ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 1/1 20-23 පි.
  • බෙදා දීමට අමිල නිධානයකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙදා දීමට අමිල නිධානයකි
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මවගේ සිතට කාවදින ආදර්ශය
  • අපගේ නිධානය පූර්ණ-කාලීනව බෙදා දීම
  • ඉලක්කයක් ඉටු කිරීම
  • මෝල්ටා සහ ලිබියාව
  • අලුත් පැවරුමක්
  • ලාදුරු ජනපදය
  • නිධානයෙන් උසුලනු ලැබීම
  • යෙහෝවා දෙවි මට ඉගැන්නුවා
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ත්‍යාගය කෙරෙහි නෙත් සහ හෘදය යොමු කර තැබීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ මැවුම්කරුට දිගටම සේවය කිරීමට වූ මගේ අධිෂ්ඨානය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 1/1 20-23 පි.

බෙදා දීමට අමිල නිධානයකි

ග්ලෝරියා මැලැස්පිනා පැවසූ පරිදි

සිසිලි රටේ වෙරළබඩ තීරය නොපෙනී ගිය පසු, මගේ පුරුෂයාත් මාත් අපගේ අවධානය යොමු කරන්ට පටන්ගත්තේ, අපගේ ගමනාන්තය, එනම් මධ්‍යධරණියේ දූපතක් වන මෝල්ටා වෙතටය. මොනතරම් හැඟීම්දනවන අපේක්ෂාවක්ද! නැව මුහුද හරහා ගමන් කරත්ම, අප කල්පනා කළේ පළමු ශතවර්ෂයේදී මෝල්ටාවේ ප්‍රේරිත පාවුල්ගේ අද්දැකීම ගැනයි.—ක්‍රියා 28:1-10.

එය 1953 වසර වූ අතර මෝල්ටාව ඒ කාලයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා ක්‍රියාකාරකම් පිළිගත්තේ නැත. ඊට කලින් වසරේ, අප වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් වෙතින් උපාධි ලබා තිබූ අතර අපගේ පැවැරුම වූයේ ඉතාලියයි. ඉතාලි භාෂාව ඉගෙනගැනීමෙන් කෙටි කලකට පසු, මෝල්ටාවේ අප වෙනුවෙන් අපේක්ෂා කළ හැකි දේ දැකබලාගැනීමට අපි මහත් ආශාවෙන් සිටියෙමු.

යෞවන ළඳක් වූ මා, විදේශ මිෂනාරිනියක් බවට පත්වූයේ කෙලෙසද? මට පැහැදිලි කිරීමට අවසර.

මවගේ සිතට කාවදින ආදර්ශය

වර්ෂ 1926, අපගේ පවුල කැනඩාවේ, ඔන්ටේරියෝහි, ෆෝර්ට් ෆ්‍රැන්සස් නමැති ස්ථානයේ වාසය කරන විට, මගේ මව (එවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හඳුන්වන ලද ආකාරයට) බයිබල් ශිෂ්‍යයෙකුගෙන් මිලියන්ස් නෞ ලිවිං විල් නෙවර් ඩයි නම් පොත් පිංචය ලබාගත්තාය. ඇය මහත් උනන්දුවෙන් එය කියවා, එම සතියේම, වොච් ටවර් සඟරාව පාවිච්චි කරමින් පවත්වන ලද සමූහ බයිබල් පාඩමකට ඈ ගියාය. මගේ මව මහත් ආශාවෙන් බයිබලය කියවන්නියක වූ අතර, ඇය දේව රාජ්‍යය පිළිබඳ පණිවුඩය පිළිගත්තේ තමා සොයමින් සිටි නිධානයක් හැටියටය. (මතෙව් 6:33; 13:44) පියාගෙන් සාහසික වූ විරුද්ධවාදිකම් හමුවේ රැකබලාගැනීමට බාල වයසේ දැරියන් තිදෙනෙකු ඇයට සිටියදීත්, තමා ඉගෙනගනිමින් සිටිය දෙය සඳහා ඈ ස්ථාවරයක් ගත්තාය.

ඊළඟ වසර 20 තුළ මවගේ නොසැලෙන ඇදහිල්ල මටත්, මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා වන තෙල්මා හා වයලාටත් ධර්මිෂ්ඨ නව ලෝකයක් තුළ සදාකාල ජීවිතයේ පුදුමාකාර බලාපොරොත්තුව පිළිබඳව වැටහීමක් ලබා දුණි. (2 පේතෘස් 3:13) ඇය බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දුන්නද, ඇය තෝරාගෙන තිබූ ක්‍රියාමාර්ගයේ නිවැරදිභාවය අප කිසිදාක සැක කළේ නැත.

