ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/1 22-25 පි.
  • ‘හෙළනු ලැබුවත්, විනාශ නොවී’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘හෙළනු ලැබුවත්, විනාශ නොවී’
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැබෑ පසුබැසීමක්
  • සන්තෝෂවත් පවුලක්
  • ආත්මික අංශභාගයෙන් ජයගැනීම
  • තවත් පසුබැස්මක් සමඟ කටයුතු කිරීම
  • මට හැකි දේ කිරීම
  • යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ දෙපා සවි වන දා
    2006 පිබිදෙව්!
  • දුර්වලව හිටියත් ශක්තිමත්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙඩි උණ්ඩයක් මගේ ජීවිතය වෙනස් කළේය
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/1 22-25 පි.

‘හෙළනු ලැබුවත්, විනාශ නොවී’

උල්ෆ් හෙල්ගසන් පැවසූ පරිදි

වර්ෂ 1983, ජූලි මස මා දෙස නැමී බැලූ වෛද්‍යවරු හඬ නඟා මෙසේ කීවා: “ඔහු අවදිව සිටියි!” පැය 15ක කාලයක් තුළ සංකීර්ණ ශල්‍යකර්මයක් මගින් මගේ සුෂුම්නාවේ සෙන්ටිමීටර් 12ක් පමණ දිග පිළිකාවක් ඉවත් කර තිබුණා. මම සම්පූර්ණයෙන්ම අංශභාගියෙක් වුණා.

දින කිහිපයකට පසු, ස්වීඩනයේ දකුණු දෙසින් පිහිටි මගේ ගම වන හෙල්සිංබර්ග් සිට ආසන්න වශයෙන් කිලෝමීටර 60ක් දුරින් පිහිටි රෝහලකට මාව මාරු කළා. එහිදී මම පුනරුත්ථාපන වැඩසටහනකට ඇතුළත් වුණා. කායික චිකිත්සක විශාල අභියෝගයක් බව පැවසුවත්, එය පටන්ගැනීමට මම ආශාවෙන් සිටියා. ඇත්තෙන්ම මට යළි ඇවිදීමට අවශ්‍ය වුණා. දිනකට පැය පහක ව්‍යායාම් වැඩසටහනක් උත්සාහයෙන් ලුහුබැඳීමෙන්, මම ශීඝ්‍ර දියුණුවක් ලැබුවා.

මසකට පමණ පසුව සංචාරක අවේක්ෂක අපගේ සභාව සමඟ සේවය කළ විට, ඔහු සහ අනිකුත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, සභාවේ වැඩිමහල්ලන්ගේ රැස්වීම මගේ රෝහල් කාමරයේ පැවැත්වීම පිණිස දිග ගමනක් පැමිණියා. මෙම සහෝදර ප්‍රේමයේ සාක්ෂියෙන් මගේ සිත කොතරම් සතුටු වුණාද! රැස්වීමට පසුව වාට්ටුවේ හෙදියෝ මුළු කණ්ඩායමටම තේ සහ සැන්ඩ්විචස් දී සංග්‍රහ කළා.

ආරම්භයේදී මගේ දියුණුව දෙස බලා වෛද්‍යවරු පුදුමයට පත්වුණා. මාස තුනකට පසුව මගේ රෝද පුටුවේ ඉඳගැනීමට සහ විනාඩි කිහිපයකට සිටගෙන සිටීමට පවා මට හැකිවුණා. මම සතුටු වූ අතර, නැවත වරක් ඇවිදීමට සම්පූර්ණයෙන්ම අධිෂ්ඨාන කළා. මගේ පවුලේ අය සහ සහකාර ක්‍රිස්තියානීන් ඔවුන්ගේ බැහැදැකීම් අතරතුර බොහෝසෙයින් මාව ධෛර්යවත් කළා. කෙටි කාලපරිච්ඡේදවලට නිවසට යෑමට පවා මට හැකි වුණා.

