“ඔබේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවය”
“ඔබේ ශරීර දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ, ජීවමාන, පරිශුද්ධ යාග හැටියටද ඔබේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවයක් හැටියටද ඔප්පු කරන්න.”—රෝම 12:1, NW.
1, 2. බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීමට ඉගෙනගැනීම, අලුත් භාෂාවක් හොඳින් හැසිරවීමට ඉගෙනගැනීම හා සමාන වන්නේ කෙසේද?
අලුත් භාෂාවක් ඉගෙනගැනීමට ඔබ කවදා හෝ තැත් කර තිබේද? ඔබ එසේ කර ඇත්නම්, එය දුෂ්කර කාර්යයක් බවට ඔබ එකඟ වනවා නිසැකය. කෙසේ හෝ ඒ දෙස බැලුවත්, නිකම්ම අලුත් වචන ඉගෙනගැනීමට වැඩි යමක් ඒ හා සම්බන්ධව පවතී. භාෂාවක් ව්‍යක්ත ලෙස භාවිත කිරීමට නම් එහි ව්‍යාකරණ පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍යය. වචන එකිනෙක හා සම්බන්ධ වන අන්දමත්, සම්පූර්ණ සිතුවිලි සෑදීමට ඒවා සම්බන්ධ වන අන්දමත් ඔබ හොඳින් තේරුම්ගත යුතුය.
2 දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ දැනුම ලබාගැනීමට නම්, අප ඒ හා සමාන යමක් කළ යුතුය. තෝරාගත් ශුද්ධ ලියවිලි පද ඉගෙනගැනීමට වඩා වැඩි යමක් මීට සම්බන්ධව පවතී. යම් හෙයකින් කියනවා නම්, අප විසින් බයිබලයේ ව්‍යාකරණ ඉගෙනගැනීමද අවශ්‍ය වේ. ශුද්ධ ලියවිලි පාඨ එකිනෙක හා සම්බන්ධ වන අන්දමත්, එදිනෙදා ජීවිතයේදී අදාළ කළ හැකි ප්‍රතිපත්ති හැටියට ඒවා ක්‍රියා කරන අන්දමත් අප ග්‍රහණය කරගත යුතුය. මෙසේ අපට “සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව” සිටීමට හැකිවනවා ඇත.—2 තිමෝති 3:16අ.
3. දෙවියන්වහන්සේට සේවය කිරීම සම්බන්ධයෙන්, පො.යු. 33දී කුමන වෙනසක් සිදුවීද?
3 මෝසෙස්ගේ ව්‍යවස්ථා සංග්‍රහය නමැති විධිවිධානය යටතේ, හොඳින් නිර්වචනය කළාවූ නීතිවලට තදින් ඇලී සිටීමෙන්, විශ්වාසවන්තකම බොහෝදුරට විදහාපෙන්වීමට හැකියාව තිබිණ. කෙසේවෙතත්, පො.යු. 33දී, යෙහෝවඃවහන්සේ ව්‍යවස්ථාව අහෝසි කළසේක, ඇත්තෙන්ම කියනවා නම්, උන්වහන්සේ ස්වකීය පුත්‍රයාව මරණයට පත් කිරීම සඳහා උපයෝගි කර තිබුණාවූ ‘වධකණුවෙහි එය ඇණගැසුවා’ හා සමානය. (කොලොස්සි 2:13, 14) ඉන් මත්තට, පිදීමට පූජාද අනුගමනය කිරීමට නීතිද සමන්විත දීර්ඝ ලැයිස්තුවක් දෙවියන්වහන්සේගේ සෙනඟට නොදෙන ලදි. ඒ වෙනුවට ඔවුන්ට මෙසේ පවසනු ලැබීය: “ඔබේ ශරීර දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ, ජීවමාන, පරිශුද්ධ යාග හැටියටද ඔබේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවයක් හැටියටද ඔප්පු කරන්න.” (රෝම 12:1, NW) එසේය, ක්‍රිස්තියානීන් තම මුළු හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් දෙවියන්වහන්සේගේ සේවය තුළ වීර්යය කළ යුතු විය. (මාර්ක් 12:30; සසඳන්න ගීතාවලිය 110:3.) “ඔබේ විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවය” පිරිනැමීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4, 5. අපේ විමර්ශනාත්මක ශක්තියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහි සම්බන්ධ වී තිබෙන්නේ කුමක්ද?
