කැතාරිවරු—ඔවුහු ක්‍රිස්තියානි ප්රාණපරිත්යාගිකයෝ වූවෝද?
“සියලුදෙනාම මරුමුවට පත් කරන්න; දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ කවුද කියා හඳුනාගනීවි.” වර්ෂ 1209දී, එම ගිම්හාන දවසේදී, දකුණුදිග ප්‍රංශයේ බේස්යේහි ජනයා ඝාතනය කරනු ලැබීය. කතෝලික කුරුස යුද්ධ භටයන් ඉදිරියෙහි පාප් නියෝජිත වශයෙන් පත් කර තිබූ ඇර්නොල්ඩ් ඇල්මැරික් නමැති පැවිද්දා, කිසිදු දයාවක් නොදැක්වූයේය. කතෝලිකයන් හා මිථ්‍යා ලබ්ධිකයන් අතර වෙනස නිශ්චය කරගත හැකි අයුරු ඔහුගේ සේවකයන් විමසූ විට, වාර්තා කර තිබෙන පරිදි, හේ ඉහත උපුටා දක්වා තිබෙන අතිශයින් නින්දාකටයුතු පිළිතුර දුන්නේය. “කරදර නොවන්න. හැරෙන්නේ ඉතා ස්වල්පදෙනෙකු බව මම විශ්වාස කරමි,” කියමින් කතෝලික ඉතිහාසඥයෝ එහි ප්‍රබලතාව අඩු කරති. ඔහුගේ නිශ්චිත පිළිතුර කුමක් වෙතත්, කතෝලික සභාවේ නායක දේවගැතිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ, කුරුස යුද්ධ භටයන් 3,00,000දෙනෙකු අතින් පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් 20,000ක් ඝාතනය කිරීම එහි ප්‍රතිඵලය වූයේය.
මෙම ඝාතනයට හේතුව කුමක් වීද? එය වනාහි දකුණු-මධ්‍යම ප්‍රංශයේ ලොංඩොක් ප්‍රදේශයේ විසූ මිථ්‍යා ලබ්ධිකයන්යයි කියන ලද අයට විරුද්ධව, IIIවන ඉනසන්ට් පාප් දියත් කර තිබූ ඇල්බිජිනීසියානු කුරුස යුද්ධ ව්‍යාපාරයේ ආරම්භය පමණි. අවුරුදු 20කට පමණ පසුව, එහි අවසානයට පෙර සමහරවිට මිලියන එකක් තරම් ජනකායකට—කැතාරිවරුන්, වොල්ඩෙන්සස් සහ කතෝලිකයන් බොහෝදෙනෙකුට පවා—තම ජීවිත අහිමි වී තිබිණ.
මධ්‍යකාලීන යුරෝපයේ ආගමික විසම්මුතිය
පොදු යුගයේ 11වන සියවසේ වෙළඳාමේ ශීඝ්‍ර වර්ධනයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මධ්‍යකාලීන යුරෝපයේ සාමාජීය හා ආර්ථික ව්‍යූහයේ ඉමහත් වෙනස්කම් සිදු කරන ලදි. වැඩිවෙමින් පැවති ශිල්පීන්ගේ හා වෙළඳුන්ගේ සංඛ්‍යාවට පදිංචිය සැපයීම සඳහා නගරවල් සෑමතැනම පාහේ බිහිවිය. අලුත් අදහස් බිහිවීමට මින් අවකාශය සැලසිණ. යුරෝපයේ වෙන කිසිදු තැනකට සමාන නොවූ කැපීපෙනෙන අගති රහිත හා දියුණු වූ ශිෂ්ටාචාරයක් විකසිත වෙමින් තිබූ ලොංඩොක්හි, ආගමික විසම්මුතිය මුල් බැසගත්තේය. ලොංඩොක්හි ටුලූස් නගරය, යුරෝපයේ තුන්වන ධනවත්ම පුරවරය විය. එය වූ කලි ටෘබඩූවරුන් නමැති පද රචකයන් වැජඹෙමින් සිටි ලෝකයක් විය, ඔවුන් රචනා කළ සමහර කවිවල දේශපාලනමය හා ආගමික විෂයන් ආවරණය කෙරිණ.
