහෝවා, දෙවියන්වහන්සේ බව දැනගන්න. උන්වහන්සේ අප සෑදුසේක, අපිම එසේ නොකළෙමු. අපි ස්වකීය සෙනඟද ස්වකීය ගොදුරු බිමේ බැටළුවෝද වන්නෙමු.” (ගීතාවලිය 100:2, 3, NW) එසේය, අපි ප්‍රීතිමත්ව සුරක්ෂිතව සිටිමු. එය හරියට ගල්වලින් තනන ලද ශක්තිමත් තාප්පයකින් වට වූ, ගොදුරු අල්ලා කන නපුරු සත්වයන්ගෙන් ආරක්ෂාව ඇති බැටළු ගාලක අප සිටියාක් මෙනි.—ගණන් කථාව 32:16; 1 සාමුවෙල් 24:3; ශෙපනියා 2:6.
රැළේ කැමැත්තෙන් සේවය කරන එඬේරු
3. පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දෙවියන්වහන්සේගේ රැළට සලකන්නේ කෙසේද?
3 දෙවියන්වහන්සේගේ බැටළුවන් වශයෙන් අප ප්‍රීතිමත්ව සිටීම ගැන පුදුම විය යුතු නැත! පත් කරන ලද වැඩිමහල්ලෝ අප අතර පෙරමුණ ගනිති. ඔවුන් ‘අධිපතීන් වෙන්ට හදන්නේවත්,’ අප කෙරෙහි අධිපතිකම් කරන්නේවත්, අපේ ඇදහිල්ල කෙරෙහි බලය පවත්වන්ට තැත් කරන්නේවත් නැත. (ගණන් කථාව 16:13; මතෙව් 20:25-28; 2 කොරින්ති 1:24; හෙබ්‍රෙව් 13:7) ඒ වෙනුවට, ඔවුහු ප්‍රේරිත පේතෘස්ගේ උපදෙස් අදාළ කරගන්නා ප්‍රේමනීය එඬේරු වෙති: “නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගනිල්ලා.” (1 පේතෘස් 5:2, 3) ප්‍රේරිත පාවුල් සෙසු වැඩිමහල්ලන්ට මෙසේ පැවසීය: “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [තම පුත්‍රයාණන්ගේ, NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් [අවේක්ෂකයන්, NW] කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා.” තවද ශුද්ධාත්මය මගින් පත් කරන ලද මෙම පුරුෂයන් ‘මුදු මොළොක්භාවයෙන් යුතුව රැළ කෙරෙහි සැලකිල්ල දැක්වීම’ [NW] ගැන බැටළුවන්ට මොනතරම් කෘතඥපූර්වක විය හැකිද!—ක්‍රියා 20:28-30.
4. චාර්ල්ස් ටී. රසල් සුප්‍රසිද්ධ වූයේ රැළ සමඟ කෙබඳු සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද?
4 යේසුස්වහන්සේ සභාවට “මනුෂ්‍යයන් තුළ දීමනා” [NW] දුන් අතර, ඉන් සමහරෙක් යෙහෝවඃවහන්සේගේ රැළට මුදු මොළොක් ආකාරයකින් සැලකිල්ල දක්වන “සභා පාලකයන්” නොහොත් එඬේරුන් වශයෙන් කටයුතු කරති. (එපීස 4:8, 11) වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ චාර්ල්ස් ටී. රසල් ඉන් එක් පුරුෂයෙක් විය. නායක එඬේර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යටතේ පවතින රැළ රැකබලා ගැනීමෙහිලා ඔහු පිරිනැමූ ප්‍රේමනීය මෙන්ම දයානුකම්පිත සේවය නිමිත්තෙන් ඔහුව හඳුන්වනු ලැබුවේ පාස්ටර් රසල් වශයෙනි. අදදින, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් පත් කර තිබෙන අතර, “පාස්ටර්,” “වැඩිමහල්ලා” නැතහොත් “ගුරුවරයා” යන යෙදුම්, පදවි නාම ලෙස භාවිත නොකිරීමට සැලකිල්ලක් දක්වනු ලැබේ. (මතෙව් 23:8-12) එහෙත් වත්මන් වැඩිමහල්ලෝ යෙහෝවඃවහන්සේගේ ගොදුරු බිමේ බැටළුවන්ගේ ප්‍රයෝජනය සඳහා එඬේරකම් කිරීමේ නොහොත් රැකබලා ගැනීමේ වැඩක යෙදී සිටිත්.