4 “විමර්ශනාත්මක ශක්තිය” යන යෙදුම පරිවර්තනය කොට තිබෙන්නේ, ලො·ජි·කොස්ʹ යන ග්‍රීක් වචනයෙනි, එහි තේරුම වූ කලි, “තර්කාන්විත” නොහොත් “බුද්ධිමත්” වන්නේය. දෙවියන්වහන්සේගේ සේවකයන්ගෙන් සිය බයිබලය මගින් පුහුණු කරන ලද හෘදයසාක්ෂිය උපයෝගි කරගැනීමට ඉල්ලා සිට තිබේ. කලින් තීරණය කරන ලද, නොයෙක් නොයෙක් නීති මත තම තීරණ පදනම් කරගන්නවා වෙනුවට, ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්ති පරෙස්සමින් කිර මැන බැලිය යුතුය. බයිබලයේ “ව්‍යාකරණ” තේරුම්ගත යුතු ඔවුන්ට, එහි විවිධ ප්‍රතිපත්ති එකිනෙකට නෑකම් කියන අන්දමත් තේරුම්ගැනීම අවශ්‍යය. මෙසේ තම විමර්ශනාත්මක ශක්තිය ඇතුව ඔවුන්ට සමබර තීරණවලට එළඹිය හැක.
5 ක්‍රිස්තියානීන්ට ව්‍යවස්ථාවක් නොමැති බව මින් අදහස් කෙරේද? කිසිසේත් නැත. පිළිම වන්දනාව, ලිංගික දුරාචාරය, මිනීමැරීම, බොරුකීම, භූතවාදය, රුධිරය අනිසි භාවිතය හා වෙනත් පාප බොහොමයක් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල පැහැදිලිවම තහනම් කෙරේ. (ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 6:9, 10; එළිදරව් 21:8) එහෙත්, ඉශ්රායෙල්වරුන්ගෙන් අපේක්ෂා කළාටත් වඩා අතිශයින් ඉමහත් වූ ප්‍රමාණයකට, බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගෙන අදාළ කිරීම සඳහා අප අපේ විමර්ශනාත්මක ශක්තිය භාවිත කළ යුතුය. අලුත් භාෂාවක් ග්‍රහණය කිරීමට වෑයම් කරනවා හා සමානව, මේ සඳහා කාලය හා ශ්‍රමය වැය කිරීම අවශ්‍ය වේ. අපේ විමර්ශනාත්මක ශක්තිය කෙසේ වගා කළ හැකිද?
ඔබේ විමර්ශනාත්මක ශක්තිය වගා කිරීම
6. බයිබලය අධ්‍යයනය කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?
6 පළමුකොට, අපි බයිබලයේ උනන්දුමත් ශිෂ්‍යයෝ විය යුත්තෙමු. දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් ලද වචනය, “ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16ආ) ගැටලුවකට පිළිතුර එකම එක බයිබල් පදයක් තුළ පැහැදිලිව දක්නට ලැබීම අප හැම විටම අපේක්ෂා නොකළ යුතුය. ඒ වෙනුවට, යම් නිශ්චිත තත්වයක් හෝ ගැටලුවක් කෙරෙහි ආලෝකය හෙළන ශුද්ධ ලියවිලි පාඨ කිහිපයක් තර්කානුකූලව විමර්ශනය කිරීමට අපට සිදුවිය හැක. කාරණය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ චින්තනය සඳහා අපහට උත්සාහවන්ත සෙවිල්ලක් කිරීම අවශ්‍ය වන්නේය. (හිතෝපදේශ 2:3-5) “නුවණ [අවබෝධ, NW] ඇත්තා හොඳ ගුරුකම් ලබා” ගන්නා බැවින් අපහට අවබෝධයද අවශ්‍ය වේ. (හිතෝපදේශ 1:6) අවබෝධයෙන් යුක්තව සිටින පුද්ගලයෙකුට කාරණයක තනි සාධක වෙන් කොට ඒවා එකිනෙකට සම්බන්ධ වන අන්දම නිශ්චය කරගත හැක. ප්‍රහේලිකාවක් නිරවුල් කරන්නාක් මෙන්, ඔහුට මුළු චිත්‍රයම දැකගත හැකිවන පරිදි, ඔහු කැබලි එකට සම්බන්ධ වන පරිදි එකට එකතු කරයි.
7. හික්මවීම පිළිබඳ බයිබල් ප්‍රමිති සම්බන්ධයෙන් දෙමාපියන්ට තර්කානුකූලව විමර්ශනය කළ හැක්කේ කෙසේද?
