අසීරු ආර්ථිකමය කාලවලදී තනිකඩභාවය
මට අවුරුදු 25ක් වූ විට මට විවාහ වීමට ඕනෑ වුණා,” කියා බටහිර අප්‍රිකාවේ වෙසෙන චූක්ස් පැවසීය. “මගේ සිත එක්තරා යෞවනියක වෙත ඇදී ගොස් තිබුණු අතර, ඇයටත් මා ගැන අදහසක් තිබුණා. ගැටලුවකට තිබුණේ මුදල්. මගේ තාත්තට හා අයියට රැකියාවක් තිබුණේ නැහැ, එවගේම මල්ලිලා නංගිලා තවමත් පාසැලට යමින් සිටියා. පවුල නඩත්තු කිරීම සඳහා සියලුදෙනාගේ බලාපොරොත්තු මා කෙරෙහි රඳා තිබුණා. ඊළඟට, තත්වය තවත් අසීරු කරමින්, මගේ දෙමාපියන් අසනීප වුණා, එනිසා වෛද්‍යමය වියදම් ගෙවා දැමීම සඳහා අමතර මුදල් සෙවීමේ අවශ්‍යතාව ඉන් අදහස් කළා.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වන චූක්ස්ට, භාර්යාවක නඩත්තු කිරීමට නොහැකිව විවාහ ජීවිතයට පිවිසීමට වුවමනා නොවීය. පළමු තිමෝති 5:8හි දැකගත හැකි පාවුල්ගේ වචන ගැන ඔහු සාවධානව සිටියේය: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”
චූක්ස් තවදුරටත් මෙසේ පැවසීය: “මම වෙහෙස මහන්සි වී වැඩ කළත්, ලැබූ මුදල් කිසිවිටකත් ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ විවාහ වීමට සැලසුම් නිතර නිතර ප්‍රමාද කිරීමට සිදුවුණා. අන්තිමේදී මට එම යෞවනියගෙන් ලිපියක් ලැබුණා, එහි කියා තිබුණේ යමෙකු ඇගේ පියා ළඟට පැමිණ ඇයව විවාහ කරගැනීමට ඉල්ලා සිටි බවය. ඇගේ පියා එකඟ වුණා. ඇගේ ලිපිය මට ලැබී දවස් ස්වල්පයකට පසු, ඒ පවුල විවාහ ගිවිස ගැනීම නිමිත්තෙන් සාදයක් පැවැත්තුවා.”
චූක්ස් මෙන්, බොහෝ ක්‍රිස්තියානි පුරුෂයන් දැක තිබෙන්නේ, අසීරු ආර්ථිකමය තත්වයන් නිසා, ඔවුන්ගේ විවාහ සැලසුම් බිඳී යෑම නැතහොත් ප්‍රමාද වීමය. බොහෝ දේශවල අත්‍යුද්ධමනය පවතී. උදාහරණයක් වශයෙන්, එක් මධ්‍යම අප්‍රිකානු රටක, එක වර්ෂයක් ඇතුළත මිල ගණන් සියයට 8,319කින් ඉහළ නැඟී ගියේය! සමහර රටවල රැකියා සෙවීම අසීරු කාර්යයකි. එමෙන්ම ගෙවන වැටුප් එතරම්ම අල්ප වන බැවින්, භාර්යාවක හා දරුවන් නඩත්තු කිරීම මදිවට, තමාවම නඩත්තු කරගැනීමට පවා පුරුෂයෙකුට දුෂ්කරය. නයිජීරියාවේ එක් තරුණ පුරුෂයෙකුට කර්මාන්ත ශාලාවක ඉදිරිපත් කරනු ලැබූ පූර්ණ-කාලීන රැකියාවෙන් ඩොලර් 17ක් පමණක් ගෙවනු ලැබීම ගැන ඔහු ශෝකය පළ කළේය—මෙය වැඩපොළට හා නැවත ගෙදරට ගමන් කිරීම සඳහා වැයවූ බස් ගාස්තුවට පවා අඩු විය!
