“මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමු”
රොනල්ඩ් ටේලර් පැවසූ පරිදි
වර්ෂ 1963 ග්‍රීෂ්ම ඍතුවේ, මා මගේ ජීවිතය වෙනුවෙන් සටනක් කරමින් සිටි බව පැහැදිලි විය. මම වෙරළ දිගේ රැළ පාගමින්, හදිසියේම වාගේ මාරාන්තික වළක් තුළට පය තැබූ අතර, සැණින් ජලයේ ඉතා ගැඹුරට කිඳා බැස්සෙමි. පීනීමට නොදත් මා, සිටියේ වෙරළෙන් යාර කීපයක් ඈතින් ගිලී මැරෙන තත්ත්වයකය. මෙහිදී මිත්‍රයෙක් මගේ අසරණ තත්ත්වය දැක මාව වෙරළට ඇදගෙන ආ විට, මා තෙවරක් වතුරේ ගිලී මුහුදු වතුර සෑහෙන ප්‍රමාණයක් මට පෙවී තිබුණි. ඉක්මනින් ලබා දෙන ලද කෘත්‍රිම ශ්වසනය නිසා, මම බේරුණෙමි.
කාරණා බලාපොරොත්තු රහිත තත්ත්වයක තිබුණු විට පවා, කිසිකලෙක අත් නොහැරීමේ වැදගත්කම මා අගය කරන්ට යෙදුණු පළමුවතාව මෙය නොවේ. බාල අවධියක පටන් මට මගේ ආත්මික ජීවිතය සඳහා සටන් කරන්ට සිදුවුණි.
මා ක්‍රිස්තියානි සත්‍යය සමඟ මුලින්ම සම්බන්ධකම් ඇති කරගත්තේ දෙවන ලෝක යුද්ධය පැවති අඳුරු සමය තුළදීය. හදිසියේ හෙළනු ලබන බෝම්බවල අන්තරාවන්ගෙන් බේරීමට ලන්ඩනයෙන් පිටත් කර හරින ලද දරුවන් දහස් සංඛ්‍යාව අතරෙන් මමද කෙනෙක් වීමි. එවකට මා අවුරුදු 12ක් පමණක් වයස්ව සිටි බැවින්, යුද්ධය මට එතරම් බැරෑරුම් දෙයක් හැටියට පෙනුණේ නැත; එය වික්‍රමාන්විත කථාවක් හා සමාන විය.
මාව රැකබලාගත්තේ, දකුණු එංගලන්තයේ, වෙස්ටන්-සූපර්-මැයාර් නම් ස්ථානයේ වයස්ගත යුවළකි. මා එම යුවළගේ නිවසට පැමිණ වැඩි කලක් යන්ට මත්තෙන්, පුරෝගාමි දේව සේවකයෝ කීපදෙනෙක් අපව බැහැදකින්ට පටන්ගත්හ. එසේ පැමිණියේ හාර්ග්‍රීව්ස් පවුලය; ඔවුන් හතරදෙනාම—එනම් රෙජ්, මැබ්ස්, පැමලා හා වැලෙරි—විශේෂ පුරෝගාමීන්ය. මගේ සුරැකි මව්පියන් සත්‍යය පිළිගෙන, ද හාප් ඔෆ් ගෝඩ් නම් පොත පාඩම් කිරීමෙන් පසු, මමද යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තීරණයක් ගත්තෙමි. ඉන් හුදෙක් සති හයකට පසුව, දේශනා සේවයේ හවුල්වන්ට මට ආරාධනයක් ලැබුණි.
මා ක්ෂේත්‍ර සේවයේ වැඩ කළ පළමු දිනය මට තවමත් මතකය. කිසිදු සූදානමකින් තොරව, මට පොත්පිංච කීපයක් දෙනු ලැබූ අතර, “ඔබ පාරේ එහා පැත්ත වැඩ කරන්න” කියා මට කියනු ලැබීය. මෙලෙස දේශනා කිරීමේ මගේ පළමු දවස මා ගත කළේ එයාකාරයෙනි. ඒ දවස්වල, අප බොහෝවිට දේශනා කළේ ප්‍රබල දේශනා අඩංගු තැටි පාවිච්චි කරමිනි. මා වැඩිම සතුටක් ලද අවස්ථා වූයේ, එම තැටිවාදක යන්ත්‍රය ගෙයින් ගෙට ඔසවාගෙන යමින් තැටිගත කළ දේශන වාදනය කරන්ට මට ලැබුණු අවස්ථාය. එයාකාරයෙන් මාව යොදාගනු ලැබීම මා සැලකුවේ සැබෑ වරප්‍රසාදයක් හැටියටය.
