“බිඳුණු ආත්ම” ඇති අයට සැනසීම
අදදින, සාතන්ගේ ලෝකය සදාචාරය සම්බන්ධයෙන් “හැඟීමක් නැතුව” කටයුතු කිරීමට පැමිණ තිබේ. (එපීස 4:19; 1 යොහන් 5:19) කාමමිථ්‍යාචාරය සහ වේශ්‍යාකම පුළුල්ව පැතිර පවතී. බොහෝ රටවල විවාහයන්ගෙන් සියයට 50ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දික්කසාදයෙන් කෙළවර වේ. සමලිංගිකතාව බොහෝදුරට පිළිගෙන තිබේ. ලිංගික සාහසිකකම—ස්ත්‍රී දූෂණය—නිතරම ප්‍රවෘත්තිවල අසන්ට ලැබේ. කාමෝද්දීපන කෘති ඩොලර් බිලියන ගණන් උපයන කර්මාන්තයකි.—රෝම 1:26, 27.
අහිංසක දරුවන් ලිංගිකව දූෂණය කිරීම වඩාත්ම නීචකර අවකල්ක්‍රියා අතර පවතී. සාතන්ගේ ලෝකයේ ප්‍රඥාව මෙන්, ළමුන් ලිංගික ලෙස දූෂණය කිරීම “මාංසිකව යක්ෂාකාරව” තිබේ. (යාකොබ් 3:15) එක්සත් ජනපදයේ පමණක්, “සෑම වසරකම ගුරුවරුන් සහ වෛද්‍යවරුන් විසින් ඒකාන්තයෙන්ම කරන ලද ලිංගික අතවර 4,00,000කට වඩා වැඩි ප්‍රමාණයක් අධිකාරීන්ට වාර්තා කරනු ලබන බව” ටයිම්ස් සඟරාව පවසයි. මෙම අතවරයට ගොදුරුවූවන් වැඩිහිටියන් බවට පත්වන විට, බොහෝදෙනෙකුට තවමත් වේදනාකාරි තුවාල තිබෙන අතර, ඒවා සැබෑ තුවාල වේ! බයිබලය මෙසේ පවසයි: “මනුෂ්‍යයෙකුගේ ආත්මය [මානසික නැඹුරුවාව, අභ්‍යයන්තරික හැඟීම් සහ සිතුවිලි] තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු [තුවාල වූ, පීඩිත] ආත්මය දරන්ට පුළුවන් කාටද?—හිතෝපදේශ 18:14.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය “බිඳුණු සිත් ඇත්තන්” සහ “ක්ලාන්ත සිතක්” ඇති සියලුම ජනයාගේ සිත්ගනී. (යෙසායා 61:1-4) “පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා” යන ආරාධනයට චිත්තවේගීය වේදනා විඳින බොහෝදෙනෙකු ප්‍රතිචාර දැක්වීම පුදුමයක් නොවේ. (එළිදරව් 22:17) මෙවැනි අයට ක්‍රිස්තියානි සභාව සැනසිල්ල ගෙන දෙන ස්ථානයක් විය හැක. ඉක්මනින්ම පීඩා අතීතයේ දෙයක් වීමට යන බවට ඉගෙනගැනීමට ඔවුහු සතුටු වෙති. (යෙසායා 65:17) එහෙත් එම කාලය වන තෙක්, ඔවුන්ට ‘සැනසීම’ සහ ඔවුන්ගේ තුවාල ‘බැඳීමට’ වුවමනා විය හැක. “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යයකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද” පාවුල් ක්‍රිස්තියානීන්ට උචිත ලෙස අවවාද කළේය.—1 තෙසලෝනික 5:14.
