2026 ජූනි 22-28
ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු
“අපිව සනසන දෙවියන්ගෙන්” ඉගෙනගන්න
‘දෙවියන් අපිව සනසන නිසා අනිත් අයව සනසන්න අපිටත් පුළුවන්.’—2 කොරි. 1:4.
ලිපියේ අරමුණ
යෙහෝවායි, ඔහුව ආදර්ශයට ගන්න අයයි වගේ අනිත් අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?
1. අනිත් අයව සනසන්න ඕනෙ ඇයි?
අපි හැමෝම “එක එක විදිහේ පීඩාවලට” මූණ දෙනවා. ඒ නිසා කාලෙන් කාලෙට අපිට සැනසීම, දිරිගැන්වීම් ඕනේ. (1 පේතෘ. 1:6) අනිත් අය අපිව සනසද්දී අපි ඒක ගොඩක් අගය කරනවා. එහෙමනම් ප්‍රශ්න නිසා වේදනාවෙන් ඉන්න අයව අපි ඉක්මනින් සනසන එක හොඳ දෙයක් නෙවෙයිද? (මතෙ. 7:12) “ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන්” අපිට පෙන්නලා තියෙනවා “ඕනෙම පීඩාවකට මූණ දෙන අයව සනසන්නේ” කොහොමද කියලා. ඉතින් අපිටත් පුළුවන් ඔහුව ආදර්ශයට අරන් “දිගටම එකිනෙකාව සනසන්න.” (2 කොරි. 1:3, 4; 1 තෙස. 4:18) අපි එහෙම කරන්නේ අපි එහෙම කරන්න බැඳිලා ඉන්න නිසා නෙවෙයි. ඒ වෙනුවට අපි අපේ සහෝදර සහෝදරියන්ට ඇත්තටම ආදරේ නිසයි. අපි මේ ලිපියෙන් මේ පැති තුන ගැන බලමු. (1) බයිබලේ “සනසනවා” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (2) අනිත් අයව සනසන්න අපිට පුළුවන් කොහොමද? (3) අපිට සැනසීම ඕන වෙද්දී අපි කරන්න ඕනෙ මොකක්ද?
සනසන එක ගැන බයිබලේ කියන දේ
2. අනිත් අයව “සනසන්න” කියලා බයිබලේ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
2 බයිබලේ “සනසනවා” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට අදහස් කීපයක්ම තියෙනවා. ඒකෙන් “සහනයක්” දැනෙන විදිහට, “දිරිගැන්වෙන” විදිහට කෙනෙක්ට දෙයක් කියන එක නැත්නම් හොඳ දෙයක් කරන්න එයාව “පොලඹවන” එක අදහස් වෙන්න පුළුවන්. (රෝම 12:8) ඒ වචනේ මූලික අර්ථය “උදව් ඕනෙ කෙනෙක්ගේ එහා පැත්තෙන් හිටගන්න තව කෙනෙක්ට අඬගහනවා” කියන එකයි. එහෙම කියද්දී අපේ හිතේ පින්තූරයක් මැවෙනවා වේදනාවෙන් ඉන්න කෙනෙක් ළඟට එයාගේ යාළුවා ඉක්මනටම දුවගෙන ඇවිත් එයාට ඕන උදව් දෙන විදිහ. එයා දෙන උදව්ව මොකක් වුණත් අන්තිමේදී ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය එකයි. ඒ, වේදනාවෙන් ඉන්න කෙනා දිරිගැන්වෙන එක. නැත්නම් එයා සහනයක් ලබන එක.