පාසැලේදී මා සෑහෙන දුරට සාක්ෂි දැරූ අතර, එහි මුල්ගුරුවරයාට බයිබල් තේමා මත වූ පොත් කට්ටලයක් ලබා දීම මට මතකය. අවුරුදු 13දී, අසල බාත්හි පවත්වන ලද එක්රැස්වීමකදී මම බව්තීස්මය ලැබීමි. යුද්ධ කාලයේ පවත්වන ලද සමුළුවලින් මට අමතක නොවන තවත් එකකි, 1941දී, ලෙස්ටර්හි, ඩ මොන්ට්ෆෝර්ට් ශාලාවේ පවත්වනු ලැබූ සමුළුව. එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි, සහෝදර රදෆර්ඩ්ගේ පෞද්ගලික පණිවුඩයක් අඩංගුව තිබූ, චිල්ඩ්රන් නම් පොතේ මාගේ පිටපත ලබාගැනීමට මම වේදිකාවට නැගුණෙමි. මෙහිදී යෞවන අයට ඉදිරිපත් කරන ලද පොලඹවනසුලු කථාව යෙහෝවඃවහන්සේට සදාකාලයටම සේවය කිරීමට තිබූ මගේ ආශාව තවත් ශක්තිමත් කළේය.
මෙසේ මගේ සුරැකි මව්පියන් සමඟ සත්‍යයේ වැඩෙමින් මම සන්තෝෂවත් අවුරුදු දෙකක් ගත කළෙමි. එහෙත් අවුරුදු 14දී, මට නැවතත් ලන්ඩනයට පැමිණ මගේ ජීවිකාව සඳහා වැඩ කරන්ට සිදුවිය. මගේ පවුල සමඟ මා යළිත් එක් වුවත්, නිවසේ කිසිවෙක් මගේ විශ්වාසයන්වල නොසිටි බැවින්, ආත්මික වශයෙන් මට රැඳී සිටින්ට සිදුවූයේ මා කෙරෙහිමය. මට අවශ්‍යව තිබූ උපකාරය යෙහෝවඃවහන්සේ ඉක්මනින්ම මට ලබා දුන්සේක. මා ලන්ඩනයට පැමිණීමෙන් හුදු සති තුනකට පසු, මාව ප්‍රදේශයේ රාජ්‍යය ශාලාවට කැඳවාගෙන යෑමට මගේ පියාගේ අවසරය ලබාගැනීමට සහෝදරයෙක් මගේ නිවසට පැමිණියේය. එම සහෝදරයා, දැනට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටින, ජොන් බාර්ය. එම අන්තරා සහිත නහඹර වියේ කාලය තුළ ඔහු මගේ ආත්මික “පියවරුන්ගෙන්” කෙනෙක් බවට පත් වූණේය.—මතෙව් 19:29.
මා පැඩිංටන් සභාවට යන්ට පටන්ගත් අතර, එහි රැස්වීම් පවත්වනු ලැබුවේ ලන්ඩනයේ බෙතෙල් නිවස අසල, ක්‍රේවන් ටෙරස් නම් ස්ථානයේය. මා ආත්මික වශයෙන් අනාථයෙකුව සිටි නිසා, මා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට “පොප්” හම්ෆ්රීස්ව පත් කරනු ලැබීය. එම සභාවේ සේවය කළ ආලේප ලත් බොහෝ සහෝදර සහෝදරියන් සමඟ ආශ්‍රය කිරීමට ලැබීම නිසැකවම මහත් ආශීර්වාදයක් විය. භූමික බලාපොරොත්තුවක් තිබුණේ—යෝනාදාබ්වරුන් හැටියට හඳුන්වන ලද—අප සුළුතරයකට පමණකි. ඇත්තවශයෙන්ම, මා සහභාගි වූ සභා පොත් පාඩම් කණ්ඩායමේ සිටි එකම “යෝනාදාබ්වරයා” මම වීමි. මගේම වයසේ අය සමඟ මා එතරම් ඇසුරක් නොපැවැත්වුවද, මේරු සහෝදරයන් සමඟ මා පැවැත්වූ එම මාහැඟි ඇසුර ප්‍රයෝජනවත් පාඩම් බොහොමයක් මට ඉගැන්විය. ඇතැම්විට මෙයින් වඩාත්ම වැදගත් එක වූයේ යෙහෝවඃවහන්සේගේ සේවය කිසිදාක අත් නොහැරීමේ පාඩමය.
