දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?
“නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්රේමකරපන්න.”—මාර්ක් 12:30.
1, 2. දේශනා කිරීමේ කර්තව්‍යය සම්බන්ධයෙන් ඉටුවෙමින් පවතින්නේ ඉමහත් ප්‍රීතියකට තුඩු දෙන කුමන දේවල්ද?
වාහනයක සැබෑ අගය නිශ්චය කරනු ලබන්නේ එහි පෙනුමෙන් පමණක් නොවේ. පින්තාරු කිරීමකින් පසුව එහි බාහිර පෙනුම ඔපනැංවිය හැක, තවද බලාපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවෙකු එහි සිනිඳු හැඩයට ආකර්ෂණය විය හැක; එහෙත් වඩාත් වැදගත් වන්නේ බැලූ බැල්මට නොදකින දේවල්ය—ඒවා වනාහි වාහනය ධාවනය කිරීමට ඉවහල් වන එන්ජිම මෙන්ම එය හසුරුවන වෙනත් උපක්‍රම වේ.
2 ක්‍රිස්තියානි භක්තිකයෙකු දෙවියන්වහන්සේට කරන සේවය මේ හා සමාන දෙයකි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දේවභක්තික ක්‍රියාවලින් පූර්ණව සිටිති. සෑම වර්ෂයක් පුරා, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සඳහා පැය බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරනු ලැබේ. එපමණක්ද නොව, බයිබල් පාඩම් මිලියන ගණනක් පවත්වනු ලබන අතර, බව්තීස්මය ලබන අයගේ සංඛ්‍යාව ලක්ෂ ගණනාවක් ඉක්මවා යයි. ඔබ ශුභාරංචිය ප්‍රකාශකරන්නෙක් වන්නෙහි නම්, මෙම ඉමහත් ප්‍රීතියකට තුඩු දෙන සංඛ්‍යා ලේඛනවලට ඔබ—පෙනෙන අන්දමට සුළු යමක් කළද—යම් හෙයකින් දායක වී ඇත. ඇරත් “නුඹලාගේ වැඩයද . . . දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ” නැති බව ඔබට සහතික විය හැක.—හෙබ්‍රෙව් 6:10.
3. ක්‍රියාවලට අමතරව ක්‍රිස්තියානීන්ගේ ඉමහත් සැලකිල්ලට භාජන විය යුත්තේ කුමක්ද, තවද ඒ මන්ද?
3 කෙසේවෙතත්, සාමූහික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන්—අපේ සේවයේ සැබෑ අගය ගණනය කරනු ලබන එකම මිම්ම සංඛ්‍යා නොවේ. සාමුවෙල්ට පවසනු ලැබූ පරිදි, “මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේක.” (1 සාමුවෙල් 16:7) එසේය, දෙවියන්වහන්සේට වැදගත් වන්නේ, අපේ ඇතුළාන්තයෙන්ම අප කවුද යන්නය. ක්‍රියා අත්‍යවශ්‍ය බව සැබෑය. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් සරසන්නාවූ දේවභක්තියේ ක්‍රියා ගෝලයන් වීමට සිටින අයව ආකර්ෂණය කරයි. (මතෙව් 5:14-16; තීතස් 2:9අ, 10; 2 පේතෘස් 3:11) එහෙත් අපේ ක්‍රියාවලින් සම්පූර්ණ තත්වයම හෙළි නොවේ. එපීසයේ සභාවට යහපත් ක්‍රියා පිළිබඳ හොඳ වාර්තාවක් තිබුණද, නැවතනැගිටුවන ලද යේසුස්වහන්සේට ඔවුන් ගැන සැලකිලිමත් වීමට හේතු තිබිණ. ‘නුඹේ ක්‍රියාවල් දනිමියි’ උන්වහන්සේ ඔවුන්ට පැවසූසේක. “නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය.”—එළිදරව් 2:1-4.
4. (අ) දෙවියන්වහන්සේට වූ අපේ සේවය යුතුකමක් වශයෙන් කරන චාරිත්‍ර විධියක් හා සමාන විය හැක්කේ කවර අන්දමකින්ද? (ආ) ආත්ම සෝදිසියක් කිරීම සඳහා අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?
