ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කුමක් වැය කිරීමට ඔබට සිදුවේද?
දකුණු අමෙරිකානු රටක ජනාධිපති බිරිඳගේ පවුල් සාමාජිකයන් විසින් පිහිටුවන ලද ව්‍යාජ සමාගම්වලට එම බිරිඳ ඩොලර් සිය දහස් ගණන් කොන්ත්‍රාත් යොමු කිරීම ගැන චෝදනා ලැබුවාය. බැංකු හා ව්‍යාපාර වස්තු වෙළඳපොළේ ඩොලර් බිලියන 1.6ක වංචාවකට හවුල් බවට චෝදනා කිරීම නිසා, ඉන්දියාවේ අවුරුදු 38ක් වයසැති ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙකුව අත්අඩංගුවට ගෙන, ඔහුගේ සුඛෝපභෝගී මහලෙන් ඔහුව රැගෙන යන විට, ඔහුගේ මෝටර් රථ 29ත් ගෙන යනු ලැබීය. පිලිපීනයෙහි, එක්තරා දූපතක පදිංචිකරුවෝ නීති-විරෝධී අත්තුවක්කු නිපදවීමෙන් තම ජීවිකාව ගෙන යති. මෙම ලාභදායී වෙළඳාමෙහි රැඳී සිටීම සඳහා, නිලධාරීන් තමන්ගේ කටයුතුවලට බාධා නොකරන පිණිස මොවුන් පුරුද්දක් වශයෙන් ඔවුන්ට අල්ලස් දෙන බවට වාර්තා කෙරේ.
එසේය, ව්‍යාපාරය තුළ වංකකම හා වංචාව ලොව පුරා පැතිර පවතියි. තවද බොහෝවිට, ඊට හවුල් මනුෂ්‍යයන්ට මුදල් මෙන්ම, තනතුර හා කීර්තිය අහිමි වෙයි.
ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ ව්‍යාපාරයේ නියැලී සිටින්නෙහිද? නැතහොත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන ඔබ කල්පනා කරමින් සිටින්නෙහිද? ඉන් ඔබට වැය වනු ඇත්තේ කුමක්ද? ව්‍යාපාරයෙහි යෙදීමෙන් යම්කිසිවක් වැයවීම වැළැක්විය නොහැක්කකි. මෙය අනිවාර්යයෙන්ම නරක දෙයක්ද නොවේ. කෙසේවුවද, ව්‍යාපාරයක් පටන්ගැනීමට පෙර හෝ දැනටමත් පිහිටුවා තිබෙන එකක් සම්බන්ධයෙන් තීරණගැනීමේදී වියදම ගණන් බැලීම ඥානවන්තය. (ලූක් 14:28) ඔබ සැලකිල්ලට ගැනීමට කැමති වන සමහර වියදම් 31වන පිටුවේ කොටුවෙන් පෙන්නුම් කරයි.
පැහැදිලිවම, ව්‍යාපාරයක යෙදීම සුළු පටු දෙයක් නොවේ. ක්රිස්තියානිවරයෙකු සඳහා, සලකා බැලීමට ආත්මික හා සදාචාර යුතුකම් තිබේ. ඔබට වියදම් පියවා ආත්මික ලෙස සමබරව සිටිය හැකිද? ඇතැම් වියදම් ඔබට සදාචාරාත්මක ලෙස පිළිගත නොහැකි ඒවාද? පිළිගත හැකි සහ නොහැකි වියදම් මොනවාදැයි නිශ්චය කිරීමේදී ඔබට උපකාරවත් වන්නාවූ සමහර ප්‍රතිපත්ති මොනවාද?
මුදල් එහි නිසි තැනේ තබන්න
ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට මුදල් අවශ්‍යය, තවද යමෙකුගේ පවුල රැකගැනීමට ප්‍රමාණවත් මුදල්, ව්‍යාපාරයකින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේවුවද, මුදල් සම්බන්ධ ඉලක්ක පහසුවෙන්ම අපැහැදිලි විය හැක. ගිජුකම සාධකයක් විය හැක. බොහෝදෙනෙකුට, මුදල් සම්බන්ධ කාරණයේදී, අනික් සෑම දෙයක්ම පැත්තකට විසි වෙයි. එහෙත්, බයිබලයේ හිතෝපදේශ පොත ලියූ එක් ලේඛකයෙකු වන, ආගුර් සමබර අදහසක් මෙසේ ප්‍රකාශ කළේය: “මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්යකළ මැනව.” (හිතෝපදේශ 30:9) ප්‍රමාණවත් ආහාරපානාදියෙන් සෑහීමකට පත්වීමේ වටිනාකම ඔහු වටහාගත්තේය—සමහරුන් පවසන පරිදි, ව්‍යාපාරයෙන් “කෝටිපතියෙකු වීමට” ඔහුට වුවමනා වූයේ නැත.
