ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 2/1 26-29 පි.
  • එය කාගේ වරදද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එය කාගේ වරදද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුදල් දුෂ්කරතා
  • දරුවන් ගැන කලකිරීම
  • ආත්මිකව දියුණු වීමට අසමත් වීම
  • පරම නිදහසට කරුණ
  • යථාර්ථයට මුහුණ දීම
  • හැම තිස්සෙම දෝෂාරෝපණයට ලක්වීම වළක්වාගන්න මට පුළුවන් වෙන්නේ කොහොමද?
    1997 පිබිදෙව්!
  • හැමතිස්සෙම මමම වැරදි මොකද?
    1997 පිබිදෙව්!
  • වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 2/1 26-29 පි.

එය කාගේ වරදද?

ඊට මුල පිරුවේ, පළමු මිනිසා වන ආදම්ය. ඔහු පව් කළ පසු, ඔහු දෙවියන්වහන්සේට පැවසුවේ, “මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමි” කියාය. ඇත්තවශයෙන්ම, ඔහු කියමින් සිටියේ, “එය මගේ වරද නොවේ!” යනුවෙනි. පළමු ස්ත්‍රිය වන ඒව, “සර්පයා මා රැවටුවේය, මම කෑවෙමි” යයි පැවසූ විට, කරමින් සිටියේද එයමය.—උත්පත්ති 3:12, 13.

මෙසේ තමන්ගේම ක්‍රියාවන් සඳහා වගකීම පිළිගැනීමට මනුෂ්‍යයන් ප්‍රතික්ෂේප කිරීමේ පූර්වාදර්ශය පිහිටුවනු ලැබුවේ ඒදන් උයනේදීමය. ඔබත් යම් දිනක මෙම වරද කර තිබේද? ගැටලු ඇතිවන විට ඔබ ඉක්මනින්ම වෙනත් අයට දොස් පවරනවාද? එසේත් නැතහොත් එය සැබවින්ම කාගේ වරදදැයි බැලීමට ඔබ තත්ත්වය විභාග කර බලනවාද? දෛනික ජීවිතයේදී, අපගේ වැරදි සඳහා අන්‍යයන්ට දොස් පවරමින්, “එය මගේ වරද නොවේ!” යයි පවසන උගුලට හසුවීම ඉතා පහසුය. අපි පොදු තත්ත්වයන් පරීක්ෂා කර ඇතැම් අය කිරීමට නැඹුරු වන දෑ බලමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මෙම තත්ත්වයන් යටතේ ඔබ කරන දෙය මත මෙනෙහි කිරීමයි.

මුදල් දුෂ්කරතා

තමන් දැඩි මූල්‍ය ගැටලුවලට ගොදුරු වී සිටින විට, ඇතමෙක් “එය මගේ වරද නොවේ—වරද තිබෙන්නේ ආර්ථිකයේ, වංක ව්‍යාපාරිකයන් තුළ, ඉහළ ජීවන වියදම නිසා” යයි පවසන්ට පුළුවන. එහෙත් සැබවින්ම දොස් පැවරිය යුත්තේ මෙම සාධකවලටද? ඇතැම්විට අවිනිශ්චිත තත්ත්වයන් ඔවුන්ව ප්‍රශ්න කටයුතු නැතහොත් විශාල ලාභ හෝ පාඩු ලැබීමට ඉඩ ඇති ව්‍යාපාරික කටයුතු තුළට මඟ පෙන්නුවා විය හැකිය. සමහර අවස්ථාවන්හි ගිජුකම සැබෑ අභිප්‍රාය යටපත් කර දැමිය හැකි අතර ජනයා, පහසුවෙන්ම වංචාකාරයන්ගේ ගොදුරු බවට පත්වෙමින්, නොදන්නා වෙළඳ ව්‍යාපාරයන් සමඟ තමන් ගනුදෙනු කරන බව දකිනවා ඇත. “එය ඇත්තයි කියා විශ්වාස කිරීමට අපහසු නම්, බොහෝ දුරට තත්ත්වයද එසේමය” යන පැරණි කියමන ඔවුන්ට මතක නැති වේ. ඔවුන් තමන්ට අසන්ට වුවමනා අවවාද සොයා යන මුත්, ආර්ථික දුෂ්කරතා හිස ඔසවන විට, ඔවුහු දොස් නැගීමට වෙනත් කෙනෙකු සොයති. අවාසනාවකට මෙන්, මෙය, ඇතැම් අවස්ථාවන්හි ක්‍රිස්තියානි සභාවේ පවා සිදුවේ.