4 අන්තරායක් පවතී. කාලයාගේ ඇවෑමෙන්, දෙවියන්වහන්සේට වූ අපේ සේවය යුතුකමක් වශයෙන් කරන චාරිත්‍රයක් බවට පත්විය හැක. එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් තත්වය මෙලෙස විස්තර කළාය: “මම සේවයෙහි ගියා, රැස්වීම්වලට ගියා, පාඩම් කළා, යාච්ඤා කළා—නමුත් කිසිම හැඟීමක් දැනෙන්නේ නැතිව, මම එය කළේ යාන්ත්‍රිකවය.” “පහර” ලැබූ බවක් හෝ “කලකිරුණු” බවක් හැඟෙන නමුත්, වීර්යය කරන දෙවියන්වහන්සේගේ සේවකයන්ට ප්‍රශංසා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. (2 කොරින්ති 4:9; 7:6, නව අනුවාදය) කෙසේවෙතත් අපේ ක්‍රිස්තියානි දිනචර්යාව නිරස යමක් බවට පත්වන විට, ඉහත නිදර්ශනය ගෙන කතා කරනවා නම්, අප එන්ජිමේ තත්වය දෙස බැලීම අවශ්‍යය. හොඳම වාහනවලට පවා කලින් කලට නඩත්තු කිරීමක් අවශ්‍ය වේ; ඒ හා සමානව, සියලු ක්‍රිස්තියානීන් නිතිපතා ආත්ම සෝදිසියක් කළ යුතුය. (2 කොරින්ති 13:5) වෙනත් අයට අපේ ක්‍රියා දැකිය හැකි වුවත්, අපේ ක්‍රියා පිටුපස තිබෙන චේතනාව කුමක්ද කියා ඔවුන්ට වටහාගත නොහැක. එමනිසා, අප සියලුදෙනාම මෙම ප්රශ්නය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය: ‘දෙවියන්වහන්සේට සේවය කිරීම සඳහා මාව පොලඹවන්නේ කුමක්ද?’
නිසි පෙලඹවීමට බාධක
5. යේසුස්වහන්සේ පැවසූ පරිදි සියල්ල අතුරින් පළමු ආඥාව කවරේද?
5 ඉශ්රායෙල්වරුන්ට දෙන ලද ආඥාවලින් කවර එක ප්‍රධානදැයි යේසුස්වහන්සේගෙන් විමසනු ලැබූ විට, උන්වහන්සේ පිටස්තර පෙනුම කෙරෙහි නොව, නමුත් ඇතුළාන්ත චේතනාව කෙරෙහි අවධානය යොමු කළාවූ ආඥාවක් උපුටා දැක්වූසේක: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්රේමකරපන්න.” (මාර්ක් 12:28-30) මෙසේ දෙවියන්වහන්සේට වූ අපේ සේවය පොලඹවන කාරකය කුමක් විය යුතුද කියා යේසුස්වහන්සේ හැඳින්වූසේක—එනම් ප්‍රේමයයි.
6, 7. (අ) සාතන් කූට ලෙස පවුල් කවයට පහර එල්ල කොට තිබෙන්නේ කෙලෙසද, තවද ඒ මන්ද? (2 කොරින්ති 2:11) (ආ) දිව්‍යමය අධිකාරය කෙරෙහි යමෙකුගේ ආකල්පයට තමා ඇති දැඩි කරනු ලැබූ අන්දම බලපෑ හැක්කේ කෙසේද?