“අවරෝධිත මතකයන්”
මෑත වසරවල අන් අයට තේරුම්ගැනීමට අපහසු කාරණාවලට ඇතැම්හු “බිඳුණු සිත් ඇත්තන්” බවට පත්ව සිටිති. ඔවුන් නම් දරුවන්ව සිටි කාලයේදී ලිංගිකව දූෂණය කරනු ලැබුවායයි කියන “අවරෝධිත මතකයන්,” යන පදනම මත විස්තර කර ඇති වැඩිහිටියන්ය.a ඔවුන් යෞවනව සිටි කාලයේදී වැඩිහිටියන් විසින් දූෂණය කරනු ලැබුවායයි බලාපොරොත්තු නොවූ ලෙස “මතකයන්” සහ අතීතාවර්ජනය වීම් අද්දකින තෙක් දූෂණය වූවා යන අදහස සමහරුන්ට නොමැත. ක්‍රිස්තියානි සභාවේ කිසිවෙකුට මෙවන් අවුල්සහගත සිතුවිලි තිබේද? එසේය, රටවල් කිහිපයක සිටින මෙවැනි කැපවූ අය දැඩි ශෝකය, කෝපය, වරදසහිත බව, ලජ්ජාව හෝ තනිකම අද්දකිනවා විය හැක. දාවිත් මෙන් ඔවුහුද දෙවියන්වහන්සේගෙන් වෙන්වී සිටිනවායයි සිතා මෙසේ කන්නලව් කරති: “ස්වාමිනි, ඔබ කුමට දුරුව සිටිනසේක්ද? විපත්ති කාලවලදී කුමට සැඟවී සිටිනසේක්ද?”—ගීතාවලිය 10:1.
මෙවන් “මතකයන්” හා සම්බන්ධ බොහෝ අංග මානසික-සෞඛ්‍ය වෘත්තිකයන් මඟින්ද හොඳින් හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, එවන් “මතකයන්” කැපවූ ක්‍රිස්තියානීන්ගේ ආත්මිකත්වයට බලපෑම් කළ හැක. එනිසා අපි ඒවා සමඟ කටයුතු කිරීමේදී නිසැකකමින් යුතුව දෙවියන්වහන්සේගේ වචනය දෙස මඟ පෙන්වීම සඳහා බලමු. “සියල්ල ගැන නුඹට දැනගැන්ම” බයිබලය සපයා දෙයි. (2 තිමෝති 2:7; 3:16) “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද . . උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසන” බැවින් යෙහෝවඃවහන්සේ තුළ ඇදහිල්ල තැබීමට අදාළ සියල්ලන්ට එය උපකාර කරයි. —2 කොරින්ති 1:3, 4.
එය ඇත්තෙන්ම සිදුවූවාද?
ලෝකයේ, මෙවන් “මතකයන්” මොනවාද සහ සැබවින්ම සිදුවූ දේවල් කොතරම් දුරට ඒවා නියෝජනය කරනවාද යන්න පිළිබඳව බොහෝ මතභේද තිබේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ‘ලෝකයෙන් නොවන නිසා’ මෙම මතභේදවලටද පංගුකාරයෝ නොවෙති. (යොහන් 17:16) ප්‍රකාශිත වාර්තා අනුව, සමහරවිට “මතකයන්” නිවැරදි බව සනාථ වී තිබේ. එක් උදාහරණයකට, රක්ෂණ සකස්කරන්නෙකු වන ෆ්‍රෑන්ක් ෆිට්ස්පැට්‍රික්ට එක්තරා පූජකයෙකු විසින් ඔහුව දූෂණය කරනු ලැබුවායයි “මතක්වීමෙන්” පසුව, එම පූජකයා විසින්ම දූෂණය කරනු ලැබුවායයි පැමිණිලි කිරීමට ආසන්න වශයෙන් සියදෙනෙක් පමණ පැමිණියහ. වාර්තාවලට අනුව එම පූජකයා එසේ දූෂණ කර තිබූ බවට පිළිගත්තේය.
කෙසේවෙතත්, පුද්ගලයන්ගෙන් කිහිපදෙනෙකුටම ඔවුන්ගේ “මතකයන්” තහවුරු කිරීමට නොහැකි වීම සැලකිය යුතුය. මේ ආකාරයෙන් පීඩාවිඳි සමහරුන්ට එක්තරා පුද්ගලයෙකු විසින් දූෂණය කරනු ලැබුවා හෝ නිශ්චිත ස්ථානයක සිට දූෂණය කරනු ලැබුවායයි විවිධ මතක සටහන් තිබී ඇත. මෙවන් “සිහිවූ” තොරතුරු සැබෑවිය නොහැකි බවට පෙන්වමින්, පසුව ඊට ප්‍රතිවිරුද්ධව දිවගිය වලංගු සාක්ෂි ඉදිරිපත් විය.