ආර්ථික අසීරුතා තම විවාහ සැලසුම්වලට බාධාවක් කියා බොහෝ තනිකඩ ක්‍රිස්තියානි ස්ත්‍රීන්ටද පෙනී යන්නේය. බොහෝදුරට පවුලේ සාමාජිකයන් නඩත්තු කිරීම සඳහා ඔවුන් වැඩ කළ යුතුය. මෙම තත්වය දකින ක්‍රිස්තියානි පුරුෂයෝ සමහරදෙනෙක්, එය මඟහරිති, මන්දයත් එවන් තත්වයන් යටතේ විවාහ ජීවිතයට පිවිසෙන පුරුෂයාට භාර්යාවක නඩත්තු කිරීමට පමණක් නොව, ඇගේ පවුලද නඩත්තු කිරීමට අවශ්‍ය තරම් මුදලක් උපයාගත යුතු බව ඔහුට තේරුම් ගොස් ඇති බැවිනි. විශ්වවිද්‍යාලයේ උපාධිධාරියක වන අයිඕ, තමාවත්, තම මවවත්, තම මල්ලිලා නංගිලාවත් නඩත්තු කරගැනීමෙහි මහත් ආයාසයක් දරන්නීය. “මට ආසයි විවාහ වෙන්න, නමුත් අනුන් ඇවිත් මගේ බර කරත්තය [මූල්‍යමය වගකීම්] දකින විට, ඔවුන් පලා දුවනවා” කියමින් ඈ සිය ශෝකය පළ කරන්නීය.
මූල්‍යමය දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන විවාහ නොවූ ක්‍රිස්තියානීහු බොහෝ දෙනෙක් තම ඥාතීන්ගෙන් හා වෙනත් අයගෙන්, විවාහ වී, දරුවන් බිහි කිරීමට වූ පීඩනයට ලක්වීමට සිදුවෙති. සමහරවිට මෙම පීඩනය සරදම් විලාසයෙන් එල්ල කරනු ලැබේ. උදාහරණයක් වශයෙන්, අප්‍රිකාවේ ඇතැම් පෙදෙස්වල, වැඩිහිටියෙකුට ආචාර කරන විට ඔහුගේ හෝ ඇගේ කලත්‍රයාගේ හා දරුවන්ගේ සුවදුක් විමසීම චාරිත්රානුකූලය. ඇතැම් අවස්ථාවන්හිදී, එවන් ආචාර කිරීම් විවාහ නොවූ අය සමච්චලයට භාජන කිරීම සඳහා යොදාගනු ලැබේ. සිය 40ගණන්වල අපරභාගයේ පසුවන ජොන් මෙසේ පවසයි: “මිනිස්සු මට කවටකම් කොට ‘ඔබේ භාර්යාවට කොහොමද?,’ කියා මගෙන් විමසන විට, මම කියන්නේ ‘ඇය තවමත් මඟ එනවා’ කියලා. ඇත්ත තත්වය නම්, මට ඇයව නඩත්තු කරන්ට බැරි නම්, මට භාර්යාවක් භාරගත හැක්කේ කෙසේද?”
ජොන්ටත්, ඔහුට සමාන අනන්ත අප්‍රමාණ අයගෙත් තත්වය, මෙම යොරූබා කියමනෙන් කැටි කොට දැක්විය හැක: “ඉක්මනින් විවාහ වීම පාරට්ටු කිරීමට හේතුවක් නොවේ; ගැටලුව වන්නේ ආහාරවල වියදමයි.”
ඔබේ තත්වයේදී ඔබේ උපරිමය කරන්න
සැබෑ නොවන යමක් සඳහා අප පුල පුලා බලා සිටින විට කලකිරීමට පත්වීම මොනතරම් පහසුද! හිතෝපදේශ 13:12 මෙසේ පවසයි: “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය.” ඔබ විවාහ වීමට ආශා වුවත්, එසේ කිරීමට තරම් මූල්‍යමය තත්වයක් ඔබට නැත්නම්, ඔබේ හැඟීම් මෙලෙස විස්තර කිරීමට ඉඩ කඩ තිබේ. ප්‍රේරිත පාවුල් ‘කාමදාහයෙන්’ ඇවිස්සී සිටින බවට විස්තර කළ අය අතර ඔබ සිටින්නෙහි නම්, මෙය විශේෂයෙන්ම සැබෑවක් විය හැක.—1 කොරින්ති 7:9.