නොපැවතුණු දියමන්ති මිල දී ගැනීම, ජනප්‍රියත්වයට පත්වූ නමුදු, හදිසියේම අසාර්ථක වූ රූපවාහිනී වැඩසටහන්වලට මුදල් යෙදවීම, නැතහොත් බංකොලොත් වූ නිශ්චල දේපොළ සංවර්ධනයන්ට අනුබල දීම වැනි අනුවණ හෝ ව්‍යාජ ආයෝජන ව්‍යාපාරවලට පවා ඇතැමුන් හසුවී තිබේ. වස්තු සඳහා අධිකතර ආශාව, “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද . . . වැ(ටී) . . . බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය” යන බයිබල් උපදේශය පිළිබඳ ඔවුන්ගේ මතකය අඳුරු කරන්ට ඇත.—1 තිමෝති 6:9, 10.

හික්මවීමකින් තොරව වියදම් කිරීමද මූල්‍ය බිඳ වැටීමකට මඟපෑදිය හැකිය. තමන් නවතම විලාසිතා සඟරාවල සිටින අය මෙන් ඇඳ පැළඳ සිටිය යුතු බව, මිල අධික නිවාඩු ගත කළ යුතු බව, සුඛෝපභෝගී ආපන ශාලාවල ආහාර අනුභව කළ යුතු බව, වැඩිහිටියන් සඳහා වූ නවතම “සෙල්ලම් බඩු”—එනම්, නවීන පන්නයේ වාහන, බෝට්ටු, කැමරා, ස්ටීරියෝ උපකරණ යනාදිය—මිල දී ගත යුතු බව ඇතමෙකුට හැඟේ. ඇත්තවශයෙන්ම, නැණවත් ලෙස සැලසුම් කිරීමෙන් හා ඉතිරි කිරීමෙන් කලකට පසු ඇතමෙකුට මේ දේවල් ලබාගන්ට හැකියාවක් ලැබෙන්ට පුළුවන. එහෙත් මේවා ලබාගන්ට හදිසි වන අය, තමන් මහත් ණයට පත්වන බව දකිනු ඇත. එවන් තත්ත්වයකට ඔවුන් පත්වෙනවා නම්, එය කාගේ වරදද? නිසැකවම ඔවුහු හිතෝපදේශ 13:18හි ඇති “අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය” යන නැණවත් අවවාදය නොසලකා හැර ඇත්තාහ.

දරුවන් ගැන කලකිරීම

“මගේ දරුවන් සත්‍යයෙන් ඉවත් වුණේ වැඩිමහල්ලන්ගේ වැරැද්ද නිසා” යයි ඇතැම් මව්පියන් කියන්ට පුළුවන. “ඔවුන් මගේ දරුවන්ට අවධානය යොමු කළේ නැහැ.”

රැළ රැකබලාගැනීමේ හා ඊට සැලකිල්ල දැක්වීමේ වගකීම වැඩිමහල්ලන්ට තිබෙන මුත්, මව්පියන් ගැනම කුමක් කිව හැකිද? තමන්ගේ සියලු කටයුතුවලදී දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල විදහා පෙන්වීමෙහි ඔවුහු ආදර්ශවත් වන්නෝද? පවුලේ බයිබල් පාඩම පවත්වනු ලැබුවේ විධිමත් ආකාරයක් ඇතිවද? මව්පියන් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි ජ්වලිතයක් පෙන්වමින් ඊට සූදානම් වීමට දරුවන්ට උපකාර කළේද? දරුවන්ගේ ආශ්‍රිතයන් ගැන ඔවුහු සැලකිලිමත් වූවෝද?

සමානාකාරයෙන්, පාසැලේ වැඩකටයුතු ගැන මව්පියෙකුට මෙසේ පැවසීම පහසු දෙයකි: “මගේ පුතා පාසැලේදී හොඳින් කටයුතු නොකළේ ගුරුවරයාගේ වැරැද්ද නිසා. ඔවුන් මගේ පුතාට කැමති නැහැ. එමෙන්ම එම පාසැලේ එතරම් හොඳ අධ්‍යාපන මට්ටමකුත් නැහැ.” එහෙත් එම මව හෝ පියා පාසැල සමඟ කිට්ටුවෙන් අදහස් හුවමාරු කරගත්තාද? එම මව හෝ පියා දරුවාගේ ඉගෙනීමේ පරිපාටිය හෝ පාඩම් ගැන උනන්දුවෙන් සිටියාද? ඔහුගේ ගෙදර වැඩ සඳහා කාල සටහනක් සකස් කර අවශ්‍යතාව ඇති විට උපකාර ඉදිරිපත් කරනු ලැබීද? මෙහිදී ඇති වී තිබෙන ගැටලුව දරුවාගේ හෝ මව්පියාගේ පැත්තෙන් නුසුදුසු ආකල්පය නිසාද නැතහොත් අලසකම නිසාද?

