හිමාලයටත් වඩා උස් වූ කන්දක් තරණය කිරීම
හිමාල කඳුකරය! එම වදන්වලින් ඔබේ මනසට නැඟෙන්නේ කෙබඳු චිත්‍රයක්ද? ප්‍රබල සුළං හමන, ගරුබිය දනවන, අයිස්වලින් මිදුණු කඳුමුදුන්ද? පෘථිවියේ උසම කන්ද මත සිටගෙන සිටීමේ ඉමහත් වූ ජයග්‍රාහී ප්‍රීතියද? නේපාලයෙහි හිමාල කඳුකරයෙහි තිබෙන එවරෙස්ට් කන්ද තරණය කිරීම, අප බොහෝදෙනෙකුට කළ නොහැකි යමක් වනු ඇත. එහෙත්, හිමාල කඳුවලටත් වඩා උස්වූ කන්දක් නේපාලයෙහි ජනයා බොහෝදෙනෙක් තරණය කරමින් සිටිති! මෙම උදාර කන්දට වූ මේ ගමන ගැන සොයා බැලීමට පෙර, අපි කුඩා නමුත් සුන්දර නේපාල රාජධානිය දෙස බැල්මක් හෙළමු.
නේපාලය—කඳුකර රාජධානිය
නේපාල රාජධානිය, ලොවෙහි තවමත් පවතින රාජාණ්ඩු ස්වල්පයෙන් එකක් වන නිසාත්, එය ලෞකික නොව, ආගමික රාජ්‍යයක් වන නිසාත්, එය අසාමාන්‍ය රාජධානියකි. නේපාලය වූ කලි ලොවෙහි පවතින එකම හින්දු රජය වන්නේය. එහි වැසියන් මිලියන 20න් බහුතරයක්ම හින්දු භක්තිකයෝ වෙති. කෙසේවෙතත්, එහි ජනයාගේ වාර්ගික මූලාරම්භය දෙස බලන කල, මහත් විවිධත්වයක් තිබේ. උතුරු කඳුකර ප්‍රදේශයේ ජීවත්වන අයට බොහෝදුරට ටිබෙට-බුරුම මූලාරම්භයක් තිබෙන අතර, දකුණුදිග නිම්නවල වෙසෙන ජනයාට ප්‍රධාන වශයෙන් ඉන්දීය-ආර්ය පසුබිමක් තිබේ. රටෙහි නිල භාෂාව නේපාලි වන අතර, ජනයාගෙන් සියයට 60කටම මව්බස වශයෙන් එය ක්‍රියා කරයි. ඉතිරි කොටස් ජනවර්ග භාෂා 18කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරති.
නැඟෙනහිර සිට බස්නාහිර දක්වා කිලෝමීටර් 880ක්ද, උතුර සිට දකුණ දක්වා කිලෝමීටර් 200කින් යුත් නේපාලය, යම් දුරකට ඍජුකෝණාස්‍රයක හැඩය ගනී. එම රටෙහි උතුරු මායිම සකස් කරන්නාවූ ගරුබිය දනවන හිමාලය කඳුවැටියට, මීටර් 8,848ක් උස්වූ ලොවෙහි උසම කඳුමුදුන වන එවරෙස්ට් කන්දද, මීටර් 8,000කට වඩා උස්වූ වෙනත් කඳුමුඳුන් අටක්ද ඇතුළත් වේ. මධ්‍යම නේපාලයෙහි එතරම් උස නොවූ කඳුද, විල්ද, නිම්නද වෙත්. ඉන්දියාවේ මායිම අසල තවත් දකුණට, ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශය වූ සාරවත් ටාරයි බිම් පිහිටා තිබේ.
