ඉවසීම—මෙතරම් විරල මන්ද?
ඒමිල්යෝ සිය 60ගණන්වල පසුවූවෙකි.a ඔහු ඔආහු වෙත පැමිණියේ දුක්මුසු කටයුත්තක් කිරීම සඳහාය—එනම් තම වැඩිහිටි පුත්‍රයාව භූමදාන කිරීමටය. මිටි කන්දක් හරහා දිවගිය නිසංසල වීථියක් ඔස්සේ ඇවිදිමින්, මිතුරන් කීපදෙනෙකු සමඟ කතා බහ කරමින් සිටින අතරතුර, නිවසකට යන මඟක සිට ප්‍රතිවිරුද්ධ අතට වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් ඒමිල්යෝව තිග්ගැසීමට සැලසීය. මෝටර් රථය ගෑවී නොගෑවී ඔහුව පසු කළේය, තවද කෝපය හා නොඉවසීම හේතුකොටගෙන, ඒමිල්යෝ රියැදුරාට කෑ ගැසූ අතර, තම අතින් මෝටර් රථයට පහරක් ගැසුවේය. ඉන් අනතුරුව විවාදයක් හටගත්තේය. පෙනෙන ප්‍රකාරයට රියැදුරා ඒමිල්යෝව තල්ලු කළ නිසා, ඔහු වැටී, පදික වේදිකාව මත තම හිස තදින් වැදුණේය. දින ස්වල්පයකට පසු, හිසෙහි තුවාලයක් නිසා ඒමිල්යෝ මිය ගියේය. මොනතරම් දුක්මුසු ප්‍රතිඵලයක්ද!
අප ජීවත්වන ලොවෙහි ඉවසීම විරල ගුණාංගයකි. අධිවේගයෙන් තම රථ පදවන රියැදුරෝ ගණනින් වැඩි වෙති. නියමිත වේගයට ගමන් කරන රථ පිටුපස වෙනත් අය අනවශ්‍ය ලෙස ළඟින් තම රථ ධාවනය කරති. තවත් අයට වෙනත් වාහනයක් පිටුපස සිටීම දරාගත නොහැකි යමක් නිසා, ඔවුහු මාර්ගයේ එක් පථයක සිට තවත් පථයක් දක්වා ඇදී යති. නිවසේදී, පවුල් සාමාජිකයෝ සමහරවිට ප්‍රකෝප වී, ප්‍රචණ්ඩකාරිත්වයට යොමු වෙති. සමහර ක්‍රිස්තියානීන් පවා, තම ආත්මික සහෝදරයන්ගේ අඩුලුහුඬුකම් හෝ වැරදි නිසා අනවශ්‍ය ලෙස අමනාප විය හැක.
ඉවසීම මෙතරම් විරල වන්නේ මන්ද? හැමවිටම තත්වය මෙලෙස වී තිබේද? අපේ කාලයෙහි ඉවසිල්ල දැක්වීම මෙතරම් දුෂ්කර මන්ද?
නොඉවසිල්ල පිළිබඳ ආදර්ශ
ඉතා බරපතළ වූ තිරණයක් ගැනීමට පෙර සිය පුරුෂයාගෙන් උපදෙස් නොවිමසූ ස්ත්‍රියක ගැන බයිබලය කියයි. ඇගේ නම ඒව විය. යම් දුරකට නොඉවසිල්ල නිසා, ආදම්ගෙන් නොවිමසා ක්‍රියා කළ ඈ, තහනම් ගෙඩිය කෑවාය. (උත්පත්ති 3:1-6) ඇගේ පුරුෂයා ගැන කුමක් කිව හැකිද? සිය ස්වර්ගික පියවූ යෙහෝවඃවහන්සේ වෙත උපකාර හා මඟ පෙන්වීම සඳහා එළඹෙන්නේ නැතිව, ඒව සමඟ පාපයට හවුල්වීමෙන්, ඔහුද නොඉවසිල්ල විදහා පෙන්වූවා විය හැක. පාපයට මඟ පෙන්වූ නොඉවසිල්ල සමඟ සමහරවිට සම්බන්ධ වූ, ඔවුන්ගේ ගිජුකම, අප සියලුදෙනා සඳහා මාරාන්තික ඵලවිපාක ගෙන දුන්නේය. උඩඟුකම හා නොඉවසිල්ල දැක්වීම ඇතුළත්ව, පව් කිරීමට වූ ප්‍රවණතාව අපි ඔවුන්ගෙන් උරුමයක් සේ ලැබ ඇත්තෙමු.—රෝම 5:12.
