සිංගප්පූරුව නමස්කාර කිරීමේ නිදහස පාගා දමයි
එක්දහස් නවසිය අනූපහේ, පෙබරවාරි 24වන දින සන්ධ්‍යාවේ, සිංගප්පූරු නගරයේ නිවාස හතරකට, පොලිසිය කඩා වැදුණේය. මුළුමනින්ම පුද්ගලයන් 69දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.a ඔවුන් අතර අවුරුදු 71ක් වයසැති ස්ත්‍රියක් සහ අවුරුදු 15ක් වයසැති යෞවනියෝ දෙදෙනෙක් සිටියහ. ඒ මන්ද? එය සාපරාධී හෝ විප්ලවකාරි ක්‍රියා කිරීම හේතුකොටගෙනද? නැත. ඉන් එක්කෙනෙක්වත් අන්තරාදායක, දුරාචාර හෝ සමාජ විරෝධීයයි යන්තමින් පවා සැලකිය හැකි කිසිදු දෙයක නියැලී නොසිටියේය. මොවුහු සෙසු සිංගප්පූරු ජාතිකයන්ගේ, සදාචාර සාරධර්ම, ආරක්ෂාව සහ සුභ සාධනයට තර්ජනයක් එල්ල නොකළෝය. එහෙත් එම නිවාස හතරම අස්සක් මුල්ලක් නෑර සෝදිසි කිරීමෙන් පසුව, බයිබලය අධ්‍යයනය කිරීමට සහ සුහද හමුවක් භුක්තිවිඳීමට පැමිණි 69දෙනාව පොලිසිය විසින්, පොලිස් ස්ථානයට කැඳවාගෙන යන ලදි. ඔවුන්ව රාත්‍රියක් පුරා තබා, ප්‍රශ්න කර, ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගනු ලැබීය—එසේය, ඔවුන්ව සාමාන්‍ය අපරාධකරුවන් ලෙස භයගන්වනු ලැබිණ! මේ කාලය තුළදී, එනම් සම්මතයෙන් බොහෝ පහත වැටුණු වාතාවරණයක පැය 18ක කාලයක් පුරා, ඔවුන්ට නීති උපදෙස් ගැනීමට සහ ඔවුන් සිටි ස්ථානය තම පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමට පවා තහනම් කරනු ලැබ තිබිණ. මෙම සාමකාමී, නීති ගරුක පුරවැසියන්හට, වහාම සිදු කරන ලද ක්‍රියාපිළිවෙත බලපෑ ආකාරය කෙනෙකුට සිතින් මවාගත හැකි වනවා පමණි!
නාට්සි ජර්මනියේ අඳුරු දවස්වල, සෝවියට් සංගමයේ සහ නැඟෙනහිර යුරෝපයේ හා කෲර කොමියුනිස්ට් යුගයෙහි තත්වයන්, මෙම දර්ශනය සිහිපත් කරයි. සිංගප්පූරුවට පැමිණෙන සාමාන්‍ය අමුත්තෙකු, එම සුපිරිසිදු ධනවත් නවීන නගර රාජ්‍යය තුළ එවන් දෙයක් සිදුවෙයි කියා අපේක්ෂා නොකරනවා ඇත. ආර්ථික සහ සමාජීය වැඩිදියුණුව අතින් සිංගප්පූරුව විසිවන සියවසේ ආශ්චර්යයක් බවට වූ කීර්තියක් එය විසින් ගොඩනඟා තිබේ. එය වනාහි, තම පුරවැසියන්හට කතා කිරීමට, ආගම ඇදහීමට සහ එක්රැස්වීමට නිදහස ඇතුළත්, මූලික මානව අයිතිවාසිකම් සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති ප්‍රකාශිත ප්රජාතන්ත්රවාදයකි.
එහෙත්, පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද අය ඉලක්ක කර තිබුණේ, ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීමට සහ ක්‍රිස්තියානි ඇසුර පැවැත්වීමට එක්රැස් වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වූ නිසා පමණකි. “නීති විරෝධී සංවිධානයක රැස්වීමක සිටීම” ඔවුන්ට විරුද්ධව තිබුණා වූ චෝදනාවයි.