6 ප්‍රේමය නමැති අතිවැදගත් ගුණාංගය වගා කිරීමට අප සතු හැකියාවට බාධා පැමිණවීමට සාතන්ට වුවමනාය. මෙම අරමුණ පෙරදැරි කරගෙන, ඔහු යොදාගෙන තිබෙන එක් ක්රමයකි, පවුල් කවයට පහර දීම. ඒ මන්ද? ප්‍රේමය පිළිබඳ අපේ සිතෙහි පළමුවෙන්ම හා වඩාත් කල්පවතින ලෙස රැඳෙන හැඟීම් මෙහිදී මතුවන බැවිනි. ළමා වියේ ඉගෙන ගන්නා දෙය වැඩිහිටිභාවයට පැමිණෙන විට අනගි යමක් විය හැකි බවට වූ බයිබලය මත පදනම් ප්‍රතිපත්තිය සාතන් හොඳින් දන්නේය. (හිතෝපදේශ 22:6) ළා බාල වියේදී, ප්‍රේමය පිළිබඳ අපේ සංකල්පය විකෘති කිරීමට ඔහු කූට ලෙස තැත් කරයි. බොහෝදෙනෙකු ප්‍රේමයේ ක්ෂේම භූමිවල නොව, නමුත් පරුෂකම, උදහස හා අපහාස කිරීම්වලින් යුත් සටන් බිම් බවට පත්වී තිබෙන නිවාසවල ඇති දැඩි කරනු ලබන විට, “මේ ලෝකයේ දෙවියා” වශයෙන් ක්‍රියා කරන සාතන් සිය අරමුණු ඉටුවන බව දකියි.—2 කොරින්ති 4:4; එපීස 4:31, 32; 6:4; කොලොස්සි 3:21.
7 පියා, මාපියෙකු වශයෙන් තම භූමිකාව හසුරුවන අන්දම, දිව්‍යමය හෝ වේවා මනුෂ්‍යමය හෝ වේවා, “ආධිපත්‍යය කෙරෙහි තම දරුවන් පසුවට දක්වන ආකල්පය මත සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට” හැකි වන බව ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම යන පොත නිරීක්ෂණය කළේය.a සැර පරුෂ පියෙකුගේ දැඩි ආධිපත්‍යය යටතේ ඇති දැඩි කරනු ලැබූ එක්තරා ක්‍රිස්තියානි මිනිසෙක් මෙසේ තම අදහස් නොවළහා ප්‍රකාශ කරන්නේය: “මට නම් යෙහෝවඃවහන්සේට කීකරු වීම පහසු දෙයක්; උන්වහන්සේට ප්‍රේම කිරීම ඊට වඩා බොහෝ අමාරු දෙයක්.” දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි, “පූජාවට වඩා කීකරුවීම” හොඳ බැවින්, කීකරුකම අතිවැදගත් යමක් බව කිවමනා නොවේ. (1 සාමුවෙල් 15:22) එහෙත් නිකම්ම කීකරුවීමෙන් ඔබ්බට ගොස්, අපේ නමස්කාරය පොලඹවන කාරකය වශයෙන් යෙහෝවඃවහන්සේ සඳහා ප්‍රේමය වගා කිරීමට අපට කුමක් උපකාර කළ හැකිද?
“ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය”
8, 9. යේසුස්වහන්සේ, මිදීමේ පූජාව යෙහෝවඃවහන්සේ සඳහා වූ අපේ ප්‍රේමය පුබුදුවාලිය යුත්තේ කෙසේද?
8 යෙහෝවඃවහන්සේ සඳහා හෘද පූර්ණ ප්‍රේමය වගා කිරීම සඳහා තිබෙන ප්රබලතම ප්රබෝධකය වූ කලි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ පූජාව සඳහා අගය කිරීමක් වන්නේය. “අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.” (1 යොහන් 4:9) අපට මෙය අවබෝධ කිරීමටත්, අගය කිරීමටත් හැකිවීමෙන් පසු, මෙම ප්‍රේමයේ ක්‍රියාවට ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රතිප්‍රේමයක් ඉස්මතු වෙයි. “අප ප්‍රේමකරන්නේ [යෙහෝවඃවහන්සේ] පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.”—1 යොහන් 4:19.