ඒ දවස්වල අප මුළු සති අන්තයන්ම දේශනා ක්‍රියාව සඳහා කැප කළා. “ශබ්ද විකාශන රථය” කෙරෙහි සැලකිල්ල දැක්වීම මට පවරන ලද අතර, එය සැබවින්ම ශබ්ද විකාශන උපකරණ හා කාර් බැටරියක් දැරීමට සකස් කරන ලද ත්‍රී රෝද සයිකලයකි. සෑම සෙනසුරාදාවකම මා ත්‍රී රෝද සයිකලයෙන් වෙනස් මාර්ග කොන්වලට පිටත්ව ගිය අතර, එහිදී අපි තැටිගත සංගීතයත් ඉන්පසු සහෝදර රදෆර්ඩ්ගේ කථාවලින් එකකුත් වාදනය කළෙමු. සෙනසුරාදා දිනයන් අපගේ සඟරා බෑග් සමඟ වීදි සේවය සඳහාද වෙන් කරනු ලැබීය. ඉරු දිනයන් අප කැප කළේ පොත්පිංච හා බැඳි පොත් ඉදිරිපත් කරමින්, ගෙයින් ගෙට සේවය සඳහාය.
ජ්වලිත වැඩිමහල් සහෝදරයන් සමඟ මගේ ඇසුර පුරෝගාමි සේවය සඳහා ආශාවක් මා තුළ ජනිත කළේය. දිස්ත්‍රික් සමුළුවලදී පුරෝගාමි කථාවලට මා සවන් දුන් විට මෙම ආශාව ශක්තිමත් කරනු ලැබීය. මගේ ජීවිතය කෙරෙහි කල්පවතින බලපෑමක් ඇති කළ සමුළුවලින් එකකි, 1947දී, ලන්ඩනයේ, අර්ල්ස් කෝට්හි පවත්වනු ලැබූ සමුළුව. ඉන් මාස දෙකකට පසුව, මා පුරෝගාමි සේවයට මගේ නම ඇතුල් කළ අතර, එවක් පටන් පුරෝගාමි ස්ප්‍රීතුව පවත්වාගැනීමට මම බලවත් වෑයමක් දරා ඇත්තෙමි. ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීමෙන් මා ලැබූ ප්‍රීතිය, මෙය හරි තීරණය බව යළි යළි සහතික කරන්ට දායක විය.
ස්පාඤ්ඤ මනාලියක් හා ස්පාඤ්ඤ පැවරුමක්
වර්ෂ 1957දී, තවදුරටත් පැඩිංටන් සභාවත් සමඟ පුරෝගාමි සේවයේ යෙදී සිටින අතරතුරේදී, රාෆාඑලා නම් සුරූපී ස්පාඤ්ඤ ජාතික සහෝදරියක් මට හමු විය. මාස කීපයකට පසු අපි විවාහ වුණෙමු. එක්ව පුරෝගාමි සේවයේ යෙදීම අපගේ ඉලක්කය වුවත්, රාෆාඑලාගේ මව්පියන් දැකීම පිණිස මුලින්ම අපි මැඩ්රිඩ් වෙතට ගියෙමු. එය මගේ ජීවිතය වෙනස් කළ ගමනක් වුණි. අප මැඩ්රිඩ්හි සිටියදී, ස්පාඤ්ඤයේ ශාඛා අවේක්ෂකව සිටි සහෝදර රේ ඩූසින්බෙරි, අද්දැකීම් ලත් සහෝදරයන් සඳහා මහත් අවශ්‍යතාවක් තිබූ, ස්පාඤ්ඤයේ සේවය කිරීම සලකා බැලීමට අප කැමතිදැයි මගෙන් ඇසුවේය.
එවන් ආරාධනයක් අපට ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේද? මෙසේ, 1958දී අපි අපගේ පූර්ණ-කාලීන සේවය ස්පාඤ්ඤයේ පටන්ගත්තෙමු. ඒ අවස්ථාවේදී රට, ෆ්රැන්කෝගේ පාලනය යටතේ තිබූ අතර, අපගේ කටයුතු නීත්‍යනුකූලව පිළිගනු නොලැබීම අපගේ දේශනා වැඩය ඉතා දුෂ්කර කළේය. එපමණක් නොව, පළමු වසර කීපය තුළ මට ස්පාඤ්ඤ භාෂාවත් සමඟ බලවත් පරිශ්‍රමයක් දරන්ටද සිදුවිය. සභාවේ සහෝදරයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට නොහැකිවීමෙන් ඇති වූ කලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වාර ගණනාවක් මා කඳුළු හෙළා තිබුණත්, නැවතත්, එය අත් නොහැර කටයුතු කළ යුතු අවස්ථාවක් විය.