7 දෙමාපියන් වීමේ කාරණය උදාහරණයකට ගන්න. තම පුත්‍රයාට ප්‍රේම කරන පියා “කල්තබා ඔහුට දඬුවම්” කරන බව හිතෝපදේශ 13:24 පවසයි. මෙම ශුද්ධ ලියවිලි පාඨය තනිව ගත්කල, පරුෂ, දයා විරහිත දඬුවම් පිරිනැමීම යුක්තිසහගත යමක් බවට එය වරදවා අදාළ කරගත හැකිය. එහෙත්, කොලොස්සි 3:21 සමබර කරවනසුලු අවවාද සපයා දෙයි: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.” තම විමර්ශන ශක්තිය භාවිත කරන්නාවූද මෙම ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන දෙමාපියෝ, “පීඩාකාරි” ලෙස නම් කළ හැකි හික්මවීමට යොමු නොවන්නෝය. ඔවුහු තම දරුවන්ට උණුසුම්භාවයෙන්, අවබෝධයෙන් හා ගරුත්වයෙන් යුතුව සැලකිල්ල දක්වන්නෝය. (එපීස 6:4) මෙසේ, දෙමාපියන් වීමේ කාරණයේදී, නැතහොත් බයිබල් ප්‍රතිපත්ති අදාළ වන වෙනත් ඕනෑම කාරණයකදී, අදාළව පවතින සාධක සියල්ල කිර මැන බැලීමෙන් අපට අපේ විමර්ශනාත්මක ශක්තිය වැඩි වර්ධනය කරගත හැකිය. මෙලෙස බයිබල් ප්රතිපත්තිවල “ව්‍යාකරණ,” එනම් දෙවියන්වහන්සේ අදහස් කළ දෙයද, එම අදහස ඉටු කරගත හැකි අන්දමද, අපට නිශ්චය කරගත හැකිය.
8. විනෝදාස්වාදය ගත් කල, දැඩි, ආධානගාහී දෘෂ්ටිකෝණ දැරීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?
8 අපේ විමර්ශනාත්මක ශක්තිය වගා කළ හැකි දෙවන ආකාරයක් නම්, ඍජු, ආධානගාහී දෘෂ්ටිකෝණ දැරීම මඟහැරීමය. අපේ විමර්ශනාත්මක ශක්තියේ වර්ධනයට නම්‍යසුලු නොවන ආකල්පයක් බාධාවකි. විනෝදාස්වාදය හා සම්බන්ධ කාරණය සලකා බලන්න. බයිබලය මෙසේ පවසයි: “මුළු ලෝකයා නපුරා තුළ” සිටී. (1 යොහන් 5:19) ලෝකය මගින් නිපදවනු ලබන සෑම පොත පතක්ම, චිත්‍රපටියක් හෝ රූපවාහිනී වැඩසටහනක්ම දූෂිත හෝ සාතන්ගේ ආභාෂය සහිත බව මින් අදහස් කෙරේද? එවන් දෘෂ්ටියක් දැරීම සාධාරණ බව සිතීම උගහටය. රූපවාහිනියෙන්, චිත්‍රපටිවලින් හෝ ලෞකික පොත් පත්වලින් බැහැරව සිටීමට සමහරුන් තෝරාගන්නවා විය හැකි බව සැබෑය. එය ඔවුන්ගේ අයිතිවාසිකම වන අතර, ඒ සඳහා ඔවුන් කෙරෙහි විවේචන නොපැමිණවිය යුතුය. එහෙත් ඒ හා සමාන දැඩි ස්ථාවරයක් ගැනීමට ඔවුන්ද අනුන් කෙරෙහි පීඩන නොපැමිණවිය යුතුය. අපේ විවේකය හෝ විනෝදාස්වාදය සඳහා ප්‍රඥාවන්ත තේරීමක් කිරීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති දක්වන ලිපි, සමිතිය මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම මාර්ගදර්ශක නොසලකා, මේ ලෝකයේ විනෝදාස්වාදයේ බෙහෙවින් දක්නට ලැබෙන දුරාචාරමය චින්තනයට, බරපතළ සාහසිකකමට හෝ භූතවාදයට නිරාවරණය වීම බෙහෙවින් නුවණට හුරු යමක් නොවේ. ඇත්තෙන්ම, විනෝදාස්වාදය සම්බන්ධයෙන් ප්‍රඥාවන්ත තේරීමක් කිරීමට නම්, දෙවියන්වහන්සේ හා මිනිසා ඉදිරියෙහි පිරිසිදු හෘදයසාක්ෂියක් ඇතුව සිටීම සඳහා අප අපේ විමර්ශනාත්මක ශක්තිය භාවිත කළ යුතුමය.—1 කොරින්ති 10:31-33.