කෙසේවෙතත්, එම ස්වර්ණමය ලෙස සලකනු ලබන ප්‍රස්තාව මතුවන විට, මෙම ප්‍රතිපත්තිය අමතක කිරීමට ගිජුකම යමෙකුව පෙලඹිය හැක. වර්ධනය වෙමින් පවතින රටක සංචාරක සේවකයෙකු එබඳු සිද්ධියක් ගැන වාර්තා කළේය. ආයෝජන ප්රාග්ධනය අවශ්‍ය කරන එක්තරා සමාගමක් ආයෝජකයන්ට ඉඟි කළේ, සමහරවිට මාස ස්වල්පයකින් තමන්ගේ මුදල දෙගුණයක් කිරීමට හැකිවන බවය. පහසුවෙන් මුදල් ඉපයීමේ මෙම පොරොන්දුව නිසා, බොහෝදෙනෙක් ආයෝජනය කිරීමට පෙලඹුණෝය. සංචාරක සේවකයා මෙසේ පවසයි: “සමහරු ඊට හවුල්වීමට දැඩි කැමැත්තක් දැක්වූහ. ඔවුහු කාරණය හොඳින් සෝදිසි නොකර, [ආයෝජනය කිරීමට] මුදල් ණයට ගත්තෝය.”
මීට වෙනස්ව, පුද්ගලයෝ දෙදෙනෙක් ආයෝජනය කිරීමට ප්‍රථම සෝදිසි කර බැලීම සඳහා මෙම සමාගමේ කාර්යාලයට ගියෝය. නිෂ්පාදන පහසුකම් බැලීමට කළ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ. සමාගමේ කීර්තිය ගැන සැක කිරීමට මෙය ඔවුන්ව පෙලඹීය. එය ඔවුන්ට ආරක්ෂාවක් විය, මක්නිසාද සති ස්වල්පයක් තුළදී, පෙනෙන ප්‍රකාරයට වංචනික වැඩපිළිවෙළ හෙළි කරනු ලැබීය, තවද පුද්ගලයන් අත්අඩංගුවට ගැනිණ. මුලදීම සෝදිසි නොකළාවූ අයවලුන්ට මෙයින් අහිමි වූ දෙය සිතා බලන්න. ව්‍යාපාරය කඩාකප්පල්වන විට, ඔවුන්ට අහිමි වූයේ මුදල් පමණක් නොව, නමුත් එම මුදල් ආපසු ගෙවනු ලැබීමට නොහැකි වූ නිසා, ණය මුදල් සැපයූ එම මිතුරනුත්ය. මුදල් පිළිබඳ කාරණාවලදී, හිතෝපදේශ 22:3හි ප්‍රතිපත්තිය අදාළ කිරීම මොනතරම් ඥානවන්තද: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති”!
ඔබගේ වචනය කඩ නොකරන්න
ඔබගේ ව්‍යාපාරය නරක අතට හැරුණොත්, කුමක් කිව හැකිද? අවාසියක් සිදුවුවත්, තමා කළ ගිවිසුම් කඩ නොකරන පුද්ගලයෙකුට ගීතාවලිය 15:4 මෙසේ ප්‍රශංසා කරයි: “තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.” සියල්ලක්ම හොඳින් සිදුවන විට, යමෙකුගේ වචනය කඩ නොකිරීම පහසු දෙයකි. එහෙත් මූල්‍යමය ලෙස එය යමෙකුගේ අවාසියට සිදුවන විට, එය අඛණ්ඩතාව පරීක්ෂාවට භාජන කෙරේ.