පිළිසරණක් සැපයීම
එහෙත්, එවන් “මතකයන්” නිසා “බිඳුණු ආත්මයක්” අද්දකින අයට සැනසීම ලබා දිය හැක්කේ කෙසේද? සත්කාරශීලී සමාරියයා පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව සිහිකරන්න. එක් මිනිසෙකු සොරුන්ට ගොදුරු වී, ඔවුන්ගෙන් පහර ලැබ, තමා ළඟ තිබූ වස්තුව ඔහුගෙන් පැහැරගන්නා ලදි. සමාරියා පැමිණි විට, ඔහුගේ සිත තුවාල වූ මිනිසා වෙත ඇදී ගියේය. ඔහු කුමක් කළාද? පහර දීම පිළිබඳ සෑම අන්තිම තොරතුරක්ම ඇසීමට ඔහු බල කර සිටියේද? නැතහොත් සමාරියයා සොරුන් පිළිබඳව තොරතුරු ලබාගෙන ඔවුන් පසු පස ලුහුබැන්දාද? නැත. එම මිනිසා තුවාල වී සිටියේය! එමනිසා සමාරියයා මෘදු ලෙස ඔහුගේ තුවාල බැඳ සුවවීම පිණිස අසල තානායමකට රැගෙන ගියේය.—ලූක් 10:30-37.
සැබවින්ම කුඩා අවධියේ කරන ලද ලිංගික දූෂණය නිසා ඇතිවූ “බිඳුණු ආත්මයක්” සහ ශාරීරික තුවාල අතර වෙනසක් තිබෙන බවට සැබෑය. දෙකම බලවත් වේදනා ඇති කරයි. එබැවින්, සමාරියයා තුවාල වූ යුදෙව්වාට කළ දෙයින්, පීඩිත වූ සහකාර ක්‍රිස්තියානියෙකුට උපකාර කිරීමට කුමක් කළ හැකිදැයි පෙන්නුම් කෙරේ. පළමු ප්‍රමුඛත්වය නම් සුවවීම පිණිස ප්‍රේමනීය අස්වැසිල්ල සහ උපකාරය දීමයි.
යක්ෂයා විශ්වාසවන්ත යෝබ්ට පීඩා කළේ, චිත්තවේගීය හෝ ශාරීරික වේදනා ආදියෙන් ඕනෑම එකක් ඔහුගේ අඛණ්ඩතාව බිඳහෙළීමට දායක වේයයි පැහැදිලිවම විශ්වාස කරමින්ය. (යෝබ් 1:11; 2:5) එතැන් සිට, යක්ෂයා දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ ඇදහිල්ල දුර්වල කිරීමට කෙළින්ම හෝ වක්‍රව හෝ බොහෝවිට පීඩා උපයෝගි කරගෙන තිබේ. (2 කොරින්ති 12:7-9 සසඳන්න.) ළමා දූෂණය සහ මෙයින් පීඩා විඳ තිබෙන බොහෝ වැඩිහිටියන්ගේ “බිඳුණු ආත්ම” මගින්, (හෝ පීඩා විඳ ඇතියයි ඇති “මතකයන්වලින්” විපතට පත්) ක්‍රිස්තියානීන් තුළ තිබෙන ඇදහිල්ල දුර්වල කිරීමට යක්ෂයා උත්සාහ කරනවායයි අපට අනුමාන කළ හැකිද? සාතන්ගේ ප්‍රහාරවලට ලක්වූ යේසුස්වහන්සේ කළාක් මෙන්, වේදනාවෙන් පෙළෙන මුත්, තම අඛණ්ඩතාව අත්හැර දැමීමට ස්ථිරසාරව ප්‍රතික්ෂේප කරන ක්‍රිස්තියානි භක්තිකයෙක් “සාතන් අහක්ව යව” යයි පවසමින් සිටී.—මතෙව් 4:10.