අවේක්ෂකයන් සඳහා තිබූ අවශ්‍යතාව කොතරම් මහත් වූයේද යත්, මට ස්පාඤ්ඤ භාෂාව කථා කළ නොහැකි වුවද, මාසයක් ඇතුළත මම කුඩා කණ්ඩායමක් බලාගනිමින් සිටියෙමි. අපගේ කටයුතුවල රහසිගත ස්වභාවය නිසා, අප ප්‍රචාරකයන් 15 සිට 20 දක්වා සංඛ්‍යාවකින් යුත් කුඩා කණ්ඩායම් බවට සංවිධානය වී සිටි අතර, මේවා බොහෝ දුරට ක්‍රියාත්මක වුණේ කුඩා සභාවන් හැටියටය. සබයේ පිළිතුරු මට හැමවිටම තේරුම්ගත නොහැකිව තිබූ නිසා, මුලදී, රැස්වීම් පැවැත්වීම ඉතා නොසන්සුන් දෙයක් විය. කෙසේවෙතත්, මගේ භාර්යාව පසුපස අසුන්ගෙන සිටි අතර, මා වියවුල්ව සිටි බව ඇය දුටුවේ නම්, පිළිතුර නිවැරදි බව තහවුරු කිරීමට ඇය මට පමණක් පෙනෙන විදහට ඉඟියක් කරන්නීය.
භාෂාවන් සඳහා ස්වාභාවික හැකියාවක් මට නොතිබුණ අතර සෑම දෙයක්ම මට වඩාත් පහසුවෙන් කළ හැකි, එංගලන්තය වෙත හැරී යෑමට බොහෝ වර මට කල්පනා වුණි. එසේවුවත්, මුල පටන් අපගේ හිතවත් ස්පාඤ්ඤ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය හා මිත්‍රත්වය, භාෂාව සම්බන්ධයෙන් මට තිබූ කලකිරීම නැති කිරීමට හේතු වූයේය. තවද ඒ සියල්ල වටිනා යමක් කළ විශේෂ වරප්රසාදයකින් යෙහෝවඃවහන්සේ මට ආශීර්වාද කළසේක. වර්ෂ 1958දී, ස්පාඤ්ඤයේ නියෝජිතයෙකු හැටියට නිව් යෝර්ක්හි ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට මම ආරාධනයක් ලැබුවෙමි. ඉන්පසු 1962දී, මොරොක්කෝවේ, ටැන්ජීර්හි අප වෙනුවෙන් සංවිධානය කළ රාජ්‍ය සේවා පාසැලේදී අමිල පුහුණුවක් මම ලැබුවෙමි.
භාෂාවට අමතරව මා මුහුණ දුන් තවත් ගැටලුවක් වූයේ, පොලීසිය විසින් අල්ලාගනු ලැබේදෝ කියා නිතර සෝදිසියෙන් සිටීමට සිදුවීමය. විදේශිකයෙකු හැටියට, අත්අඩංගුවට ගනු ලැබීම නිරායාසයෙන්ම රටෙන් පිටමං කිරීමක් වනු ඇතැයි මම දැන සිටියෙමි. මෙහි අන්තරාව අවම කිරීමට, අප වැඩ කළේ යුගළ වශයෙනි. එක්කෙනෙක් සාක්ෂි දරන අතර, අනික් තැනැත්තා යම් අනතුරක් පිළිබඳ සංඥාවක් කෙරෙහි අවධානයෙන් සිටියේය. බොහෝවිට වෙන වෙනම වාසස්ථාන කිහිපයක් ඇති ගොඩනැගිලිවල වාසස්ථාන එකකට හා දෙකකට යෑමෙන් පසු, අපි නිවාස කට්ටි දෙකක් හෝ තුනක් පසුකර ගොසින් තවත් ගෙවල් දෙකකට හෝ තුනකට කථා කළෙමු. අප බයිබලය බොහෝ සේ පාවිච්චි කළ අතර උනන්දුව දක්වන අයට ඉදිරිපත් කිරීම සඳහා අපගේ උඩුකබායේ අප රැගෙන ගියේ පොත්පිංච ස්වල්පයක් පමණකි.