9 යේසුස්වහන්සේ මිනිසාගේ ගැළවුම්කරු වශයෙන් තම පැවරුම කැමැත්තෙන්ම පිළිගත්සේක. “අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ තැනැන්වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය.” (1 යොහන් 3:16; යොහන් 15:13) යේසුස්වහන්සේගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය අප තුළ අගයෙන් යුක්ත ප්‍රතිචාරයක් ඉපදවිය යුතුය. මෙය නිදසුනකින් දක්වනවා නම්: වතුරේ ගිලී මරණයට පත්වීමෙන් ඔබව මුදාගනු ලැබූ බව සිතන්න. ඔබට නිකම්ම ගෙදර ගොස්, ඇඟ පත පිහදාගෙන, සිදුවූ දෙය අමතක කර දැමිය හැකිද? කිසිසේත් නැත! ඔබව ගැළවූ තැනැත්තාට ඔබ ණය ගැති බව ඔබට හැඟී යනවා ඇත. මොනව කිව්වත්, ඔබේ ජීවිතය සම්බන්ධයෙන් ඔබ එම පුද්ගලයාට ණය ගැතිය. යෙහෝවඃ දෙවියන්වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපි ඊටත් අඩුවෙන් ණය ගැති වන්නෙමුද? මිදීමේ මිලය නොමැතිව, අප සියලුදෙනාම, හරියට කියනවා නම්, පාපය හා මරණය තුළ ගිලී මියයනු ඇත. ඒ වෙනුවට, ප්‍රේමයේ මෙම ශ්‍රේෂ්ඨ ක්‍රියාව නිසා, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමේ ප්‍රස්තාව අපට තිබේ.—රෝම 5:12, 18; 1 පේතෘස් 2:24.
10. (අ) අපට මිදීමේ මිලය පෞද්ගලිකව බලපාන යමක් බවට පත් කරගත හැක්කේ කෙසේද? (ආ) ක්‍රිස්තුස්වහන්සේ සතු ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේ කෙසේද?
10 මිදීමේ මිලය මත මෙනෙහි කරන්න. පාවුල් කළාක් මෙන්, එය පෞද්ගලිකව අදාළ කරන්න: “තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.” (ගලාති 2:20) එලෙස මෙනෙහි කිරීම හෘදයාංගම පෙලඹීමක් හටගැන්වීමට සලස්වන්නේය, මන්දයත් පාවුල් කොරින්තිවරුන්ට මෙසේ ලිවූ බැවිනි: “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය . . . උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනැන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය.” (2 කොරින්ති 5:14, 15) ද ජෙරූසලම් බයිබල් කියන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය “අපව මුළුමනින්ම යටපත්” කරන බවය. අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ගැන කල්පනා කොට බලන විට, එය අප කෙරෙහි බලපවත්වන්නේය, අප ඉන් ගැඹුරට පෙලඹී යන්නේය, මුළුමනින්ම යටපත් වීමකට පවා ලක්වන්නේය. ඉන් අපේ හදවත් කෙරෙහි බලපෑමක් සිදුවන අතරම, ක්‍රියා කිරීමට අපි පෙලඹෙන්නෙමු. ජේ. බී. ෆිලිප්ස්ගේ පරිවර්තනය එහි සාරය මෙලෙස දක්වයි: “අපේ ක්‍රියාවල උල්පතම ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය වන්නේය.” ඵරිසිවරුන්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන පරිදි, වෙනත් ඕනෑම අන්දමක පෙලඹීමක් අප තුළ කල්පවතින ඵලදාවක් බිහි නොකරන්නේය.
‘ඵරිසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම්වෙන්ට බලා ගනිල්ලා’
11. ආගමික ක්‍රියා කෙරෙහි ඵරිසිවරුන්ගේ ආකල්පය විස්තර කරන්න.
11 දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ මුළු ජීවයම ඵරිසිවරු ඉවත් කළහ. දෙවියන්වහන්සේ සඳහා ප්‍රේමය අවධාරණය කරනවා වෙනුවට, ආත්මිකත්වය මැනබැලීමට ඔවුහු ක්‍රියා අවධාරණය කළහ. සවිස්තර නීති රීති කෙරෙහි ඔවුන් කොතරම් දුරට ඇලී ගැලී සිටියාද කිවහොත්, බාහිර ලෙස ඔවුන් ධර්මිෂ්ඨ වූ බව දැකගත හැකි වූ නමුත්, ඇතුළාන්තයෙන්ම ඔවුහු “මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී” සිටියෝය.—මතෙව් 23:27.
12. යේසුස්වහන්සේ මිනිසෙකු සුව කළායින් පසු, ඵරිසිවරුන්ට අසංවේදී හෘදයක් තිබූ බව ඔවුන් පෙන්වූයේ කෙසේද?