මධ්‍යම ප්‍රදේශයේ පිහිටා තිබෙන අගනුවර වූ කාත්මාණ්ඩු, සැබවින්ම සංචාරකයන් සඳහා සිත්ඇදගන්නාසුලු නුවරකි. එතැන් සිට මහිමාන්විත කඳු ඉහළින් අහස්යානාවල ගමන් කිරීමටත්, වනසත්වෝද්යානවල සංචාරයන් කිරීමටත්, අවට ප්‍රදේශයේ ඕනෑ තරම් තැන් බැලීමටත් හැකියාව තිබේ. ආගම නේපාලයේ ජනයාගේ ජීවිත තුළ වැදගත් භූමිකාවක් රඟන නිසා, එය සමහරවිට දෙවියන්ගේ නිම්නය හැටියට හඳුන්වා තිබේ. එමෙන්ම ලෝවටා මිලියන සංඛ්‍යාත ජනකායක් හිමාල කඳුවලටත් වඩාත් උස්වූ “කන්දට” ගමන් කරමින් සිටීමට හේතුව ආගම වේ.
අවුරුදු 2,700කට පමණ පෙර, “මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; . . . බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ කන්දට . . . යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි” පුරෝකථනය කිරීමට හෙබ්‍රෙව් අනාගතවක්තෘ යෙසායාට ආනුභාවය ලැබිණ. (යෙසායා 2:2, 3) මෙහිදී, විශ්වයේ මැවුම්කරු හා පරමාධිපති පාලකයාණන් වන යෙහෝවඃවහන්සේට පිරිනමන උත්කෘෂ්ට නිර්මල නමස්කාරය, කන්දකට සමාන කොට තිබේ, මෙය වනාහි කඳුවලට සමාන කළ හැකි වෙන ඕනෑම නමස්කාර ක්‍රමයකට වඩාත් උසස් කරන ලද්දේය. එය වනාහි සත්‍යයට කුසගින්නක් දක්වන ජනයාට යෙහෝවඃවහන්සේගේ මාර්ග ගැන ඉගෙනගැනීමට උපකාර කරන ලෝක ව්‍යාප්ත අධ්‍යාපන කර්තව්‍යයක විෂය වේ. මෙම කර්තව්‍යය නේපාලයෙහි ආරම්භ වූයේ කෙසේද?
කුඩා ආරම්භයක්
දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය හමුදාවෙහි සොල්දාදුවෙක් සැබෑ ආගම සොයමින් සිටියේය. ඔහුගේ නේපාල ජාතික හින්දු දෙමාපියන් කතෝලික ධර්මයට හැරී තිබිණ. වැඩෙත්ම, පිළිම වන්දනාවේ නිරර්ථකභාවය දුටු ඔහු, නිරාගින්න පිළිබඳ ඉගැන්වීම වැනි ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළේය, එමෙන්ම රෙපරමාදු සභාවල විශ්වාසයන් විමසා බැලීමට හේ පටන්ගත්තේය. එහෙත් ඔහු සෑහීමට නොපැමිණියේය.
එවකට බුරුමයේ රැංගුන්හි ජපන් ජාතිකයන් විසින් සිරභාරයට ගනු ලැබූ මෙම සොල්දාදුවා, සැබෑ නමස්කාරය සඳහා තම සෙවිල්ල දිගටම කරගෙන යෑම සඳහා ශ්‍රම කඳවුරේ දුෂ්කරතාවලින් බේරී ජීවත්වීමට යාච්ඤා කළේය. පසුව, අත්අඩංගුවට ගත් අයගෙන් පලායෑමට හැකිවූ ඔහුට පාසැල් ගුරුවරයෙකුගෙන් උපකාර ලැබිණ, එම ගුරුවරයාගේ නිවසෙහි ඔහුට ජේ. එෆ්. රදෆඩ් විසින් රචනය කරන ලද වෙයාර් ආර් ද ඩෙඩ්? (මළාහු කොතැනද?) යන පොත් පිංචය හමුවිය. මෙහි සත්‍යතාවක් තිබූ බවට තේරුම්ගත් ඔහු, 1947දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔහුව බැහැදැකීමට පැමිණි විට පාඩමක් කිරීමට මහත් උනන්දුවෙන් එකඟ වුණේය. මාස ස්වල්පයක් ඇතුළත ඔහු බව්තීස්ම ලැබුවේය, වැඩි කලක් යන්ට මත්තෙන් ඔහුගේ තරුණ බිරිඳද බව්තීස්ම වුණාය. ඉන්දියාවේ පදිංචිය සඳහා යෑමට තීරණය කළ ඔවුහු, ඊශාන දිග කඳුකරයේ පිහිටි, තම ගම වූ කාලිම්පෝන්හි පදිංචි වූහ. ඔවුන්ගේ දරුවන් දෙදෙනා උපත ලැබුවෙත් අධ්‍යාපනය ලැබුවෙත් මෙහිදීය. වර්ෂ 1970 මාර්තු මාසයේදී, ඔවුහු කාත්මාණ්ඩු දක්වා පදිංචිය මාරු කළහ.
නේපාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්‍ය ආගමකට හැරවීම තහනම් කර තිබිණ. විදේශීය ලෙස හඳුන්වනු ලැබූ ආගමක් පතුරුවා හැරීමෙහි නිරත වූ කෙනෙකුව සොයාගනු ලැබුවා නම්, ඔහුට අවුරුදු හතක සිර දඬුවමක් ලැබීමට ඉඩකඩ තිබිණ, එමෙන්ම එවන් ආගමකට එක්වූ කෙනෙකුට අවුරුදු තුනක සිර දඬුවමක්ද දැඩි දඩ මුදලක් ගෙවීමටද ඉඩකඩ තිබිණ. එනිසා සාක්ෂිදැරීම පරෙස්සමින් කළ යුතුව තිබිණ. ගෙයින්-ගෙට සේවය යන්නෙන් අදහස් කළේ, එක් නිවසකට යෑමෙන් අනතුරුව, වෙනත් ප්‍රදේශයකට ගොස් තවත් නිවසකට යෑමය. ශුභාරංචිය පතළ කිරීමේදී, අවිධිමත් සාක්ෂි දැරීම වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව තේරුම්ගත හැකි දෙයකි.
ප්‍රතිඵල පැමිණියේ ඉතාමත් සෙමින්ය. මිලියන දහයක පමණ ජනගහනයක් සමන්විත ක්ෂේත්රයක් පියවීම ඉතා අධෛර්යය කරවනසුලු යමක් සේ දිස්විය. මෙම තනි වූ පවුල මිතුරන්ට, අඳුනන අයට, වැඩපොළේ ස්වාමිවරුන්ට හා සෙසු වැඩකරුවන්ට සාක්ෂි දරත්ම සත්‍යයේ බීජ වපුරනු ලැබීය. සිය නිවසෙහි නිතිපතා රැස්වීම් පැවැත්වූ ඔවුහු, උනන්දුව දැක්වූ අයට ඔවුන් හා එක්වීමට ඇරයුම් කළහ. අන්තිමේදී, අවුරුදු හතරක් පුරා අත්නෑර සිටුවීමෙහි හා වතුර වත් කිරීමෙහි නියැලී සිටීමෙන් පසුව, නේපාලයෙන් පළමු ඵලදාව නෙළනු ලැබීය—ඇරත් එය පැමිණියේ සිතාගත නොහැකි මූලාශ්රයකිනි!