මැඩ්රිඩ්හි වසරක් ගත කිරීමෙන් පසු, එකම සාක්ෂිකරුවෙකුවත් නොසිටි වයඹදිග ස්පාඤ්ඤයේ විශාල නගරයක් වන, විගෝ වෙතට අපව යවනු ලැබීය. පළමුවන මාසය හෝ දෙක තුළ, අප සංචාරකයන් බවට හැඟීමක් ඇති කරවනු පිණිස, සමිතිය නිර්දේශ කළේ සාක්ෂි දැරීමෙන් වැඩි ප්‍රමාණයක් මගේ භාර්යාව විසින් කරනු ලබන බවය. සමූහයා කරා යෑම අප්‍රසිද්ධ අන්දමකින් කරනු ලැබුවත්, අපගේ දේශනා කිරීම අවධානයට යොමු විය. මාසයක් ඇතුළත කතෝලික පූජකයෝ ගුවන්විදුලියෙන් අපව අපකීර්තියට පත් කරන්ට පටන්ගත්හ. විවාහක යුවළක් බයිබලය—එනම් එවකට බොහෝ දුරට නීති විරෝධී පොතක්—ගැන කථා කරමින් ගෙයින් ගෙට යමින් සිටි බව ඔවුහු තමන්ගේ මීසමේ අයට අනතුරු ඇඟවූහ. “පොලීසියට අවශ්‍යව සිටි එම යුවළට” විදේශිකයෙකු හා නිවාසවල කථා කිරීම මුළුමනින්ම පාහේ සිදු කළ, ඔහුගේ ස්පාඤ්ඤ ජාතික භාර්යාව අයත් විය!
මෙම අන්තරාදායක යුවළ සමඟ හුදෙක් කථා කිරීම, එනම් පූජකයෙකුට වහාම පාපෝච්චාරණය කළේ නම් පමණක්, සමාව ලැබෙන පාපයක් බව පූජකයෝ නියම කළහ. තවද ඉන් අඟවන ලද ආකාරයට, අප කාන්තාවක සමඟ පැවැත්වූ ප්‍රීතිමත් සංවාදයක අවසානයේ, ඇය කමාව ඉල්ලන ආකාරයකට අපට කියා සිටියේ තමාට ගොස් පාපෝච්චාරණයක් කිරීමට සිදුවන බවය. අප ඇයගේ නිවසෙන් පිටත්වූ විට, ඇය පල්ලිය දෙසට වේගයෙන් පියමං කරනු අපි දුටුවෙමු.
නෙරපනු ලැබීම
විගෝ වෙතට පැමිණීමෙන් මාස දෙකකට පසු, පොලීසිය හදිස්සියෙන්ම අපව සිය ග්‍රහණයට හසුකරගත්තේය. අපව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා දයානුකම්පාවෙන් යුත් කෙනෙකු වූ අතර, පොලිස් ස්ථානයට අපව ගෙන යන විට අපට මාංචු දැමුවේ නැත. එම පොලිස් ස්ථානයේ, අප දන්නා හඳුනන මුහුණක්, එනම් මෑතක අපි සාක්ෂි දැරූ යතුරු ලේඛිකාවක දුටුවෙමු. අපරාධකරුවන් මෙන් අපට සලකනු ලබනවා දැකීමෙන් පැහැදිලිවම ඇය පැකිළීමට පත්වූ අතර, තමා අපට එරෙහිව චෝදනාවක් නොකළ බව ඉක්මනින්ම සහතික ලෙස ප්‍රකාශ කර සිටියාය. එහෙත්, “ස්පාඤ්ඤයේ ආත්මික එක්සත්කම” අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් අපට චෝදනා නගා තිබුණු අතර, ඉන් සති හයකට පසුව අපව එම රටෙන් පිටමං කරනු ලැබීය.
එය පසුබැසීමක් වුවත්, අත්හැරීමට අප තුළ අදහසක් තිබුණේ නැත. එම අයිබීරියන් අර්ධද්වීපයේ කිරීමට තවත් බොහෝ වැඩකටයුතු තිබුණි. ටැන්ජීර්හි මාස තුනක් ගත කිරීමෙන් පසු, අපව තවත් නැවුම් ක්ෂේත්රයක් වන, ජිබ්‍රෝල්ටාර් වෙතට යවනු ලැබීය. ප්‍රේරිත පාවුල් පවසන්නාක් මෙන්, අප අපගේ දේව සේවය අගය කරන්නේ නම්, අප දිගටම වැඩ කරමින් විපාක ලබනවා ඇත. (2 කොරින්ති 4:1, 7, 8) අප සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විය. ජිබ්රෝල්ටාර්හි අප බැහැදුටු පළමුවන නිවසේම, මුළු පවුලක් සමඟ අපි බයිබල් පාඩමක් පටන්ගත්තෙමු. වැඩි කලක් යන්ට මත්තෙන්, අපි එක් එක්කෙනා පාඩම් 17 බැගින් පවත්වමින් සිටියෙමු. අප සමඟ පාඩම් කළ වැඩිදෙනෙකු සාක්ෂිකරුවන් බවට පත්වූ අතර, වසර දෙකක් තුළ එහි ප්‍රචාරකයන් 25දෙනෙකුගෙන් යුත් සභාවක් ඇති විය.