අපේ මුල් දෙමාපියන්ගේ පාපයෙන් අවුරුදු 2,500කට පමණ පසු, දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වූ ඉශ්‍රායෙල්වරු, ගැඹුරු හා නිරන්තර වූ ඇදහිල්ලේ ඌනතාවක්ද, ඉවසිල්ලේ ඌනතාවක්ද විදහා පෙන්වූහ. යෙහෝවඃවහන්සේ මිසරයේ වහල්කමින් ඔවුන්ට ආශ්චර්යවත් ලෙස ගැළවීම ලබා දී තිබුණත්, “ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.” (ගීතාවලිය 106:7-14) ඔවුන් ඉවසිල්ලෙන් සිටීමට අකමැති වූ බැවින්, ඔවුහු නිතර නිතර බරපතළ වැරදි කිරීමෙහි යෙදුණාහ. ඔවුහු රන් වස්සෙකු සාදා ඊට වන්දනාමාන කළහ; යෙහෝවඃවහන්සේ ඔවුන් සඳහා ද්‍රව්‍යමය ලෙස සැපයූ මන්නා ගැන ඔවුහු කෙඳිරි ගෑහ; ඇරත් ඔවුහු බොහෝදෙනෙක්, දිව්‍යමය ලෙස පත් කර තිබූ යෙහෝවඃවහන්සේගේ නියෝජිත වූ, මෝසෙස්ට විරුද්ධව පවා කැරලි ගැසුවෝය. ඔවුන්ගේ ඉවසිල්ලේ ඌනතාව, ශෝකයට හා විපත්තියට මඟ පෑදූ බව මොනවට පැහැදිලිය.
ඉශ්‍රායෙල්හි පළමු මිනිස් රජ වූ සාවුල්, සිය පුත්‍රයන් තම රාජකීය අනුප්‍රාප්තිකයන් වීමේ ප්‍රස්තාව අහිමි කරගත්තේය. ඒ මන්ද? මන්දයත් යෙහෝවඃවහන්සේට පූජාවක් කළ යුතුව තිබූ අනාගතවක්තෘ සාමුවෙල් පැමිණෙන තෙක් බලාසිටීමට ඔහු අපොහොසත් වූ බැවිනි. මිනිසුන්ට තිබූ බියෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පූජාව ඔප්පු කිරීමෙහි සාවුල්, සාමුවෙල් නොතකා හිතුවක්කාරව ක්‍රියා කළේය. ඔහු පූජා විධිය නිම කළ සැණින්, සාමුවෙල් පැමිණි විට, සාවුල් තුළ ඇතිවූ හැඟීම් මොනතරම්ද කියා සිතා බලන්න! ඔහු තව විනාඩි ස්වල්පයක් බලා සිටියා නම්!—1 සාමුවෙල් 13:6-14.
වගවිභාගයකින් තොරව ගෙඩිය කෑමට පියවර නොගෙන ඒව ආදම් සඳහා බලා සිටියා නම්! එවගේම යෙහෝවඃවහන්සේගේ උපදෙස් සඳහා බලාසිටීමට ඉශ්‍රායෙල්වරුන් සිහිකර තිබුණා නම්! එසේය, ඔවුන්ද අපද ඉමහත් ශෝකයකින් හා වේදනාවකින් ගළවාගැනීමට ඉවසිල්ල ඉවහල් වන්ට තිබිණ.