නිවසකට ගිය ප්‍රචාරකයාට, රජ පවුලේ සාමාජිකයෙකුගේ ලේකම් වූ ධනවත් මිනිසෙකු හමුවිය. “මගේ පුතාට කතා කරන්න” කියා එම මිනිසා පැවසීය. පුතා බයිබල් පාඩමකට එකඟ වීය. ඔහු සූදුවේ නියැලෙන කැසිනෝවක වැඩ කරමින් සිටි නිසා, කල්යත්ම ඔහු තම රැකියාව වෙනස් කළේය. ඉතාමත් ලැදි හින්දු භක්තිකයෙක් වූ ඔහුගේ පියා ඔහුට විරුද්ධ වූයේය. කෙසේවෙතත්, මෙම තරුණ පුරුෂයා යෙහෝවඃවහන්සේ වෙනුවෙන් ස්ථාවරයක් ගත්තේය. ප්‍රතිඵලය? ඉන්පසුව ඔහුගේ පියා ඔහුට විරුද්ධ වීම අත්හැරියේය, එමෙන්ම කිට්ටු ඥාතීහු කණ්ඩායමක් බයිබලයේ සත්‍යතාව පිළිගත්හ. ඔහු දැන් ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු හැටියට සේවය කරයි.
ආත්මික වශයෙන් ශක්තිමත්ව සිටීමට හා එකිනෙකාගේ එක්රැස්වීම් අත්නාරින ලෙසට වූ ශුද්ධ ලියවිලිමය ආඥාවට අවනත වීම සඳහා, කාත්මාණ්ඩුහි සිටින කුඩා කණ්ඩායම නිතිපතා රැස්වීම් කුඩා නිවසක පැවැත්වූහ. එහෙත් බොහෝදුරට, සහෝදරයන්ට වඩාත් විශාල රැස්වීම්වලට යෑමට බැරි විය. වත්පොහොසත්කමක් තිබූ අය ඉන්දියාවේ එක්රැස්වීම් සඳහා ගමන් කළෝය—මෙය වනාහි කඳු පංති හරහා, දිර්ඝ මිල අධික ගමනකි.
ඔවුන් රැස්වීම් පැවැත්වූ නිවසෙහි මුළු දිස්ත්‍රික් සමුළු වැඩසටහනම ඉදිරිපත් කරනු ලැබූ විට එය මොනතරම් ප්‍රීතිමත් අවස්ථාවක් වීද! මුළු වැඩසටහනම, ඉන්දීය ශාඛාවේ සාමාජිකයෙකු ඇතුළත්ව, සහෝදරයන් සිව්දෙනෙකු විසින් හසුරුවනු ලැබීම සිතා බලන්න! බයිබල් නාට්‍යය පවා ඉදිරිපත් කරනු ලැබීය. ඒ කෙසේද? ඉන්දියාවේ, වෙස් සහිත පෙරහුරුවකදී ස්ලයිඩ් පින්තූරු ගෙන තිබිණ. නේපාලයේදී, මෙම ස්ලයිඩ් පින්තූරු තිරයක් මත දර්ශනය කරනු ලැබූ අතර, ඒ සමඟ පටිගත කරනු ලැබූ දෙබස් වාදනය කරනු ලැබීය. එය නැරඹූ අයගේ මහත් සතුටට හේතුවක් විය. එම නරඹන්නන්ගේ සංඛ්‍යාව කොපමණ වීද? පුද්ගලයෝ දහඅටදෙනෙකි!
දේශනා කිරීමේ වැඩයට රටින් බැහැරව ලැබූ උපකාරය සීමාසහිත විය. මිෂනාරි සේවය කළ හැකි යමක් නොවූ අතර, ලෞකික රැකියා ලබාගැනීම විදේශිකයන්ට දුෂ්කර කාර්යයක් විය. කෙසේවෙතත්, ඉන්දියාවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට නේපාලයේ වෙන වෙනස් කාලපරිච්ඡේදවලදී රැකියා ලැබීමට හැකි විය, කාත්මාණ්ඩුහි වර්ෂ කිහිපයක් ගත කළ ඔවුහු, අලුතෙන් බිහිවූ සභාව ශක්තිමත් කිරීමට දායක වූහ. වර්ෂ 1976 වන විට, කාත්මාණ්ඩුහි ප්‍රචාරකයෝ 17දෙනෙක් සිටියහ. වර්ෂ 1985දී සහෝදරයෝ තමුන්ගේම රාජ්‍ය ශාලාව ගොඩනැඟූහ. එය නිම කළායින් පසුව, වාර්ෂික දිස්ත්‍රික් සමුළුද, වෙනත් එක්රැස්වීම්ද, එහි විධිමත් ලෙස පවත්වනු ලැබීමට පටන්ගති. සැබවින්ම එම ශාලාව, එම හුදෙකලා කඳුකර ප්‍රදේශයේ නිර්මල නමස්කාරයේ කේන්ද්‍රස්ථානය විය.
