රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
අප්‍රිකාවේ යෞවනයෝ ශුභාරංචිය ප්‍රකාශ කරති
යේසුස්වහන්සේගේ නැවත නැගිටීමට පසු, එක් අප්‍රිකානු මිනිසෙක් යෙරුසලම බලා ගමන් කරමින් සිටියේය. බයිබලය ඔහුගේ නම වාර්තා කරන්නේ නැත. ඔහුව දැනගැනීමට ඇත්තේ, “එතියෝපිය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවූද, ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරිකවූද” යනුවෙන් පමණි. ඔහු ගැන බයිබලයේ සඳහන් වී ඇත්තේ මන්ද? මන්දයත්, එක් දේවදූතයෙක්, ඔහුට “යේසුස්වහන්සේ ගැන” ප්‍රකාශ කිරීම සඳහා ක්‍රිස්තියානි එවැන්ජලිස්තවරයෙකුට මඟ පෙන්වීය. වාර්තා වන පරිදි, ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු බවට පත්වූ පළමු අප්‍රිකානු මිනිසා මෙම එතියෝපිය ජාතිකයා විය.—ක්‍රියා 8:26-39.
අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිය දහස් ගණනක් අප්‍රිකාවේ සිටිති. යේසුස්වහන්සේ පිළිබඳව ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදාගැනීම සඳහා ඔවුහු සෑම ප්‍රස්තාවක්ම යොදාගනිති. අප්‍රිකාවේ සිටින යෞවනයන්ට පවා මේ සම්බන්ධයෙන් ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙන බව පහත අද්දැකීම පෙන්නුම් කරයි.
◻ සාන්ඩේ සහ ප්‍රියා වනාහි කෙන්යාවේ නයිරෝබි නුවර 11 හැවිරිදි අසල්වැසි ගැහැනු ළමුන් දෙදෙනෙකි. ඔවුහු එකට සෙල්ලම් කරමින් කතන්දර පොත් හුවමාරු කරගනිමින් ප්‍රීතියෙන් කල්යැවූහ. ප්‍රියාගේ දෙමාපියෝ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්හ. දැන් ප්‍රියාට තමා විසින් එකතු කරන ලද අලුත් පොත්වලට අලුතෙන් යමක් එකතු කරන්ට තිබූ අතර, ඇය විශේෂයෙන් ආශා කළ දෙයක් බවට පත්වූ, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් පළ කරන ලද ලිස්ට්නිං ටු ද ග්‍රේට් ටීචර් පොත ඊට ඇතුළත් විය. ඈ ඇගේ ග්‍රේට් ටීචර් පොත ඇගේ මිතුරිය වන සාන්ඩේ සමඟ හවුලේ පාවිච්චි අතර, මෙම ගැහැණු ළමයි දෙදෙනා එය නිතිපතා අධ්‍යයනය කිරීමට පටන්ගත්තෝය.
කෙසේවුවද, සාන්ඩේගේ මව වන යූනෙ, එංගලන්ත සභාවේ පල්ලියට ගිය අතර, ඇගේ දියණිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගත් පොත් කියවනවාට කැමති නොවූවාය. මවගේ විරෝධතා මැද, පාඩම දිගටම කෙරීගෙන ගියේය. තමන්ගේ සාකච්ඡාවට එක වරක් පමණක් සවන් දෙන ලෙස එක් දිනක් සාන්ඩේ තම මවගෙන් අයැද සිටියාය. එම ගැහැනු ළමුන් දෙදෙනා එදින කියවූ පරිච්ඡේදයේ තේමාව වූයේ, “උපන් දින උත්සව පැවැත්වූ මිනිසුන් දෙදෙනා” යන්නයි. මීට සවන් දුන් යූනෙගේ සිතට මෙය තදින් කාවැදිණ. ඉක්මනින්ම ප්‍රියාගේ මව වෙතට ගිය ඈ, බොහෝ බයිබල් ප්‍රශ්න ඇගෙන් අසන්ට වූවාය.
ප්‍රියාගේ මව, යූනෙ සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට සාක්ෂිකාරියකව පිළියෙළ කළාය. වැඩිකල් යෑමට මත්තෙන්, යූනෙ, තමා සමඟ එකට වැඩ කරන ඩේල් සමඟ තමා ඉගෙනගනිමින් සිටි දෙය හවුලේ බෙදාගනිමින් සිටියාය. මේ අතරතුර, 11හැවිරිදි ප්‍රියා, දිගටම ප්‍රගතිය ලැබ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකදී, යෙහෝවඃ දෙවියන්වහන්සේට වූ තම කැපවීම වතුර බව්තීස්මය මගින් සංකේතවත් කිරීමට තීරණය කළාය. එම සමුළුවේදීම, යූනෙ සහ ඩේල්ද බව්තීස්ම වීම ඇගේ පුදුමයට හේතු විය.
◻ අප්‍රිකාවේ සමහර රටවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලියා පදිංචි කොට නැත. එවන් එක් රටක, ආගමික ක්‍රියාකාරකම්වලට සහ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්ට ඉඩහරිනසුලු පොදු වාතාවරණයක් තිබේ. එම රටේ එක් පාසැලක, සාක්ෂිකරුවන්ගේ දරුවන් වන, සත්හැවිරිදි පිරිමි ළමයෙකුට සහ හයහැවිරිදි ඔහුගේ සහෝදරයාට, ආගමික යාච්ඤා කරන කාලය අතරතුරේදී, ඉන් බැහැරව සිටීමට අවසර දෙනු ලැබිණ.
එක් දිනක්, වෙනත් ළමුන් සමඟ යාච්ඤාවලට හවුල්වන ලෙස අලුත් ගුරුවරයෙක් ඔවුන්ට බල කර සිටියේය. වැඩිමහල් පිරිමි ළමයා මෙය ප්‍රතික්ෂේප කළ අතර, ගුරුවරයා විසින් පහර දෙන ලදි. පාසැලේ විදුහල්පතිතුමාට මේ ගැන වාර්තා කරමු යයි බාල සහෝදරයා උදක්ම ඉල්ලා සිටියේය. විදුහල්පතිතැන සහ අලුත් ගුරුවරයා, අනික් සිසුන් හා හවුල්වීමට තමාට වුවමනා නොවූයේ මන්දැයි ඔහුගෙන් ප්‍රශ්න කළෝය. තම දෙමාපියන් විසින් තළනු ලැබීමේ භය නිසා එසේ කළාදැයි ඔවුහු ඔහුගෙන් ඇසූහ. ඔහු ඉතා හොඳ අරාබි බසින් මෙසේ පිළිතුරු දුණි: “නැහැ. මා නමස්කාර කරන දෙවියන්වහන්සේ වියවුල්කමේ දෙවිකෙනෙකු නොව, පිළිවෙළක දෙවිකෙනෙක්. මට නිවසේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වී, පාසැලේදී වෙනත් ආගමක් අදහන්නට බැහැ.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුට සිය කැමැත්තට අනුව පාසැලේ ආගමික කටයුතුවලින් බැහැරව සිටීමට අවසර දෙන ලදි.
ක්‍රියා පොතේ සඳහන් එතියෝපිය මිනිසා, බව්තීස්ම වූවායින් පසුව, “ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.” (ක්‍රියා 8:39) ඒ හා සමානව, අදදිනත්, අප්‍රිකාව නමැති විශාල මහාද්වීපයේ වෙසෙන රාජ්‍ය ප්‍රකාශකයෝ, ‘යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහිලා’ ප්‍රීති වෙති.—ක්‍රියා 8:35.