ආත්මිකව ශක්තිමත්ව සිටින්න
ළමා දූෂණය හේතුවෙන් ඇතිවී තිබෙන ආත්මික සහ චිත්තවේගීය වේදනා සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම පිණිස “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තොරතුරු පළ කර තිබේ. (මතෙව් 24:45-47) පීඩාවිඳින්නා “දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ” පැළඳගනිමින්, ‘ස්වාමින්වහන්සේගේ බලයේ සහ උන්වහන්සේගේ ශක්තියේ බලවත්කම’ මත ඔහුට රඳා සිටිය හැකි නම්, ඔහුට උපකාර ලැබෙන බව අද්දැකීම් පෙන්නුම් කරයි. (එපීස 6:10-17) සාතන් අන්තිම සතුරා බව හෙළි කරන හා ඔහු සහ ඔහුගේ අනුචරයන්ගේ අන්ධකාරය උත්සර්ජනය කරන බයිබල් “සත්‍යය” මෙම යුද්ධායුධවලට ඇතුළත් වේ. (යොහන් 3:19) එමෙන්ම, “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම” තිබේ. පීඩිතයා ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ඇලී සිටීමට වෑයම් කළ යුතුයි. එක් උදාහරණයකට, ඔවුන්ටම හිංසා කිරීමට හෝ දුරාචාරයේ යෙදීමට සමහරුන්ට ප්‍රබල ආවේගයන් තිබේ. මෙම ආවේගයන්ට විරුද්ධ වන සෑම වේලාවකදීම ඔවුහු ජයක් අත් කරගනිති!
එමෙන්ම, ආත්මික යුද්ධායුධ කට්ටලයට “සමාදානයේ ශුභාරංචි” ඇතුළත් වේ. යෙහෝවඃවහන්සේගේ අරමුණු පිළිබඳ අනික් අය සමඟ කතා කිරීමෙන්, කතාකරන්නාව මෙන්ම ඔහුට ඇහුම්කන් දෙන ඕනෑම කෙනෙකුව ශක්තිමත් කරයි. (1 තිමෝති 4:16) ඔබ ශුභාරංචිය පිළිබඳව කතා කිරීමට බාධා පමුණුවන “බිඳුණු ආත්මයක්” ඇති පුද්ගලයෙකු නම්, මෙම අතිවැදගත් වැඩය කරන්නාවූ තවත් ක්‍රිස්තියානියෙකු කැටුව යෑමට උත්සාහ කරන්න. තවද “ඇදහිල්ල නමැති [විශාල, NW] පලිහ” අමතක නොකරන්න. යෙහෝවඃවහන්සේ ඔබට ප්‍රේම කරන බවත්, ඔබට අහිමි වූ සියල්ල උන්වහන්සේ ප්‍රකෘතිමත් තත්වයට ගෙනෙන බවත් විශ්වාස කරන්න. යේසුස්වහන්සේද ඔබට ප්‍රේම කරන බවත්, මෙය උන්වහන්සේ ඔබ වෙනුවෙන් මරණයට පත්වීමෙන් ඔප්පු කළ බවත්, සැකයෙන් තොරව විශ්වාස කරන්න. (යොහන් 3:16) යෙහෝවඃවහන්සේ උන්වහන්සේගේ සේවකයන්ව නොසලකන බව සාතන් සෑමවිටම බොරු පැමිණිලි කර තිබේ. එය ඔහුගේ අශික්ෂිත, දුෂ්ට බොරුවලින් තවත් එකකි.—යොහන් 8:44; සසඳන්න යෝබ් 4:1, 15-18; 42:10-15.