එහෙත්, විගෝහි සිදුවූ ආකාරයට, පූජක පක්ෂය අපට විරුද්ධව කටයුතු කරන්ට පටන්ගත්හ. ජිබ්රෝල්ටාර්හි එංගලන්ත සභා බිෂොප් තැන අප “අප්‍රසන්න අය” හැටියට එහි පොලිස් ප්‍රධානියාට අනතුරු ඇඟවූ අතර ඔහුගේ එම ක්‍රියාව අවසානයේ විපාකදායක විය. වර්ෂ 1962 ජනවාරියේදී අපව ජිබ්‍රෝල්ටාර් වෙතින් නෙරපනු ලැබීය. අප ඊළඟට යන්නේ කොතැනටද? තවදුරටත් ස්පාඤ්ඤයේ මහත් අවශ්‍යතාවක් පැවති අතර, කලින් පොලීසියේ වාර්තාව මේ වන විට ඉවත් කර තිබිය හැකි බවට වූ බලාපොරොත්තුවෙන් අපි යළිත් එහි ගියෙමු.
හිරු රැස්වලින් බැබළුණු සවිල් නගරය අපගේ අලුත් පදිංචි ස්ථානය විය. එහිදී තවත් පුරෝගාමි යුවළක් වන, රේ හා පැට් කර්කප් සමඟ සමීපව සේවය කිරීමේ ප්‍රීතිය අපට තිබුණි. සවිල් නම් ස්ථානය වැසියන් මිලියන භාගයක් වසන නගරයක් වුවද, එහි ප්‍රචාරකයන් හැටියට 21දෙනෙකු පමණක් සිටි බැවින්, එහි කරන්ට මහත් කාර්ය භාරයක් තිබුණි. දැන් එහි ප්‍රචාරකයන් 1,500ක් සිටින සභාවන් 15ක් ඇත. ඉන් වසරකට පසුව අපට හදිසියේම සතුටුදායක පුවතක් සැල විය; එනම් බාර්සිලෝනා ප්‍රදේශයේ සංචාරක වැඩවල සේවය කරන්ට අපට ආරාධනයක් ලැබුණි.
අපගේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගනු නොලැබූ රටක චාරිකා කටයුතු කිරීම තරමක් වෙනස් විය. සෑම සතියකම අප කුඩා කණ්ඩායම් බැලීමට ගිය අතර, ඉන් වැඩි ප්‍රමාණයක දක්ෂ සහෝදරයන් සිටියේ ඉතා ස්වල්පදෙනෙකු පමණකි. වෙහෙසා ක්‍රියා කරන මෙම සහෝදරයන්ට, අප විසින් තමන්ට ලබා දිය හැකි හැම පුහුණුවක්ම හා උපකාරයක්ම අවශ්‍යව තිබුණි. අපි මෙම පැවරුමට ඉතා කැමති වීමු! සාක්ෂිකරුවන් ඉතා ස්වල්පදෙනෙකු පමණක් සිටි ප්‍රදේශවල වසර ගණනාවක් ගත කිරීමෙන් පසු, වෙනස් සහෝදර සහෝදරියන් මෙතරම් ප්‍රමාණයක් බැහැදකින්ට අපි මහත් සේ සතුටු වුණෙමු. එපමණක්ද නොව, බාර්සිලෝනාහි දේශනා කිරීමේ වැඩය වඩාත් පහසු වූ අතර බොහෝදෙනෙකුට බයිබලය පාඩම් කරන්ටද වුවමනා විය.
කලකිරීමට එරෙහිව සටන් කිරීම
කෙසේවෙතත්, ඉන් යන්තම් මාස හයකට පසු, මගේ ජීවිතය කැපී පෙනෙන ආකාරයකට වෙනස් විය. මුහුද අද්දර අපගේ පළමු නිවාඩුවේදී කලින් විස්තර කළ අනතුර මට සිදුවූ විට, එය තව ටිකකින් ඛේදනීය සිද්ධියක් බවට පත්වෙනවා ඇත. ගිලෙන්ට ආසන්න තත්ත්වයකට පත්වීමෙන් ඇතිවූ කම්පනයෙන්, කායික වශයෙන් මා ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත් වුණද, එම සිද්ධිය මගේ ස්නායු පද්ධතිය මත නොමැකිය හැකි සලකුණක් තැබීය.
