“කිරි බොන දරුවන්ගේද මුඛයෙන්”
සාමුවෙල් ළමයෙකුව සිටියදී, උත්තම පූජක ඒලීගේ පුත්‍රයන්ගේ දුෂ්ටකම් තිබියදීත් ඔහු හරි ප්‍රතිපත්ති සඳහා ස්ථිරව සිටියේය. (1 සාමුවෙල් 2:22; 3:1) එලිෂාගේ කාලයේ, සිරියාවේ සිටි කුඩා ඉශ්‍රායෙලිත වහලියක් සිය ස්වාමිදුවට නිර්භීත සාක්ෂියක් ඉදිරිපත් කළාය. (2 රාජාවලිය 5:2-4) යේසුස්වහන්සේ අවුරුදු 12ක් වයස්ව සිටියදී, බලා සිටි අයව විස්මිත කළ ප්‍රශ්න අසමින්ද පිළිතුරු දෙමින්ද, උන්වහන්සේ ඉශ්‍රායෙලයේ ගුරුවරුන්ට නිර්භීතව කථා කළසේක. (ලූක් 2:46-48) ඉතිහාසය පුරා යෙහෝවඃවහන්සේට ස්වකීය යෞවන නමස්කාරකයන් විසින් විශ්වාසවන්ත සේවයක් පිරිනමනු ලැබ තිබේ.
යෞවන අය අදදිනත් එම විශ්වාසවන්ත ස්වභාවයම පෙන්වන්නහුද? ඇත්තෙන්ම, එසේය! විශ්වාස කරන යෞවනයන් බොහෝදෙනෙක් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි “කැමැත්තෙන් පූජා” වන බව, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලවලින් ලැබෙන වාර්තා පෙන්වයි. (ගීතාවලිය 110:3) ඔවුන්ගේ බලවත් උත්සාහයන්හි කදිම විපාක බාල, මහලු, සියලු ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නේ “යහපත්කම්කිරීමට මැළිනො(වීමටය).”—ගලාති 6:9.
අවුරුදු හයේදී ප්‍රචාරිකාවක් බවට පත්ව ඇයගේ පන්තියේ සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමට සිය ඉලක්කය කරගත් කුඩා ජපන් ජාතික දැරියක් වන, ආයූමි හොඳ ආදර්ශයකි. ඇයගේ පාසැලේ ඉගෙනගන්නා වෙනත් අය ඇසිය හැකි ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමාව සූදානම් කරගනිමින්, පන්ති කාමර පුස්තකාලයේ ප්‍රකාශන කීපයක් තැබීමට ඈ අවසර ලබාගත්තාය. ඇගේ පංතියේ සියලුදෙනාම පාහේ, ඇගේ ගුරුවරියට පවා එම ප්‍රකාශනවල අඩංගු වූ දේවල් දැනගන්ට හැකිවිය. ප්‍රාථමික පාසැලේ ඇය ගත කළ අවුරුදු හය ඇතුළත, ආයූමි බයිබල් පාඩම් 13ක් සඳහා කටයුතු සැලසුම් කළාය. හතරවන ශ්‍රේණියේ සිටියදී ඇය බව්තීස්මය ලැබූ අතර ඇයත් සමඟ පාඩම් කළ ඇයගේ මිත්‍රයන්ගෙන් කෙනෙක් හයවන ශ්‍රේණියේදී බව්තීස්ම වුණාය. එපමණක් නොව, එම බයිබල් ශිෂ්‍යයාවගේ මව හා වැඩිමහල් සහෝදරියෝ දෙදෙනෙක්ද ඉගෙන බව්තීස්මය ලැබූහ.
