දුර්වලකම, දුෂ්ටකම හා පසුතැවිල්ල නිශ්චය කරගැනීම
පාපය වනාහි ක්‍රිස්තියානීන් ද්වේෂ කරන යමක් වන අතර එය යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින් පහත වැටීමක්ද වන්නේය. (හෙබ්‍රෙව් 1:9) කලින් කලට අප සියල්ලන්ම පව් කිරීම කනගාටුවට කරුණකි. අපි සියල්ලෝම උරුම වූ දුර්වලකම හා අසම්පූර්ණත්වය සමඟ පොරබදන්නෙමු. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවන්හි, අප අපගේ පව් යෙහෝවඃවහන්සේට පවසා, ඒවා නැවතත් නොකිරීමට අවංක වෑයමක් දරන්නේ නම්, අපට පවිත්‍ර හෘදය සාක්ෂියකින් උන්වහන්සේ වෙතට පිවිසෙන්ට පුළුවන. (රෝම 7:21-24; 1 යොහන් 1:8, 9; 2:1, 2) මිදීමේ මිලය මත පදනම්ව අපගේ දුර්වලකම් තිබියදීත් උන්වහන්සේ අපගේ පරිශුද්ධ සේවය පිළිගැනීම උදෙසා අපි යෙහෝවඃවහන්සේට ස්තුතිවන්ත වන්නෙමු.
මාංසයේ දුර්වලකම නිසා යමෙකු බරපතළ පාපයකට වැටුණොත්, යාකොබ් 5:14-16හි ගෙනහැර දක්වා ඇති ක්‍රියාමාර්ගයට එකඟව, ඔහු සඳහා වහාම එඬේර බැලීමක් අවශ්‍ය වේ: “නුඹලා අතරෙහි යමෙක් [ආත්මිකව] රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; . . . ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරපල්ලා.”
මෙබැවින්, කැපවූ ක්‍රිස්තියානියෙකු ඉතා බරපතළ පාපයක් කළ විට, යෙහෝවඃවහන්සේට පෞද්ගලික පාපෝච්චාරණයක් කිරීමට වැඩියමක් අවශ්‍ය වේ. සභාවේ පවිත්‍රතාවට නැතහොත් සාමයට තර්ජනයක් වන බැවින්, වැඩිමහල්ලා ඇතැම් පියවරගත යුතුය. (මතෙව් 18:15-17; 1 කොරින්ති 5:9-11; 6:9, 10) වැඩිමහල්ලන්ට මෙම කරුණු තීරණය කරන්ට සිදුවන්නට පුළුවන: එම තැනැත්තා පසුතැවිලි වන්නේද? පාපයට තුඩු දුන්නේ කුමක්ද? එය සිද්ධ වුණේ දුර්වලකමේ එක් මොහොතක් නිසාද? එය පුරුද්දක් වශයෙන් පව් කිරීමක්ද? එවන් දෑ නිශ්චය කිරීම නිතර පහසු දෙයක් හෝ පැහැදිලිව කළ හැකි දෙයක් නොවන අතර සෑහෙන ප්‍රමාණයක සියුම් නුවණින් ක්‍රියා කිරීමක් ඉල්ලා සිටී.
එහෙත්, එම පාපය වැරදි කිරීමක් හා දුෂ්ට හැසිරීමක් පසුපස හඹා යෑම නිසා සිදුවූයේ නම් කුමක් කිව හැකිද? එවිට, වැඩිමහල්ලන්ගේ වගකීම පැහැදිලිය. කොරින්ති සභාවේ බරපතළ කාරණයක් සමඟ කටයුතු කිරීමට මඟ පෙන්වීම ලබා දෙන විට, ප්‍රේරිත පාවුල් පැවසුවේ “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරපල්ලා” කියාය. (1 කොරින්ති 5:13) දුෂ්ටයන්ට ක්‍රිස්තියානි සභාවේ තැනක් නැත.