12 එක්තරා අවස්ථාවක, යේසුස්වහන්සේ දයානුකම්පිත ලෙස වියළුණු අතක් තිබූ මිනිසෙකු සුවපත් කළසේක. කිසිදු සැකයකින් තොරව බෙහෙවින් කායික මෙන්ම චිත්තවේගීය අපහසුතාවක් ඇති කළ තම අසනීපයෙන් ක්ෂණික සුවයක් අද්දුටු මෙම මිනිසා මොනතරම් සන්තෝෂයක් අද්දකින්ට ඇත්ද! එහෙත්, ඵරිසිවරුන් ඔහු සමඟ ප්‍රීති නොවූහ. ඒ වෙනුවට, ඔවුහු යම් රීතියක් පිළිබඳව—එනම් යේසුස්වහන්සේ සබත් දවසක උපකාර පිරිනැමීම පිළිබඳව සියුම්—විවේචනයක් කළහ. ව්‍යවස්ථාවේ රීත්‍යනුකූල අර්ථකථනයේ ඇලී ගැලී සිටි ඵරිසිවරුන්ට, ව්‍යවස්ථාවේ හරය මුළුමනින්ම තේරුම්ගැනීමට බැරි විය. “උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම” කෙරෙහි දුක්වීම පුදුමයක්ද! (මාර්ක් 3:1-5) එපමණක්ද නොව, උන්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ අවවාද කළසේක: “ඵරිසිවරුන්ගේ . . . මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගනිල්ලා.” (මතෙව් 16:6) ඔවුන්ගේ ක්‍රියා සහ ආකල්ප බයිබලයෙහි හෙළි කොට තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහාය.
13. ඵරිසිවරුන්ගේ ආදර්ශය තුළ අපහට තිබෙන පාඩම කුමක්ද?
13 අප ක්‍රියා පිළිබඳව සාධාරණ දෘෂ්ටියක් ඇතුව සිටිය යුතු බව ඵරිසිවරුන්ගේ ආදර්ශය අපට උගන්වයි. ඇත්තවශයෙන්ම, “ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී” තිබෙන බැවින්, ක්‍රියා අතිවැදගත්ය. (යාකොබ් 2:26) කෙසේවෙතත්, අනුන්ගේ සැබෑ තත්වය අනුව නොව ඔවුන් කරන දේ අනුව විනිශ්චය කිරීමට අසම්පූර්ණ මිනිසුන්ට නැඹුරුවාවක් තිබේ. ඇතැම් අවස්ථාවලදී, අප අපවම පවා මෙලෙස විනිශ්චය කළ හැක. අපේ ආත්මිකත්වයට එකම මිනුම් දණ්ඩය, අප කරන ක්‍රියා බවට සිතීමෙන්, අප ක්‍රියා ගැන වුවමනාවට වඩා සැලකිල්ල දැක්විය හැක. අපේ චේතනා පරීක්ෂාවට භාජන කිරීමේ වැදගත්කම අපෙන් ගිලිහී යා හැක. (2 කොරින්ති 5:12 සසඳන්න.) අප “මදුරුවා බේරාදමා ඔටුවා ගිල” දමන ඍජු නීතියට ඇලී සිටින්නන් බවට පත්විය හැක, එනම් නීතිය අකුරට පිළිපදින නමුත්, එහි අභිප්‍රාය උල්ලංගනය කරන අය බවට පත්විය හැක.—මතෙව් 23:24.
14. ඵරිසිවරුන් අපිරිසිදු කෝප්පයකට හෝ පිඟානකට සමාන වූයේ කෙසේද?
14 පුද්ගලයෙකු යෙහෝවඃවහන්සේට සැබවින්ම ප්‍රේම කරනවා නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් දේවභක්තික ක්‍රියා නිරායාසයෙන්ම සිදු කරන බව ඵරිසිවරු තේරුම් නොගත්හ. ආත්මිකත්වය ඇතුළාන්තය සිට පිටස්තරය දක්වා ගලා එන්නේය. මේ සම්බන්ධයෙන් ඵරිසිවරුන්ගේ වැරදිසහගත කල්පනාව යේසුස්වහන්සේ ප්‍රබල ලෙස හෙළා දුටුසේක, උන්වහන්සේ මෙසේ පැවසූසේක: “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ. අන්ධවූ ඵරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්රකරපන්න.”—මතෙව් 23:25, 26.