යහපත් හැසිරීම සාක්ෂියකි
“අන්‍යජාතීන් . . . අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වාපල්ලා” යයි ප්‍රේරිත පේතෘස් පැවසූ අතර, යෞවන ක්‍රිස්තියානීහු මෙම ආඥාව බැරෑරුම් ලෙස සලකති. (1 පේතෘස් 2:12) ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ යහපත් හැසිරීම කදිම සාක්ෂියක් ඉදිරිපත් කරයි. කැමරූන් නම් අප්‍රිකානු රටේ, මිනිසෙක් දෙවන වරටත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීමකට පැමිණ, කුඩා දැරියක් අසල අසුන්ගත්තේය. කථිකයා බයිබලයෙන් කොටසක් බලන හැටියට සබයට ආරාධනා කළ විට, එම කුඩා දැරිය වහාම තමාගේම බයිබලයෙන් එම වගන්තිය සොයාගෙන අවධානයෙන් කියවීම අනුගමනය කළ බව එම මිනිසා සැලකිල්ලට ගත්තේය. ඇයගේ ආකල්පය කොතරම් ඔහුගේ සිතට කාවැදුණේද යත්, රැස්වීමෙන් පසු ඔහු කථිකයා වෙතට ගොස් පැවසුවේ, “මෙම කුඩා දැරිය මට ඔබත් සමඟ බයිබලය පාඩම් කිරීමට උනන්දු කර තිබෙනවා” යනුවෙනි.
ශිෂ්‍යයන් 25දෙනෙකු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව සිටින පාසැලක් දකුණු අප්‍රිකාවේ ඇත. ඔවුන්ගේ යහපත් හැසිරීම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා හොඳ කීර්තියක් ලබා දී ඇත. එක්තරා ගුරුවරියක් සාක්ෂිකාර මව්පියෙකුට නොවළහා පවසමින් සිටියේ, විශේෂාකාරයෙන් තමාගේම පල්ලිය යෞවනයන්ට උපකාර කිරීමට අසමත් බව ඔප්පු වී ඇති බැවින්, සාක්ෂිකරුවන්ට තමන්ගේ දරුවන්ව මෙතරම් හොඳින් පුහුණු කළ හැකි ආකාරය තමාට තේරුම්ගත නොහැකි බවය. අලුත් ගුරුවරියක් පාසැලේ සහායට පැමිණි අතර වහාම සාක්ෂිකාර දරුවන්ගේ යහපත් හැසිරීම දුටුවාය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වීමට තමා කුමක් කළ යුතුදැයි ඈ සාක්ෂිකාර පිරිමි දරුවෙකුගෙන් ඇසුවාය. තමා බයිබල් පාඩමක් කළ යුතු බව ඔහු පැහැදිලි කළ අතර, එම උනන්දුව ඔස්සේ කටයුතු කිරීමට ඔහු තමාගේ මව්පියන්ට සලසා දුන්නේය.
ත්‍රිත්වය, ආත්මය හා නිරාගින්න පිළිබඳ තමාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට තමාගේ පන්තියේ දෙදෙනෙකු බයිබලය පාවිච්චි කළ විට, කොස්ටාරීකාහි රිගොබෙර්ටෝ සත්‍යයේ නාදය හඳුනාගත්තේය. ඔවුන් පැවසූ දෙය ශුද්ධ ලියවිලි පාවිච්චි කිරීමට තිබූ ඔවුන්ගේ හැකියාව නිසාම නොව, එහෙත් ඔවුන්ගේ අනර්ඝ හැසිරීම ඔහු ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල දැක තිබූ දෙයට වඩා ඉතා වෙනස්ව තිබූ නිසා ඔහු කෙරෙහි ඒකාන්ත බලපෑමක් ඇති කළේය. පවුලේ විරුද්ධවාදීකම් තිබියදීත්, රිගොබෙර්ටෝ බයිබල් පාඩමෙහි හොඳ ප්‍රගතියක් ලබමින් සිටී.