සැබෑ පසුබැසීමක්

කෙසේවුවත්, ඉන්පසුව, මම තවදුරටත් කිසි දියුණුවක් නොලැබුවා. ඉක්මනින්ම කායික චිකිත්සක මට වේදනාකාරි පණිවුඩයක් දැනුම් දුන්නා: “මෙයට වඩා ඔබ තවත් සනීප වෙන්නේ නැහැ!” දැන් ඉලක්කය වූයේ මා විසින්ම රෝද පුටුවේ එහා මෙහා යෑමට මා ශක්තිමත් කිරීමයි. මට කුමක් සිදුවේදැයි මම කල්පනා කළා. මගේ බිරිඳ කටයුතු කරන්ට යන්නේ කෙසේද? ඇයද බරපතළ ශල්‍යකර්මයකට යටත් වී තිබූ බැවින්, මගේ උපකාරය අවශ්‍යව සිටියා. ස්ථිර ලෙස යම් ආයතනයකින් සාත්තුව මට අවශ්‍ය වේද?

මම දැඩි විෂාදයකට ලක් වුණා. මගේ ශක්තිය, ධෛර්යය සහ බලය ක්‍රමයෙන් අඩු වුණා. දවස් ගත වුවත් මම නිශ්චලව සිටියා. මම ශාරීරිකව අංශභාග වූවා පමණක් නොව, චිත්තවේගීව සහ ආත්මිකවද හිරි වැටුණු තත්වයක සිටියා. මාව ‘හෙළනු ලැබුවා.’ මම ආත්මිකව ශක්තිමත් කෙනෙකු බව සැමවිටම සිතා තිබුණා. දේවරාජ්‍යය කෙරෙහි ස්ථිරව මුල් බැස ගත් ඇදහිල්ලක් මට තිබුණා. (දානියෙල් 2:44, 45; මතෙව් 6:10) දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ රෝග සහ දුර්වලකම් සියල්ලම සුව වන බවත්, එහිදී පරිපූර්ණ ජීවිතයකට සියලුම මනුෂ්‍යයන් නැවත පැමිණෙන බවත්, සඳහන් බයිබලයේ පොරොන්දුව මම තදින් විශ්වාස කළා. (යෙසායා 25:8; 33:24; 2 පේතෘස් 3:13) දැන් මම ශාරීරිකව පමණක් නොව, ආත්මිකවද අංශභාග වූවායයි මට සිතුණා. මා ‘විනාශ වුණා’ යයි හැඟුණා.—2 කොරින්ති 4:9.

තවදුරටත් යෑමට කලින්, මගේ පසුබිම පිළිබඳ ස්වල්පයක් කියන්න ඉඩ දෙන්න.

සන්තෝෂවත් පවුලක්

මම 1934දී උපත ලැබූ අතර, මගේ සෞඛ්‍යය නිතරම යහපත්ව තිබුණා. එක්දහස් නවසිය පනස් ගණන්වල මුල්භාගයේදී මට ඉන්ග්‍රඩ් හමු වූ අතර, 1958දී විවාහ වී මධ්‍යයම ස්වීඩනයේ අර්ස්ටර්ස්න්ඩ් නගරයේ පදිංචි වුණා. වර්ෂ 1963දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට අප පටන්ගත්තාට පසු, එය අපගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වුණා. ඒ වන විට අපට ඒවා, බියෝන් සහ ලීනා යනුවෙන් කුඩා ළමයින් තිදෙනෙක් සිටියා. ඉක්මනින්ම අපගේ මුළු පවුලම අධ්‍යයනය කළ අතර, බයිබල් සත්‍යයන් පිළිබඳ දැනුමෙන් දියුණු වුණා.

අධ්‍යයනය කර ටික කලකට පසුව අපි හෙල්සිංබර්ග් නගරයට පදිංචිය සඳහා ගියා. එහිදී මගේ බිරිඳ සහ මම යෙහෝවඃවහන්සේට අපගේ ජීවිත කැපකර 1964දී බව්තීස්ම ලැබුවා. වර්ෂ 1968දී අපගේ වැඩිමහල් දියණිය ඒවා, බව්තීස්ම වුණාට පසු අපගේ සන්තෝෂය තවත් වැඩි වුණා. වසර හතකට පසු, 1975දී බියෝන් සහ ලීනා බව්තීස්ම වූ අතර, ඊළඟ වසරේදී ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු ලෙස මාව පත් කරනු ලැබුවා.