ඇත්තවශයෙන්ම, 1972දී සිංගප්පූරු සභාවේ ලියාපදිංචිය අහෝසි කළ විටත්, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් පළ කරනු ලැබූ බයිබල් ඇතුළත්ව, පොත් පත් තහනම් කරනු ලැබූ විටත්, එතැන් පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට සිංගප්පූරුවේ නීතික පිළිගැනීම ලැබී නැත. එම ක්‍රියාමාර්ගය ගැනීමට ඉවහල් වූ උපකල්පන, අභියෝග කිරීමට කිසිදු ප්‍රස්තාවක් නොදෙන ලදි. එක්දහස් නවසිය අනූහතර, පෙබරවාරි මාසයේදී, තහනම් කරනු ලැබූ බයිබල් ප්‍රකාශන ළඟ තබාගැනීම හේතුවෙන්, වරදකරුවන් වශයෙන් ප්‍රකාශ කරනු ලැබූ සාක්ෂිකරුවන් හතරදෙනා සම්බන්ධයෙන්, මෙම නිල වෙනස් ලෙස සැලකීමේ නෛතිකත්වය පිළිබඳව සිංගප්පූරුවේ උසාවියෙහි, අභියෝග කරනු ලැබිණ. ඔවුන් වැරදිකරුවන් බවට පත් කිරීමට විරුද්ධව කළ අභියාචනය, 1994 අගෝස්තු මාසයේදී අසනු ලැබූ අතර, එය වහාම නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඊළඟ මාසයේදී මහාධිකරණයේ අග්රවිනිශ්චකාර යොං පෙං හව්, තම මතය ප්‍රකාශ කළේය. ආගමික නිදහස උල්ලංගනය කිරීමක් නොතිබුණු බවත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමුදා සේවයට හවුල් නොවීමේ හේතුව නිසා, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින්, ඔවුන් වරදකරුවන් බවට පත් කිරීම යුක්තිසහගත වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම අහිතකර තීරණය සිංගප්පූරු ඇපැල් අධිකරණයට අභියාචනා කිරීමට, සාක්ෂිකරුවන් හතරදෙනා, 1995 පෙබරවාරි 17වනදා අවසර ඉල්ලා සිටියෝය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
රජයේ පාලනය කරනු ලබන සිංගප්පූරු ප්රවෘත්ති ක්ෂේත්රය තුළ, මෙම අවසාන තීරණය සම්බන්ධයෙන් ප්රමුඛත්වයක් දෙනු ලැබීය. මෙම අධිකරණ තීරණය සහ එයින් ප්‍රතිඵල වූ ප්‍රසිද්ධිය, පසු සිද්ධීන් පූර්ව දර්ශනය කළ බවට කිසිදු සැකයක් නැත. සතියක් ඇතුළතදී සාක්ෂිකරුවන් 69දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ලක්සම්බර්ග් පුරවැසියන් වූ මින් හතරදෙනෙකුට විරුද්ධව තිබුණා වූ චෝදනාව, පසුව ඉවත් කරන ලදි. කෙසේවෙතත්, මොවුන් සඳහාද අද්දැකීම භයගන්වනසුලු එකක් විය. එක් මිනිසෙක් සිංගප්පූරුවේ රැකියාවක් කරමින්, තම බිරිඳ සමඟ, වසර ගණනාවක් ජීවත්වී ඇත. ඔවුන්ගේ රැකියාවන් සහ කුලියට ගත් නිවස අහිමි වූ අතර, ඔවුන්ට බොහෝ කිට්ටු මිතුරන්ගෙන්ද සමුගැනීමට සිදුවිය.
ඉතිරි 63දෙනා තහනම් කළ සමිතියකට අයත් වීම හේතුවෙන් චෝදනා කරනු ලැබූ අතර, තවත් සමහරුන්ට තහනම් කරනු ලැබූ පොත් පත් ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද චෝදනා කරනු ලැබීය. ඔවුන්ට වසර තුනක උපරිම සිරදඬුවමකට හෝ සිංගප්පූරු ඩොලර් 3,000ක (රු. 1,02,900) දඩයකට හෝ දෙකටම මුහුණදීමට සිදුවේ. අවුරුදු 15ක් වයසැති යෞවනියෝ දෙදෙනා, යූන අධිකරණය ඉදිරියේ වෙන වෙනම පෙනී සිටියෝය.
