යෙහෝවඃ වහන්සේගේ ස්ථිරසාර උපකාරය උදෙසා කෘතඥපූර්වක වෙමි
ෂැරන් ගැස්කින්ස් විසින් පවසන ලදි
පොළොව මත පාරාදීසයක්! මා තණ බිම්වල නටමින් සමනලයන් එළවමින් ද, සිංහ පැටවුන් සමඟ සෙල්ලම් කරමින් දුව පැන යනවා මම දුටුවා. එය කොතරම් යහපත් යමක් ලෙස පෙනුණා ද! එහෙත් සැකයන් තිබුණි. මගේ බලාපොරොත්තු කොතරම් වාර ගණනක් බිඳ වැටුණු තත්ත්වයෙන් අවසන් වී තිබුණේ ද!
මට මතක ඇති කාලයක පටන්, මගේ නොවෙනස් මිත්‍රයා ව සිටියේ මගේ රෝද පුටුවයි. උපන් දා පටන් මස්තිෂ්ක පරාශ්ලථය නම් රෝගය තිබීම නිසා, ළමා කාලයේ ලබන සතුට පවා, මට අහිමි වී ගියා. වෙනත් ළමයින් රෝද සපත්තු හා බයිසිකල් මත සෙල්ලමෙන් කාලය ගත කළ ද, මම ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක, තනි ව වාඩි වී සිටියා. මෙනිසා අම්මා මා ව ඇදහිල්ලෙන් සුව කරන එක් එක් තැනැත්තා වෙත නොකඩවා ම ගෙන ගිය විට, හාස්කමක් සිදු වෙයි කියා අපි අවංක ව ම බලාපොරොත්තු වුණා. කොහොම වුණත්, ඒ සෑම අවස්ථාවක ම, ඇය මා ව ආපසු තල්ලු කරගෙන ආවා පමණි. එය මා ව කලකිරීමට පත් කළත්, එය ඇයට කොතරම් ශෝකයක් ගෙන දෙන්නට ඇද්ද!
අව්‍යාජ බලාපොරොත්තුවක් සඳහා අපට දැඩි ආශාවක් තිබූ හෙයින්, මගේ මව 1964 මුල දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්ට පටන් ගත්තා. එවිට මට අවුරුදු හයාමාරක් විතර ඇති.
වරක් මෙම පොළොව මත ලස්සන පාරාදීසයක් තිබූ බව ඉගෙන ගැනීම සිත ඇදී ගිය දෙයක් වුණා. කනගාටුදායක ලෙසින්, පළමු මනුෂ්‍යයා වූ ආදම්, පාරාදීසය අහිමි කර ගත්ත ද, ඔහු වරක් දෙවියන් වහන්සේ සමඟ භුක්ති වින්දා වූ සමීප සබඳතාවයට මම ආශා කළා. දෙවියන් වහන්සේ සමඟ සුවිශේෂී සම්බන්ධතාවයක් භුක්ති විඳීම කොයි ආකාර වන්නට ඇද්ද? එසේත් නැතහොත් උන් වහන්සේගේ ම පුත්‍රයා මෙම පොළොවේ ජීවත් වූ කාලයේ ජීවත්වීම? එමෙන් ම මගේ දවල් සිහින මා ව අනාගත පාරාදීසය වෙතට යොමු කළා. අප සත්‍යය සොයා ගෙන තිබූ බව, ඒ බාල කාලයේ පවා මට පැහැදිලි වුණා.
අපගේ පවුල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවට ගෙන යාමට අම්මා පටන් ගත්තා. ඔවුන්ගේ රැස්වීම් අප පල්ලිවල දැක තිබෙන දේවලට වඩා කොතරම් වෙනස් වූවා ද! එහි සිටි අය හා පරිසරය බොහෝ දුරට මගේ සිත් ගත්තා.
අප ව රාජ්‍යය ශාලාවට ගෙන යාම මගේ මවට දුෂ්කර කාර්යයක් වුණා. මා හැරෙන්නට, තවත් බාල දරුවන් තිදෙනෙක් සිටි අතර අපට කාර් එකක් තිබුණේ නැහැ. ඈට අතේ මුදල් තිබුණ අවස්ථාවන්හි අප ටැක්සියකින් ගියා. එක් ඉරුදිනක ඇය ඉතා අමාරුවෙන් ගත් උත්සාහය මට තවමත් මතකයි. පේනතෙක් මානයක ටැක්සියක් තිබුණේ නැහැ. එවිට, හිටි හැටියෙන් ම ට්‍රක් රථයකින් පැමිණි කෙනෙක් අපට ගමන් පහසුව සැලසුවා. අපි එදා රැස්වීමට ගියේ පමා වෙලා, ඒත් අපි එහි ගියා. මේ සඳහා අපි යෙහෝවඃ වහන්සේට කොතරම් ස්තුති කළා ද!