එකොළොස්වන හා 12වන සියවස්වල ආගමික තත්වය විස්තර කරමින්, රව්යූ ඩිස්ට්වාර් එ ඩ ෆිලොසොෆි රලීජ්යුස් මෙසේ පවසයි: “කලින් සියවසට සමානව, 12වන සියවසේදී, පූජක පක්ෂයේ සදාචාරය, ඔවුන්ගේ සමෘද්ධිය, ඔවුන්ගේ දූෂිතභාවය හා ඔවුන්ගේ දුරාචාරය සම්බන්ධයෙන් විරෝධතා දිගටම පළ කරනු ලැබුවත්, ඔවුන්ගේ ධනය හා බලය, ඔවුන් ලෞකික අධිකාරීන් සමඟ වංචාවට එක්වූ අන්දම හා යම් කූට අරමුණු ඉටු කිරීම පෙරදැරි කරගෙන ඔවුන් දැක්වූ ව්‍යාජ යටත් බව මූලිකව විවේචනය කරනු ලැබීය.”
සංචාරක දේශනාකරන්නෝ
විශේෂයෙන්ම දකුණුදිග ප්‍රංශය හා උතුරුකර ඉතාලිය තුළ, යුරෝපයේ වැඩිවෙමින් සිටි විරුද්ධවාදී මත දැරූ, සංචාරක දේශනාකරන්නන්ගේ සංඛ්‍යාවට, පල්ලිය තුළ ඉමහත් සේ පැතිර තිබූ දූෂණය වගකිව යුතුව තිබූ බව IIIවන ඉනසන්ට් පාප් පවා පිළිගත්තේය. මොවුන්ගෙන් බහුතරයක් කැතාරිවරු හෝ වොල්ඩෙන්සස් හෝ වූහ. පූජකයන් ජනයාට නොඉගැන්වූ නිසා, හේ මෙසේ පවසමින් ඔවුන්ට බැණ වැදුණේය: “දරුවන්ට පාන් අවශ්‍යය, නමුත් ඔවුන්ට එය බෙදා දීමට නුඹලා සැලකිලිමත් නොවන්නහුය.” එහෙත්, ජනයා සඳහා බයිබල් අධ්‍යාපනයකට දිරිදෙනවා වෙනුවට, ඉනසන්ට් කියා සිටියේ, “දිව්‍ය ශුද්ධ ලියවිල්ලේ ගැඹුර කොතරම්ද කිවහොත්, සාමාන්‍ය, අකුරු නොදන්නා අය පමණක් නොව, නමුත් විචක්ෂණ, දැන උගත් අය පවා එය තේරුම්ගැනීමට වෑයම් කිරීමෙහි සම්පූර්ණයෙන්ම සමත් නොවන” බවය. පූජක පක්ෂයට හැර වෙන කිසිවෙකුට බයිබලය කියවීම තහනම් යමක් විය, ඇරත් එසේ කිරීමට අවසර තිබුණේ, ලතින් භාෂාවෙන් පමණි.
