රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සැබෑ ක්‍රිස්තියානීන් පීඩාවලට ලක්වනු නියතය
ආබෙල්ගේ කාලයේ සිට, යෙහෝවඃවහන්සේගේ සේවකයන් බොහෝදෙනෙකු ආගමික පීඩා විඳදරාගෙන ඇත. (ලූක් 11:49-51) “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය” යනුවෙන් බයිබලය අවවාද කිරීම පිළිබඳ මවිතයට පත්විය යුතු නැත! (2 තිමෝති 3:12) මේ අනුව, අදදින රටවල් 25කට වැඩි ප්‍රමාණයක යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, තහනම යටතේ පීඩා විඳදරාගෙන සිටිති. එක් රටක යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව තහනම් කර තිබෙනවා පමණක් නොව, ආගමික උමතුවූවන්ගෙන්ද පීඩා විඳිති.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සේවය තහනම් කර තිබෙනවා පමණක් නොව, එහෙත් ආගම් භක්තිකයන්ගෙන් පීඩාද පමුණුවනු ලබන එක් රටක, ශුභාරංචිය දේශනා කරන ප්‍රචාරකයන් 12,000කට වැඩි ප්‍රමාණයක් ජ්වලිතව සේවය කරන අතර, මිනිසුන් 15,000කට වැඩි ප්‍රමාණයක් සමඟ බයිබලය අධ්‍යයනය කරති. සැබවින්ම, ඔවුන්ගේ දේශනා සේවය විචක්ෂණ බුද්ධියකින් යුතුව කරනු ලැබේ. බොහෝවිට ඔවුන් ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම් පවත්වනු ලබන්නේ පෞද්ගලික නිවාසවල වන අතර, එවැනි රැස්වීම්වලට උනන්දුව දක්වන පුද්ගලයන්ට ආරාධනා කිරීමේදී ඔවුහු පරීක්ෂාකාරි වෙති.
මෑතකදී රජය සාක්ෂිකරුවන් කෙරෙහි වඩාත් ලිහිල් ආකල්පයක් ඇති කරගෙන තිබෙන අතර, ඔවුහු දැන් ඔවුන්ගේ සේවයෙන් බොහොමයක් කලහකාරි බාධාවන්ගෙන් තොරව කරති. කෙසේවෙතත්, විවිධ ආගමික නිකායන් ප්‍රශ්න හටගැන්වීමට ඔවුන්ගේ බලපැවැත්ම යොදාගෙන ඇත්තාහ.
එක් නගරයක, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 50දෙනෙකු පමණ සභා රැස්වීමක් පවත්වනු ලබමින් සිටි එක් නිවසක් කරා, කෝපයට පත් කලහකාරි ආගමික උමතුවූවෝ 200දෙනෙක් පමණ ගමන් කළහ. මෙම කලහකාරි පිරිසට අයත් සමහරු ගල් රැගෙන ආ අතර, සමහරු ආගමික පාඨයන් කියා කෑ ගැසූහ. ඔවුන්ගේ ප්‍රකට අභිප්‍රාය වූයේ, සාක්ෂිකරුවන්ට පහර දීමත් නිවස කොල්ලකෑමත්ය. පැහැදිලිවම, ආගමික නායකයෝ ටික කලක සිට මෙම රැස්වීම් කටයුතු දෙස නෙත් යොමා පහර දීමට නියමිත අවස්ථාව පැමිණෙන තෙක් බලා සිට ඇත. මෙම කලහකාරි පිරිස නිවසට ඇතුල්වීමට ආසන්නව සිටියදී, පොලිස් නිලධාරීහු 15දෙනෙක් පැමිණ එම පිරිසට විසිර යන මෙන් අණ කළහ. පොලීසියට දැනුම් දීමට කිසිවෙකුට කාලයක් නොතිබුණු බැවින්, මෙය සාක්ෂිකරුවන් හට පුදුමයක් විය.
එහෙත් අනිකුත් අවස්ථාවන්වල විරුද්ධකරුවන් වඩාත් සාර්ථක වී තිබේ. සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුට විරුද්ධව නඩු පවරා සිරබාරයට තීන්දු කර තිබේ. එක් නඩු විභාගයක් තීන්දුවක් නොමැතිව වසර කිහිපයක් පැවත තිබේ. පීඩාකරන්නන්හට ඒ ගැන උනන්දුව නැති වී තිබෙන බව පෙනෙන්ට තිබිණ. කෙසේවෙතත්, ප්‍රාදේශීය පුජකයන්ගේ පෙලඹවීම යටතේ මෙම ප්රශ්නය නැවත උසාවිය වෙත ගෙනෙන ලද අතර, සාක්ෂිකරුවා සිරබාරයට තීන්දු කරන ලදි.
තවත් ස්ථානයක සාක්ෂිකරුවෝ කණ්ඩායමක් පෞද්ගලික නිවසක ස්වාමින්ගේ සන්ධ්‍යා භෝජනය සිහිකිරීම පිණිස එක්රැස්වූහ. පසුව එම සැන්දෑවේ පොලිස් නිලධාරීහු කිහිපදෙනෙක් ගෙහිමියාව හා රැස්වීම පැවැත්වූ වැඩිමහල්ලාව අත්අඩංගුවට ගත්හ. පොලීසියේදී ඔවුහු දරුණු ලෙස පහර ලැබූහ. පැය කිහිපයකට වද හිංසා සහිත ප්‍රශ්න විචාරීමක් පැවතිණ. සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකුට සීතල වතුර ඇති ළිඳක් තුළ බැස සිටීමේ මහත් පීඩාව පවා විඳදරාගැනීමට සිදුවිය.
පොලීසිය මෙවැනි පහර දීමක් ගෙන යමින් සිටියේ මන්ද? නැවතත්, ප්‍රාදේශීය පූජකයන්ගේ උපකාරය ඇතුව ආගමික උමතුවූවෝ කණ්ඩායමක්, පොලීසියේ ක්‍රියාමාර්ගය පිටුපස සිටියහ. පසුව පොලීසියේ ප්‍රධානියා කියා සිටියේ, අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ ඔහුගේ අවසරයක් නොමැතිව බවයි. වරදට සමාව ඉල්ලීමක් ඉදිරිපත් කර, පහර දීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් කරනු ලැබුවේය.
මුළු ලොව පුරා සාහසික විරුද්ධවාදීකම් මැද පවා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම නොකඩවා කරගෙන යති. ඔවුහු යේසුස්වහන්සේගේ මෙම උපදෙස පිළිපදිති: “වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටපල්ලා.”—මතෙව් 10:16.
[31වන පිටුවේ පින්තූරය]
පීඩා කිරීමට යටත් වූ මුල්ම පුද්ගලයා ආබෙල් විය