දුර්වලකම, දුෂ්ටකම හා පසුතැවිල්ල කිරා බැලීම
යමෙකු පසුතැවිලි වන විට වැඩිමහල්ලන්ට එය දැනගත හැක්කේ කෙසේද?a මෙය සරල ප්‍රශ්නයක් නොවේ. උදාහරණයක් හැටියට දාවිත් රජ ගැන කල්පනා කර බලන්න. ඔහු කාමමිථ්‍යාචාරය කළ අතර, අනතුරුව ඇත්තෙන්ම කියනවා නම්, මිනීමැරුමක් සිද්ධ කළේය. එහෙත්, යෙහෝවඃවහන්සේ ඔහුට ජීවත්වන්ට ඉඩහැරියසේක. (2 සාමුවෙල් 11:2-24; 12:1-14) අනතුරුව අනනියස් හා සප්පිරා ගැන කල්පනා කර බලන්න. ඔව්හු බොරු කියමින් ප්‍රේරිතයන්ව රැවටීමට වෑයම් කළ අතර කුහක ලෙස තමන් සිටියාටත් වඩා වැඩියෙන් ත්‍යාගශීලී බව බොරුවට මවා පෙන්වූහ. එය බරපතළ දෙයක් වීද? එසේය. මිනීමැරීම හා කාමමිථ්‍යාචාරය තරම් බරපතළද? එතරම්ම නොවේ! එහෙත් අනනියස් හා සප්පිරාට තමන්ගේ ජීවිත අහිමි කරගන්ට සිදුවිය.—ක්‍රියා 5:1-11.
වෙනස් ආකාරයට විනිශ්චය කරනු ලැබුවේ මන්ද? දාවිත් බරපතළ පාපයකට ඇද වැටුණේ මාංසයේ දුර්වලකමක් නිසාය. තමා කර තිබූ දෙයට මුහුණ දුන් විට, ඔහු පසුතැවිලි වූ අතර—සිය නිවසේ ගැටලු සම්බන්ධයෙන් ඔහුට දැඩි හික්මවීමක් දෙනු ලැබුවද—යෙහෝවඃවහන්සේ ඔහුට සමාව දුන්සේක. අනනියස් හා සප්පිරා කුහක ලෙස බොරු කියා ක්‍රිස්තියානි සභාව රැවටීමට උත්සාහ දැරීමෙන් පව් කළ අතර එසේ ‘ශුද්ධාත්මය හා දෙවියන්වහන්සේ රැවටීමට’ වෑයම් කළහ. එය දුෂ්ට හෘදයකට සාක්ෂියක් බව තහවුරු විය. එබැවින් වඩාත් බරපතළ ලෙස ඔවුන්ව විනිශ්චය කරනු ලැබීය.
මේ අවස්ථා දෙකේදීම යෙහෝවඃවහන්සේ විනිශ්චය කළ අතර උන්වහන්සේට හෘදයන් පරීක්ෂා කළ හැකි බැවින්, උන්වහන්සේගේ විනිශ්චයන් නිවැරදි විය. (හිතෝපදේශ 17:3) මනුෂ්‍ය වැඩිමහල්ලන්ට එය කළ නොහැකිය. එබැවින් බරපතළ පාපයක් දුෂ්ටකමකට වඩා දුර්වලකමක් පිළිබඳ සාක්ෂියක්දැයි වැඩිමහල්ලන්ට නිශ්චය කළ හැක්කේ කෙසේද?