යෝෂුවාගේ කාලයේ බයිබල් ආදර්ශයක් සිහිපත් කරන්න. ඉශ්රායෙල් අධිපතීන් තමන් සමඟ ගිවිසුමකට එළඹී තමන්ව විනාශ නොකරන හැටියට ගිබියොන්වරු උපක්රමශීලීව කටයුතු කළහ. ඇත්තවශයෙන්ම, ඉශ්රායෙල්ට අනතුරක් යයි සලකනු ලැබූ ජාතියක ඔවුන් කොටසක් විය. කපටිකම හෙළි වූ විට, “සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය.” (යෝෂුවා 9:18) මෙම කණ්ඩායම සතුරු ප්‍රදේශයෙන් පැමිණියත්, තමන්ගේ වචනය කඩ නොකිරීම වැදගත් යයි අධිපතීන්ට හැඟිණ. තවද මෙය යෙහෝවඃවහන්සේට ප්‍රසන්න වූ බව ඉන්පසු සිදු වූ සිද්ධීන්වලින් පෙන්නුම් කෙරේ.—යෝෂුවා 10:6-11.
ඔබ අපේක්ෂා නොකළ පරිදි දේවල් සිදුවුවත්, ඔබගේ ව්‍යාපාරික පොරොන්දු හා ගිවිසුම් ඔබ කඩ නොකරන්නෙහිද?a තමනගේ වචනය කිසිවිටකත් කඩ නොකරන යෙහෝවඃවහන්සේට ඔබත් බොහෝසෙයින් සමාන වනු ඇත.—යෙසායා 55:11.
අවංක වන්න
අදදින ව්‍යාපාරික ලෝකය තුළ අවංකකම වනාහි අවදානමට භාජන වූ නැතහොත් වඳ වූ සත්වයන් බඳුය. ඔබ මෙන් ව්‍යාපාරයේ යෙදෙන වෙනත් අයවලුන් තමන්ගේ ඉපයීම් වැඩි කිරීමට වංක ක්‍රම භාවිත කළ හැක. ප්රචාරක කටයුතුවලදී ඔවුන් වංක විය හැක. ඔවුන් වෙනත් සමාගමක නමක් සොරාගෙන එය තමන්ගේ නිෂ්පාදනයට දැමිය හැක. නැතහොත් බාල නිෂ්පාදනයක් අනර්ඝ නිෂ්පාදනයක් වශයෙන් ඉදිරිපත් කළ හැක. මේ සියල්ලක්ම වංක ක්රමයන්ය. ආසප් පවසන පරිදි, ඒවා කරමින් සිටින අයවලුන්, ‘දුෂ්ටයන්’ මෙන් පෙනෙන ප්‍රකාරයට වංක ආකාරයකින් ‘තමන්ගේ වස්තුව වැඩි කරගෙන තිබේ’.—ගීතාවලිය 73:12.
ක්රිස්තියානිවරයෙකු වශයෙන්, ඔබ නීතිවිරෝධී ක්‍රම භාවිත කරන්නෙහිද? නැතහොත්: “අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකෙළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව”; “ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර”; “ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත,” වැනි බයිබල් ප්‍රතිපත්ති මගින් ඔබ මඟ පෙන්වීම ලබන්නෙහිද? (2 කොරින්ති 4:2; 7:2; හිතෝපදේශ 20:23) වංකකමේ ප්රාරම්භකයා වෙන කිසිවෙකු නොව, නමුත් “බොරුවේ පියා” වන සාතන් නමැති යක්ෂයා බව මතක තබාගන්න.—යොහන් 8:44.
සමහරුන් විරෝධය පළ කර මෙසේ පැවසිය හැක: ‘අන්‍යයන් කරන්නාක් මෙන් වංක ක්‍රම භාවිත නොකර ව්‍යාපාරය තුළ රැඳී සිටීම අසීරුය.’ ක්රිස්තියානිවරයෙකුට යෙහෝවඃවහන්සේ කෙරෙහි තමන්ගේ ඇදහිල්ල විදහාපෑ හැක්කේ මෙහිදීය. යම්කිසි පාඩුවක් විඳීමට සිදුවූ විට අවංකකම පරීක්ෂණයට භාජන කෙරේ. වංක නොවී ජීවිකාව ගෙන යෑමට පුද්ගලයෙකුට නොහැකි යයි පැවසීම හරියට දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන් ගැන උන්වහන්සේ සලකන්නේ නැතැයි කියා කියන්නාක් මෙනි. ඕනෑම රටක, ඕනෑම තත්වයක සිටින තම සේවකයන්ට සැපයීමට යෙහෝවඃවහන්සේට හැකි බව උන්වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ලක් ඇති තැනැත්තා දැන සිටියි. (හෙබ්‍රෙව් 13:5) වංක කෙනෙකුට වඩා අඩු ආදායමකින් සෑහීමට පත්වීමට කෙනෙකුට සිදුවිය හැක, නමුත් දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා මෙම මිල ගෙවීම වටින්නේ නැද්ද?