මගේ පවුලේ ද්‍රව්‍යයමය අවශ්‍යතා හොඳින් සැපයීමට මගේ බාහිර රැකියාව උපකාර වුණා. බියෝන් සහ ලීනා පූර්ණ කාලීන දේවසේවයට ඇතුල්වීමෙන් අපගේ සන්තෝෂය තවත් වැඩි වුණා. විගසින්ම බියෝන්ට ආර්බූගහි තිබෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට ආරාධනා කරනු ලැබුවා. ජීවිතය අපහට ඉතා ප්‍රීතිමත් අද්දැකීමක් වුණා. ඉන්පසු 1980 මුල්භාගයේදී, පිළිකාවේ ශාරීරික බලපෑම් මට දැනුණ අතර, අන්තිමේදී 1983 වන විට බරපතළ ශල්‍යකර්මයකට යටත්වී එය ඉවත් කරනු ලැබුවා.

ආත්මික අංශභාගයෙන් ජයගැනීම

නැවත මට ඇවිදීමට නොහැකියයි පැවසූ විට මා අවට ජීවිතය බිඳවැටුණු බවක් පෙනී ගියා. ආත්මික ශක්තිය මම නැවත ලබාගත්තේ කෙසේද? මම සිතුවාට වඩා එය පහසු වුණා. මම නිකම්ම මගේ බයිබලය රැගෙන කියවීමට ආරම්භ කළා. මා බයිබලය කියවූ තරමටම ඉන් ආත්මික ශක්තියක් ලබාගත්තා. මේ සියල්ලට වඩා යේසුස්වහන්සේගේ කන්ද උඩ දේශනාව මම අගය කිරීමට පටන්ගත්තා. මම නැවත නැවතත් එය කියවා, ඒ පිළිබඳ මෙනෙහි කළා.

ජීවිතය පිළිබඳ මගේ සන්තෝෂවත් බලාපොරොත්තුව ප්‍රකෘතිමත් වුණා. කියවීම සහ මෙනෙහි කිරීම තුළින්, මම බාධාවන් වෙනුවට ප්‍රස්තාවන් දැකගැනීමට පටන්ගත්තා. බයිබල් සත්‍යයන් අන් අය සමඟ බෙදාගැනීමේ කැමැත්ත මම නැවත ලබාගත් අතර, මෙම කැමැත්ත මම තෘප්තිමත් කරගත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට සහ මට හමු වූ අනිකුත් අයට දේශනා කිරීම මගින්ය. මගේ පවුලේ අය මට සම්පූර්ණයෙන්ම උපකාර කළ අතර, මාව බලාගන්නේ කෙසේද කියා පුහුණුවද ලබාගත්තා. අවසානයේදී මට රෝහලින් පිටත්ව ඒමට හැකි වුණා.

අන්තිමේදී මම දැන් ගෙදර සිටියා. අප සියලුදෙනාටම එය කොතරම් සන්තෝෂවත් දවසක් වුණාද! මගේ පවුල කාලසටහනක් පිළියෙළ කළ අතර, මෙයට මාව බලාගැනීමද ඇතුළත් වුණා. මගේ පුතා බියෝන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීම අත්හැරීමට තීරණය කළ අතර, මාව බලාගැනීමට උපකාර කිරීම පිණිස ඔහු නිවසට පැමිණියා. එතරම් ප්‍රේමය සහ සැලකිල්ල මගේ පවුලේ අයගෙන් ලබාගැනීමේ වස්තුව මම වීම මහත් සැනසිල්ලක් වුණා.

තවත් පසුබැස්මක් සමඟ කටයුතු කිරීම

කෙසේවෙතත්, කාලයත් සමඟ මගේ සෞඛ්‍යය පිරිහීමට පටන්ගත් අතර, මට එහා මෙහා යෑමට අපහසු වුණා. අවසානයේදී, මගේ පවුලේ අයගේ කැපවූ උත්සාහයන් මධ්‍යයෙහි පවා, නිවසේ සිට මට සාත්තු කිරීමට ඔවුන්ට තවදුරටත් නොහැකි වුණා. එම නිසා මට හොඳම දෙය වන්නේ සාත්තු නිවාසයකට ඇතුල්වීමයයි මම සිතුවා. නැවත වරක්, වෙනස්වීම් සහ අලුත් චර්යා ක්‍රමයක් අනුගමනය කිරීම ඉන් අදහස් වුණා. එහෙත් මෙය ආත්මිකත්වයට බාධකයක් වීමට මම ඉඩ දුන්නේ නැහැ.