ඇත්තවශයෙන්ම සියලුම පාප දුෂ්ට වුවත්, පව්කාරයෝ සියලුදෙනාම දුෂ්ට නොවෙති. සමාන පව් එක් තැනැත්තෙකු සම්බන්ධයෙන් දුර්වලකමක් හා තවත් කෙනෙකු සම්බන්ධයෙන් දුෂ්ටකමක් පිළිබඳ සාක්ෂි වන්ට පුළුවන. ඇත්තෙන්ම, පව් කිරීම සාමාන්‍යයෙන් පව්කාරයාගේ පැත්තෙන් යම් ප්‍රමාණයක දුර්වලකමක් හා දුෂ්ටකමක් නිසා සිදුවේ. එක්තරා තීරණාත්මක සාධකයක් වනුයේ පව්කාරයා තමා කර ඇති දෙය බලන ආකාරයත් ඒ පිළිබඳව ඔහු කරන්ට අදහස් කරන දෙයත්ය. ඔහු පසුතැවිලි වූ ස්වභාවයක් පෙන්වනවාද? මෙය දැනගන්ට වැඩිමහල්ලන්ට සියුම්ව තේරුම්ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ඔවුන්ට එම තේරුම්ගැනීමේ හැකියාව අත්කරගත හැක්කේ කෙසේද? ප්‍රේරිත පාවුල් තිමෝතිට මෙසේ පොරොන්දු විය: “මා කියන දේ [නිරන්තරයෙන්, NW] කල්පනාකරපන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත.” (2 තිමෝති 2:7) වැඩිමහල්ලන් නිහතමානීව පාවුල්ගේ හා වෙනත් බයිබල් ලේඛකයන්ගේ දේවානුභාවය ලත් වදන් ‘නිරන්තර කල්පනාවට’ භාජන කරන්නේ නම්, සභාවේ පව් කරන අය දෙස නිසි ලෙස බැලීමට අවශ්‍ය කරන දැනගැන්ම ඔවුන් ලබනවා ඇත. එවිට, ඔවුන්ගේ තීරණ පිළිබිඹු කරනවා ඇත්තේ තමන්ගේ කල්පනාව නොව, යෙහෝවඃවහන්සේගේ කල්පනාවයි.—හිතෝපදේශ 11:2; මතෙව් 18:18.
මෙය කරනු ලබන්නේ කෙසේද? එක් ක්‍රමයක් වනුයේ දුෂ්ට අයව බයිබලය විස්තර කරන ආකාරයට පරීක්ෂා කර බලා, විමසුමට භාජන වන තැනැත්තාට එම විස්තරය අදාළ වන්නේදැයි බැලීමය.
වගකීම භාරගැනීම හා පසුතැවිලි වීම
දුෂ්ට ක්‍රියා මාර්ගයක් තෝරාගත් පළමු මනුෂ්‍යයෝ ආදම් සහ ඒව වූහ. පරිපූර්ණව හා යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ පූර්ණ දැනුමක් ඇතිව සිටයදීත්, ඔවුහු දිව්‍ය පරමාධිපත්‍යයට විරුද්ධව කැරලි ගැසූහ. තමන් කර තිබූ දේ යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ මුහුණට පැවසූ විට, ඔවුන්ගේ ප්‍රතික්‍රියා සැලකිල්ලට ගැනීම වටී—ආදම් ඒවට දොස් පැවරූ අතර ඒව දොස් පැවරුවේ සර්පයාටය! (උත්පත්ති 3:12, 13) මෙය දාවිත්ගේ ගැඹුරු නිහතමානීකම සමඟ සසඳන්න. තමාගේ මහත් පාපයට මුහුණ දී සිටි විට, ඔහු “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] විරුද්ධව පව්කෙළෙමි” යයි පවසමින්, වගකීම පිළිගෙන සමාව අයැද සිටියේය.—2 සාමුවෙල් 12:13; ගීතාවලිය 51:4, 9, 10.
විශේෂයෙන්ම වැඩිහිටි කෙනෙකු සම්බන්ධ, බරපතළ පව් පිළිබඳ සිද්ධීන් සමඟ කටයුතු කරන විට වැඩිමහල්ලන් මෙම උදාහරණ දෙක සැලකිල්ලට ගැනීම වටී. පව්කාරයා—තමාගේ පාපය ඒත්තු ගත් අවස්ථාවේ, දාවිත් මෙන්—එකහෙළා වරද පිළිගෙන, පසුතැවිල්ලෙන් උපකාරය හා සමාව පිණිස යෙහෝවඃවහන්සේ දෙස බලනවාද, නැතහොත් ඔහු තමා කර තිබෙන දෙය අඩු කර දැක්වීමට, ඇතැම් විට වෙනත් කෙනෙකුට දොස් පැවරීමට වෑයම් දරනවාද? පව් කරන තැනැත්තා ඔහුගේ ක්‍රියාවට තුඩු දුන් හේතුව පැහැදිලි කිරීමට කැමති වීම සැබෑවක් වන අතර, ඔහුට උපකාර කරන ආකාරය නිශ්චය කරන විට වැඩිමහල්ලන් සලකා බැලිය යුතු, අතීතයේ හෝ වර්තමානයේ තත්ත්වයන් තිබෙන්ට පුළුවන. (හොෂෙයා 4:14, සසඳන්න.) එහෙත් පව් කළ තැනැත්තා තමා බවත්, ඔහු යෙහෝවඃවහන්සේ ඉදිරියේ වගකිව යුතු බවත් ඔහු පිළිගත යුතුය. මතක තබාගන්න: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බිඳුණු සිත් [හදවත්, NW] ඇත්තන්ට ළංව සිටිනසේක, තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.”—ගීතාවලිය 34:18.