වංකකම වනාහි හරියට බූමරංගයක් මෙනි, එය විසි කළ විට, විසි කරන්නා වෙතට එය ආපසු පැමිණෙන බව මතක තබාගන්න. ව්‍යාපාරිකයෙකු වංක බව පෙනුණොත්, බොහෝවිට පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් ඔහුව මඟහරිනු ඇත. ඔහු ඔවුන්ව වරක් මුළා කළ හැක, නමුත් එය අන්තිම වතාව විය හැක. අනික් අතට, අවංක ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් අන්‍යයන්ගේ ගෞරවය දිනාගනියි. ‘අනික් සෑම කෙනෙකුම කරන නිසා, එහි වරදක් නැතැයි’ යන ව්‍යාජ තර්කයෙන් මුළා නොවීමට පරෙස්සම් වන්න. බයිබල් ප්‍රතිපත්තිය නම්, “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න.”—නික්මයාම 23:2.
දිගු කලක් පුරා සිටින ඔබගේ ව්‍යාපාරික හවුල්කරුවා සෙසු ක්රිස්තියානිවරයෙකු නොවන නිසා, සෑමවිටම බයිබල් ප්‍රතිපත්ති නොපිළිපදියි. ශුද්ධ ලියවිල්ලට එකඟ නැති යමක් සිදුවන විට, ඔබගේම වගකීම මඟහැරීමට මෙය සමාවට කරුණක් වශයෙන් පාවිච්චි කිරීම සුදුසු වනු ඇත්ද? ආදම් හා සාවුල් වැනි ආදර්ශ සිහිපත් කරන්න. පාපය මඟහරිනවා වෙනුවට, අන්‍යයන්ගේ පීඩනයට ඔවුහු යටත් වී, ඉන්පසු තම ආශ්‍රිතයන්ට දොස් නැඟූහ. මොනතරම් අධික මිලක් ඔවුන්ට ගෙවන්ට සිදුවීද!—උත්පත්ති 3:12, 17-19; 1 සාමුවෙල් 15:20-26.
සෙසු ඇදහිලිවන්තයන් සමඟ නිසි ලෙස කටයුතු කරන්න
යෙහෝවඃවහන්සේගේ සෙසු නමස්කාර කරන්නන් සමඟ ව්‍යාපාරික කටයුතුවලට ඇතුළත් වන විට, ගණන් බැලීමට වියදම් තිබේද? අනාගතවක්තෘ යෙරෙමියා තමාගේම ගම වන අනාතෝත්හි කෙතක් තම ඥාතියාගෙන් මිලේට ගත් විට, ඔහු ඔහුට නිකම් මුදල් දී, අතට අත දුන්නේ නැත. ඒ වෙනුවට, ඔහු මෙසේ පැවසීය: “මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන, මිල ඔහුට තාරාදියෙන් කිරාදුනිමි.” (යෙරෙමියා 32:10) පසු කලක තත්වයන් වෙනස් වුවහොත්, වරදවා තේරුම්ගැනීම වැළැක්වීමට එබඳු ලිඛිත ගිවිසුම්වලට පුළුවන.