5. නවකයන් ක්‍රිස්තියානි සභාවේ පත් කරන ලද වැඩිමහල්ලන්ව දැනහඳුනා ගත යුත්තේ මන්ද?
5 එඬේරුන් වශයෙන්, වැඩිමහල්ලන්ට නවකයන්ගේ ආත්මික ප්‍රගතිය සම්බන්ධයෙන් අතිවැදගත් භූමිකාවක් හිමිය. එබැවින්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන නව පොතේ 168වන පිටුවේ මෙසේ පැවසේ: “සභාවේ පත් කර තිබෙන වැඩිමහල්ලන් දැනහඳුනා ගැනීමෙහි නිරත වන්න. දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අදාළ කිරීමෙහි ඔවුහු බොහෝ අද්දැකීම් සතුව සිටිති, මන්දයත් අවේක්ෂකයන් සඳහා බයිබලයෙහි දක්වා තිබෙන සුදුසුකම්වලට ඔවුන් අනුකූලව සිටින බැවිනි. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවලට පටහැනිව ගමන් කරන පුරුද්දක් හෝ ගතිගුණයක් පරාජය කිරීමට ඔබහට ආත්මික උපකාරයක් අවශ්‍ය නම්, ඔවුන්ගෙන් කෙනෙකු වෙත එළඹීමට පසුබට නොවන්න. වැඩිමහල්ලන් පාවුල්ගේ මෙම අවවාදය අනුගමනය කරන බව ඔබ සොයාගන්නෙහිය: ‘ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කරන්න, දුර්වලයන්ට ආධාර කරන්න, සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින්න.’—1 තෙසලෝනික 2:7, 8; 5:14.”
නවකයන්ට දේශනා කිරීමට වුවමනා වන විට
6. බයිබල් ශිෂ්‍යයෙකුට රාජ්‍ය ප්‍රචාරකයෙකු වීමට වුවමනා නම් කුමන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලැබේද?
6 බයිබල් ශිෂ්‍යයෙකු දැනුම ලබා, යම් කලකට රැස්වීම්වලට පැමිණීමෙන් පසු, රාජ්‍ය ප්‍රචාරකයෙකු, ශුභාරංචිය දේශනාකරන්නෙකු වීමට ඔහුට වුවමනා විය හැක. (මාර්ක් 13:10) එසේනම්, ඔහු සමඟ බයිබල් පාඩම පවත්වන සාක්ෂිකරුවා මුලසුන භාර අවේක්ෂකට ඒ බව දැන්විය යුතු අතර, ඔහු සභාවේ සේවා කමිටුවේ වැඩිමහල්ලෙකුට හා වෙනත් වැඩිමහල්ලෙකුට එම බයිබල් ශිෂ්‍යයා හා ඔහුගේ ගුරුවරයාව හමුවීමට විධිවිධානය යොදවන්නේය. මෙම සාකච්ඡාව අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම යන පොතේ පිටු 98 හා 99 මත පදනම් වනු ඇත. එම නවකයා මූලික බයිබල් ඉගැන්වීම් විශ්වාස කරන බවත්, දෙවියන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට අනුකූලව සිටින බවත් මෙම වැඩිමහල්ලෝ දෙදෙනා දකිත් නම්, ඔහු ප්‍රසිද්ධ සේවයේ සහභාගි වීමට සුදුසුකම් ලබා සිටින බව ඔහුට පවසනු ලබනවා ඇත.a ක්ෂේත්‍ර සේවා වාර්තාවක් ලබා දීමෙන් ඔහු සිය සේවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන විට, ඔහුගේ නමින් සකස් කරන ලද සභා ප්රචාරක වාර්තාපතක එය සටහන් කරනු ලබනවා ඇත. ප්‍රීතිමත්ව “දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ” කරන මිලියන සංඛ්‍යාත සෙස්සන් සමඟ තම සාක්ෂිදැරීමේ කාර්යය දැන් වාර්තා කිරීමට මෙම නවකයාට හැකිය. (ක්‍රියා 13:5) ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් බව සභාවට නිවේදනය කරනු ලැබේ.
7, 8. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකුට සේවය තුළ අවශ්‍ය වන උපකාරය ලබා දිය හැකි ආකාර මොනවාද?