නපුරු දෙය පුරුද්දක් සේ කිරීම
ගීතාවලිය පොතේ දුෂ්ට අය සම්බන්ධයෙන් බොහෝ දෑ සඳහන් කර ඇත. කෙනෙකු මූලිකව දුෂ්ටද නැතහොත් දුර්වලද යන වග නිශ්චය කිරීමට එවන් ශුද්ධ ලියවිලි පද වැඩිමහල්ලන්ට තවදුරටත් උපකාර කළ හැක. උදාහරණයක් වශයෙන් දාවිත් රජුගේ දේවානුභාවය ලත් යාච්ඤාව සලකා බලන්න: “තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල [හදවත්වල, NW] නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් [පුරුද්දක් සේ, NW] කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.” (ගීතාවලිය 28:3) මෙහි දුෂ්ට අයව “අයුතුකම් කරන්නන්” සමඟ එකම තලයේ සඳහන් කර ඇති බව සැලකිල්ලට ගන්න. මාංසයේ දුර්වලකම් නිසා පව් කරන තැනැත්තේ, නැවත හොඳ සිහිය ලැබූ විගස බොහෝදුරට එය නවතා දමනවා ඇත. එහෙත්, තමාගේ ජීවිතයේ කොටසක් වන ආකාරයට යමෙක් නපුර ‘පුරුද්දක් සේ කරන්නේ’ නම්, මෙය දුෂ්ට හෘදයක් පිළිබඳ සාක්ෂියක් වන්ට පුළුවන.
දාවිත් එම වගන්තියේ දුෂ්ටකමේ තවත් ගති ලක්ෂණයක් සඳහන් කළේය. අනනියස් හා සප්පිරා මෙන්, දුෂ්ට තැනැත්තා තමාගේ මුඛයෙන් යහපත් දේ කථා කරන නමුත්, ඔහුගේ හෘදයේ ඇත්තේ නපුරු දේවල්ය. ‘පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනුණත්, ඇතුළතින් කුහකකමින්ද අයුතුකමෙන්ද යුක්තව’ යේසුස්වහන්සේගේ දවසේ සිටි ඵරිසිවරුන් මෙන් ඔහු කුහකයෙකු වන්ට පුළුවන. (මතෙව් 23:28; ලූක් 11:39) යෙහෝවඃවහන්සේ කුහකකමට ද්වේෂ කරනසේක. (හිතෝපදේශ 6:16-19) විනිශ්චය කමිටුවක් සමඟ කථා කරන විට පවා, සම්පූර්ණයෙන් පාපෝච්චාරණයක් කිරීම ප්‍රතික්ෂේප කරමින්, යමෙකු කුහක ලෙස තමාගේ බරපතළ පාපය ප්‍රතික්ෂේප කරන්ට වෑයම් කරන්නේ නම්, නැතහොත් අන්‍යයන් විසින් ඒ වන විට දැන සිටින දෙය පමණක් අකමැත්තෙන් වුවද පිළිගන්නේ නම්, මෙය දුෂ්ට හෘදයක් පිළිබඳ හොඳ සාක්ෂියක් වන්ට පුළුවන.