වර්ෂ 1931දී, මට අවුරුදු දහයක්ව තිබියදී, අපි අ.එ.ජ. උතුරු මිනසෝටාහි ගොවිපොළක පදිංචියට ආවෙමු. එහිදී අප යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව නිතිපතා ඇසුරු කිරීමෙන් වෙන්වුවත්, මවගේ බයිබල් උපදෙස්වලින් වෙන්වුණේ නැත. කෝල්පෝටර්වරියක්, නැතහොත් පූර්ණ-කාලීන දේව සේවිකාවක් හැටියට ඇයගේ කැපවූ සේවය, එම සේවයේ ඇය හා එක්වීමට මා තුළ පෙලඹීමක් ඇති කළේය. වර්ෂ 1938දී මගේ සහෝදරියෝ දෙදෙනාත් මමත් යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීම මිනසෝටාවේ, ඩුලුත්හි පවත්වන ලද එක්රැස්වීමකදී බව්තීස්මයෙන් සංකේතවත් කළෙමු.

වර්ෂ 1938දී ජ්‍යෙෂ්ඨ පාසැලෙන් මා සමත් වීමෙන් පසු, පුරෝගාමියෙක් (කෝල්පෝටර්වරයෙක් සඳහා නව නාමය) හැටියට මගේ මූල්‍ය අවශ්‍යතා මවිසින්ම දැරිය හැකිවනු පිණිස ව්‍යාපාර පාඨමාලාවක් හැදෑරීමට මව මාව දිරිගැන්නුවාය. විශේෂයෙන්ම අපගේ පියා අපෙන් වෙන්ව යමින් අපව තනි කිරීමට තීරණය කළ බැවින්, මෙය හොඳ අවවාදයක් බව තහවුරු විය.

අපගේ නිධානය පූර්ණ-කාලීනව බෙදා දීම

අන්තිමේදී මා කැලිෆෝනියාවේ පදිංචියට ගිය අතර, 1947දී, මම සැන් ෆ්‍රැන්සිස්කෝහි පුරෝගාමි කටයුතු ඇරඹුවෙමි. ලොස් ඇන්ජලීස්හි “ඕල් නේෂන්ස් එක්ස්පෑන්ෂන්” නම් එක්රැස්වීමේ සූදානම් කටයුතුවල නියැලී සිටින අතර, මට ෆ්‍රැන්සිස් මැලැස්පිනා හමුවුණා. මිෂනාරි වැඩ සඳහා වූ අපගේ අන්‍යොන්‍ය ඉලක්කය ප්‍රේමනීය සම්බන්ධයක් මුල පිරීමට තුඩු දුණි. වර්ෂ 1949දී අපි විවාහ වූයෙමු.

වර්ෂ 1951 සැප්තැම්බර්හි, ෆ්‍රැන්සිස් හා මම ගිලියඩ් 18වන පන්තියට ආරාධනා ලැබුවෙමු. මාස පහක පරිශ්‍රමයෙන් යුක්ත පුහුණුවකින් පසු, 1952, පෙබරවාරි 10වන දින, අපව යවන්ට නියමව තිබූ රටවල් පාසැලේ සභාපති වන, නේතන් එච්. නෝර් විසින්, අක්ෂර හෝඩියේ පිළිවෙළට නම් කරනු ලැබීය. “ඉතාලිය, සහෝදර හා සහෝදරි මැලැස්පිනා” යයි ඔහු පැවසූ විට, අපගේ මනස්වලින් අප ඒ වන විටත් සිටියේ ගමන ගැන කල්පනා කරමිනි!

ඉන් සති කීපයකට පසු, ඉතාලියේ, ජෙනෝවා වෙතට දස-දිනැති මුහුදු ගමනක් සඳහා අපි නිව් යෝර්ක් සිට නැව් නැංගෙමු. අප සමුගන්නා විට ශුභ පැතීමට බෘක්ලින් මූලස්ථාන කාර්ය මණ්ඩලයේ ජියෝවාන්නි ඩෙචෙකා හා මැක්ස් ලාර්සන් නෞකාගාරයට පැමිණ සිටියහ. ජෙනෝවාහි අප නැවෙන් ගොඩබසින විට, අපව පිළිගනු ලැබුවේ රටට ඇතුල්වීමේදී ඇතිවන නොයෙක් දුෂ්කරතා සමඟ කටයුතු කරන ආකාරය හොඳින් දැන සිටි මිෂනාරිවරුන් විසින්ය.