එහෙත් ක්‍රිස්තියානි සහෝදරයෙකු ව්‍යාපාරයේදී ඔබ සමඟ අසාධාරණ ලෙස කටයුතු කර තිබෙන බවක් පෙනේ නම්, කුමක් කළ යුතුද? ඔබ ඔහුව අධිකරණය වෙතට රැගෙන යා යුතුද? මේ ගැන බයිබලය ඉතා පැහැදිලිය. “නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?” කියා පාවුල් ඇසීය. දැන්ම සතුටුදායක ලෙස ගැටලුවක් විසඳනු නොලැබුවේ නම් කුමක්ද? පාවුල් මෙසේද පැවසීය: “එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?” සැබෑ ක්‍රිස්තියානීන් අධිකරණයෙහි නඩු හබ ඇතුව සිටින වග පිටත සිටින්නන්ට අසන්ට ලැබුණේ නම්, ක්‍රිස්තියානි සංවිධානය කෙරෙහි ඉන් ඇතිවන කැලල ගැන මඳක් සිතන්න! එබඳු අවස්ථාවලදී සහෝදරයාට ඇති ප්‍රේමයට වඩා මුදලට ඇති ප්‍රේමය බලවත් වී තිබෙනවා විය හැකිද? නැතහොත් නම්බුවට හානියක් වී, පළිගැනීම කල්පනාවෙහි ප්‍රධාන දෙය වී තිබේද? එබඳු අවස්ථාවලදී අධිකරණය වෙතට යනවා වෙනුවට, අලාභය විඳගැනීම වඩාත් හොඳ බව පාවුල්ගේ උපදේශය පෙන්වයි.—1 කොරින්ති 6:1, 7; රෝම 12:17-21.
ඇත්තවශයෙන්ම, සභාවක් තුළ එබඳු ආරවුල් සමඟ කටයුතු කිරීමට ශුද්ධ ලියවිලිමය ක්‍රමයක් තිබේ. (මතෙව් 5:37; 18:15-17) මීට අදාළ සහෝදරයන්ට නිර්දේශිත පියවර ගැනීමට උපකාර කිරීමේදී, මීට අදාළ සියල්ලන්ටම යම් ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් ක්‍රිස්තියානි අවේක්ෂකයන් දිය හැක. එබඳු සාකච්ඡාවලදී බයිබල් ප්‍රතිපත්තිවලට එකඟවීම පහසු ලෙස පෙනෙන්ට පුළුවන, නමුත් පසුව දෙනු ලැබූ උපදෙස් අදාළ කිරීමෙන් ඔබ සවන් දුන් බව සැබෑවටම පෙන්වන්නෙහිද? දෙවියන්වහන්සේට හා අපගේ සෙසු ක්‍රිස්තියානීන්ට ඇති ප්‍රේමය එසේ කිරීමට අපව පොලඹවනු ඇත.
නොඅනුමානවම, ව්‍යාපාරයෙහි යෙදෙන විට, යම්කිසිවක් ඔබට වැය කිරීමට සිදුවනු ඇත. ඔබ ගෙවන මිල සාධාරණ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තීරණ හෝ සැක සහිත තත්වයකට මුහුණපාන විට, මුදලට වඩා වටිනා බෝහෝ දේවල් තිබෙන බව මතක තබාගන්න. මුදල නිසි තැන තැබීමෙන්, යමෙකුගේ වචනය කඩ නොකිරීමෙන්, අවංක වීමෙන් සහ ව්‍යාපාරික ආශ්‍රිතයන් සමඟ ක්‍රිස්තියානි ආකාරයට කටයුතු කිරීමෙන්, අවශ්‍ය තරමට වඩා කාලය හා මුදල් වැය නොවන බවට අපට සහතික විය හැක, ඒ සමඟම, අපට මිත්‍රත්වයන්, හොඳ හෘදසාක්ෂියක් මෙන්ම යෙහෝවඃවහන්සේ සමඟ කදිම සබඳතාවක් පවත්වාගත හැක.
[පාදසටහන්වල]
a ව්‍යාපාරයේදී තමන්ගේ වචනය කඩ නොකිරීමේ නවීන-දින ආදර්ශයක් සඳහා, 1988 මැයි 8 එවේක්! සඟරාවෙහි පිටු 11-13හි ඇති “මාගේ වචනය මාගේ ගිවිසුමය [මයි වර්ඩ් මයි බොන්ඩ්]” යන ලිපිය බලන්න.