නොඉවසිල්ලේ හේතුකාරක
අදදින නොඉවසිල්ලට මූලික හේතුව තේරුම්ගැනීමට බයිබලය අපට උපකාර කරයි. අපේ පරම්පරාව “කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි” [NW] කාලවල ජීවත්වන බව දෙවන තිමෝති තුන්වන පරිච්ඡේදය විස්තර කරයි. ජනයා “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, . . . තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,” සිටින බව එහි පැවසේ. (2තිමෝ 3:2, 3 පද) මෙවන් ගිජු, ආත්මාර්ථකාමී ආකල්පයක් බොහෝ ජනයාගේ හදවත් හා මනස් තුළ පවතින අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, සියලුදෙනාටම, සැබෑ ක්‍රිස්තියානීන්ට පවා, ඉවසිල්ල ක්‍රියාවට නැඟීම දුෂ්කර යමක් බවට පත්වේ. ලෝකයේ ජනයා අධිවේගයෙන් හෝ මාර්ගයේ එක් පථයක සිට අනික් පථයට ඇදී යමින් රිය පදවන විට, නැතහොත් අපව අපහාසයට ලක් කරන විට, අපේ ඉවසීම සෑහෙන පරීක්ෂාවකට ලක්විය හැක. ඔවුන් අනුකරණය කිරීමට හෝ ඔවුන්ට විරුද්ධව ප්‍රතික්‍රියා කිරීමට හෝ අප තුළ පෙලඹීමක් ඇතිවිය හැකි අතර, එමගින් සිදුවන්නේ අප ඔවුන්ගේ ආත්මාර්ථකාමී අහංකාරකමේ මට්ටමට ගිලිහී යෑමය.
සමහරවිට අපට ඉවසිල්ල නැතිවන්නේ අපේම වැරදිසහගත නිගමන නිසාය. සාලමොන් රජු, හදිසි, වැරදිසහගත වූ තර්ක කිරීම් හා ඉවසීමෙන් තොර, කෝපාවිෂ්ට හැසිරීම අතර සම්බන්ධය ගෙනහැර දක්වන අන්දම සැලකිල්ලට ගන්න: “උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය. කෝපවීමට [අමනාප වීමට, NW] නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය [අමනාපය, NW] පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.” (දේශනාකාරයා 7:8, 9) යම් තත්වයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කිරීමට පෙර, එහි සැබෑ ස්වභාවය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබාගැනීමට අපි කාලය ගන්නෙමු නම්, අපට අනුන් කෙරෙහි වඩාත් අවබෝධයෙන්, දයානුකම්පාවෙන්, ඉවසිල්ලෙන් සිටීමට ඉඩකඩ වැඩිය. අනික් අතට, අපට උඩඟු, ආත්මාර්ථකාමී ස්වභාවයක් තිබේ නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෝසෙස්ට වධ හිංසා කළාවූ කෙඳිරි ගසමින් සිටි, මුරණ්ඩු ඉශ්‍රායෙල්වරුන්ට සමානව අප අගතිසහගත කල්පනා ඇති, ඉවසිල්ලෙන් තොර, පරුෂ අය බවට පත්විය හැක.—ගණන් කථාව 20:2-5, 10.