මෙය සමඟ කටයුතු කිරීම සමහරවිට පහසු යමක් නොවුවත්, විඳදරාගැනීමටත් ඔබේ තත්වය තුළ ප්‍රීතිය සෙවීමටත් පවා ඔබට කළ හැකි දේවල් තිබේ. අවිවාහක පුරුෂයෙක් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ප්‍රායෝගික බයිබල් ප්‍රතිපත්තියක් දැක්වූසේක, මින් පැතූ දෙය ප්‍රමාද වීමෙන් ඇතිවන බලාපොරොත්තු සුන්බව මැඩපැවැත්වීමට ඔබහට උපකාරයක් විය හැක. “ගැනීමට වඩා දීම ආශිර්වාදයකැයි” උන්වහන්සේ පැවසූසේක.—ක්‍රියා 20:35.
ඔබේ පවුල සඳහාත්, සභාවේ සිටින වෙනත් අය සඳහාත්, යහපත් දේවල් කිරීමෙන් ඔබට මෙය අදාළ කළ හැකිය. සමහරවිට ඔබට ක්‍රිස්තියානි දේවසේවයේ ඔබ කරන තරම ඔබට වැඩිවර්ධනයද කළ හැක. පරාර්ථකාමී දීමෙහි ඔබ මුළුමනින්ම නියැලී සිටින්නෙහි නම්, ඔබ ‘ස්ථිර සිතින් යුක්තව සිටින බවත්, ඔබේම කැමැත්ත ගැන බලය ඇතුව සිටින බවත්’ ඔබට පෙනී යා හැක.—1 කොරින්ති 7:37.
තවත් අවිවාහක පුරුෂයෙක් වූ, ප්‍රේරිත පාවුල් මෙම උපකාරවත් උපදේශය ලීවේය: “නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගනිල්ලා.” (එපීස 5:15, 16) යාච්ඤාවද, දේවවචනය අධ්‍යයනය කිරීමද, ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමද තුළින් යෙහෝවඃවහන්සේ වෙත සමීප වීමට තම කාලය උපයෝගි කරගැනීමෙන්, බොහෝ අවිවාහක ක්‍රිස්තියානීන් ‘තම ආත්මවලට සහනය’ සොයාගෙන ඇත. (මතෙව් 11:28-30) ඔබ මෙසේ කරන්නෙහි නම්, දුෂ්කර ආර්ථික තත්වයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔබට හැකිවනවා ඇත. අවසානයේදී ඔබ විවාහ වන්නෙහි නම්, එම අද්දැකීම වඩාත් හොඳ පුරුෂයෙකු හෝ භාර්යාවක වීමට ඔබට දායක වෙමින්, වඩාත් හොඳ ආත්මිකත්වයක් විදහාපෙන්වීමටත් ඔබට උපකාරයක් වන්නේය.
යෙහෝවඃවහන්සේ තමන්වහන්සේට සේවය කරන සියලුදෙනා ගැන සැලකිල්ල දක්වන බව කිසිදාක අමතක නොකරන්න. ඔබ විඳින ගැටලු හා දුෂ්කරතා ගැන උන්වහන්සේ සාවධානව සිටිනසේක. එමෙන්ම දිගුකාලීනව බලන කල, ආත්මිකව හා චිත්තවේගීව ඔබ සඳහා හොඳම දේ කුමක්ද කියා අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්වහන්සේ දන්නාසේක. ඔබේ එදිනෙදා ජීවිතයෙහි ඔබ උන්වහන්සේගේ වචනයෙහි ප්‍රතිපත්ති ඉවසිලිවන්තව අදාළ කරන්නෙහි නම්, උන්වහන්සේ ස්වකීය නිසි කාලයේදී ඔබට සහනය ගෙන දෙන බවටත්, ඔබේ සදාකාලික යහපතට දායක වන අන්දමින් ඔබේ අවශ්‍යතා සහ ආශා තෘප්තිමත් කරන බවටත්, ඔබට සහතික විය හැක. බයිබලය මෙසේ සහතික කරයි: “ස්වාමීන්වහන්සේ . . . අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.”—ගීතාවලිය 84:11.
