“ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත”
සැමුවෙල් ඩී. ලඩිසූයි පවසන පරිදි
ගෙවී ගිය කාලය දෙස මා හැරී බලන විට, එමෙන්ම ඉටු කර තිබෙන සියල්ල දකින විට මා පුදුමයට පත්වෙනවා. යෙහෝවඃවහන්සේ පොළොව පුරා මවිතකර දේ ඉටු කරමින් තිබෙනවා. වර්ෂ 1931දී නයිජීරියාවේ ඉලේෂාවල දේශනා සේවය පටන්ගත් අප ස්වල්පදෙනා සභා 36ක් බවට පත්ව ඇත. වර්ෂ 1947දී වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි පළමු උපාධිලාභීන් නයිජීරියාවට පැමිණෙන විට ප්‍රචාරය කරමින් සිටි 4,000දෙනා, 1,80,000ට වඩා වැඩි වී තිබේ. මුල් කාලයේදී, සිදුවනු ඇති වැඩිවර්ධනය ගැන අප අපේක්ෂා කළේවත්, ඒ ගැන සිහින මැව්වේවත් නැත. මෙම මවිතකර වැඩයෙහි මටත් සහභාගිත්වයක් තිබීම ගැන මා කොතරම් ස්තුතිවන්ත වෙනවාද! ඒ ගැන ඔබට පවසන්න මට ඉඩ දෙන්න.
මගේ පියා තුවක්කු සහ වෙඩි බෙහෙත් වෙළඳාම, නගරයෙන් නගරයට කළා; ඔහු නිවසේ සිටියේ කලාතුරකින්. මා දන්නා තරමින් ඔහුට භාර්යාවන් සත්දෙනෙකු සිටි නමුත්, සියල්ලන්ම ඔහු සමඟ වාසය කළේ නෑ. මගේ පියාට මගේ මව උරුම වුණේ ඔහුගේ මියගිය සහෝදරයාගෙන්. ඇය ඔහුගේ දෙවන භාර්යාව බවට පත්වුණ අතර, මා ජීවත්වුණේ ඇය සමඟයි.
දිනක්, පියා, අසල ගමක විසූ ඔහුගේ පළමු භාර්යාව බැහැදැකීමෙන් පසු නිවසට පැමුණුණා. ඔහු එහි සිටිද්දී, මගේ අඩ සහෝදරයා පාසැල් යන බව ඔහු දැනගත්තා. මගේ අඩ සහෝදරයා මගේම වයසේ සිටියේ, එනම් ඔහු වයස අවුරුදු දහයක්ව සිටියා. එනිසා මාත් පාසැල් යා යුතුයයි පියා තීරණය කළා. ඔහු මට—පාඩම් පොතකට පැන්ස තුනක් සහ ගල්ලෑල්ලකට පැන්ස හයක් බැගින්—පැන්ස නවයක් දුන්නා. ඒ 1924දීයි.
බයිබල් පාඩම් කණ්ඩායමක් පිහිටුවනු ලැබේ
මගේ කුඩා කාලයේ සිටම මට දේවවචනය වන බයිබලය වෙත ඇල්මක් තිබුණා. මා පාසැලේදී බයිබල් පංතිවලින් සතුටක් ලැබුව අතර, සැමවිටම මගේ ඉරිදා-පාසැලේ ගුරුවරයාගෙන් ප්‍රශංසාව ලැබුවා. එනිසා 1930දී, ඉලෙෂාහි දේශනා කිරීමට පළමුවෙන්ම පැමිණි බයිබල් ශිෂ්‍යයෙකු විසින් දුන් දේශනයකට සහභාගි වීමට අවස්ථාව මා අත්කරගත්තා. දේශනයට පසු, යොරුබා භාෂාවෙන් ද හාර්ප් ඔෆ් ගෝඩ් පොතේ පිටපතක් ඔහු මා අත තබා ගියා.