වැඩි කලක් යන්නට මත්තෙන්, කාර් ඇති ව සිටි අපගේ ප්‍රේමනීය වූ ආත්මික සහෝදර සහෝදරියන් මාරුවෙන් මාරුවට අපට ගමන් පහසුකම් සැපයුවා. අපි ඇත්තෙන් ම අසනීප ව සිටියොත් මිස රැස්වීම් අතපසු නොකරන ලෙස මව දුන් දිරිගැන්වීම, ‘අපේ ම රැස්වීම්වලට’ යාමේ වැදගත්කම මගේ බාල මනසට කාවැද්දුවා. (හෙබ්‍රෙව් 10:24, 25) තමා ඉගෙන ගත් දෙයින් පෙලඹීම් ලබමින්, මගේ මව සිය ජීවිතය යෙහෝවඃ වහන්සේට කැප කරමින් 1965 දී බව්තීස්මය ලැබුවා.
ඒ වන විට වඩා පූර්ණ ආකාරයකට රැස්වීම් අගය කරන්නට මම වයසින් වැඩී සිටියා. න්යූ යෝක්, බෘක්ලින් හි සයිප්‍රස් හිල්ස් සභාවේ යුරෝපීයන්, කළු ජාතිකයන්, හිස්පෑනික්වරුන්, හා වෙනත් අය එකට හිඳ නමස්කාරයේ හවුල් වෙමින් සිටියා. දේව භයැති අය සැබෑ සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බව ඉතා හරි යයි පෙනුණා.—ගීතාවලිය 133:1.
මගේ මව රැස්වීම්වලට සූදානම් වන ආකාරය මට ඉගැන්නුවා. මෙය මානසික වශයෙන් ගැටලුවක් නොවුව ද, මෙය කායික වශයෙන් නම් ගැටලුවක් වුණා. මස්තිෂ්ක පරාශ්ලථය සරල කාර්යයන් විශාල කාරියක් බවට පෙරළයි. අපගේ බයිබල් ප්‍රකාශනයන්හි පිළිතුරු සටහන් කිරීම සඳහා කෙළින් ඉරක් ඇඳීමට එදත් අදත් මට පුළුවන්කමක් නැත. කෙසේ නමුත්, පුරුද්දෙන් ම වාගේ, මගේ ඉරි ඇඳීම දියුණු වුණා.
කියන්නට තිබූ දේවලින් මගේ මනස පිරී තිබුණා. එහෙත් ඒවා මගේ මුඛයෙන් පිටවන විට, වචන පැටලෙන්නට පටන් ගත්තා. මගේ පේශි ලිහිල් ව තිබීම සඳහා තැන්පත් වීම ඉතා වැදගත් වුණා. සෑම වචනයක් ම හැකි තරම් පැහැදිලි ව උච්චාරණය පිළිබඳ ව සිත එකඟ කර ගැනීමට ද සිදු වුණා. අවශ්‍ය ආකාරයට උත්තරය ඉදිරිපත් වූයේ නැත්නම්, හෝ මගේ වචන අන් අයට නොතේරුන බව මා දැන ගත් විට, මට කලකිරුණු බවක් දැනුණා. එහෙත්, ඔවුන් මා ව හොඳින් හඳුනා ගත් පසු, සභාවේ සහෝදර සහෝදරියන්ට මගේ කථා බහ වඩා හොඳින් තේරුම් ගැනීමට පුළුවන් වුණා. කොහොම වුණත්, මේ ගැටලුව සම්බන්ධයෙන් මට තවමත් හොඳ හා නරක දවස් තිබෙනවා.