බයිබලය කියවීම සහ ඒ පිළිබඳ පර්යේෂණ කිරීම මම කිසිදාක නැවැත්වූයේ නැහැ. මට කළ නොහැකි දේ පිළිබඳව නොව, මට කළ හැකි දේ පිළිබඳව මම නිතරම කල්පනා කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියල්ලන්ටම ඇති ආත්මික ආශීර්වාද පිළිබඳව මම මෙනෙහි කළා. යාච්ඤාව තුළින් මම යෙහෝවඃවහන්සේට ළංව සිටි අතර, අනිකුත් අයට දේශනා කිරීමට සෑම ප්‍රස්තාවක්ම උපයෝගි කරගත්තා.

එවිට දවසින් අඩක් සහ රාත්‍රිය මම සාත්තු නිවාසයේ ගත කළා. පස්වරුව සහ සැන්දෑව මම ගෙදර නැත්නම් අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වල ගත කළා. රැස්වීම්වලට සහ නිවසට ඒමට සහ යෑමට නිතිපතා ප්‍රවාහණ පහසුකම් එක් නගර සභා සේවාවක් පිළියෙළ කර දුන්නා. මගේ කැපවූ පවුල, සභාවේ සහෝදරයන් සහ සාත්තු නිවසේ කාර්ය මණ්ඩලය මාව පුදුමාකාර අන්දමකින් බලාගත්තා.

මට හැකි දේ කිරීම

මම රෝගියෙකු ලෙස මාව සලකන්නේ නැති අතර, මගේ පවුලේ අය නැත්නම් මගේ ක්‍රිස්තියානි සහෝදරයන්ද එලෙස මාව සලකන්නේ නැහැ. මට ප්‍රේමනීය අන්දමකින් සැලකිල්ල ලැබෙන අතර, මෙය වැඩිමහල්ලෙකු ලෙස දිගටම සේවය කිරීමටද මට හැකිකම ලබා දෙනවා. සෑම සතියකම සභා පොත් පාඩමක් මෙන්ම සතිපතා සභා මුරටැඹ පාඩමද රාජ්‍ය ශාලාවේ මම මෙහෙයවනවා. බයිබලයේ පිටු පෙරළීම මට කිරීමට අපහසු නිසා, රාජ්‍ය ශාලාවේදී මෙය කිරීම සඳහා මට උපකාර කිරීමට යමෙකුව පවරනු ලබනවා. මගේ රෝද පුටුවේ සිට මම රැස්වීම් පවත්වන අතර, කතාද දෙනවා.

මෙලෙස එඬේර බැහැදැකීම් ඇතුළුව මම මීට පෙර අගය කිරීමක් ඇතුව කළ බොහෝ දේවල් තවමත් මට කරන්ට පුළුවන්. (1 පේතෘස් 5:2) සහෝදර සහෝදරියන් උපකාර හෝ අවවාද පිණිස මා වෙත එන විට මම මෙය කරනවා. අන් අයට දූරකථනය තුළින් ඇමතීමට මුල පිරීම පිණිස මම දූරකථනයද උපයෝගි කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අන්‍යොන්‍ය දිරිගැන්වීමක් ලැබෙනවා. (රෝම 1:11, 12) මෑතකදී එක් මිත්‍රයෙක් මෙසේ කිව්වා: “මම අධෛර්යයට පත්වී සිටින විටම, ඔබ මට ධෛර්යය දීමට අමතනවා.” එහෙත් යෙහෝවඃවහන්සේ මගේ උත්සාහයන්වලට ආශීර්වාද කරනවා කියා දැන, මමත් මින් ධෛර්යය ලබනවා.