7 වැඩිමහල්ලන්ගේ හා වෙනත් මේරූ ක්‍රිස්තියානීන්ගේ උපකාරය බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකුට අවශ්‍යය. උදාහරණයක් වශයෙන්, ඔහුගේ ආත්මික ප්‍රගතිය, ඔහු සහභාගි වන සභා පොත් පාඩම මෙහෙයවන්නාගේ උනන්දුවට භාජන වේ. ගෙයින් ගෙට සේවයේදී බලපෑමෙන් යුතුව කතා කිරීම නවක ප්‍රචාරකයාට දුෂ්කර යමක් විය හැක. (ක්‍රියා 20:20) එනිසා ඔහු උපකාරය ලබාගැනීමට, විශේෂයෙන්ම ඔහු සමඟ දැනුම පොත ඇසුරෙන් බයිබල් පාඩම පවත්වා ඇති තැනැත්තාගෙන් උපකාරය ලබාගැනීමට කැමති වීමට ඉඩ කඩ ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ගෝලයන්ව සේවය සඳහා සූදානම් කළ බැවින්, එවන් ප්‍රායෝගික උපකාරයක් පිරිනැමීම යෝග්‍ය වේ.—මාර්ක් 6:7-13; ලූක් 10:1-22.
8 අපේ සේවය බලපෑමෙන් යුත් එකක් වීමට නම්, හොඳ කලින් සූදානම් වීමක් අත්‍යවශ්‍යය. එමනිසා, අපගේ රාජ්‍ය සේවාව යන්නෙහි මාසික කලාපවල යෝජනා කරන ලද ඉදිරිපත් කිරීම් පුහුණු වීමට මුලදී ප්‍රචාරකයන් දෙදෙනාට එකතු විය හැක. ඔවුන් සිය ක්ෂේත්‍ර සේවය ආරම්භ කරන විට, වැඩි අද්දැකීම්වලින් යුත් තැනැත්තාට පළමු නිවසට හෝ දෙවැන්නට කතා කළ හැක. මිත්‍රශීලී හැඳින්වීමකින් පසු, ප්‍රචාරකයන් දෙදෙනාටම සාක්ෂිදැරීමෙහි සහභාගි විය හැක. සති කිහිපයකට ක්ෂේත්‍ර සේවයෙහි එකට වැඩ කිරීම කදිම නැවත බැලීම්වලට මෙන්ම, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතෙන් නිවාස බයිබල් පාඩමකට පවා මඟ පෑදිය හැක. වැඩි අද්දැකීම්වලින් යුත් ප්‍රචාරකයාට ටික කලකට පාඩම පැවැත්විය හැකි අතර, ඉන් අනතුරුව නවක රාජ්‍ය ප්‍රචාරකයාට එය භාර දිය හැක. එම බයිබල් ශිෂ්‍යයා දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම කෙරෙහි අගයක් විදහාපාන්නේ නම්, ප්‍රචාරකයන් දෙදෙනා කොතරම් සතුටු වනු ඇද්ද!
9. ප්‍රචාරකයෙකු බව්තීස්ම වීමට ආශාවක් දක්වන විට, කුමන විධිවිධාන යොදවනු ලැබේද?
9 බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ආත්මිකව ප්‍රගතියක් ලබන අතරම, යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේට කැපවිය හැකි ඔහුට බව්තීස්ම වීමට වුවමනා විය හැක. (මාර්ක් 1:9-11 සසඳන්න.) හෙතෙම බව්තීස්ම වීම සඳහා සිය ආශාව සභාවේ මුලසුන භාර අවේක්ෂකට දැනුම් දිය යුතු අතර, එවිට ඔහු අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම යන්නෙහි පිටු 175 සිට 218හි ප්‍රශ්න වැඩිමහල්ලන් ලවා ප්‍රචාරකයා සමඟ පුනරීක්ෂණය කිරීමට විධිවිධාන යොදවනවා ඇත. ප්‍රශ්න බෙදා තිබෙන කොටස් සතර සැසිවාර තුනකදී හැකි නම් වෙනස් වැඩිමහල්ලන් තිදෙනෙකු විසින් පියවිය හැක. බව්තීස්ම නොලත් ප්‍රචාරකයාට බයිබල් ඉගැන්වීම් පිළිබඳව සාධාරණ අවබෝධයක් ඇති බවටත්, වෙනත් ආකාරවලින් සුදුසුකම් ලබන බවටත් ඔවුහු එකඟ වන්නහු නම්, ඔහුට බව්තීස්ම විය හැකි බව ඔවුහු ඔහුට පවසන්නෝය. සිය කැපවීමේ හා බව්තීස්මයේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු ගැළවීම සඳහා ‘ලකුණු’ කරනු ලබන්නේය.—එසකියෙල් 9:4-6.