අවට තිබූ සෑම දෙයකින්ම මහත් උනන්දුවෙන් සිටි අපි, බොලොන්‍යා වෙතට දුම්රියෙන් ගමන් කළෙමු. එහි පැමිණි විට අපට දක්නට ලැබුණේ IIවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් විකෘති තත්ත්වයක තිබූ නුවරකි. එහෙත් උදෑසන වාතය හා මුසු වූ නොවැළැක්විය හැකි කෝපි බදින සුවඳ, මෙන්ම පස්ටා නම් කෑම වර්ගයේ විවිධ ස්වරූප සඳහා සූදානම් කරනු ලබන ඉතා අනර්ඝ සෝස්වල ප්‍රිය උපදවන සුවඳ වැනි සිත්ගන්නා බොහෝ දේවල්ද එහි තිබුණි.

ඉලක්කයක් ඉටු කිරීම

කටපාඩම් කරන ලද ඉදිරිපත් කිරීමකින් අප දේව සේවය ආරම්භ කළ අතර එම පණිවුඩය පිළිගන්නා තෙක් නැතහොත් දොර වසන තෙක් අපි එය ඉදිරිපත් කළෙමු. අපගේ අදහස් ප්‍රකාශ කරන්ට තිබූ ආශාව උනන්දුවෙන් එම භාෂාව ඉගෙනගන්ට අපව පෙලඹවීය. මාස හතරකට පසු, නේපල්ස්හි අලුත් මිෂනාරි නිවසකට අපි පැවරුම් ලැබුවෙමු.

මෙම අතිවිශාල නගරය එහි රමණීය දර්ශනයන් වෙනුවෙන් නම්දරා සිටී. අප එහි අපගේ දේව සේවය තුළ ප්‍රීතියක් ලැබුවත්, ඉන් මාස හතරකට පසු, රෝමයේ පටන් සිසිලිය දක්වා සභාවන් බැහැදැකීමේ චාරිකා, නැතහොත් සංචාරක කටයුතු මගේ පුරුෂයාට පවරනු ලැබීය. කලකට පසු, අපි මෝල්ටාවට මෙන්ම උතුරු අප්‍රිකාවේ ලිබියාවට පවා ගියෙමු.

ඒ කාලයේ නේපල්ස් සිට සිසිලිය වෙතට දුම්රියෙන් යෑම ශාරීරික විඳදරාගැනීම පිළිබඳ පරීක්ෂාවක් විය. අප ජනයාගෙන් පිරි දුම්රියකට නැගී ජනයා තෙරපී සිටින ආසන අතර මාර්ගයේ ඇතැම් විට පැය හයක් අටක් පමණ හිටගෙන සිටිනු ඇත. කෙසේවෙතත්, අප අවට සිටින අයව හොඳින් අධ්‍යයනය කිරීමට එය අපට කදිම ප්‍රස්තාවක් ලබා දුන්නා. බොහෝ අවස්ථාවන්හි නිවසේ සාදන ලද වයින් අඩංගු විශාල ප්‍රමාණයේ බෝතලයක් එහි අයිතිකරුට ආසනයක් ලෙස ක්‍රියා කළ අතර, ඔහු එහි අඩංගු දෑ දිගු ගමනේ පිපාසාව සංසිඳුවීමටද විටින් විට පාවිච්චි කළේය. මිත්‍රශීලී මගීන් තමන්ගේ ආහාර වර්ග අප සමඟ බොහෝ අවස්ථාවන්හි බෙදාගැනීමට ඉදිරිපත් වූ අතර මෙය වනාහි අප අගය කළ හද උණුසුම් කරවන, සත්කාරශීලී ක්‍රියාවකි.