15. යේසුස්වහන්සේ පෙනුමෙන් ඔබ්බට බැලූ බව දක්වන උදාහරණ සඳහන් කරන්න.
15 කෝප්පයක, පිඟානක නැතහොත් ගොඩනැගිල්ලක පවා පිටස්තර පෙනුම සෑම දෙයක්ම හෙළි නොකරයි. යේසුස්වහන්සේගේ ගෝලයෝ යෙරුසලමේ දේවමාළිගාවේ අලංකාරය ගැන විස්මයට පත්වූවෝය, කෙසේවෙතත් යේසුස්වහන්සේ එය “සොරුන්ගේ ගුහාවක්” හැටියට හැඳින්වූසේක. (මතෙව් 11:17; 13:1) ක්‍රිස්තියානි ලෝකයේ වාර්තාවෙන් පෙනී යන පරිදි, දේවමාළිගාව සම්බන්ධයෙන් සැබෑ වූ දෙයම තමුන් ක්‍රිස්තියානීන් බවට කියා සිටින මිලියන ගණනක් සම්බන්ධයෙන් සැබෑ වේ. යේසුස්වහන්සේගේ නාමය උපයෝගි කරගෙන “බලවත් ක්‍රියා” සිදු කරන සමහරදෙනෙක් “අධර්මිෂ්ඨකම් කරන්[නන්]” ලෙස විනිශ්චය කරන බව උන්වහන්සේ පැවසූසේක. (මතෙව් 7:22, 23) මීට හාත්පසින්ම වෙනස්ව, දේවමාළිගාවෙහි නොසැලකිය හැකි තරම් කුඩා මුදල් ප්‍රමාණයක් සම්මාදම් කළ වැන්දඹුවක පිළිබඳව උන්වහන්සේ මෙසේ පැවසූසේක: “ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය . . . මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවාය.” (මාර්ක් 12:41-44) අස්ථිර විනිශ්චයන්ද? කිසිසේත් නැත. අවස්ථා දෙකේදීම, යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය පිළිබිඹු කළසේක. (යොහන් 8:16) ක්‍රියා පිටුපස චේතනා දුටු උන්වහන්සේ, ඒ අනුව තම විනිශ්චයන් කළසේක.
“එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට”
16. අපේ ක්‍රියා වෙනත් ක්‍රිස්තියානියෙකුගේ ඒවා සමඟ සැමවිටම සැසඳීමට අපහට අවශ්‍යතාවක් නැත්තේ මන්ද?
16 අපට නිසියාකාර චේතනා තිබේ නම්, නිතර නිතර සැසඳීම් කිරීමට අවශ්‍යතාවක් නැත. උදාහරණයක් වශයෙන්, වෙනත් ක්‍රිස්තියානි භක්තිකයෙකු සේවයේ යොදවන කාලයම යෙදවීමට තරඟකාරි ලෙස වෑයම් කිරීමෙන්, දේශනා කිරීමේදී එම තැනැත්තාගේ සමර්ථකම් අත් කරගැනීමට වෑයම් කිරීමේදී ඉටු කරනු ලබන්නේ සුළු යහපතකි. යේසුස්වහන්සේ පැවසුවේ, යෙහෝවඃවහන්සේට—වෙන කෙනෙකුගේ නොව—ඔබේ මුළු හෘදයෙන්ද ආත්මයෙන්ද බුද්ධියෙන්ද ශක්තියෙන්ද ප්‍රේම කරන්න කියාය. සෑම කෙනෙකුගේ හැකියාවන්, දරාගැනීමේ ශක්තිය හා තත්වයන් එකිනෙකට වෙනස්ය. ඔබ සිටින තත්වය අනුව ඔබට ඉඩ ප්‍රස්තාවක් ලැබේ නම්, දේවසේවය තුළ—සමහර විට පූර්ණ කාලීන පුරෝගාමී සේවකයෙකු හැටියට පවා—වැඩි කාලයක් ගත කිරීමට ප්‍රේමය ඔබ තුළ පෙලඹීමක් ඇති කරන්නේය. කෙසේවෙතත්, ඔබට අසනීපයක් සමඟ පොරබදන්ට සිදුවෙතොත්, ඔබ සේවය තුළ ගත කරන කාලය, ඔබ ගත කිරීමට කැමති කාලයට වඩා අඩු විය හැක. අධෛර්යයට පත්නොවන්න. යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසවන්තකම මනිනු ලබන්නේ පැයවලින් නොවේ. ඔබට නිර්මල චේතනා තිබෙන බැවින්, එය ප්‍රීතියෙන් සිටීමට ඔබ සඳහා හේතුවකි. පාවුල් මෙසේ ලීවේය: “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.”—ගලාති 6:4.