3. බානබස් අනිත් අයව සැනසුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
3 යෝසෙප් අනිත් අයව සනසපු, දිරිගන්වපු කෙනෙක්. ඒ නිසා නියෝජිතයන් එයාට බානබස් කියන නම දුන්නා. ඒකේ තේරුම තමයි “සැනසිල්ලේ පුතා.” (ක්‍රියා 4:36) ඒ නම එයාට කොච්චර ගැළපුණාද කියනවා නම් බයිබලේ එයාව දිගටම හඳුන්වලා තියෙන්නේ “බානබස්” කියන නමින්. සහෝදර සහෝදරියන්ට උදව් ඕන වුණ හැම වෙලාවකම එයා ඒ උදව් එයාලට දුන්නා. උදාහරණෙකට සාවුල් ක්‍රිස්තියානියෙක් වුණ අලුත යෙරුසලමට ආවා. එයාට ඕන වුණා එහේ හිටපු යේසුස්ගේ ගෝලයන්ව හම්බ වෙන්න. හැබැයි කලින් එයා ක්‍රිස්තියානීන්ට ගොඩක් පීඩා කරලා තිබුණ නිසා එයාව හම්බ වෙන්න සහෝදරයන් බය වුණා. හැබැයි බානබස් සාවුල්ට ආදරේ පෙන්නන්න බය වුණේ නැහැ. එයා සාවුල්ව විශ්වාස කළා. එයා සාවුල්ගේ උදව්වට ගිහිල්ලා එයාව නියෝජිතයන්ට මුණගැස්සුවා.—ක්‍රියා 9:26-28.
බානබස් සාවුල්ට ආදරෙන් උදව් කළා (3 ඡේදය බලන්න)
අනිත් අයව සනසන්නේ කොහොමද?
4. අනිත් අයව සනසන්න පුළුවන් හොඳම විදිහක් මොකක්ද? (රෝම 1:11, 12)
4 එයාලව බලන්න යන්න. අනිත් අයව සනසන්න යෙහෝවා ඔහුගේ සේවකයන්ව පාවිච්චි කරනවා. උදාහරණෙකට අනාගතවක්තෘ එලියා ලොකු පීඩනයකින් ඉද්දී යෙහෝවා දේවදූතයෙක්ව යවලා එයාව දිරිගැන්නුවා. (1 රාජා. 19:4-7) පාවුලුත් තේරුම්ගත්තා සහෝදරයන්ව දිරිගන්නන්න එයාලා ළඟට ගිහින් එයාලව හම්බ වෙන එක කොච්චර වැදගත්ද කියලා. (රෝම 1:11, 12 කියවන්න.) ඉතින් ඔයාත් කෙනෙක්ව සනසන්න හිතාගෙන එයාව හම්බ වෙන්න යනවා නම් ඉක්මනට මොනවා හරි කියලා එනවා වෙනුවට එයාත් එක්ක කාලේ ගත කරන්න. (1 කොරි. 16:7) උදව් ඕනෙ කෙනෙක්ව හම්බ වෙන්න යන්න බැරි නම් එයාට කෝල් එකක් දෙන්න. ලියුමක්, කාඩ් එකක් යවන්න. එහෙම නැත්නම් පුංචි මෙසේජ් එකක් යවලා එයාව ශක්තිමත් කරන්න. ඉතින් අනිත් අයව සනසන්න ඔයාව පාවිච්චි කරන්න ඔයා යෙහෝවාට ඉඩ දෙනවාද?
5. සමහර වෙලාවලට අනිත් අයව සනසන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?
5 මේ අන්තිම කාලේ අපි තව තවත් දරුණු දේවලට මූණ දෙන නිසා උදව් ඕන සහෝදරයන්ව හම්බ වෙලා එයාලව සනසන එක ලේසි නැති වෙයි. පාවුල් රෝමයේ සිරගත කරලා ඉද්දී එෆීසයෙන් ආපු ඔනෙසිෆරස්ට ඕන වුණා එයාව සනසන්න. ඒ නිසා එයා රෝමයට ඇවිත් පාවුල්ව හෙව්වා. බැරි වෙලාවත් ඔනෙසිෆරස්ව අහු වුණා නම් එයාව හිරේ දාන්න එහෙම නැත්නම් එයාව මරන්න වුණත් ඉඩ තිබුණා. (2 තිමෝ. 1:16-18) ඔනෙසිෆරස් වගේ අදත් රුසියාවේ ඉන්න අපේ සහෝදරයන් විශ්වාසේ නිසා විරුද්ධවාදිකම්වලට මූණ දෙන අයව සනසනවා. ඒ අයව දිරිගන්නන්න උසාවිවලටත් යනවා. එහෙම යන එකෙන් තමන්වත් අත්අඩංගුවට ගන්න ඉඩ තියෙනවා කියලා දැන දැනත් අපේ සහෝදරයන් ඒක කරනවා. එයාලා වගේ අනිත් අයව සනසන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න ඔයාටත් පුළුවන්ද? සමහරවිට ඔයාට පුළුවන් අද කාලෙත් අතීතයේදීත් දෙවියන්ගේ සේවකයන් එකිනෙකාව සනසපු විදිහ ගැන අධ්‍යයනය කරන්න. පීඩා මැද වුණත් එයාලා සතුටින් ඉන්න මොනවාද කළේ කියලා බලන්න.