කැළඹිලි සහිත මාස හයක්
මට වසර අටක් ව තිබිය දී, අද දවස දක්වා මට බලපා ඇති මාස හයක අත්දැකීමකට මම මුහුණ දුන්නා. ඒ වන විට මට කොතරම් කායික, වෘත්තියමය පුහුණුව හා කථික චිකිත්සාවන් දී තිබුණත්, වෛද්‍යවරුන් න්යූ යෝක්, හැවර්ස්ට්රෝව් හි පිහිටි පුනරුත්ථාපන රෝහලකට මා ව යැව්වා. මගේ අම්මාත් මමත් අධික ශෝකයට පත් වුණා. වසර කීපයකට පෙර, මා මන්දබුද්ධික තත්ත්වයක සිටින්නේ යයි වෛද්‍යවරුන් වැරදි සහගත ලෙස නිශ්චය කළ විට, මා ව මානසික රෝහලකට ඇතුල් නොකරන බව ඇය ඔවුන්ට කිව්වා. මෙසේ තාවකාලික ව හෝ වෙන්වීම ඇයට දුෂ්කර දෙයක් වුණා. කොහොම වුණත්, මම ඇයගෙන් හා මගේ පියාගෙන් නිදහස් ඵල දායක ජීවිතයක් ගත කිරීමට නම්, හැකිතාක් දුරට කායික වශයෙන් ස්වයං-පෝෂිත ව සිටීම අදහස් කරන බව ඇය දුටුවා.
පීඨයේ හොඳ පහසුකම් තිබුණත්, මා ව අත්හැර දමනු ලැබූ බවට හැඟීමක් මට දැනුණා. දිගට ම හඬා වැළපීමෙන් කෝපයෙන් අවේශ ව සිටි ආකාරයෙන් එම ස්ථානය ගැන මට හැඟුන ආකාරය පැහැදිලි කළා. විශේෂයෙන් ම මගේ අම්මා සිය පස්වන දරුවා ලැබීමට ගර්භණී ව සිටි නිසා, මගේ දෙමව්පියන්ට මා ව බැලීම සඳහා පැය තුනක බස් ගමනෙහි යෙදෙන්නට පුළුවන් වුණේ කලාතුරකිනි. ඔවුන් පිටත් ව යන කල, මම කොතරම් කැළඹිලි සහිත තත්ත්වයට පත් වුණා ද කියතොත් නිතර නිතර නොඑන්නැයි වෛද්‍යවරයා ඔවුන්ට කිව්වා. දෙවරක් පමණක් ගෙදර යන්නට මට අවසර දෙනු ලැබුවා.
පටි හා ඊයම්වලින් බර කරන ලද කිහිලි කරුවලින් ඇවිදින ආකාරය චිකිත්සකයන් මට ඉගැන්නුවා. ඒවා ටොන් ගණන් බර බව දැනුණා. කොහොම වුණත්, එම බර මා ව කෙළින් තබා ගැනීමටත්, නොවැටී සිටීමටත් උපකාරවත් වුණා. මෙය පටි නොමැති ව ඇවිදීම සඳහා ගනු ලැබූ මුල් පියවරයි.
ආහාර කැබලි කිරීම, බොත්තම් දැමීම—ඇඟිලිවල පාවිච්චිය අවශ්‍ය කරන ඕනෑ ම වැඩක්—මට අපහසු වුණා, නැත්නම් කොහෙත් ම කළ නොහැකි වුණා. එහෙත් මට ම ආහාර කවන හා වස්ත්‍ර පළඳවන ආකාරය යම්තාක් දුරට මම ඉගෙන ගත්තා. මෙය මට පසු කාලයේ දී දෙවියන් වහන්සේට වූ මගේ සේවයේ උපකාරවත් වුණා.
මගේ පුහුණුව අවසන් වූ අතර මම හැරී ගෙදර ආවා. මගේ අලුත් කුසලතා යොදා ගනිමින් වැඩ කරන්නට මගේ මව මා ව යෙදෙව්වා. තනි ව වැඩ කරන්නට මා තුළ ආශාවක් තිබුණත්, ඒවා නිම කිරීම කලකිරවන සුලු, කාලය කා දමන, හා විඩාව දනවන කටයුත්තක් නිසා, එසේ කිරීම චිත්ත වේගී සටනක් වුණා. ඇයි රැස්වීම්වලට යාමට තනියෙන් ඇඳීමට පැය දෙකක් ගත වුණා!
රාජ්‍යය ශාලාවෙන් පැමිණ අප කෙළින් ම පාර හරහා යන විට, ඇත්ත වශයෙන් ම මම එය කළේ තනිවයි. මෙය සුළුපටු ජයග්‍රහණයක් නොවේ!