විශේෂ අවශ්‍යතා පිරිමැසීම
10. දැනුම පොත ආශ්රයෙන් සිය පාඩම නිම කොට බව්තීස්ම වීමෙන් පසු, පුද්ගලයෙකු සිය ශුද්ධ ලියවිලිමය දැනුම වැඩි කරගනු ඇත්තේ කෙසේද?
10 පුද්ගලයෙකු දැනුම පොත ඇසුරෙන් සිය බයිබල් පාඩම අවසන් කොට බව්තීස්ම වීමෙන් පසු, එකම සැබෑ දෙවියන් වහන්සේගේ නමස්කාරයෙහි එක්සත්වීමb වැනි දෙවන පොතක විධිමත් පාඩමක් ඔහු සමඟ පැවැත්වීම අවශ්‍ය නොවිය හැක. මෑතකදී බව්තීස්ම වූ තැනැත්තා ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වී නිතිපතා ඒවා සඳහා පැමිණෙන විට ඔහු බොහෝ ඉගෙනගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ක්‍රිස්තියානි ප්‍රකාශන පෞද්ගලිකව කියවා අධ්‍යයනය කිරීමටත්, සෙසු ඇදහිලිවන්තයන් සමඟ ශුද්ධ ලියවිලිමය කාරණා සාකච්ඡා කිරීමටත්, සත්‍යය සඳහා ඔහුගේ පිපාසය ඔහුව පොලඹවන විට ඔහු අමතර දැනුමද ලබාගන්නවා ඇත. එහෙත් විශේෂ අවශ්‍යතා ඉස්මතු වුවහොත් කුමක් කිව හැකිද?
11. (අ) අපොල්ලොස්ට ප්‍රිස්කිලා හා අකිලාගෙන් උපකාර ලැබුණේ කෙසේද? (ආ) විවාහය ගැන කල්පනා කරන මෑතකදී බව්තීස්ම වූ තරුණ වැඩිහිටියෙකුට කෙබඳු උපකාරයක් දිය හැකිද?
11 අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් වූ ප්‍රිස්කිලාද, අකිලාද “ලියවිලි ගැන බලවත්ව සිටි” එමෙන්ම යේසුස්වහන්සේ ගැන නිවැරදිව ඉගැන්වූ අපොල්ලොස් “තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්” විට, ඔහු පවා ප්‍රයෝජන ලැබීය. (ක්‍රියා 18:24-26; සසඳන්න ක්‍රියා 19:1-7.) එනිසා, මෑතක බව්තීස්ම වූ තරුණ වැඩිහිටියෙකු පූර්ව විවාහ ඇසුරෙහි යෙදීමට හා විවාහ වීමට කල්පනා කරනවායයි උපකල්පනය කරන්න. වොච් ටවර් ප්රකාශනවල මෙම විෂයන් පිළිබඳව තොරතුරු සෙවීමට ඔහුට උපකාර කිරීමට වඩාත් අද්දැකීම් ඇති ක්‍රිස්තියානි භක්තිකයෙකුට හැක. නිදසුනක් වශයෙන්, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරුc යන පොතෙහි 7වන කාණ්ඩයෙහි මේ පිළිබඳව උපකාරවත් තොරතුරු දක්නට ලැබේ. නිතිපතා පාඩමක් කිරීම මීට අදාළ නොවුවද, මෙම කරුණු නවකයා සමඟ සාකච්ඡා කිරීමට ඔහු සමඟ බයිබලය පාඩම් කළ ප්‍රචාරකයාට හැක.
12. ගැටලු අද්දකින අලුතෙන් බව්තීස්ම වූ විවාහක කලත්‍රයන්ට කෙබඳු උපකාරයක් පිරිනැමිය හැකිද?
12 තවත් උදාහරණයක් සලකා බලන්න. ඇතැම්විට අලුතෙන් බව්තීස්ම වූ විවාහක කලත්‍රයන්ට දේවප්‍රතිපත්ති අදාළ කරගැනීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා විය හැක. ඔවුන්ට වැඩිමහල්ලෙකුගෙන් අදහස් විමසිය හැකි අතර, ඔවුන් සමඟ ශුද්ධ ලියවිලි සාකච්ඡා කරමින්, වොච් ටවර් ප්රකාශනවල දක්නට ලැබෙන තොරතුරු වෙත ඔවුන්ගේ අවධානය යොමු කිරීමට ඔහුට සන්ධ්‍යා වරු කිහිපයක් මිඩංගු කළ හැක. කෙසේවෙතත්, එම වැඩිමහල්ලා එම යුවළ සමඟ නිතිපතා බයිබල් පාඩමක් නැවතත් ආරම්භ නොකරයි.