හදවතේ ඇති වේදනාව ඔබ කෙරෙහි යෙහෝවඃවහන්සේ සැලකිලිමත් වනවායයි විශ්වාස කිරීමට අපහසුතාවක් ඇති කරන්නේ නම්, උන්වහන්සේ අප කෙරෙහි සලකනවායයි ස්ථිර විශ්වාසයක් ඇති අය සමඟ ආශ්‍රය කිරීම උපකාරවත් වනු ඇත. (ගීතාවලිය 119:107, 111; හිතෝපදේශ 18:1; හෙබ්‍රෙව් 10:23-25) ජීවිතය පිළිබඳ ත්‍යාගය ඔබෙන් පැහැරගැනීමට සාතන්ට ඉඩ නොදෙන්න. “ආත්මය නමැති කඩුව” [NW] මෙන්ම “ගැළවීම නමැති ආරක්ෂාතොප්පිය” යුද්ධායුධ කට්ටලයේ කොටසක් බව අමතක නොකරන්න. බයිබලය ශුද්ධාත්ම බලය කරණකොටගෙන පොලඹවන ලද්දක්ය, සාතන්ට එය පරාජය කළ නොහැක. (2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 4:12) එහි සුවය දෙන්නාවූ වචනවලට චිත්තවේගීය වේදනා සනසාලිය හැක. —සසඳන්න ගීතාවලිය 107:20; 2 කොරින්ති 10:4, 5.
අවසානයේදී, විඳදරාගැනීමට ශක්තිය සඳහා නිරතුරුවම යාච්ඤා කරන්න. (රෝම 12:12; එපීස 6:18) හෘදයාංගමය යාච්ඤාව දැඩි චිත්තවේගීය මහත් වේදනා තුළදී යේසුස්වහන්සේව ඉසුළුවේය. (ලූක් 22:41-43) යාච්ඤා කිරීම ඔබට අපහසුද? ඔබ සමඟ සහ ඔබ වෙනුවෙන් යාච්ඤා කිරීමට අන් අයගෙන් ඉල්ලන්න. (කොලොස්සි 1:3; යාකොබ් 5:14) ශුද්ධාත්ම බලය ඔබගේ යාච්ඤාවලට අනුබල දෙයි. (රෝම 8:26, 27 සසඳන්න.) වේදනාකාරි ශාරීරික අසනීප සම්බන්ධයෙන් සැබෑවක් වන දැඩි චිත්තවේගීය තුවාල ඇති සමහරුන්ට, මේ දේවල පිළිවෙළ තුළ සම්පූර්ණයෙන්ම සුවයක් නොලැබිය හැක. එහෙත් යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව අපට විඳදරාගත හැක, තවද යේසුස්වහන්සේගේ සිද්ධියේදී මෙන් විඳදරාගැනීම ජයග්‍රහණයයි. (යොහන් 16:33) “ජනයෙනි, සෑමවිටම [යෙහෝවඃවහන්සේ] කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.”—ගීතාවලිය 62:8.
දෝෂාරෝපිත දූෂිතයා ගැන කුමක් කිව හැකිද?
ඇත්තෙන්ම දරුවෙකුව ලිංගික ලෙස දූෂණය කරන්නාවූ පුද්ගලයෙක් දූෂිතයෙක් වන අතර, එවැන්නෙකු ලෙස ඔහුව සලකනු ලැබිය යුතුය. මෙලෙස ගොදුරු වූ ඕනෑම කෙනෙකුට ඔහුගේ දුෂිතයාට චෝදනා කිරීමේ අයිතිය ඇත. කෙසේවෙතත්, දූෂණය “අවරෝධිත මතකයන්” මත පමණක් පදනම්ව තිබුණහොත්, චෝදනාවක් කඩිනමින් ඉදිරිපත් කළ නොයුතුය. මෙවැනි අවස්ථාවක පීඩාවිඳින්නාට වඩාත් වැදගත් වන්නේ චිත්තවේගීය ස්ථාවරභාවයක් යම් ප්‍රමාණයකට නැවත ලබාගැනීමයි. කාලයාගේ ඇවෑමෙන්, ඔහු “මතකයන්” තක්සේරු කිරීමට වඩා හොඳ තත්වයක සිටිය හැකි අතර, ඒ පිළිබඳව ඔහුට යමක් කිරීමට අවශ්‍ය නම්, ඔහුට එවිට තීරණයක් ගත හැක.