ජාතික අනන්‍යතාවට සහ එක්සත්භාවයට තර්ජනයක් නොවේ
ලොව වටා රටවල් 200කට වැඩි සංඛ්‍යාවක, ජීවත්ව සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, විනීත, අවංක, නීති ගරුක මනුෂ්‍යයන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිත්. කුමන ආකාරයක හෝ විප්ලවකාරි, ආණ්ඩු විරෝධී ක්‍රියාවක—එනම් ඔවුන්ව සභා ඇසුරෙන් කපාහරිනු ලැබීමට හැකි හෝ සභාවෙන් නෙරපීමට තුඩු දිය හැකි ක්‍රිස්තියානි නොවන ක්‍රියාවක නියැලීම, ඔවුන් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන බව කවුරුත් දන්නා කරුණකි. සැබවින්ම සිංගප්පූරු ආණ්ඩුවට ඔවුන් ගැන බියවීමට කිසිදු හේතුවක් නැත. ඔවුන් සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාවට හෝ ජාතික අනන්‍යතාව සහ එක්සත්භාවය පිළිබඳ හැඟීමට කිසිදු ආකාරයකින් තර්ජනයක් නොවේ. (රෝම 13:1-7) වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි සභාපති වන මිල්ටන් ජී. හෙන්ෂල් විසින්, සිංගප්පූරු අගමැති ගෝ චොක් ටොංහට, 1995 මාර්තු 21 දිනැති ලියුමක් මගින් මෙය පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණ. අපගේ පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ලිපිය මෙහි නැවත දක්වා තිබේ.
ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික අංශයේ නිදහසට ප්‍රේම කරන මනුෂ්‍යයන්, සිංගප්පූරුවේ මෙම තත්වය කෙසේ වර්ධනය වනු ඇද්ද කියා උනන්දුවෙන් බලා සිටිනු ඇත. සිංගප්පූරු ආණ්ඩුව, එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නියම කරනු ලැබූ, මූලික මානව අයිතිවාසිකම් සහ නිදහසට එකඟව ක්‍රියා කරනු ඇද්ද? සැබවින්ම, ලොව වටා සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, සිංගප්පූරුවේ සිටින තම සෙසු නමස්කාරකයන් සම්බන්ධයෙන් ගැඹුරු සැලකිල්ලක් දක්වති. ඔවුහු ඔවුන්ගේ යාච්ඤා තුළ ඔවුන්ව සිහිපත් කරන අතර, බයිබලයෙහි සඳහන් මෙම සහතිකයද සිතේ තබාගනිති: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ NW] යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක.”—ගීතාවලිය 37:28.
[පාදසටහන්වල]
a මෙම 69දෙනාව අත්අඩංගුවට ගනු ලැබූ මාසවලින් පසු, තවත් සාක්ෂිකරුවන් 11දෙනෙකුව නීති විරෝධී පොත් පත් ළඟ තබාගැනීමේ චෝදනාව පිට අත්අඩංගුවට ගෙන තිබේ.
[30වන පිටුවේ කොටුව]
1995 මාර්තු 21
ගෝ චොක් ටොං
අගමැති
ඉස්ටානා ඇනෙක්ස්
සිංගප්පූරුව 0923
සිංගප්පූරු සමූහාණ්ඩුව
ලී ක්වන් යූ
ජ්‍යෙෂ්ඨ ඇමති
අගමැති කාර්යාලය
460 ඇලෙක්සැන්ඩ්රා පාර
37-00 පීඑස්ඒ ගොඩනැඟිල්ල
සිංගප්පූරුව 0511
සිංගප්පූරු සමූහාණ්ඩුව
ගරු මහත්වරුනි:
මෑතකදී සිංගප්පූරුවෙන් ලැබුණු, 1995 පෙබරවාරි 25 දිනැති, රොයිටර් වාර්තාවක් අතිශයින් කැලඹිලිසහගත එකක් විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් අධ්‍යයන රැස්වීම් පොලිසිය විසින් අත්හිටවනු ලැබූ බවත්, 69දෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය වාර්තා කළේය. අවුරුදු 20කට වඩා කාලයකට තම ක්‍රියාකාරකම් සහ පොත් පත් තහනම් කර තිබෙන, සිංගප්පූරුවේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ තත්වය සම්බන්ධයෙන් වූ මෙම වාර්තාව දෙස ලෝකයේ අවධානය යොමු වී තිබේ.