මේ ලොව පුරා පවතින වැඩිවන්නාවූ ඉවසිල්ලේ ඌනතාවට එහි බලාපොරොත්තු විරහිත තත්වය තවත් හේතුවකි, එය සිදුවී තිබෙන්නේ යෙහෝවඃවහන්සේගෙන් ඈත්වීම කරණකොටගෙනය. යෙහෝවඃවහන්සේ කෙරෙහි බලාපොරොත්තු වීමට මිනිසා සතු අවශ්‍යතාව දාවිත් ප්‍රකාශ කළේය: “දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.” (ගීතාවලිය 62:5) යෙහෝවඃවහන්සේ දැනහඳුනා නොගෙන සිටින බොහෝදෙනෙකුට සීමිත, අඳුරු බලාපොරොත්තුවක් තිබේ, එනිසා මියයෑමට පෙර හැකිතරම් ආස්වාදයක් හා ලාභයක් ලැබීමට ඔවුහු පොරබදති. සාතන් නමැති යක්ෂයා වන, ඔවුන්ගේ ආත්මික පියාට සමානව, ඔවුන්ගේ ක්‍රියා අනුන්ට හානියක් විය හැක්කේ කෙසේද යන්න ගැන ඔවුහු නොතකති.—යොහන් 8:44; 1 යොහන් 5:19.
අදදින ඉවසිල්ල විරල යමක් වීම ගැන පුදුම විය යුතු නැත. මේ දුෂ්ට, ආත්මාර්ථකාමී දේවල පිළිවෙළද, එහි දෙවි වන සාතන්ද, අපේ පහත වැටුණු මාංසයේ පව්කාර නැඹුරුවාවන්ද, සියලුදෙනාටම, අවංක අයට පවා, ඉවසිලිවන්ත වීම දුෂ්කර කාර්යයක් කරවයි. එහෙත්, විශේෂයෙන්ම දෙවියන්වහන්සේගේ අරමුණු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ‘ඉවසිල්ලෙන් සිටීමට’ බයිබලය අපට අවවාද කරයි. (යාකොබ් 5:8) ඉවසීම මෙතරම් අනර්ඝ මන්ද? ඉන් අපට පිරිනැමිය හැකි විපාක කවරේද?
ඉවසීම—මෙතරම් අනර්ඝ මන්ද?
“සිටගෙන බලාසිටින අය පමණක් සේවයක් පිරිනමති.” මෙම වදන් අවුරුදු තුන්සියයකට ඉහතදී ඉංග්‍රීසි කවියා වූ ජොන් මිල්ටන් විසින් “ඔහුගේ අන්ධභාවය පිළිබඳ” නමැති සිය සොනට් පද්‍යයෙහි සඳහන් කරන ලදි. ඔහු සිය 40ගණන්වල අන්ධ වූ නිසා, මෙම කවියේ මුල් කොටසෙහි, දෙවියන්වහන්සේට පූර්ණ ලෙස සේවය කිරීමට නොහැකිවීමේ හැඟීම් ගැන තම බලාපොරොත්තු සුන්වූ බව හා කාන්සාව හේ ප්‍රකාශ කර තිබිණ. එහෙත් ඉහත උපුටා දක්වා තිබෙන කවියේ අවසන් පේළියෙන් පිළිබිඹු වන පරිදි, පීඩා ඉවසිලිවන්තව විඳදරාගැනීමෙන්ද, සේවය කිරීමට තිබෙන ප්‍රස්තා සන්සුන්ව සෙවීමෙන්ද, යමෙකුට දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකි බව ඔහු තේරුම් ගත්තේය. දෙවියන්වහන්සේ කෙරෙහි ඉවසිලිවන්තව රඳා සිටීමේ වැදගත්කම මිල්ටන් දුටුවේය.
සමහරවිට, අප බොහෝදෙනෙකුට හොඳ ඇස් පෙනීමේ හැකියාවක් තිබුණත්, කෝප වීමට හා සිත්තැවුලෙන් සිටීමට හේතුවක් විය හැකි සීමා අප සියලුදෙනා සතුය. අපට ඉවසීම අත්කර, එය ක්‍රියාවෙහි යෙදීමට පුළුවන් වන්නේ කෙසේද?