මගේ ජීවිතයේ සන්තෝෂවත් ම දවස
පවුලට සමතුලිත වූ ආත්මික ආහාර වේලක් ලැබෙන බවට මගේ මව වගබලා ගත්තා. ඇය මා සමඟ ඉගෙන ගත් අතර මුරටැඹ හා පිබිදෙව්! යන අපගේ ප්‍රකාශනයන්හි සෑම කලාපයක් ම කියවීම ඇය මගෙන් බලාපොරොත්තු වුණා. සූදානම් වී සහභාගි විය යුතු රැස්වීම් තිබුණා. මගේ මනසත් හෘදයත් ඕනෑකමින් මෙම දැනුම ලබා ගත්ත ද, යෙහෝවඃ වහන්සේට මගේ ජීවිතය කැප කිරීමත් එය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීමත් පිළිබඳ ගැඹුරු සිතුවිලි පසුබිමේ තිබුණා. මා බෙලහීන තත්ත්වයක සිටියත්, මා වෙනුවෙන් ආත්මික ව වගකිව යුත්තේ මම ම බව අවබෝධ කර ගැනීමට අම්මා මට උපකාර කළා. නව ලොව තුළට ඇගේ කුසල් හේතුවෙන්, නැතහොත් ඇගේ ‘සාරිපොටේ’ එල්ලී ඇතුල්වීම මට අපේක්ෂා කළ නොහැකි යමක් වුණා.
මම දෙවියන් වහන්සේට ප්‍රේම කළත්, මෙම තත්ත්වය මා ව අන් අයට වඩා වෙනස් බව දැනීමට සැලසූ අතර එය නව යොවුන් වියේ කෙනෙකුට තේරුම් ගැනීම වේදනා ගෙන දෙන්නක්. මගේ සීමාවන් පිළිගැනීම අපහසු වුණා. ඇතැම් අවස්ථාවන්හි මා කෝපයට පත් වන අතර මෙය බව්තීස්මයට පෙර පාලනය කර ගත යුතු ව තිබුණා. (ගලාති 5:19, 20) එමෙන් ම යෙහෝවඃ වහන්සේට කරන මගේ කැප වීම සම්පූර්ණ කිරීමට මට නොහැකි වුවොත් කුමක් වනු ඇද්ද?
මගේ මවගේ ඉල්ලීමක් පරිදි, සභාවේ වැඩිමහල්ලෙක් මාත් සමඟ කථා කළා. ඔහු ඉශ්රායෙල්වරුන්ට දිවැස්වර එලියා ඉදිරිපත් කළ ප්රශ්නය: “නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද?” යන්න උපුටා දැක්වූවා. (1 රාජාවලිය 18:21) පැහැදිලි ව ම, මා ඈත් වූ එම දෙගෙඩියාව සහිත ස්වභාවය ගැන යෙහෝවඃ වහන්සේ සතුටින් සිටියේ නැහැ.
මම ආත්මික ව අවදි වී, යෙහෝවඃ වහන්සේගේ උපකාරය සඳහාත්, උන් වහන්සේට මගේ ජීවිතය කැප කිරීමට වූ අධිෂ්ඨානය සඳහාත් උනන්දුවෙන් යාච්ඤා කළා. සභාවේ සහෝදරියක් මාත් සමඟ පාඩම් කළා. ඇය මට වඩා වයසින් ළාබාල වූ අතර ඇය කුඩා කාලයේ දී ඇයට ඇගේ මව අහිමි වී තිබුණා. කෙසේ වුව ද, ඇය ඉතා කුඩා කාලයේ දෙවියන් වහන්සේට කැප වීමක් කර තිබුණා.
මට අවුරුදු 17ක් වන විට, මම තීරණයක් ගත්තා. පුළුවන් තරම් හොඳින් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට මට උවමනා වුණා. මා බව්තීස්මය ලැබූ දිනය—1974 අගෝස්තු 9වන දින, මගේ ජීවිතයේ වැඩි ම සන්තෝෂය තිබූ දිනයයි.