විරුද්ධවාදී මත දරන්නන්ගේ සංචාරක දේශනා කිරීම නිෂ්ප්‍රභ කිරීමට පාප්, පැවිදි දේශනාකරන්නන්ගේ නිකාය හෙවත් ඩොමීනිකන්වරුන් පිහිටුවීමට තම අනුග්‍රහය දුන්නේය. සමෘද්ධිමත් කතෝලික පූජක පක්ෂයට වෙනස්ව, මෙම පැවිද්දෝ වනාහි, දකුණුදිග ප්‍රංශයේ විසූ “මිථ්‍යා ලබ්ධිකයන්ට” විරුද්ධව කතෝලික සාධර්මිකතාව රැකගැනීම සඳහා පැවරුම් ලැබූ, සංචාරක දේශනාකරන්නන් වීමට නියමිතව සිටියහ. කැතාරිවරුන් සමඟ තර්ක කොට ඔවුන්ව නැවතත් කතෝලික රැළ තුළට ගෙන ඒමට වෑයම් කිරීම සඳහා පාප්, සිය නියෝජිතයන්ද එවීය. මෙම වෑයම් අසාර්ථක වූ නිසාත්, අනුමාන කරන පරිදි, තම පාප් නියෝජිතයන්ගෙන් කෙනෙකු, මිථ්‍යා ලබ්ධිකයෙකුගේ අතින් මරුමුවට පත් කරනු ලැබූ නිසාත්, IIIවන ඉනසන්ට් 1209දී ඇල්බිජිනීසියානු කුරුස යුද්ධ ව්‍යාපාරය ඇරඹීමට අණ කළේය. ඇල්බි වනාහි කැතාරිවරුන් විශේෂයෙන් බහුලව සිටි නගරයක් විය, එනිසා, පල්ලි ලේඛනවල කැතාරිවරුන් ඇල්බිජිනීසියන්වරුන් (ප්‍රංශ, ඇල්බීජුවා) හැටියට යොමු දැක්වූ අතර, වොල්ඩෙන්සස් ඇතුළත්ව, එම ප්‍රදේශයේ විසූ “මිථ්‍යා ලබ්ධිකයන්” සියලුදෙනාම නම් කිරීමට එම යෙදුම භාවිත කෙරිණ. (පහත දැක්වෙන කොටුව බලන්න.)
කැතාරිවරුන් කවුරුන් වීද?
“කැතාර්” යන වචනය පැමිණෙන්නේ, “නිර්මල” යන අර්ථය දෙන කැ·තැ·රොස්ʹ යන ග්‍රීක් වචනයෙනි. එකොළොස්වන සියවස සිට 14වන සියවස දක්වා, කැතාරිවාදය විශේෂයෙන් උතුරුකර ඉතාලියෙහි ලොම්බාර්ඩි තුළ හා ලොංඩොක් තුළ ව්‍යාප්ත වූයේය. කැතාරිවරුන්ගේ විශ්වාසයන්, ඇතැම්විට විදේශීය වෙළඳුන් හා මිෂනාරිවරුන් විසින් ගෙනෙන ලද, පෙරදිග ද්වෛතවාදයේ හා ඥානවාදයේ සම්මිශ්‍රණයක් විය. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් කැතාර් ද්වෛතවාදය නිර්වචනය කරන්නේ, “මූලධර්ම දෙකක්” කෙරෙහි විශ්වාසයක් වශයෙන්ය. එනම් “සියලු ආත්මික දෑ පාලනය කරන, යහපත් එකක් හා මිනිසාගේ ශරීරය ඇතුළත්ව, භෞතික ලෝකයට වගකිව යුතු නපුරු තවත් එකක්ය.” සාතන් භෞතික ලෝකය මැවූ බවත්, එය අනිවාර්යයෙන්ම විනාශයට නියම වී තිබූ බවත්, කැතාරිවරු විශ්වාස කළහ. නපුරු, භෞතික ලෝකයෙන් බේරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.
කැතාරිවරුන්, පරිපූර්ණයන් හා ඇදහිලිවන්තයන් ලෙස පංති දෙකකට බෙදී තිබිණ. පරිපූර්ණයන් කොන්සොලාමෙන්ටුම් ලෙස හැඳින්වූ ආත්මික බව්තීස්ම පිළිවෙතක් මගින් ඇතුළත් කරනු ලැබීය. වර්ෂයක පරිවාසයකින් පසුව, අත්තැබීමක් මගින් මෙය සිදු කරනු ලැබීය. මෙම පිළිවෙත මගින්, ඉල්ලුම්කරුවාව සාතන්ගේ පාලනයෙන් මුදා, සියලු පාපවලින් ඔහුව පිරිසිදු කොට, ශුද්ධාත්මය ඔහුට දානය කළ බවට කල්පනා කෙරිණ. මෙය “පරිපූර්ණයන්” යන නිලනාමයට හේතුපාදක වූ අතර, ඇදහිලිවන්තයන් කෙරෙහි දේවගැතිවරුන් ලෙස ක්‍රියා කළ සාපේක්ෂ වශයෙන් කුඩා වූ ප්‍රභූ පිරිසට මෙය අදාළ විය. පරිපූර්ණයෝ වැළකී සිටීම, නිර්මලත්වය හා දුගීකම යන භාරවලට යටත් වූහ. ලිංගික සංවාසය මුල් පාපය බව කැතාරිවරුන් විශ්වාස කළ බැවින්, පරිපූර්ණයෙකු විවාහ වී සිටියේ නම්, තමාට තම සහකරු හෝ සහකාරිය අත්හැර දැමීමට සිදුවිය.