සිසිලියේදී අපව පිළිගන්නා සහෝදර මිත්‍රයන් කඳු මුදුනේ ඇති එහි සභාව වෙතට යෑමට එකදිගට පැය තුනහමාරක් පුරා නැගිය යුතු ගමනේදී අපගේ සූට්කේස් ඔසවාගෙන යනවා ඇත. අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ උණුසුම් පිළිගැනීම අපගේ වෙහෙස අපට අමතක කර දැමීමට ඉවහල් විය. ඇතැම් අවස්ථාවන්හි නොවරදවා පය තබන කොටළුවන් පිට අප නැගී ගමන් කළ මුත්, අප කඳු බෑවුමේ ගැඹුර බැලුවේ නැත. එසේ ඔවුන්ගේ එක් පියවරක් වැරදීම අපව පහතට වැටෙන්ට සලස්වනවා ඇත. අපගේ සහෝදරයන්ට දුෂ්කරතා තිබියදීත් බයිබල් සත්‍යය සඳහා ඔවුන්ගේ ස්ථිර ස්ථාවරය අපව ශක්තිමත් කළ අතර ඔවුන් අපට පෙන්වූ ප්‍රේමය ඔවුන් සමඟ සිටීම ගැන කෘතඥපූර්වක වීමට සැලැස්වීය.

මෝල්ටා සහ ලිබියාව

සිසිලියේ අපගේ සහෝදරයන් ගැන මතක සටහන්වලින් සිත් පුරවාගෙන, අපි මෝල්ටාව වෙතට යාත්‍රා කළෙමු. ප්‍රේරිත පාවුල්ට එහිදී කාරුණික අය හමුවූ අතර අපට එසේම හමුවිය. සාන්ත පෝල් බොක්කේ ඇති වූ කුණාටුව පළමුවන ශතවර්ෂයේ කුඩා නැව් මුහුණ දුන් අන්තරාව අපට අවබෝධ කර දුණි. (ක්‍රියා 27:39–28:10) ඊළඟට අපට ලිබියාව වෙත යෑමට තිබුණි. අපගේ වැඩකටයුතු තහනම් කර තිබූ මෙම අප්‍රිකානු රටේ අපට කෙසේ කටයුතු කරන්ට හැකි වේවිද?

යළිත් වරක් අපි සහමුලින්ම වෙනස් සංස්කෘතියක් අද්දුටුවෙමු. ට්‍රිපොලි නගරයේ කඩමණ්ඩිය පිහිටි ප්‍රදේශයේ කුලුනු සහිත වීදි තුළින් අප ගමන් කරත්ම එම නගරයේ දර්ශන හා ශබ්ද මගේ අවධානයට යොමු විය. දිවා කාලයේ සහරා කාන්තාරයේ දැවෙන උෂ්ණත්වයෙන්ද, රාත්‍රියේ ශීතලෙන්ද තමන්ව ආරක්ෂා කරගැනීමට ජනයා පාවිච්චි කළේ ඔටු රෝමවලින් වියන ලද වස්ත්‍රය. ජනයා තමන් ජීවත්වන ස්ථානයේ දේශගුණික තත්ත්වයන්ට සකස්වන ආකාරය අගය කිරීමටත් ගෞරව කිරීමටත් අපි ඉගෙනගත්තෙමු.

සහෝදරයන්ගේ පරීක්ෂාකාරි ජ්වලිතය යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩිව රැඳී සිටීම ගැනත් එවන් තත්ත්වයන් යටතේ දේශනා කිරීම ගැන වැඩි දැනුමක් ඇති අයගේ උපදෙස් අනුගමනය කිරීම ගැනත් බොහෝ දෑ අපට ඉගැන්වීය. අපගේ ක්‍රිස්තියානි සහෝදරයෝ බොහෝ ජාතීන්ට අයත්ව සිටියද යෙහෝවඃවහන්සේට වූ සිය සේවයෙහි එකඟතාවකින් යුතුව සේවය කළහ.

අලුත් පැවරුමක්

අපගේ දේශනා කටයුත්තට තිබූ විරුද්ධවාදීකම් නිසා, අපට ඉතාලියෙන් පිට වන්ට සිදුවුවත්, 1957දී බ්‍රසීලයේ අලුත් දේශනා පැවරුමක් අපි සතුටින් පිළිගත්තෙමු. ෆ්‍රැන්සිස් හා මා, එහි ජීවිතයට හා චාරිත්‍රයන්ට හැඩ ගැසුණු අතර, මාස අටකට පසු, ෆ්‍රැන්සිස්ට චාරිකා වැඩවල යෙදෙන්ට ආරාධනයක් ලැබුණි. අපි බස්රියෙන්, ගුවන්යානයෙන් හා පයින් ගමන් කළෙමු. අතිශයින් අලංකාර වූ මෙම රටේ සංචාරය කිරීම භූගෝල විද්‍යාව පිළිබඳව පාඩමක් ඉගෙනගැනීම හා සමාන විය.