6. අනිත් අයව සනසද්දී අපිට යෙහෝවාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
6 එයාලට ඇහුම්කන් දෙන්න. සැරයක් අනාගතවක්තෘ එලියා හිතුවා එයාගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා. ඉතින් එයාට දැනුණ හැම දේම එයා යෙහෝවාට කිව්වා. එලියාගේ මනසේ දුවන්නේ මොනවාද කියලා යෙහෝවා දැනන් හිටියත් එලියාට දැනෙන විදිහ කියන්න ඔහු එලියාට ඉඩ දුන්නා. සමහර වෙලාවට එලියා එකම දේ ආයේ ආයේ කිව්වත් යෙහෝවා ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. (1 රාජා. 19:9, 10, 14) අනාගතවක්තෘ හබක්කුක් එයා වධ වුණ දේවල් ගැන කියද්දීත් යෙහෝවා ඇහුම්කන් දුන්නා. එයා අහපු සමහර ප්‍රශ්නවලින් හිතෙන්නේ හරියට එයා යෙහෝවාට අගෞරව කරනවා කියලා. ඒත් යෙහෝවා කලබල නොවී ඒවා අහන් හිටියා. (හබ. 1:2, 3) අදත් අපිට ඕනෙ මොනවාද කියලා යෙහෝවා දැනන් හිටියත් අපි කරන යාච්ඤාවලට ඔහු හොඳින් ඇහුම්කන් දෙනවා. අපිටත් පුළුවන් යෙහෝවාව ආදර්ශයට අරන් අපේ සහෝදරයන් කතා කරද්දී ගෞරවයෙන් ඒවාට ඇහුම්කන් දෙන්න. ඇත්තටම අපි “ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න ඕනේ.” සහෝදරයෙක් අපිත් එක්ක කතා කරද්දී අපේ හිත රිදෙන විදිහේ දෙයක් කිව්වත් එකම දේ ආයේ ආයේ කිව්වත් අපි මැද්දෙන් පැනලා අපේ අදහස් කියන්නෙවත් කේන්ති ගන්නෙවත් නැහැ.—යාකො. 1:19; දේශ. 7:9.
සහෝදර සහෝදරියන් කතා කරද්දී යෙහෝවා වගේ එයාලට හොඳට ඇහුම්කන් දෙන්න (6 ඡේදය බලන්න)
7. දුකෙන් ඉන්න කෙනෙක්ට ඕන කරන්නේ මොනවාද කියලා තේරුම්ගන්න අපිට පුළුවන් කොහොමද?
7 එයාට ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න. යෙහෝවා වගේ අනිත් අයගේ හිත් කියවන්න අපිට බැහැ. ඉතින් කෙනෙක්ට ඕනෙ උදව්ව මොකක්ද කියලා තේරුම්ගන්න නම් අපි අනිවාර්යයෙන්ම එයාට ඇහුම්කන් දෙන්න ඕනේ. ‘මං එයාගේ තත්වේ හිටියා නම් මට ඕනෙ මෙන්න මේ විදිහේ උදව්වක්’ කියලා හිතලා ඒකම එයාට කරන්න හදන්න එපා. මොකද අපි හැමෝම වෙනස්. ඒ නිසා හොඳට කාලේ ගන්න. එයාට හොඳට ඇහුම්කන් දෙන්න. ඊටපස්සේ එයාට ඕනෙ උදව්ව මොකක්ද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න එයාගෙන් අහන්න.—හිතෝ. 20:5.
8. යේසුස් මාර්තාවයි, මරියාවයි සනසපු විදිහෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (පින්තූරත් බලන්න.)