මා නිතිපතා ඉරිදා පාසැලට ගොස් තිබුණා. දැන් මා, ද හාර්ප් ඔෆ් ගෝඩ් නමැති පොත ගෙන ගොස්, එහි උගන්වමින් සිටි ඇතැම් ධර්ම නිෂ්ප්‍රභ කිරීමට එය යොදාගන්ට පටන්ගත්තා. වාද විවාද හටගත් අතර, මෙම ‘නව ඉගැන්වීම’ අනුගමනය කිරීමට එරෙහිව මට නිතර අවවාද කරනු ලැබුවා.
ඊළඟ වර්ෂයේ, වීදියේ සක්මන් කරමින් සිටියදී, දේශනයක් දෙන තැනැත්තෙකුට සවන් දෙමින් සිටි පිරිසක් වෙත මා පැමිණියා. දේශනය පැවැත්වූයේ බයිබල් ශිෂ්‍යයෙකු වූ ජේ. අයි. ඔවෙන්පාය. ඔහුව එහි එවා තිබුණේ, ලාගෝස්වල සිට රාජ්‍ය දේශනා වැඩය අධීක්ෂණය කරමින් සිටි (බොහෝවිට බයිබල් බ්‍රවුන් ලෙස හැඳින්වූ) විලියම් ආර්. බ්‍රවුන් විසින්.a ද හාර්ප් ඔෆ් ගෝඩ් පාඩම් කිරීම සඳහා ඉලෙෂාහි කුඩා බයිබල් පාඩම් කණ්ඩායමක් සකස් වෙමින් තිබුණ බව මා දැනගත්තා, එනිසා මාද ඔවුන්ට එකතු වුණා.
මා කණ්ඩායමේ බාලම තැනැත්තාව—එනම් පාසැල් යන වයස 16ක පමණ ළමයෙක්ව සිටියා. තම 30ගණන්වල හා ඊට වැඩි වයසෙහි සිටි පිරිමින් සමඟ එතරම් කිට්ටුවෙන් ඇසුරු කිරීමේදී සාමාන්‍යයෙන්ම මා අසීරුතාවට පත්වෙන්ට මෙන්ම, භයවීමට පවා යුතුව තිබුණා. එහෙත් ඔවුන් සමඟ මා සිටීම ගැන ඔවුන් ඉතා සතුටු වුණ අතර, මාව දිරිගැන්නුවා. ඔවුන් මට පියවරු මෙන් වුණා.
පූජක පක්ෂයේ විරෝධය
වැඩි කල් නොගොස් අප පූජකයන්ගේ දැඩි විරුද්ධත්වයට මුහුණදෙන්ට පටන්ගත්තා. කලින් එකිනෙකාට එරෙහිව සටන් කළ කතෝලික භක්තිකයන්, එංගලන්ත සභාවේ භක්තිකයන් සහ වෙනත් අය දැන් එකතු වී අපට විරුද්ධව නැඟී සිටියා. අපව අධෛර්යයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඔවුන් ප්‍රාදේශීය නිලධාරීන් සමඟ කුමන්ත්‍රණය කළා. අපගේ පොත් ජනයාට හානිකරයයි පවසමින්, ඒවා රාජසන්තක කිරීමට ඔවුන් පොලිසිය එව්වා. කෙසේවුවත්, පොත් ගැනීමට ඔවුන්ට අයිතියක් නැතැයි දිස්ත්‍රික් ඒජන්ත අවවාද කළ අතර, සති දෙකකට පසුව යළි පොත් භාර දෙනු ලැබුවා.
මෙයින් පසු, නගරයේ වෙනත් ඉහළ පෙළේ අය අතර ඕබා හෝ විශිෂ්ට ප්‍රධානියා හමුවුණ රැස්වීමකට අපව කැඳෙව්වා. ඒ වන විට අප 30දෙනෙක් පමණ සිටියා. අභිප්‍රාය වුණේ “හානිදායක” පොත් කියවීමෙන් අපව වැළැක්වීමයි. අප අමුත්තන්ද කියා ඔවුන් ඇසුව නමුත්, ඔවුන් අපගේ මුහුණු හොඳින් සෝදිසි කළ පසු, මෙසේ පැවසුවා, “ඔවුන් අතර සමහර අමුත්තන් සිටියත් මොවුන් අපේ මිනිස්සු.” අපට හානිදායක වන්ට යන ආගමක, පොත් අප දිගටම පාඩම් කරනවාට ඔවුන් අකමැති වූ බව ඔවුන් අපට පැවසුවා.