9. ‘සියලු ආකාර තෝරා බේරා ගැනීමේ හැකියාව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
9 අදදින දක්නට ලැබෙන විනෝදාස්වාදයෙන් වැඩිහරියක් ක්‍රිස්තියානීන්ට නුසුදුසු බව මොනවට පැහැදිලිය.a එමනිසා, “[සදාචාර, NW] හැඟීමක් නැතුව” සිටියාවූ පළමු සියවසේ සමහරෙකු මෙන් නොවීමට නම්, “නපුරට වෛර” කිරීම සඳහා අපි අපේ හදවත් පුහුණු කළ යුත්තෙමු. (ගීතාවලිය 97:10; එපීස 4:17-19) මෙවන් කාරණා මත තර්කානුකූලව විමර්ශනය කිරීම සඳහා අපට ‘ඒකාන්ත දැනුම හා සියලු ආකාර තෝරා බේරා ගැනීමේ හැකියාව’ [NW] අවශ්‍ය වේ. (පිලිප්පි 1:11) “තෝරා බේරා ගැනීමේ හැකියාව” වශයෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙහි “සංවේදී සදාචාර වටහාගැනීම” යන අදහස ගම්‍ය වේ. පෙනීම වැනි, මිනිසුන්ගේ සැබෑ ඉන්ද්‍රියන්ට මෙම වචනය යොමු දක්වයි. විනෝදාස්වාදය නැතහොත් පෞද්ගලික තීරණයක් අවශ්‍ය කරන්නාවූ වෙනත් ඕනෑම කාරණයක් ගත් කල, අපට කළු හා සුදු වශයෙන් පහසුවෙන්ම වෙන් කළ හැකි කාරණා පමණක් නොව, නමුත් එතරම් පැහැදිලි නොවන අළුවන් පැතිද වටහාගැනීමට අපේ සදාචාර හැඟීම නිසි ලෙස එල්ල කොට තැබිය යුතුය. ඒ සමඟම, බයිබල් ප්‍රතිපත්ති යම් අසාධාරණ අන්තයකටම අදාළ කරමින්, අපේ සහෝදරයන් සියලුදෙනාම එසේ කළ යුතු බවට බල කර ඉල්ලා සිටීමෙන් අප වැළකී සිටිය යුතුය.—පිලිප්පි 4:5, NW.
10. ගීතාවලිය 15දී පිළිබිඹු කර තිබෙන්නාක් මෙන්, අපට යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වය තේරුම්ගත හැක්කේ කෙසේද?
10 අපේ විමර්ශනාත්මක ශක්තිය වගා කළ හැකි තුන්වන ආකාරයක් නම්, යෙහෝවඃවහන්සේගේ චින්තනයට අවදිව සිටීමත්, එය අපේ හදවත් තුළ ගැඹුරින් පැළපදියම් කිරීමත්ය. ස්වකීය වචනය තුළ, යෙහෝවඃවහන්සේ ස්වකීය පෞද්ගලිකත්වය හා ප්‍රමිති හෙළි කරනසේක. උදාහරණයක් වශයෙන්, ගීතාවලිය 15දී, යෙහෝවඃවහන්සේ ස්වකීය මණ්ඩපයේ අමුත්තෙකු ලෙස සිටීමට ඇරයුම් කරන පුද්ගලයන් කෙබඳු අයද කියා අපි කියවමු. එවන් පුද්ගලයෙක් ධර්මිෂ්ඨකම පවත්වන්නේය, සිය හදවතින් සැබෑව කතා කරන්නේය, තම පොරොන්දුව විශ්වාසවන්ත ලෙස ඉටු කරන්නේය, එමෙන්ම අනුන්ගෙන් ආත්මාර්ථය පිණිස වාසි ප්‍රයෝජන ලබා නොගන්නේය. මෙම ගීතිකාව කියවද්දී, ඔබෙන් මෙසේ විමසන්න, ‘මෙම ගුණාංග මගේ තත්වය විස්තර කරයිද? යෙහෝවඃවහන්සේ තම මණ්ඩපයේ අමුත්තෙකු වීමට මට ඇරයුමක් ඉදිරිපත් කරාවිද?’ අප යෙහෝවඃවහන්සේගේ මාර්ගවලට හා චින්තනයට වඩ වඩාත් එකඟ වෙත්ම, අපේ වටහාගැනීමේ ශක්තිය වඩ වඩාත් ශක්තිමත් කරනු ලැබේ.—හිතෝපදේශ 3:5, 6; හෙබ්‍රෙව් 5:14.