අපගේ පළමු චාරිකාවට සාඕ පවුලෝ නගරයේ සභා දහයක් මෙන්ම සාඕ පවුලෝ ප්‍රාන්තයේ අභ්‍යන්තරයේ මෙන්ම දකුණු වෙරළ බඩ ප්‍රදේශ ඔස්සේ කුඩා නගර දහයක් අයත් විය. ඒ අවස්ථාවේදී එම නගරවල සභා තිබුණේ නැත. අපි ඉන්ට තැනක් සොයාගෙන, එහි පදිංචි වීමෙන් පසු, රාජ්‍යයේ පණිවුඩය සමඟ ගෙයින් ගෙට ගියෙමු. වොච් ටවර් සමිතියේ අධ්‍යාපනික චිත්‍රපටවලින් එකක් පෙන්වීමට ආරාධනා පත්ද අපි තබා ගියෙමු.

චිත්‍රපට, චිත්‍රපටය පෙන්වන උපකරණය, ට්‍රාන්ස්ෆෝමරය, ලිපිගොනු, ප්‍රකාශන, ආරාධනාපත් හා චිත්‍රපටය පෙන්වන ස්ථානය සඳහන් ආරාධනාපත් මත සටහන් කිරීමට රබර් මුද්‍රාවක් යනාදිය සමඟ බස්රථයකට නැගීම පහසු දෙයක් නොවීය. මේ හා සැසඳීමේදී, අපගේ කුඩා ඇඳුම් සූට්කේස් එතරම් ලොකු භාණ්ඩයක් වූයේ නැත. රළු මාර්ග ඔස්සේ ගමන් කරන විට චිත්‍රපට යන්ත්‍රය නොකැඩී ආරක්ෂා කරගැනීමට එය අපගේ ඔඩොක්කුව මත පරෙස්සම් කරන්ට සිදුවිය.

චිත්‍රපටය පෙන්වීමට ස්ථානයක් සොයාගැනීමෙන් පසු, චිත්‍රපට දර්ශනයට ආරාධනාපත් බෙදා දීමට අපි ගෙයින් ගෙට ගියෙමු. ඇතැම් අවස්ථාවන්හි චිත්‍රපටය ආපනශාලාවක හෝ හෝටලයක පෙන්වීමට අපි අවසර ඉල්ලාගත්තෙමු. අනික් අවස්ථාවන්හි අපි එළිමහනේ කණු දෙකක් අතර ඇඳ ඇතිරිල්ලක් දිග හැරියෙමු. චල චිත්‍රපටයක් දැක නොමැති වැඩි සංඛ්‍යාවකින් යුත් අගයපූර්වක ප්‍රේක්ෂකයෝ, ෆ්‍රැන්සිස් එහි විස්තරය කියවත්ම හිටගෙන අවධානයෙන් සවන් දුන්හ. ඉන්පසු අපි බයිබල් ප්‍රකාශන බෙදා දුන්නෙමු.

ගම්මාන කරා ළඟා වීමට අපි බස්රථයෙන් ගමන් කළෙමු. එහි ඇතැම් ගංගා හරහා පාලමක් නොතිබුණු බැවින්, බස්රථය පහුරක් මතට නංවා අනික් පැත්තට පා කරනු ලැබීය. බසයෙන් බසින හැටියටත්, බස්රථය ගඟ තුළට ලිස්සන බවක් අප දුටුවේ නම්, ජලයේ පහතට අදිනු ලැබ ගිලීමෙන් වළක්වාගැනීමට පහුරේ අනික් පැත්තෙන් පනින හැටියටත් අපට අවවාද කරනු ලැබීය. අප ගමන් කළ කිසිම බස්රථයක් ගඟට ලිස්සා නොයෑම ගැන ස්තුති වන්ට අපට පුළුවන—තවද එය වාසනාවකි, මන්දයත් විශේෂාකාරයෙන් එම ගඟ මාංස භක්ෂක පිරන්හා වර්ගයේ මසුන් සඳහා නම් දරා තිබූ නිසාය!