8 ලාසරුස් මැරුණට පස්සේ එයාගේ සහෝදරියන් වුණ මාර්තාවයි, මරියාවයි යේසුස් සනසපු විදිහ බලන්න. ඒ දෙන්නාම දුක් වුණේ එකම හේතුවකට. හැබැයි යේසුස් එයාලව සැනසුවේ වෙනස්ම විදි දෙකකට. මාර්තා යේසුස් එක්ක කතා කළාට පස්සේ යේසුස් එයාත් එක්ක නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කතා කළා. ඒ ගැන තියෙන විශ්වාසේ තව ශක්තිමත් කරගන්න එයාට උදව් කළා. හැබැයි මරියා අඬඅඬ යේසුස් ගාවට ආවාම යේසුස් එයාට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු මරියා එක්ක අඬලා ලාසරුස්ව තැන්පත් කරලා තියෙන්නේ කොහේද කියලා එයාගෙන් ඇහුවා. (යොහ. 11:20-35) මොකක්ද පාඩම? වේදනාවෙන් ඉන්න හැමෝවම එකම විදිහට සනසනවා වෙනුවට අපි ඒ එක් එක් කෙනාව හොඳින් තේරුම් අරන් එයාලාගේ අවශ්‍යතාව අනුව එයාලව සනසන්න ඕනේ.
අනිත් අයව සනසන්න නම් එයාලව හොඳින් තේරුම්ගන්න ඕනේ (8 ඡේදය බලන්න)a
9. අනිත් අයව සනසන්න බයිබලේ පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (රෝම 15:4, 5)
9 බයිබලේ පාවිච්චි කරන්න. වේදනාවෙන් ඉන්න කෙනෙක් එක්ක සහනයක් ගේන බයිබල් පද බෙදාගද්දී යෙහෝවාගේ පොරොන්දු ගැන එයාට තියෙන විශ්වාසේ තව ශක්තිමත් කරගන්න අපි එයාට උදව් කරනවා. (රෝම 15:4, 5 කියවන්න.) ඒ පොරොන්දු නිසා එයාට ලොකු සැනසීමක්, දිරිගැන්වීමක් ලැබෙනවා. (යෙසා. 40:31) ඒත් ඒ වගේ බයිබල් පද ඔයාට හොයාගන්න පුළුවන් කොහොමද? සමහරු ඒ වගේ පදවල ලිස්ට් එකක් හදාගෙන තියෙනවා. ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන පොතේ “සහනය” කියන විෂය යටතේ ඒ වගේ බයිබල් පද හොයාගන්න පුළුවන්. කෙනෙක්ව දිරිගන්නන්න බයිබලේ පාවිච්චි කරන්න උදව් කරන්න කියලා ඔයාට යෙහෝවාගෙන් ඉල්ලන්නත් පුළුවන්. එතකොට ඕන වෙලාවට බයිබල් පද මතක් කරගන්න යෙහෝවාගේ බලය ඔයාට උදව් කරයි.—යොහ. 14:26.
10. කෙනෙක්ව දිරිගන්නද්දී අපි ආදරෙන් කතා කරන්න ඕනෙ ඇයි?
10 ආදරෙන් කතා කරන්න. ප්‍රශ්නයක් ගැන කෙනෙක් හිතන විදිහ වෙනස් කරගන්න එයාට උදව් කරන එකෙනුත් අපිට පුළුවන් එයාට සහනයක් ලබා දෙන්න. ඒ වගේ වෙලාවකදී අපි කියන්නේ මොනවාද කියලා හොඳට හිතලා බලන්න ඕනේ. මොකද අපිට ඕනෙ එයාව දිරිගන්නන්න මිසක් එයාව රිද්දන්න නෙවෙයි. (හිතෝ. 12:18) ඒ ගැන යෙහෝවා එලියාත් එක්ක වැඩ කරපු විදිහෙන් අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්. එලියා හිතුවේ යෙහෝවාට සේවේ කරන්න ඉතුරු වෙලා ඉන්නේ එයා විතරයි කියලා. එයා හිතුවා එයා කරපු සේවේ වතුරේ ගියා කියලා. හැබැයි යෙහෝවා එයා හිතපු විදිහ වැරදියි කියලා කෙළින්ම කියනවා වෙනුවට හරිම ආදරෙන් එයාට උදව් කළා එයා හිතන විදිහ වෙනස් කරගන්න. (1 රාජා. 19:15-18) අපිත් හොඳට හිතලා බලලා ආදරෙන් කෙනෙක්ට දෙයක් කියද්දී අපිටත් පුළුවන් යෙහෝවාව ආදර්ශයට ගන්න. ඔයා රැස්වීමකදී දෙන දේශනයකින්, අදහසකින් අනිත් අයව දිරිගන්නන්න හිතාගෙන ඉන්නවා නම් එයාලාගේ අඩුපාඩු ගැන කියනවා වෙනුවට හොඳ පැති ගැන කියන්න.
11. ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට ඕනෙ මොකක්ද? (1 යොහන් 3:18)
11 එයාට ඕන කරන උදව් දෙන්න. කෙනෙක් ලොකු ප්‍රශ්නෙක ඉද්දී සමහර වෙලාවට එයාට සහනයක් ගේන වචනවලට වඩා වැඩි දෙයක් ඕනේ. (1 යොහන් 3:18 කියවන්න.) බානබස් එයාට තිබුණ ඉඩමක් විකුණලා අලුතින් බව්තීස්ම වුණ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ඒ සල්ලි නියෝජිතයන්ට දුන්නා. (ක්‍රියා 4:36, 37) අදත් බානබස්ව ආදර්ශයට ගන්න හුඟක් සහෝදර සහෝදරියන් අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න පියවර අරන් තියෙනවා. පෝලන්තයේ ඉන්න ගේබ්‍රියෙලාගේ අද්දැකීම බලන්න. ගංවතුර නිසා එයාගේ ගෙදරට ගොඩක් අලාභහානි වුණා. එයා මෙහෙම කියනවා. “අම්මාටයි, තාත්තාටයි, මටයි මේ වෙච්ච දේ නිසා කරකියාගන්න දෙයක් නැති වුණා. ගේ හදාගන්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බැරි වුණා. හැබැයි ළඟපාත සභාවල හිටපු සහෝදරයන් ඇවිත් එක දවසක් ඇතුළත අපේ ගේ අලුත්වැඩියා කළා. යෙහෝවා අසරණ වෙලා ඉන්න අයට උදව් කරන්න තමන්ගේ සෙනඟව පොලඹවනවා කියලා මට තිබ්බ විශ්වාසේ මේ සිද්ධිය නිසා තව වැඩි වුණා.”
12. ඔයා පීඩා විශ්වාසවන්තව දරාගන්න එක අනිත් සහෝදර සහෝදරියන්ට උදව් වෙන්නේ කොහොමද?
12 ඔයාට එන පීඩා විඳදරාගන්න. තෙසලෝනිකයේ හිටපු ක්‍රිස්තියානීන් පීඩා මැද දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා කියලා දැනගත්තාම පාවුල්ට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. (1 තෙස. 3:5-8) අනිත් අතට පාවුලුත් දැනන් හිටියා එයා දිගටම පීඩා විඳදරාගද්දී ඒක විශ්වාසවන්තව ඉන්න අනිත් සහෝදරයන්ටත් ලොකු දිරිගැන්වීමක් වෙයි කියලා. (කොලො. 2:1, 2) ඒ වගේ අදත් පීඩාවලට හොඳින් මූණ දෙන්න යෙහෝවා අපිට උදව් කරන විදිහ දකිද්දී අනිත් අයත් ඒකෙන් ලොකු දිරිගැන්වීමක් ලබනවා.
13. අනිත් අයව දිරිගන්නන්න නම් අපි කරන්න ඕනෙ තව දෙයක් මොකක්ද?
13 ඉවසන්න. සමහරවිට අධෛර්යය වුණ කෙනෙක්ව සැනසුවා කියලා එයා ඉක්මනටම ශක්තිමත් වෙයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ඒකයි බයිබලේ කියන්නේ “දිගටම එකිනෙකාව දිරිගන්වන්න” කියලා. (1 තෙස. 5:11) ඉතින් අධෛර්යය වුණ කෙනෙක්ව දිගටම සනසන්න නම් අපිට ඉවසීම ඕනේ. (1 තෙස. 5:14) හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපිට අනිත් අයගෙන් සැනසීම ඕන වෙන. ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් මොකක්ද?
ඔයාට සහනයක් ඕනෙ නම්
14-15. වේදනාවෙන්, කනස්සල්ලෙන් ඉද්දී මොකක්ද කරන්න ඕනේ?