රැස්වීම්වලට පෙර සහ පසු, සභාවේ දරුවන් සමඟ මට හොඳ ආශ්‍රයක් තිබෙනවා. මම මගේ රෝද පුටුවේ ඉඳගෙන සිටින නිසා, අපි එකිනෙකාට එකම ඇස් මට්ටමකින් කතා කරනවා. ඔවුන්ගේ අවංකකම සහ ඍජුකම මම අගය කරනවා. යෞවන පිරිමි ළමයෙක් විටක මට මෙසේ කිව්වා: “ඔබ ඉතාම කඩවසම් රෝගියෙක්!”

මට කළ නොහැකි දේවල් පිළිබඳව කනස්සලු වෙනවාට වඩා, මට කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් මම යෙහෝවඃවහන්සේට සේවය කිරීම භුක්තිවිඳ තිබෙනවා. මට සිදුවී තිබෙන දේවලින් මම බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. අපි මුහුණ දෙන්නාවූ පරීක්ෂා තුළින් පුහුණුව සහ ශක්තිය ලබන බව මම අවබෝධ කරගෙන තිබෙනවා.—1 පේතෘස් 5:10.

අපගේ ස්වර්ගික පියාණන්ට කරන නමස්කාරය සෑමවිටම බැරෑරුම් ලෙස සලකා අගය කිරීමට, බොහෝ සෞඛ්‍යසම්පන්න මිනිසුන් අසමර්ථ වන බව මම දැක තිබෙනවා. අප එසේ නොකළහොත්, අපගේ අධ්‍යයනය කිරීමේ කාලසටහන, රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය නිකම්ම යාන්ත්‍රික ක්‍රියා පිළිවෙළක් බවට පත්වන්ට පුළුවන. මෙම ලෝකයේ අවසානය තුළින් ගැළවී දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ භූමික පාරාදීසයට ඇතුල්වීමට මෙම සැපයුම් ඉතා වැදගත් බව මම සලකනවා.—ගීතාවලිය 37:9-11, 29; 1 යොහන් 2:17.

දෙවියන්වහන්සේගේ පැමිණෙන නව ලෝකයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව අපි සෑමවිටම අපගේ හෘදයන් තුළ ජීවමානව තබාගත යුතුයි. (1 තෙසලෝනික 5:8) අධෛර්යය වීමට හැකි කුමන නැඹුරුවාවකට හෝ විරුද්ධව අපේ සටන අත්නොහැරිය යුතු බවත් මම ඉගෙනගෙන තිබෙනවා. යෙහෝවඃවහන්සේ මගේ පියා ලෙසත්, උන්වහන්සේගේ සංවිධානය මව ලෙසත් සැලකීමට මම ඉගෙනගෙන තිබෙනවා. අප උත්සාහ කළහොත්, යෙහෝවඃවහන්සේගේ ඵලදායක සේවකයෙකු ලෙසට අපගෙන් ඕනෑම කෙනෙකුව උන්වහන්සේට පාවිච්චි කිරීමට හැකියයි මම අවබෝධ කරගෙන තිබෙනවා.

මම ‘හෙළනු ලැබුවා’ යයි මට සමහරවිට හැඟුණත්, මම ‘විනාශ වී නැහැ.’ යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ සංවිධානයවත් නැත්නම් මගේ පවුල හෝ මගේ ක්‍රිස්තියානි සහෝදරයන්වත් මාව කිසිවිටක අත්හැර දමා නැහැ. බයිබලයට ළඟාවීමෙන් සහ එය කියවීමට පටන්ගැනීමෙන්, මම ආත්මික ශක්තිය නැවත ලබාගත්තා. අප උන්වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන විට “සාමාන්‍ය ඉක්මවූ බලය [NW]” අපට දෙන්නාවූ යෙහෝවඃ දෙවියන්වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා.—2 කොරින්ති 4:7.

යෙහෝවඃවහන්සේ කෙරෙහි සම්පූර්ණ නිසැකකමත්, පූර්ණ විශ්වාසයත් ඇතුව මම අනාගතය කෙරෙහි ආශාවෙන් බලා සිටිනවා. යෙහෝවඃවහන්සේ ආශ්චර්යවත් ආශීර්වාද සහිතව පොළොවෙහි නැවත පිහිටුවීමට යන පාරාදීසය පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉෂ්ට කරන බව මට නිසැකයි.—එළිදරව් 21:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න