17. ඔබේම වචනවලින්, තලෙන්ත පිළිබඳ උපමාව සැකෙවින් විස්තර කරන්න.
17 මතෙව් 25:14-30හි වාර්තා කර තිබෙන පරිදි, තලෙන්තු පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව සලකා බලන්න. විදේශ රටක් බලා යෑමට සිටි මිනිසෙක්, සිය දාසයන් කැඳවා ඔවුන්ට තමා සන්තක දේ භාරදුන්නේය. “ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට” දුන්නේය. ස්වාමියා තම දාසයන් සමඟ ගණන් බැලීම සඳහා නැවත පැමිණි විට, ඔහුට දැකබලා ගැනීමට හැකිවූයේ කුමක්ද? තලෙන්ත පහ ලැබූ දාසයා තවත් තලෙන්ත පහක් ඉපදවූයේය. ඒ හා සමානව, තලෙන්ත දෙක ලැබූ දාසයා තවත් තලෙන්ත දෙකක් උපදවාගත්තේය. එක තලෙන්තයක් ලැබූ දාසයා පොළොව හාරා එය වැළලූ අතර, තම ස්වාමියාගේ ධනය වැඩි කිරීමට කිසිදු දෙයක් නොකළේය. ස්වාමියා තත්වය තක්සේරු කළේ කෙසේද?
18, 19. (අ) ස්වාමියා විසින් තලෙන්ත පහක් දී තිබුණු දාසයා සමඟ, තලෙන්ත දෙකක් දී තිබුණු දාසයා සසඳනු නොලැබුවේ මන්ද? (ආ) තලෙන්ත පිළිබඳ උපමාව අපට ප්‍රශංසාව පිරිනැමීම හා සැසඳීම් කිරීම පිළිබඳ උගන්වන්නේ කුමක්ද? (ඇ) තුන්වන දාසයාට අහිතකර විනිශ්චයක් ලැබුණේ මන්ද?
18 පළමුකොට, පිළිවෙළින් තලෙන්ත පහක් හා දෙකක් බැගින් ලැබූ දාසයන් අපි සලකා බලමු. එක් එක් දාසයාට ස්වාමියා මෙසේ කීය: “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත.” තලෙන්ත පහක් භාර දී තිබුණු දාසයා තලෙන්ත දෙකක් පමණක් උපයාගත්තේ නම්, ඔහු එම දාසයාට එසේ පවසනු ඇත්ද? එසේ විය හැකියයි සිතීමට බැරි තරම්ය! අනික් අතට, තලෙන්ත දෙකක් උපයාගත් දාසයාට ඔහු ‘ඔබ තලෙන්ත පහක් උපයා නොගත්තේ මන්ද? මේ බලන්න, ඔබේ සෙසු දාසයා මා වෙනුවෙන් කොපමණ දෙයක් උපයාගෙන තිබෙනවාද!’ කියා නොපැවසුවේය. එසේ නොව, යේසුස්වහන්සේ පිළිබිඹු කළාවූ මෙම දයානුකම්පිත ස්වාමියා, සැසඳීම් නොකළේය. ඔහු “එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට” තලෙන්ත භාරදුන් අතර, එක් එක් තැනැත්තාට ආපසු දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් ඔහු අපේක්ෂා නොකළේය. දාසයන් දෙදෙනාම තම ස්වාමියා වෙනුවෙන් මුළු ආත්මයෙන් වැඩ කළ නිසා, ඔවුන් දෙදෙනාටම එක හා සමාන ප්‍රශංසාවක් ලැබිණ. අප සියල්ලන්ට මින් යමක් උගත හැක.