ඩොනා හා සම්බන්ධ අද්දැකීම සලකා බලන්න. වාර්තා අනුව, කෑමගැනීමේ අපිළිවෙළක් ඇයට තිබුණ හෙයින් උපදේශකවරයෙකු වෙත ඈ ගියාය—එය පෙනෙන ලෙසට ඔහු සැක සහිත සමර්ථකම් සතු කෙනෙක් වූයේය. ඉක්මනින්ම ඇය ඇගේ පියාව ව්‍යභිචාරය සඳහා චෝදනා කළ අතර, ඔහුව අධිකරණයට ගෙන යන ලදි. ජූරි සභාවට කිසිම එකඟත්වයකට පත්වීමට නොහැකි වූ අතර, පියාව බන්ධනාගාර ගත නොකළ අතර, ඩොලර් 1,00,000ක නීතික බිල්පතක් දී පිටත් කරනු ලැබීය. එවිට, ඒ සියල්ලට පසුව, තමන්ට එවන් දූෂණයක් සිදුවූවායයි ඈ තවදුරටත් විශ්වාස නොකරන බව ඩොනා ඇගේ දෙමව්පියන්ට කීවාය!
බුද්ධිමත් ලෙස සාලමොන් මෙසේ පැවසුවේය: “නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න.” (හිතෝපදේශ 25:8) වරදකරු බවට කියාපාන තැනැත්තා තවමත් දරුවන්ව දූෂණය කරනවා යනුවෙන් සැක කිරීමට සමහර සත්‍ය හේතු තිබේ නම්, අනතුරු ඇඟවීමක් දිය යුතු වේ. එවැනි අවස්ථාවල සභාවේ වැඩිමහල්ලන්ට උපකාර කළ හැක. එසේ නොමැති නම්, ඉවසන්න. යථාකාලයේදී, ප්‍රශ්නය අමතක කර දැමීමෙන් ඔබ සෑහීමට පත්විය හැක. එහෙත් ඔබට වරදකරු බවට කියාපාන තැනැත්තා ඉදිරියට පැමිණවීමට අවශ්‍ය නම් (පළමුව විය හැකි ප්‍රතිචාරයන් පිළිබඳව ඔබ සිතන්නේ කෙසේදැයි තක්සේරු කළාට පසු), එසේ කිරීමට ඔබට අයිතියක් තිබේ.
කෙනෙකු අද්දකින්නාවූ “මතකයන්” සුව වන කාලය අතරතුරේදී, අවලක්ෂණ තත්වයන් පැන නැඟිය හැක. එක් උදාහරණයකට, ඔහු හෝ ඇය සැමදාම දකින කෙනෙකු විසින් දූෂණය වූවායයි පැහැදිලිව පෙනෙන මානසික ප්‍රතිරූපයන් පුද්ගලයෙකුට තිබිය හැක. මේ සමඟ කටයුතු කිරීමේදී කිසිම නීතියක් පැනවිය නොහැක. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5) සමහරවිට නෑදෑයෙකු හෝ තම පවුලේම සාමාජිකයෙකු මෙයට සම්බන්ධයයි කෙනෙකුට හැඟිය හැක. වරදකරුයයි සැක කරන ලද කෙනෙකුව හඳුනාගැනීමට පැමිණෙන විට, “අවරෝධිත මතකයන්වල” සැක සහිත ස්වභාවය මතක තබාගන්න. එවැනි අවස්ථාවකදී, ප්‍රශ්නය ස්ථිරවම තහවුරු කර නොතිබෙන විට, අඩුතරමින් කලාතුරකින් පවුල බැහැදැකීමෙන්, ලියුම් මගින් හෝ දූරකථනයෙන් සම්බන්ධකම් පවත්වා ගැනීම තුළින් ශුද්ධ ලියවිලිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට කෙනෙකු උත්සාහ කරන බව පැහැදිලි වනු ඇත.—එපීස 6:1-3 සසඳන්න.
වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
ළමා දූෂණයේ අතීතාවර්ජනයෙන් හෝ “අවරෝධිත මතකයන්” අද්දකින සභාවේ සාමාජිකයෙකු වැඩිමහල්ලන් වෙත පැමිණි විට, ඔවුන්ගෙන් දෙදෙනෙකු උපකාර කිරීමට පැවරුම් ලබයි. දැනට චිත්තවේගීය පීඩාව සමඟ සාර්ථකව කටයුතු කිරීම මත අවධානය යොමු කිරීමට පීඩාවට පත් පුද්ගලයාට දිරිගැන්වීමෙහිලා මෙම වැඩිමහල්ලන් නිරත විය යුතුය. “මතක්වූ” දූෂිතයන්ගෙන් ඕනෑම කෙනෙකුගේ නම් දැඩි ලෙස රහසිගතව තබාගත යුතු වේ.