11. ඵරිසිවරුන් ‘යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද’ අත්හැරියේ කෙසේද?
11 මෙම නිශ්චිත කාරණය සම්බන්ධයෙන්, ඵරිසිවරු අන්තයටම අසමත් වූහ. ඵරිසිවරුන් ව්‍යවස්ථාවේ රීත්‍යනුකූල සැකැස්ම දැන සිටියද, ඔවුන්ට එහි “ව්‍යාකරණ” වටහාගැනීමට නොහැකි විය. ව්‍යවස්ථාවේ සවිස්තර තොරතුරු දස දහස් ගණනක්ම කියාගෙන කියාගෙන යෑමට ඔවුන්ට හැකියාව තිබුණත්, ඒ පිටුපස තිබුණු පෞද්ගලිකත්වය ග්‍රහණය කරගැනීමට ඔවුහු අසමත් වූහ. යේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූසේක: “නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය”! (ලූක් 11:42) තද මනස් හා දැඩි හදවත් තිබුණු ඵරිසිවරු, සිය විමර්ශනාත්මක ශක්තිය භාවිත කිරීමට අසමත් වූහ. සබත් දවසේදී යේසුස්වහන්සේගේ ගෝලයන් ගොයම් කරල් කඩා අනුභව කිරීම නිසා ඔවුන්ව විවේචනයට භාජන කිරීමෙන් ඔවුන්ගේ අස්ථිර තර්ක කිරීම දිස්විය; කෙසේවෙතත්, ඉන්පසු එම දවසේදීම, ඔවුන් යේසුස්වහන්සේව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ විට, ඔවුන්ට හෘදයසාක්ෂියේ අල්පමාත්රයක වේදනාවක්වත් දැනුණේ නැත!—මතෙව් 12:1, 2, 14.
12. අපට පුද්ගලයෙකු වශයෙන් යෙහෝවඃවහන්සේ පිළිබඳ වඩාත් එකඟතාවකින් යුක්තව කටයුතු කළ හැක්කේ කෙසේද?
12 අපි ඵරිසිවරුන්ට වෙනස්ව සිටීමට කැමති වෙමු. දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ අපේ දැනුම, පුද්ගලයෙකු වශයෙන් යෙහෝවඃවහන්සේ පිළිබඳ වඩාත් එකඟතාවකින් යුක්තව කටයුතු කිරීමට අපහට උපකාරවත් කළ යුතුය. අපට මෙය කළ හැක්කේ කෙසේද? බයිබලයේ හෝ බයිබලය මත පදනම් පොත්වල කොටසක් කියවීමෙන් පසුව, ‘මෙම තොරතුරුවලින් මට යෙහෝවඃවහන්සේ ගැනත්, උන්වහන්සේ ගුණාංග ගැනත් උගන්වන්නේ කුමක්ද? අනුන් සමඟ මා කටයුතු කරන විට, මට යෙහෝවඃවහන්සේගේ ගුණාංග විදහාපෙන්විය හැක්කේ කෙසේද?’ වැනි ප්‍රශ්න ගැන පරෙස්සමින් කල්පනා කර බැලීම සමහරුන්ට උපකාරවත් වී තිබේ. මෙවන් ප්‍රශ්න මත මෙනෙහි කිරීම, අපේ විමර්ශනාත්මක ශක්තිය වැඩිවර්ධනය කරන අතරම, “දෙවියන්වහන්සේ අනුව යන්නෝ” වීමට එය අපහට මහෝපකාරි වේ.—එපීස 5:1.
මිනිසුන්ගේ නොව, දෙවියන්වහන්සේගේ හා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් වීම
13. ඵරිසිවරුන් සදාචාර ආඥාදායකයන් ලෙස ක්‍රියා කළේ කෙසේද?