යෙහෝවඃවහන්සේ සඳහා අහංකාර නොසැලකිල්ලක්
දුෂ්ට තැනැත්තෙකු සලකුණු කරන වෙනත් දෑ ගීතාවලිය 10හි ගෙනහැර දක්වා ඇත. එහි අපට මෙසේ කියවන්ට තිබේ: “දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; . . . (ඔහු) ස්වාමීන් අත්හරියි [යෙහෝවඃවහන්සේට අගෞරවය කර ඇත, NW].” (ගීතාවලිය 10:2, 3) අහංකාර මෙන්ම යෙහෝවඃවහන්සේට අගෞරව කරන කැප වූ ක්‍රිස්තියානියෙකු අප සැලකිය යුත්තේ කෙසේද? නිසැකවම, මේවා දුෂ්ට මානසික ආකල්පයන්ය. දුර්වලකමෙන් පව් කරන තැනැත්තෙකු, වරක් තමාගේ පාපය තේරුම්ගත් විට නැතහොත් එය තමාගේ අවධානයට යොමු කරනු ලැබූ විට, පසුතැවිලි වී තමාගේ ජීවිතය වෙනස් කරගැනීමට වෑයම් දරනවා ඇත. (2 කොරින්ති 7:10, 11) මීට පටහැනිව, මිනිසෙකු යෙහෝවඃවහන්සේ සඳහා තිබෙන මූලික අගෞරවයක් නිසා පව් කරන්නේ නම්, තමාගේ පව්කාර ක්‍රියා මාර්ගයට නැවත නැවතත් හැරී යෑමෙන් ඔහුව කුමක් වළක්වනු ඇද්ද? මොළොක්කමේ ස්වභාවයෙන් උපදෙස් දෙනු ලබද්දීත් ඔහු අහංකාර වන්නේ නම්, අවංකව හා සැබෑ ලෙස පසුතැවිලි වීමට අවශ්‍ය කරන නිහතමානීකම ඔහුට තිබිය හැක්කේ කෙලෙසද?
එම ගීතිකාවේම මඳක් පහළින් තිබෙන දාවිත්ගේ මෙම වදන් දැන් සලකා බලන්න: “දුෂ්ටයා දෙවියන්වහන්සේට නින්දා කරන්නෙත් ඔබ පළි නොගන්නසේකැයි සිතින් [හදවතින්, NW] කියන්නෙත් මක්නිසාද?” (ගීතාවලිය 10:13) ක්‍රිස්තියානි සභාවේ පිළිවෙළ අනුව හරි හා වැරදි දෙය අතර වෙනස දුෂ්ටයා දන්නා නමුත්, ඔහුට ඉන් ගැළවෙන්ට පුළුවනැයි ඔහු සිතන්නේ නම්, ඔහු වැරැද්ද කරන්ට මැළි නොවෙයි. අනාවරණය වීම පිළිබඳව බියක් නොතිබෙන තෙක්, ඔහු තමාගේ පාපතර නැඹුරුවාවන්ට නිදහසේ ඉඩහරී. දාවිත් මෙන් නොව, ඔහුගේ පව් එළිදරව් වුවහොත්, ඔහු හික්මවීම මඟ හරින්ට උපාය යොදනවා ඇත. එවන් තැනැත්තෙකු යෙහෝවඃවහන්සේට මහත් අගෞරවයකි. “[ඔහුගේ] ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැ(ත) . . . [ඔහු] නපුරට පිළිකුල් නොකරයි.”—ගීතාවලිය 36:1, 4.