වැඩිමහල්ලන්ගේ මූලික කාර්යය වන්නේ එඬේරුන් ලෙස ක්‍රියා කිරීමයි. (යෙසායා 32:1, 2; 1 පේතෘස් 5:2, 3) “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන” සිටීමට ඔවුන් විශේෂයෙන් වගබලා ගත යුතුය. (කොලොස්සි 3:12) ඔවුන් කාරුණික ආකාරයකින් සවන් දී ශුද්ධ ලියවිලිවලින් සුවය ගෙන දෙන්නාවූ වචන අදාළ කර ගනිත්වා. (හිතෝපදේශ 12:18) වේදනාකාරි “මතකයන්ගෙන්” විපත්තියට පත් සමහරුන් කෙසේ ක්‍රියා කරන්නේදැයි බැලීමට නිතිපතා බැහැදැකීම් හෝ දූරකථන ඇමතුම් දෙන වැඩිමහල්ලන්ට ඔවුන්ගේ අගය කිරීම ප්‍රකාශ කර තිබේ. එවන් හමුවීම්වලට වැඩි කාලයක් ගැනීම අවශ්‍ය නොවුවත්, එමගින් යෙහෝවඃවහන්සේගේ සංවිධානය සැලකිල්ල දක්වන බව පෙන්වයි. තම ක්‍රිස්තියානි සහෝදරයන් තමුන්ට සැබවින්ම ප්‍රේම කරන බවට විපත්තියට පත් පුද්ගලයා අවබෝධ කරගන්නා විට, මෙය සැලකිය යුතු චිත්තවේගීය සමබරතාවක් නැවත ලබාගැනීමට ඔහුට උපකාර විය හැක.
පීඩාවිඳින්නා චෝදනාවක් ඉදිරිපත් කළ යුතුයයි තීරණය කළහොත් කුමක්ද?b මතෙව් 18:15, සඳහන් ප්‍රතිපත්තිය අනුව, ප්‍රශ්නය සම්බන්ධව චූදිත පුද්ගලයාව පෞද්ගලිකව හමුවිය යුතුයයි, වැඩිමහල්ලන් දෙදෙනාට අවවාද කළ හැක. චෝදකයාට මෙය මුහුණට-මුහුණලා කිරීමට චිත්තවේගීයව නොහැකි නම්, දූරකථනයෙන් හෝ නැත්නම් ලිපියක් ලිවීම මගින් මෙය සිදු කළ හැක. මෙයින් චූදිතයාට චෝදනාවට පිළිතුරක් සැපයීමෙන්, යෙහෝවඃවහන්සේ ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව දෙනු ලැබේ. මෙම දූෂණය ඔහු විසින් නොකරන ලද්දක් බවට ඔප්පු කරන තොරතුරු ඉදිරිපත් කිරීමටද ඔහුට හැක. නැත්නම් සමහරවිට චූදිත පුද්ගලයා තමාගේ වරද නොසඟවා කියා සමඟිසන්ධානයක් මුදුන් පමුණුවා ගත හැක. එය මොනතරම් ආශීර්වාදයක් වනු ඇද්ද! වරද නොසඟවා කිවහොත්, වැඩිමහල්ලන් දෙදෙනාට තවදුරටත් කාරණා ශුද්ධ ලියවිලි ප්‍රතිපත්තිවලට එකඟව හැසිරවිය හැක.