නවකයෙකු වරදක් කළොත්
13. වරදක් කරන මුත් පසුතැවිලි වන අලුතෙන් බව්තීස්ම වූ පුද්ගලයෙකුට සභා වැඩිමහල්ලන් දයාව පෙන්විය යුත්තේ මන්ද?
13 “මමම මාගේ බැටළුවන් පෝෂ්‍යකර, . . . පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි” කියා පවසන ශ්‍රේෂ්ඨ එඬේරාණන් වන යෙහෝවඃවහන්සේව වැඩිමහල්ලෝ අනුකරණය කරති. (එසකියෙල් 34:15, 16; එපීස 5:1) එම ස්වභාවයට එකඟව, සැක උපදවා සිටි නැතහොත් පාපයට වැටී සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දයාව පෙන්වන මෙන් ශ්‍රාවක යූද් උදක්ම ඉල්ලා සිටියේය. (යූද් 22, 23) අද්දැකීම්වලින් වැඩි ක්‍රිස්තියානීන්ගෙන් අප යෝග්‍ය ලෙස වැඩි යමක් අපේක්ෂා කරන බැවින්, වරදක් කරන මුත් පසුතැවිලි වන අහිංසක බැටළු පැටවෙකු වන අලුතෙන් බව්තීස්ම වූ පුද්ගලයෙකුට දයාව පෙන්විය යුතු බව සහතිකය. (ලූක් 12:48; 15:1-7) එමනිසා, ‘යෙහෝවඃවහන්සේ උදෙසා විනිශ්චය කරන’ වැඩිමහල්ලෝ, එවන් බැටළුවන්ට මුදු මොළොක් සැලකිල්ලක් පිරිනමමින්, මෘදුකමේ ස්වභාවයකින් යුතුව ඔවුන්ව යළි සකස් කරති.—2 ලේකම් 19:6; ක්‍රියා 20:28, 29; ගලාති 6:1, NW.d
14. මෑතක බව්තීස්ම වූ ප්‍රචාරකයෙකු බරපතළ පාපයක් කරන විට කුමක් කළ යුතුද, තවද ඔහුට උපකාර දිය හැක්කේ කෙසේද?
14 එසේනම්, මෑතක බව්තීස්ම වූ ප්‍රචාරකයෙකුට කලින් මත්පැන් පානය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණු අතර, අවස්ථා එකක හෝ දෙකකදී හෝ යළි අධික ලෙස මත්පැන් පානයෙහි නියැලුණායයි සිතන්න. එසේ නැතහොත් ඔහු බොහෝ කලක් තිස්සේ පැවති දුම්පානය කිරීමේ පුරුද්දක් ජයගත් නමුත්, යළිත් වතාවක් හෝ දෙවතාවක් පෞද්ගලිකව දුම්පානය කිරීමේ පරීක්ෂාවට හේ යටත් වූවා විය හැකිය. අපේ නවක සහෝදරයා දෙවියන්වහන්සේගෙන් සමාව ලැබීම සඳහා යාච්ඤා කර ඇති මුත්, එම පාපය පුරුද්දක් බවට පත්වීමෙන් වැළැක්වීම සඳහා, ඔහු වැඩිමහල්ලෙකුගේ උපකාරය පැතිය යුතුය. (ගීතාවලිය 32:1-5; යාකොබ් 5:14, 15) ඔහු තම වරද ගැන එක් වැඩිමහල්ලෙකුට කියන විට, නවකයාව දයාන්විත අන්දමකින් යළි සකස් කිරීමට එම වැඩිමහල්ලා වෑයම් කළ යුතුය. (ගීතාවලිය 130:3) ඉන් ඉදිරියට ඔහුගේ පාදවලට සමතලා පාරවල් සාදාගැනීම සඳහා ඔහුට උපකාරයක් වශයෙන් ශුද්ධ ලියවිලිමය උපදෙස් ප්‍රමාණවත් විය හැක. (හෙබ්‍රෙව් 12:12, 13) තවදුරටත් කවර උපකාරයක් දිය යුතුද යන්න නිශ්චය කිරීමට, මෙම වැඩිමහල්ලා සභාවේ මුලසුන භාර අවේක්ෂක සමඟ අදාළ තත්වය සාකච්ඡා කරනු ඇත.