වර්ෂ 1958 නිව් යෝර්ක්හි ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමෙන් පසු, අපි බ්‍රසීලයට හැරී පැමිණි අතර, ඉක්මනින්ම සංචාරක කටයුතුවල නැවතත් යෙදුණෙමු. අපගේ දිස්ත්‍රික්කය දකුණෙන් උරුග්වේ සීමාවටත්, බටහිරෙන් පාරග්වේ වෙතටත්, උතුරෙන් පර්නම්බුකෝ වෙතටත්, බ්‍රසීලයේ නැගෙනහිර පැත්තෙන් අත්ලාන්තික් මුහුදටත් අපව රැගෙන ගියේය.

ලාදුරු ජනපදය

එක් දහස් නවසිය හැට ගණන්වල මැද භාගයේදී, ලාදුරු ජනපදයක සමිතියේ චිත්‍රපටවලින් එකක් පෙන්වීමට කළ ආරාධනයක් අපි පිළිගත්තෙමු. මා යම් ප්‍රමාණයක් භය වූ බව මා පිළිගත යුතුය. අප ලාදුරු රෝගය ගැන බයිබලයෙන් කියවා තිබූ දෙයට අමතරව, ඒ ගැන අපට තිබුණේ මඳ දැනීමකි. සුදු පාට ආලේප කර තිබූ, එහි භූමියට ඇතුල්වීමෙන් පසු, අපව විශාල ශ්‍රවණාගාරයකට කැඳවාගෙන යනු ලැබීය. එහි මැද අප හා අපගේ උපකරණ සඳහා කොටසක් ලණුවලින් වෙන් කර තිබුණි.

අපට උපකාර කරමින් සිටි විදුලි කාර්මිකයා එම ජනපදයේ අවුරුදු 40ක් වාසය කළ කෙනෙකි. ඔහුට තමාගේ මැණික්කටුවෙන් පහළට අත්ද ඔහුගේ ශරීරයේ තවත් ඇතැම් කොටස්ද, අහිමි වී තිබූ අතර, එය අවලක්ෂණ ආකාරයකට ඔහුව විරූප කළේය. මුලදී මා චකිතයට පත්වුණත්, තමාගේ වැඩය කිරීමෙහි ඔහුගේ සන්තෝෂයෙන් යුක්ත හැසිරීම හා දක්ෂකම මාව පහසුවට පත්කළේය. අවශ්‍ය සූදානම් කටයුතු අප අවසන් කරත්ම අපි ඉක්මනින්ම බොහෝ දේවල් ගැන සාකච්ඡා කරන්ට වීමු. එහි නැවතුම් ලැබ සිටි රෝගීන් දහසක්දෙනාගෙන් දෙසියකට වැඩිදෙනෙක් එය බැලීමට පැමිණියහ. ඔවුන් නොන්ඩි ගසමින් එතුළට පැමිණෙත්ම, ඔවුන් පීඩා විඳිමින් සිටි රෝගයේ විවිධ අවස්ථාවන් අපි සැලකිල්ලට ගත්තෙමු. එය අපහට කොතරම් පොලඹවනසුලු, චිත්තවේගී අද්දැකීමක් වූයේද!

“ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවන” යයි ආයාචනා කළ කුෂ්ඨ රෝගියාට යේසුස්වහන්සේ වදාළ දෙය ගැන අපි කල්පනා කළෙමු. එම මිනිසාව ස්පර්ශ කරමින්, “මම කැමැත්තෙමි; පවිත්‍රවෙයන්නැයි” යේසුස්වහන්සේ ඔහුට සහතික වූසේක. (මතෙව් 8:2, 3) එම වැඩසටහන අවසන් වූ පසු, පැමිණීම වෙනුවෙන් අපට ස්තුති කරන්ට බොහෝදෙනෙකු අප වෙතට පැමිණි අතර ඔවුන්ගේ හානි වූ ශරීරයන් මනුෂ්‍යවර්ගයාගේ මහත් වේදනාවන්හි පැහැදිලි සාක්ෂියක් විය. පසුව, වැඩියෙන් ඉගෙනගන්නට කැමැත්ත පළ කළ අය සමඟ ප්‍රදේශයේ සාක්ෂිකරුවෝ බයිබලය පාඩම් කළහ.

වර්ෂ 1967දී, බරපතළ සෞඛ්‍ය ගැටලු කීපයකට සැලකිල්ල දැක්වීමට අපි නැවතත් එක්සත් ජනපදයට හැරී පැමිණියෙමු. අප මෙම සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කරත්ම, අපට චාරිකා වැඩවල නිරත වන්ට යළිත් වරප්‍රසාදය ලැබුණි. ඊළඟ වසර 20 පුරා, මම ෆ්‍රැන්සිස් සමඟ එක්සත් ජනපදයේ සංචාරක වැඩවල හවුල් වූයෙමි. මෙම කාලය තුළ ඔහු රාජ්‍යය සේවා පාසැලේද ඉගැන්නුවේය.