රටවල් 200කට වැඩි සංඛ්‍යාවක විවෘතව ක්‍රියා කරන සහ ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ ආරක්ෂාවක් සලසන ආගමික සංවිධානයක්, සිංගප්පූරුව වැනි ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති පිළිගන්නාවූ රටක තහනම් කරනු ලැබීම වටහාගැනීමට අපහසුය. තම පුරවැසියන්හට නමස්කාරයේ නිදහස සපයන සිංගප්පූරුවේ ව්‍යවස්ථාගත ප්‍රතිඥාව සැලකිල්ලට ගත් කල, මෙය ඊටත් වඩා කැලඹිලිසහගතය.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කිසිදා කිසිදු ස්ථානයක, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර නැත. සැබවින්ම, සාමකාමී, වෙහෙසව ක්‍රියා කරන, සදාචාර අතින් පිරිසිදු සහ නීති ගරුක පුද්ගලයන් වීමේ කීර්තියක්, ඔවුන්ට ලොව පුරාම තිබේ—මේවා ඔබගේ රට තුළ ඔබ දිරිදෙන ගුණාංග බව මට සහතිකය.
ක්‍රිස්තියානීන් සඳහා වූ බයිබල් ප්‍රතිපත්තිවලට දැඩි සේ ඇලී සිටීම නිසා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය ඇතැම් අවස්ථාවලදී වරදවා වටහාගෙන හෝ තේරුම් කර දී තිබෙන බව සැබෑය. එහෙත් “කායිසර්ට” එනම් එවකට පැවති ආණ්ඩුවට විරුද්ධ වූ බව, වරදවා තේරුම් කර දුන් ක්‍රිස්තු ධර්මයේ ආදිකර්තෘ සම්බන්ධයෙන් මෙය සැබෑවක් නොවීද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඉඳුරාම යේසුස්වහන්සේගේ සහ මුල් ක්රිස්තියානිවරුන්ගේ ආදර්ශය අනුගමනය කරති. ඔවුහු ජීවත්වන රටේ ආණ්ඩුවට ගෞරවය කර, බදු ගෙවන අතර, හොඳ සදාචාරයන්ට අනුබල දෙති. ඔවුහු හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරමින් අවංක පුරවැසියෝ වෙත්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කිසිදා, කිසිම රටක විප්ලවකාරි කටයුතුවල හවුල්වී නැති අතර, සිංගප්පූරුවේ ඔවුන්ගේ පැවැත්ම, ඔබගේ රටේ ජාතික අයිතිවාසිකම්වලට කිසිදු තර්ජනයක් එල්ල නොකරන බව මට සහතික කළ හැක.
මෑතකදී නිකුත් කරන ලද ජනමාධ්‍ය වාර්තා හේතුකොටගෙන සිංගප්පූරුවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව, ඔබගේ ආණ්ඩුව විසින් රැගෙන තිබෙන පීඩාකාරි පියවර දැන් කවුරුත් දන්නා කරුණකි. මෙය විශේෂයෙන්ම ලොව පුරා සිටින ඔවුන්ගේ ආශ්‍රිතයන්, මිලියන 12කගේ සැලකිල්ලට භාජන වන කාරණයකි. ඔබගේ නිල බලය භාවිත කොට, මෙම තත්වය සමනය කිරීමට පිළියමක් යොදා, ඔබගේ රට තුළ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළා වූ නමස්කාරයේ හා හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කිරීමට නිදහස සලසන ලෙස මම ඉල්ලා සිටිමි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයන් සමඟ අවංක සාකච්ඡාවක් තුළින්, අපගේ සංවිධානය සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති ඕනෑම වරදවා වටහාගැනීම් දුරු කිරීමට ඉවහල් වන බව මම විශ්වාස කරන අතර, සිංගප්පූරු ආණ්ඩුවට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බියවීමට කිසිදු හේතුවක් නොමැති බවට යළි සහතික කිරීමට සතුටු වෙමි. එවැනි රැස්වීමක් සූදානම් කිරීමට මම සතුටු වෙමි.
ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.
මෙයට විශ්වාසී,
මිල්ටන් ජී. හෙන්ෂල්
සභාපති
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Nik Wheeler/H. Armstrong Roberts