15. ඇතැම් තත්වයන් යටතේ, මෑත බව්තීස්ම වූ පුද්ගලයෙකු පව් කරන විට කුමක් අත්‍යවශ්‍ය විය හැකිද?
15 ඇතැම් අවස්ථාවලදී ඊට අමතර යමක් කිරීම අවශ්‍ය විය හැක. නරක ප්‍රසිද්ධියක්, රැළට අන්තරායක් නැතහොත් වෙනයම් බරපතළ ගැටලු මීට සම්බන්ධ වේ නම්, මේ කාරණය සෝදිසි කරබැලීමට වැඩිමහල්ලන්ගේ මණ්ඩලය වැඩිමහල්ලන් දෙදෙනෙකුට පවරනවා ඇත. විනිශ්චයක කමිටුවක් අවශ්‍ය වන තරමට මෙම කාරණය බැරෑරුම් එකක් බව මෙම වැඩිමහල්ලන්ට තේරී ගොස් යනවා නම්, වැඩිමහල්ලන්ගේ මණ්ඩලයට ඔවුන් ඒ බව දැනුම් දිය යුතුය. වරද කළ තැනැත්තාට උපකාර කිරීම සඳහා එවිට වැඩිමහල්ලන්ගේ මණ්ඩලය විනිශ්චයක කමිටුවක් පත් කරනු ඇත. විනිශ්චයක කමිටුව ඔහු සමඟ මුදු මොළොක් අන්දමකින් කටයුතු කළ යුතුය. ශුද්ධ ලියවිලි උපයෝගි කරගනිමින් ඔහුව යළි සකස් කිරීමට ඔවුන් උත්සාහ කළ යුතුය. ඔහු විනිශ්චයක කමිටුවේ කාරුණික ප්‍රයත්නවලට ප්‍රතිචාරය දක්වනවා නම්, රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලදී වේදිකාවෙන් ඉදිරිපත් කෙරෙන කොටස්වලට ඔහුව යොදා නොගැනීමෙන් යම් ප්‍රයෝජනයක් තිබේද නැද්ද නැතහොත් රැස්වීම්වලදී ඔහුට උත්තර දීමට ඉඩ කඩ දිය යුතුද යන්න ඔවුන්ට නිශ්චය කර ගත හැක.
16. වරද කළ තැනැත්තෙකුට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
16 වරද කළ තැනැත්තා ප්‍රතිචාරය දක්වන්නේ නම්, ඔහුගේ ඇදහිල්ල තවදුරටත් ශක්තිමත් කිරීමේ හා දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති සඳහා ඔහුගේ අගය ගොඩනැංවීමේ අභිප්‍රායෙන්, විනිශ්චයක කමිටුවේ සේවය කරන වැඩිමහල්ලෙකුට හෝ දෙදෙනෙකුට එඬේර බැහැදැකීම් කිරීමට සැලසුම් යෙදිය හැක. විටින් විට ඔහු සමඟ ක්ෂේත්‍ර සේවයේ වැඩ කිරීමට ඔවුන් දෙදෙනාට හැක. ඇතැම්විට යෝග්‍ය මුරටැඹ හා පිබිදෙව්! ලිපි භාවිත කරමින්, ඔහු සමඟ ශුද්ධ ලියවිල්ල මත පදනම් සාකච්ඡාවල නිරත වීමට ඔවුන්ට හැකි මුත්, නිතිපතා බයිබල් පාඩමක් පවත්වනු නොලැබේ. එවන් මුදු මොළොක් සැලකිල්ල සමඟින්, මතුවට ඉස්මතු විය හැකි මාංසයේ දුර්වලකම්වලට විරුද්ධ වීම සඳහා වරද කළ තැනැත්තාව ශක්තිමත් කළ හැක.
17. බව්තීස්ම ලත් වරදකරුවෙකු පසුතැවිලි නොවී, සිය පාපතර ක්‍රියාමාර්ගය අත්හරින්නේ නැත්නම්, කුමන පියවරවල් ගනු ලැබේද?