ස්පාඤ්ඤයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්—ඉන් එක්කෙනෙකුගේ වයස අවුරුදු නවයකි—ඕනෝෆ්රෙ නම් මිනිසෙකු බැහැදකින්නට ගියේය. කථාවෙන් වැඩි ප්‍රමාණයක් එම වැඩිහිටි සාක්ෂිකරු කළ අතර එම බාල සාක්ෂිකරු ඔහු කියෙවූ ශුද්ධ ලියවිලි වගන්ති තමාගේ බයිබලයෙන් කියවමින් මතකයෙන් ඇතැම් බයිබල් පද උපුටා දැක්වූයේය. මෙය ඕනෝෆ්රෙගේ සිත්ගත්තේය. මෙතරම් හොඳින් ශුද්ධ ලියවිලි හැසිරවීමට එම බාල දරුවා ඉගෙනගත් ස්ථානයේම තමාට බයිබලය ඉගෙනගැනීමට ඕනෑ බව ඔහු තීරණය කළේය. එබැවින්, ඊළඟ ඉරුදින උදෑසන කලින්ම, ඔහු රාජ්‍යය ශාලාවට ගියේය. ඔහුට මධ්‍යහ්නය වන තෙක් එළියේ සිටින්ට සිදුවූ අතර, සාක්ෂිකරුවන් තමන්ගේ රැස්වීම සඳහා පැමිණියේ එවිටය. එවක් පටන් ඔහු කදිම ප්‍රගතියක් ලැබූ අතර මෑතක තමාගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළේය.
බලපෑමෙන් යුත් යෞවන සාක්ෂිකරුවෝ
එසේය, මොළොක් හෘදයන් ඇති අය කරා යෑමට යෙහෝවඃවහන්සේ බාල අය මෙන්ම වැඩිහිටි අයවද පාවිච්චි කරනසේක. මෙය හංගේරියාවෙන් ලද අද්දැකීමකින් තවදුරටත් දැකිය හැකි විය. එහි, රෝහලේ හෙදියකගේ අවධානයට යොමු වූයේ අවුරුදු දහයක් වයසැති එක්තරා රෝගියෙකු බලන්ට ආගන්තුකයන් පැමිණෙන විට, ඔවුන් ආහාර මෙන්ම කියවන දෑ රැගෙන එන බවය. කුතුහලයට පත් ඈ, එම වයසේ බාල දැරියක් කුමක් ගැන කියවනවා ඇද්දැයි කල්පනා කරන්ට පටන්ගත් අතර පසුව එය බයිබලය බව සොයාගත්තාය. එම හෙදිය ඇයට කථා කළ අතර පසුව මෙසේ කියා සිටියාය, “එම මුල් අවස්ථාවේ පටන්, ඇය සැබවින්ම මට උගන්වමින් සිටියා” යනුවෙනි. එම බාල දැරිය රෝහලෙන් ඉවත්වූ විට, සමුළුවකට පැමිණෙන මෙන් ඇය හෙදියට ආරාධනා කළද හෙදිය ඇයගේ එම ආරාධනාව ප්‍රතික්ෂේප කළාය. කෙසේවෙතත්, පසුව, ඈ “පවිත්‍ර භාෂාව” දිස්ත්‍රික් සමුළුවට පැමිණීමට එකඟ වුණාය. ඉන් වැඩිකලක් යන්නට මත්තෙන්, ඈ බයිබල් පාඩමක් පටන්ගත් අතර, ඉන් වසරකට පසුව බව්තීස්මය ලැබුවාය—මෙසේ මේ සියල්ලක්ම සිදුවූයේ, කුඩා දැරියක් රෝහලේ බයිබල් ප්‍රකාශන කියවන්ට සිය කාලය වැය කිරීමේ විපාකයක් වශයෙනි.