14 යෙහෝවාට යාච්ඤා කරන්න. කනස්සල්ලෙන්, වේදනාවෙන් ඉන්න වෙලාවට ඔයාව සනසන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. (ගීතා. 94:19) ඔයාට දැනෙන විදිහ අකුරක් නෑර ඔහුට කියන්න. (ගීතා. 62:8) ඇත්ත, ඔයා යාච්ඤා කරන්නත් කලින් ඔයාට දැනෙන්නේ කොහොමද කියලා යෙහෝවා දන්නවා. හැබැයි ඔයාගේ හිත ඇතුළේ තියෙන දේවල් ඔයා යෙහෝවාට කියද්දී ඔයාට ඔහු ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා පේනවා. ඔයා හිතපු විදිහටම යෙහෝවා උත්තර දුන්නේ නැතත් විශ්වාසෙන් කරන යාච්ඤාවලට ඔහු අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. (මාක් 11:24) ඒකයි ෆිලිප්පි 4:6, 7 අපිට මෙහෙම කියන්නේ. ‘හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න. එහෙම කරනවා නම් දෙවියන් ඔයාලට සමාදානය දෙයි. ඒ සමාදානය ඔයාලාගේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි.’
15 අනිත් අයගෙන් උදව් ඉල්ලන්න. ඔයාට විශ්වාසේ තියන්න පුළුවන් ඔයාගේ යාළුවෙක් එක්ක, වැඩිමහල්ලෙක් එක්ක ඔයාට දැනෙන විදිහ ගැන කියන්න. ඇත්ත, අපේ සහෝදර සහෝදරියන්ට පුළුවන් ඔයාට ඕන සහනය දෙන්න. හැබැයි ඔයාට දැනෙන්නේ කොහොමද, ඔයාට ඕනෙ මොන වගේ උදව්වක්ද කියලා එයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ ගැන එයාලට කියන්න ඕනේ. (හිතෝ. 14:10) ඔයාට හොඳට ඇහුම්කන් දෙන්න කියලා එයාට කියන්න ඔයාට පුළුවන්. එහෙම නැත්නම් එයාලට සහනයක් වුණ බයිබල් පදයක්, ලිපියක් ඔයාත් එක්ක බෙදාගන්න කියලා කියන්න.
16. ඔයාව සනසන්න හදද්දී සහෝදරයන් අතින් වෙන්න පුළුවන් මොකක්ද? ඔයා මතක තියාගන්න ඕනෙ මොකද්ද?
16 ඉවසන්න. සමාව දෙන්න. සහෝදර සහෝදරියන් ඔයාව දිරිගන්නද්දීත් එයාලා අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. උදාහරණෙකට එයාලා කියන, කරන දෙයක් නිසා ඔයාට සැනසීමක් ලැබෙනවා වෙනුවට ඔයා හිටපු තැනිනුත් තව පල්ලෙහට වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාලත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න. (1 කොරි. 13:4, 7) ඒ වගේම යාකොබ් 3:2 කියන මේ වචනත් මතක තියාගන්න. “කතා කරද්දී කෙනෙක්ට කවදාවත් වැරදි දෙයක් නොකියා ඉන්න පුළුවන් නම් එයා පව් නොකරන කෙනෙක්.” අමතක කරන්න එපා එයාලට ඕනෙ ඔයාට උදව් කරන්න කියලා. හැබැයි එහෙම කරද්දී එයාලා අතින් වැරදීම් වෙන්න පුළුවන්.—මතෙ. 26:41.
17. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?
17 අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ නිසා අපි හැමෝටම සහනය ඕනේ. අපේ ජීවිත එන්න එන්නම අමාරු වෙනවා. ඒ වගේම දෙවියන්ගේ සතුරන් අපිත් එක්ක තව තවත් කේන්තියෙන් වැඩ කරනවා. ඒ නිසා වෙන කවදාටත් වඩා වැඩියෙන් එකිනෙකාව දිරිගන්නන්න අපි අධිෂ්ඨාන කරගමු.
ගීතිකාව 130 සමාව දෙන්න
a පින්තූරවල අදහස: ළඟදී බිරිඳ නැති වුණ සහෝදරයෙක්ට වැඩිමහල්ලෙක් හොඳින් ඇහුම්කන් දෙනවා. පස්සේ වෙලාවක ඒ වැඩිමහල්ලා තවත් සහෝදරයෙක්ව මුණගැහෙන්න යනවා. එයාගේ බිරිඳ නැති වෙලා ගොඩක් කල්. එයා ගැන සොඳුරු මතකයන් එයාලා බෙදාගන්නවා.