19 තුන්වන දාසයා ප්‍රශංසාවට ලක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇත්තවශයෙන්ම, ඔහුව පිටත අන්ධකාරයෙහි දමනු ලැබීය. ඔහුට එක් තලෙන්තයක් පමණක් හිමි වූ නිසා, තලෙන්ත පහ හිමි දාසයා තරම් උපයාගැනීම ඔහුගෙන් අපේක්ෂා නොකරනු ලබනවා ඇත. කෙසේවුවද, ඔහු යම් වෑයමක් පවා නොදැරුවේය! ස්වාමියාට ප්‍රේමයේ ඌනතාවක් හෙළි කළාවූ, ඔහුගේ “දුෂ්ටවූ අලසවූ” හෘද ආකල්පය නිසා, අවසානයේදී ඔහුට අහිතකර විනිශ්චයක් හිමිවිය.
20. යෙහෝවඃවහන්සේ අපේ සීමා දෙස බලන්නේ කෙසේද?
20 යෙහෝවඃවහන්සේ අපේ මුළු ශක්තියෙන් උන්වහන්සේට ප්‍රේම කිරීම අපේක්ෂා කරනසේක, නමුත්, “උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක” යන්න මොනතරම් හද උණුසුම් කරවන දෙයක්ද! (ගීතාවලිය 103:14) “ස්වාමීන්වහන්සේ”—සංඛ්‍යා ලේඛන නොව—“සිත් කිරාබලන” බව හිතෝපදේශ 21:2 පවසයි. මූල්‍යමය, කායික, චිත්තවේගීය හෝ වෙන යමක් හෝ වේවා, අපට පාලනය කළ නොහැකි සීමා උන්වහන්සේ තේරුම්ගන්නාසේක. (යෙසායා 63:9) ඒ සමඟම, අපට තිබිය හැකි සම්පත්වලින් උපරිමය ලබාගැනීම උන්වහන්සේ අපෙන් අපේක්ෂා කරනසේක. යෙහෝවඃවහන්සේ පරිපූර්ණ කෙනෙක් වන මුත්, ස්වකීය අසම්පූර්ණ නමස්කාරකරන්නන් සමඟ කටයුතු කරන විට, උන්වහන්සේ පරිපූර්ණකම දැඩි ලෙස ඉල්ලා සිටින කෙනෙක් නොවනසේක. උන්වහන්සේ ස්වකීය කටයුතුවලදී අසාධාරණ නොවනසේක, එපමණක්ද නොව ස්වකීය අපේක්ෂා සම්බන්ධයෙන් යථාර්ථයෙන් බැහැරව නොසිටිනසේක.
21. දෙවියන්වහන්සේට වූ අපේ සේවය ප්‍රේමයෙන් පොලඹවනු ලැබේ නම්, ඉන් අපට ලැබෙන හොඳ ප්‍රතිඵල කවරේද?
21 අපේ මුළු හෘදයෙන්ද ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද ශක්තියෙන්ද යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීම වනාහි, “මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්” යමක් වන්නේය. (මාර්ක් 12:33) අපි ප්‍රේමය මගින් පොලඹවනු ලබන්නෙමු නම්, දෙවියන්වහන්සේගේ සේවයේදී අපට කළ හැකි සියල්ල අපි කරන්නෙමු. ප්‍රේමය ඇතුළත්ව, දේවගුණාංග අප තුළ “තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල [ඵල රහිත, NW] බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙ[න]” බව පේතෘස් ලීවේය.—2 පේතෘස් 1:8.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලදි.
පුනරීක්ෂණයක්
◻ දෙවියන්වහන්සේට වූ අපේ සේවය පිටුපස පොලඹවන කාරකය කුමක් විය යුතුද?
◻ යෙහෝවඃවහන්සේට සේවය කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේ කෙසේද?
◻ නිතර නිතර ඵරිසිවරුන්ගේ අවධානයට හසුවූ කවර දෙයින් අප වැළකී සිටිය යුතුද?
◻ අපේ සේවය වෙන ක්‍රිස්තියානියෙකුගේ සේවය සමඟ දිගටම සැසඳීම අඥාන දෙයක් වන්නේ මන්ද?
[16වන පිටුවේ පින්තූර]
පුද්ගලයන්ගේ හැකියාවන්, දරාගැනීමේ ශක්තිය හා තත්වයන් එකිනෙකාට වෙනස්ය