මව්පියන් පාසැලේ පිළිවෙළට දොස් පවරනවා වෙනුවට, තමන්ගේ දරුවන්ට හරි ආකල්පය තිබෙන බවත්, ඔවුන් ඉගෙනගැනීමට පාසැලේ තමන්ට ඇති ප්‍රස්තාවන් හරි හැටි පාවිච්චි කරන බවත්, නිසැක වීමට ඒකාන්තව ක්‍රියා කරන්නේ නම්, තත්ත්වය වඩාත් ඵලදායක වනු ඇත.

ආත්මිකව දියුණු වීමට අසමත් වීම

ඇතැම්විට සමහරෙක් මෙසේ පවසනු අපට අසන්ට ලැබේ: “මා ආත්මික වශයෙන් ශක්තිමත්ව ඉන්ට තිබුණත්, මා එසේ නොසිටීම මගේ වරද නිසා නොවේ. වැඩිමහල්ලන් මා කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට එතරම් මිත්‍රයන් නැහැ. මෙම සභාවෙහි යෙහෝවඃවහන්සේගේ ආත්මය නැහැ.” මේ අතර, සභාවේ අන් අය මිත්‍රයන් ඇතිව, සතුටින්, කදිම ආත්මික ප්‍රගතියක් ලබමින් සිටිති; එමෙන්ම සභාවද වර්ධනයකින් හා ආත්මික සමෘද්ධියකින් ආශීර්වාද ලබයි. එනිසා ඇතමෙකුට ගැටලු ඇතිවන්නේ මන්ද?

නිෂේධාත්මක හා චෝදනා කරන ස්වභාවයක් විදහා පෙන්වන අය සමඟ කිට්ටු මිත්‍රයන් වීමට වුවමනාවක් වන්නේ ස්වල්පදෙනෙකුට පමණි. තියුණු ලෙස අන්‍යයන් හෙළාදැක කථා කරන දිවක් මෙන්ම නිතර කරන චෝදනා මහත් අධෛර්යයක් ඇති කරන්ට පුළුවන. ආත්මික වශයෙන් දුර්වල කරනු ලැබීමට නොකැමතිව, ඇතමෙක් එවන් අය සමඟ තමන්ගේ සමාජ ඇසුර සීමා කරන්ට පුළුවන. සභාවේ පැත්තෙන් මෙය උදාසීනකමක් හැටියට සලකමින්, කෙනෙක් මුලින්ම එක් සභාවකටත්, අනතුරුව තවෙකකටත් යනාදී වශයෙන් සභාවෙන් සභාවට යෑමට පටන්ගන්ට පුළුවන. නිතර නිල්වන් තෘණ බිම් සොයා තැනින් තැන යන අප්‍රිකානු තැනිතලාවල සත්ත්ව රංචු මෙන්, මෙම “තැනින් තැන යන” ක්‍රිස්තියානීන් සොයමින් සිටින්නේ තමන්ට ඉතාමත් උචිත වන සභාවය. ඒ වෙනුවට, ඔවුන් වෙනත් අයගේ හොඳ ගුණාංග දෙස බලමින්, තමන්ගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල වඩාත් පූර්ණ ලෙස විදහා පෙන්වීමට වෑයම් කරන්නේ නම් ඔවුන් කොතරම් සතුටින් සිටිනවා ඇද්ද!—ගලාති 5:22, 23.