දේව සේවයේ ප්‍රීතිය
දේව සේවයේ සහභාගි වීම කන්දක් වැනි බාධා ඉදිරිපත් කළා. ලොකු ම අභියෝගය වුණේ මා කියන දේ තේරුම් ගැනීමට සැලැස්වීම. මෙහි දී මම මට පුළුවන් තරම් පැහැදිලි ව කථා කළා. පසු ව, අවශ්‍ය අවස්ථාවන්හි, ක්ෂේත්‍ර සේවයේ මගේ හවුල්කරුවා මා කී දේ ගෙවැසියාට යළි කියා දෙනවා. සමහරක් අය, මා ව සාක්ෂිකරුවන් විසින් අනිසි ලෙස පාවිච්චියට ගනු ලැබූ අයෙක් හැටියට කල්පනා කරමින්, නිෂේධාත්මක ලෙස ප්‍රතික්‍රියා කළා. එහෙත් දේශනා කිරීමට මට අයිතියක් තිබූ අතර එය මගේ හෘදයාංගම ආශාව ද වුණා.
එක් නිවාස කට්ටියක් තුළ පවා ගෙයින් ගෙට යාම සහමුලින් ම වෙහෙසකර වන්නට වුණා. අප සාක්ෂි දරන ප්‍රදේශයේ බොහෝ නිවාසවල තරප්පු තිබෙන නිසා ඔවුන් ව හමු වීම මට දුෂ්කර වුණා. ශීත ඍතුවේ දී අයිස් මිදුන පාරවල් ඇත්ත වශයෙන් ම මට ගෙයින්-ගෙට යාමට නොහැකි තත්ත්වයක් උදා කළා. (ක්‍රියා 20:20) කොහොම වුණත්, ආත්මික සහෝදරයන් බොහෝ සේ උපකාර කර ඇති අතර දැන් යෙහෝවඃ වහන්සේ, දේව සේවය වඩාත් පහසු කරවන්නා වූ, මෝටරයක් සහිත රෝද පුටුවකින් මට ආශීර්වාද කර තිබෙනවා.
කාලය ගෙවී යනවාත් සමඟ ම, මම තැපැල් මගින් සාක්ෂි දරන්නට පටන් ගත්තා. මගේ අත් අකුරු වැඩි දෙනෙකුට පැහැදිලි නොවූ නිසා මම අතින් ලිපි ලිව්වොත් ඉන් අරමුණ ඉටු නොවනු ඇත. මෙනිසා විදුලි යතුරු ලියනය මගේ ලියන්නා බවට පත් වුණා. සහයෝගී ව ක්‍රියා කිරීමට අත්වල ඇති අපහසු ව නිසා, මගේ යතුරු ලියන වේගය ඉතා අඩුයි. කාලයෙන් අඩක් පමණ, මම එක් අකුරක් ඉලක්ක කළත්, වැදෙන්නේ තව යතුරකටයි. යන්තම් එක් පිටුවක් යතුරු ලියනය කිරීමට පැයක් හෝ ඊට වැඩි කාලයක් ගත වන්නට පුළුවන.
ශක්ති හීනතාවයෙන් මා පෙළුණත් මසකට සේවයේ පැය 60ක් හෝ ඊටත් වැඩි කාලයක් කැප කරමින්, කලින් කලට මා උපකාරික පුරෝගාමියෙක් හැටියට සේවය කරනවා. මේ සඳහා ඕනෑ කරන්නේ හොඳ කාල සටහනක්, අමතර වෑයමක්, හා සෙසු ඇදහිලිවන්තයන්ගෙන් අනුබලයක්. ඔවුන්ගේ පුරෝගාමි ස්ප්‍රීතුව මා ව දිරිගන්වනවා. ආගමික වශයෙන් බෙදුණු නිවසක දුෂ්කරත්වයන්, සෞඛ්‍ය දුබලත්වයන්, හා දරුවන් හත් දෙනෙක් ඇතිදැඩි කිරීමේ අභියෝගයට මුහුණ දෙමින්, අම්මා ද ස්ථාවර හෝ උපකාරික පුරෝගාමියෙක් හැටියට සේවය කරමින් කදිම ආදර්ශයක් තබා තිබෙනවා.
මා තනි වී
මට අවුරුදු 24ක් වන විට, මම තනියම ජීවත් වන්නට තීරණය කළා. බෘක්ලින් හි බෙන්සන්හර්ස්ට් කොටසේ මා පදිංචියට යාම ආශීර්වාදයක් බවට පත් වුණා. මාර්ල්බොරෝ සභාව හරියට ම ඉතා සමීප පවුලක් වගෙයි. ඔවුන් සමඟ සිටීම කොතරම් ඇදහිල්ල ශක්තිමත් කරන්නක් ද! සභාවේ අයට කාර් දෙකක් හෝ තුනක් පමණක් තිබුණත්, මගේ ආත්මික සහෝදරයන් මා ව සියලු රැස්වීම්වලට රැගෙන ගියා. එහෙත් මා එහි දීර්ඝ කාලයක් පදිංචි වුණේ නැහැ.