මාස ස්වල්පයකට, මා චාරිකා වැඩවල දිගටම යෙදෙන්ට වෑයමක් දැරුවත්, අවසානයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මට පෙරළා එංගලන්තයට එන්ට සිදුවිය. ඉන් වසර දෙකකට පසු, ස්පාඤ්ඤයට හැරී යන්ට ප්‍රමාණවත් සුවයක් මා ලැබූ අතර, එහි යෑමෙන් පසු යළිත් වරක් අපි චාරිකා වැඩ භාරගත්තෙමු. එහෙත්, ඒ කෙටි කාලයකට පමණකි. මෙහිදී මගේ භාර්යාවගේ මව්පියන් බරපතළ ලෙස රෝගාතුර වූ අතර, ඔවුන්ට සැලකිල්ල දැක්වීම පිණිස අපි පූර්ණ-කාලීන දේව සේවයෙන් ඉවත් වුණෙමු.
වර්ෂ 1968දී, ජීවිතය වඩාත් දුෂ්කර වූයේ, මා පූර්ණ ස්නායු බිඳවැටීමකට ගොදුරු වූ විටය. මා සුවයක් නොලබනු ඇතැයි රාෆාඑලා හා මා කල්පනා කළ අවස්ථා එමටය. එය හරියටම මා යළිත් වරක් දියේ ගිලෙන්නාක් මෙන් විය, එහෙත් වෙනත් ආකාරයකිනි! නිෂේධාත්මක හැඟීම්වලින් මාව යටපත් කරනු ලැබීමට අමතරව එම කලකිරීම මාව සහමුලින්ම බෙලහීන කළේය. එක දිගට ඇතිවන විඩාවෙන් මා වේදනා වින්ද අතර නිතර විවේකගැනීමට මට සිදුවිය. ඒ කාලයේ සහෝදරයන් සියලුදෙනාටම මෙයාකාර ගැටලු තේරුම්ගත නොහැකිව තිබුණත්, යෙහෝවඃවහන්සේට එය තේරුණ බව ඇත්තවශයෙන්ම මම දැන සිටියෙමි. මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල කලකිරීමට පත් අය සඳහා ඉතා තේරුම්ගන්නාසුලු හා උපකාරවත් වී ඇති පුදුමාකාර ලිපි කියවීම, මට මහත් තෘප්තියක් ලබා දී ඇත.
මෙම දුෂ්කර කාලය පුරා, මගේ භාර්යාව දිරිගැන්වීමේ නිත්‍ය උල්පතක් වුණාය. එක්ව ගැටලුවලට මුහුණ දීම විවාහ බැම්ම ඇත්තටම ශක්තිමත් කරයි. රාෆාඑලාගේ මව්පියන් මියගිය අතර අවුරුදු 12කට පසු, මගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ-කාලීන දේව සේවයට හැරී යා හැකි යයි අපට හැඟුණ තරමට වැඩිදියුණු විය. වර්ෂ 1981දී, අපව පුදුමයට හා ප්‍රීතියට පත් කරවමින්, චාරිකා සේවයේ යෙදෙන්ට අපට යළිත් ආරාධනයක් ලැබුණි.
සංචාරක සේවයේ අප කලින් ලැබූ අද්දැකීමේ පටන් ස්පාඤ්ඤයේ දිව්‍යාණ්ඩු වෙනස්කම් අතිවිශාල ප්‍රමාණයක් සිදුවී තිබුණි. දැන් දේශනා කිරීම නිදහසේ සිදුවූ බැවින්, මට අලුත් තත්ත්වයන් සමඟ හුරුවීමට සිදුවිය. කෙසේවෙතත්, යළිත් වරක් චාරිකා අවේක්ෂකයෙකු හැටියට සේවය කිරීම මහත් වරප්‍රසාදයක් විය. දුෂ්කර තත්ත්වයන් තිබියදීත් අප පුරෝගාමි සේවයේ යෙදී තිබීම ගැටලු තිබූ පුරෝගාමීන්ව දිරිගැන්වීමට අපට හැකියාවක් ලබා දුණි. තවද පුරෝගාමි සේවයේ හවුල්වන්ට අන්‍යයන්ට උපකාර කරන්ට අපට නිතර හැකියාව ලැබුණි.
මැඩ්රිඩ් හා බාර්සිලෝනාහි සංචාරක කටයුතුවල වසර 11ක් සේවය කිරීමෙන් පසු, යළිත් වරක් අපගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා පැවරුම වෙනස් කිරීම සඳහා අවශ්‍යතාව ඉස්මතු විය. වැඩිමහල්ලෙකු හැටියට මා ප්‍රයෝජනවත් විය හැකි, සාලාමැන්කා නම් නගරයට, අපව විශේෂ පුරෝගාමීන් ලෙස යවනු ලැබීය. සාලාමැන්කා නගරයේ සහෝදරයෝ වහාම අපව පිළිගත්හ. ඉන් වසරකට පසු තවත් උග්රාවස්ථාවක් අපගේ විඳදරාගැනීම පරීක්ෂාවට ලක් කරනු ඇත.