දුෂ්කරතා මධ්‍යයෙහි වැඩිවර්ධනය
ඒ මුල් කාලවලදී, ඉතා පරෙස්සමින් කරනු ලැබූ දේශනා කිරීමේ කර්තව්‍යය, අධිකාරීන්ගේ අවධානයට එතරම් යොමු නොවී තිබිණ. කෙසේවෙතත්, 1984 අවසානයක් කරා ළඟා වීමත් සමඟ, සීමා තහංචි පැනවීම ඇරඹීය. සහෝදරයෙකු සහ සහෝදරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, තම ක්‍රියාකාරකම් නොකරන මෙන් අවවාදයක් ඇතුව මුදනු ලැබීමට පෙර ඔවුහු අත්අඩංගුවේ දවස් සතරක් සිටියහ. එක්තරා ගමක, තම නිවාසවල බයිබල් පාඩම් පවත්වමින් සිටි අතරතුරේදී, නවදෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබීය. හයදෙනෙකුට සිරභාරයෙහි දවස් 43ක් ගත කිරීමට සිදුවිය. එලෙස අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කරනු ලැබූ නමුත්, ඔවුන්ට විරුද්ධව යම් නීතික පියවරක් ගනු ලැබුවේ නැත.
වර්ෂ 1989 තරම් මෑතකදී, එක් සභා පොත් පාඩමක සහෝදර සහෝදරියන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන, දවස් තුනකට රඳවා, අනතුරුව මුදනු ලැබීය. ඔවුන් දේශනා නොකරන බවට කියාපාන ප්‍රකාශයක් මත අත්සන් තබන මෙන්, ඔවුන්ගෙන් ඇතැම් අවස්ථාවන්වලදී ඉල්ලා සිටින ලදි. ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. සමහරුන්ව මුදාහරිනු ලැබුවේ ඔවුන් ප්‍රකාශ පත්‍රයක් අත්සන් කළායින් පසුව පමණි, එහි සඳහන් කර තිබුණේ ඔවුන් දේශනා කරනවා දැක නැවත අසුවුණොත් එහි ප්‍රතිඵල විඳීමට ඔවුන් කැමති වනු ඇති බවය.
මෙවන් දුෂ්කරතා හමුවෙහි, සහෝදරයෝ දිගටම රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙහි නිරත වූහ. උදාහරණයක් වශයෙන්, ආණ්ඩුවේ තහංචි පනවනු ලැබූ වර්ෂයට පසු වර්ෂය වූ 1985දී, දේශනා කළ අයගේ සංඛ්‍යාව සියයට 21කින් වැඩිවර්ධනය විය. අනුන්ට නිර්මල නමස්කාරය පිළිබඳ කතා කිරීමෙහි, ප්‍රචාරකයෝ 35දෙනා මසකට සාමාන්‍යයෙන් පැය 20ක් වැය කළහ.