තමාට භාර කරන ලද ඕනෑම පැවරුමකට සැලකිල්ල දැක්වූ ප්‍රේමනීය පුරුෂයෙකු හා විශ්වාසවන්ත සහකරුවෙකු සිටීම මට කොතරම් දිරිගැන්වීමේ ප්‍රභවයක් වූයේද! අර්ධද්වීප හතරක කොටස්වල බයිබල් සත්‍යයේ නිධානය හවුලේ බෙදා දීමේ වරප්‍රසාදය අපට ලැබුණි.

නිධානයෙන් උසුලනු ලැබීම

වර්ෂ 1950දී, මගේ මව, 1924දී බව්තීස්මය ලද විශ්වාසවන්ත සහෝදරයෙක් වන, ඩේවිඩ් ඊස්ටර් සමඟ විවාහ වූවාය. ඔවුහු එක්ව වසර ගණනාවක් පූර්ණ-කාලීන දේව සේවයේ යෙදුණාහ. කෙසේවෙතත්, මවගේ ජීවිතයේ අවසාන භාගය තුළ, ඇල්සයිමර්ගේ රෝගය ක්‍රමයෙන් ඉස්මතුවන්ට විය. එම රෝගය ඇයගේ සිහිකල්පනාවේ ශක්තිය අඩු කළ බැවින් ඇයට වැඩි සැලකිල්ලක් අවශ්‍ය විය. මට අනුබල දෙමින් සිටි සහෝදරියෝ මෙන්ම ඩේවිඩ්, පූර්ණ-කාලීන සේවයේ අපගේ විශේෂ වරප්‍රසාදය අප අත්හැරීම ගැන කැමති නොවූ බැවින්, ඇයව රැකබලාගැනීමේ භාරදූර වගකීම භාරගත්හ. වර්ෂ 1987දී සිය මරණය සිදුවන තෙක් මවගේ විශ්වාසවන්ත ආදර්ශය අපගේ ජීවිත මාර්ගය සැලසුම් කිරීමෙහි අපට උපකාර කිරීමට මහත් සේ දායක වූ අතර, ඇය ආදරයෙන් රැකබලාගත් ස්වර්ගීය විපාකය පිළිබඳ බලාපොරොත්තුව අපට සහනයක් වුණි.

වර්ෂ 1989වන විට, ෆ්‍රැන්සිස් පෙර තරම් ශක්තිමත්ව නොසිටි බව මට තේරුණි. ලෝකයේ බොහෝ කොටස්වල ඉතා ප්‍රසිද්ධ රෝගයක් වන, ගොළුබෙලි උණ හානිදායක බලපෑමක් ඇති කරමින් තිබූ බව අප දැන සිටියේ නැත. වර්ෂ 1990දී, මෙම අනුකම්පා විරහිත සතුරා ඔහුව ගොදුරු කරගත් අතර, වසර 40කට වැඩි කාලයක් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි මා සමඟ හවුල් වූ මගේ ප්‍රේමනීය හවුල්කරුවා මට අහිමි විය.

තත්ත්වයන්ට උචිත හැඩගැසීම ජීවිතයේ කොටසකි. ඇතැම් ඒවා පහසු වන අතර ඇතැම් ඒවා දුෂ්කරය. එහෙත්, බයිබල් සත්‍යයේ අමිල නිධානය දානය කරන තැනැන්වහන්සේ වන, යෙහෝවඃවහන්සේ, ස්වකීය සංවිධානය මෙන්ම මගේ පවුලේ ප්‍රේමය හා දිරිගැන්වීම මාර්ගයෙන් මාව උසුලා දැරූසේක. යෙහෝවඃවහන්සේගේ නොවරදින පොරොන්දු සියල්ලේ ඉටුවීම දෙස මා උනන්දුවෙන් බලාසිටිත්ම, මම තවදුරටත් සෑහීමක් ලබමින් සිටිමි.

[23වන පිටුවේ පින්තූරය]

මගේ පුරුෂයා හා මා ඉතාලියේ මිෂනාරිවරුන්ව සිටි අවදියේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න