ඇදහිලිවන්තයෝ වූ කලි, තාපස ජීවන රටාවක් අනුගමනය නොකළත්, කැතාරිවරුන්ගේ ඉගැන්වීම් පිළිගත් පුද්ගලයෝ වූහ. මෙලියෝරාමෙන්ටුම් යනුවෙන් හැඳින්වූ පූජා විධියක් තුළ පරිපූර්ණයන්ට ගෞරව දක්වමින් දණ නමද්දී, ඇදහිලිවන්තයා සමාව හා ආශීර්වාදයක් ඉල්ලා සිටියේය. තමුන්ට සාමාන්‍ය ජීවිත ගත කිරීමට හැකිවන පරිද්දෙන්, ඇදහිලිවන්තයෝ පරිපූර්ණයන් සමඟ කොන්වෙනෙන්සා, නොහොත් ගිවිසුමකට බැඳුණෝය, එමගින්, මරණාසන්නයේ ආත්මික බව්තීස්මය නොහොත් කොන්සොලාමෙන්ටුම් පිරිනැමීමට අවකාශය සලසන ලදි.
බයිබලය කෙරෙහි ආකල්පය
කැතාරිවරුන් බයිබලයෙන් පුළුල් ලෙස උපුටා දැක්වුවද, ඔවුහු මූලික වශයෙන් එය උපමා කතා හා ආදර්ශ කතාවල මූලාශ්‍රයක් ලෙස සැලකූහ. හෙබ්‍රෙව් ලියවිලිවල බහුතරයක්ම යක්ෂයාගෙන් පැමිණි බව ඔවුහු සැලකූහ. තම ද්වෛතවාදී දර්ශනයට ආධාර දීමක් වශයෙන්, මාංසය හා ස්ප්‍රීතුව අතර වෙනස දක්වන ග්‍රීක් ලියවිලිවල ඇතැම් වගන්ති ඔවුහු උපයෝගි කළෝය. උදාහරණයක් වශයෙන්, ඔවුහු ස්වාමීන්ගේ යාච්ඤාවේදී “අපේ දවස්පතා භෝජනය” වෙනුවට “ආත්මික භෝජනය” යන අර්ථය දෙන “අපේ අධිවාස්තවික භෝජනය” සඳහා යාච්ඤා කළෝය, මන්දයත් භෞතික ආහාර ඔවුන්ගේ ඇස් හමුවෙහි අවශ්‍ය නපුරක් වූ බැවිනි.
කැතාරිවරුන්ගේ ඉගැන්වීම් බොහොමයක් කෙළින්ම බයිබලයට විරුද්ධ වූයේය. උදාහරණයක් වශයෙන්, ඔවුහු ආත්මයේ අමරණීයත්වය හා පුනර්භවය විශ්වාස කළහ. (සසඳන්න දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4, 20.) එමෙන්ම ඔවුහු සිය විශ්වාස, ද්විතීය සම්මත ග්‍රන්ථවල පාඨ මත පදනම් කළෝය. කෙසේවෙතත්, කැතාරිවරුන් ශුද්ධ ලියවිල්ලේ කොටස් යම් දුරකට ස්වභාෂාවට පරිවර්තනය කළ ආකාරය දෙස බලන කල, ඔවුහු යම් දුරකට බයිබලය මධ්‍යකාලීන යුගවල වඩාත් ප්‍රසිද්ධ ග්රන්ථයක් කිරීමට සමත් වූහ.