එල් සැල්වඩෝරයේ, වාසය කරන ආනා රූට්, ජ්‍යෙෂ්ඨ පාසැලේ සිය දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය. අන්‍යයන්ට ඕනෑ නම් කියවීම පිණිස බයිබල් ප්‍රකාශන තමාගේ මේසය මත තැබීමේ පුරුද්දක් ඇයට තිබුණි. එම ප්‍රකාශන අතුරුදහන් වී කලකට පසු යළිත් මේසය මත තිබීම නිරීක්ෂණය කළ ආනා රූට්, ඒ කාලය තුළ, තමාගේ පාසැලේ ශිෂ්‍යාවක් වන, එවලින් එය කියවමින් සිටි බව සොයාගත්තාය. කලකට පසු, එවලින් පාඩමක් පිළිගෙන සභා රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්තාය. අවසානයේ, ඇය බව්තීස්මය ලැබූ අතර දැන් ඈ විධිමත් උපකාරික පුරෝගාමිකාවක් හැටියට සේවය කරන්නීය. ආනා රූට් ස්ථාවර පුරෝගාමිකාවකි.
පැනමාවේ එක්තරා සහෝදරියක් කාන්තාවක සමඟ පාඩමක් පටන්ගත් අතර, ඇයගේ පුරුෂයා ඊට කොතරම් විරුද්ධ වූයේද කියතොත් එම පාඩම නැවතීමට තරම් ආසන්න තත්ත්වයකට පත්විය. කෙසේවෙතත්, ක්‍රමයෙන් පුරුෂයාගේ විරුද්ධත්වය අඩු විය. සාක්ෂිකරුවෙක්ව සිටි, ඔහුගේ අයියා, සොරුන් පැමිණෙන විට අනතුරු අඟවන සීනුවක් තමාගේ නිවසෙහි සවි කරදෙන මෙන් යම් කලකට පසු, ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු එම සීනුව සවි කරමින් සිටියදී, ඔහුගේ නව හැවිරිදි ලේලිය ඉතා දුකෙන් නිවසට පැමිණියාය. හේතුව කුමක්දැයි ඔහු ඇයගෙන් විමසූ අතර ඇය කියා සිටියේ තමාත් තමාගේ වැඩිමහල් සහෝදරියත් බයිබල් පාඩමක් පැවැත්වීමට ගිය මුත් එම තැනැත්තා නිවසේ නොසිටි බවත්, එනිසා ඇයට එම දවසේ යෙහෝවඃවහන්සේ වෙනුවෙන් කිසිවක් කරන්ට නොහැකි වූ බවත්ය. එවිට ඇයගේ මාමා කියා සිටියේ, “ඉතින් ඔබ මට දේශනා නොකරන්නේ ඇයි? එවිට ඔබට යෙහෝවඃවහන්සේට යමක් කරන්න පුළුවන් වේවි” යනුවෙනි. ඔහුගේ ලේලී තමාගේ බයිබලය රැගෙන ඒමට සතුටින් දිව ගිය අතර පාඩමක් පටන් ගනු ලැබීය.
ඇයගේ මව (එම මිනිසාගේ නෑනා) මෙයට සවන් දී සිටියාය. ඒ සියල්ලක්ම විහිළුවක් යයි ඇය කල්පනා කළ මුත්, එම මිනිසා ඇයගේ නිවසට ගිය සෑම අවස්ථාවකම, ඔහු තම ලේලියගෙන් බයිබල් පාඩමක් ඉල්ලා සිටියේය. තමාගේ මස්සිනා එය වැදගත් කොට සැලකූ බවත් ඔහුට ඇතැම් දුෂ්කර ප්‍රශ්න තිබූ බවත් එම ස්ත්‍රිය සොයාගත් විට, ඇයගේ දියණියත් තබාගෙන තමාම බයිබල් පාඩමක් පැවැත්වීමට ඈ තීරණය කළාය. ඔහු සතියකට දෙවරක් පාඩම් කිරීමට පටන්ගත් අතර ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුවේය. අවසානයේ, ඔහු කැපවීම දක්වා ළඟාවූ අතර ඔහුගේ භාර්යාව බව්තීස්මය ලැබූ එක්රැස්වීමේදීම බව්තීස්මය ලැබුවේය—මේ සියල්ලක්ම සිදුවූයේ ඔහුගේ බාල ලේලිගේ කදිම ආකල්පයට ස්තුති වන්නටය.