ඒකාන්ත පැත්ත දෙස බලන්න
තනිකඩ වීමේදී නිශ්චිත වාසි තිබෙන බවද සිහියේ තබාගන්න. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “තමාගේ කන්‍යා දුව [කන්‍යාභාවය, NW] විවාහකරදෙන තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන තැනැත්තේ වඩා යහපතක් කරයි.”—1 කොරින්ති 7:38.
තනිකඩභාවය විවාහයට ‘වඩා යහපතක්’ වන්නේ මන්ද? පාවුල් මෙසේ පැහැදිලි කළේය: “විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය. විවාහවූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නේය. එසේම භාර්යාව හා කන්‍යාව අතරෙහිද වෙනසක් ඇත [එමෙන්ම ඔහු භේද වී සිටී, NW]. විවාහ නොවූ තැනැත්තී ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නුමුත් විවාහවී සිටින තැනැත්තී පුරුෂයා සතුටුකරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නීය.”—1 කොරින්ති 7:32-34.
වෙනත් වචනවලින් කිවහොත්, විවාහක ක්‍රිස්තියානීහු තම කලත්‍රයන්ගේ අවශ්‍යතා, ඕනෑ එපාකම් ගැන සැලකිලිමත් වන්නේ හොඳ හේතු ඇතුවය. එහෙත් තනිකඩ ක්‍රිස්තියානීන්ට යෙහෝවඃවහන්සේගේ සේවය මත වඩාත් ඒකාග්රතාවකින් යුක්තව අවධානය යොමු කළ හැක. විවාහ වූ අය සමඟ සසඳන කල, “වියවුල් නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි යෙදී” සිටීමට තනිකඩ ක්‍රිස්තියානීන් සිටින්නේ වඩාත් හොඳ තත්වයකය.—1 කොරින්ති 7:35.
තනිකඩ ක්‍රිස්තියානියෙකුට සිත වෙනතකට යොමු වීමට සලස්වන කිසිදු දෙයක් නොතිබෙන බව පාවුල් පවසමින් සිටිනවා නොවේ. ආර්ථික ගැටලුවලින් ඔබ බර වී සිටින්නෙහි නම්, ඔබේ දේවසේවයෙන් ඔබව වෙනතකට හැරවීම සඳහා තර්ජනයක් එල්ල කරන දේවල් බොහොමයක් තිබෙන බව ඔබට හැඟී යා හැක. කෙසේවෙතත්, විවාහ වූ අයට වඩා, අවිවාහක පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට දෙවියන්වහන්සේගේ සේවය කිරීම සඳහා බොහෝදුරට තිබෙන්නේ වැඩි පෞද්ගලික නිදහසක්ය.
වඩාත් හොඳ මාර්ගය හැටියට තනිකඩභාවය නිර්දේශ කිරීමේදී, විවාහ වීම වැරදි බව ප්‍රේරිත පාවුල් නොපැවසුවේය. ඔහු මෙසේ ලීවේය: “විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත.” කෙසේවෙතත් ඔහු මෙසේ අවවාද කළේය: “[විවාහ වන්නන්ට] මාංසයෙහි දුක් ඇතිවන්නේය.”—1 කොරින්ති 7:28.
ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? විවාහය නිසා සිත්තැවුලෙන් සිටීමට යම් යම් හේතු පැනනඟී. දුෂ්කර ආර්ථික කාලවලදී, තම භාර්යාවගේ හා දරුවන්ගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පියෙකුගේ දැඩි සැලකිල්ල එවන් දුක්වලට ඇතුළත් විය හැක. පවුලට අමතර මූල්‍යමය හා චිත්තවේගීය බරක් අසනීප තුළින්ද පැටවිය හැක.
එනිසා ඔබ සිටින තත්වයට ඔබ අකමැති වුවත්, ඔබ විවාහ වී දරුවන් නඩත්තු කිරීමේ වගකීම ඇතිව සිටීමේ තත්වයට වඩා, ඔබ හොඳ තත්වයක සිටිය හැක. ඔබ දැන් මුහුණ දෙන දුෂ්කරතා තාවකාලික ඒවාය; ඒවා දෙවියන්වහන්සේගේ නව පිළිවෙළෙහි—ඇරත් සමහර විට ඊට කලින් පවා—තුරන් කරනු ලබනවා ඇත.—ගීතාවලිය 145:16 සසඳන්න.