දැඩි අසාර්ථකත්වයට පත් හැඟීමකින් යුක්ත ව, මා මගේ පවුල වෙත හැරී පැමිණි අතර තෙවසරකට බලවත් කලකිරීමේ තත්ත්වයකට පත් වුණා. නැවතත් මා නිතර නිතර කෝපයට පත් වන්නට පටන් ගත්තා. එවිට සිය දිවි හානි කර ගැනීමේ සිතුවිලි පහළ වූ අතර ඒවා ක්‍රියාත්මක කරන්නට වාර ගණනාවක් මා වෑයම් කළා. මරණය අඳුරු වලාවක් මෙන් සැරිසරන්නට පටන් ගත්තා. එහෙත් මම දෙවියන් වහන්සේ කෙරෙහි රැඳී සිටි අතර උන් වහන්සේ මට දුන් ජීවිත ත්‍යාගයට අගැයීම පෙන්වන්නට පොරොන්දු වුණා. සැනසිල්ල හා උපදෙස් වැඩිමහල්ලන්ගෙන් ලැබුණා. යාච්ඤාව, පුද්ගලික පාඩම, මගේ පවුලේ පැත්තෙන් ඉවසීමෙන් ක්‍රියා කිරීම සමඟ මෙයත්, ඇතැම් විශේෂඥ උපකාරයනුත් මගේ සිතුවිලි හරි ගැස්සුවා.
මුරටැඹ තුළින්, යෙහෝවඃ වහන්සේ බලවත් කලකිරීම සම්බන්ධ ව තීක්ෂ්ණ බුද්ධිය මෘදු ආකාරයකට සැපයූවා. එසේ ය, උන් වහන්සේ සිය ජනයාට සලකන අතර අපගේ හැඟීම් තේරුම් ගන්නා සේක. (1 පේතෘස් 5:6, 7) කාලයාගේ ඇවෑමෙන් ඒ දැඩි කලකිරීම අඩු වී ගියා. දැන් වසර දහයක් ගෙවී ගොස් තිබුණත්, යෙහෝවඃ වහන්සේ තවදුරටත් අසහනය හා කලකිරීම සමඟ කටයුතු කිරීමට මට උපකාර කරමින් සිටිනවා. ඇතැම් අවස්ථාවන්හි නොවටිනා භාවයේ හැඟිම් මා ව සහමුලින් ම ගොදුරු කර ගන්නවා. එහෙත් මේවායින් බේරී තවදුරටත් ජීවත්වීමට මට පුදුමාකාර ව උපකාර කරන යාච්ඤාව, බයිබල් පාඩම, හා ආත්මික පවුල යනාදිය මා අසල ම මට තිබෙනවා.
තවත් තනි කාමරයක් සෙවීමට නිෂ්ඵල වෑයමක් දැරීමෙන් පසු, මගේ ජීවිතයේ ඉතිරි කාලය මගේ පවුලත් සමඟ ජීවත්වීමට මා අකමැත්තෙන් වුවද නිශ්චය කර ගත්තා. පසු ව යෙහෝවඃ වහන්සේ මගේ යාච්ඤාවන්ට පිළිතුරු දුන්නා. බෘක්ලින් හි බෙඩ්ෆර්ඩ්-ස්ටයිවසන්ට් කොටසේ පදිංචිය සඳහා ස්ථානයක් ලබා ගැනීමට හැකි වුණා. වර්ෂ 1984 ග්‍රීෂ්ම ඍතුවේ අපර භාගයේ, මා එහි පදිංචියට ගිය අතර එවක් පටන් මා එහි පදිංචි ව සිටිනවා.
අති ප්‍රේමනීය ලෆායෙට් සභාවේ සාමාජිකයන් මා ව රැස්වීම්වලට ගෙන ගියා. එහි දී මා සහභාගි වූ පළමුවන සභා පොත් පාඩම තවමත් මගේ මනසේ නැවුම් යමක් ව තිබෙනවා. එය හතරවන මහලේ පවත්වනු ලැබුවා—ඉහළ යාමට ආරෝහකයක් ඊට තිබුණේ නැහැ! මම එම තරප්පු පෙළ නැග බැස්සේ යෙහෝවඃ වහන්සේගේ උපකාරයෙන් පමණයි. කලකට පසු වඩාත් පහසුවෙන් යා හැකි ස්ථානයක් දෙනු ලැබුවා. එමෙන් ම දැන් යෙහෝවඃ වහන්සේ මගේ ම නිවසේ සභා පොත් පාඩමක් තබා ගැනීමේ වරප්‍රසාදයෙන් මට ආශීර්වාද කර තිබෙනවා.