රාජ්‍යය ශාලාවේ පැවැත්වෙන සෑම රැස්වීමකදීම වෙනත් තැනැත්තෙකුට කථා කිරීමටත්, හොඳ කරුණක් සම්බන්ධයෙන් ඔහුට අවංකව ප්‍රශංසා කිරීමටත්, විශේෂිත වෑයම් දැරීමෙන් ඇතමෙක් එසේ කරති. එය හොඳින් හැසිරෙන ඔහුගේ දරුවන් සම්බන්ධයෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලට ඔහු නිතිපතා පැමිණීම සම්බන්ධයෙන්, මුරටැඹ පාඩමේදී හොඳින් සූදානම් වූ අදහස් ප්‍රකාශයන් සම්බන්ධයෙන්, සභාවේ පොත් පාඩම හා ක්ෂේත්‍ර සේවා රැස්වීම් සඳහා ඔහුගේ නිවස ලබා දීමෙන් පෙන්වන ලද ඔහුගේ අනුග්‍රහය යනාදිය සම්බන්ධයෙන් වන්ට පුළුවන. අසම්පූර්ණත්වය නමැති පිටපොත්ත යටින් එබී බැලීමට කටයුතු කිරීම ඔබගේ ඉලක්කය කරගැනීමෙන්, ඔබ ස්ථිර වශයෙන්ම ඔබගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් තුළ උදාර ගුණාංග දකිනවා ඇත. මෙය ඔවුන්ට ඔබව සිත්ගන්නා කෙනෙක් කරවන අතර, පක්ෂපාත මිත්‍රයන්ගේ හිඟයක් ඔබට නොමැති බව ඔබ දකිනවා ඇත.

පරම නිදහසට කරුණ

“එය දේව කැමැත්ත.” “යක්ෂයා තමයි මෙයට හේතුව.” ඇතැම්විට පරම නිදහසට කරුණ, අපගේ අසමර්ථය වෙනුවෙන් දෙවියන්වහන්සේට හෝ යක්ෂයාට දොස් පැවරීමය. දෙවියන්වහන්සේ හෝ සාතන් අපගේ ජීවිතවල ඇතැම් සිද්ධීන්ට බලපෑම් කළ හැකි බව සැබෑවකි. කෙසේවෙතත්, ඇතමෙකු විශ්වාස කරන්නේ බොහෝදුරට තමන්ගේ ජීවිතයේ යහපත හෝ නපුර, එනම් සෑම දෙයක්ම පාහේ, දෙවියන්වහන්සේගේ හෝ සාතන්ගේ මැදිහත්වීමේ විපාකයක් බවය. එය හරියටම තමන්ට සිදුවූ තමන්ගේම ක්‍රියාවල විපාකයක් නොවන්නාක් මෙනි. “ඒ අලුත් කාර් එක මට තිබීම දේව කැමැත්ත නම්, උන්වහන්සේ එය මට ලැබෙන්ට සලස්වයි.”

එවන් අය බොහෝවිට තමන්ගේ ජීවිත නොසැලකිලිමත් ලෙස ගත කරමින්, මූල්‍ය හා වෙනත් තීරණගන්නේ දෙවියන්වහන්සේ තමන්ව බේරාගනු ඇති බවට වූ උපකල්පනය මතය. තමන්ගේ නොසැලකිලිමත් ක්‍රියාවන් ආර්ථික හෝ වෙනත් යම් විනාශයකින් විපාක වුවහොත්, ඔවුහු යක්ෂයාට දොස් පවරති. මුලින් “වියදම ගණන් බලන්නේ” නැතිව දුර දිග නොබලා යමක් කිරීමත් අනතුරුව අසමර්ථය වෙනුවෙන් සාතන්ට දොස් පැවරීම, එසේත් නැතහොත් ඊටත් වඩා දරුණු ලෙසින් යෙහෝවඃවහන්සේ ඊට මැදිහත්වීම අපේක්ෂා කිරීම, හිතුවක්කාර ක්‍රියාවක් වනවා පමණක් නොව, ශුද්ධ ලියවිල්ලටද පටහැනි දෙයක් වනු ඇත.—ලූක් 14:28, 29, 30ආ.

එයාකාරව කල්පනා කිරීමටත්, තමන්ගේ ක්‍රියාවන් සඳහා වගකීම භාර නොගැනීමටත් යේසුස්වහන්සේව පොලඹවාගැනීමට සාතන් වෑයම් කළේය. දෙවන පරීක්ෂාව සම්බන්ධයෙන්, මතෙව් 4:5-7 මෙසේ වාර්තා කරයි: “යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද—උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට නුඹ උසුලාගන්නෝය කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය.” තමන් පැහැදිලිවම අනුවණ ලෙස නිර්භීත වූ, සියදිවි නසාගන්නා ක්‍රියාමාර්ගයක් පවා ගත්තේ නම්, ඊට යෙහෝවඃවහන්සේගේ මැදිහත්වීම තමන්වහන්සේට අපේක්ෂා කළ නොහැකි බව යේසුස්වහන්සේ තේරුම්ගත්සේක. එනිසා උන්වහන්සේ පිළිතුරු දුන්නේ, “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේ” කියාය.