එම ඉහළ පෙළේ මිනිසුන් වෙත කිසි අවධානයක් යොමු නොකිරීමට අප අපගේ මනස සකස් කරගෙන තිබුණ නිසා, අප කිසිවක් නොපවසා නිවාසවලට ගියා. අප උගනිමින් සිටි දේ සම්බන්ධයෙන් අපෙන් වැඩිදෙනෙක් සතුටු වූ අතර, දිගටම පාඩම කරගෙන යෑමට තීරණය කරගෙන තිබුණා. එබැවින්, ටිකදෙනෙක් බාධාවට පත්වී, අපේ කණ්ඩායමෙන් ඉවත්වී ගියත්, අපෙන් වැඩිදෙනෙක් වඩු මඩුවක පාඩම දිගටම කරගෙන ගියා. අපට පාඩම පවත්වන්නෙක් සිටියේ නෑ. අප යාච්ඤාවකින් අරඹා, ඉන්පසු මාරුවෙන් මාරුවට පොතේ ඡේද කියෙව්වා. පැයකට පමණ පසුව, අප නැවතත් යාච්ඤා කර ගෙදර ගියා. එහෙත් අප ගැන ඔත්තු බැලුව අතර, ප්‍රධානීන් සහ ආගමික නායකයන් සෑම සති දෙකකට සැරයක් අපව කැඳවා, බයිබල් ශිෂ්‍යයන්ගේ පොත් පත් පාඩම් කරනවාට විරුද්ධව අවවාද කළා.
ඒ අතරතුර, ජනයාට උපකාර කිරීම සඳහා අප ලබා තිබුණු සුළු දැනුම යොදාගැනීමට අප වෑයම් කරමින් සිටි අතර, බොහෝදෙනෙක් අපට එකඟ වුණා. එක් එක්කෙනා අපට එකතු වෙන්ට පටන්ගත්තා. අප ඉතා සතුටෙන් සිටි නමුත්, අප සමාගම් පවත්වමින් සිටි ආගම ගැන අප තවමත් එතරම් යමක් දැන සිටියේ නෑ.
වර්ෂ 1932 මුල් අවදියේදී අපව සංවිධානය කිරීම සඳහා උපකාර කිරීමට ලාගෝස්වලින් සහෝදරයෙක් පැමිණි අතර, අප්‍රියෙල්වලදී “බයිබල්” බ්‍රවුන්ද පැමිණියා. තිහක පමණ කණ්ඩායමක් සිටිනවා දුටු සහෝදර බ්‍රවුන් අපගේ කියවීමේදී අප කොතෙක් දුරට ගොස් තිබුණාද යන්න ගැන විමසුවා. අප දැන සිටි සියල්ල අප ඔහුට පැවසුවා. අප බව්තීස්මයට සූදානම්ව සිටිනවායයි ඔහු පැවසුවා.
එය වියළි සමය වූ බැවින්, ඉලෙෂාවලින් සැතපුම් නවයක් ඈතින් පිහිටි ගඟක් වෙත අපට ගමන් කරන්ට සිදුවූ අතර, අප 30දෙනෙකු පමණ බව්තීස්ම වුණා. එදා පටන් අප අපවම දුටුවේ රාජ්‍ය දේශනාකරුවන් ලෙසින් වූ අතර, අප ගෙයින් ගෙට යෑමට පටන්ගත්තා. මෙය කිරීමට අප බලාපොරොත්තුව සිටියේ නැති නමුත්, අප දැන සිටි දේ අන්‍යයන් සමඟ බෙදාගැනීමට අප දැන් මහත් ආශාවකින් සිටියා. අපට හමුවුණු බොරු ධර්ම නිෂ්ප්‍රභ කිරීම සඳහා බයිබලයේ උපකාරය ලබාගැනීමට අපට හොඳින් සූදානම් වීමට සිදුවුණා. එබැවින් අපේ රැස්වීම්වලදී, අප දැන සිටි දේ සම්බන්ධයෙන් එකිනෙකාට උපකාර කරමින්, අප ධර්මයන් ගැන සාකච්ඡා කරන්ට වුණා.