දිරිගන්වනසුලු ආදර්ශ
ඉවසීම සම්බන්ධයෙන් කදිම ආදර්ශ බොහොමයක් බයිබලය අපට සපයයි. මිනිසුන් මිලියන සංඛ්‍යාතයකට සදාකාල ජීවනය ලැබීමේ හැකියාව යෙහෝවඃවහන්සේගේ ඉවසීම කරණකොටගෙන පිරිනැමේ. (2 පේතෘස් 3:9, 15) අපේ “ආත්මවලට සහනය” ලැබීම සඳහා සිය වියගහ දැරීමට වූ යේසුස්වහන්සේගේ කාරුණික ඇරයුමෙන් පෙනීයන පරිදි, උන්වහන්සේ සිය පියාණන්ගේ පුදුමසහගත ඉවසීම පරිපූර්ණ ලෙස පිළිබිඹු කරනසේක. (මතෙව් 11:28-30) යෙහෝවඃවහන්සේගේ හා යේසුස්වහන්සේගේ ආදර්ශ මත මෙනෙහි කිරීම, වඩාත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට අපට උපකාර කළ හැකිය.
කෝප වීමට, පරුෂ වීමට හෝ පළිගැනීමට යුක්තිසහගත හේතුවක් තිබූ බවට පෙනී ගිය කෙනෙකි, යාකොබ්ගේ පුත්‍රවූ යෝසෙප්. ඉතාමත්ම අයුක්තිසහගත ලෙස ඔහුට සලකා තිබුණාවූ ඔහුගේ සහෝදරයෝ, ඔහුගේ මරණය සඳහා කුමන්ත්‍රණය කරමින්, අවසානයේදී ඔහුව වහල්භාවයට විකුණුවෝය. මිසරයේදී, යෝසෙප් යුතුකම් නොපිරිහෙළා ඉටු කරමින් ලැදිව පෝතිඵර්ට සේවය කළත්, ඔහුට විරුද්ධව අසාධාරණ චෝදනා පමුණුවනු ලැබූ අතර, ඔහුව සිර කරනු ලැබීය. ඉවසිලිවන්තව තම පීඩා සියල්ල විඳදරාගත් ඔහු, මෙවන් පීඩා යෙහෝවඃවහන්සේගේ අරමුණුවලට දායක විය හැකි බව තේරුම්ගත්තා විය හැක. (උත්පත්ති 45:5) යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇදහිල්ල හා බලාපොරොත්තුව සමඟ නිහතමානීකම හා අවබෝධය ඔහු වගා කළ බැවින්, ඉතා පීඩාකාරි තත්වයන් යටතේ පවා යෝසෙප්ට ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීමට හැකි විය.
යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය තවත් වැදගත් ආධාරකයකි. උදාහරණයක් වශයෙන්, අපට වහා කිපෙනසුලු ගතියක් හා සිත් රිදවන වචන කීමට නැඹුරුවාවක් තිබේ නම්, ශුද්ධාත්මයේ ඵලදාව වගා කිරීම සඳහා අපට එහි උපකාරය සඳහා යාච්ඤා කළ හැක. බොහෝ ඉවසිලිවන්තකම හා ආත්මදමනය වැනි, එහි එක් එක් ඵලය මත මෙනෙහි කිරීම තුළින්, ඒවා කොතරම් ගැඹුරු ලෙස ඉවසීමට නෑකම් කියන අන්දම දැකගැනීමට අපට උපකාරවත් වන්නේය.—ගලාති 5:22, 23.