තමන්ගේම ප්‍රශ්න කටයුතු ක්‍රියාවන් සඳහා යක්ෂයාට නැතහොත් දෙවියන්වහන්සේට දෝෂාරෝපණය කිරීමේ හුරුකම ඇති අය, දෙවියන්වහන්සේ නැතහොත් යක්ෂයා වෙනුවෙන් පහසුවෙන්ම තාරකා යොදවන, ජ්‍යොතිඃශාස්ත්‍රයේ අනුගාමිකයන්ට ඉතා සමාන වෙති. සිදුවන සෑම දෙයක්ම වාගේ තමන්ගේ පාලනය ඉක්මවා පවතින බව, තරයේ ඒත්තුගනිමින්, ගලාති 6:7හි දක්වා ඇති, “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය” යන සරල ප්‍රතිපත්තිය, ඔවුහු පහසුවෙන්ම නොසලකා හරිති.

යථාර්ථයට මුහුණ දීම

අප ජීවත්ව සිටින්නේ අසම්පූර්ණ ලෝකයක බව කිසිවෙකු තර්ක කරන්ට යන්නේ නැත. මෙහි සාකච්ඡා කරන ලද ගැටලු සැබෑ ඒවාය. ජනයා අපගෙන් මූල්‍ය වාසි ලබාගන්නවා ඇත. ඇතැම් ස්වාමිවරුන් අසාධාරණ වන්ට පුළුවන. දන්නා අඳුනන අය අපගේ දරුවන්ව වැරදි ආකාරයට පොලඹවන්ට පුළුවන. ඇතැම් ගුරුවරුන් හා පාසැල් වැඩිදියුණු වීමක් අවශ්‍ය තත්ත්වයක පවතින්ට පුළුවන. වැඩිමහල්ලන් ඇතැම් අවස්ථාවන්හි වඩාත් ප්‍රේමනීය හා සැලකිලිමත් වන්ට පුළුවන. එහෙත් අසම්පූර්ණත්වයේ බලපෑමත්, බයිබලය පවසන ආකාරයට, “මුළු ලෝකයා නපුරා තුළ බව(ත්)” අප පිළිගත යුතුය. එනිසා අපගේ ජීවිත ගමන හැමවිටම පහසු එකක් වන්ට යන බව අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන්නේය.—1 යොහන් 5:19.

මීට අමතරව, අප අපගේම අසම්පූර්ණකම් හා සීමාවන් පිළිගත යුතු අතර, බොහෝ අවස්ථාවන්හි අපගේ ගැටලු අපගේම මෝඩකමේ ප්‍රතිඵලයක් බව තේරුම්ගත යුතුය. පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළේය: “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිත[න]. . . හැටියට . . . නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.” (රෝම 12:3) එම අවවාදය අදදින අපට සමාන බලපෑමකින් අදාළ වේ. අපගේ ජීවිතයේ යමක් වරදින විට, අප වහාම අපගේ පූර්වජයන් වන ආදම් හා ඒව අනුගමනය කර “එය මගේ වරද නොවේ” යයි කියන්ට යන්නේ නැත. ඒ වෙනුවට අප අපෙන්ම මෙසේ අසනවා ඇත. ‘මෙම අසතුටුදායක විපාකය වැළැක්වීමට මීට වෙනස්ව මට කුමක් කරන්ට තිබුණේද? එම කාරණය සම්බන්ධයෙන් මා හොඳ විනිශ්චයක් කර නැණවත් මූලාශ්‍රයකින් උපදෙස් පැතුවාද? මීට සම්බන්ධ අනික් පක්ෂයට නැතහොත් පක්ෂවලට ගෞරවය පිරිනමමින්, සැකයේ වාසිය මා ඔවුන්ට ලබා දුන්නාද?’

අප ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුගමනය කරමින් හොඳ විනිශ්චයක් කරන්නේ නම්, අපට වැඩි මිත්‍රයන් හා අඩු ගැටලු ප්‍රමාණයක් තිබෙනවා ඇත. අපගේ දෛනික ජීවිතයේ නුවුවමනා ගැටලු බොහොමයක් පහසුවෙන් විසඳෙනවා ඇත. අන්‍යයන් සමඟ අපගේ කටයුතුවල අප ප්‍රීතිය ලබනු ඇති අතර “එය කාගේ වරදද?” යන පැනයෙන් පීඩා විඳින්ට යන්නේ නැත.

[28වන පිටුවේ පින්තූර]

මව්පියන්ට සිය දරුවන්ගේ ආත්මිකත්වයේ වැඩිදියුණුව සඳහා උපකාර කිරීමට බොහෝ දේ කළ හැකිය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න