කාලයාගේ ඇවෑමෙන්, නේපාලය දේශපාලන වෙනස්කම්වලට භාජන වීමට පටන්ගති. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කිසිදු තර්ජනයක් එල්ල නොවන බව ආණ්ඩුවේ නිලධාරීන්ට අවබෝධ විය. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන්ගේ බයිබල් අධ්‍යාපන කර්තව්‍යය ජනයා කෙරෙහි කදිම වර්ධනයක් ගෙන දෙන බලපෑමක් ඇති කළේය, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු වඩාත් හොඳ පුරවැසියෝ බවට පත්වූහ. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකරන්නන් සඳහා මූලික නියමයන් වශයෙන්, අවංකකම, වෙහෙසව වැඩ කිරීම හා ඍජු සදාචාර හැසිරීම අවධාරණය කරනු ලැබූ බව නිලධාරීහු දුටූහ.
කලින් ඉතා ශ්රද්ධාවත් හින්දු කාන්තාවක සාක්ෂිකාරියක බවට පත්වී රුධිර ප්‍රවේශනයක් ගැනීම ප්‍රතික්ෂේප කළ විට, කදිම සාක්ෂියක් දෙන ලදි. ඇගේ ස්ථිරසාර අවබෝධයෙන් යුතුව ගෙන තිබූ ස්ථාවරය වෛද්‍යවරුන්ගේ මවිතයට හේතුවක් විය. මෙම කාන්තාවට සත්‍යය උගන්වනු ලැබුවේ පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! විවරණිකාව උපයෝගි කිරීමෙනි. ඇගේ පවුලෙන් විරුද්ධවාදීකම් හා සරදම් එල්ල වුවද, මෙම කාන්තාව වයස අවුරුදු 70ට ළඟා වීමත් සමඟ 1990දී බව්තීස්ම ලැබුවාය. අනතුරුව ඇගේ කකුල කැඩුණු නිසා, වෙනත් වෛද්‍යමය දුෂ්කරතා මගින් පීඩාවට ලක්වෙමින්, බරපතළ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවිය. වෛද්‍යවරුන්ගෙන් හා ඥාතීන්ගෙන් රුධිරය පිළිගැනීමට වූ පීඩනයට එරෙහිව ඈ සති දෙකක් පුරා ස්ථිරව සිටියාය. අවසානයේදී, ශල්‍යකර්ම කණ්ඩායම රුධිරය භාවිත නොකොට ශල්‍යකර්මය සාර්ථකව සිදු කළෝය. මෙම විශ්වාසවන්ත සහෝදරීට එහා මෙහා ගමන් කිරීම අපහසු යමක් වුවද, ඈ හැම දිනකම ඇගේ ගේට්ටුව ළඟ හිඳ, මඟීන්ට තමා ළඟ හිඳගෙන ප්‍රීතිමත් ශුභාරංචියකට කන්දීමට ආරාධනා කරන්නීය.
අදදින නේපාලය
අදදින නේපාලයේ කෙබඳු තත්වයක් තිබේද? ලොව පුරා වෙසෙන සෙසු සහෝදරයන්ට සමානව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ නමස්කාරය සඳහා ප්‍රමාණවත් නිදහසක් භුක්තිවිඳිති. රූපික කඳු නඟින්නන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු හෝ සැබෑ නමස්කාරයේ කන්ද තරණය කරන අයට එකතු වූ දා සිට, වැඩිවෙමින් පවතින ජන සංඛ්‍යාවක් මෙසේ පවසා ඇත, ‘එන්න, අපි යෙහෝවඃවහන්සේගේ කන්දට යමු.’ වර්ෂ 1989 වන විට, සෑම මාසයකම සාමාන්‍යයෙන් 43දෙනෙක් දේශනා සේවයට සහභාගි වෙමින් සිටියෝය, තවද එම අවුරුද්දේදී ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට 204දෙනෙක් පැමිණියහ.