ඉවසීම දැක්වීමෙහි විපාක
ඉවසිලිවන්ත වීම අපහට ප්‍රයෝජන බොහොමයක් ගෙන දිය හැක. ඉන් අපේ චරිතය ශක්තිමත් වන අතර, හදිසිවූද අඥානවූද ක්‍රියා කිරීමෙන් එය අපට ආරක්ෂාව සලසා දෙයි. දුෂ්කර නැතහොත් පීඩාකාරි තත්වයන්හිදී අනිසි හදිසිතාවකින් යුක්තව ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන්, වේදනාකාරි වැරදි නොකර තිබෙන්නේ අපෙන් කවරෙක්ද? අප අකාරුණික වචනයක් පැවසුවා හෝ, නැතහොත් කර්කශ ආකාරයකින් හැසිරුණා හෝ විය හැක. අපේ හිතවතෙකු සමඟ ඇති වූ සුළු සිදුවීමක්, කිසිවෙකු නම්‍ය වීමට අකමැති වූ විශාල විවාදයක් දක්වා වර්ධනය වීමට අප ඉඩදුන්නා විය හැක. සෑහෙන කෝපයක්, බලාපොරොත්තු සුන්බවක් හා වේදනාවක් අද්දැකීමෙන් පසුව, අප සමහර විට ‘මම තව ටිකක් දරාගෙන සිටියා නම්’ කියා පසුතැවිල්ලෙන් යුක්තව කල්පනා කරන්ට ඇත. ඉවසීම ක්‍රියාවට නැංවීම අපව සියලු ආකාර ශෝකයෙන් ආරක්ෂා කළ හැකිය. ඒ කාරණයෙන් පමණක්ම අපේ ජීවිතවලට වැඩිමනත් සාමයක්, ස්ථාවරයක් හා සැහීමක් ලැබේ.—පිලිප්පි 4:5-7.
ඉවසිලිවන්ත වීම අපහට සන්සුන්, විශ්වාසයෙන් පූර්ණ හෘදයක් ඇතුව සිටීමටද උපකාරවත් විය හැක. වඩාත් හොඳ කායික, චිත්තවේගීය හා ආත්මික සෞඛ්‍යයක් භුක්තිවිඳීමට මෙය අපහට මඟ පෑදිය හැක. (හිතෝපදේශ 14:30) ඇවිළෙන කෝපය මර්දනය නොකළොත්, එය බරපතළ චිත්තවේගීය හා කායික අසනීපවලට සහ මරණයට හේතුවක් විය හැක. අනික් අතට, ඉවසිලිවන්තව සිටීමෙන් අනුන් කෙරෙහි, විශේෂයෙන්ම අපේ ආත්මික සහෝදරයන් හා පවුලේ සාමාජිකයන් කෙරෙහි, වඩාත් ඒකාන්ත ආකල්පයක් ලබාගැනීමට අපට හැකි වේ. එවිට කුපිත වීමට හා විවේචනාත්මක වීමට නැඹුරු වනවා වෙනුවට සැලකිලිමත් වීමට හා උපකාරවත් වීමට අපි නැඹුරු වන්නෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප සමඟ ගැවසීම අනුන්හට වඩාත් පහසු යමක් වනු ඇත.
ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් විශේෂයෙන්ම ඉවසීම ක්‍රියාවට නැංවිය යුතුය. ඇතැම් අවස්ථාවන්හිදී, සෙසු ක්‍රිස්තියානීහු බැරෑරුම් ගැටලු සමඟින් ඔවුන් වෙතට එළඹෙති. මෙම අවංක අය වියවුල්ව, කලබලෙන් හෝ කලකිරීමෙන් යුක්තව සිටිනවා විය හැක, ඒ සමඟම වැඩිමහල්ලන් වෙහෙසට පත්වී හෝ තම පෞද්ගලික හෝ පවුලේ ගැටලු මගින් ඔවුන්ගේ සිත වෙනතකට යොමු වී තිබෙනවා විය හැක. එහෙත්, එවන් පීඩාකාරි තත්වයන් හමුවේ ඉවසීම ක්‍රියාවට නැංවීම වැඩිමහල්ලන්හට මොනතරම් වැදගත් යමක් වේද! මෙලෙස “මෘදුකමින්” උපදෙස් දීමටත් “රැළට අනුකම්පා[වෙන්]” යුක්තව සැලකිල්ල දැක්වීමටත් ඔවුන්ට හැකිවනවා ඇත. (2 තිමෝති 2:24, 25අ, 26ආ; ක්‍රියා 20:28, 29) ඉතා අනර්ඝ වූ ජීවිත අවදානම් තත්වයක පවතී! කාරුණික, ප්‍රේමනීය හා ඉවසිලිවන්ත වැඩිමහල්ලන් සභාවට මොනතරම් ආශීර්වාදයක්ද!