ක්‍රිස්තියානීන් නොවේ
පරිපූර්ණයෝ තමුන් ප්‍රේරිතවරුන්ගේ නිවැරදි අනුප්රාප්තිකයන් බවට සැලකූහ, තවද, ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු තමුන්ව “ක්‍රිස්තියානීන්” හැටියට හඳුන්වමින්, මෙය අවධාරණය කිරීමට “සැබෑ” නැතහොත් “යහපත්” යන්න එකතු කළෝය. කෙසේවෙතත්, ඇත්තෙන්ම කියනවා නම්, කැතාරිවරුන්ගේ විශ්වාසයන් බොහොමයක් ක්‍රිස්තියානි ධර්මයට විදේශීව ගමන් කළේය. කැතාරිවරුන් යේසුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හැටියට පිළිගත්තද, උන්වහන්සේගේ මාංසාකාර පැමිණීම හා සිය මිදීම සපයන පූජාව ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. බයිබලයේ ලෝකයේ මාංසය හෙළා දැකීම වරදවා වටහාගනිමින්, සියලුම ද්‍රව්‍ය නපුරෙන් පැමිණෙන බව ඔවුහු සැලකූහ. එනිසා යේසුස්වහන්සේට ආත්මික ශරීරයක් පමණක් තිබූ බවත්, මිහිපිට සිටියදී උන්වහන්සේ මාංසික ශරීරයකින් දර්ශනය වූ බවත්, ඔවුහු තරයේ කියා සිටියෝය. පළමු සියවසේ විසූ ඇදහිල්ල අත්හළ අය මෙන්, කැතාරිවරු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු [නොගත්තාවූ]” අය වූහ.—2 යොහන් 7.
මෙඩීවල් හෙරසි නම් සිය පොතෙහි, එම්. ඩී. ලැම්බර්ට් ලියන පරිදි, කැතාරිවාදය “ක්‍රිස්තියානි සදාචාරයක් වෙනුවට අනිවාර්ය තවුස්බවක් පිහිටෙවූ . . . ” බවත්, “[ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ] ගැළවීමේ බලය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන්, මුක්තිය ඉවත් කළ” බවත්ය. “පරිපූර්ණ ගිහියන්ගේ සැබෑ සම්බන්ධකම පෙරදිග තපස් ගුරුවරුන්ගේ ඉගැන්වීම් සමඟත්, චීනයේ හෝ ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් හා සන්නාසිවරුන් සමඟත්, ඕපික අභිරහස්වල ප්‍රවීණයන් සමඟත්, නැතහොත් ඥානවාදයේ ගුරුවරුන් සමඟත් වන බව” හේ සලකයි. කැතාරි විශ්වාසය අනුව, ගැළවීම රඳා පැවතියේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ පූජාව මත නොව, නමුත් කොන්සොලාමෙන්ටුම්, නොහොත් ශුද්ධාත්මය තුළට බව්තීස්ම වීම මතය. මෙසේ පිරිසිදු කරන ලද අයට, මරණයෙන් ද්‍රව්‍යමය දෙයින් මිදීමක් පිරිනමනු ලැබේ.
අශුද්ධ කුරුස යුද්ධයක්
පූජක පක්ෂයේ පීඩාකාරි ඉල්ලුම්වලින් හා බෙහෙවින් පැතිර තිබූ පරිහානියෙන් වෙහෙසට පත්ව සිටි පොදු ජනයා, කැතාරිවරුන්ගේ ජීවන රටාවට ආකර්ෂණය වූහ. පරිපූර්ණයෝ කතෝලික සභාවත්, එහි ඉහළ පැළැන්තියත් එළිදරව් 3:9 හා 17:5හි ‘සාතන්ගේ සිනගෝගය’ හා ‘වේශ්‍යාවන්ගේ මවු’ සමඟ සම්බන්ධ කොට දැක්වූහ. කැතාරිවාදය දකුණුදිග ප්‍රංශයේ සමෘද්ධිමත් වෙමින්, පල්ලියේ තැන ගනිමින් සිටියේය. ඇල්බිජිනීසියානු කුරුස යුද්ධයයයි කියනු ලැබූ ව්‍යාපාරය දියත් කිරීමත්, ඊට මූල්‍යාධාර දීමත්, IIIවන ඉනසන්ට් පාප්ගේ ප්‍රතික්‍රියාව විය, මෙය වනාහි ක්‍රිස්තියානි ලෝකය තුළ ක්‍රිස්තියානීන්යයි කියාගත් අයට විරුද්ධව සංවිධානය කරන ලද, පළමු කුරුස යුද්ධ ව්‍යාපාරය වූයේය.