එවිට, පොරොන්දු වී තිබුණාක් මෙන්, යෙහෝවඃවහන්සේ ස්වකීය ගෘහය තුළට සත්‍යය සොයන්නන් එකතු කිරීම වේගවත් කිරීමට පටන්ගත්සේක. (යෙසායා 60:22) මෑතකදී දෙවන සභාවක් කාත්මාණ්ඩුහි පිහිටුවනු ලැබූ අතර, දැන් අගනුවරින් පිට හුදෙකලා කණ්ඩායම් දෙකක් තිබේ. වර්ෂ 1994 අප්‍රියෙල් මාසයේදී, දේශනා සේවයෙහි සහභාගි වූ බවට වාර්තා කළ ක්‍රිස්තියානීහු 153දෙනෙක් සිටියහ—අවුරුදු පහකටත් වඩා අඩු කාලයක් තුළ සියයට 350ක වැඩිවීමකි! ඔවුහු උනන්දුව ඇති අය සමඟ නිවාස බයිබල් පාඩම් 386ක් පැවැත්වූහ. වර්ෂ 1994දී සිහිකිරීමේ උත්සවයේදී, ඉමහත් ප්‍රීතියකට තුඩු දුන් 580දෙනෙක් ඒ සඳහා පැමිණියහ. විශේෂ එක්රැස්වීම් දිනක් සඳහා, 635දෙනෙක් ශාලාව තුළ එක්රැස්වී සිටියහ, එමෙන්ම 20දෙනෙක් බව්තීස්මය සඳහා ඉදිරිපත් වූහ. එනිසා ලෝක ව්‍යාප්තව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් භුක්තිවිඳිනු ලබන මහත් වර්ධනය කුඩා නේපාලයේදී පවා සිදුවෙමින් පවතී.
මෑත වර්ෂ තුළදී නේපාල භාෂාවෙන් ප්‍රකාශයට පත් කොට තිබෙන පොත් පත් බෙහෙවින් වැඩිවර්ධනය වී ඇති අතර, මෙය නිහතමානී අයට උපකාර කර තිබෙන්නේ සත්‍යය තදින් අල්ලා ගැනීමටය. පරිවර්තන ශිල්පය හා පරිගණක භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාවේ ශාඛා කාර්යාලයේ පුහුණුව ලබා තිබෙන පරිවර්තකයෝ දැන් කාත්මාණ්ඩුහි පූර්ණකාලීනව සේවය කරති. වැඩිවර්ධනය වීම සඳහා සන්නාහ සන්නද්ධ වී සිටින, නේපාලයේ දේවාණ්ඩු කඳු තරණය කරන්නෝ ඉදිරියට ඇදී යමින් සිටිති!
හිමාලයටත් වඩා උසට නඟින්න
හිමාලයටත් වඩා උස්වූ කන්ද තරණය කිරීම ඔබටත් භුක්තිවිඳිය හැකි යමක් වේ. ඔබ එසේ කරන්නෙහි නම්, නේපාලයේ සිටින අයට පමණක් නොව නමුත් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණෙන මිලියන සංඛ්‍යාතයට ඔබ එකතු වන්නෙහිය. (එළිදරව් 7:9) ඔවුන් සමඟ ඔබ, නේපාලයේ තිබෙන මහිමාන්විත කඳුවලට සමාන කඳුවල මැවුම්කරුගෙන් උපදෙස් ලැබීම භුක්තිවිඳින්නෙහිය. මැවුම්කරු “කාරණා නිශ්චය” කරන අන්දම ඔබ දකින්නෙහිය, එමෙන්ම පිරිසිදු කරන ලද මෙන්ම අලංකාරවත් කරන ලද පොළොවක් මත සදාකල් ජීවත්වීමේ බලාපොරොත්තු දෙස ඔබට ඕනෑකමින් බලා සිටිය හැක.—යෙසායා 2:4.
[24වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
කාත්මාණ්ඩු
එවරෙස්ට් කන්ද
[25වන පිටුවේ පින්තූරය]
කාත්මාණ්ඩුහි රාජ්‍ය ශාලාවෙන් පිටත
[26වන පිටුවේ පින්තූරය]
නේපාලයේ බොහෝදෙනෙක් බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ලබත්