බාලයන්ගේ ධෛර්යය කදිම සාක්ෂියක් ඉදිරිපත් කරයි
“ශක්තිමත් වෙව, තාගේ සිත [හෘදය, NW] ධෛර්යවත් වේවා; එසේය, ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි බලාසිටුව,” යයි බයිබලය පවසයි. (ගීතාවලිය 27:14) මෙම වදන් දෙවියන්වහන්සේගේ සියලු සේවකයන්ට අදාළ වන අතර, බාල මෙන්ම වැඩිහිටි අය එම වදන් පසුගිය වසරේ අදාළ කරගත්හ. ඕස්ට්‍රේලියාවේ, අවුරුදු පහක් වයසැති දැරියක් අලුත් පාසැලක අධ්‍යාපනය පටන්ගත් විට, ඇයගේ මව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පිළිබඳව එහි ගුරුවරියට පැහැදිලි කරන්ට ගියාය. එවිට එම ගුරුවරිය කියා සිටියේ, “ඔබ විශ්වාස කරන දෙය මා දන්නවා. ඔබගේ දියණිය ඒ සියල්ලක්ම මට පැහැදිලි කරලයි තිබෙන්නේ” යනුවෙනි. මෙම බාල දැරිය තමාගේම හැකියාවෙන් තමාගේ ඇදහිල්ල පැහැදිලි කිරීමට එම ගුරුවරිය වෙතට පිවිසෙන්ට බියසුලු වී නොසිටියාය.
රොමේනියාවේ අවුරුදු පහක් වයසැති ආන්ඩ්‍රේයාද නිර්භීතකම පෙන්නුවාය. සාක්ෂිකාරියක වීමට ඇයගේ මව ඔර්තඩොක්ස් ඇදහිල්ලෙන් ඉවත් වූ විට, ඇයගේ අසල්වැසියෝ ඇයට සවන් දීම ප්‍රතික්ෂේප කළහ. දිනක් සභාවේ පොත් පාඩමේදී, තමාගේම අසල්වැසියන්ට දේශනා කිරීමේ අවශ්‍යතාව සේවා අවේක්ෂක අවධාරණය කරනු ආන්ඩ්‍රේයා ඇසුවාය. ඇය මේ ගැන බරපතළ ලෙස කල්පනා කළ අතර නිවසට පැමිණීමෙන් පසු ඇය තමාගේ මවට කියා සිටියේ මෙසේය: “අම්මේ, ඔබ රැකියාවට පිටත්ව යෑමෙන් පසු, මා නැගිට, ඔබ කරන ආකාරයට මගේ බෑගයේ ප්‍රකාශන සූදානම් කර, අසල්වැසියන්ට සත්‍යය ගැන කථා කරන්ට මට උපකාර කරන හැටියට මා යෙහෝවඃවහන්සේට යාච්ඤා කරන්ට යනවා.”
ඊළඟ දිනයේ ආන්ඩ්‍රේයා පොරොන්දු වී තිබූ දෙය කළාය. පසුව, හිත ධෛර්යවත් කරගෙන, ඈ අසල්වැසියෙකුගේ සීනුව නාද කළාය. අසල්වැසියා දොරටුවට පැමිණි විට, මෙම කුඩා දැරිය මෙසේ පැවසුවාය: “මගේ මව සාක්ෂිකාරියක් වූ අවස්ථාවේ පටන් ඔබ ඇයට කැමති නැති බව මා දන්නවා. ඇය වාර ගණනාවක්ම ඔබට කථා කරන්ට වෑයම් කර තිබුණත්, ඔබ ඇයට සවන් දෙන්ට කැමති වුණේ නැහැ. මෙය ඇයව කලබලයට පත්කර ඇතත්, අප ඔබට ප්‍රේම කරන බව ඔබ දැනගන්නවාට මම කැමතියි.” අනතුරුව, ආන්ඩ්‍රේයා කදිම සාක්ෂියක් ඉදිරිපත් කළාය. එක් දිනක් තුළ ඈ පොත් හයක්, සඟරා හයක්, පොත් පිංච හතරක් හා රාජ්‍යය පත්‍රිකා හතරක් ලබා දුන්නාය. එවක් පටන්, ඇය විධිමත්ව ක්ෂේත්‍ර සේවයේ සහභාගි වී ඇත.