අපගේ දේශනා සේවය
අප අපේ දේශනා කිරීමෙන් මුළු නගරයම ආවරණය කළා. ජනයා අපට සරදම් කොට අපට බැණවැදුණත්, අප එය ගණනකට ගත්තේ නෑ. අපට තවදුරටත් බොහෝ දේ ඉගෙනීමට තිබුණා වුවත්, අපට සත්‍යය තිබුණු නිසා අපේ ප්‍රීතිය ඉහවහා ගොස් තිබුණා.
අප සෑම ඉරිදාවකම ගෙයින් ගෙට ගියා. ජනයා ප්‍රශ්න අසන්ට වූ අතර, ඒවාට උත්තර දෙන්ට අපට වෑයම් කරන්ට වුණා. ඉරිදා හවස්වරුවල අප ප්‍රසිද්ධ දේශනයක් ඉදිරිපත් කළා. අපට රාජ්‍ය ශාලාවක් නොතිබුණු නිසා, අප එළිමහනේ රැස්වීම් පැවැත්වූවා. අප ජනයා එක්රැස් කර, දේශනයක් පවත්වා, ප්‍රශ්න අහන්න කියා ඔවුන්ට ආරාධනා කළා. ඇතැම් අවස්ථාවලදී අප පල්ලිවල දේශනා කළා.
කෙදිනක හෝ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන අසා නොතිබුණු අය සිටි ප්රදේශවලටද අප ගමන් කළා. බොහෝ වේලාවලට, අප පාපැදිවලින් ගිය නමුත්, ඇතැම්විට බස්රථයක් කුලියට ගෙන ගියා. අප ගම්මානයකට පැමිණි විට, අප ශබ්ද නඟා නළාවක් නාද කරන්ට වුණා. මුළු ගමටම එම ශබ්දය ඇහෙනවා! සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ජනයා වහා දිව ආවා. එවිට අප අපේ පණිවිඩය ඉදිරිපත් කළා. අප අවසන් කළ පසු, අපගේ පොත් පත්වල පිටපත් ගැනීමට ජනයා යුහුසුලු වුණා. අප විශාල ප්‍රමාණයක් තැබුවා.
අප ඉතා උනන්දුවෙන් දේවරාජ්‍යයේ පැමිණීම බලාපොරොත්තුව සිටියා. අපට 1935 යියර්බුක් ලැබුණු විට, වර්ෂය සඳහා පදවල සාකච්ඡා ගැන සම්පූර්ණ කාලසටහන දැකීමෙන් එක් සහෝදරයෙක් මෙසේ විමසුවා මට මතකයි: “මින් අදහස් කරන්නේ, අර්මගෙදොන් පැමිණීමට පෙර අප තවත් මුළු වසරක්ම සම්පූර්ණ කරන්ට යන බවද?”
පිළිතුරු වශයෙන්, පවත්වන්නා මෙසේ ඇසුවා: “හෙට අර්මගෙදොන් පැමිණෙනවා නම්, අප යියර්බුක් කියවන එක නවත්වයි කියා ඔබ සිතනවාද සහෝදරයා?” නැතැයි කියා සහෝදරයා පැවසූ විට, කොටස මෙහෙයවන්නා මෙසේ පැවසුවා: “එහෙම නම් ඔබ ඒ ගැන කරදර වෙන්නේ ඇයි?” අප එදත්, අදත්, යෙහෝවඃවහන්සේගේ දවස එන තෙක් ආශාවෙන් බලා සිටිනවා.