17 මෑතක බව්තීස්ම වූ කාරණය පසුතැවිල්ලකින් තොරව පාපයෙහි නිරත වීම සඳහා නිදහසට කරුණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. (හෙබ්‍රෙව් 10:26, 27; යූද් 4) බව්තීස්ම ලත් ඕනෑම වරදකරුවෙක් පසුතැවිලි නොවේ නම් හා තම පව්කාර මාර්ගයෙන් ඉවත් නොවේ නම්, ඔහුව සභාවෙන් නෙරපා දමනු ලබනවා ඇත. (1 කොරින්ති 5:6, 11-13; 2 තෙසලෝනික 2:11, 12; 2 යොහන් 9-11) මෙලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය යමක් සේ පෙනෙන විට, වැඩිමහල් මණ්ඩලය විනිශ්චයක කමිටුවක් තෝරාගන්නවා ඇත. නෙරපා දැමීමක් සිදුවුවහොත් මෙම කෙටි නිවේදනය දෙනු ලැබේ: “ . . . සභා ආශ්රයෙන් ඉවත් කර තිබේ.”e
“මේරූකම කරා වීර්යය” කිරීමට ඔවුන්ට උපකාර කරන්න
18. යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ කැමැත්ත ගැන අලුතෙන් බව්තීස්ම වූ ක්‍රිස්තියානීන්ට හා වෙනත් අයට සැමවිටම තවත් දේ ඉගෙනීමට සිදු වෙයි කියා අපට සහතික විය හැක්කේ මන්ද?
18 දෙවියන්වහන්සේගේ සේවකයන්ගෙන් බහුතරයක්ම රැළ තුළ රැඳී සිටිනවා ඇත. එමෙන්ම, අප සියල්ලන්ට අපේ ස්වර්ගික පියාණන් වෙත තව තවත් ළඟාවීමට අවස්ථාව ලැබීම සන්තෝෂයට කරුණකි, මන්දයත් උන්වහන්සේ ගැනත්, උන්වහන්සේගේ කැමැත්ත ගැනත් තව තවත් ඉගෙනගැනීමට අපට හැමවිටම අවස්ථාව තිබෙන්ට යන බැවිනි. (දේශනාකාරයා 3:11, පාදසටහන; යාකොබ් 4:8) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී බව්තීස්ම වූ දහස් ගණනට තවත් ඉගෙනගැනීමට තිබූ බව සහතිකය. (ක්‍රියා 2:5, 37-41; 4:4) ශුද්ධ ලියවිලිමය පසුබිමක් නොමැතිව සිටි අන්යජාතිකයෝ ඒ හා සමාන තත්වයක සිටියෝය. නිදසුනක් වශයෙන්, අතීනසයේ ඇරියෝපගිය මැද සිට පාවුල් කළ දේශනයෙන් පසු බව්තීස්ම වූ අය සම්බන්ධයෙන් මෙය සැබෑවක් විය. (ක්‍රියා 17:33, 34) ඒ හා සමානව අදදින, අලුතෙන් බව්තීස්ම වූ අය තවත් දේ ඉගෙනගත යුතු අතර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරි දේ දිගටම කිරීම සඳහා තම අධිෂ්ඨානය ශක්තිමත් කිරීමට ඔවුන්ට කාලය හා උපකාරය අවශ්‍ය වේ.—ගලාති 6:9; 2 තෙසලෝනික 3:13.
19. බව්තීස්ම වන අයට “මේරූකම කරා වීර්යය” කිරීමට උපකාර කළ හැක්කේ කෙසේද?