ඔබට ඔබේ සේවය පුළුල් කළ හැකිද?
සෑම කෙනෙකුටම එසේ කළ නොහැකි වුවත්, මූල්‍යමය ගැටලු මධ්‍යයෙහි පවා ඇතමෙකුට පූර්ණ-කාලීන සේවය තුළට පිවිසීමට හැකි වී තිබේ. කලින් සඳහන් කළ චූක්ස්, සිය පවුල නඩත්තු කරගැනීම සඳහා ලිපිද්‍රව්‍ය මිල දී ගෙන විකුණුවේය. තම විවාහ වීමේ සැලසුම් අසාර්ථක වී ගිය කාලයේදී පමණ, වොච් ටවර් සමිතියේ දේශීය ශාඛා කාර්යාලයේ තාවකාලිකව ඉදි කිරීමේ වැඩවල සහභාගි වීම සඳහා ආරාධනා ලිපියක් ඔහුට ලැබිණ. මුදල් ගැන සැලකිලිමත් වූ ඔහුගේ අයියා, යෑමට ඔහුව අධෛර්යය කළේය. කෙසේවෙතත්, තම ලිපිද්‍රව්‍ය ව්‍යාපාරය පිහිටුවීමට යෙහෝවඃවහන්සේ උපකාර කර තිබූ බව තර්ක කළ චූක්ස්, රාජ්‍ය කටයුතුවලට පළමු ස්ථානය දී, සපයා දීමට වූ දෙවියන්වහන්සේගේ හැකියාව කෙරෙහි විශ්වාස තැබිය යුතු බව තීරණය කළේය. (මතෙව් 6:25-34) ඇරත්, ඒ මාස තුනක කාල පරිච්ඡේදයකට පමණක් කියා හේ කල්පනා කළේය.
චූක්ස් ආරාධනාව පිළිගෙන සිය ව්‍යාපාරය තම අයියාට භාරදුන්නේය. වර්ෂ හයකට පසුව, තවමත් පූර්ණ-කාලීන සේවයෙහි යෙදී සිටින චූක්ස්, ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක්ද, විවාහ වීමට සුදුසු මූල්‍යමය තත්වයකද සිටී. තම ජීවිතයෙහි දේවල් සිදුවූ ආකාරය ගැන ඔහු පසුතැවිලි වනවාද? චූක්ස් මෙසේ පවසයි: “මට කැමති වූ විට විවාහ වීමට බැරි වීම ගැන මම කනගාටු වුණා, නමුත් තත්වය කොහොම හරි මගේ යහපත සඳහා හැරුණා. ඒ කාලයේදී විවාහ වී පවුලක් ගොඩනඟාගෙන තිබුණා නම්, මා අද්දුටු ප්‍රීතිය හා සේවා වරප්‍රසාද භුක්තිවිඳීමට අවස්ථාව ලැබෙන එකක් නැහැ.”
අනාගතය සඳහා සුරක්ෂිතභාවය
දුෂ්කර කාලවලදී අනාගත මූල්‍යමය දුෂ්කරතාවලට එරෙහිව ආරක්ෂාවක් වශයෙන් බොහෝදෙනෙක් විවාහය සපයා දෙන සුරක්ෂිතභාවය සොයති. ණය බරින් වෙළී සිටින සමහර රටවල්, වයෝවෘද්ධ අයට කිසිදු උපකාරයක් පිරිනමන්නේ නැති තරම්ය. එනිසා මහලු කාලයේදී තමන්ව නඩත්තු කිරීම සඳහා, දෙමාපියෝ නිතරම පාහේ තම පවුල් මත, විශේෂයෙන්ම තම දරුවන් මත රඳා සිටිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තනිකඩ පුරුෂයන්ට හා ස්ත්රීන්ට ඉතාමත් අවිනිශ්චිත මූල්‍යමය තත්වයක් තිබුණද, විවාහ වී දරුවන් බිහි කිරීම සඳහා ඔවුන් වෙත පීඩනයක් එල්ල වෙයි.