යුද්ධ වර්ෂ
දෙවන ලෝක යුද්ධය සමයේදී, අපේ පොත් ආනයනය තහනම් කරනු ලැබුවා. ඉලෙෂාහි එක් සහෝදරයෙක් නොදැනුවත්වම පොලිස් නිලධාරියෙකුට රිචස් යන පොත ඉදිරිපත් කළා. පොලිස් නිලධාරියා මෙසේ ඇසුවා: “මේ පොත කාගෙද?” එය තමාගේම පොත බව සහෝදරයා පැවසුවා. පොලිස් නිලධාරියා එය තහනම් කළ පොතක්යයි පවසා, ඔහුව පොලිසියට ගෙන ගොස්, සිරභාරයේ දැමුවා.
මා පොලිසියට ගිය අතර, ප්‍රශ්න ඇසුවායින් පසුව, සහෝදරයාට ඇප දී නිදහස් කරගත්තා. එවිට සිදුවී ඇත්තේ කුමක්දැයි ලාගෝස්හි සිටි සහෝදර බ්‍රවුන්ට දැන්වීම සඳහා මා ඔහුව දූරකථනයෙන් ඇමතුවා. අපේ පොත් බෙදාහැරීම තහනම් කිරීමට මොනයම් හෝ නීතියක් තිබුණාද කියාත් මා ඇසුවා. අපේ පොත් සම්බන්ධ තහනම තිබෙන්නේ බෙදාහැරීමට නොව, ආනයනයට පමණක් බව සහෝදර බ්‍රවුන් මට පැවසුවා. දින තුනකට පසු, සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි දැකීමට සහෝදර බ්‍රවුන් ලාගෝස්වලින් සහෝදරයෙකු එව්වා. අප සියලුදෙනාම පසුදා සඟරා සහ පොත් සමඟින් දේශනා වැඩයේ යායුතුයයි මේ සහෝදරයා තීරණය කළා.
අප විවිධ පැතිවලට බෙදී ගියා. පැයකට පමණ පසු, සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යන ආරංචිය මට දැනගන්ට ලැබුණා. එනිසා බැහැදැකීමට පැමිණි සහෝදරයා හා මා පොලිසියට ගියා. පොත් තහනම් කර නැතැයි යන අපගේ පැහැදිලි කිරීමට සවන්දීමට පොලිසිය ප්‍රතික්ෂේප කළා.
අත්අඩංගුවට ගෙන සිටි සහෝදරයන් 33දෙනාව ඉෆෙහි ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යවනු ලැබූ අතර, මා ඔවුන් හා එක්වුණා. අපව ගෙනයනවා දුටු නගරවැසියන් මෙසේ කෑගසන්ට වුණා, “අද මේ මිනිසුන්ගේ වැඩය කම්මුතුයි. ඔවුන් නැවත මෙහි පැමිණෙන එකක් නෑ.”
නයිජීරියානු ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ නඩුව අසනු ලැබුවා. පොත් සහ සඟරා සියල්ල අතුරා තිබුණා. මේ අයව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට බලය පවරා තිබෙන්නේ කවරෙක්දැයි ඔහු ඇසුවා. දිස්ත්‍රික් නිලධාරියාගේ උපදෙස් පිට තමා ක්‍රියා කර ඇති බවට පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා. ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පොලිස්පතිවරයා සහ මා ඇතුල්ව අපේ නියෝජිතයන්ගෙන් හතරදෙනෙකු සිය කාමරයට කැඳෙවුවා.
බ්‍රවුන් මහතා කවරෙක්දැයි ඔහු ඇසුවා. ලාගෝස්හි වොච් ටවර් සමිතිය නියෝජනය කරමින් සිටින්නේ ඔහුයයි අපි ඔහුට පැවසුවා. අප සම්බන්ධයෙන් බ්‍රවුන් මහතාගෙන් විදුලි පණිවිඩයක් ඔහුට ලැබී තිබෙන බව ඔහු අපට පැවසුවා. ඔහු එදින නඩුව කල් දමා, සහෝදරයන්ව ඇප දී ගැනීමට අවසර දුන්නා. පසුදින ඔහු සහෝදරයන්ව චෝදනාවෙන් නිදහස් කරමින්, යළි පොත් භාර දෙන්නයයි පොලිසියට නියෝග කළා.