චෝදනාව ප්‍රතික්ෂේප කරන ලද්දේ නම්, මෙයට වඩා විනිශ්චයක මාර්ගයෙන් කිසිවක් කළ නොහැකි බව වැඩිමහල්ලන් චෝදකයාට පැහැදිලි කළ යුතුය. තවද සභාව මගින් චූදිතයා නිර්දෝෂ පුද්ගලයෙකු ලෙස තවදුරටත් සලකනු ලැබේ. විනිශ්චයක ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටිය යුතු බව බයිබලය පෙන්වයි. (2 කොරින්ති 13:1; 1 තිමෝති 5:19) එකම පුද්ගලයා විසින් දූෂණයට ලක්වීම් එක් කෙනෙකුට වඩා වැඩිදෙනෙකු “මතක් කළ” විට පවා, අනිකුත් උපකාර කරන්නාවූ තොරතුරු නොමැතිව විනිශ්චයක තීරණයක් ගැනීමට තරම් මෙම මතක් කිරීම්වල ස්වභාවය බෙහෙවින් අවිනිශ්චිත වේ. මෙම “මතකයන්” බොරු ඒවා ලෙස සලකනු ලැබේයයි (හෝ සැබෑ ඒවා ලෙස සලකනු ලැබේයයි) මින් අදහස් නොකෙරේ. එහෙත් විනිශ්චයමය ලෙස කාරණයක් තහවුරු කිරීමේදී බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු වේ.
එහෙත් චූදිත පුද්ගලයා වරද සහිත බවට ප්‍රතික්ෂේප කළත්, ඔහු වරද සහිතභාවයෙන් යුක්ත නම්, කුමක්ද? ඔහු දඬුවමින් බේරෙනු ඇද්ද? කිසිසේත් නැත! ඔහුගේ වරදකාරිබව හෝ නිර්දෝෂීබව පිළිබඳ ප්‍රශ්නය යෙහෝවඃවහන්සේට බියක් නැතුව භාරදිය හැක. “සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.” (1 තිමෝති 5:24; රෝම 12:19; 14:12) හිතෝපදේශ පොත මෙසේ කියයි: “ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.” “දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි.” (හිතෝපදේශ 10:28; 11:7) අවසාන වශයෙන් යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ සදාකාලික විනිශ්චය යුක්තියෙන් ඉදිරිපත් කරත්.—1 කොරින්ති 4:5.
යක්ෂයාට විරුද්ධ වීම
කැපවූ ආත්ම බලවත් ශාරීරික හෝ චිත්තවේගීය වේදනා හමුවේ විඳදරාගන්නා විට, එය සිය අභ්‍යයන්තර ශක්තියේ සහ දෙවියන්වහන්සේට ඇති සිය ප්‍රේමයේ කෙතරම් සාක්ෂියක්ද! එමෙන්ම ඔවුන්ව දරා සිටීමට දෙවියන්වහන්සේගේ ආත්මයට ඇති බලය සම්බන්ධයෙන් එය මොනතරම් සාක්ෂියක්ද!—2 කොරින්ති 4:7 සසඳන්න.
එවැනි අයට පේතෘස්ගේ වචන අදාළ වේ: “ඇදහිල්ලෙහි ස්ථිරව සිට, [සාතන්ට] විරුද්ධව සිටපල්ලා.” (1 පේතෘස් 5:9) එසේ කිරීමට පහසු නොවන්ට පුළුවන. සමහරවිට, පැහැදිලිව සහ තර්කානුකූලව සිතීමට පවා අපහසු විය හැක. එහෙත් ධෛර්යය වන්න! ඉක්මනින්ම, යක්ෂයා සහ ඔහුගේ කපටි ක්‍රියා තවදුරටත් නොපවතිනු ඇත. “දෙවියන්වහන්සේම . . . ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය” කියා පැවසිය හැකි ඒ කාලය දෙස සැබවින්ම අපි පුල පුලා බලා සිටිමු.—එළිදරව් 21:3, 4.
[පාදසටහන්වල]
a “අවරෝධිත මතකයන්” සහ එයට සමාන අර්ථ පැහැදිලි කිරීම්, අප සියලුදෙනාටම තිබෙන වඩාත් සාමාන්‍ය මතක සටහන්වලින් වෙන් කර හඳුනාගැනීමට උද්ධෘතපාඨ සලකුණුවලින් වෙන් කොට හඳුනා තිබේ.
b ප්‍රශ්නය සභාවේ පොදුවේ දන්නා දෙයක් බවට පත්වී තිබේ නම්, මෙම ඡේදයේ දක්වා තිබෙන විස්තරයේ පියවර ගැනීමටද අවශ්‍ය විය හැක.