13 තම රැකවරණය යටතෙහි සිටින අයට තම විමර්ශනාත්මක ශක්තිය භාවිත කිරීමට වැඩිමහල්ලන් ඉඩහැරිය යුතුය. සභාවේ සාමාජිකයෝ මිනිසුන්ගේ දාසයෝ නොවෙති. “මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි” කියා පාවුල් ලීවේය. (ගලාති 1:10; කොලොස්සි 3:23, 24) ඊට වෙනස්ව, දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබාගැනීමට වඩා මිනිසුන්ගේ අනුමැතිය ලබාගැනීම වඩාත් වැදගත් කියා විශ්වාස කිරීමට ජනයාට සැලැස්වීමට ඵරිසිවරුන්ට වුවමනා විය. (මතෙව් 23:2-7; යොහන් 12:42, 43) තමුන්ගේම නීති සකස් කරගත්තාවූද, ඒවාට අනුන් කොතරම් හොඳින් අනුකූල වූ බවට ඉන් අනතුරුව විනිශ්චය කළාවූද සදාචාර ආඥාදායකයන් වීමට ඵරිසිවරු තමුන්වම පත් කරගත්හ. ඵරිසිවරු අනුගමනය කළ අය, බයිබලය මත පුහුණු කරන ලද තම හෘදයසාක්ෂිය භාවිත කිරීමේදී දුර්වල වූහ, ඇත්තෙන්ම කියනවා නම්, ඔවුහු මිනිසුන්ගේ දාසයෝ බවට පත්වූහ.
14, 15. (අ) තමන් රැළ සමඟ හවුල් වැඩකරුවන් වන බවට වැඩිමහල්ලන්ට පෙන්විය හැක්කේ කෙසේද? (ආ) වැඩිමහල්ලන් හෘදයසාක්ෂියට අදාළව පවතින කාරණා හැසිරවිය යුත්තේ කෙසේද?
14 අදදින ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ, රැළ මූලික වශයෙන් ඔවුන්ට ගණන් නොදෙන බව දනිති. සෑම ක්‍රිස්තියානි භක්තිකයෙකුම තම තමාගේ බර ඉසිලිය යුතුය. (රෝම 14:4; 2 කොරින්ති 1:24; ගලාති 6:5) සිදුවිය යුතු දෙය එයයි. ඇත්තෙන්ම කියනවා නම්, රැළෙහි සාමාජිකයන් මිනිසුන්ගේ දාසයන් බවට පත්වී සිටීමට තිබුණා නම්, එනම් අධීක්ෂණයක් ලැබීම නිසා පමණක් කීකරු වෙමින් සිටියා නම්, එම පුරුෂයන් නොසිටි අවස්ථාවන්හිදී ඔවුන් කුමක් කරනු ඇත්ද? පිලිප්පිවරුන් කෙරෙහි ප්‍රීතී වීම සඳහා පාවුල්ට හේතුවක් තිබිණ: “නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගනිල්ලා.” ඔවුහු සැබවින්ම පාවුල්ගේ නොව, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෝ වූහ.—පිලිප්පි 2:12.
15 එමනිසා, හෘදයසාක්ෂිය හා සම්බන්ධ කාරණාවලදී, වැඩිමහල්ලෝ තමුන්ගේ රැකවරණය යටතේ සිටින අය සඳහා තීරණ නොගනිති. කාරණයකට සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති පැහැදිලි කර දෙන ඔවුහු, ඊට සම්බන්ධ පුද්ගලයන්ට තීරණ ගැනීමේදී තමුන්ගේම විමර්ශනාත්මක ශක්තිය භාවිත කිරීමට ඉඩහරිති. මෙය බැරෑරුම් වගකීමකි, නමුත් එය වනාහි පුද්ගලයාම දැරිය යුතු වගකීමකි.
16. ගැටලු සමඟ කටයුතු කිරීම සඳහා ඉශ්රායෙල්හි පැවති පිළිවෙළ කවරේද?