අප ගී ගයමින් ඉලෙෂා වෙත යළි පැමිණියා. නැවතත් ජනයා කෑගසන්ට පටන්ගත් නමුත්, මේ අවස්ථාවේදී ඔවුන් මෙසේ පවසන්ට වුණා, “ඔවුන් නැවතත් ඇවිල්ලා!”
විවාහය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ ප්‍රමිතිය පැහැදිලි කරනු ලැබේ
නයිජීරියාවට පළමු ගිලියඩ් උපාධිධාරීන් පැමිණියේ 1947දීයි. මෙම සහෝදරයන්ගෙන් කෙනෙකු වන ටෝනි ඇට්වුඩ් තවමත් මෙහි, නයිජීරියා බෙතෙල්හි සේවය කරනවා. එදා පටන්, නයිජීරියාවේ යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙහි ඉමහත් වෙනස්කම් අපි දුටුවා. එක විශාල වෙනස්කමක් නම්, බහු විවාහය ගැන අපේ මතයයි.
මා ඔලාබිසි ෆාසූබා සමඟ 1941 පෙබරවාරිවලදී විවාහ වුණු අතර, අමතර භාර්යාවන් නොගැනීමට ප්‍රමාණවත් දැනගැන්මක් ඇතුව සිටියා. එහෙත් 1947 වන තුරු, එනම් මිෂනාරිවරුන් පැමිණෙන තුරු සභා තුළ බහු විවාහය පොදු දෙයක්ව තිබුණා. බහු විවාහයේ යෙදුණු සහෝදරයන්ට පවසා තිබුණේ, ඔවුන් එක භාර්යාවකට වඩා විවාහ කරගෙන ඇත්තේ නොදැනුවත්කම නිසා බවයි. එබැවින් ඔවුන්ට භාර්යාවන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් හෝ පස්දෙනෙක් සිටියා නම්, ඔවුන්ට ඔවුන් තබාගත හැකි නමුත් වෙන කිසිවෙකු නොගත යුතු වුණා. අපට තිබුණු ප්‍රතිපත්තිය එයයි.
බොහෝදෙනා, විශේෂයෙන්ම ඉලෙෂාවල පිහිටි චෙරුබිම් හා සෙරෆිම් සමිතිය අප හා එක්වීමට මහත් ආශාවකින් සිටියා. සත්‍යය ඉගැන්වූ එකම සෙනඟ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් බව ඔවුන් පැවසුවා. ඔවුන් අපේ ඉගැන්වීම් සමඟ එකඟ වූ අතර ඔවුන්ගේ පල්ලි, රාජ්‍ය ශාලා බවට හැරවීමට ඔවුන්ට වුවමනා වුණා. මෙසේ කිරීමට අප මහන්සි වී වැඩ කරමින් සිටියා. ඔවුන්ගේ වැඩිමහල්ලන් පුහුණු කිරීම සඳහා අපට මධ්‍යස්ථාන පවා තිබුණා.
ඉන්පසු බහු විවාහය සම්බන්ධයෙන් නව මඟ පෙන්වීමක් ඉදිරිපත් කරනු ලැබුවා. මිෂනාරිවරයෙක් 1947දී චාරිකා එක්රැස්වීමකදී දේශනයක් ඉදිරිපත් කළා. හොඳ හැසිරීම සහ පුරුදු ගැන ඔහු කතා කළා. ඊළඟට අධර්මිෂ්ඨයන් දේවරාජ්‍ය උරුම කරගන්නේ නැතැයි පවසන 1 කොරින්ති 6:9, 10 උපුටා දැක්වුවා. එවිට ඔහු මෙසේද පැවසුවා: “තවද බහු විවාහයේ යෙදෙන්නන් දේවරාජ්‍ය උරුම කරගන්නේ නැත.” ශ්‍රාවකයන් මෙසේ කෑගැසුවා: “ආ, බහු විවාහයේ යෙදෙන්නන් දේවරාජ්‍ය උරුම කරගන්නේ නෑ!” භේදයක් හටගත්තා. එය යුද්ධයක් මෙන් වුණා. අලුතින් ඇසුරු කරන්ට ගත් බොහෝදෙනෙක් මෙසේ පවසමින් ඇසුර නැවැත්තුවා: “අප එතරම් දුරදිග නොයෑම ගැන දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ.”