අන්‍යයන්ට හානි කිරීම
සාමාන්‍යයෙන්, පාපයකින් එක් කෙනෙකුට වඩා වැඩි දෙනෙකුට බලපෑම් සිදුවේ. උදාහරණයක් ලෙස, කාමමිථ්යාචාරිකයෙක් දෙවියන්වහන්සේට එරෙහිව පව් කරයි; ඔහු තමාගේ භාර්යාව හා දරුවන් පීඩනයට ලක්කරයි; ඔහු හා පාපයට හවුල් වන තැනැත්තිය විවාහක කෙනෙකු නම්, ඔහු ඇයගේ පවුල පීඩනයට ලක්කරයි; එමෙන්ම ඔහු සභාවේ හොඳ නාමය පලුදු කරයි. ඔහු ඒ සියල්ලක්ම දකින්නේ කෙලෙසද? අව්‍යාජ පසුතැවිල්ලක් සමඟ ඔහු හෘදයංගම දුක්වීමක් පෙන්වයිද? එසේත් නැතහොත් ඔහු විදහාපෙන්වන්නේ ගීතාවලිය 94හි විස්තර කර ඇති “අයුතුකම්කරන සියල්ලෝම පාරට්ටු කරගනිති. ස්වාමිනි [අහෝ යෙහෝවඃවහන්ස, NW], ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති. ඔව්හු වැන්දඹුව සහ විදේශියාද නසති, පියා නැත්තන් මරති. ස්වාමීන්වහන්සේ [යාඃ, NW] නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති” යන මෙම ස්වභාවයද?—ගීතාවලිය 94:4-7.
බොහෝ දුරට, සභාවක ඉස්මතු වන පාපයන් මිනීමැරුම හා ඝාතනය කිරීම හා සම්බන්ධ වන්ට යන්නේ නැත. එහෙත් මෙහි විදහාපෙන්වන ස්වභාවය—එනම් පෞද්ගලික වාසිය තකා අන්‍යයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සූදානම් වී සිටින ස්වභාවය—වැඩිමහල්ලන් වැරැද්ද පරීක්ෂා කරත්ම පැහැදිලි වන්ට පුළුවන. මෙයත්, දුෂ්ටයෙකුගේ ලකුණක් වන, උඩඟුකමය. (හිතෝපදේශ 21:4) එය, තමාගේ සහෝදරයා සඳහා තමාව කැප කිරීමට කැමැත්තෙන් සිටින, සැබෑ ක්‍රිස්තියානියෙකුගේ ස්වභාවයට සහමුලින්ම විරුද්ධය.—යොහන් 15:12, 13.
දේව ප්‍රතිපත්ති අදාළ කිරීම
මෙම මාර්ගෝපදේශ දී තිබෙන්නේ නීති තැබීමේ අදහසින් නොවේ. කෙසේවෙතත්, ඒවා යෙහෝවඃවහන්සේ සැබවින්ම දුෂ්ට හැටියට සලකන ඇතැම් දෑ පිළිබඳව යම් අදහස් ඉදිරිපත් කරයි. කරන ලද වැරැද්ද වෙනුවෙන් වගකීම පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීමක් සිදුවේද? පාපය කළ තැනැත්තා මෙම කරුණ වෙනුවෙන්ම කලින් දෙනු ලැබූ උපදේශයක් මුරණ්ඩු ලෙස නොසලකා හැර තිබේද? බරපතළ වැරදි කිරීමේ මුල්බැසගත් පුරුද්දක් තිබේද? වැරදිකරුවා යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාව සඳහා අශෝභන නොසැලකිල්ලක් විදහාපෙන්වයිද? ඇතැම් විට අන්‍යයන්ව දූෂිත කරන අතරතුර, එම වැරැද්ද සැඟවීමට ඔහු හිතාමතා වෑයම් කර තිබේද? (යූද් 4) වරද හෙළිවන විට, එවන් වෑයම් තව තවත් වැඩිවේද? එම වැරදිකරුවා, තමා අන්‍යයන්ටත් යෙහෝවඃවහන්සේගේ නාමයටත් කර ඇති හානි සඳහා පූර්ණ නොසැලකිල්ලක් පෙන්වයිද? ඔහුගේ ආකල්පය ගැන කුමක් කිව හැකිද? කාරුණික ශුද්ධ ලියවිලිමය උපදෙස් දීමෙන් පසු, ඔහු අහංකාරද නැතහොත් උඩඟුද? වැරැද්ද නැවතත් කිරීම වැළැක්වීමට ඔහුට හෘදයංගම ආශාවක් නැද්ද? පසුතැවිලි නොවීමක් දැඩි ලෙස අඟවන, මෙවන් කරුණු වැඩිමහල්ලන් දකින්නේ නම්, කරන ලද පාපයන් හුදු මාංසයේ දුර්වලකමක් නොව, ඒ වෙනුවට දුෂ්ටකම පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන බව ඔවුන්ට නිගමනය කරන්ට පුළුවන.