16 යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට මඟ පෙන්වීම සඳහා විනිශ්චයකරුවන් උපයෝගි කළ කාලපරිච්ඡේදය සලකා බලන්න. බයිබලය අපට මෙසේ පවසයි: “ඒ දවස්වල ඉශ්රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කෙළේය.” (විනිශ්චයකාරයන් 21:25) එහෙත් මඟ පෙන්වීම සඳහා යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට මාධ්‍යයක් සැපයූසේක. ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් මේරූ උපකාර පිරිනැමීමට හැකියාවක් තිබූ වැඩිමහල් පුරුෂයෝ සෑම නගරයකම විසූහ. මීට අමතරව, ජනයාව දෙවියන්වහන්සේගේ නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම තුළින් ලෙවී පූජකයෝ යහපත සඳහා බලපෑමක් ලෙස ක්‍රියා කළහ. විශේෂයෙන්ම දුෂ්කර කාරණා ඉස්මතු වූ විට, ඌරීම් හා තුම්මීම් මාර්ගයෙන් උත්තම පූජකයාට දෙවියන්වහන්සේගෙන් කරුණු චිචාරීමට හැකි විය. ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් මෙසේ අදහස් දක්වයි: “මෙවන් සැපයුම්වලින් ප්‍රයෝජන ගත්තාවූද, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ දැනුම ලබා එය අදාළ කළාවූද පුද්ගලයාටත් තම හෘදයසාක්ෂිය සඳහා හොඳ මඟ පෙන්වීමක් තිබිණ. මෙවන් අවස්ථාවකදී, යමෙකු ‘තමාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ’ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නරක යමක් සිදු නොවනවා ඇත. ජනයාට කැමති හෝ අකමැති ආකල්පයක් දැරීමටද, මාර්ගයක් ගැනීමටද යෙහෝවඃවහන්සේ ඉඩදුන්සේක.”—2 වෙළුම, පිටු 162-3.b
17. වැඩිමහල්ලන් තමුන්ගේම ප්‍රමිතිවලට අනුව නොව, දෙවියන් වහන්සේගේ ප්‍රමිතිවලට අනුව උපදෙස් දෙන බව ඔවුන්ට පෙන්විය හැක්කේ කෙසේද?
17 ඉශ්රායෙල්හි විනිශ්චයකරුවන් හා පූජකයන් මෙන්, සභාවේ වැඩිමහල්ලෝ ගැටලු සම්බන්ධයෙන් මේරූ උපකාර පිරිනමන අතරම, අනර්ඝ උපදෙස් ලබා දෙති. ඇතැම් අවස්ථාවන්හිදී, ඔවුහු “සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනා” පවා කරති. (2 තිමෝති 4:2) ඔවුන් එසේ කරන්නේ තමුන්ගේම ප්‍රමිති අනුව නොව, දෙවියන්වහන්සේගේ ප්‍රමිති අනුවය. වැඩිමහල්ලන් ආදර්ශයක් තැබීමට වෑයම් කරමින් හදවත් කරා ළඟා වීමට වෑයම් කරත්ම, මෙය මොනතරම් බලපෑමෙන් යුත් දෙයක් වේද!
18. හෘදයන් කරා ළඟාවීම වැඩිමහල්ලන්හට විශේෂයෙන් බලපෑමෙන් යුත් යමක් වන්නේ මන්ද?
18 අපේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල “එන්ජිම” අපේ හදවතයි. එමනිසා බයිබලය මෙසේ පවසයි: “එයින් ජීවනය නික්මෙන්නේය.” (හිතෝපදේශ 4:23) හෘදයේ පෙලඹීමක් ඇති කිරීමට හැකි වැඩිමහල්ලන්ට පෙනී යන්නේ, එමගින් සභාවේ සාමාජිකයන්ට දෙවියන්වහන්සේගේ සේවයේදී තමුන්ට කළ හැකි සියල්ල කිරීමට පොලඹවනු ලබන බවය. හැමවිටම අනුන් විසින් පොලඹවනු ලැබීමට අවශ්‍යතාවක් නොමැතිව, ඔවුහු ස්වයංක්‍රීයව ක්‍රියා කරන අය වනු ඇත්තාහ. බලෙන් ලබාගන්නා කීකරුකම යෙහෝවඃවහන්සේට අවශ්‍ය නැත. ප්‍රේමයෙන් පිරුණු හෘදයකින් නික්මෙන කීකරුකම සඳහා උන්වහන්සේ විමසිල්ලෙන් සිටිනසේක. රැළෙහි අයගේ විමර්ශනාත්මක ශක්තිය වැඩිවර්ධනය කිරීමට උපකාර කිරීම තුළින් එවන් හෘදයෙන් පෙලඹෙන සේවයක් දිරිගැන්වීමට වැඩිමහල්ලන්ට හැකිය.
“ක්‍රිස්තුස්වහන්සේගේ මනස” වගා කිරීම
19, 20. අපහට ක්‍රිස්තුස්වහන්සේගේ මනස වගා කිරීම වැදගත් යමක් වන්නේ මන්ද?