[31වන පිටුවේ කොටුව]
ඔබගේ ව්‍යාපාරය නිසා ඔබට වැය විය හැකි දේවල්
කාලය: සමාගමක සේවකයෙකු වශයෙන් වැඩ කරනවාට වඩා වැඩි කාලයක් තමාගේම ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී වැය වේ. වැදගත් ආත්මික කටයුතුවලට අඩු කාලයක් ඉතිරි කරමින්, ඔබගේ කාලසටහනට මෙය බලපායිද? මෙහි ඒකාන්ත පැත්ත සැලකිල්ලට ගනිද්දී, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි වැඩි කාලයක් වැය කරන පිණිස ඔබගේ කටයුතු පිළියෙළ කරගැනීමට ඔබට හැකි වනු ඇත්ද? එසේ නම්, කදිමය. එහෙත් පරෙස්සම් වන්න! මෙසේ කීම කරනවාට වඩා පහසුය.
මුදල්: මුදල් ඉපයීමට මුදල් වුවමනා කෙරේ. ඔබගේ ව්‍යාපාරයට කිනම් ආයෝජනයක් අවශ්‍ය කෙරේද? ඔබට දැනටමත් මුදල් තිබෙනවාද? නැතහොත් මුදල් ණයට ගැනීමට ඔබට සිදුවේද? ආයෝජනය කරන ලද මුදල්වලින් සමහරක් ඔබට නැතිවුවහොත්, එය දරාගැනීමට ඔබට හැකිද? නැතහොත්, ඔබ අපේක්ෂා කළ ආකාරයට දේවල් සිදුනොවේ නම්, ඉන් සිදුවන පාඩුව ඔබට දරාගත හැකි පමණට වඩා වැඩිවේවිද?
මිත්‍රයන්: එදිනෙදා ගනුදෙනුවලදී ගැටලු පැනනඟින නිසා, බොහෝ ව්‍යාපාරිකයෝ තම මිත්‍රයන් අහිමි කරගෙන ඇත්තාහ. එහිදී මිත්‍රයන් සාදාගැනීම පහසු දෙයක් වුවද, මිත්‍රයන් නැවත ඇති කරගැනීම එතරම් පහසු දෙයක් නොවේ. ඇරත් මෙම මිත්‍රයන් අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් නම් කුමක් කිව හැකිද?
යහපත් හෘදය සාක්ෂියක්: අදදින ලෝකයේ බොහෝදෙනෙකුගේ පොදු න්‍යාය නම්, “බල්ලා බල්ලා සපාකයි” හෝ “ඉන් මට තිබෙන්නේ කුමක්ද?” යන්නය. යුරෝපයේ පවත්වන ලද සමීක්ෂණයකදී ශිෂ්‍යයන්ගෙන් සියයට 70ක් පමණ කියා සිටියේ, ව්‍යාපාර ජීවිතය තුළ චර්යාධර්මවලට කිසිදු තැනක් නැති බවය. වංචාව, වංකභාවය සහ සැකකටයුතු ව්‍යාපාර පුරුදු පොදු දෙයක් බවට පත්වී තිබීම ගැන පුදුම විය යුතු නැත. ඊට අනුකූලව ගැළපීමට ඔබට පරීක්ෂා කරනු ලැබේද?
යෙහෝවඃවහන්සේ සමඟ ඔබගේ සම්බන්ධතාව: දෙවියන්වහන්සේගේ නීති හා ප්‍රතිපත්තිවලට එරෙහිව කරන ව්‍යාපාරවල ඕනෑම ක්‍රියාවක්, ව්‍යාපාර කටයුතුවලදී පොදු දෙයක් වුවත්, එය පුද්ගලයෙකුට සිය මැවුම්කරුවාණන් සමඟ ඇති සම්බන්ධතාවට හානි පමුණවයි. මෙනිසා ඔහුට සිය සදාකාලික ජීවිතය පිළිබඳ අපේක්ෂාව අහිමි වන්නට පුළුවන. ද්‍රව්‍යමය ප්‍රයෝජන මොනවා වුවත්, මෙය පක්ෂපාත ක්‍රිස්තියානියෙකුට ගෙවීමට සිදුවන මහා මිලක් බව ප්රත්යක්ෂ නොවන්නේද?
[31වන පිටුවේ පින්තූර]
පසුව ඇති වන වැරදි අවබෝධවලින් වැළකීමට කුමක් උපකාර වේවිද? මහත්මා පොරොන්දුවක්ද නැතහොත් ලිඛිත ගිවිසුමක්ද?