ලිපි මගින් හා පාප්ගේ නියෝජිතයන් මාර්ගයෙන්, පාප් යුරෝපයේ රජවරුන්ට, කවුන්ට්වරුන්ට, ඩියුක්වරුන්ට හා නයිට්වරුන්ට හිරිහැර කළේය. “මොනයම් මාධ්‍යයක් හෝ” උපයෝගි කරමින්, මිථ්‍යා ලබ්ධිය මුලිනුපුටා දැමීමට සටන් කරනු ඇති සියලුදෙනාට හේ මුක්ත පත්‍රිකා හා ලොංඩොක්හි සම්පත් දීමට පොරොන්දු වූයේය. ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබුණා නොවේ. කතෝලික නායක දේවගැතිවරුන් හා පැවිද්දන් පෙරමුණේ සිටිමින්, උතුරුකර ප්‍රංශයෙන්, ෆ්ලැන්ඩර්ස් හා ජර්මනියෙන් පැමිණි විවිධාකාර තරාතිරම්වලින් පැමිණි කුරුස යුද හමුදාවක් රෝන් නිම්නය ඔස්සේ දකුණු දිශාවට ගමන් කළෝය.
බේස්යේහි විනාශය, ලොංඩොක්ව ගින්නෙන් හා ලෙයින් නැහැවුණු සංහාරයකින් වැනසූ යටත් කිරීමේ යුද්ධයේ ආරම්භය සලකුණු කළේය. ඇල්බි, කර්කසොන්, කැස්ත්ර, ෆ්වා, නාර්බොන්, තෙර්ම හා ටුලූස් යන සියල්ලම ලේ පිපාසිත කුරුස යුද්ධකරන්නන්ගේ අතට පත්විය. කැසේ, මිනෙර්ව් හා ලැවෝ වැනි කැතාර් මධ්‍යස්ථානවල පරිපූර්ණයෝ සිය ගණනක් කණුවල පුලුස්සා දමනු ලැබූහ. පැවිදි වංශකතාකරු පියේර් ඩෙ වෝ-ඩ-සෙර්නේට අනුව, කුරුස යුද්ධ භටයෝ ‘සිතේ ප්‍රීතිය ඇතුව පරිපූර්ණයන් පණපිටින්ම පුලුස්සා දැමූහ.’ කලහයෙන් හා වැනසීමෙන් පිරුණු අවුරුදු 20කට පසු, 1229දී, ලොංඩොක් ප්‍රංශ රජය යටතට පත්විය. එහෙත් ඝාතනය තවමත් අවසන් නොවීය.