එහෙත් විවාහ වීම හා දරුවන් වැදීම සුරක්ෂිතභාවය සහතික නොකරයි. සමහර ලෞකික දරුවෝ තම වයෝවෘද්ධ දෙමාපියන්ව රැකබලා ගැනීමට අකමැති වන්නෝය, වෙනත් අයට එසේ කරන්ට බැරිය, තවද තවත් සමහරක් අය තම දෙමාපියනට පෙරාතුව මියයති. මම “කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි” යන දෙවියන්වහන්සේගේ පොරොන්දුව සිහි කරන ක්‍රිස්තියානීන්, සුරක්ෂිතභාවය මූලික වශයෙන් සොයන්නේ වෙනත් මූලාශ්රයකිනි.—හෙබ්‍රෙව් 13:5.
යෙහෝවඃවහන්සේට පූර්ණ-කාලීනව සේවය කිරීම සඳහා විවාහ වීම කල්දැමූ අයව අත්හැර දමා නොතිබේ. තනිකඩ වූ ක්රිසිඇනාට වයස අවුරුදු 32කි. ඈ පසුගිය අවුරුදු නවය පුරා නයිජීරියාවේ ස්ථාවර පුරෝගාමියක ලෙස සේවය කර ඇත්තීය. ඈ මෙසේ පවසන්නීය: “තම සේවකයන් කිසිදාක අත් නොහරින බවට සහතික කරන යෙහෝවඃවහන්සේ කෙරෙහි මම මගේ විශ්වාසය තබනවා. මගේ නිසැකභාවයට හේතුව උන්වහන්සේගේ පොරොන්දුවයි. ආත්මික ලෙසත්, ද්‍රව්‍යමය ලෙසත්, යෙහෝවඃවහන්සේ මාව රැකබලා ගන්නවා. උන්වහන්සේ ත්‍යාගශීලී පියෙක් බවට ඔප්පු වී තිබෙනවා. උදාහරණයක් හැටියට, සාක්ෂිකරුවන් සඳහා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක පුරෝගාමී සේවය කිරීමට මම පදිංචිය මාරු කළා. පහසුකම් ස්වල්පයක් තිබුණත්, අවශ්‍යතා පිරිමසාගෙන සිටීමට මා ඉගෙන තිබෙනවා. ටයිෆස් උණ නිසා මට රෝහල්ගත වීමට සිදුවූ විට, මා කලින් සිටි සභාවේ සහෝදරයෝ මගේ උපකාරය සඳහා පැමිණියා.
“පූර්ණ-කාලීන සේවය මට මහත් තෘප්තියක් ගෙන දෙයි. විශ්වයේ මැවුම්කරු සමඟත්, ලොවපුරා මෙතරම් සහෝදර සහෝදරියන් සංඛ්‍යාවක් සමඟත්, මෙලෙස වැඩ කිරීම මම උදාර වරප්‍රසාදයක් හැටියට සලකනවා. අවට සිදුවන දේවල් නිසා අපේක්ෂා හා බලාපොරොත්තු සුන් කරගෙන සිටින යෞවනයන් බොහෝදෙනෙකු මම දකිනවා. මගේ තත්වය දෙස බලනවා නම්, මගේ ජීවිතය අර්ථවත් එකක්; මම අනාගතය දෙස බලන්නේ නිසැකකම ඇතුවයි. අදදින අප මුහුණ දෙන ගැටලුවලට හොඳම පිළියම යෙහෝවඃවහන්සේට සමීප වී සිටීම කියා මම දන්නවා.”
ඔබට විවාහ වීම සඳහා තද ආශාවක් තිබුණත් ආර්ථික අසීරුතා නිසා එසේ කිරීමට බැරි නම්, ධෛර්යවත් වන්න! ඔබ සිටින්නේ තනිව නොවේ. යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව ඒ හා සමාන පීඩා විඳදරාගන්නා බොහෝදෙනෙක් සිටිති. අනුන් සඳහා යහපත් දේවල් කිරීමෙහි නියැලීමෙන්ද, ඔබේ ආත්මිකත්වය වැඩිවර්ධනය කිරීමෙන්ද, ඔබේ තත්වය තුළ කළ හැකි උපරිමය කරන්න. දෙවියන්වහන්සේට ළං වන්න; උන්වහන්සේ ඔබට සැබවින්ම සැලකිල්ල දක්වන නිසා උන්වහන්සේ ඔබට උපකාර කරනවා නියතය.—1 පේතෘස් 5:7.