ගෘහ මූලිකයන්ද තම පවුල් කෙරෙහි ඉවසීමෙන්, අවබෝධයෙන් හා කරුණාවෙන් සැලකිල්ල දැක්විය යුතුය. පවුලේ සියලු සාමාජිකයන්ද මෙම ගුණාංග ක්‍රියාවට නැංවීම ඔවුන් අපේක්ෂා කළ යුතු අතරම, ඒ සඳහා දිරිගැන්විය යුතුය. (මතෙව් 7:12) පවුල තුළ ප්‍රේමයට හා සාමයට මෙය බෙහෙවින් දායක වන්නේය.
ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට, ඉවසීම ක්‍රියාවට නැංවීමට ක්‍රිස්තියානි දේවසේවකයන්හට උපකාරවත් වන්නේ තම සේවය වඩාත් පූර්ණ අන්දමකින් භුක්තිවිඳීමටය. මුහුණදීමට සිදුවන ඕනෑම උදාසීනකමක් හෝ විරුද්ධවාදීකමක් දරාගැනීමට ඔවුන්ට වඩාත් හොඳින් හැකි වනවා ඇත. කෝප වූ නිවැසියන් සමඟ වාද කරනවා වෙනුවට, ඉවසිලිවන්ත දේවසේවකයන්ට මෘදු උත්තරයක් දීමට නැතහොත් සන්සුන්ව එම ස්ථානයෙන් ඉවත්වීමට හැකි වන්නේය, මෙලෙස සාමය හා ප්‍රීතිය රැකගනු ලැබේ. (මතෙව් 10:12, 13) එපමණක්ද නොව, ක්‍රිස්තියානීන් සෑම කෙනෙකුටම ඉවසීමෙන් හා කරුණාවෙන් සලකනවා නම්, බැටළු ගුණැති අය රාජ්‍ය පණිවුඩයට ඇදී එන්නෝය. වර්ෂයක් පාසා වර්ෂයක් යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සභාවට සත්‍යය සොයන මොළොක් ගුණැති ජනයා ලක්ෂ ගණන් එක්රොක් වීමෙන් පැහැදිලි වන පරිදි, යෙහෝවඃවහන්සේ ඉවසිලිවන්ත වෑයම්වලට ලෝක ව්‍යාප්ත පරිමාණයකින් ආශීර්වාද පිරිනමා ඇති බවයි.
ඉවසීම ක්‍රියාවට නැංවීමට අපහට කදිම විපාක දෙන බව මොනවට පැහැදිලිය. සංයමයෙන් තොරව කටයුතු කිරීමෙන් හෝ කතා කිරීමට ඉක්මන් වීමෙන් හෝ ඇතිවන අනතුරු හා ගැටලු බොහොමයක් අපි මඟ හරින්නෙමු. අපි වඩාත් සන්තෝෂ වන්නෙමු, සන්සුන් වන්නෙමු, එමෙන්ම බොහෝදුරට වඩාත් සෞඛ්‍යසම්පන්නව සිටින්නෙමු. අපේ දේවසේවය තුළ, සභාව තුළ හා නිවහන තුළ අපි වඩාත් ප්‍රීතියක්ද, සමාදානයක්ද අද්දකින්නෙමු. එහෙත් ඒ සියල්ල අභිබවා, අපි දෙවියන්වහන්සේ සමඟ වඩාත් සමීප සබඳතාවක් භුක්තිවිඳින්නෙමු. එනිසා යෙහෝවඃවහන්සේ කෙරෙහි බලා සිටින්න. ඉවසීම ක්‍රියාවට නංවන්න!
[පාදසටහන්වල]
a නම වෙනස් කර තිබේ.
[10වන පිටුවේ පින්තූර]
ඔබ එදිනෙදා ජීවිතයේදී කොතරම් ඉවසිලිවන්තද?