අධර්ම මර්දනාධිකරණය මාරක පහර එල්ල කරයි
වර්ෂ 1231දී, අවිගත් සටනට අනුබල දීම සඳහා IXවන ග්‍රෙගරි පාප්, පාප් අධර්ම මර්දනාධිකරණය ස්ථාපිත කළේය.a මුලදී අධර්ම මර්දනාධිකරණ පිළිවෙත ප්‍රසිද්ධියේ චෝදනා කිරීම් හා තර්ජනය කිරීම් මත පදනම් වූ අතර, පසුව විධිමත් වධ හිංසා කිරීම මත පදනම් විය. කඩුවෙන් විනාශ කිරීමට බැරි වූ දෙය මුලිනුපුටා දැමීම එහි ඉලක්කය විය. අධර්ම මර්දනාධිකරණ විනිශ්චයකාරයන්—ඉන් වැඩිදෙනෙකුම ඩොමීනිකන් හා ෆ්රැන්සිස්කන් පැවිද්දන්—වගකීමෙන් බැඳී සිටියේ පාප්ට පමණි. මිථ්‍යා ලබ්ධිය සඳහා නිල දඬුවම වූ කලි පුලුස්සා මරාදැමීම වූයේය. අධර්ම මර්දනාධිකාරකයන්ගේ අන්තගාමිත්වය හා කුරිරුකම කොතරම්ද කිවහොත්, වෙනත් තැන් අතර, ඇල්බි හා ටුලූස්වල කැරලිගැසීම් හටගත්තේය. ඇවිඥොනේහි, අධර්ම මර්දනාධිකරණ විනිශ්චය සභාවේ සියලු සාමාජිකයෝ ඝාතනය කරනු ලැබූහ.
වර්ෂ 1244දී, පරිපූර්ණයන් විශාල සංඛ්‍යාවකට අන්තිම සරණ වූ, කන්දක පිහිටි මොන්ට්සෙගූහි බලකොටුවේ යටත්වීම, කැතාරිවාදය සඳහා මාරක පහරක් විය. කණුවල සමූහ පිලිස්සීමකදී, පුරුෂයෝ හා ස්ත්‍රීහු 200දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. ඉන් අනතුරුව ගතවූ වර්ෂ පුරා, අධර්ම මර්දනාධිකරණය මගින් ඉතිරිව සිටි කැතාරිවරුන් සොයා වනසා දමන ලදි. වාර්තා කර තිබෙන පරිදි, 1330දී අන්තිම කැතාරිවරුන් ලොංඩොක්හි කණුවල පුලුස්සන ලදි. මෙඩීවල් හෙරසී නමැති පොත මෙසේ සටහන් කරයි: “අධර්ම මර්දනාධිකරණයේ සටන්වල පරම සමාර්ථය කැතාරිවාදයේ වැටීම විය.”
කැතාරිවරු ඉඳුරාම සැබෑ ක්‍රිස්තියානීහු නොවූහ. එහෙත් ඔවුන් කතෝලික සභාව පිළිබඳ කළ විවේචනය, ක්‍රිස්තියානීන්යයි කියාගත් අය විසින් කුරිරු ලෙස සහමුලින්ම ඔවුන්ව වනසා දැමීම යුක්තිසහගත යමක් බවට පත් කළාද? එම දස දහස් සංඛ්‍යාත විරුද්ධවාදී මත දරන්නන්ට වධ හිංසා පමුණුවා ඔවුන්ව ඝාතනය කරද්දී, ඔවුන්ගේ කතෝලික පීඩාකරන්නෝ මෙන්ම මිනීමරුවෝද, දෙවියන්වහන්සේට හා ක්‍රිස්තුස්වහන්සේට අවනම්බුව ගෙන එමින් සැබෑ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ වැරදිසහගත අදහසක් ඉදිරිපත් කළහ.
[පාදසටහන්වල]
a මධ්‍යකාලීන අධර්ම මර්දනාධිකරණය පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත 1986 අප්‍රියෙල් 22, එවේක්! තුළ “ද ටෙරිෆයිං ඉන්ක්විසිෂන්” 20-3 පිටු බලන්න.
[28වන පිටුවේ කොටුව]
වොල්ඩෙන්සස්
පොදු යුගයේ 12වන සියවසේ අගභාගයේදී පමණ, ලියොන්හි ධනවත් වෙළෙන්දෙක් වූ පියේර් වල්ඩෙස්, නොහොත් පීටර් වොල්ඩෝ, දකුණු හා ගිනිකොනදිග ප්‍රංශයේ භාවිතයේ තිබූ දේශීය භාෂාව වූ, ප්රොවොන්සැල්වල ස්වදේශීය උපභාෂා කිහිපයකින්ම බයිබලයේ කොටස්වල මුල් පරිවර්තනවලට මූල්‍යාධාර සැපයීය. අවංක කතෝලිකයෙකු වූ ඔහු, තම ව්‍යාපාරය අත්හැර, ශුභාරංචිය දේශනා කිරීමට කැපවූයේය. දූෂිත පූජක පක්ෂය ගැන මහත් පිළිකුලකින් සිටි වෙනත් බොහෝ කතෝලිකයෝ, ඔහු අනුගමනය කොට සංචාරක දේශනාකරන්නෝ බවට පත්වූහ.