මෙම සභාවේ තිබෙන්නේ අපූරු පුරෝගාමි ස්ප්‍රීතුවක්. මා මෙහි පැමිණි අවස්ථාවේ, පුරෝගාමින් 30 දෙනෙක් සිටි අතර කීපදෙනෙක් මා කෙරෙහි සිය සුවිශේෂී සැලකිල්ල හා අවධානය යොමු කළා. එම ජ්වලිත වාතාවරණය නිතර නිතර ම උපකාරික පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට මා ව පෙලඹුවා.
වර්ෂ 1989 අප්‍රියෙල් මාසයේ දී, ලෆායෙට් හා ප්‍රැට් සභාවන් මගේ නවාතැන තිබෙන පාරේ ම තවත් පහළට අලුත් රාජ්‍යය ශාලාවක් ගොඩ නැගුවා. මා තවදුරටත් කායික වශයෙන් දුර්වල තත්ත්වයකට පත් ව ඇවිදීම යළි ගැටලුවක් බවට පත් ව ඇති නිසා, එය හරියට ම සුදුසු අවස්ථාවෙහි සිදු වූණා. කෙසේ වෙතත්, මගේ මෝටරයෙන් ක්‍රියා කරන ස්කූටරය හා ආත්මික සහෝදර සහෝදරියන් මා අසල සිටිද්දී රැස්වීම්වලට යන එන ගමන් හරිම ප්රියදායකයි. එවන් ප්‍රේමනීය සහය මා කොතරම් ගැඹුරින් අගය කරනවා ද!
දෙවියන් වහන්සේගේ උපකාරය සඳහා කෘතඥපූර්වක වෙමි
මගේ දෙපා දුබල තත්ත්වයක තිබුණත්, මගේ හෘදය ස්ථිර ව තිබෙනවා. හොඳ අධ්‍යාපනයක් ජීවිතය වඩාත් පහසු තත්ත්වයකට පත් කර තිබුණ ද, මා ව උසුලා දරා ඇත්තේ දෙවියන් වහන්සේයි. ඇතැම් අවස්ථාවන්හි ඊළඟ ආහාර වේල එන්නේ කොතැනින්දැයි මා නොදැන සිටියත්, යෙහෝවඃ වහන්සේ මට උපකාර කරමින් විශ්වාසනීය සැපයුම්කරුවෙක් වී තිබෙනවා. “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි” යන දාවිත්ගේ වදන්, ඇත්තෙන් ම, මට ඉතා හිතවත් වදන් වේ.—ගීතාවලිය 37:23-25.
ශල්‍ය කර්මයන් තුළ රුධිරය පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීමට උපකාර කිරීමෙන් ආත්මික ස්ථාවරය අඛණ්ඩ ව තබා ගැනීමට වාර කීපයක් ම යෙහෝවඃ වහන්සේ මට හැකියාව ලබා දී තිබෙනවා. (ක්‍රියා 15:28, 29) මෑතක දී මගේ පියා මිය ගියා. මෙතරම් සමීප කෙනෙක් අහිමි වීම සැබවින් ම ප්‍රබල පහරක්. මෙයත් වෙනත් පරීක්ෂාවනුත් හමුවේ මට කටයුතු කිරීමට පුළුවන්කම ලැබී ඇත්තේ යෙහෝවඃ වහන්සේගේ ශක්තියෙන් පමණයි.
මගේ සෞඛ්‍ය තත්ත්වය තවත් දුර්වල වන්නට පුළුවන් වුවත්, දෙවියන් වහන්සේ කෙරෙහි වූ මගේ විශ්වාසයත් මගේ සම්බන්ධතාවයත් මගේ ජීවිතය රඳවා ගන්නා කඹ බවට පත් ව තිබෙනවා. යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර සිටින්නටත් උන් වහන්සේගේ ස්ථිරසාර උපකාර ලබන්නටත් මම කොතරම් සතුටු වෙනවා ද!