කෙසේවුවත්, සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක් තම අතිරේක භාර්යාවන් නිදහස් කරමින් තම ජීවිත හරිගස්වාගැනීමට පටන්ගත්තා. ඔවුන් ඔවුන්ට මුදල් දී මෙසේ පැවසුවා, ‘ඔබ තරුණ නම්, වෙනත් ස්වාමිපුරුෂයෙක් සොයාගන්න. මා ඔබව විවාහ කරගැනීමෙන් වරදක් කර තිබෙනවා. දැන් මා එක භාර්යාවකගේ ස්වාමිපුරුෂයෙක් විය යුතුයි.’
වැඩි කල් නොගොස් තව ප්‍රශ්නයක් පැන නැඟුණා. එක භාර්යාවක් තබාගෙන අනික් අය ඉවත් කළ යුතුයයි තීරණය කළ ඇතැම් අය, සිය මනස් වෙනස් කරගෙන, ඉවත් කළ භාර්යාවන්ගෙන් කෙනෙක් යළි ලබාගෙන, ඔවුන් කලින් තබාගෙන සිටි තැනැත්තිය ඉවත් කිරීමට ඔවුන්ට වුවමනා බව තීරණය කළා! එනිසා යළිත් කරදර පටන්ගත්තා.
“නුඹේ තරුණ වයසේ භාර්යාව” වෙත යොමු දක්වන මලාකි 2:14 මත පදනම්ව, බෘක්ලින්හි මූලස්ථානය මගින් තවදුරටත් මඟ පෙන්වීම ලැබුණා. ස්වාමිපුරුෂයන් විවාහ කරගෙන සිටි පළමු භාර්යාව තබාගත යුතුයි යන මඟ පෙන්වීම ලැබුවා. අවසානයේදී ප්රශ්නය විසඳුණේ ඒ ආකාරයටයි.
සේවා වරප්‍රසාද
වර්ෂ 1947දී සමිතිය, සභා ශක්තිමත් කිරීමට හා ඒවා චාරිකාවලට සංවිධානය කිරීමට පටන්ගත්තා. ‘සහෝදරයන්ගේ සේවකයන්,’ එනම් දැන් හඳුන්වන ලෙස චාරිකා අවේක්ෂකයන් වශයෙන්, මනා දැනුමක් ඇති මේරූ සහෝදරයන් පත් කිරීමට ඔවුන්ට වුවමනා වුණා. මා එවැනි පත්වීමක් පිළිගන්නවාදැයි සහෝදර බ්‍රවුන් මගෙන් ඇසුවා. මා බව්තීස්ම වුණේ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කරන්නැයි පවසමින්, මා මෙසේද පැවසුවා: “මාව බව්තීස්ම කළේත් ඔබයි. යෙහෝවඃවහන්සේට වැඩියෙන් සේවය කිරීමට දැන් ප්‍රස්තාව තිබෙන විට, මා ප්‍රතික්ෂේප කරයි කියා ඔබ හිතනවාද?”
එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී, අප හත්දෙනෙකු ලාගෝස් වෙත කැඳවනු ලැබූ අතර, අපව චාරිකා වැඩය සඳහා පිටත් කර යැවීමට පෙර පුහුණුවක් ලබා දුන්නා. ඒ දවස්වල චාරිකා ඉතා විශාලයි. මුළු රටම චාරිකා හතකට බෙදණු ලැබුවා. තිබුණේ සභා ස්වල්පයක්.