දුෂ්ට නැඹුරුවාවන් තිබෙන බව පෙනෙන කෙනෙකු සමඟ කටයුතු කරන විට පවා, වැඩිමහල්ලන් ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට ඔහුට අවවාද කිරීම නවත්වන්නේ නැත. (හෙබ්‍රෙව් 3:12) දුෂ්ටයන් පසුතැවිලි වී හැරෙන්ට පුළුවන. තත්ත්වය එසේ නොවන්නේ නම්, “දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත” කියා යෙහෝවඃවහන්සේ ඉශ්රායෙලිතයන්ගෙන් ඉල්ලා සිටියේ මක්නිසාද? (යෙසායා 55:7) ඇතැම් විට විනිශ්චය විමසුමකදී, වැඩිමහල්ලන් පසුතැවිල්ලෙන් යුත් ස්වභාවයක් හා ආකල්පයක් තුළින් පිළිබිඹු වන ආකාරයට, ඔහුගේ හෘද තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් තේරුම්ගන්නවා ඇත.
පුද්ගලයෙකුව සභා ඇසුරෙන් ඉවත්කරන විට පවා, එඬේරුන් හැටියට, වැඩිමහල්ලන්, පසුතැවිලි වීමටත්, යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය ලැබීමට හැරී එන හැටියටත් ඔහුගෙන් තදින් ඉල්ලා සිටිනවා ඇත. කොරින්තියේ සිටි “දුෂ්ටයා” මතකයට නගන්න. පැහැදිලි වන ආකාරයට, ඔහු තමාගේ මාර්ගය වෙනස් කරගත් අතර, පාවුල් පසුව ඔහුව නැවතත් පිහිටුවීම නිර්දේශ කළේය. (2 කොරින්ති 2:7, 8) මනස්සේ රජුද සලකා බලන්න. ඔහු සැබවින්ම ඉතා දුෂ්ටව සිටියද, ඔහු අවසානයේ පසුතැවිලි වූ විට, යෙහෝවඃවහන්සේ ඔහුගේ පසුතැවිල්ල භාරගත්සේක.—2 රාජාවලිය 21:10-16; 2 ලේකම් 33:9, 13, 19.
කමාවක් දෙනු නොලබන පාපයක් ඇති බව සැබෑවකි—එය ශුද්ධාත්මයට විරුද්ධ පාපයයි. (හෙබ්‍රෙව් 10:26, 27) එම පාපය කර ඇත්තේ කවරෙක්දැයි තීරණය කරන්නේ යෙහෝවඃවහන්සේ පමණි. එසේ කිරීමට මනුෂ්‍යයන්ට අධිකාරයක් නැත. වැඩිමහල්ලන්ගේ වගකීම සභාව පවිත්‍රව තබාගැනීමත් පසුතැවිලි වන පව්කාරයන් නැවත පිහිටුවීමට උපකාර කිරීමත්ය. තමන්ගේ තීරණවලින් යෙහෝවඃවහන්සේගේ ප්‍රඥාව විදහාපෙන්වීමට සලස්වමින්, සියුම් නුවණින් හා නිහතමානීකමින් ඔවුන් එසේ කරන්නේ නම්, එවිට යෙහෝවඃවහන්සේ එඬේරකම් කිරීමේ ඔවුන්ගේ මෙම අංගයට ආශීර්වාද කරනවා ඇත.
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, 1981, ඔක්තෝබර් 1, මුරටැඹ පිටු 15-7; ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 කාණ්ඩය, 772-4 පිටු බලන්න.
[29වන පිටුවේ පින්තූරය]
අනනියස් හා සප්පිරා කුහක ලෙස ශුද්ධාත්මයට බොරු කළ අතර එනයින් තම හෘදයේ වූ දුෂ්ටකම පෙන්වූහ