රුවන්ඩාවේ පවතින ආරවුල් නිසා අපගේ සහෝදරයන්ට මහත් ධෛර්යයක් පෙන්වීමට සිදුවී ඇත. එක් අවස්ථාවක සාක්ෂිකාර පවුලක් කාමරයකට දමනු ලැබූ අතර සෙබළු ඔවුන්ව මරාදැමීමට සූදානම් වූහ. එම පවුල මුලින් යාච්ඤා කිරීමට අවසර ඉල්ලා සිටියහ. එම අවසරය දෙනු ලැබූ විට, දියණිය වන ඩෙබෝරා හැරුණු කොට අන් සියල්ලෝම නිශ්ශබ්දව යාච්ඤා කළහ. එක් වාර්තාවකට අනුව, ඩෙබෝරා උස් හඬින් යාච්ඤා කළේ මෙසේය: “යෙහෝවඃවහන්ස, මේ සතියේ තාත්තියි මමයි සඟරා පහක් බෙදුවා. අපි මේ අයව හමුවී ඔවුන්ට සත්‍යය උගන්නලා ඒ ගොල්ලන්ව සත්‍යයට ගෙන එන්ට අපි ආපහු ඒ ගොල්ලන් ගාවට යන්නේ කොහොමද? අනික, මං දැන් ප්‍රචාරිකාවක් වෙන්ට යන්නේ කොහොමද? ඔබවහන්සේට සේවය කරන්ට මට බව්තීස්ම වෙන්ටත් වුවමනා වුණා.” මෙය ඇසීමෙන් පසු, එක්තරා සෙබලෙක් පැවසුවේ මෙසේය: “මෙම කුඩා දැරිය නිසා අපට ඔබව මරන්න බැහැ.” ඩෙබෝරා ප්‍රතිචාරය දැක්වූයේ “ඔබට ස්තුතියි” කියමිනි. එම පවුල ඉතුරු කරනු ලැබීය.
තමාගේ භූමික ජීවිතයේ අන්තිමය ආසන්නයේ, යේසුස්වහන්සේ යෙරුසලමට තමන්ගේ ජයග්‍රාහක ඇතුල්වීම කළ විට, උන්වහන්සේව ප්‍රීතියෙන් මොර ගසන සමූහයන් විසින්, පිළිගනු ලැබීය. සමූහයට දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඇතුළත් විය. වාර්තාව අනුව, ‘දරුවන් දේවමාළිගාවේ සිට මොරගසමින්, දාවිත්ගේ පුත්‍රයාණෙනි, ගැළවුව මැනවයි අපි යාච්ඤා කරමු කියා මොර ගැසූහ.’ උත්තම පූජකයන් හා ලියන්නන් මෙයට විරුද්ධ වූ විට, යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ, “බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්[දැයි]” යනුවෙන් අසමින්ය.—මතෙව් 21:15, 16.
අදදින පවා යේසුස්වහන්සේගේ වදන් සැබෑ වනු දැකීම හැඟීම් පුබුදුවාලන යමක් නොවේද? “බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන්”—එමෙන්ම, නවයොවුන් වියේ දරුවන් හා යෞවන පුරුෂයන් හා කාන්තාවන්ද අපට ඊට එක් කරන්ට පුළුවන—යෙහෝවඃවහන්සේ ප්‍රශංසාව සම්පූර්ණ කර තිබේ. ඇත්තවශයෙන්ම, යෙහෝවඃවහන්සේව ප්‍රශංසා කිරීම සම්බන්ධයෙන් ගත් කල, වයස් සීමාවක් නොමැත.—යෝවෙල් 2:28, 29.