වැඩි කලක් යන්ට මත්තෙන් වොල්ඩෝට ප්‍රාදේශීය පූජක පක්ෂයේ විරෝධතාවලට මුහුණදීමට සිදුවිය, ඔවුහු ඔහුගේ ප්‍රසිද්ධ සාක්ෂිදැරීම තහනම් කිරීමට පාප්ව කැමති කරවාගත්තෝය. ඔහුගේ වාර්තාගත පිළිතුර වූයේ: “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය,” යන්නය. (ක්‍රියා 5:29 සසඳන්න.) ඔහු අත්නෑර ක්‍රියා කළ නිසා, වොල්ඩෝව නෙරපා දමන ලදි. වොල්ඩෙන්සස්, නොහොත් ලියොන්හි දුප්පත් ජනයා යනුවෙන් හඳුන්වන ලද ඔහුගේ අනුගාමිකයෝ, ජනයාගේ නිවාසවලට දෙදෙනා බැගින් ගොස් දේශනා කරමින්, ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට ජ්වලිත ප්රයත්නයක් දැරුවෝය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ ඉගැන්වීම්, දකුණු හා නැඟෙනහිර ප්‍රංශයේ මෙන්ම, උතුරුකරයේ ඇතැම් ප්‍රදේශවල හා උතුරු ඉතාලියේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූයේය.
ප්‍රධාන වශයෙන්, මුල් ක්‍රිස්තියානි ධර්මයේ විශ්වාස හා පිළිවෙත්වලට ආපසු හැරීමට පක්ෂව ඔවුහු කතා කළෝය. වෙනත් ඉගැන්වීම් අතර ඔවුහු, ශුද්ධගිනිස්ථානය, මළවුන් සඳහා යාච්ඤා, මරිය නමස්කාරය, “මුනිවරුන්ට” යාච්ඤා ඉදිරිපත් කිරීම, කුරුසයට ගරුබුහුමන් දැක්වීම, මුක්ත පත්‍රිකා, සත්ප්‍රසාදය හා ළදරු බව්තීස්මයට විරුද්ධව කතා කළෝය.b
වොල්ඩෙන්සස්වරුන්, කැතාරිවරුන්ට සමාන බව වරදවා වටහාගෙන තිබුණත්, ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රිස්තියානි නොවූ කැතාරිවරුන්ගේ ද්වෛතවාදී ඉගැන්වීම්වලට වඩා තියුණු ලෙස වෙනස් විය. මෙම වියවුල මූලික වශයෙන් කතෝලික විවාදශීලී මතධාරීන් හේතුකොටගෙන උද්ගත වූ යමකි, ඔවුහු හිතා මතා වොල්ඩෙන්සස් දේශනා කිරීම ඇල්බිජිනීසියානු නොහොත් කැතාරිවරුන්ගේ ඉගැන්වීම් සමඟ සම්බන්ධ කිරීමට තැත් කළෝය.
[පාදසටහන්වල]
b වොල්ඩෙන්සස් පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, 1981 අගෝස්තු 1, ද වොච්ටවර්හි 12-15 පිටුවල, “වොල්ඩෙන්සස්—හෙරටික්ස් ඕර් ටෲත් සීකර්ස්?” යන ලිපිය බලන්න.
[29වන පිටුවේ පින්තූරය]
පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් 20,000දෙනෙකු ඝාතනය කරනු ලැබූ බේස්යේහි, ශාන්ත මග්දලායේ මරියා පල්ලියේ සත්දහස්දෙනෙක් මරුමුවට පත්වූහ