19 වසරක් පාසා වසරක් දහස් ගණන් බව්තීස්ම වන අතර, “මේරූකම කරා වීර්යය” [NW] කිරීමට හැකි වන පරිද්දෙන් ඔවුන්ට උපකාර අවශ්‍යය. (හෙබ්‍රෙව් 6:1-3) වචනයෙන්, ආදර්ශයෙන් හා සේවය තුළ ප්‍රායෝගික උපකාර පිරිනැමීමෙන්, අලුත් පෞද්ගලිකත්වය පැළඳ ගැනීමටත්, ‘සත්‍යතාවෙහි දිගටම හැසිරීමටත්’ ඇතමුන්ට උපකාර කිරීමට ඔබට හැකි වනවා ඇත. (3 යොහන් 4; කොලොස්සි 3:9, 10) ඔබ අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක් නම්, නවක සෙසු ඇදහිලිවන්තයෙකුට ක්ෂේත්‍ර සේවයේදී උපකාර කිරීමට හෝ දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ලත්, ක්‍රිස්තියානි රැස්වීම් සඳහා ඔහුගේ අගයත් යනාදී දෑ ශක්තිමත් කිරීම සඳහා ඔහු සමඟ සති කිහිපයකට ඇතැම් ශුද්ධ ලියවිලිමය කාරණා සාකච්ඡා කිරීමටත් වැඩිමහල්ලන් ඔබට ආරාධනා කළ හැක. පියෙකු අවවාද කරන විට හා මවක මෘදුභාවය පෙන්වන විට දක්නට ලැබෙන වාතාවරණයට, එඬේරුන් හා බැටළුවන් අතර සබඳතාව සමාන කළ හැක. (1 තෙසලෝනික 2:7, 8, 11) එහෙත්, සභාවකට අවශ්‍ය වන හැම දෙයක්ම වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් ස්වල්පදෙනෙකුට බලා කියා ගත නොහැක. අප සියලුදෙනාම එකිනෙකාට උපකාර කරන පවුලක සාමාජිකයන් මෙනි. අපේ සෙසු නමස්කාරකරන්නන්ට උපකාර කළ හැකි යමක් කිරීමට අප එකිනෙකාට හැක. දිරිගැන්වීමක් දීමටත්, ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කිරීමටත්, දුර්වල වූවන්ට ආධාර කිරීමටත්, ඔබට පෞද්ගලිකව යමක් කිරීමට ඉඩ කඩ තිබිය හැක.—1 තෙසලෝනික 5:14, 15.
20. දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම බෙදාහැරීමටත්, යෙහෝවඃවහන්සේගේ ගොදුරු බිමේ බැටළුවන්ට මුදු මොළොක් සැලකිල්ල පිරිනැමීමටත් ඔබට කුමක් කළ හැකිද?
20 මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය වන අතරම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන්, එය බෙදාහැරීමට ඔබටත් ප්‍රීතියෙන් සහභාගි විය හැක. යෙහෝවඃවහන්සේගේ බැටළුවන්ට මුදු මොළොක් සැලකිල්ල අවශ්‍ය වන අතරම, මෙය සැපයීමට ප්‍රේමනීය භූමිකාවක් ඔබ සතු විය හැකිය. යෙහෝවඃවහන්සේ ඔබේ සේවයට ආශීර්වාද කරනසේක්වා, තවද ස්වකීය ගොදුරු බිමේ බැටළුවන්ට උපකාර පිරිනැමීම සඳහා ඔබේ හෘදයාංගම වෑයම්වලට උන්වහන්සේ ඔබට ආශීර්වාද කරනසේක්වා!
[පාදසටහන්වල]
a මේ අවස්ථාවේදී, අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම යන පොතෙහි පිටපතක් ලබාගැනීමට නවකයාට හැකි වෙයි.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
c වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
d බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් සඳහා එවන් විධිවිධානයක් 1989 මැයි 1 මුරටැඹහි පිටු 25-30හි පළ වූ “දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට අන්‍යයන්ට උපකාර කිරීම” යන ලිපියෙහි දක්වා තිබිණ.
e සභා ආශ්රයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන අතර ආයාචනයක් කර තිබේ නම්, ප්‍රතිඵලය ලැබෙන තාක් කල් නිවේදනය දෙනු නොලැබේ. අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම යන පොතෙහි පිටු 147-8 බලන්න.
ඔබ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?
◻ යෙහෝවඃවහන්සේ ස්වකීය බැටළුවන්ට සැලකිල්ල දක්වන්නේ කෙසේද?
◻ නවකයන්ට දේශනා සේවයෙහි යෙදෙන්ට වුවමනා වන විට කුමක් කළ හැකිද?
◻ විශේෂ අවශ්‍යතා ඇති නවකයන්ට උපකාර පිරිනැමීමට සෙසු ඇදහිලිවන්තයන්ට හැක්කේ කෙසේද?
◻ වරදක් කරන මුත් පසුතැවිලි වන අයට කෙබඳු උපකාරයක් දීමට වැඩිමහල්ලන්ට හැකිද?
◻ අලුතෙන් බව්තීස්ම වූ පුද්ගලයෙකුට “මේරූකම කරා වීර්යය” කිරීම සඳහා උපකාර පිරිනැමීමට ඔබට හැක්කේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
රැළේ ප්‍රේමනීය එඬේරෙකු ලෙස චාර්ල්ස් ටී. රසල් සුප්‍රසිද්ධ විය
[18වන පිටුවේ පින්තූරය]
දයානුකම්පිත එඬේරු මුදු මොළොක්භාවයෙන් යුක්තව දෙවියන්වහන්සේගේ රැළ බලාගනිති