රාෆාඑලා කිසිම හේතුවක් නැතුව රක්ත හීනතාවෙන් පෙළීමට පටන්ගත් අතර, පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇයට මහා අන්ත්‍රයේ පිළිකාවක් තිබුණු බවයි. මෙහිදී මා වඩාත් ශක්තිමත් තැනැත්තා බවට පත්වී, මට දිය හැකි උපරිම සහයෝගය මගේ භාර්යාවට ලබා දීමට සිදුවිය. අපගේ පළමු ප්‍රතික්‍රියාව වූයේ, අවිශ්වාසයත් සමඟ ඇති වූ භයයි. රාෆාඑලා මෙයින් නොමැරී බේරෙයිද? මෙවන් අවස්ථාවන්හි පෙර සේම පැවතීමට අපට උපකාරවත් වන්නේ, යෙහෝවඃවහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමය. රාෆාඑලා සාර්ථක ශල්‍යකර්මයක් ලැබූ බව පැවසීමට මා සතුටු වන අතර, එම පිළිකාව නැවතත් නොවැළඳෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අප ස්පාඤ්ඤයේ ගත කළ වසර 36 තුළ අපට දුක සැප යන දෙකම තිබුණද, ආත්මික වර්ධනයක් ඇති වූ මෙම අවධියේ ජීවත්වීම හද උණුසුම් කරවන්නකි. වර්ෂ 1958දී සිටි 800ක් පමණ වූ කුඩා ප්‍රචාරකයන් කණ්ඩායම, අදදින 1,00,000කට වැඩි ප්රචාරක හමුදාවක් බවට වර්ධනය වනු අපි දැක ඇත්තෙමු. සත්‍යය පිළිගෙන ආත්මික වශයෙන් මේරු තත්ත්වයකට පත්වන්ට අන්‍යයන්ට උපකාර කිරීමෙන්, පුරුෂයා හා භාර්යාව හැටියට එකට වැඩ කිරීමෙන්, එමෙන්ම අප අපගේ ජීවිත වඩාත්ම හොඳ ආකාරයට පාවිච්චි කර ඇති බව හැඟීමෙන්, අපගේ දුෂ්කරතා අපගේ මහත් ප්‍රීතිය මගින් නිෂ්ප්රභා වී ඇත.
කොරින්තිවරුන්ට වූ සිය දෙවන ලිපියේ පාවුල් මෙසේ පවසයි: “ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.” (2 කොරින්ති 4:1) මගේ ජීවිතය දෙස හැරී බලන විට, අත්හැරීමෙන් මාව වැළැක්වූ සාධක ගණනාවක් මගේ ජීවිතයේ තිබූ බව මම විශ්වාස කරමි. මා වැඩෙමින් සිටි අවධියේ මා කෙරෙහි සැලකිල්ල දැක්වූ විශ්වාසවන්ත ආලේප ලත් සහෝදරයන්ගේ ආදර්ශය කදිම අත්තිවාරමක් ලබා දුණි. එකම ආත්මික ඉලක්කයන් වෙනුවෙන් හවුලේ වැඩ කරන සහකාරියක් ඇතිව සිටීම පුදුමාකාර උපකාරයකි; මා බලාපොරොත්තු බිඳ වැටුණු තත්ත්වයට පත්ව සිටි විට, රාෆාඑලා මාව නගා සිටුවන අතර මමද ඇයට එයම කර ඇත්තෙමි. සිනහවෙන් යුක්තව සිටීමද මහත් වාසියකි. සහෝදරයන් සමඟ සිනාසෙන්ට—එමෙන්ම තමා දෙස බලා සිනාසෙන්ට හැකි වීම, කෙසේ හෝ ගැටලු එතරම් දරාගත නොහැකි තත්ත්වයක ඒවා නොවන බව පෙනීමට සලස්වයි.
එහෙත් ඒ සියල්ලටම ඉහළින්, පරීක්ෂාවන් හමුවේ විඳදරාගෙන සිටින්ට යෙහෝවඃවහන්සේගේ ශක්තිය අවශ්‍ය වේ. “මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන” යන පාවුල්ගේ වදන් මම නිතර සිහිකරමි. යෙහෝවඃවහන්සේ අපගේ පැත්තේ සිටින විට, කිසිදිනක අත්හැරීමට අවශ්‍යතාවක් ඇති නොවේ.—පිලිප්පි 4:13.
[23වන පිටුවේ පින්තූර]
වර්ෂ 1958දී රොනල්ඩ් හා රාෆාඑලා ටේලර්
[24, 25වන පිටුවේ පින්තූර]
ස්පාඤ්ඤයේ තහනම් යටතේ රැස්වීම (1969)