19 සඳහන් කර තිබෙන පරිදි, නිකම්ම දෙවියන්වහන්සේගේ නීති පමණක් දැනසිටීම මදිය. ගීතිකාකරු මෙසේ අයැද සිටියේය: “මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යවස්ථාව රක්ෂාකරන්නෙමි.” (ගීතාවලිය 119:34) යෙහෝවඃවහන්සේ ස්වකීය වචනය කරණකොටගෙන “ක්‍රිස්තුස්වහන්සේගේ මනස” හෙළි කර ඇත. (1 කොරින්ති 2:16, NW) සිය විමර්ශනාත්මක ශක්තිය උපයෝගි කරගනිමින් යෙහෝවඃවහන්සේට සේවය කළ කෙනෙකු වශයෙන්, යේසුස්වහන්සේ අපහට පරිපූර්ණ ආදර්ශයක් තබා ගියසේක. දෙවියන්වහන්සේගේ නීති හා ප්‍රතිපත්ති තේරුම්ගත් උන්වහන්සේ, ඒවා නිවැරදි ලෙස අදාළ කළසේක. උන්වහන්සේගේ ආදර්ශය අධ්‍යයන කිරීමෙන්, “ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන, එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා [මුළුමනින්ම, NW] තේරුම්ගන්ට” අපට “පුළුවන්” වනවා ඇත. (එපීස 3:17-19) එසේය, යේසුස්වහන්සේ පිළිබඳ අප බයිබලයෙන් ඉගෙනගන්නා දෙය ශාස්ත්‍රීය, මොළයට පමණක් සීමා වූ දැනුමෙන් ඉඳුරාම ඔබ්බට යයි; යෙහෝවඃවහන්සේම කෙබඳු කෙනෙකුද කියා ඉන් අපට පැහැදිලි චිත්‍රයක් ලැබේ.—යොහන් 14:9, 10.
20 මෙසේ, අප දේවවචනය අධ්‍යයනය කරත්ම, කාරණා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ චින්තනය වටහාගැනීමට හැකියාවක් ලැබෙන අතර, සමබර තීරණ කරා එළඹීමට හැකියාවක් ලැබෙනවා ඇත. මේ සඳහා වෑයම අවශ්‍ය වන්නේය. අප දෙවියන්වහන්සේගේ වචනයෙහි උනන්දුමත් ශිෂ්‍යයන් වී, යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වයට හා ප්‍රමිතිවලට සංවේදීව කටයුතු කිරීමට අපහට අවකාශ සැලසිය යුතුය. වෙනයම් ආකාරයකින් කියනවා නම්, අප අලුත් ව්‍යාකරණ ඉගෙනගන්නවා හා සමානය. එහෙත්, එසේ කරන අය, “[තම] ශරීර දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ, ජීවමාන, පරිශුද්ධ යාග හැටියටද [තම] විමර්ශනාත්මක ශක්තියෙන් යුත් පරිශුද්ධ සේවයක් හැටියටද ඔප්පු” කිරීමට වූ පාවුල්ගේ අවවාදය අනුගමනය කරන්නෝය.—රෝම 12:1, NW.
[පාදසටහන්වල]
a මෙම ගණයට භූතමය, කාමෝද්දීපන හෝ අනුන්ට පීඩා කිරීමේ කාමය අඩංගු විනෝදාස්වාදයද, ක්‍රිස්තියානීන්ට අනුමැතිය දැක්විය නොහැකි අනාචාරමය නැතහොත් ඕනෑම දෙයකට අවසර දෙන අදහස්වලට දිරි දෙන පවුලට යයි කියා සිටින විනෝදාස්වාදයද ඇතුළත්ය.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලදි.
ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
◻ දෙවියන්වහන්සේට සේවය කිරීම සම්බන්ධයෙන්, පො.යු. 33දී කුමන වෙනසක් සිදුවීද?
◻ අපට අපේ විමර්ශනාත්මක ශක්තිය වගා කළ හැක්කේ කෙසේද?
◻ රැළෙහි අයට දෙවියන්වහන්සේගේ හා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් වීම සඳහා උපකාර කරන්ට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
◻ අප “ක්‍රිස්තුස්වහන්සේ මනස” වගා කළ යුත්තේ මන්ද?
[23වන පිටුවේ පින්තූරය]
අනුන්ට සිය විමර්ශනාත්මක ශක්තිය භාවිත කිරීමට වැඩිමහල්ලෝ උපකාර සපයති