සහෝදරයන්ගේ සේවකයන් වශයෙන් අපගේ වැඩය දුෂ්කර වුණා. බොහෝවිට අප තද අව්වේ නිවර්තන වනාන්තර හරහා ගමන් කරමින්, සෑම දවසකම සැතපුම් ගණනක් ඇවිද්දා. සෑම සතියකම ගමෙන් ගමට ගමන් කිරීමට අපට සිදුවුණා. මගේ පාද පැටලී වැටෙයි කියා සමහර වේලාවලදී මට හැඟුණා. මාව මැරෙයි කියා ඇතැම්විට මට හැඟුණා! එහෙත් විශේෂයෙන්ම සත්‍යය වැලඳගන්නා අයගේ ගණන වැඩිවෙනවා දැකීමෙන් ඉමහත් ප්‍රීතියකුත් තිබුණා. ඇයි, වර්ෂ හතකින් පමණක් රටේ ප්‍රචාරකයන්ගේ ගණන හතරගුණයකින් වැඩිවුණ නිසා!
වර්ෂ 1955 වන තුරු මා චාරිකා වැඩයෙහි යෙදුණා, එවිට අයහපත් සෞඛ්‍ය තත්වයක් හේතුවෙන්, ඉලේෂාවලට පැමිණීමට සිදුවුණා, එහිදී මාව නගර අවේක්ෂක හැටියට පත් කරනු ලැබුවා. නිවසේ සිටීමේ හේතුවෙන් මගේ පවුලේ අයට ආත්මිකව උපකාර කරමින් වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකිකම ලැබුණා. අදදින මගේ දරුවන් හයදෙනාම විශ්වාසවන්තව යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටිනවා.
සැබෑ ප්‍රේමය කිසිදා පහවන්නේ නැත
පසුගිය වර්ෂ ගැන යළි කල්පනා කරන විට, ස්තුතිවන්ත වීම සඳහා මට බොහෝ දේ තිබෙනවා. අධෛර්යයට පත්වීම්, කරදර සහ අසනීප තිබුණු නමුත් ප්‍රීතියට හේතු තිබුණා. වසර ගණනක් පුරා අපේ දැනුම හා තේරුම්ගැනීම වර්ධනය වී තිබුණත්, අද්දැකීම් තුළින් මා 1 කොරින්ති 13:8හි අර්ථය ඉගෙනගෙන තිබෙනවා, එය මෙසේ පවසයි: “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” ඔබ යෙහෝවඃවහන්සේට ප්‍රේම කර උන්වහන්සේගේ සේවයෙහි ස්ථිරව පවතිනවා නම්, ඔබේ දුෂ්කරතාවලදී උන්වහන්සේ ඔබට උපකාර කරනු ඇති අතර, ඔබට බෙහෙවින් ආශීර්වාද කරනු ඇත.
සත්‍යයේ ආලෝකය දිගින් දිගටම ආලෝකවත් වේ. අප මුලින් පටන්ගත් දවස්වල, අප සිතුවේ අර්මගෙදොන් ඉක්මනින්ම පැමිණෙයි කියලා; අපට හැකි සියල්ලම කිරීමට අප ඉක්මන් වුණේ ඒ නිසායි. නමුත් ඒ සියල්ල අපේ ප්‍රයෝජනය සඳහායි. ගීතිකාකරුගේ මෙම වචනවලට මා එකඟ වන්නේ ඒ නිසායි: “දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.”—ගීතාවලිය 146:2
[පාදසටහන්වල]
a අවසාන අධිකාරිත්වය වශයෙන් බයිබලය වෙත යොමු දැක්වීමේ සහෝදර බ්‍රවුන්ගේ පුරුද්ද හේතුවෙන්, ඔහුව හැඳින්වූයේ බයිබල් බ්‍රවුන් ලෙසයි.—වර්ෂ 1992 සැප්තැම්බර් 1 ද වොච්ටවර් සඟරාවෙහි 32 පිටුවේ “ද හාවස්ට් ඔෆ් ඒ ටෲ ඉවැන්ජලයිස” බලන්න.
[23වන පිටුවේ පින්තූරය]
සැමුවෙල් 1955දී මිල්ටන් හෙන්ෂල් සමඟ
[24වන පිටුවේ පින්තූරය]
සැමුවෙල් සිය භාර්යාව වන ඔලාබිසි සමඟ